මං ආස නෑ

පිස්සාගෙ පලාමල්ලෙ තිබී හමුවුන නූතන උම්මග්ග ජාතකයේ සෙන්පෝක කථාවස්තුවේ බරණැස් නුවරුන් ලියූ පිටපත ගැන පිස්සා මෙසේ කියයි. එය කියවා මසිතට නැඟුනු සිතුවිලි මෙසේ සටහන් කරමි.

පළමුවම පිස්සන් දෙදෙනෙකුගෙන් පලාමල්ල ලියනා පිස්සා වෙනුවට පිස්සාගේ ලෝකය ලියන පිස්සාගේ පිටුවට සබැඳියක් යොදාගැනීම පිළිබඳව සමාව අයැදිමි. එයින් පිස්සාගේ ලෝකය ලියන පිස්සාට හෝ පලාමල්ල ලියන පිස්සාට යම් අපහසුතාවයක් වූයේ නම් මගේ කණගාටුව පළකර සිටිමි. එම වරද දැන් නිවැරදි කර ඇත. බ්ලොග්කරණයට මෑතකදී අත්පොත් තැබූ මම පිස්සන් දෙදෙනෙක් බ්ලොග්කරණයෙහි යෙදීම පිළිබඳව නොදැන සිටීම ගැන කණගාටු වෙමි. උපාධිධරයෝද සාමාන්‍ය මනුෂ්‍යයෝ මිස සෑම දෙයක්ම නිවැරදිව කරනා රොබෝ යන්ත්‍ර හෝ අති විශේෂ පුද්ගලයෝ නොවෙති. මම එය නිහතමානීව පිළිගනිමි.

පිස්සා පවසන පරිදි හොඳින් හෝ නරකින් ඔහුගේ කටයුත්තකට බාධා කිරීම මගේ අභිප්‍රාය  නොවේ. බ්ලොග්කරණයෙන් මා සතුටුවන අතර, වෙනත් අයෙකුගේ සතුටට බාධාවක් වීමට අපේක්ෂා නොකරමි. මගේ බ්ලොගයට යන-එන පිරිස වැඩිකරගැනීමටවත්, අදහස් දක්වන පිරිස වැඩිකරගැනීමවත්, තවෙකෙකුගේ බ්ලොගයකට බාධා කිරීමවත් මගේ අරමුණ නොවේ. මම දේශපාලනික බ්ලොග් ලියන්නෙක්ද නොවෙමි.

එකම තේමාවකට රාමුවී බ්ලොග් ලියන්නෙක්ද නොවන නිසා පිස්සාගේ සෙන්පෝක කථාවස්තුව කියැවීමෙන් මසිතට පැමිණි අදහස් කීපයක් ඉහත ලිපියේ සටහන් කර තැබීමි. පිස්සාගේ සෙන්පෝක කථාවස්තුවේ චරිත මගේ සිතුවිල්ලටද යොදාගත්තේ පාඨකයින්ගේ පහසුව සඳහාය. එය හොර කොපියක් ලෙස හැඳින්විය හැකිදැයි තීරණය කිරීම පාඨක ඔබටම භාර කරමි. හොර කොපි පලකිරීමට තරම් නිර්මාණ අහේනියකින් නොපෙලෙමි. හොර කොපියකත් නිර්මාණාත්මක සංස්කරණයකත් වෙනසක් හඳුනාගැන්මට බුද්ධිමත් පාඨකයිනට හැකිය.

පන්සිය පනස් ජාතක කථා පොතේ උම්මග්ග ජාතකය මෙන් දිගැති කථා ලිවීමට හෝ, සමහරක් බ්ලොග් කරුවන් මෙන් (බ්ලොගය කියවන්නන් රඳවාගැනීමටදෝ) කොටස් සහිතව කථා ලිවීමට අකමැති නිසා සරම කැහැපට ගසාගෙන නොව කලිසම දෙකකුල් වැසෙන සේ ඇඳගෙන මගේ කථාව අවසන් කළෙමි. මගේ කථාව අවසන්වූ හෙයින් පිස්සාගේ කථා අවසන් කළයුතුයැයි අදහස් නොවනබව බුද්ධිමත් පාඨකයාට වැටහෙනු ඇත. හොරාට කලින් කෙසෙල් කැන වැට පැන ඇත්තේ, ගොනා හැරෙන්නේ කෙසෙල් පැලය කන්නට බව හොඳින්ම දන්නා නිසාය.

අන්වර්ථ නාමයකින් පෙනීසිටින පිස්සා මෙන් නොව, මගේ අනන්‍යතාවය රහසක් නොවේ. (අවශ්‍ය අයට දැනගත හැකිය.) එබැවින් මා උපාධිධරයෙක් බව නොසඟවා පසවමි. එය ආභරණයක් කරගැනීමටවත්, අඩුපාඩුවක් ලෙස පෙන්වීමටවත් උත්සාහ නොගනිමි. මාහටද පිස්සායැයි ආමන්ත්‍රණය කිරීම ගැනද අබමල් රේණුවකින්වත් නොතැවෙමි. (අපි සියල්ලෝම උන්මත්තකයින් බව බුදුවදනට අනුව මම පිළිගනිමි.) එහෙත් මා හැඳින්වීමට “උපාධිධාරී” යන්න නැවත නැවතත් යොදාගන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම බුද්ධිමත් පාඨකයිනටම භාර කරමි.

මා සරසවියට පිවිසුනේ කටපාඩම් කිරීමෙන් නොවන බවත්, කිසිවෙකුට ගැති නොවන බවත්, කිසිවෙකුටවත් කඩේ නොයන බවත් පිස්සාගේ ලිපියට ප්‍රතිචාර සපයන ඉන්දික සොයුරාට කාරුණිකව දන්වා සිටිමි. (සරසවි යන වෙනත් අයට මෙය අදාලද යන්න නොදනිමි.) මගේ පැටිකිරිය මෙහි සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් මට නැත.

මා බ්ලොග් ලියන්නේ පිස්සාගේ පලාමල්ලට පිළිතුරු සැපයීමට නොවනබව මෙහි යන-එන සහෘද පාඨකයෝ දනිති. එබැවින් පිස්සාගේ පලාමල්ලේ ඇති කතන්දරවලට පිළිතුරු (පිස්සා කියනා පරිදි හොර කොපි ) සැපයීම මාගේ රාජකාරිය නොවේ. මා හටද වෙනත් රාජකාරි ඇත. අවශ්‍යනම් එය පරාජය පිළිගැනීමක් ලෙස හැඳින්වීමට පිස්සාට හැකිය. තව තවත් ඔහුගේ ඔරිජිනල් හෙවත් මුල් පිටපත් පොත් ලිවීමට පිස්සාටම භාර කරමින් මට කීමට ඇත්තේ පිස්සන්ගේ වැඩවලට අකුල් හෙලමින් හොඳින් හෝ නරකින් පිස්සු කථා අවසන් කිරීමටවත්, විකල්ප පිස්සු කථා තවත් ලිවීමටවත්  “මං ආස නෑ” බවය.

Advertisements

10 thoughts on “මං ආස නෑ”

  1. නදී මම මේ ඔයාගේ ලිපිය දැක්කේ දැනුයි.
    මට මුකුත් තේරුනේ නෑනේ.

    මම මේ පිස්සාගේ ලෝකය ලියන පිස්සා.
    මම දේශපාලනයක් ගැන මෙලෝ හත්තිලව්වක් දන්නේ නෑ..

    මම ලියන්න දන්නේ මඤඤං දේවල් විතරයි. ඔය ලොකු ලොකු දේවල් මම දන්නේ නෑ.
    මොනවා හරි දෙයක් මම නිසා උනානම් සමාවෙන්න.

    1. කලබල වෙන්න දෙයක් නෑ. මම පලාමල්ල ලියන පිස්සා කියලා ඔබගේ බ්ලොගයට ලින්ක් එකක් දාලා. මගෙයි වැරැද්ද. පොඩි පැටලීමක්. ඔයා සමාව ඉල්ලන්න අවශ්‍ය නෑ. මමයි සමාව ඉල්ලන්න ඕනෑ.

  2. මහත්තයො…ඔබතුමා ගිරවකු නොවූ බවත් කාටවත් කඩේ නොයන බවත් ඇසීම සතුටකි. එහෙත් තවකකුගේ නිර්මානයක් අමු අමුවේම පිටපත් කර තම අදහස එලියට දැමීමට ඔබ කල උත්සාහය දෙස තමන්ගේම නිර්මානාත්මක හකියාවක් නැති කඩේ යන්නෙකුගේ පීච්න් වැඩක් ලෙස මිස මහා නිර්මානයක් කරමින් පාඨකයා පිනවන දක්ශයකුගේ වැඩක් ලෙස මටනම් දැකිය නොහැක.
    94 දී චන්ද්රිේකා බලයට පත් කරන්නට දුන්නාට පසු කිසිදු ජනපතිවරයකුට චන්දය නොදුන් (දීමට අවස්තාවක් නොලද ) , දේශපාලනයෙන් කිසිදු වාසි හෝ පුද්ගලිකව විශේශ අවාසියක් හෝ නොලද මට ඔබ දෙදෙනාගේම දෙශපාලනයෙන් ඇති වැඩක් නැත. එහෙත් අලුත් ආකාරයකින් තම මතය ප්රදකාශ කරන්නට උත්සාහ ගන්නා පිස්සා ( ඔබ මෙන්ම මාද ඔහු කවුදැයි නොදන්නෙමි ) වැන්නවුන් අප රැක ගත යුතුය. එමෙන්ම ඔබට එයට විරුද්දව අදස් ප්රදකාශ කිරීමේ ඇති අයිතිය ගැනද කිසිදු තර්කයක් නැතිමුත් ඒ සන්දහා නිර්මාන අමු අමුවේම සොරා ගනීම නම් කිසිසේත්ම අනුමත කල නොහැක.
    කවියා රසය හැර ගනියි
    කුකවියා අර්තය හැර ගනියි
    සොරා පදය හැර ගනියි …….යන්න මා අසා ඇති සාහිත්යයයි. මෙයින් ඔබ අයිති කුමන කුලකයටදැයි ඔබත් අන්යෝත් තුමූම අවබෝද කරගනිත්වා.

  3. මිනිස්සුන්ට වරදිනවා. ඒක ස්වාභාවිකයි. ඔබයින් අවශය දේ ඉගෙන ගත්තා නං, අවශය එපමනයි. සමහර විට අපි කරන් උපකල්පන අපේ පැත්තෙන් හරියි කියලා හිතුනාට, ඒක එහෙම නොවෙන්න ඉඩ තියනවා.

    මම අහලා තියනවා, ඔය යාචකයන් අතරේ එගොල්ලන්ගෙ දේශ සීමා ( වැයික්කිය) තියනවාලු. වැරදිලා හරි වෙන පොරක් නොදන්නකමට හරි ඒකට ආවොත්, බඩුම තමා. මේවායෙන් පෙන්නන්නෙ අප අතර තියන කුහකකම තමා. මේක මම ඉල්ලන් කෑමක් වෙන්නත් පුලුවන්, ඒත් මම හිතන්නෙ, අපි ඉන්න ඕනෙ වැටිච්ච මිනිහාට හුරේ දාන පැත්තෙ නං නොවෙයි කියලායි.

    ඔය ජාතක ශෙයලිය ප්‍රාණභුක්ති කාරයන්ට තියා ගන්න කියලා, ඔයා දිගටම ලියන්න. මට හිතෙනවා අපිට ඔබගෙන් ඊට වඩා වැදගත් ලිපි ඉදිරියට ලැබෙයි කියලා.

  4. මගේ අදහස කරුණාවෙන් බාර ගන්න.

    පිස්සා ගේ නූතන උම්මග්ග ජාතකය මුල සිටම කියෙව්වා. ඒ රචනය විශිෂ්ඨයි. උත්ප්‍රාසය දනවයි.

    නදී ලියූ බරණැස් පිටපත ද කියෙව්වා. මෙයද හොඳ නිර්මාණයකි. දෙදෙනාගේ දේශපාලන අදහස් වල පරස්පර බව තමා ලොකුම වෙනස.

    පිස්සා අප ද කියවා ඇති උම්මග්ග ජාතකය අනුකරණය කර තම නිර්මාණය කළා. නදී, ඒ පොත ද, පිස්සා ගේ නව නිර්මාණයද අනුකරණය කළා. ඒ බව පැවසූවා.

    මට නම් ලොකු අවුලක් නොපෙනේ. පිස්සෝ දිගටම ලියනු. නදී හැකි නම් කණපිටක සූත්‍රය ද ලියනු.

    නදී – කෝ ඌරුවංශයා මුල දී සිටියාට පස්සේ නැත්තේ ඇයි?

    කතන්දරකාරයා

    1. ප්‍රතිචාරයට ස්තුතියි. පිස්සාගේ නිර්මාණය තරම් මගේ නිර්මාණය භාෂාවෙන් අලංකෘත නොවන බව පිළිගනිමි. මා සිංහලෙන් ලියනුයේ වසර ගණනකට පසු වීම සහ උම්මග්ගය දශකයකින් පමණ ඇසුරු කරන්නට නොලැබීම ඊට හේතුවයැයි සිතමි. මා අති දක්ෂ සිංහල ලේඛකයෙක් නොවීමද හේතුව විය හැකිය.
      ඌරුවංශයා මෙන්ම වර්ණදැව යන චරිතද අවශේෂ චරිත බව ඔබට වැටහෙනු ඇති.
      අවශ්‍යනම් කණපිටක සූත්‍රයද ලිවිය හැකිය. නමුත් නොලියමි. නිර්මාණ හොරෙක්යැයි හංවඩු ගසනු ලැබීමට මහට අවශ්‍ය නොවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )