නූතන උම්මග්ගය: බරණැස් නුවරුන් ලිවූ පිටපත

අපේ හිතවත් බ්ලොග්කරුවෙක් වන පිස්සා තමන්ගෙ පලාමල්ල ලෙහද්දි හමුවුන නූතන උම්මග්ග ජාතකයෙ සෙන්පෝක කථාවස්තුව ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන්. ඒ කථාවස්තුවට අදාල මුල් පුස්කොලපොත ලියලා තියෙන්නෙ බරණස්නුවර වටේට තිබ්බ එක් සියයක් රාජධානිවල රචකයෝ. (ඒ අයට මොන මොන වරප්‍රසාද ලැබුනද කියලා මම දන්නෙ නෑ.) මට හම්බු වුනා ඔය ජාතක කථාවෙ බරණස් නුවරුන් ලියපු පිටපතක්. අන්න ඒක තමා මේ.

~එකල්හි බරණැස් නුවර සශ්‍රීක රාජධානියක් වන්නේය. චූලනී බ්‍රහ්මදත්ත නම් රජෙක් ධර්මිෂ්ඨව රාජ්‍යය කරන්නාහු එරට නේක සම්පතින් ආඪ්‍යව පැවැතීය. එම සම්පතට ලොල්වූ එක් සියයක් රජ දරුවෝ එරට තමන් සන්තක කරගැන්මට නොයෙක් උපා යොදන්නාහ. උන් කිරුබාහර නම් සොර දෙටුවෙකුට අත්ලස් දී මෙසේ කියන්නාහ. “තොප බරණැස් නුවරට එරෙහිව පසල් දනව්වෙහි සෝලි කරව. අපි තොපට සිව් රඟ සේනා සම්පාදනය කරම්හ. තොපට ඇවැසි දෙයක් කර එරට රජු මරාපියව”. මෙබස් අසා කිරුබාහරයාද පසල් දනව්වෙහි සෝලි කරන්නාහ.

චූලනී රජුගේ ඇවෑමෙන් භීමකුමාර රජුද, ඉනික්බිති දීඝිති බ්‍රහ්මදත්ත රජුද, චන්ද්‍රකාන්ති රැජිණද රාජ්‍යය කරන්නා නමදු කිරුබාහර සොර දෙටුවා මරාපිය නොහැක්කේය. එක් සියයක් රජදරුවන්ගේ අත්ලස් ගෙන රටවැස්සන්ට වඤ්චා බස් දොඩා චන්ද්‍රකාන්ති රැජිණට  වේදේහ නම් (පුරුෂයෙක්)  අගමැති වන්නේය. වේදේහයාද කිරුබාහරයාද එක්සියයක් රජදරුවන්ට හිතැත්තේ බරණැස් නුවර දෙකඩ කරනට කුමන්ත්‍රණය කරන්නාහ. එක්සියයක් රජදරුවන්ගේ සහ නොමං රජුගේ බස් අසා වේදේහයා බරණැස් නුවර අසුවල් පසල් දනව්ව තොපට හිමියැයි කිරුබාහරයාට සන්නස්පත්‍රයෙන් පුදන්නාහ.

වේදේහයා කිරුබාහරයාගේ ඉස කපා සුනුවිසුණු කරනු නියා උන් සමඟ කුමන්ත්‍රණ කරනු ඉවසාපිය නොහී සෞම්‍යවංශ, ඌරුවංශ, වර්ණදැව ප්‍රමුඛ රටවැස්සෝ වේදේහයා පන්නා මැදමුලනී බ්‍රහ්මදත්ත අගමැති තනතුරට පත්කරන්නාහ. කාලයාගේ ඇවෑමෙන් මැදමුලනී බ්‍රහ්මදත්ත රජකමට පත් වන්නේය.

මෙකල්හි යුද්ධෝපායයන්හි කෙල පැමිණි සෙන්පෝක නම් පුරුෂයෙක් බරණැස් නුවර යුද සේනාවෙහි අවශේෂ නිලයක් දරන්නේ විශ්‍රාම යායුතු වියටත් එලඹිනි. සෙන්පෝකයා රාජද්‍රෝහී වනු ඇතැයි චරපුරුෂයන් පූර්ව රජුනට පැවසීම හේතෙමේ හට අවශේෂ තනතුරු ලැබීමට හේතු වූ බව දතයුතුය.  මැදමුලනී රජුගේ මළණු “අන්න පොබය” අගසෙනෙවිරත් තනතුරු දරන්නේ සෙන්පෝකගේ යුද්ධෝපායයන් මැනැවින් දත්තේය. එබැවින් මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සෙන්පෝකයා යුද සෙන්පතිඳු ලෙස නිල කර “තෙල දුෂ්ඨ වූ කිරුබාහරයා මරාපියව” යැයි අණකරලූහ.

මෙබස් අසා සෙන්පෝකයා ප්‍රමුඛ බරණැස් නුවර අටළොස් අක්ෂෞහිණියක් සෙනඟ වේරම්භ වාතයක් මෙන් දිවි නොතකා කිරුබාහරයා ප්‍රමුඛ භ්‍රෂ්ඨ සේනාව හා  සටන් වැදුණාහුය. සෙන්පෝකයාහට ඇවැසි යුද්ධෝපකරණ සහ සේනා සම්පාදනය මැදමුලනී රජු නොපමාව සිදුකරන්නාහ. වස්සාන, රෝෂණ සෙනෙවිවරුද තම සේනා හසුරවමින් කිරුබාහරයාගේ සේනාව සුණුවිසුණු කරන්නාහුය.

තම අතවැසි කිරුබාහරයාගේ සේනාව හිස්ලූ ලූ අත පැන යනු දැක නොසතුටු වූ එක්සියයක් රජදරුවෝ “බරණැස් නුවර සේනාවෝ රටවැසියා පෙලන්නාහ. කිරුබාහරයා සමඟ යුදය වහා නවතුව” යැයි ගර්ජනා කරන්ට වන්හ. අළුයම ලූ කෙලපිඬක් මෙන්, කැණහිලුන්ගේ නාදයට නොසැලෙන සිංහයෙක් මෙන් එක්සියයක් රජදරුවන්ගේ ගර්ජනා පසෙකලූ මැදමුලනී රජු “සෙන්පෝකය නොබව. තොප භ්‍රෂ්ඨ කිරුබාහරයා මැඩපියාලුව. මම තොප රක්ෂා කරන්නෙම්හ” යි වදාළහ.

දිවි නොතකා සටන් වදිනා අටළොස් අක්ෂෞහිණියක් සෙනඟ මෙහෙයවන සෙන්පෝකයා තම ඇඹේනිය හා නෑදෑ මාල්ලන් සමඟ වෙනත් රාජ්‍යයක සංචාරය කරනා’තරතුර බරණැස් නුවර සේනාවෝ කිරුබාහරයා මරාපීහ. මානයෙන් ඔජවැඩුනු සෙන්පෝකයා “කිරුබාහරයා මරාපියා රට සමනය කළේ මම්මය. වස්සාන, රෝෂණ සෙනෙවිවරු කළ දෙයක්නම් නැත්තේය. එක්සියයක් රජදරුවන්ගේ කෙණෙහිලි ඉවසා සිටියේවීද මම්මය. සේනා සම්පාදනය කළෝද  මම්මය. බෑණනුවගේ මඩිය තර කරනුවස් රටවැස්සන්ගේ කහවණු වලින් යුද්ධෝපකරණ එක් රැස් කළෝද මම්මය.  ඉදින් සියල් ප්‍රසාද මටම හිමිවිය යුත්තේය. සෙන්පති වියයුත්තේද මම්මය. අතිපාලක වියයුත්තේත් මම්මය. රජ වියයුතුත් මම්මය” යැයි සිතූහ. රජ්ජුරුවෝද සෙන්පෝකයා තුටුකරනු නියා, අතිපාලක තනතුරද, නා නා තුටුපඬුරුද ඌ හට පිදූහ. සැපසම්පතට ලොල් හෙතෙම ඒ සියල්ල මුවින් නොබැණ පිළිගත්තාහ.  සෞම්‍යවංශයා මෙකල්හි සෙන්පෝකයාහට සමීප වනුයේ, කේලාම් කියා උන් රජ්ජුරුවන් හා බිඳවාලීය.

බරණැසට දැන් සතුරු බියක් නම් නැත්තේය. මම මහාසම්මතයෙන්ම යලිදු සිංහාසනාරූඪ වෙමියි සිතා මැදමුලනී රජ්ජුරුවෝ කල්යල් බලා සිංහාසනාවරණය මෙකල්හි පවත්වම්හයි අඬබෙර ගැස්වූය. මානයෙන් ඔදවැටුනු සෙන්පෝකයා සෞම්‍යවංශයාගේ මුසාබස් අසා රාජශ්‍රීය විඳිනට මෙය කදිම අවස්ථාවකැයි සිතා මැදමුලනී රජුහට ආකෝශ පරිභවකොට අතිපාලක ධූරය හැර ලාපියා මැදමුලනී රජ්ජුරුවෝ හා සිංහාසනාවරණ තරඟයට වන්නේය.

එක්සියයක් රජදරුවන්ගේ අතවැස්සා යැයි ජනසම්මත වේදේහයාද, සෞම්‍යවංශයාද, නීලමේඝ ගඟ අසබඩ සිටි පිංගුත්තරයාද මන්ත්‍රණය කරන්නේ “අපට මැදමුලනියා හා තරඟකොට පලක් නැත්තේය. උහු හට නුවරුන්ගේ ප්‍රසාදය හිමියේය. අපද නිලතල රැකගනු යුතුය. එහෙයින් සෙන්පෝකයා සිංහාසනාවතරණයට යොදවම්හ”යි ගිවිස ගත්හ.

සෙන්පෝක තෙම උන්ගේ යටිසිත් නොදන්නේ සිංහාසනාරූඪ වීමට සිහින දැක්කෝය. හෙතෙම බරණැස් නුවරු අමතන්නේ “මා කිරබාහරයා මරාපියා ලූ පරිද්දෙන් මැදමුලනී රජුද පරදවමි. උන් ගලග්‍රහයෙන් ගෙන, පිටිතල හොවා දණ්ඩෙන් පහරදී දඟගෙයි පමුණුවමි. උන්ගේ මලණුවන්හටද එලෙසම දඬුවම් පමුණුවමි. උන්ගේ අතවැස්සනටද ඒ විපත්ම කරමි”යි කටමැත දෙඩවන්නේය.

තවද හේ තෙමේ, “කිරුබාහරයාගේ සේනාවෝ හිස් ලුලූ අත දිවයන්නේ ගොක්කොලයක් ඔසවාගෙන කඩු, කිණිසි, දුනු ඈ නානාවිධ ආයුධ අමෝරා අපගේ සේනා වෙත පැමිණියහ. එකල්හි අපගේ යෝධයනට උන්ව මරාපියාලනුවැයි අගසෙනෙවිරත් “අන්න පොබය” අණකළබවට මා හිතවත් ගිරාපෝතකයෙක් මසවනට කොඳුරාලූයැ”යි තැනින් තැන පවසමින් යන්නාහ. මෙපවත් ඇසූ එක්සියයක් රජදරුවෝ “වන්නාට, මැදමුලනී රජුරුවන්ගේ සේනාවෝ ගොක් කොල ඔසවාගෙන ආ කිරුබාහරයාගේ අහිංසකයන් තලා පෙලා මරාපුව. මෙවන් සෝලි කරනා මැදමුලනීහට රජකම් කරනට නොදිය යුත්තේයැ”යි ගර්ජනා කරන්නට වන්හ.

තවද සෙන්පෝකයා තම පසමිතුරන් මෙන්ම හිතැතියන් පරුෂවචනයෙන්ම අමතන්නේය. මැදමුලනී රජු තම රටවැසියන්හට සංවේදීවම අමතන්නේය. බරණැස් නුවරුන් මැදමුලනී රජ්ජුරුවන් සමඟ බිඳවනුරිසි සෞම්‍යවංශයාද, වේදේහයාද, පිංගුත්තරයාද “මැදමුලනී රජ්ජුරුවෝ තොපගේ රීරි මාංශද සූරාකති. උන්ගේ මලණුවෝද ඊට නොදෙවනිය. උහුද අත්ලස් ගන්නාහ. සොරකම් කරන්නාහ. උන්හට නැවතත් රජකම නොදිය යුත්තේයැ”යි  තැන තැන ආරංචි පැතිරූහ.

“බරණැස් නුවරු අඳබාලයෝ වෙති. උහු අප කියන බසක් එලෙසින්ම පිළිගන්නෝය. උන් අපගේ බස් අසා මැදමුලනී රජ්ජුරුවන් පන්නාදමා සෙන්පෝකයා රජ කරවන්නාහ. එවිට අපද මැති ඇමැත්තෝ වම්හ. අපිද රාජශ්‍රීය විඳිමින් අපගේ යසස වැඩිකරගම්හ”යි වේදේහයා ප්‍රමුඛ පිංගුත්තර සේනාව කල්පනා කළහ.

එනමුදු බරණැස් නුවරු නුවණැත්තෝ වූහ. උන් සෙන්පෝකයාගේ බස් මෙන්ම උන්ගේ සහචර රැලගේ බස්ද විමසන්නාහු “කිරුබාහරයා මැඩලූයේ සෙන්පෝකයා පමණක් නොවන්නේය. අටලොස් අක්ශෞහිණියක් සේනාවෝ උන් මැඩලූහ. සෙන්පෝකයා මෙන්ම වස්සාන, රෝෂණ සෙනෙවිරත්වරුද කිරුබාහරයා මැඩීමට එකසේ දහඩිය මුගුරු හෙළූහ. මූ කියනා බස බොරුයැ. එමෙන්ම සෙන්පෝකයා දොඩන්නේ රජෙකුට නොහොබිනා ලෙසය. එවැන්නෙක් රජකමට නොසුදුසුයැ”යි කල්පනා කළැබව දත යුතුය.

තවද “මුන් මැදමුලනී රජ්ජුරුවෝ සොරෙකැයි කියත්. මූද සොරෙක් නොවන්නේදැයි අපි නොදනිමු. මැදමුලනී රජ්ජුරුවෝ සොරකම් කළත් රටට යහපතක්ම කරන්නෝය. උන් බරණැස දියුණුවට කළැ කී දේ බොහෝය. උන් සොරකම් කළත් කිරුබාහරයා මැඩපියා අපට ඉන්නට රටක් බේරාගත්තෝය. සෙන්පෝකයා රජ වුවහොත් උන්ගේ සහචර පරගැති වේදේහයා එක් සියයක් රජදරුවන්ට මෙරට පුදන්නාහ. අපට ඉන්නට රටක්ද නොමැති වන්නේයෑ”යි රටවැස්සෝ සිතූහ.

එබැවින් බරණැස් නුවරු සිංහාසනාවතරණයෙන් එක්සියයක් රජදරුවන්ගේ ආශිර්වාදලත් සෙන්පෝකයා පරදවා මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ව නැවතත් සිංහාසනාරූඪ කරවූහ. එතැන්පටන් මැදමුලනී රජු නැවතත් සංවේදීව රාජ්‍යය විචාරන්නට වන්නාහ.

සෙන්පෝකයා පරාජය දරාගත නොහී දණ්ඩෙන් පහරලත් සර්පයෙක්සේ කිපී “මැදමුලනී වංචාවෙන් සිංහාසනාරූඪ වූහ. සිංහාසනාරූඪ වියයුත්තේ මම්මය. නුවරු මාගේ බස් අසනට දහස් ගණනින් එක්-රොක් වූහ. එහෙයින් මා පරාජය වීම පිළිගත නොහැක්කක්මයැ”යි අඳෝනා කීහ. තවද හේ තෙමේ “එක්සියයක් රජදරුවනි, මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සිංහාසනයෙන් පහකළ යුත්තේය. වහ වහා සුදුසු පිළිවෙත් කරවු” යැයි පණිවුඩ යැව්වෝය.

සෞම්‍යවංශයාද පරාජය වසාගනු නියා “මැදමුලනී රජ්ජුරුවෝ සිංහාසනාවතරණය ජයග්‍රහණය කළේ භක්ෂිශීල කළ ජිල්මාට් නම් උපක්‍රමයෙකි. සෙන්පෝකයා කෙසේ පරාජයවුනුදැයි අපහට හරියට නොවැටහේ. අපි බරණැස්නුවර තැන් තැන්හි සෝලි තබම්හ”යි පැවසූහ. වේදේහයෝද මෙබසට එකඟවන්නාහ.

එක්සියයක් රජදරුවෝ තම උපායය වැරදීම සඟවනුවස් සිංහාසනාවතරණය ලේඛනගත කරන්නේ “මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ යළිත් සිංහාසනාරූඪ වනුයේ ජිල්මාට් නම් උපක්‍රමයකින් යැයි දතයුතුය” යැයි ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා සටහන් කර තබම්හ. ~

ප.ලි. පිස්සාණෙනි, ඔබගේ බුද්ධිමය දේපල සොරකම් කිරීමට කමාවන මැනවි. ඔබගේ කථාවස්තුවේ චරිත මේ කථාවස්තුවේද එනමින්ම සටහන්ව ඇත. ඔබ ඊට එරෙහිවනු ඇතැටි නොසිතමි.

Advertisements

13 thoughts on “නූතන උම්මග්ගය: බරණැස් නුවරුන් ලිවූ පිටපත”

  1. නියමයි. පැරණි ඉංගිරිසි (old English) වලින් ලියන කොට “ශඃ මාරයි, උගෙ කඩ්ඩ සිරා” කියාත්, පැරණි සිංහළයෙන් මොනව හරි ලියුවොත් “මේ මොන කුණුහරුපයක් ද, තේරෙන බාසාවෙං කියපං” කියාත් කියන සමාජයක, ඔබත්, පිස්සාත් දෙ දෙනාම දුලබ සම්පත් දෙකකි. දෙ දෙනාට ම මගේ හිස නමා ආචාර කරමි.

  2. උම්මග්ගෙ කොපි කරන්න හැදුවට සින්හල දනුම මදි වගේ ඔහේගෙ…කේලම් කියපු කෙනෙකුගෙ අත් අකුරු කොහොම දකින්නද ! කේලම් ලියල එවන්න එපැයි අත් අකුරු දකින්න …එහෙම නේද…හික්ස්…හික්ස්

    1. මගේ සිංහල දැනුම මදි තමා. මොකෝ මම සිංහල පඬියෙක් නෙවෙයිනෙ. මගේ සිංහල දැනුම මට හොඳටම ඇති.
      මම ඇහුවේ ගිරාපෝතකයා කියපු කේලාම් දැක්කද කියල නෙවෙයි, කේලම් කියපු ගිරා පෝතකයගෙ අත් අකුරු ඇඳින්නෙ නැද්ද කියලයි. මේ දෙකේ වෙනස තේරුම් ගන්න බැරි නෑ සිංහල දන්න කෙනෙකුට මගෙ හිතේ. රජගෙදර පරෙයියෙක්ගේ අත් අකුරු අඳුනන්න පුළුවන්නම් ගිරා පෝතකයෙක්ගේ අත්අකුරු අඳුනන්න බැරි එක්කො ඇස් වහගෙන. එහෙම නැත්නම් දැක්කත් නොදැක්ක වගේ ඉන්නවා.

    1. මට එසේ කියන්නට අනුන්ගෙ නමක් හොරකම් කරපු ඔබට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? අඩුම තරමේ තමන්ගෙ නමින්වත් පෙනී ඉන්න බැරි අය කියන දේවල් පිළිගන්නෙත් කැළෑ පත්තර වගේ වෙබ් අඩවි, බ්ලොග් ලියන උදවියම තමා.

  3. Anuradha Ratnaweera :
    නියමයි. පැරණි ඉංගිරිසි (old English) වලින් ලියන කොට “ශඃ මාරයි, උගෙ කඩ්ඩ සිරා” කියාත්, පැරණි සිංහළයෙන් මොනව හරි ලියුවොත් “මේ මොන කුණුහරුපයක් ද, තේරෙන බාසාවෙං කියපං” කියාත් කියන සමාජයක, ඔබත්, පිස්සාත් දෙ දෙනාම දුලබ සම්පත් දෙකකි. දෙ දෙනාට ම මගේ හිස නමා ආචාර කරමි.

    සම්පත් දෙකක් වුවත් එකක් පුස් කා ඇති බවක් පේන්න තියෙන එක කණගාටුවට කරුණක්. සත්‍යයය විකෘති කර පෙන්වන්නට ඉතිහාසයෙන් අරන් අඹරන්න යන එක ඒ තරම් සාර්ථක නෑ. මොකද විකෘති කරන ලද ඉතිහාසය හඳුනා ගන්න පහසුයි. හොඳම වැඩේ බටහිර උපක්‍රමය භාවිතා කරන එක. කාටවත් තේරෙන්නේ නැති සංකල්ප 02 03ක් පටලවන්න ගත්තම හරි. හරියට beyond frame වගේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )