තාවිජාඩි සහ මොරටුව විශ්ව විද්‍යාලය

තා.වි.ජා.ඩි. කියන්නෙ මොකක්ද කියලා දන්නවද? තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමාව කියන්නෙ මොකක්ද කියලා අහලා නැතත්, National Diploma in Technology හෙවත් එන්.ඩී.ටී. ගැන නම් අහපු නැති කෙනෙක් නැතුව ඇති. එන්.ඩී.ටී පිරිනමන්නෙ මොරටුව විශ්ව විද්‍යාලය යටතෙ තියන තාක්ෂණ ආයතනය (Institue of Technology University of Moratwa) මඟින්.

1893 දී මරදානේ ආරම්භ වූ රජයේ තාක්ෂණ පාසල (Government Technical School) 1906 දී ලංකා තාක්ෂණික විද්‍යාලය (Ceylon Technical College) බවට පත් වුනා. 1940 දශකයේදී එහි ඇරඹි කණිෂ්ඨ තාක්ෂණ නිලධාරී (Junior Technical Officer) පාඨමාලාව 1960 දී කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණ ආයතනය (Institute of Practical Technology) ලෙසින් ඇරඹි නව ස්ථානයකට ගෙන ආවේ තාක්ෂණ නිලධාරීන් පූර්ණ කාලීනව පුහුණු කිරීමටයි.  රජය විසින් ඉංජිනේරු වෘත්තියේ පුළුල්කිරීම සඳහා 1966 දී කටුබැද්දේම ලංකා තාක්ෂණ විද්‍යාලය (Ceylon College of Technology) පිහිටවු අතර, උපාධියකට සමාන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලා ඇරඹුනා. 1967 දී ප්‍රායෝගික තාක්ෂණ ආයතනය එම තාක්ෂණ විද්‍යාලයට අනුබද්ධ කළ අතර කණිෂ්ඨ තාක්ෂණ නිලධාරී පාඨමාලාව ප්‍රතිනිර්මාණය කර එය තාක්ෂණ නිලධාරීන්ගේ පාඨමාලාව ලෙස නම් කළා. 1972 දී කටුබැද්ද ලංකා තාක්ෂණ විද්‍යාලය විශ්ව විද්‍යාලයක් බවට පත්වූ අතර, තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව ඉංජිනේරු විද්‍යාවේදී උපාධි පාඨමාලාව බවටත්, තාක්ෂණ නිලධාරීන්ගේ පාඨමාලාව තාවිජාඩි ලෙසටත් නම් කළා.

වසර ගණනාවක් ඉංජිනේරු උපාධි සහ තාවිජාඩි පාඨමාලා දෙකම සමාන්තර ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පැවැත්වුනා. සිසු දෙපිරිස අතර විශ්ව විද්‍යාලය තුල හෝ රැකියා වෙළඳපොලේදී සැලකිය යුතු තරඟයක් තිබුනේ නෑ. මේ වාතාවරණයේ වෙනසක් ඇති වූයේ 1992-93 දීයි. ඒ 1987-89 කාලය තුල (ජවිපෙ හිතවාදී) ශිෂ්‍ය ව්‍යාපාරයේ බල කණුවක්ව තිබූ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය දේශපාලනයේ යෙදීමෙන් බැට කා තිබූ බැවින්, කිසිම දේශපාලන පක්ෂයකට සහය නොදැක්වීමට තීරණය කිරීමත් සමඟයි. මොරටුව විශ්ව විද්‍යාලය තුල තම බලය තහවුරු කිරීමේ අදිටනින් ජවිපෙ බළල් අතක් වන අ.වි.ශි.බ.ම. හෙවත් අන්තරය ඉන් පසුව තාවිජාඩි පාඨමාලාවට තම සහය දැක්වීමට පටන් ගත්තා.

තාවිජාඩි ශිෂ්‍ය සංගමය සහ අන්තරය අතර ඇති සබඳතාවය නිසා, එම සංගමයෙන් සංවිධානය කළ විවිධ ඉසවු වලට වෙනත් විශ්ව විද්‍යාලවල සිසුන් පැමිණි අවස්ථාද තිබුනා. ඉංජිනේරු පීඨ සිසුන් සමඟ ඇතිවූ ගැටුම් වලදීද වෙනත් විශ්ව විද්‍යාලවල සිසුන් තාවිජාඩි සිසුන් සමඟ එක්වූ බව වාර්තා වී තිබුනා.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඇති සීමිත ඉඩකඩ තුල මේ පාඨමාලා දෙකම පුළුල් කිරීමේ අපහසුතාවයක් ඇති බව අමුතුවෙන් නොකිව යුතුයි. මේ හා සම්බන්ධ පසුබිම් කාරණා සහ විවිධ ආසන්න හේතු නිසා 1998 දී මේ දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වුනා. එහි ප්‍රතිඵලය ලෙස වසරකට ආසන්න කාලයක් විශ්ව විද්‍යාලය වසා තැබුනා. මේ අවස්ථාවේදී තාවිජාඩි ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලයේ බලධාරීන් සමඟ ගිවිසුමකට එළඹුනා.

මේ ගිවිසුමට අනුව, තාවිජාඩි පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලය යටතේ ඇති තාක්ෂණ ආයතනය (ITUM) යටතට ගැනෙන අතර එම ආයතනය මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පරිබාහිරව පිහිටුවීමට කටයුතු කරනවා. එම බාහිර ස්ථානයේ පහසුකම් ස්ථාපිත කෙරෙන තෙක් තාවිජාඩි පාඨමාලා මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල පවත්වාගෙන යාමට අවසර ලැබෙනවා. එතෙක් බඳවාගන්නා ප්‍රමාණය වැඩි කිරීමට හෝ විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට අවසර ලැබෙන්නේ නෑ. එමෙන්ම තාවිජාඩි ඩිප්ලෝමා සහතිකයේ අන්තර්ගතය ආදියද එම ගිවිසුමේ අඩංගු කරුණු අතර ඇතුලත්.

තාවිජාඩි සිසුන් මේ ගිවිසුම ගැන දැනුවත්ද යන්න ප්‍රශ්නයක්. එමෙන්ම හැකි ඉක්මනින් උපාධිය අවසන්කොට රැකියා සොයාගැනීමට සිතමින් පොතටම කාලය යොදවන මොරටුව ඉංජිනේරු සිසුන් මේ ගිවිසුම ගැන දන්නවාදෝ සැකයි. ගිවිසුමට එකඟව අත්සන් කිරීමෙන් අනතුරුව කුමන හෝ යටි අරමුණු නිසාවෙන් එම ගිවිසුමේ අඩංගු කරුණු ප්‍රතික්ෂේප කරන තාවිජාඩි ශිෂ්‍ය සංගමය එය කාලයේ වැලිතලාවෙන් යට වීමට කැමැත්තෙන් සිටිනවා විය හැකියි.

ගිවිසුමේ ප්‍රකාර, විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයක මොරටුව විශ්ව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනය පිහිටුවීමට සැලසුම් තිබුනා. එවකට අක්‍රියව පැවති, වර්තමානයේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය පිහිටුවා ඇති රත්මලානේ ජාතික තාක්ෂණ අධ්‍යාපන ආයතනය (National Institute of Technical Education – NITESL) තාවිජාඩි පාඨමාලාව පිහිටුවීමට සුදුසු ස්ථානයක් බවට යෝජනා වුනා. විවිධ දේශපාලන බලවේග නිසා එම යෝජනාව යටපත් වූ බවට ආරංචි වුනා. පිළියන්දල මඩපාත ප්‍රදේශයේ ඉඩමක නව ගොඩනැගිලි ඉදිකර තාවිජාඩි පාඨමාලාව ඒ වෙත ගෙනයාමට සැලසුම් තිබුනද, ඉඩම් අත්පත් කරගැනීමේ ප්‍රශ්න නිසා එයද යටපත් වුනා.

මීට වසර තුනකට පමණ පෙර හෝමාගම, දියගම (වර්තමාන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ඉදිරිපිට) භූමි භාගයක් මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනය වෙත ලබා දුන්නා. එය වටකර වැටක්ද ඉදිකර ඇති නමුත්, මේ වනතෙක් එහි කිසිදු ඉදිකිරීමක් සිදුවී නෑ. ඊට හේතුව ආණ්ඩුවට ප්‍රතිපාදන නොමැති වීමද, එසේත් නැතහොත් වෙනත් කාරණයක්ද යන්න ප්‍රශ්නාර්ථයක්. තාවිජාඩි පාඨමාලාව මොරටු සරසවි බිමෙන් ඉවත් කිරීමට තීරණය කර වසර දහයකටත් වැඩි කාලයක් ගත වුනත්, එම තීරණ ක්‍රියාත්මක නොවීම පිටිපස අදිසි හස්තයක් ඇතිදැයි සිතෙනවා.

තාවිජාඩි පාඨමාලාව මොරටුව සරසවි බිමෙන් ඉවත් කිරීම තාවිජාඩි සිසුන්ට කෙසේ වෙතත් අන්තරයට නම් අවාසි සහගතයි. මොරටුව සරසවි බිමෙන් තම මුදුන් මුල උගුල්ලා දැමීමට අකමැති අන්තරය ඊට විරෝධය පාන්නේ විවිධ ක්‍රම වලින්.

තාවිජාඩි පාඨමාලාව මොරටුව සරසවි පරිශ්‍රයෙන් පිටතට ගෙනයාමට උත්සාහ කළ සෑම අවස්ථාවකම කුමන හෝ අඩුපාඩුවක් පෙන්වාදෙමින්, එය කල් දැමීමට තාවිජාඩි ශිෂ්‍ය සංගමය උත්සාහ ගෙන ඇත්තේ හිඟන්නාගේ තුවාලය විලසිනුයි. එම පාඨමාලාව සලසුම් කළ පරිදි නිසි කාලයට විශ්ව විද්‍යාලයෙන් පිටතට ගෙනයාමට නොහැකි වූ නිසා මොරටුව විශ්ව විද්‍යාලයේ තුන්වන පීඨය ලෙස ඇරඹි තොරතුරු තාක්ෂණ පීඨයේ පාඨමාලා මුල් වසර තුන තුල බොරැල්ලේ කුලියට ගත් ගොඩනැගිල්ලක පවත්වන්නට සිදු වුනා.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සිසුන් සහ තාවිජාඩි සිසුන් අතර ගැටුම් ඇති වීමට හේතුව ලෙස ඇතැමුන් පෙන්වා දෙන්නේ රැකියා වෙළඳපොළේ ඇති තරඟයයි. එය සත්‍ය නම් මොරටු ඉංජිනේරු සිසුන් තාවිජාඩි සිසුන් සමඟ ගැටීමට පෙර පේරාදෙණිය සහ රුහුණ ඉංජිනේරු සිසුන් සමඟ මුලින්ම ගැටිය යුතුයි. ඊට පසු ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමා සහ  ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමා සිසුන් සමඟ ගැටිය යුතුයි. එමෙන්ම තාක්ෂණ විද්‍යාල සහ කාර්මික විද්‍යාල සිසුන් සමඟද රැකියා තරඟයක් ඇති නිසා ඔවුන් සමඟද ගැටීම වැලැක්විය නොහැකියි.

ඇත්ත තත්ත්වය නම්, මෙරට ඇති සීමිත රැකියා අවස්ථා සඳහා සුළු තරඟයක් තිබුනද, ඉංජිනේරු උපාධිධාරීන්ට මෙන්ම ඩිප්ලෝමාධාරීන්ටද මෙරට නොමැතිනම් විදේශ රැකියා හෝ සොයාගැනීමේ දැඩි අපහසුතාවයක් නොමැති බවයි. විශ්ව විද්‍යාලය තුල වෙනත් පාඨමාලාවක සිසුන් සමඟ ගැටීමෙන් හෝ ඔවුන්ව විශ්ව විද්‍යාල භූමියෙන් පිටමං කිරීමෙන් රැකියා වෙළඳපොළේ තමන්ට වාසියක් වෙතැයි සිතනවා නම් එය විහිළුවක්.

තවත් මතයක් වනුයේ ඉංජිනේරු ඩිප්ලෝමා සිසුන් ලංකා ඉංජිනේරු ආයතනයේ වැනි විභාග සමත්ව උපාධි සුදුසුකම් ලබාගන්නවාට විශ්ව විද්‍යාල උපාධිධාරීන් අකමැති සහ ඊර්ෂ්‍යා බවයි. පෞද්ගලිකව එබඳු අය සිටිය හැකි වුවත්, පොදුවේ එම මතය පිළිගත නොහැක්කේ මෙරට ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් අතරින්, උක්ත විභාග සමත්වන්නේ සාපේක්ෂව සුළු පිරිසක් නිසයි. ඔවුන්ගේ හැකියාව නිසා ඉහල සුදුසුකම් ලබාගැනීමට අකමැතිවීම හෝ ඊර්ෂ්‍යා කිරීමනම් මෝඩ ක්‍රියාවක්.

‘අපිත් මොරටුව කැම්පස් එකේ. ඉංජොයි අපියි අතරෙ වැඩි වෙනසක් නෑ. අපි කන්නෙ බොන්නෙ එක කැන්ටිමෙන්. පාඩම් කරන්නෙ එක ලයිබ්‍රරියෙ. ඉන්නෙ එක හොස්ටල් එකේ. පාවිච්චි කරන්නෙ එක දේශන ශාලා; එක ලැබ්. ඒ නිසා අපිත් ඉංජිනේරුවො වගේ තමා’ කියලා කියන තාවිජාඩි සිසුන් ඉන්නවද කියන්න නම් මම දන්නෙ නෑ. ඒත් තාවිජාඩි සිසුන්ගේ සහ ඉංජිනේරු සිසුන්ගේ දේශකවරු මෙන්ම විද්‍යාගාර පහසුකම්ද වෙනස් බවත්, එම පාඨමාලා අතර මූලික වෙනස විෂය නිර්දේශවල බවත් අමතක කරන්න හොඳ නෑ. ඒ නිසා ඉහත ප්‍රකාශයෙ වලංගු බව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

තාවිජාඩි පාඨමාලාව හා සම මට්ටමේ ගැනෙන ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව (National Diploma in Engineering Science – NDES) පාඨමාලාව සඳහා වසර හතරකුත්, ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව (Higher National Diploma in Engineering – HNDE) යන පාඨමාලා සම්පූර්ණ කිරීමට වසර හතරක් බැගින් ගතවෙනවා සඳහා වසර තුනහමාරකුත් ගතවෙනවා. නමුත් තාවිජාඩි සඳහා යන්නේ වසර තුනක් පමණයි. එම පාඨමාලාව ‘මොරටුව විශ්ව විද්‍යාලය’ ‘තුල’ පිහිටා තිබීම යන කාරණය මේ වෙනස පියැවීමට යොදාගන්නවාද යන්න සිතා බැලිය යුතුයි. තාවිජාඩි සිසුන් බාහිර ලෝකයට තමන් හඳුන්වා දෙන්නේ තමන් ‘මොරටු සරසවි සිසුන්’ ලෙස බවත්, වැඩිදුර විමසීමේදී පමණක් තමන් තාවිජාඩි සිසුන් බව පවසන බවත් මගේ අත්දැකීමයි.

තාවිජාඩි පාඨමාලාව මොරටුව සරසවි පරිශ්‍රයෙන් පිටතට නොයෑම හේතුවෙන් එම පාඨමාලාවටද සිදුව ඇත්තේ අනර්ථයක්. යුගයට ගැලපෙන පරිදි විෂය නිර්දේශ වෙනස් කළ නොහැකිවීම, වැඩි සිසුන් පිරිසක් බඳවාගත නොහැකිවීම ඒ අතර ප්‍රධානයි.

රටේ ප්‍රචලිත තාවිජාඩි පාඨමාලාව පවත්වන ස්ථානය වෙනස්වූ පලියට එහි ගුණාත්මක භාවය අඩුවේයැයි හෝ, රටේ පිළිගැනීම අඩුවේයැයි හෝ සිතීම මිථ්‍යාවක්. එය වෙනත් තැනක පැවැත්වූවද ඩිප්ලෝමාව පිරිනමන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනය මඟින්. එහි පිළිගැනීමේ වෙනසක් වෙතැයි අපේක්ෂා කළ නොහැකියි.

හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනයට අයත් භූමියේ නව ගොඩනැඟිලි ඉදිකර, දේශන ශාලා, විද්‍යාගාර සහ වෙනත් පහසුකම් සපුරා තාවිජාඩි පාඨමාලාව ඒ වෙතට ගෙනයාමෙන් ඒ සිසුන්ටද නිදහසේ අධ්‍යයන කටයුතු වල යෙදිය හැකියි. එමෙන්ම එම පාඨමාලාවේ අභිවෘද්ධියට අවශ්‍ය නිසි පියවර ප්‍රමාද නොකර ගන්නටත් එය ඉවහල් වේවි.

එමෙන්ම මොරටුව සරසවි බිම තුල ඉංජිනේරු, වාස්තු විද්‍යා සහ තොරතුරු තාක්ෂණ පීඨද නිසි ලෙස පුළුල් කිරීමට හැකි වෙනු ඇති.

ප.ලි.

තාවිජාඩි පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලයෙන් භෞතිකව ඉවත් කළයුතු බව මිස, එම පාඨමාලාව අහෝසි කිරීම හෝ එය වෙනත් ආයතනයක් යටතට පත් කළයුතු බවක් මම අදහස් කරන්නේ නෑ. එය දිගටම මොරටුව විශ්ව විද්‍යාලය යටතේ (තුල නොවේ) පැවතීම පාඨමාලාවට මෙන්ම විශ්ව විද්‍යාලයටද වාසිදායක බවයි මගේ මතය.

එමෙන්ම අපේ රටට ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලා අනවශ්‍යයි යන්න හෝ ඉංජිනේරු උපාධි පාඨමාලා අනවශ්‍යයි යන්න මොනම අයුරකින්වත් මම අදහස් කරන්නේ නෑ. රටේ කර්මාන්ත ක්ෂේත්‍රයට ඉංජිනේරු උපාධිධාරීන් මෙන්ම ඩිප්ලෝමාධාරීනුත් අත්‍යවශ්‍යයි. ඔවුනොවුන්ගෙන් ලැබෙන සේවා එකිනෙකට වෙනස් නිසා කර්මාන්ත ක්ෂේත්‍රයට ඒ දෙපාර්ශවයේම දායකත්වය නැතිව බෑ.

ඉහත සඳහන් කළේ මගේ පෞද්ගලික මතය මිස වෙනත් පාර්ශවයක මතයක් නොවන බව සලකන්න. දින වකවානු හෝ වෙනත් වැරදි ඇත්නම් කරුණාකර පෙන්වා දෙන්න.

About these ads
This entry was posted in මතවාද and tagged , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

68 Responses to තාවිජාඩි සහ මොරටුව විශ්ව විද්‍යාලය

  1. වැදගත් ලිපියක්….
    පොඩි නිවැරදි කිරීමක් කරන්න වෙනවා…

    “තාවිජාඩි පාඨමාලාව හා සම මට්ටමේ ගැනෙන ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව (National Diploma in Engineering Science – NDES) සහ ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව (Higher National Diploma in Engineering – HNDE) යන පාඨමාලා සම්පූර්ණ කිරීමට වසර හතරක් බැගින් ගතවෙනවා. ”
    මෙතන තියන HNDE එක සඳහා ගතවන්නේ අවුරුදු තුන හමාරයි….

  2. ranjana says:

    බොහොම මධ්‍යස්ථ ලිපියක්. කොතනකවත් මෙහෙම දෙපැත්ත කතා කරන්නේ නෑ. දේශපාලනය කොතනද විනාශය එතන.

  3. Mee says:

    මම කියන්නෙත් තාවිජාඩි වෙන තැනක ස්ථාපිත කරල සාමාන්‍ය ඩිප්ලෝමාව ලබාදීල එහිම දිගුවක් ලෙස ඉන්ජිනේරු උපාධිය තව වසරකිනුත් ලබාදෙන විදිහට විශයමාලාව සකස් කලා නම් වැඩේ ගොඩ.

    • SL says:

      Great! Then how about people who enter physical science at the university who lacks only few marks to enter engineering faculty? If the NDTs want they can follow IESL exams and become an engineer, however, it is not a mere one year thing.

      • Paradox says:

        I have participated for IESL exams as a investigator. When we are collecting papers after the Management exam they instructed to us collect NDT students papers separately. I don’t know why. As per the result of exam, I saw comparatively less percentage of student passed at the exam with compared to Part 3 students.

      • Sira says:

        Hehe.. Don’t worry about those people. Then they would select NDT instead of Physical science. The competition will get shift.

      • Asitha Pathirathna 0772075985.. “SL” I don’t know whether you know this or not; but most of the NDT students have z-cores which entitle them to enter in to a physical science faculty in other uni. But since they had a choice between BSc Physical and NDT they have selected it. (in my case i selected NDT over Physical) what Mee s saying is true they can design three year course for diploma and students who achieve a standard level of results in diploma can be directed to a top up course I don’t have to be one year course but it should be designed to take the students from diploma level to degree level.
        Some people think that NDT students don’t have enough competencies to complete BSc engineering course. This is also a foolish thought, In Sri Lanka the minimum qualifications for enter in to engineering degree course is recognized as 3 simple passes in maths stream. But due to the limited number of facilities only about 1300 students get a chance to enter in to BSc engineering course. Others have to select different options. Z-score of a student is taken as the qualification to follow an Engineering course. Apart from Moratuwa there are two other State Universities those which offer BSc Engineering degrees (Pera and Ruhuna) These faculties select student on district basis, and those who are attached to forces are also selected in to these faculties (Ruhuna). When considering the district basis a student from Polonnaruwa, Nuwaraeliya or even from Gampaha can enter to Ruhuna or Pera faculties while a student who have higher Z-score than that particular student may not be eligible to enter in to an engineering faculty if he is representing districts like Colombo, Galle, Mathara Kurunagala. Student who enters with lower Z-score finishes the course and qualifies as an engineer. So it is obvious that a certain number of students who have capabilities to finish an Eng degree are left because of the district basis. There are students coming to NDT specially from Colombo Galle n Mathara who have Z-scores higher than some students in Ruhuna or Pera (in my parallel batch, I personally knew students with lower Z-score than me, yet they were selected to Ruhuna engineering degree and qualified as engineers)

    • නදී says:

      ඉංජිනේරු ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා අතර පළමු වසරේ සිටම විෂය නිර්දේශ වෙනස්. ඊට හේතුව එම වෙනස් පාඨමාලාවලින් ඉලක්ක කරන්නේ වෙනස් කාර්යභාරයන් ඇති වෘත්තිකයන් බිහිකිරීම නිසයි. එක් වසරක් පාඨමාලාව දීර්ඝ කිරීමෙන් වෙනස් වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමට බෑ. කළොත් ‘වැඩේ ගොඩ’ කාගෙද?

      ඔබේ තර්කයට අනුව හෙදි පාඨමාලා තවත් වසරකින් හෝ දෙකකින් දීර්ඝ කිරීමෙන් වෛද්‍ය උපාධිය ලබාදීමටත් යෝජනා කෙරෙන්නට පුළුවන්.

    • Nuwan says:

      මට ඔයාගේ මානසික තත්වය ගැන ඇත්තටම දුකයි.ඉංජිනේරුවෙක් වෙන්න ඔයා කියන විදියට හරි ලෙසිනේ.කොහොමත් ඉංජිනේරු උපාධිය අවු. හතරයි.අවු. හතරක් NDT කරාම ඒක සමාන වෙනවද?

    • Rajitha says:

      එහෙම කොහොමද වෙඩේ ගොඩ යන්නෙ. මට පෙන්නේ මේ comment එක දපු කෙනා B.Sc. Eng (Hons) උපාදියක සහ ඩිප්ලොමාවක වෙනස දන්නෙත් නෑ, ඒවගෙ syllabi ගැන දන්නෙත් නෑ, Engineer සහ Technical Officer අතර වෙනස දන්නෙත් නෑ. පොඩ්ඩ්ක් හොයල බලල comments දානව නම් තමයි හොඳ.

      Btw, good argument නදී..

      • There is a difference between Eng diploma n degree, Some times the subject areas of a certain discipline may be same by name but the difference comes with the depth of study. An engineering degree consist design engineering subjects which makes it more advance. But NDT is considered in giving exceptions for BSc Eng (Hons) degrees. I did NDT Chemical engineering in 2006/07, before completing the diploma i applied for university of Aberdeen with my first year and second year results. And i was selected to 3rd year entry ,in their 4year (BEng Hons ) and 5 year (MEng Hons ) programs. Unfortunately tuition fee was too high for Chem eng courses and I have to give up that chance.”http://www.abdn.ac.uk/courses/undergraduate/H810/” “http://www.abdn.ac.uk/courses/undergraduate/H813/”

    • එහෙම කළොත් නම් Maths කරල Engineering යන්න ලකුණු මදි වෙන හැමෝම NDT කරන්න යයි. අනිත් faculties වලට ළමයි කවුරුත් යන එකක් නෑ. Physical වගේවත් යන්න ලකුණු ගන්න බැරිවෙච්ච කට්ටිය පහසුවෙන්ම NDT ගිහිල්ල ඉංජිනේරුවො වේවි.
      අනිත් එක, එතකොට BSc. Engineering වලයි NDT වලයි වෙනස මොකද්ද? දෙකම අවුරුදු 4 ගාණෙ වෙයි, දෙකෙන්ම ඉංජිනේරුවො එලියට ඒවි.

      • raja says:

        කාලය වැඩි කරලා NDT උපාධි තත්වයට ගේන්න බෑ. එත් මල්ලි ඔයාගේ තර්කය නම් වැරදියි කියලයි මට හිතෙන්නේ.

        කොහොම උනත් NDT කරපු කෙනෙක්ට Engineering degree සමාන සුදුසුකම් ගන්න ඕනි නම් දැනටමත් මාර්ග තියෙනවා. IESL, UNIVOTEC වගේ තැන තියෙනවා. ඉංජිනේරුවෝ වෙන්න කැමති NDT අය ඉන්නවනම් අහිංසකයන්ට තඩිබාන්නේ නැතුව ඒ වෙලාවේ මේ වගේ course එකක් කරන්නයි තියෙන්නේ.

    • Sira says:

      මගේ අදහසේ හැටියට, එක අවුරුද්දකින් ඒක කරන්න බෑ. NCT වගේ අවුරුදු 5 ක් 6 ක් යයි. ඒ එක්කම පාඪමාලාවෙ අන්තර්ගතයත් වෙනස් කරන්න වෙයි. දැනට තියෙන HNDE එකෙන් වෙන්නෙත් ඒ දේම තමා.

    • Sayuri says:

      මේක කීයටවත් කරන්න බැරි දෙයක්. වසරකින් දිගු කරලා විතරක් මදි. විෂය නිර්දේශය වගේම ප්‍රායෝගික පැත්තත් වෙනස් කරන්න වෙනවා. එහෙම කරලා පාඨමාලා දෙකෙන්ම ඉංජිනේරුවෝ බිහි කරන එකේ තේරුමක් තියද?

    • raja says:

      වසරක් දිගු කරා කියලා උපාධි මට්ටමකට යන්න බෑ. එහෙමනම් මුල සිටම විෂය නිර්දේශ වෙනස් කල යුතුයි. එහෙම කරලා, සුදුසු පරිදි සිසුන් බඳවාගෙන ඒ අයට උපාධියක් දුන්නත් වරදක් නෑ.

      තාක්ෂණ ඩිප්ලෝමා සහ ඉංජිනේරු විද්‍යා උපාධි කියන දෙකම රටකට වැදගත්. ඒ අය කරන්නේ වැඩ දෙකක්.

  4. deeps says:

    බොහොම වැදගත් විදියට ලියැවුණු පිලියක්. මම මේ ගැන අහලා තිබ්බ ගොඩක් කරුණු වැරදි බව තේරුණා. බොහොම ස්තූතියි

  5. Vampire says:

    බොහොම හොඳයි.. මමත් මේ ගැන පොඩි ආටිකල් එකක් දාන්න කියල හිටියේ.. දැන් ඕන නෑ.. :)

    බොහොම හොඳ විග්‍රහයක්. මම විශය නිර්දේශ යාවත්කාලීන කළ නොහැකි වග දැනගෙන සිටියේ නෑ.

    මගේ පුද්ගලික අත්දැකීම් අනුව, මොර‍ටුවේ ඇතුලේ සිටීම යන කරුණෙන් වාසි ලබාගත් සමකාලීන තාවිජාඩි මිතුරන් ගැන දනිමි.

  6. මධ්‍යස්ථ වැදගත් ලිපියක්. වෙනත් තැනකට මේ පාඨමාලාව අරන් යාමකින් තොරව මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන් කියල මමත් හිතන්නේ නැහැ. කරුණු වලට ස්තූතියි.

  7. Pingback: Tweets that mention තාවිජාඩි සහ මොරටුව විශ්ව විද්‍යාලය | Nadee's Thoughts | නදීගේ සිතුවිලි -- Topsy.com

  8. මට මතක විධියට එන්.ඩී.ටී. වල ඉතිහාසය ගැන කථා කරද්දි අම්පාර “හාඩි” ආයතනයෙත් යම් පාඨමාලා වගයක් තිබිලා පසුව මො.වි. යට ගෙනාවා. එහෙ ඉතිරි වුනේ කෘෂි ඩිප්ලෝමාව විතරයි. ඒකත් අර අසාර්ථක SLIATE කියන ආයතනය යටතට පැවරුවා. මම හිතන්නේ මේ ගැනත් සදහන් වුණා නම් හොඳයි.
    කොසේ වෙතත් ඔබගේ ලිපිය මධ්‍යස්ථයි. එහි යථාර්තය ඇතුළත්. ස්තුතියි ඔබට

    • samantha says:

      දෙශපාලනය මෙකට එකම හෙතුව කියලද ඔබ කියන්නෙ? එතනින් එහාට කිසිම හෙතුවක් නෑ කියලද කියන්නෙ? මෙකත් සින්හල දෙමල ප්‍රශ්නය වගෙ,electronics , computer හෑරුනාම අනික් ගොඩක් ක්ශෙත්‍ර වල ත.වි.ජා.ඩි සහ ඉන්ජ් සිසුන් සමාන වෑටුප් තල වල ඉන්නෙ. මෙක හෙතුවක් වෙන්න බෑරිද? තවත් තන් වල ඉන්ජ්. සිසුන් ත.වි.ජා.ඩි හදාරපු අය යටතෙ වෑඩ කරන්නෙ.
      එකම වසෙරෙ උ.පෙ කරල, වෑඩි ලකුනු අරන් වසර 4ක් ඉගෙන ගෙන, තමන්ට වඩා අඩු ලකුනු ගත්තු, වසර 3ක් ඉගෙන ගෙන තමන්ට වසරක් කලින් එලියට ආපු parrelal batch එකක කෙනෙක් එක්ක, එයාට junior තෑනක වෑඩ කරනකොට අතිවෙන මනසිකත්වය නෙවේද?

      • නදී says:

        ගොඩක් ක්ෂේත්‍රවල වැටුප්තල සමානයි කියන දේ වැරදියි. ඇතැම් රැකියා සඳහා උපාධිධාරියෙක් අත්‍යවශ්‍ය නොවන විටෙක තාවිජාඩි හෝ වෙනත් ඉංජිනේරු ඩිප්ලෝමාධාරියෙක් බඳවාගන්න ඇතැම් සමාගම් පෙළඹීම නිසා මේ තත්ත්වය පිටතට පෙනෙන්න පුළුවන්. ඒහෙත් උපාධිධාරියෙක් අවශ්‍යම තැනකදී මෙය වලංගු නෑ.
        ඇතැම් තාවිජාඩි ලාභීන් රැකියා කරනවිට පසුව බඳවාගන්නා උපාධිධාරීන්ට කෙණෙහිලිකම් කරන බව මා අසා තිබෙනවා. එසේ වුවත් උපාධිධාරීන් ඩිප්ලෝමාධාරීන්ට කෙණෙහිලිකම් කරතැයි මා අසා නෑ. ඊට හේතුව පැහැදිලි ඇති.
        රැකියාවට යාමටත් තමාට අනාගතයේ සිදුවිය හැකි කෙණෙහිලිකම් වලට විරැද්ධවීම කොරහේ කිඹුලන් දැකීමටත් වඩා දරුණුයි! එය සාධාරණ තර්කයක් නොවේ. ඉංජිනේරු සිසුන්ට තරඟ ඇත්තේ 250 ක් වූ තාවිජාඩි සිසුන් සමඟ නොව 1000 ඉක්මවූ වෙනත් ඉංජිනේරු සිසුන් සමඟයි. තාවිජාඩි පාඨමාලා නැති ඉංජිනේරු ක්ෂේත්‍ර ගණනාවක් තිබීම නිසාත් ඔබේ තර්කය බිඳෙනවා.

        • කතාව ඇත්ත. ඉංජිනේරුවෙකුගෙ තැනක් කොයි වෙලේවත් Technical Officer කෙනෙක්ට දෙන්න බෑ, නමුත් හුඟක් සමාගම් NDT සිසුන් බඳවා ගන්න කැමතියි මොකද ඔවුන් හරහා අඩු වැටුපකට වැඩ කරවගන්න පුළුවන් නිසා. Eng හා NDT වල වැටුප්තල සමානයි කියන එකට මමත් විරුද්ධයි, සමාන අවස්ථා නැත්තෙම නෑ, නමුත් හැම වෙලේම සමාන නෑ.

        • “ඇතැම් තාවිජාඩි ලාභීන් රැකියා කරනවිට පසුව බඳවාගන්නා උපාධිධාරීන්ට කෙණෙහිලිකම් කරන බව මා අසා තිබෙනවා. එසේ වුවත් උපාධිධාරීන් ඩිප්ලෝමාධාරීන්ට කෙණෙහිලිකම් කරතැයි මා අසා නෑ. ඊට හේතුව පැහැදිලි ඇති.”

          THis is also not true i have my own experience in CEYPETCO refinery but it was not UOM engineers. Pera engineers who hav a monopoly there, hate NDT students. Actually what ever happens in uni, i have seen NDT n Mora BSc students work friendly in their most places. But Pera engineers r not that friendly. Engs n NDT students have two different kinds of jobs, There is no threat for Moratuwa engineers as most of them are clever(not all thought). But since we have limited number of real eng jobs in SriLanka students from Pera n Ruhuna have to work in NDT level that is one of the reasons for hatred.

      • Rajitha says:

        එකම වසෙරෙ උ.පෙ කරල, වෑඩි ලකුනු අරන් වසර 4ක් ඉගෙන ගෙන, තමන්ට වඩා අඩු ලකුනු ගත්තු, වසර 3ක් ඉගෙන ගෙන තමන්ට වසරක් කලින් එලියට ආපු parrelal batch එකක කෙනෙක් එක්ක, එයාට junior තෑනක වෑඩ කරනකොට අතිවෙන මනසිකත්වය නෙවේද?

        මෙහෙම තත්වයක් කිසිම field එකක, කිසිම company එකක නැහැ. සමහරවිට pass out වුන ගමන් fresh graduate කෙනෙක්ට, අවුරුදු ගානක් වැඩ කරල experience අරන් Engineer තත්වෙට පත් උන NDT ඩිප්ලොමා ධාරියෙක් යටතේ වැඩ කරන්න වෙන්න පුලුවන්. එහෙම එවා නම අපි දැකල තියෙනව ඕන තරම්. එ තත්වය අසාධාරණයි කියල අපි කියන්නෙත් නෑ..

      • WGNOGDPD says:

        මල්ලි ආස ඈති ENGINEERS ල ත.වි.ජා.ඩි යටතෙ වඩ කරන්නව දකින්න .

      • Sayuri says:

        සමන්ත කියපු බොහොමයකට එකඟ වෙන්න බැහැ. parrelal batch එකක කෙනෙක්ට සමාන වැටුප් දෙනවාවත් එහෙම කෙනෙක් යටතේ වැඩ කරන්න වෙනවාවත් මම කොයිම වෙලාවකවත් දැකලා නැහැ. හැබැයි රාජිත කිව්වා වගේ අවුරුදු ගානකින් සීනියර් කෙනෙක් යටතේ වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක කිසිම විදියකින් අවනම්බුවක් නෙමෙයි. මොකද එක්ස්පිරියන්ස් කියන දේට වටිනාකමක් ලැබිය යුතු බව ඕන කෙනෙක් පිළිගන්න නිසා.

        ඉතින් ත.වි.ජා.ඩි සිසුන් මේ තරම් ස්වායත්ත නම් ඔවුන් මොරටුවෙන් එළියට යාමට අකමැති ඇයි?

      • raja says:

        මම අවරුදු කීපයකට කලින් උපාධිය ගත්තේ. මං නම් තාම මෙහෙම වෙලා තියෙන තැනක දැකල නෑ. මට job හොයද්දීත් NDT අයත් එක්ක කවදාවත් තරග කරලා නෑ.

    • SLIATE ආයතනය අසාර්ථක යැයි පැවසීම අනුමත කළ නොහැකියි.
      වර්තමානයේ සියලුම HND පාඨමාලා අයත්වන්නේ SLIATE ටයි. අතීතයේ කෙසේවුවත් වරතමානයේ නම් සියලු කටයුතු සාර්ථකව කෙරීගන යනවා. SLIATE හි ATI (Advanced Technological Institutes) 11 ක් සහ ATI Section 7 ක් ශ්‍රී ලංකාව පුරාම පවතිනවා.
      පහසුකම් ඉතාමත්ම හොඳ තත්වයේ පවතිනවා. ( අම්පාරේ හාඩි ආයතනයේ හැර)
      පාඨමාලාවලට හොඳ පිළිගැනීමක්ද තිබෙනවා. එම නිසා අසාර්ථකත්වයක් මා නම් දකින්නේ නැහැ

  9. Freedom says:

    තාවිජාඩි වසරකින් හෝ දෙකකින් දික් කළ විට ඉන්ජිනේරු වන කතාව ලංකාවෙ සාමාන්‍ය මිනිසුන් අතර ප්‍රචලිත මතයක්. බොහෝ දෙනා ඇත්ත දන්නෙ නෑ. සමහර රැකියා ආයතන පවා ඉල්ලන්නෙ උපාධිය හෝ තාවිජාඩි සහ වසර 2ක අත්දැකීම්. ඉතින් මේ තත්වය නිර්මාණය කරල තියෙන්නෙ අපිමයි. මේ වගේ නිවැරදි දැනුවත් කිරීම් හරි වටිනව.
    මේ හැඟීම උසස් පෙළ සිසුන්ටත් කාවැදිල තියෙනව. බොහෝ දෙනා ව්‍යවහාරික උපාධිය හැර දමා තාවිජාඩි සඳහා ඉල්ලුම් කරන්නෙ තව වසර කීපයකින් ඉංජිනේරුවෙකු වීමේ කෙටි මාර්ගයට පිවිසීමට.
    නමුත් මේ සම්බන්ධ IESL සහ විවෘත වි. වි. නීති රීති බැළුවොත් එය එසේ නොවෙන බව පැහැදිලියි.
    දයන්ත විජේසේකර මහත්තයගෙ කාලෙ තාවිජාඩි සහතිකය වංචනිකව ඉදිරිපත් කිරීම වැනි බරපතල ක්‍රියාමාර්ග පවා ඔවුන් අරගත්තෙ මේ මතය ඉදිරියට ගෙනයන්න කියලයි මම හිතන්නෙ. ඔවුන් වි. වි. භූමියෙන් ඉවත් කිරීමෙන් තවත් එක් පාඩුවක් සිදුවෙනව මොරටුව වි. වි. යට. අද ක්‍රීඩා අංශයෙන් මොරටුව වි. වි. ඉදිරියට යන්න ලොකු කැපවීමක් සහභාගීත්වයක් ලැබෙනවා තාවිජාඩි සිසුන්ගෙන්, බොහෝ විට අනෙකුත් පීඨ වලටත් වඩා. ඔවුන් භූමියෙන් ඉවත් කළ පසු ඔවුන්ට සහ වි. වි. යට මේ අතින් නම් පාඩුවක් වෙන බවයි මගේ හැඟීම.
    අනෙක් අතට අනෙකුත් ඩිප්ලෝමා සිසුන්ට නොමැති පහසුකම් රැසක් ඔවුන්ට හිමිවීම ඩිප්ලෝමා ධාරීන්ගේ පැත්තෙන් අසාධාරණයි.
    උදා: වසර තුනක ඩිප්ලෝමා සිසුන් පූර්ණ කාලීන සිසුන් ලෙස වෙනත් වි. වි. නොසැළකෙන අතර තාවිජාඩි සිසුන්ට හිමිවෙන වරප්‍රසාද ඔවුන්ට හිමි නොවේ.
    පූර්ණ කාලීන සිසුන්ට හැර වෙනත් සිසුන්ට අන්තර් වි. වි. ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමේ වාරණයක් 2009 සිට ක්‍රියාත්මක වූ අතර තාවිජාඩි සිසුන් මොරටුව වි. වි. ලයේ පූර්ණ කාලීන සිසුන් ලෙස සැළකුනු නිසා උපාධි අපේක්ෂකයන් හැරුණු කොට මේ සඳහා සහභාගී වූයේ ඔවුන් පමණි.

    • නදී says:

      ලංකාවේ ඉංජිනේරු පනතක් නොමැතිවීමට ලොකු අඩුපාඩුවක් . ඒ නිසයි ඩිප්ලෝමාව ලබා වයසට යෑම ඉංජිනේරු ක්ෂේත්‍රයේ සුදුසුකම් ලෙස සැලකෙන්නේ.

      තාවිජාඩි සිසුන් මොරටුව සරසවියේ ක්‍රීඩා කණ්ඩායම්වලට ක්‍රීඩා කරනබව ඇත්තයි.
      තාවිජාඩි පාඨමාලාව විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත්කළ පමණින් ඔවුන්ට විශ්ව විද්‍යාලය සඳහා ක්‍රීඩා කළ නොහැකි වේද යන්න මම දන්නේ නෑ. එහෙත් ක්‍රීඩා කිරීමට පමණක් සිසුන් විශ්ව විද්‍යාලවල රඳවාතබා ගැනීමට අවශ්‍ය නෑ. ක්‍රීඩා ශිෂ්‍යත්ව ක්‍රමයක් විශ්ව විද්‍යාලවල නැහැ නොවැ.

    • Dilan says:

      Don’t tell lies….!!! All sports in university of Moratuwa is ruled by enginnering students…!!! Very few NDT students do sports…!!! Many of them don’t give even maximum commitment to the sports as well…!!! So without knowing nothing about MORA sports history don’t post bullshit comments here….!!!! If u want to know further information contact any sports captain or the director of physical education to get information about this……!!!!!

  10. අද බොහෝ ආයතන ඩිප්ලෝමා ප්‍රදානය කරන විදිහටහිතන්නෙ කවුරුත් ඒත් ඩිග්‍රි එකක් වගේම තමයි කියල. වැරදි සන්නිවේදණය තමා. බොහෝ වෙලාවට වචන වල නිවැරදි තේරුම නොදැන ‍හැම ආයතනයකම පාඨමාලා හදාරනව. ඉතින් මේව තේරුම් ගන්නෙ රැකියාවකට ගියහම. සමහර වෙලාවට අපේ රටේ උසස් තැන්වල ඉන්නෙ මේගැන දැනුවත් අය හෝ උගත් අය නොවේ. ඉතින් මෙවැනි ඩිප්ලෝමාවක් අරන් රැකියාවට ගිහින් හොදින් ටික කාලයක් වැඩ කලහම ඒ අයත් හිතනව යස අපූරුවට ඔය වැඩ කරන්නෙ ඉතින් එහෙම අය ගත්තහම ගැටළුවක් නෑ නෙ කියල. අනික ‍කොහොමත් ලංකාවෙ උපාදිය කරන ඒරියා එකෙන්ම රැකියාවක් කරන අය අඩුයි නෙ. මොකද රැකියාවක් ලැබුනහම ඒකට ඕනි විදිහට සේවකය හැඩ ගැහෙනව. මේව ඉතින් දැම්මම වෙනස් කරන්න අපහසුයි. නමුත් කාලයත් එක්ක වෙනස් හදුනාගනියි කියල මට නම් හිතෙනව.

  11. Vampire says:

    බම්බුව තමයි. සරල තර්කයක්.. NDT අය වැඩකාරයෝ වෙන්නේ කොහොමද ?
    අපි දන්නවා එයාලගෙ වැඩ!

    • samantha says:

      මම NDT හදෑරුව කෙනෙක් නෙමෙ. මම කියන්න හෑඩුවෙ සරල යතාර්තය. ඔබෙ කියමනෙන්ම ඔබෙ සිතෙ තියන තරහ වෙයිරය ප්‍රදර්ශනය වෙනවා.මම මගෙ මුල්ම comment එකෙන් මෙ තරහ අතිවෙන්න හෙතුව කියල තියනව. මගෙ සෑකය ඔබ මෙහිදී ඈත්තක් කියල ඔප්පු කරා.

      • Vampire says:

        මම ලංකාවෙ ඉන්ජිනේරුවෙක් විදියට සෑහෙන කාලයක් රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ වල වැඩ කරලා තියනවා. මට තේරුණු විදියට සමහර ආයතන වල ඔය ප්‍රශ්නෙ තියනවා. මට නම් සඳහන් කරන්නත් පුලුවනි. ඒත් ගොඩක් තැන් වල ඔය තත්වෙ නෑ.

        මට කිසිම තරහක් නෑ. ඇත්තේ අනුකම්පාවක් හා දුකකි. මම මෙහේ චාටර් කකා හිටපු NDT උන් දෙන්නෙක් රස්සාවලට තල්ලු කිරීමට දත කෑවෙමි. එකෙක් යන්තමින් ගොඩ ගිය අතර අනිකා තාමත් චාටර් කයි. ඒ ඕකට තියන අන්තර්ජාතික පිළිගැනීමේ තරමයි.

        ජාතික මට්ට්මේ මට ඉහේ කෙස් ගාණට උදාහරණ දිය හැකි මුත්, මට පුද්ගලික තරහක් හෝ වෙනයම් කිසිවක් මේ සම්බන්ධයෙන් කිසිවක් නොමැති නිසා එසේ කරුණු නොදක්වමි.

        එහෙත් පැහැදිලි කිරීමක් කරමි.

        යම් කිසි ආයතනයක් NDT 2 years හෝ ඉන්ජිනේරුවෙක් අවශ්‍යයි වශයෙන් දැන්වීමක් පළ කිරීමේ අදහස, ඒ දෙක සමානය යන්න නොවේ. ඒ ඒ ආයතනයට ඇත්තටම අවශ්‍ය NDT අයෙක්. අහන්න ඒ වගේ වේකන්සිස් වලට දානවද කියලා ඉන්ජිනේරුවෝ!

        • යම් කිසි ආයතනයක් NDT 2 years හෝ ඉන්ජිනේරුවෙක් අවශ්‍යයි වශයෙන් දැන්වීමක් පළ කිරීමේ අදහස, ඒ දෙක සමානය යන්න නොවේ. ඒ ඒ ආයතනයට ඇත්තටම අවශ්‍ය NDT අයෙක්. අහන්න ඒ වගේ වේකන්සිස් වලට දානවද කියලා ඉන්ජිනේරුවෝ! Dat you should ask fro engineering students and HR personals in those companies, as for my experience Srilanka don’t have enough real engineering jobs, Bcoz of that BSc students have to work in a capacity of engineers. Its no one fault thats how the system goes.

    • samantha says:

      samantha says:
      ජූනි 22, 2010 දින 1:06 පෙ.ව. ට
      දෙශපාලනය මෙකට එකම හෙතුව කියලද ඔබ කියන්නෙ? එතනින් එහාට කිසිම හෙතුවක් නෑ කියලද කියන්නෙ? මෙකත් සින්හල දෙමල ප්‍රශ්නය වගෙ,electronics , computer හෑරුනාම අනික් ගොඩක් ක්ශෙත්‍ර වල ත.වි.ජා.ඩි සහ ඉන්ජ් සිසුන් සමාන වෑටුප් තල වල ඉන්නෙ. මෙක හෙතුවක් වෙන්න බෑරිද? තවත් තන් වල ඉන්ජ්. සිසුන් ත.වි.ජා.ඩි හදාරපු අය යටතෙ වෑඩ කරන්නෙ.
      එකම වසෙරෙ උ.පෙ කරල, වෑඩි ලකුනු අරන් වසර 4ක් ඉගෙන ගෙන, තමන්ට වඩා අඩු ලකුනු ගත්තු, වසර 3ක් ඉගෙන ගෙන තමන්ට වසරක් කලින් එලියට ආපු parrelal batch එකක කෙනෙක් එක්ක, එයාට junior තෑනක වෑඩ කරනකොට අතිවෙන මනසිකත්වය නෙවේද?

  12. Vampire says:

    අනේ බොලේ.. කිසි තරහක් නෑ.. දුකක් නම් තියනවා!

  13. yasela says:

    hats off to well research factual article. Keep it up.
    if you can publish the copy of said agreement it would be great…

  14. Malinda says:

    NDT එක මොරටුවෙන් දෙද්දි ඒක කැම්පස් එකේ නම තියෙද්දිත් යම් පිලිගැනීමක් තියනව කියල අහල තියෙනව. විශේෂයෙන් විදේශ අය අතරෙ. ලාංජනය මොරටුව නිසා. දැන් තත්වය කොහොමද දන්නෙ නෑ.

  15. සුභාෂ් says:

    සත්‍ය එලෙසින්ම ,මැදිහත්ව ප්‍රකාශ කිරීම පිළිබදව ස්තුතියි.

  16. වටිනා ලිපියක්.. කතිකාවක් ඇතිකිරීම ගැන ස්තූතියි..

  17. prabath says:

    mehema giyoth okkoma physical science degrees cancel karanna wei, mokada okkoma engineering degree ekak ganna NDT karai. lol
    apith kalin dannawanam A/L maasa 3 kin withara goda daal NDT karala engineering degree ekak goda daaganna thibba ;(

  18. Hasala says:

    @samantha : NDT and Bsc Eng in similar salary scale, u must be f***ing joking!!!

    Macho, Api engineers la hatiyata padi gannawa, NDT sahodarayo technical officers la hatiyata padi gannawa. Can’t u understand the difference????

    That is because the Bsc Eng Mora is da best degree quality wise in the country!!! NDT korala hari, pera ruhuna eng karala e qualityyata enna baha.

    Mama training hitapu companyye engineering manager NDT qualified 10yrs experience. Aluthen gaththa ape MORA Bsc Porata 5ooo/= direct wadiyen dunna!!!!

    NDT sahadarayanta apith ekka harennawath baha , technical soft skills or otherwise.

    It is because we were commited and worked hard not god given.
    etc: we scored highest in the maths stream, worked hard for 4 yrs in uni.

    We didnt have time for any politics or shit like dat coz we were busy learning engineering….

    No freaking company will pay NDT guyz more than Bsc guyz!!!! U r pretty badly misinformed dude!!!!

  19. Ishara says:

    මමනම් හිතන්නේ NDT හෝ Bsc වූ පලියට හොද Engineer කෙනෙක් වෙන්න්න බෑ He should be talent enough to tackle with engineering field that’s why we allowed any person to do IESL and become an Engineer even you don’t have A/L s you can be a Engineer by doing NCT then Deploma Higher Diploma then do B.tech in Open University. It is not the matter of University Or Institute some people come with P.hds but they can’t tussle with Engineers having general pass. මමත් Bsc Engineer කෙනෙක් ඉන්ජිනේරුවෙක් වෙන්න Bsc ගන්න ඕනේ නෑ එක Dr.Kulasingha ගැන දන්න අය දන්නවා ඒකනිසා ඔය ජරා දේශපාලනය නවත්තන්න එකය් කරන්න ඕනේ. Dr.Kulasingha is the person who introduce Pretension Concrete structures but he dose not have bsc or NDT.

  20. prasad says:

    NDT diploma එකට තම ඩිප්ලෝමාව නිම කිරීමට අඩුම තරමේ වසර 4 ක් 5 ක්වත් අවශ්‍යයි.මොකද කියනවනම් මොරටුව විශ්ව විද්‍යාලය තුල ගැටුම් ඇති කර තම විද්‍යාතනය වසා ගෙන වසර 2ක් වත් සිටීමට අවශ්‍ය බැවිනි…..

  21. HND ගැන හොද විස්තරයක් කලාට ස්තුති.. මාත් මේ ගැන හොය හොය හිටියේ… දැන් නන් HNDIT පිළිගන්නවනේ එල ඇ.. :D

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )