Z ස්කෝර් ගැන කෙටියෙන්

මම සංඛ්‍යාන විශේෂඥයෙක් නම් නෙවෙයි. මට වැටහෙන විදියට z-ස්කෝර්  ගැන කෙටි හැඳින්වීමක් මේ. අඩුපාඩු තියනවානම් පෙන්වලා දෙන්න.

z-ස්කෝර් වලට කලින් මොකද වුනේ?

2000 වසරේදි උසස්පෙළ ලකුණු වලට z-ස්කෝර් හඳුන්වලා දෙන්න ඉස්සර තිබුනෙ ශිෂ්‍යයා මුහුණදුන් විෂයයන් හතරේම මුළු ලකුණු එකතු කර, එකතුව අනුව ජාතික සහ දිස්ත්‍රික් පදනමින් අනුතැන (rank) සකස් කිරීමයි. විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී බොහෝ පාඨමාලා සඳහා 40% ක් ජාතික පදනමිනුත්, 60% දිස්ත්‍රික් පදනමිනුත් බඳවා ගන්නවා. මේ අනුතැන පදනම් කරගෙන තමා ඒ ඒ පාඨමාලා සඳහා සිසුන් තෝරාගත්තේ.

ඇයි z-ස්කෝර් පාවිච්චි කරන්න ගත්තේ?

මූලික වශයෙන්ම 2000 වසරේදී පැරණි නිර්දේශය යටතේ විෂයයන් 4 කට පෙනී සිටි සහ නව නිර්දේශය යටතේ විෂයයන් 3 කට පෙනී සිටි සිසුන් විශ්ව විද්‍යාල වලට තෝරා ගැනීමේදී මේ දෙපිරිස සාමාන්‍යකරණයකට ලක් කිරීමටයි. එනම්, දෙපිරිසම එකම විභාගයකට මුහුණ දුන්නා සේ සලකා අනුතැන් ගණනය කිරීමටයි.

මෙය හුදෙක් මධ්‍යන්‍ය (average) ලකුණු වලින් පමණක් කළොත් යම් පිරිසකට අසාධාරණයක් වෙනවා. උදාහරණයක් ලෙස ගණිත අංශයෙන් උසස් පෙළට පැරණි නිර්දේශයෙන් පෙනීසිටි සිසුවෙක් විෂයයන් 4 ට ලකුණු 280 ක් ලබා ගත්තා යැයි සිතමු. නව නිර්දේශය යටතේ ගණිත අංශයෙන් පෙනී සිටි සිසුවෙක් විෂයයන් 3 ට මුළු ලකුණු 210 ක් ලබා ගත්තා යැයිද සිතමු. මධ්‍යන්‍ය අනුව මේ සිසුන් දෙදෙනාගේම අනුතැන සමාන විය යුතුයි. එහෙත් මේ දෙදෙනා පෙනී සිටි ප්‍රශ්න පත්‍ර එක සමාන නෑ. උදාහරණයක් ලෙස භෞතික විද්‍යාව නව නිර්දේශ ප්‍රශ්න පත්‍රය සාපේක්ෂව පහසුයැයි සිතමු. එවිට නව නිර්දේශ සිසුන් පොදුවේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට වැඩි ලකුණු ලබා තිබෙනවා. එවිට ඉහත පැරණි නිර්දේශ සිසුවා අපහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තද, ඔහුගේ අනුතැන පහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණදුන් සිසුවාගේ අනුතැනට සමානයි. පොදුවේ ගත්තොත්, පහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණ දුන් නව නිර්දේශ සිසුන් ඉහල අනුතැන් හිමිකර ගන්නවා ඇති. මධ්‍යන්‍යය ක්‍රමයෙන් යම් සිසුන් කොට්ඨාශයකට අසාධාරණයක් වෙන බව පැහැදිලි ඇති.

කොහොමද z-ස්කෝර් හොයන්නේ?

යම් සිසුවෙක්ගේ එක් විෂයක z-ස්කෝර් එක ගණනය කරන්නේ ඒ සිසුවා ලබාගත් ලකුණු ප්‍රමාණය සියළුම සිසුන් එම විෂයට ලබාගත් සාමාන්‍ය ලකුණු ප්‍රමාණයට සාපේක්ෂවයි. z-ස්කෝර් අගය සාමාන්‍යයෙන් -4 සිට +4 දක්වා අගයක්. z-ස්කෝර් අගය 0 නම්, එම සිසුවාගේ එම විෂයේ ලකුණු ප්‍රමාණය විෂයේ මධ්‍යන්‍ය ලකුණු ගණනට සමානයි. z-ස්කෝර් අගය +1 නම් ඔහුගේ ලකුණු ප්‍රමාණය 84% සිසුන්ගේ ලකුණු වලට වඩා වැඩියි. එම අගය +2 නම්, ඔහුට වඩා අඩුවෙන් ලකුණු ගත් සිසුන් ප්‍රමාණය 97% ක්. z-ස්කෝර් අගය -1 නම්, ඔහුට වඩා අඩුවෙන් ලකුණු ගත් සිසුන් ප්‍රමාණය 16% ක් පමණයි. වැඩි z-ස්කෝර් අගයක් යනු වැඩි අනුතැනක් බව පැහැදිලි ඇති. එක් එක් විෂයට ගණනය කරන z-ස්කෝර් අගයන් මඟින් මධ්‍යන්‍ය z-ස්කෝර් අගයක් ගණනය කරනවා. ප්‍රතිඵල සටහනේ පෙන්නන්නේ මේ z-ස්කෝර් අගයයි.

z-ස්කෝර් අගය අනුව තේරීම සාධාරණද?

මධ්‍යන්‍ය ක්‍රමයේදී දුෂ්කර ලෙස නම් කළ දිස්ත්‍රික්කවල සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී වැඩි වාසියක් සිදු වුනා. z-ස්කෝර් ක්‍රමයෙන් එම වෙනස අඩුවී තිබෙනවා. කෙසේ වෙතත් 2001 සහ 2002 වසර වලදී විශ්ව විද්‍යාල ප්‍රවේශයට z-ස්කෝර් ක්‍රමය යොදාගැනීම නිසා අසාධාරණයට ලක්වූ ඇතැම් පැරණි නිර්දේශ සිසුන් අධිකරණයේ පිහිට පතා, විශ්ව විද්‍යාල වලට ඇතුල් වුනා.

z-ස්කෝර් හොයන එක අමාරුද?

සංඛ්‍යාන මෘදුකාංගයක් මඟින් z-ස්කෝර් අගයන් හොයන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. එහෙත් ජාතික සහ දිස්ත්‍රික් අනුතැන සොයද්දී නම් එක් පාඨමාලාවකට අදාල විෂය සංයෝජන ගැන සැලකිලිමත් විය යුතුයි.

මොකක්ද වුන ප්‍රශ්නය?

විභාග දෙපාර්තමේන්තුවෙන් කොතැන අනාගත්තද කියලානම් මම දන්නෙ නෑ. ඒත් විෂය නිර්දේශ දෙකකට z -ස්කෝර් ගණනය අනාගන්න තරම් සංකීර්ණ වැඩක්වත්, මීට කලින් කරල නැති වැඩක්වත් නෙවෙයි.

අනාගතේදි මොනවද වෙන්න ඕනෙ?

කෙටිකාලීනව නම් නිවැරදි z-ස්කෝර් අගයන් නිකුත් කිරීමයි. (දැනටමත් ඒක කරලා, ඒත් නිවැරදිද කියන්න නම් දන්නෙ නෑ.)

මේ ක්‍රමයේ තියෙන ලොකුම අඩුපාඩුව තමා විනිවිද නොපෙනීම. z-ස්කෝර් ක්‍රමය පටන් ගත් දිනයේ පටන් ජාතික මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් එක් එක් විෂය සඳහා මධ්‍යන්‍ය සහ සම්මත අපගමන (standard deviation) අගයන් නිකුත් කර නෑ. z-ස්කෝර් අගයන් ගණනය වඩාත් විනිවිද පෙනිය යුතුයි. මධ්‍යන්‍ය අගයන් සහ z-ස්කෝර් සූත්‍ර ප්‍රසිද්ධ කිරීම විනිවිද බවට අත්‍යාවශ්‍යයි.

රටේ සියළුම පාසල් එකම මට්ටමකට ගෙන ඒමට ගෙන ඒමට නොහැකි නිසයි දිස්ත්‍රික් කෝටා ක්‍රමය හඳුන්වා දී ඇත්තේ. එහෙත් එකම දිස්ත්‍රික්කයේ පාසල් වල වෙනස්කම් මේ ක්‍රමයෙන් සැලකිල්ලට බඳුන් වෙන්නේ නෑ. ඒ වෙනුවට වඩාත් නිවැරදි ක්‍රමයක් වන්නේ එක් එක් පාසැලට ශ්‍රේණි ක්‍රමයක් හඳුන්වාදී, ඒ අනුව කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. එවිට එකම දිස්ත්‍රික්කයේ ඇති සුපිරි පාසල් සහ අඩු පහසුකම් ඇති පාසැල් වලට එකම විදියකට සැලකීම නැති වේවි. එමෙන්ම සුපිරි පාසැල් වලට ඇති අධික ඉල්ලුම අඩුවීමටද එය උදව් වේවි.

This entry was posted in තාක්ෂණය, මතවාද and tagged , , , , , , , . Bookmark the permalink.

3 Responses to Z ස්කෝර් ගැන කෙටියෙන්

  1. නවම් says:

    අපරාදෙ මටත් නඩුවක් දාන්න තිබුනෙ…. ;)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )