ස්වයංක්‍රීයකරණය | Automation -2

ස්වයංක්‍රීයකරණය ගැන මූලික කරුණු කීපයක් මීට පෙර ලිපියකින් කථා කළා. ඒක බලන්න මෙතනට යන්න. කර්මාන්තාශ්‍රිත ස්වයංක්‍රීයකරණය ගැනයි අපි මුලින්ම අවධානය යොමු කරන්නෙ.

හිතන්න ඔබගේ රැකියාව බෝතලයකට සිසිල්බීම නිශ්චිත ප්‍රමාණයක් පුරවා එහි මූඩිය වැසීම යැයි කියා. මෙම කාර්යය කිරීමේදී ඔබ ශාරීරිකව වෙහෙස වනවා නේද? එපමණක් නොවේ, එකම කාර්යය නැවත නැවතත් කිරීමේදී ඔබ මානසික ආතතියකට ලක් වෙනවා නේද? එවිට වැරැද්දක් වීමට ඇති ඉඩකඩද වැඩිවන බව පැහැදිලිවනු ඇති.

බෝතලයට පුරවන බීම ප්‍රමාණය සලකමු. සෑමවිටම එකම බීම ප්‍රමාණයක් බෝතලයකට පිරවීමට මිනිසෙකුට අපහසුයි නේද? මඳක් අඩුවෙන් හෝ වැඩියෙන් බීම පුරවන අවස්ථා සුලබ වනු ඇති. හිතන්න ඔබ මිලිලීටර් 1 ක් වැඩි බීම ප්‍රමාණයක් බෝතලයට පිරෙව්වා කියා. ඔබ දවසට බෝතල් 1000ක් පුරවනවානම්, මිලිලීටර් 1000ක් ඔබ වැඩිපුර පාවිච්චි කර තිබෙනවා. එවිට එහි පාඩුව නිෂ්පාදන සමාගමට නේද?

අපි බලමු ස්වයංක්‍රීයකරණය කරන්න හේතු කීපයක්.

1. මිනිස් ශ්‍රමය ඵලදායීව යොදාගැනීමට. (මිනිසෙකුව සිසිල්බීම ඇසිරීම වැනි ශ්‍රමය අවශ්‍ය වන කටයුත්තකට නොව, යන්ත්‍ර නඩත්තුව, බීම අසුරන යන්ත්‍ර ගණනාවක් ක්‍රියාත්මක කිරීම වැනි ඵලදායක කටයුත්තකට යොදාගන්න පුළුවන්.)

2. ශ්‍රමය සඳහා යන වියදම අඩුකර ගැනීමට. (වැඩි බෝතල් ප්‍රමාණයක් ඇසිරීමට මිනිසුන් වැඩියෙන් යොදාගන්නවා වෙනුවට ස්වයංක්‍රීය යන්ත්‍රයක් සහ එය නිරීක්ෂණය කිරීමට මිනිසෙක් යොදාගැනීම වාසිදායකයි.)

3. ශ්‍රමය හිඟකම නිසා ඇතිවන ගැටළු අවමකරගැනීමට. (ශ්‍රමිකයන් සොයාගැනීමට අපහසු අවස්ථාවලදී විසඳුමක් ලෙස. මෙය දියුණු රටවල මෙන්ම අපේ රටේද කෘෂිකාර්මික ආදී ක්ෂේත්‍රවල තිබෙන ප්‍රශ්නයක්.)

4. සේවකයාගේ සුරක්ෂිතභාවය වැඩිදියුණුකිරීමට. (අනතුරුදායක ස්ථානවල වැඩකිරීම සහ අන්තරාදායක යන්ත්‍ර-සූත්‍ර හැසිරවීම අවම කිරීමෙන්.)

5. භාණ්ඩයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට. (මිනිසාගෙන් සිදුවන වැරදීම් නිසා එකම ප්‍රමිතියක් ලබා ගැනීම අපහස්වයංක්‍රීයකරණය නොකළයුතු අවස්ථාසු වුවත් ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතයෙන් එකම සහ ඉහල ප්‍රමිතියකින් යුතු භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පුළුවන්.)

6. නිෂ්පාදනයට යන කාලය අවම කරගැනීමට. (මිනිසාට වඩා වේගවත්ව ක්‍රියාත්මකවීමට යන්ත්‍රවලට හැකියි.)

7. මිනිස් (ශාරීරික ) හැකියාවන් වලට නොහැකි ක්‍රියාවලි ඉටුකිරීමට. (ඉතා වේගවත් ක්‍රියාවලි කීපයක් සිදුකිරීමට අවශ්‍ය වූ විට.)

8. නිෂ්පාදන වියදම අඩු කිරීමට. (වැඩි බෝතල් ප්‍රමාණයක් අඩු වෙලාවකින්, අඩු ශ්‍රමයකින් ඇසුරුම් කිරීම ලාභදායකයි.)

9. සාම්ප්‍රදායිකව සිදුකළ නොවැදගත් ක්‍රියා අවම කිරීමට හෝ වැලැක්වීමට. (නිපදවූ භාණ්ඩ ප්‍රමාණය ගණනය, එය කොලයක සටහන් කිරීම, එය පරිගණකයට දත්ත ලෙස ඇතුල් කිරීම යන සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට භාණ්ඩ ප්‍රමාණය ස්වයංක්‍රීයව ගණනයවී පරිගණකයට එම දත්ත සැණෙකින් ලබාගැනීම උදාහරණයක්.)

මේ වගේ කාරණා නිසා තමයි කර්මාන්තාශ්‍රිතව ස්වයංක්‍රීයකරණය සිදුකරන්නෙ.

ලොව අංක එකේ ආර්ථිකයට හිමිකම් කියන ඇමරිකාවට සාපේක්ෂව අඩු ජනගහනයක් සිටින ජපානය ලොව දෙවැනි ආර්ථික බලවතා වීමටත්,  ජර්මනිය නිෂ්පාදන දැවැන්තයෙක් වීමටත් මූලික හේතුවක් ඒ රටවල ස්වයංක්‍රීයකරණය (කර්මාන්තාශ්‍රිතව සහ වෙනත් කටයුතුවලටද) බහුලව යොදාගැනීම.

ස්වයංක්‍රීයකරණය නොකළයුතු අවස්ථාත් නැතිවම නොවෙයි.

1. අතිශය සංකීර්ණ අවස්ථා. (දැනට ඇති තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රීයකරණ කිරීමට අපහසු අවස්ථා වලදී නව තාක්ෂණය සොයාගැනීමට අවශ්‍ය වන නිසා සහ ඒ සඳහා අධික වියදමක් යන නිසා ස්වයංක්‍රීයකරණය නොකර සිටීම වාසිදායකයි.)

2. භාණ්ඩ සීමිත ප්‍රමාණයක් පමණක් නිෂ්පාදනය කරන විටදී සහ භාණ්ඩය ගැනුම්කරුට අවශ්‍යලෙස වෙනස් කළහැකි විටදී. (සුඛෝපබෝගී බෝට්ටු (Yatch) වැනි සීමිත සංඛ්‍යාවක් නිපදවන, ගැණුම්කරුගේ කැමැත්ත පරිදි වෙනස් කරන භාණ්ඩ ස්වයංක්‍රීයව නිපදවීම අවාසිදායකයි.)

3. භාණ්ඩ නිපදවන කාලසීමාව කෙටි හෝ අනිශ්චිත විටදී. (ඉතා කෙටි කාලසීමාවක් පමණක් නිපදවන භාණ්ඩ  නිෂ්පාදනය ස්වයංක්‍රීයකරණය සඳහා ආයෝජනය කිරීම ආර්ථිකව අවාසිදායක විය හැකියි.)

4. ස්වයංක්‍රීයකරණය සඳහා විශාල මූලික ආයෝජනයක් කළයුතු නිසා. (මෙම වියදම දීර්ඝකාලයක් භාණ්ඩ නිපදවීමෙන් නැවත උපයාගත හැකිවුවත්, මූලික ආයෝජනය අපහසු අවස්ථාවලදී.)

යන්ත්‍රවලට සාපේක්ෂව මිනිසා ඇතැම් අංශවලින් ඉදිරියෙන් ඉන්නවා.
1. බලාපොරොත්තු නොවන අවස්ථා නිරීක්ෂණය කළ හැකිවීම.
2. ගැටළුවලට නව විසඳුම් ලබාදීමේ හැකියාව.
3. වියුක්ත ගැටළු විසඳීමේ හැකියාව.
4. වෙනස්කම් වලට පහසුවෙන් හුරුවිය හැකිවීම.
5. නිරීක්ෂණවලින් සමස්ත නිගමනයකට ඒමට හැකිවීම.
6. අත්දැකීම්වලින් ඉගෙනගැනීමේ හැකියාව.
7. සම්පූර්ණ නොවූ දත්ත භාවිතයෙන් අසීරු තීරණ ගැනීමේ හැකියාව.

මිනිසාට සාපේක්ෂව යන්ත්‍රවල හැකියාවන් ටිකක් තමයි මේ.

1. නැවත නැවත කළයුතු දේ වෙහෙසකින් තොරව, නොවෙනස්ව කිරීමේ හැකියාව.
2. පිළිපැදියයුතු උපදෙස් ඇතුළුව, දත්ත විශාල ප්‍රමාණයක් මතකයේ තබාගත හැකිවීම.
3. උපදෙස් සහ දත්ත පහසුවෙන්, විශ්වාසදායීව කියැවීමේ හැකියාව.
4. එක්වරකට ක්‍රියා කීපයක් කිරීමේ හැකියාව.
5. විශාල බලයන්, වේගයන් ලබාදේමේ හැකියාව.
6. ගණනයකිරීම් විශාල සංඛ්‍යාවක් කෙටි කාලයකින් කිරීමේ හැකියාව.
7. නිතර කළයුතු දේ ගැන තීරණ ඉක්මනින් ගැනීමට හැකිවීම.

ස්වයංක්‍රීයකරණයෙන් කර්මාන්තශාලා හිමියාටනම් වාසි ගොඩක් ලැබෙනවා. ඒත් සේවකයාට ලැබෙන වාසි මොනවාද?

1. වෙහෙස මහන්සිවී කළයුතු වැඩ ප්‍රමාණය අවම වීම.
2. නැවත නැවත කළ යුතු වැඩ අඩු වීමෙන් මානසික ආතතිය අවම වීම.
3. “ඇසුරුම්කරු” වැනි තනතුරක් වෙනුවට “යන්ත්‍ර ක්‍රියාකරු” වැනි තනතුරක් ලැබීම (සහ එයින් ඇතිවන චිත්තප්‍රීතිය.)
4. වැඩි වගකීමක් ඉෂ්ඨ කරන නිසා වැඩි වේතනයක් ලබාගැනීමට හැකියාව.
5. සුරක්ෂිත වටපිටාවක වැඩකිරීමට හැකිවීම.

කර්මාන්ත වලින් නිපදවන දේ විවිධයි. කාර්, විදුලි උපකරණ, පෑන් ආදී වෙන්කරගතහැකි දේ (Discrete Products) නිපදවන කර්මාන්තශාලාවල සහ ගෑස්, තෙල් ආදී දියරමය දේ  (Liquid /bulk products) නිපදවන කර්මාන්තශාලාවල ක්‍රියාකාරීත්වය බොහෝ වෙනස්කම්වලින් යුක්තයි. තවත් සමහරක් කර්මාන්තශාලා දියරමය දේ හසුරවන අතර අවසානයේ ඒවා වෙන්කරගතහැකි ඇසුරුම්වල බහාලනවා. උදාහරණ ලෙස සිසිල් බීම කර්මාන්තශාලා සැලකිය හැකියි. මේ එකිනෙකට වෙනස් කර්මාන්තශාලාවල යොදාගන්නා ස්වයංක්‍රීයකරණ කරමත් සෑහෙන වෙනස්කම් වලින් යුක්තයි. ඒ ගැන විස්තර තවත් ලිපියකින් කථාකරමු.

පින්තූර ගත්තෙ මේ තැන් වලින්.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )