සීට් බෙල්ට් එපාද

ලංකාවෙ තමන්ටම කියලා වාහනයක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද? මෝටර් සයිකලයක්වත් නැති පවුල් කොච්චර ඉන්නවද? එහෙව් එකේ සීට් බෙල්ට් ගැන මොකට කථා කරනවද කියලා හිතෙයි.

රටේ වැඩි පිරිසක් පොදු ප්‍රවාහන පහසුකම් යොදාගත්තත් පුද්ගලික වාහන වලින් යන අයත් තරමක් ඉන්නවනෙ. පුද්ගලික වාහනවල ගමන් කරන අය වැඩි ප්‍රමාණයක් වාහනයේ ආරක්ෂක පටි, තේරෙන විදියට කියනවා නම් සීට් බෙල්ට් (Seat Belt) තිබ්බත් ඒවා පාවිච්චි කරන්නෙ නෑ.

වාහනවල (මේ කිව්වේ රෝද 4 හෝ ඊට වැඩි වාහන ගැනයි) යන අයට ආරක්ෂක පටි පළඳින නීතියක් ගේන එක ආණ්ඩුවෙන් ගැන ගිය අවුරුද්දෙ කථාවුනා. ඒක ක්‍රියාත්මක වුනෙ නෑ මම දන්න විදියටනම්. ඒත් ඉතින් වාහනවල යන අයට ආරක්ෂක පටි පැළඳගෙන යන්න තහනමක් නෑනෙ.

සමහරු සීට් බෙල්ට් දාන්නෙ නැත්තෙ තමන් සුරක්ෂිතව රිය පදවන නිසා අනතුරක් සිදුනොවන බව ඇති විශ්වාසයටයි. ඔබ සුරක්ෂිතව රිය පැදෙව්වත්, වෙනත් අයෙක් ඔබේ වාහනයේ තම රථය හැප්පුවොත් මොකද වෙන්නෙ?

තවත් සමහරු හිතන්නෙ සීට් බෙල්ට් දදා ඉන්න ගියාම පරක්කු වෙනවා කියලයි. සීට් බෙල්ට් එක දාන්න තත්පර 30ක් යයි උපරිම. (හුඟක් වෙලාවට තත්පර 10 යි.) ඒ තත්පර 30 ද වටින්නෙ, එහෙම නැත්නම් අනතුරක් වුනොත් වෙන්න පුළුවන් හානිය වලක්වාගැනීමද?

“සීට් බෙල්ට් ඕනවෙන්නෙ පැයට කි. මී. 100 ක විතර වේගෙන් යනකොට විතරයි”. මේ සමහරු හිතන් ඉන්න හැටි. පැයට කි.මී. 50 ක වේගයෙන් ගොස් ගසක හෝ ලයිට් කණුවක හැපෙන වාහනයක සිටින (ආරක්ෂිත පටි නොපැළඳි) අයෙක් තමන්ගෙ සිරුරේ බර මෙන් 30 ගුණයක බලයකින් ඉදිරියට විසිවන බව ඔබ දන්නවාද? ආරක්ෂිත පටියක් පැළඳීමෙන් මෙම බලය 5 ගුණයකින්වත් අඩුකරගත හැකියි.

රිය අනතුරකදී ඇතිවන බලයන් පිළිබඳව භෞතික විද්‍යාත්මක විස්තර පහත සබැඳියෙන් බලාගත හැකියි.

http://hyperphysics.phy-astr.gsu.edu/Hbase/carcr2.html#cc1

ඔය ෆිසික්ස් (Physics) ගණන් හිලව් තේරෙන්නෙ නැත්නම් මේ වීඩියෝ එක බලන්නකෝ.

වාහනයක් ගන්න ගියාම සමහරු මුලින්ම බලන්නෙ ඒකෙ තියන ආරක්ෂිත ක්‍රම-විධි (Safety features). Airbags, ABS, ESC, Dynamic Steering, TPMS මෙකී නොකී හැමදේම තියනවද කියලා බලනවා. Full Option වාහනම හොයන්නෙ ඒකනෙ. ඒත් ලාභම වාහනේකත් තියන, වැදගත්ම ආරක්ෂක උපකරණය වන සීට් බෙල්ට් එක පාවිච්චි කරන්න හිතන්නෙවත් නෑ. Airbag තියනවා නම් ඔක්කොම හරි කියලයි සමහරු හිතන්නෙ. ඒත් airbag වල ප්‍රයෝජනේ තියෙන්නෙ සීට් බෙල්ට් එක්ක ඒක පාවිච්චි කරනකොට කියන කාරණේ සමහරු දන්නෙ නෑ. (Airbags වලට කියන්නෙ SRS- Supplemental Restraint Systems කියලනෙ. මේ Supplemental කියන්නෙ පරිපූරක-අමතර උපකරණයක් බවත්, ප්‍රධාන උපකරණය සීට් බෙල්ට් බවත් නොදන්න අය බොහොමයි.)

ලංකාවෙ අවුරුද්දකට මාරාන්තික රිය අනතුරු 2000 කට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයන් 2300 කට ආසන්න ගණනක් මියයනවා. ඒ කියන්නෙ එක දවසකට 6 දෙනෙකුටත් වැඩියි. තුවාල ලබන ප්‍රමාණය 20,000 කටත් වැඩියි. [1] ඒ සියළුදෙනාම පුද්ගලික රථවල යන අය නොවුනත්, කීපදෙනෙක් හෝ පුද්ගලික රථවාහන අනතුරු වලින් ආපදාවලට ලක් වෙනවා. ආරක්ෂක පටි පැළඳීම මඟින් විපතට පත්වන ප්‍රමාණය තරමක් හෝ අඩු කරගත හැකියි.

රිය අනතුරුවලින් තුවාල ලබන්නන් ප්‍රතිකාර ලබන්නේ රජයේ රෝහල් වලින් නම්, ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට යන වියදම දරන්නේ බදු ගෙවන මහජනතාවයි. එයට පාපැදියක්වත් හිමි නැති, බස් සහ දුම්රියවල පමණක් ගමන් කරන දුප්පතාද දායක වෙනවා. හිතන්න, ඔබේ නොසැලකිලිමත්කම නිසා ආරක්ෂක පටි නොපැළඳීමෙන් අනතුරකට ලක් වී රෝහල්ගත වුවහොත් ඔබ රටේ ජනතාවට බරක් වෙනවා නේද? (මැති-ඇමතිවරු කරන නාස්තිය මීට වැඩියි කීම නිදහසට කාරණයක්ද?)

ලෝකෙ රටවල් ගණනාවක වාහනවල යද්දි ආරක්ෂක පටි පැළඳීම අනිවාර්යයි. හයිවේ (Highway) නැති අපේ රටේ මොන සීට් බෙල්ට්ද කියලා හිතන අය හිටියත් තමන්ගෙ ආරක්ෂාව ගැන හිතන අය ආරක්ෂක පටි දාගෙන යනවා නීති තිබ්බත් නැතත්.

[1]. http://www.iatss.or.jp/pdf/research/30/30-1-12.pdf

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

http://en.wikipedia.org/wiki/File:Seatbelt.svg

Advertisements

19 thoughts on “සීට් බෙල්ට් එපාද”

  1. ඔබ කියනවා වගේ තත්පර 10 යි තමයි යන්නේ එත් හැමෝම පරැක්කු වෙනවා කියලා කිව්වට ඉක්මන කොටයි කියලා කතාවකුත් තියෙනවනේ නේද ලිපිය හොදයි එත් කරැවත් පිලි පදියිද කියන එක තමයි ප්‍රශ්නේ

  2. නදී,
    මමත් උදේට රෝද දෙක උඩ වාඩිවෙලා කළුපාට බෑග් එක දාගත්තතම සීට් බෙල්ට් දාපු වගේ තමයි පේන්නෙ. ඔයාගේ ලිපිය නම් හරිම වැදගත් බොහෝ දෙනාට තමන්ගෙ ඇස් හරියට ඇරෙන්නෙ මේ වගේ දෙයක් දැක්කම තමයි.
    සුභ දවසක්

  3. මම නම් පුරුද්දක් විදිහට සීට් බෙල්ට් දානවා. යාළුවෙක්ගෙ වාහනේක ගියත් අනිවාර්යයෙන්ම සීට් බෙල්ට් එක දානවා. තමන්ගේ හිතේ හීනමානයක් තියෙන අය තමයි සීට් බෙල්ට් දාන්න කැමති නැත්තේ. හැබැයි මේ ලඟදී පොඩි ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා. අපි අඳුරන කෙනෙක්ගෙ වාහනයක් ඇක්සිඩන්ට් වුණා. එයාට දැන් හොඳටම අමාරුයි. දොස්තරලා කිව්වේ සීට් බෙල්ට් දාගෙන හිටියනම් එයා මැරෙනවා කියලා. එයා බේරිලා තියෙන්නේ සීට් බෙල්ට්ස් දාගෙන හිටපු නැති නිසා. අනේ මන්දා මොනව කරන්නද කියලා…….

    1. සමහර දොස්තරලා ඔය කථාව කියනවා මම අහලා තියනවා. ඒත් ඒගොල්ලො එහෙම කියන්නෙ මොන පදනමින්ද කියන එකයි මට තියෙන ගැටළුව. (එයාල එහෙම කළාද දන්නෙ නෑනෙ.)
      සීට් බෙල්ට් නොදා ඉන්න එක හොඳ අවස්ථාවක් තමා බර වාහනයක යන වෙලාවක ඒක හෙලකට වැටෙන්න යනවනම් වගේ. බර වාහනයක් නිසා සීට් බෙල්ට් නොදැම්මත් මුහුණට මුහුණ ගැටුමකදි වුනත් බේරෙන්න ඉඩක් තියනවා. හෙලකට වැටෙන්න යනකොට ඉක්මනට පිටට (හෙලට නෙවේ) පනින්න පුළුවන් සීට් බෙල්ට් එක නැති නිසා.
      හැම වෙලේම සීට් බෙල්ට් දාන එක හොඳ පුරුද්දක් උදිත.

  4. මම දන්න හිතවතෙක් රිය අනතුරකින් මැරුණා සීට් බෙල්ට් දාගෙන ගියේ නැති නිසා. එයා ගිය වාහනය පෙරලිලා වහලේ උඩ තියෙන අර සන්රූෆ් එකෙන් එලියට ඇවිත් දරුණු ලෙස තුවාල ලබා තිබුනා. කරුමේ කියන්නෙ මේ හාදයා වෙනදාට නම් හැමදාම සීට් බෙල්ට් දාගෙන වාහනේ යන අනෙක් අයටත් බලෙන් හරි සීට් බෙල්ට් දම්මවනවාලු. සීට් බෙල්ට් නොමැතිව ගොස් අනතුරකට භාජනය වුනොත් ඔය එයාර් බෑග් පද්ධතිය නිසා ජීවිතයක් ආරක්‍ෂා වෙනවට වඩා ජීවිත හානි වෙන්න අවස්ථාව වැඩි බවයි මම අහල තියෙන්නෙ.

    http://www.chronicle.pitt.edu/media/pcc040719/seatbelt_airbag.html

    1. ඇත්ත. සීට් බෙල්ට් නැතිව එයාර් බෑග් වලින් විතරක් ආරක්ෂා වෙනවා නෙවෙයි, හානි සිද්ධ වෙනවා. වාහන නිෂ්පාදකයො එයාර් බෑග් නිපදවන්නෙ සීට් බෙල්ට් එක අනිවාර්යයෙන් දානවා කියල උපකල්පනය කරලනෙ.

  5. මම නම් අනිවාර්යයෙන්ම ඩ්‍රයිව් කරන්නේ සීට් බෙල්ට් දාලා. එකක් එහෙම නොදා ඩ්‍රයිව් කරන්න යනකොට වාහනේ කෑ ගහනවා. අනික කොහොමත් සීට් බෙල්ට් එකක වටිනාකම මම දන්නවා. හොඳ ලිපියක්….

  6. අළුත් වාහන වල එයාර් බෑග්ස් වැඩ කරන්නේ සීට් බෙල්ට්ස් දාල තියෙනවනම් විතරයි. සීට් බෙල්ට්ස් දාලා නැත්නම් ඇක්සිඩන්ට් එකකදි එයාර් බෑග්ස් වැඩ කරන්නේ නැහැ.

    අර මම කලින් කියපු ඇක්සිඩන්ට් එකේදි ඒ පුද්ගලයා හිටපු සීට් එක ගැලවිලා ඉස්සරහට වීසි වෙලා. ඉතින් සීට් බෙල්ට් දාගෙන හිටියනම් එයා හිර වෙලා සුෂුම්නාව කැඩිලා මැරෙනවා ( දොස්තරලා කියන විදිහට ). සීට් බෙල්ට් එක දාගෙන හිටපු නැති නිසා එයා සීට් එකෙන් අහකට විසි වෙලා. ඒකයි එයාගේ ජීවිතේ බේරිලා තියෙන්නේ. ඒත් කොන්දට හානි වෙලා.

    කොහොම උනත් සීට් බෙල්ට් එක කියන්නේ සම්පූර්ණ ආරක්ෂණ ක්‍රමයක් නෙවෙයි. අනතුරේ ස්වභාවය අනුව සීට් බෙල්ට්ස් නිසා ජීවිත ආරක්ෂා වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )