ඇමරිකාවෙ ක්ලිනික්

අපේ කැදල්ලට එකතුවුන අලුත් සාමාජිකයට නමක් තිබ්බ හැටි කලින් කිව්වනෙ.

ඒ හාදයා අම්මගෙ බඩ ඇතුලට ආව කියලා දැනගත්තහම අපිට සතුටක් වගේම බයකිත් දැනුනා. එතකොට ඇමරිකාවට ඇවිත් ටික දවසයි. ඒ රටේ පාරෙ යන-එන හැටි පවා වෙනස්. ඒවට පුරුදු වෙන්නත් ටිකදවසක් යනවා. ඉතින් දරුවෙක් ලැබෙන එක ගැන කවර කතාද?

අපි ආවෙ ඉගෙනගන්නනෙ. මුලින්ම ඒ විශ්වවිද්‍යාලෙ සෞඛ්‍ය මධ්‍යස්ථානයට යන්න ඕනෙ මොන ලෙඩේට වුනත්. එතැනට ගියාම ඒ අය මූලික පරීක්ෂණ කරලා අපිව යොමු කළා ප්‍රසව-නාරිවේද (Obstetrician/Gynecologist) වෛද්‍යවරයෙක් ගාවට, එතැන ඒ පහසුකම් නැති නිසා. වෛද්‍යවරු එන තැන් දෙකක් කිව්වා අපිට තෝරගන්න. එකක් අපි ඉන්න නගරයේම තියන ක්ලිනික් එකක් (සායනය කිව්වහම අපේ අයට තේරෙන්නෙ නෑනෙ), අනික සැතපුම් 10 ක් විතර ඈතින් තියන නගරයක ක්ලිනික් එකක්. දුර තියන ක්ලිනික් වලට යන්න වෙලාව යනව විතරක් නෙවෙයි, වාහනත් එපායැ. අපිට කොහෙන්ද වාහන. ඒ නිසා ලඟ තියන තැනට යන්න තීරණය කළා.

මෙහෙ හිතුන වෙලාවට වෛද්‍යවරු හමුවෙන්න යන්න බැහැ. ඒකට නියමිත වෙලාවක් වෙන්කරගන්න ඕනෙ. (ලංකාවෙත් චැනල් කරන්න යන්න වෙලාවල් ගන්න ඕනෙනෙ.) ඉතින් අපිත් වෙලාවක් දාගෙන, පාරත් අමාරුවෙන් හොයාගෙන නියමිත වෙලාවට අදාල තැනට ගියා. මුලින්ම කරන්න වුනෙ සෞඛ්‍ය රක්ෂණ විස්තර දෙන එක. ඇමරිකාවෙ සෞඛ්‍ය සේවය හොඳවුනාට මිල අධිකයි. සෞඛ්‍ය රක්ෂණයක් නැතිව ලෙඩවෙන එක හිතන්නවත් හොඳ නෑ. (බිල දැකලා වෙන ලෙඩක් හැදෙනවා.)

ඊට පස්සෙ බබාගෙ අම්මගෙ උස-බර එහෙම මැන්නා. ඒ වැඩ කරන්නෙ හෙද සහායිකාවො. ඊට පස්සෙ ගියෙ හෙදියක් ගාවට. ගැබ් කාලය ගණනය කරලා පරිලෝකන පරීක්ෂණයක් (Ultrasound scan) කළා ඇය විසින්ම.  ලංකාවෙනම් විකිරණවේදී (Radiologist) වෛද්‍යවරයෙක්නෙ ඒ වැඩේ කරන්නෙ. බබාගෙ හදගැස්ම අහන්නත් පුළුවන් වුනා.

ඒ හෙදිය අපෙන් ඇහුවා බබා පිරිමි දරුවෙක්ද, ගැහැනු දරුවෙක්ද කියලා කියන්නද කියලා. අපි අපහසුතාවයට පත් වුනා එතැනදි, මොකද ලංකාවෙනම් ඒක කියන්නෙ ගැබට මාස 7 ක් විතර ගියාමනෙ. ඒ කියන්නෙත් “පිරිමි/ගැහැණු බබෙක් වගේ” කියලා සැකයක් ඉතුරු කරලනෙ. අපි ඒ වෙලාවෙ නම් කිව්වා දැනට ඕනෙ නෑ දැනගන්න කියලා. (ඒත් ඊලඟ පරීක්ෂණයෙදි නම් දැනගත්තා.) ඇමරිකාවෙ පොඩි ක්ලිනික් එකක වුනත් හැම පහසුකමක්ම වගේ තියනවා. මිල අධික උපකරණ යොදාගන්නවා හැම දේටම. ඒ විතරක් නෙවෙයි පරීක්ෂණ මහා ගොඩක් කරනවා පොඩි ලෙඩකටත්. (උපකරණ නැත්තම් වෛද්‍යවරු නිකමුන් වෙනවා කියල හිතෙනවා.)

වෛද්‍යවරයා ගාවට යොමු කරන්නෙ හෙදිය විසින් ඔක්කොම විස්තර කොලේක පිරෙව්වට පස්සෙ. ඒක කියවලා එන වෛද්‍යවරයට හරිම ලේසියි රෝගියව පරීක්ෂා කරන්න. ලංකාවෙ බබාලව හම්බුවෙන්න ඉන්නකොට චැනල් කරලා හොඳම ඩොක්ටර් කෙනෙක්වනෙ අල්ලන්නෙ. අපි ගිය ක්ලිනික් එකේ වෛද්‍යවරු එක්කෙනෙක් නෙවෙයි පහක්ම ඉන්නවා. ඒ අය කණ්ඩායමක් විදියටයි වැඩ කරන්නෙ. කීපදෙනෙක් රෝහලේ වැඩකරන අතරෙ අනිත් අය ක්ලිනික් එකේ වැඩ. ක්ලිනික් එක රෑ වෙනකම් නෑ ලංකාවෙ චැනල් සෙන්ටර් වගේ. වෛද්‍යවරුත් විවේක ගන්න ඕනැනෙ.

වෛද්‍යවරයා/වරිය බොහොම සුහදශීලියි. ඊලඟ ලෙඩාව බලන්න යන්න හිතන් නෙවෙයි අපි ගාවට එන්නෙ. අපිට යම් කාලයක් වෙන් කරලනෙ තියෙන්නෙ. ඒ කාලයෙදි හොඳට ලෙඩාව පරීක්ෂා කරලා, ප්‍රශ්න වලට උත්තර දීලා, හිතත් හදලා තමයි යන්නෙ. අපිට ක්ලිනික් ගිය කාලය පුරා වෛද්‍යවරු පස් දෙනාම මුණගැහුනා. ප්‍රසූතිය වෙලාවෙ ඉන්න අපි කැමති වෛද්‍යවරයෙක් තෝරගන්න ඉඩ දෙනවා.

ක්ලිනික් එකට ගිය දෙවනි දවසෙදි හෙදියක් එක්ක ගොඩක් වෙලා කථා කරන්න අවස්ථාව දුන්නා. අපිට තියන ප්‍රශ්න අහලා විසඳගන්න ඒක හොඳ අවස්ථාවක් වුනා. බබාගෙ අම්මගෙයි, තාත්තගෙයි සෞඛ්‍ය ඉතිහාසය ගැනත් ගොඩක් විස්තර අහලා සටහන් කරගත්තා. ඒ වෙන්න පුළුවන් සංකීර්ණතා ගැන අවබෝධයක් ලබාගන්නයි. (ඒ විතරක් නෙවෙයි, ආච්චිලා සීයලාගෙ සෞඛ්‍ය විස්තරත් ඇහුවා.) සෞඛ්‍ය විස්තර බොහොම රහසිගතයි. ඒ කියන්නෙ රෝගියාගෙ විස්තර වෙනත් පාර්ශවයකට දෙන්න නෑ රෝගියාගෙ අනුදැනුමක් නැතිව. ඒ නිසා අපේ සෞඛ්‍ය විස්තර දෙන එකගැන බයවෙන්න දෙයක් නෑ.

අපි ඉන්න නගරෙම තිබුනත් ගොඩක් දුර පයින් යන්න ඕනෙ ක්ලිනික් එකට. ඒ නිසා අපිට ඔය ගමන යන්නම වාහන කට්ටක් ගන්නත් වුනා.  ඔන්න ඔහොමයි අපි ඇමරිකාවෙ ක්ලිනික් ගියෙ.

Advertisements

“ඇමරිකාවෙ ක්ලිනික්” වෙත සිතුවිලි 8ක්

  1. ඉගෙන ගන්න ආවා නම් ඒ වැඩේ කරන්න එපැයි. මෙතන ලමයි හදන්න තියාගත්තේ. මොනවා උනත් ඇමෙරිකාවෙ ලෙඩ වෙනවට වඩා හොඳයි මැරෙන එක. අපිට හදිස්සියෙ අසනීප උනොත් හැමදාම යන දොස්තර ගාවට යන්න බැහැ. ඌ කඩේ වහල ගෙදර ගිහින් ඉතින් පලයන් emergency room ගිහින් ගෙවන්න ඔනේ $1000 හරි 2000 හරි.

    1. අපේ ජීවිතය serial process එකක් නෙවෙයිනෙ. ඒක parallel process එකක්. අපිට එකපාර වැඩ ගොඩක නිරත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිත කාල 3-4 ක් ඉන්න වෙයි ඉගෙනගෙන, විවාහ වෙලා, ගෙවල් හදලා, දරුවො හදලා, සමාජයටත් වැඩක් කරන්න. වැඩිදුර ඉගෙනීම කරන හුඟක් අය දරු සුරතල් බලනවා.

    1. අපි ගිය එකේ නම් එකපාර 2-3 කට වඩා හිටියෙ නෑ. (ඒ කියන්නෙ පැයකට 4-5 ක් විතර මම හිතන්නෙ.)
      හැබැයි මේ ක්ලිනික් එක උදේ ඉඳන් හවස් වෙනකම් තියනවා, සතියට දවස් 4 ක්ම.
      අපි ගිය ක්ලිනික් එක වගේ නැති, රජයෙන් පවත්වන ඒවටත් එන අය ඉන්නවා. (ඒවට යන්න පුරවැසිභාවය තියෙන්න එපායැ.) ඒ තැන්වල තත්ත්වය නම් දන්නෙ නැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )