බබාලට කාර් සීට්

වාහනවල ගමන්කරනකොට ආරක්ෂක පටි හෙවත් සීට් බෙල්ට් පැළඳීමේ වැදගත්කම ගැන කලින් කථා කළානෙ. වැඩිහිටියන්ට ආරක්ෂක පටි පළඳින්න පුළුවන් උනාට පොඩි ළමයින්ට- විශේෂයෙන්ම ළදරුවන්ට- වාහනයේ තියන ආරක්ෂක පටි පළඳින්න බැහැනෙ. ඔවුන්ගෙ ආරක්ෂාවට විශේෂයෙන් සැලසුම්කළ ළදරු කාර් සීට් (Infant Car Seat) පාවිච්චි කරන්න ඕනෙ.

ලංකාවෙ ගොඩක් දෙනා ළදරුවන්ව වාහනවල යනකොට අතේ තමයි අරන් යන්නෙ. දරුවන්ව අතේ අරන් යන එක ආරක්ෂිතයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක බලලම තේරුම් ගන්නකෝ ඒක කොච්චර අනාරක්ෂිතද කියලා.

බස්-දුම්රිය වල යන යටත්, රෝද දෙකේ සහ තුනේ රථවල යන අයටත් වෙන විකල්පයක් නැති වුනාට කාර්, වෑන් වගේ පුද්ගලික වාහන වල යන අයට ළදරුවන්ව වඩාත් ආරක්ෂිතව අරන් යන්න පුළුවන් කාර් සීට් වල දාගෙන යනවා නම්. ඇමරිකාවෙ කළ අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා, කාර් සීට් භාවිතා කළහොත් කාර් වල ගමන් කරන ළදරුවන් (අත දරුවන්) අනතුරකදී මරණයට පත්වීමේ අවදානම 71% කිනුත්, අවුරුදු 1-4 දක්වා දරුවන් අනතුරකදී මරණයට පත්වීමේ අවදානම 54% කිනුත් අඩුවන බව.

මූලිකව කාර් සීට් වර්ග තුනක් විවිධ වයස්වල දරුවන් සඳහා පාවිච්චි කරනවා.

1. පසුපසට මුහුණලන ළදරු (Rear facing infant) කාර් සීට් . : මේවා යොදාගන්නේ වයස අවුරුදු 1 ට සහ බර කි.ග්‍රෑ. 10 ට අඩු ළදරුවන් සඳහායි. පසුපසට මුහුණලූ පරිවර්ත්‍ය (Rear facing convertible) කාර් සීට්.: මේ කාර් සීට් වර්ගය බිළිඳුන් සඳහා මෙන්ම වයස අවුරුදු 1 ට හා බර කි.ග්‍රෑ. 10ට වැඩි දරුවන් පසුපසට මුහුණලා ගමන් කරවීමට යොදාගත හැකියි.

2. ඉදිරියට මුහුණලූ පරිවර්ත්‍ය (Forward facing convertible) කාර් සීට් සහ ඉදිරියට මුහුණලන (Forward facing) කාර් සීට් : මේවා වයස අවුරුදු 1 ට වැඩි, පසුපසට මුහුණලන කාර් සීට් වල ගමන් කළ නොහැකි දරුවන් සඳහා යොදාගන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 6 දක්වා දරුවන්ට මේවායේ ගමන් කළ හැකියි.

3. උස වැඩිකරන වර්ගයේ (Booster) කාර් සීට් : ඉදිරියට මූණලන කාර් සීට් වල ගමන් කළ නොහැකි, නමුත් වැඩිහිටි සීට් බෙල්ට් පාවිච්චි කිරීමට නොහැකි දරුවන් සඳහායි මේවා පාවිච්චි කරන්නෙ. සාමාන්‍යයෙන් උස 4’9″ ට අඩු අවුරුදු 4-12 දක්වා දරුවන් මේ වර්ගයේ කාර් සීට් වල ගමන් කරනවා.

සමහර රටවල වාහනවල ළමුන් ගෙනයාම සඳහා කාර් සීට් පාවිච්චි කරන එක නීතිගත කරලා තියනවා. ඉපදුන ගමන් කිරිකැටි දරුවන්වත් ඉස්පිරිතාලෙ ඉඳලා ගෙදර ගේන ඕනෙ කාර් සීට් එකේ දාගෙනයි. (කාර් සීට් එකක් නැත්නම් ළමයව ගෙදර ගෙනියන්න දෙන්න නෑ කියනවනෙ!).

මේ කාර් සීට් සවිකරන්න හොඳම තැන ලෙස සලකන්නෙ කාර් එකක නම් පිටුපස ආසනයේ මැද.  එයාර් බෑග් තියන තැන්වල කාර් සීට් සවිකරන එක හොඳ නැහැ. ඒ අනතුරකදි එයාර් බෑග් වේගයෙන් පිම්බෙනකොට ළමයින්ට හානිවෙන්න පුළුවන් නිසයි. (පැති-තිර (Side curtain) එයාර් බෑග්වලට මේක අදාල නෑ.) මේ හේතුව නිසා වයස අවුරුදු 12ට අඩු ළමයින්ව කාර්වල පසුපස අසුනේ පමණක් රැගෙන යන ලෙසට උපදෙස් දෙනවා.

අනතුරකදී ළමුන්ගේ හිස, බෙල්ල සහ කොඳුඇට පෙළට වැඩි ආරක්ෂාවක් සැපයීමට ඉදිරිපසට මුහුණලූ කාර් සීට් වලට වඩා පසුපසට මුහුණලූ කාර් සීට් සමත්. ඒ නිසා හැකි තරම් කල් දරුවන්ව පසුපසට මුහුණලූ කාර් සීට්වල රැගෙන යෑම වැදගත්. මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙයි ඔය දෙකේ වෙනස.

දරුවෙක් අරන් වාහනේ යනකොට තියන තව ප්‍රශ්නයක්නෙ එලවන්නයි, ළමයව අරන් යන්නයි දෙන්නක් අවශ්‍ය වීම. කාර් සීට් පාවිච්චි කරන එකෙන් ඒ වැඩෙත් ලේසි වෙනවා. (ආරක්ෂාව තමා ඒ ඔක්කොටම වඩා වැදගත්.)

අපේ රටේ දෙමව්පියො තමන්ටත් වඩා දරුවන්ට ආදරෙයිනෙ. (පුද්ගලික) වාහනවල යනකොට තමන් ආරක්ෂක පටි පැළඳුවෙ නැතත් දරුවන්ට ආදරේ නම් කාර් සීට් එකක් පාවිච්චි කරන්න. ඉඳල-හිටල විතරක් පාවිච්චි කරන ප්‍රෑම් (Pram), ස්ට්‍රෝලර් (Stroller) ගන්න සල්ලි වියදම් කරන එක වෙනුවට දරුවෙක්ව වාහනේ අරන් යනකොට ආරක්ෂිතව අරන් යන්න පුළුවන් කාර් සීට් එකක් මිලට ගන්න එක හොඳයි නේද?.

කන්න-බොන්න නැතිව දරුවන්ව ගඟට විසි කරන රටේ, වාහනවල යන අයගෙ දරුවන්ව තවත් ආරක්ෂා කරන හැටි කියන ලිපි ලියන එකද කරන්නෙ ඕනෙ කියල හිතුනත්, කාට හෝ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසයි මේ ලිපිය ලිව්වෙ.

පින්තූර ගත්තෙ මෙතනින්.

http://www.healthychildren.org/English/safety-prevention/on-the-go/pages/Car-Safety-Seats-Information-for-Families-2010.aspx

Advertisements

“බබාලට කාර් සීට්” වෙත සිතුවිලි 3ක්

  1. බොහොම හොද ලිපිය. වෙන රටවල ඉස්පිරිතාලෙන් බබා ගෙදර ගෙනියනකොට නර්ස් නෝනා එනවා වාහනේ හරි වර්ගයේ කාර් සීට් එක තියනවාද බලන්න. නැතිව ලමයා ගෙදර ගෙනියන්න බැහැ.

    කාර් සීටි නොවෙයී, අපේ රටේ ලමයි තුන් දෙනාම මෝටර්සයීකලේ තියාගෙන වෙට්ටු දදා යන හැටි දැක්කහම ඇග පත හීතල වෙනවා. අපේ බ්ලොග් කියවාපු ඉන්දියාවෙ ගෑනු ලමයෙක් පහුගිය දෝහේ ලීවා ඇගේ අයීයාගේ පොඩු කොලූ ඉන්දියාවෙදි මැරුණු හැටි. ඒ කාර් සීට් එකෙ ලමයා තියලා, මොඩ කමට කාර් සීට් එක වැඩට ඉන්න මනුස්සයාට ඔඩොක්කුවේ තියාගෙන යන්න කියලා. මම හිතන්නේ ඉන්දියාවෙ කාර් වල කාර් සීට් හයීකරන්න බකල් එක නැතිව ඇති. හරියට කාර් සීට් එකක් හයීකරන්න පසු පස අසුනේ ඊට ගැලපෙන සීට් බෙල්ට් එකක් නැත්තම්, කොක්කක් තියෙන්නෙ ඕනේ. හයී ඒස් වල ඕවා කොයීන්ද. බඩු පටවන්න හදපු වාහනනේ. ඒකනේ හැප්පුනහම කට්ටිය දත් සෙට් එක අතේ තියාගෙන යන්නෙ.

    1. සමහර දෙමව්පියො මහමඟදි තමන්ගෙත්, දරුවන්ගෙත් ආරක්ෂාව ගැන හිතනවා මදි.
      කාර් සීට් ගොඩක් සාමාන්‍ය සීට් බෙල්ට් වලින් හයි කරන්න පුළුවන්. ඉන්දියාවෙ කොහොමද දන්නෑ.
      මමත් ඇහුවා ඔය වගේ කතාවක්. ඇමරිකාවෙ කාර් සීට් අනිවාර්යයිනෙ. ඇමරිකාවෙ ඉන්න ලංකාවෙ අම්මා කෙනෙක් ළමයට රිදෙයි කියලා එයාව අතේ අරන් පිටිපස්සෙ සීට් එකේ යනවලු. පොලිසියෙන් ඉන්නවා දැක්කොත් දඩි බිඩි ගාලා ළමයව දානවලු කාර් සීට් එකට. ඒකත් අර සමහරු හෙල්මට් එක අතේ දාගෙන ගිහින් පොලීසියෙන් ඉන්නව දැක්කහම ඔළුවට දාගන්නව වගේ තමා. අනතුරක් වෙනකොට ලෑස්ති වෙන්න වෙලාවක් නෑ කියලා ඒ අය දන්නෙ නැතිව ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )