පොලීසියට එහෙම කරන්නත් පුළුවන්ද

මීට වසර කීපයකට පෙර ජාතික පුවත්පතක පලවූ කථාවක් මෑතකදී වෙනත් ප්‍රවෘත්තියක් කියැවීමේදී සිහි වුනා. (ඒ ප්‍රවෘත්තිය ගැන වෙනම කියන්නම්.) මේ කථාව මට මතක විදියට මෙහෙමයි.

කොළඹින් ඈත පළාතක උසාවියක නඩු වලට පෙනී සිටින නීතීඥයෙක් හමුවීමට තරුණ යුවලක් පැමිණියා. ඒ ඔවුන්ට දික්කසාදයක් ලබාගැනීමට නඩුවක් ගොනු කිරීමටයි. නීතීඥ මහතා ඔවුන්ගෙන් දික්කසාදවීමට හේතුව කුමක්දැයි විමසුවා. “අපි දෙන්නා විවාහ වුනේ අපේ කැමැත්තට නෙවෙයි සර්. අපේ ජීවිත වෙන වෙනම ගෙනියන්න ඕනෙ නිසයි දික්කසාද වෙන්න ඕන වෙලා තියෙන්නෙ.” තරුණයා හඬ අවදි කළා. තවදුරටත් විස්තර විමසූ නීතීඥයාට ඔවුන් පැවසූ කථාව මෙහෙමයි.

ඔහු පෞද්ගලික ආයතනයක් සේවය කරන අයෙක්. ඔහුට පෙම්වතියක් සිටියා. ඔහු ඒ පෙම්වතිය හා විවාහ ගිවිසගෙනයි සිටියේ. මේ අතරතුර වෙනත් මිතුරෙකුගේ විවාහ මංගල්‍යයකට ගිය අවස්ථාවකදී ඔහුට ඇය (පසුව ඔහු විවාහ වන තරුණිය) නෙත ගැටුනා. ඔවුන් දෙදෙනා අතර නෙත්සර හුවමාරුවකින් පසුව කෙටි කථාබහක් සිදු වුනා. ඒ කථාබහ අවසන් වුනේ ඊලඟ සති අන්තයේ නගරයේ තැනකදී මුණගැසීමේ පොරොන්දුවක් සමගින්.

පොරොන්දු වූ පරිදි ඔවුන් දෙදෙනා ඊලඟ සති අන්තයේදී මුණ ගැසුනා. එහිදී ඔහු තමා විවාහ ගිවිසගෙන ඇතිබව ඇයට හෙලි කළා. ඇයට එය ප්‍රශ්නයක් වුනේ නැහැ. ඔහු සමඟින් සතුටු වීමට කැමති බව ඇය හෙලි කළා. ඔහුත් ඇය සමඟ හාද වූයේ ඒ බලාපොරොත්තුවෙන්මයි. දෙදෙනාම නගරයේ ලැගුම්හලකට පියමැන්නේ දවසේ ඉතිරිය ගෙවීමටයි. දවස අවසානයේ ඔවුන් දෙදෙනාම වෙන්ව ගියේ නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන්.

මේ ලෙස ඔවුන්ගේ ඇසුර මාස කිහිපයක්ම කෙරීගෙන ගියා. ඔහු විවාහ ගිවිසගත් පෙම්වතිය හෝ පවුලේ කිසිවෙක් මේ කිසිවක් දැන සිටියේ නැහැ. ඇයගේ පවුලේ කිසිවෙකුත් මේ කිසිවක් දැන සිටියේ නෑ. ඔහුගේ විවාහ මංගල්‍ය දිනයද ටික ටික ලං වූවා.

එක දිනෙක ඔවුන් දෙදෙනා සූපුරුදු පරිදි හමුවූයේ ලැගුම්හලේදීයි. ඔවුන්ගේ ජීවිත වෙනස් වුනේ ඒ ලැගුම්හලට පොලීසිය කඩාවැදීමෙන්. ලැගුම්හලේ පෙම් සුව විඳිමින් සිටි ජෝඩු කීපයක්ම පොලිස් අත්අඩංගුවට පත් වුනා. ඒ අය අතරින් සමහරක් විවාහ බිරිඳට හෝ සැමියාට වංචා කරමින් අනියම් ඇසුරක් පවත්වන අය. තවත් අය විවාහ නොවූ තරුණ ජෝඩු. පොලිස් අත්අඩංගුවට පත් අනියම් ඇසුරුකම් පැවැත්වූ විවාහකයන්ගේ විවාහක සැමියා හෝ බිරිඳ පොලීසියට ගෙන්වා ඔවුන්ට අවවාදකොට මුදාහැරීමට පොලීසිය ක්‍රියා කළා.

විවාහ නොවූ ජෝඩු වලට පොලිස් නිලධාරීන් තෝරාගැනීමට විසඳුම් දෙකක් ඉතිරිපත් කළා. එකක් දෙපාර්ශවයේම දෙමව්පියන් ගෙන්වා ඔවුන්ට භාර දීම. අනෙක වහාම විවාහ වීම. ඇතැම් අය දෙමව්පියන්ට භාරවීමට තීරණය කළත් මේ කථා නායකයාට සහ නායිකාවට ඔවුන්ගේ සම්බන්ධයදෙමව්පියන් නිවෙස් වලට හෙලිදරව් වීමට ඉඩදීමේ හැකියාවක් තිබුනේ නෑ. ඔවුන්ගේ ජීවිත වෙන වෙනම ගලායමින් තිබීම ඊට හේතුවයි. ඒ නිසා ඔවුනොවුන් හා විවාහ වීමට කිසිදිනෙක බලාපොරොත්තු නොවුනත්,පොලීසියේ බලකිරීම මත ඔවුන් දෙදෙනා හදිසියේම විවාහ වූයේ ඇතිවන ගැටළු පසුව විසඳාගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි.

ඔවුන්ගේ පවුල්වලට රහසින්, ඔහුගේ විවාහ මංගල්‍යයට පෙර දික්කසාදවීමට ඒ දෙපලට අවශ්‍යවීම නිසයි ඉහත සඳහන් පරිදි ඔවුන්ගේ ගම් පළාතෙන් දුර බැහැර ප්‍රදේශයක උසාවියකදී දික්කසාද නඩුවක් ගොණුකිරීමට නීතීඥ මහතෙක් හමු වුනේ. ඔවුන්ගේ කථාව අවසන් වූයේ “පොලීසිය කළදේ හරිද සර්?” පැනයත් සමඟින්.

පුවත්පතේ මා කියැවූ කථාව එයයි. එහි සත්‍යාසත්‍යතාවය හෝ ඒ යුවලට ඉන්පසු සිදුවූයේ කුමක්ද යන්න ගැන මා දන්නේ නෑ. එහෙත් ලංකාවේ පොලීසියකින් මෙබඳු සිදුවීමක් සිදුවීමට ඉඩකඩ ඇති බවයි මගේ විශ්වාසය. ඒ සිදුවීම සත්‍යබව සිතමු. ඒ දෙපල කළ දේ හරිද, වැරදිද? හෝ සදාචාර සම්පන්නද, නැතිද? යන්න වෙනම කාරණයක්. කෙසේවෙතත් මේ කථාවත් සමඟ මසිතට ආ සිතුවිලි කීපයක් මේ.

  • ස්වයං තීරණ ගත හැකි, වැඩිහිටි යුවලකට ඒ ආකාරයේ බලපෑම් කිරීමට පොලීසියට අයිතියක්, බලයක් තිබේද? පොලීසිය කළ දේ හරිද?
  • ඒ තරුණයා ඔහුගේ පෙම්වතිය හා විවාහවීම ස්ථිරව තිබියදී වෙනත් තරුණියක් ඇසුරු කළේ ඇයි? ඒ සම්බන්ධ සමාජමය ගැටළුවක් තිබේද?
  • අවිවාහක තරුණියකට තමන් කැමති අයෙක් හා සබඳකම් පැවැත්වීමට නොහැකිද? ඇයගේ දෙමව්පියන්ට ඒ බව දැනුම් දීම කළ යුතුද?
  • අවිවාහක (සහ වයස 16ට වැඩි ) තරුණ-තරුණියන් ලැගුම්හල්වල පෙම්සුව විඳීම නීති විරෝධීද? පොලීසිය ඔවුන් අත් අඩංගුවට ගන්නේ ඇයි?

මේ ගැන ඔබට හිතෙන්නේ කුමක්ද?

Advertisements

76 thoughts on “පොලීසියට එහෙම කරන්නත් පුළුවන්ද”

  1. උන් කරපු වැඩේ නම් වැරදියි. ඒත් මම හිතන්නෙ පොලිසියට 16ට වැඩි අයට බලපෑම් කරන්න බෑ වගේම, ඒ දෙන්නත් කසාද බැඳීමට එරෙහිව කතාකරන්න ඕන. එයාල ඊට එරෙහි උනා නම් පොලිසියත් හරියට කටයුතු කරන්න තිබුණා.
    ඔය කිසි කරදරයක් නෑනෙ හරියට හිටියනම්
    😉

  2. මේක නම් උභතෝකෝටික ප්‍රශ්නයක්………….
    මෙම කතාව තුළ මට හිතෙන විදිහට නම් තරුණයා හා තරුණිය මෙන්ම පොලිසියද ක්‍රියාකල අයුරු අනුමත කල නොහැකියි.

      1. 16 ට වැඩි අයට ලිංගිකව හැසිරීමට නීතියෙන් බාධාවක් නැතිවුණත් මා දන්නා පරිදි ඔවුන් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී නැත්නම් එය නීතිවිරෝධී ක්‍රියාවක්. මා වැරදි නම් කරුණාකර ඒ පිළිබඳව මාව දැනුවත් කරන්න.

        1. සමාවෙන්න මට වැරදීමක් වුණේ. නිසි වයස සම්පූර්ණ කළ අවිවාහක දෙදෙනෙක්ගේ ලිංගික හැසිරීමක් ගැන නඩු පැවරීමක් කල නොහැකියි, එය ඒ දෙදෙනාගේම කැමැත්තෙන් සිදුවුණා නම්.

          නමුත් මේ සිද්ධියේ තරුණයා විවාහ ගිවිස ගත් අයෙක් නිසා ඔහුට විරුද්ධ නඩු පැවරීමක් කල හැකියි.

    1. ලංකාවේ නීතිය අනුව වයස අවුරුදු 16ට වැඩි අයට ලිංගිකව හැසිරීමේ බාධාවක් නෑ. එය නීත්‍යානුකූලයි. මෑතකදී විවාහ වීමේ වයසද 18 සිට 16 දක්වා පහත හෙලනු ලැබුවා.

      1. 16 ට වැඩි අයට ලිංගිකව හැසිරීමට නීතියෙන් බාධාවක් නැතිවුණත් මා දන්නා පරිදි ඔවුන් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී නැත්නම් එය නීතිවිරෝධී ක්‍රියාවක්. මා වැරදි නම් කරුණාකර ඒ පිළිබඳව මාව දැනුවත් කරන්න.

        අනිත් එක පොලිසියෙන් ඔවුන්ට විකල්ප 2 ක් ලබාදී තිබුණා නේ. ඔවුන්ට එහිදී දෙමව්පියන්ට භාරවීමට කැමති නොවුණේ ඔවුන් දෙදෙනා වැරදි වැඩක් කළ බවට හැඟීමක් ඔවුන් තුල තිබ්බ නිසානේ. ඔවුන් නිවැරදි යමක් කළා නම් ඔවුන්ට දෙමව්පියන්ට භාරවීමට ඉඩ තිබුනානේ.

  3. වර්තමානය වනවිට ලැගුම්හල් ලිංගික සබඳතා පැවැත්වීමට තොතැන් බවට පත්වී ඇත.මෙම ස්ථානවල සිදුවන්නේ නීතිවිරෝධී ආකාරයේ ලිංගික සබඳතාවන්. විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම තහනම්. මෙහිදී එවැනි සිදුවීම් අඛණ්ඩව සිදුවීම වැලැක්වීමට ඉහත දක්වා ඇති ආකාරයට

    පොලිස් අත්අඩංගුවට පත් අනියම් ඇසුරුකම් පැවැත්වූ විවාහකයන්ගේ විවාහක සැමියා හෝ බිරිඳ පොලීසියට ගෙන්වා ඔවුන්ට අවවාදකොට මුදාහැරීමට පොලීසිය ක්‍රියා කළා.

    විවාහ නොවූ ජෝඩු වලට පොලිස් නිලධාරීන් තෝරාගැනීමට විසඳුම් දෙකක් ඉතිරිපත් කළා. එකක් දෙපාර්ශවයේම දෙමව්පියන් ගෙන්වා ඔවුන්ට භාර දීම. අනෙක වහාම විවාහ වීම.

    මෙවැනි දෑ මැඩලීමට පොලිසිය ගත් ක්‍රියාමාර්ගයක් ලෙස සැලකිය හැකියි. ඒ වුණත් මෙලෙස විවාහ වීමට බලකිරීම ලංකා නීතිය අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

    එනිසා මෙම අවිවාහක අයගේ දෙමව්පියන්ට ඔවුන්ව භාරදීමේ විකල්පයක් ද පොලීසිය දක්වා තිබුණා නේ. එහෙම බලද්දී පොලිසිය යම්කිසි සාධාරණ ආකාරයකට ක්‍රියා කලා කියලා තර්ක කරන්නත් පුළුවන්. මේක මගේ අදහසක් විතරයි. මේක ගැන අනිත් අය හිතන විදිහ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්

    1. විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම තහනම් බව සඳහන් තැනක් තිබෙද? ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරීම හෝ ගණිකා වෘත්තියේ යෙදීම නම් තහනම්. එහෙත් නීතිමය ඇසින් බලනකල වැඩිහිටි යුවලකට ලිංගික සබඳතා පැවැත්වීමට තහනමක් කොහිවත් නෑ.

      කීතිමය ඇසින් බලනකල ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනීමයි වැරදි. විවාහක වේවා, අවිවාහක වේවා පොලිසියට ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිසිදු අයිතියක් නෑ.

      අවිවාහකයන් දෙමව්පියන්ට භාර දීමත් කිසිම සාධාරණ කමක් නෑ. ඒ දෙදෙනාම වයස 21ටත් වැඩි අය නම් කාගෙන්වත් අවසර මොකටද ලිංගිකව හැසිරීමට?

      1. මෙහිදී ඔවුන් සිටි ස්ථානය අනුව ඔවුන්වද පොලීසිය මගින් අත් අඩංගුවට පත් වෙන්නට ඇති. මෙහිදී සූදූ කෙලින ස්ථානයක් වැටලූ විට ක්‍රීඩා කල නොකල සියලු දෙනා අත් අඩංගුවට ගන්නා පරිදි එය සිදුවන්නට ඇත.

        නමුත් අවසානයේදී පොලිසිය මඟින් ඔවුන්ව මුදා හැරීමේදී ලබාදුන් විකල්ප 2 න් විවාහ කරවීමට මා එකඟ නොවන නමුත් අනික් විකල්පය වන දෙමාපියන්ට භාරදීමට ගත් විකල්පයට මා එකඟ වන්නේ එය නීතියට පමණක්ම නොව ලාංකීය සභ්‍යත්වයට අනුව ගත් තීරණයක් වන නිසාය.

        ලාංකීය නීතිය සෑමවිටම සංස්කෘතියද අනුව ක්‍රියාත්මක වන බවක් පෙනේ. නිසි වයස ඉක්මවූව ද විවාහයට පත්වන තුරුම දෙමාපියන් භාරයේ දරුවන් සිටින බවක් ලංකාව තුළ දැකගත හැක.

        අනිත් අතට මේ දෙදෙනාව කිසිවක් නොකර නිදහස් කර හැරියා නම් නැවත වරක් ඔවුන් දෙදෙනා පෙර පරිදිම කටයුතු කරන අතර එය සමාජ ගැටළුවක් නොවන්නේද ? මෙනිසා සෑමවිටම නීතියට අනුව පමණක් නොව සදාචාරය අතින්ද සිතීම කරන්නේ නම් අගනේය.

    2. මෙ ගැන කියෙව්වහම මට මතක් වන්නේ කියවාපු පරණ පොතකී. පොතේ නමවත්, ලේකකයාවත් කවුදැයී කියා මතකයක් නැත. නමුත් ලොව පිලිගත් අගනාම කතාවලින් එකක් වශයෙන් ඒ කතාව පිලිගන්නවායැයී කෝහේදෝ කියවූ බවනම් මතකය. මට මතක හැටියට කතාව දිග ඇරෙන්නේ ඇමරිකාවේ හරි යූරෝපයේ, ඒ දවස්වල.දියුනු වෙන්න ඉස්සර. කසාද නොබැදපු ගෑණු ලමයට ලමෙක් හම්බු වෙන්න. කසාද නොබැද ලිංගික කිරියාවෙ යෙදීම ඒ කාලේ තහනම්. කෙල්ලට මරණ දඩුවම. තාත්තා කවුදැයී කියලා ඇහුවාට කියන්නේ නැහැ. ගමේ පූජකයායැයී කියවන්නාට හිතෙනවා. මුලු කතාවම දිග ඇරෙන්නේ සදාචාරයයැයී කියමින් අනික් මිනිස්සු, අනිකාව දුකට පත් කිරීමත්, මේ කාන්තාව විදින දුකත් ගැන.

      කොහොම උනත්, ඒ කාලෙ යූරොපය, දැංකාලෙ ලංකාව විතරක් නොවෙයී, වෙනත් ගොඩක් රටවලත් විවාහයට පෙර සම්බන්දතා පැවත්වීම වැරදියී. සමහර රටවල කොල්ලෙක් එක්ක යාලු වුනත් ගල් ගහලා මරනවා. (හොටේල් වලට යන්න ඕනෑම නැහැ. ලියූමක් දුන්නොත් ඇති ) සමහරුන්ට කියන්න පුලුවන්, ඒ අතින් අපේ පොලීසිය සදාචාරය රකින්න ගන්න උත්සහය බොහොම මදියී කියලා.

      ඔය කසාද බදින්න ඉස්සෙල්ලා සම්බන්දතා නොපැවැත්විය යූතුයැයී කියනා පොතේම තියනවා, දෙමාපියන්ට එකකට එක කියනා ලමයීව එල්ලා මැරිය යුතුයී කියලා. වැඩිහිටියන්ට ගරු නොකීරීම සදාචාරිය ප්‍රශ්ණක් වෙලා තියෙන නිසා, ඒ පිලිබද අපේ පොලීසිය ගත යූතු ක්‍රියාමාරගය මොකද්ද කියලා hasithag ගෙන් දැන ගන්න කැමතියී.

      1. කොලූ සහෝදරයා වැඩිහිටියන්ට ගරු නොකිරීම කියන ගැටළුවට පොලිසිය ගතයුතු ක්‍රියාමාර්ගය ගැන මගෙන් අහන්නේ මොකද කියලා මට නම් තේරෙන්නේ නැහැ.

        පොලිසිය කරපු වැඩේ එක පැත්තකින් සාධාරණීකරණය කරපු නිසා මම පොලිස්කාරයෙක් කියලා හිතුවාද දන්නේ නැහැ.

        මම සාධාරණයි කියලා කියන්නේ අර විදිහට ලැගුම්හල්වල හිටිය අවිවාහක ජෝඩු ඔවුන්ගේ දෙමාපියන්ට භාරදීමට පොලිසිය ගත් ක්‍රියාමාර්ගය.

        1. ලැගුම්හල් වල ඉන්න අවිවාහක උදවිය දෙමවිපියන්ට බාරදීම සාදරණයයී කියන්නේ, පොලීසිය විසින් පිලිගත් සදාචාරයන් රැකිය යූතුයි යන අදහසේ ඉදගෙන. අවිවාහක උදවියට ලිංගිකව හැසිරීම වැරදියැයී කීම, අමන කතාවක් උනත්, ඒක වෙනම මතෘකාවක්. මෙතන තියෙන්නේ පොලීසිය නීතියෙන් පිටත්ව සදාචාරයන් රැකිය යුතුද කියන සරල සහ ප්‍රාතමික ගැටලුවයී. පොලීසියේ පලමු කිරියාව සාදාරණයී කියනවානම්, සමාජයේ අනෙකුත් සදාචාරයන් රැකීමටත් පොලීසියට නීතියෙන් පිටත අයීතියක් සහ වගකීමත් තිබිය යූතුයී. එසේනම්, රටට නීතියක් හෝ පාර්ලෙමේන්තුවක් අවශ්‍ය වන්නේ නැහැ. පොලීසියක් සහ පොදු මතවාදයක් තිබුනානම් ඇති. ඕනෑ ඕනෑ වෙලාවට තුවක්කුවේ බලෙන් කුදලාගෙන යන්නත්, කැමතිනම් දෙමාපියන්ට දෙන්නත්, නැත්තම් නොදී ඉන්නත් පුලුවන් පොලීසියක් තිබුනානම් ඇති.

          1. කොලූ සහෝදරයා අපි මෙතන කතා කරන්නේ සමස්තයක් වශයෙන් පොලිසිය මඟින් කරන කාර්යයක් ගැන නෙමෙයි නේ. ඉහත කතාවට අදාලව පොලිසියේ කාර්ය භාරය හරි ද වැරදි ද කියන එකනේ. එහෙම නේද ?

            ඒ වගේම පොලිසිය විතරක්ම නෙමෙයි අපි හැමෝටම සාරධර්ම ආරක්ෂා කරන්න සහය දෙන්න පුළුවන්. ඒ වගේම රටකට පාර්ලිමේන්තුවක් තියෙන්නේ සාරධර්ම ආරක්ෂා කිරීමට ඕන කරන නීති සකස් කරන්න විතරක් නෙමෙයි. ඒකෙන් රටක පාලනයට කාර්ය භාර ගණනාවක් කෙරෙනවා. ඒක වෙනම මාතෘකාවක්.

          2. //සමස්තයක් වශයෙන් පොලිසිය මඟින් කරන කාර්යයක් ගැන නෙමෙයි නේ//
            පොලීසිය සහ අනෙකුත් සියලූම රජ්‍ය ආයතන විසින් කරන හැම දෙයක්ම සමස්තයී. පොලීසිය කියන්නේ උසාවියේ උපකරණයක් විතරයී. ගෙදර පිහිය තමන්ට කැමති විදිහට එළවලු කපන්නේ නැහැ වාගේම පොලීසියට උසාවිය විසින් ලබාදී ඇති රෙගුලාසි වලින් පිටත්ව කටයුතු කිරීමේ කිසිම අයීතියක් නැහැ.

            හැමෝම සාරදර්ම ආරක්ෂා කරානම් අපිට තවමත් රැවුල් කපන්නත් බැහැ. රොඩියන්ට උඩට අදින්නත් බැහැ. හැමෝම කාලයට ගැලපෙන විදිහට සාරදර්ම වෙනස් කරන්නත් කටයූතු කරන්න ඕනේ.

            රටේ පාර්ලෙමෙන්තුව තියෙන්නේ රජ්‍ය නිතී සහ ප්‍රතිපත්ති සැකසීමට තමයී.

            1. කාලයට අනුව වෙනස් වෙන්න ඕන සම්ප්‍රදායන් මිසක් සාරධර්ම නෙමෙයි නේද ?

              රොඩී ජනතාව උඩට ඇඳුම් අඳින්නේ ඒ විදිහට සම්ප්‍රදායන් වෙනස් වීමෙන් නේ. ඒත සාරධර්මයක් වන දෙමව්පියන්ට ගරු කිරීම වගේ එකක් අනාදිමත් කාලයක ඉදන් තවමත් වෙනස් නොවී පැවැත එන එකක් නේ.

  4. ලැගුම්හලක සිටියදී ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ය කියා අත්අඩංගුවට ගත්තායැයි සිතමු. ඒත් අනන්‍යතාවය ඔප්පුකලේනම්, පෙර චෝදනා නැත්නම් නිදහස් කරනු හැර වෙනත් දෙයක් කිරීමට පොලිසියට අවසර නෑ නේද? සදාචාරය, සභ්‍යත්වය රැකීම සඳහා නීති විරෝධී ක්‍රියා කිරීමට පොලිසියට තබා කිසිවෙකුටත් ඉඩක් නෑ. දෙමව්පියන්ට භාරදිය යුත්තේ වයස 18ට අඩු නම්.

    සමාජ ගැටළුව ලෙස මා දකින්නේ මෙහි කථා නායකයා විවාහ ගිවිසගත් තම පෙම්වතිය සමඟ ලිංගිකව එක්ව සතුටුවනු වෙනුවට වෙනත් කාන්තාවක් හා එක්වීමයි. විවාහයට පෙර ලිංගික සබඳතා නොපැවැත්වීමට ඒ පෙම්වතිය තීරණය කිරීම බොහෝ දුරට ඊට හේතුව වන්නට ඇති. ඇයත් ඒ තීරණයට එන්නට වෙන්නේ විවාහයට පෙර ලිංගික සබඳතා නොකල යුතුය යන සමාජ මතය නිසා ඇති සමාජ පීඩනය නිසා වන්නට ඇති. තම පෙම්වතියගෙන් නොලැබෙන සුවයක් පතා වෙනත් කාන්තාවක් ඇසුරු කිරීම යන සමාජ ප්‍රශ්නය ඇතිවන්නේ ඊටත් වඩා බැරෑරුම් සමාජ ගැටළුවක අතුරු ප්‍රතිළුලයක් ලෙස නොවේද?

    1. ඔබේ කතාව තුලත් සාධාරණ බවක් තිබෙනවා. නමුත් එලෙස ඔවුන් දෙදෙනාව මුදා හැරීමෙන් නැවතත් පෙර පරිදිම ඔවුන් හැසිරෙන්නට වුවහොත් ඒ පිලිබදව විවාහ ගිවිසගත් තරුණියගේ, මෙම තරුණයාගේ මෙන්ම මෙම තරුණයා සමඟ ලැගුම්හලේ සිටි තරුනියගේ දෙමව්පියන් දැනගත හොත් ඇතිවන තත්වය කුමක් විය හැකිද ??

      එසේම තරුණිය ගැබ් ගැනීමක් සිදුවුවහොත් ඇතිවන තත්වය ? මෙවැනි සමාජ ගැටලු රැසක් ඇතිවීමට තිබූ ඉඩකඩ පොලිසිය මඟින් ගත් වැඩපිලිවෙල නිසා ඇහිරී ඇති බවක් මට පෙනෙනවා.

      දෙමව්පියන්ව මේ පිලිබඳව දැනුවත් කිරීමෙන් ඉහත දැක්වූ ගැටළු රැසක් මග හ්‍රරවා ගත හැකියි නේ.

      1. විවාහ ගිවිසගත් තරුණිය ඔහුගේ ක්‍රියාකලාපය ගැන තීරණය කරාවි. අනෙක් තරුණියගේ දෙමව්පියන් ඇයගේ හැසිරීමට කළයුතු දේ කරාවි. එබඳු දේ ගැන තීරණ ගතයුත්තේ පොලිසිය නෙවෙයි.

        වැඩිහිටියන්ගේ දෙමව්පියන්ට ඒ පිලිබඳව දැනුම් දීමෙනුත් ඇතිවිය හැකි ප්‍රශ්න තිබෙනවා. ඇතිවන සමච්චලය, ලැජ්ජාව නිසා අයෙක් (දෙමව්පියන්, තරුණිය හෝ තරුණයා) සියදිවි හානි කරගැනීමට, දෙමව්පියන් සමඟ ඇති සබඳතාවය බිඳවැටීමට ආදී දේ සිදුවිය හැකියි. ඒ නිසා වයස සපිරූ අවිවාහක යුවලක් ලිංගික සබඳතා පැවැත්වූ බව දෙමව්පියන්ට දැනුම් දීමෙන් ඇතිවන ප්‍රතිළුලයක් නෑ.

        මෙතන සැබෑ සමාජ ප්‍රශ්නය කුමක්ද යන්නයි වැදගත්!

      2. දෙමව්පියන්ට ගරු කිරීම ගැන ගැටලුවක් නෑ. ඒත් වැඩිහිටි යුවලකගෙ ලිංගික නිදහස ගැන මෙතන ගැටලුවක් තියනව. ලංකාවෙ ව්‍යවස්තාවෙන් පැහදිලිව කියවෙනවනම් 18 ට වැඩි යුවලකට ස්වකැමැත්තෙන් ලිංගික එක්වීමකට නිදහස තියනව කියල එතනින් එහාට මොකක්ද පොලීසියට තියන රුදාව? අනික 18ට වැඩි කියන්නෙ වැඩිහිටියො… ඒ කියන්නෙ තමා පිළිබදව තමන්ටම තීරණ ගතහැකි උදවිය. එතකොට මේගොල්ලො දෙමව්පියන්ට බාරදෙන්න පොලිසියට වැඩක්නෑ මොකද වැඩිවියට පත් උනාට පස්සෙ ඔවුන් තවදුරටත් තවත් අයෙකුගෙ භාරකාරත්වයේ නොසිටින නිසා

        මෙතනදි වැදගත්ම දේ වෙන්නෙ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්ව ගැනීමයි. ඒක සමාජ ගැටලුවක්. ඒ සඳහා පොලීසිය මෙවන් අඳබාල වැඩ නොකර අපෙ රටේ ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් මගින් නිසි වයසට එන සියලුදෙනා දැනුවත් කිරීම කලයුතු වෙනවා

  5. තරුණිය ගැබ් ගැනීමක් සිදුවුවහොත් ඇතිවන තත්වය ? එසේම මෙයට අදාල තරුණියගේ හා තරුණයාගේ දෙමව්පියන්ට අසල්වාසීන් හෝ මිතුරෙක් මඟින් තම පුතා හෝ දුව පිලිබඳව අර වගේ දෙයක් අසන්නට ලැබෙනවාට වඩා පොලිසිය මඟින් කරන්නට ගිය ක්‍රියාව හොඳයි නේද අයියේ.

    පොලිසිය පුද්ගලික මට්ටමින් විසඳීමට ගිය එකක් ඔබ කියන විදිහට තරුන යුවලගේ මානසික මට්ටම ගැන සිතා අත්හැර දැමීමෙන් එය දෙමව්පියන්ට ඉහත දැක්වූ ආකාරයේ මාර්ගයකට දැනගැනීමට ලැබීමෙන් ලෝකයාගෙන් අසන්නට ලැබෙන නිග්‍රහ නිසා මුලින්ම සියදිවි නසා ගන්නේ දෙමව්පියන් නේද ?

    එහෙම බලද්දී පොලිසිය පුද්ගලික මට්ටමෙන් ඒක විසඳන්න ගිය එක හොඳයි නේද ?

    1. අවිවාහක තරුණියක් ගැබ් ගැනීම වෙනම සංවාදයට බඳුන් කළ යුතුයි.

      පොලිසිය පුද්ගලික මට්ටමින් ප්‍රශ්න විසඳන්න ගිහින් ඇතිවුන එක ප්‍රශ්නයක් තමා මේ කථාවෙන් කියවෙන්නේ. තමන්ට අයිති නැති වැඩ කරන්න පොලිසිය ඉදිරිපත් වෙන එකත් ප්‍රශ්නයක්නෙ.

      1. මේක පොලිසියට අයිති නැති කාර්යයක් කියන්න බෑ නේ. සමාජ ව්‍යුහය ක්‍රමවත්ව පවත්වා ගෙන යාම පොලිසියේ කාර්ය භාරයක් නේ. ඒ යුවල ලැගුම්හලක සිටියදී හසුවිමෙන් ඔවුන් පිලිබදව සැක පහල කිරීම සාධාරණයි නේ.

        1. සැක පහල කිරීමත්, අත්අඩංගුවට ගැනීමත් සාධාරණයි කියමු. ඒත් බලෙන් විවාහ කරවීම හෝ දෙමව්පියන්ට දැනුම්දීම සාධාරණද? එය සමාජ ව්‍යුහය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට උදව් වන්නේ කෙසේද?

          පොලිසියට අවශ්‍යම නම් ඔවුන්ව උසාවියට ඉදිරිපත් කරන්න තිබුනා. එසේත් නැත්නම් (අවවාද කොට) මුදා හැරිය යුතුයි.

          1. නැහැ අයියේ මගේ මතකය නිවැරදි නම් මම කිසිම තැනක පොලිසිය මඟින් කල බලෙන් විවාහ කරවීම මම අනුමත කර නැහැ.

            උසාවියට ඉදිරිපත් කරවීමෙන් ඔයාම ඉහත දැක්වූ පරිදිම ඒ ගැන දෙමව්පියන් දැන ගන්නවා නේද ? ඒක නිසා ඔයාම කියන විදිහට
            “වැඩිහිටියන්ගේ දෙමව්පියන්ට ඒ පිලිබඳව දැනුම් දීමෙනුත් ඇතිවිය හැකි ප්‍රශ්න තිබෙනවා. ඇතිවන සමච්චලය, ලැජ්ජාව නිසා අයෙක් (දෙමව්පියන්, තරුණිය හෝ තරුණයා) සියදිවි හානි කරගැනීමට, දෙමව්පියන් සමඟ ඇති සබඳතාවය බිඳවැටීමට ආදී දේ සිදුවිය හැකියි.”
            යන්න සිදුවිය හැකියි.

            අනිත් අතට උසාවි මට්ටමට යාම තුළින් දෙමව්පියන් පමණක් නොව තවත් බොහෝ පිරිසක් මේ පිලිබඳව දැන ගැනීමෙන් සිදුවන්නේ කුමක්ද ? සමාජයෙන් ඔවුන්ට එල්ල වන අපහාස ප්‍රමානය එවිට වැඩි නොවන්නේද ?

            එසේම එය දෙමව්පියන්ට දැනුම්දීමෙන් එම සම්බන්ධතාවය දෙමව්පියන් දැනුවත් සබදතාවක් වන ඉදිරියට ඇතිවීමට තිබූ ගැටලු රැසක් මග හැරෙනවානේ. ඒ ගැටලු නැවත නැවතත් දාන්න ඕන නෑ. ඒවා ඔක්කොම මම කලින් දක්වලා ඇති.

            දැන් මේ සංවාදය පටන් ගත්ත තැනටම ඇවිත් කියලා මට හිතෙනවා.

  6. අවිවාහක තරුණියකට දරුවෙක් ලැබීමෙන් වෙන වැරද්ද මොකද්ද? විවාහක උනත් නැතැත්, අනවශ්‍ය දරු උපත් වලකා ගැනීම බොහොම පහසුයී. පොලීසියවත් තුවක්කුවවත් නැතිව ඒක යස අගේට කරන්න පුලුවන්. උපත් පාලනය පොලීසියට අදාල දෙයක් නොවෙයී නේද?

    මේ තර්කයටම යටත්ව, අත සොදා කෑම ගැනීමෙන් ලෙඩ වෙනවාට වඩා, අත නොසෝදා කෑම කන අයව පොලීසියෙන් අල්ලලා දෙමව්පියන්ට බාරදීම හොදයී කියන්න පුලුවන්. අවිවාහකව සම්බන්දතා නිසා කරදරයට වැටුනු උදවියට වඩා, අත නොසාදා කෑම කෑම නිසා කොලරාව පාචනය සෑදී මරණයට පත්වූ අයනම් අනන්තයී.

  7. අවිවාහක තරුණියකට ළමයෙක් හිටියාම වෙන ගැටළුව අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.

    සමාජයෙන් ලැබෙන නින්දාත් එක්ක හුගක් වෙලාවට වෙන්නේ දරුවත් මරාගෙන අම්මත් මැරෙන එක. ඒක සමාජ ගැටළුවක් නෙමෙයිද ? අනිත් අතට දරුවාව කොහොම හරි හදා ගත්ත කියමු. ඒ ළමයා තාත්තා ගැන අහද්දී දෙන උත්තරේ මොකක්ද ? ඒ ළමයගෙන් යාළුවෝ එයාගේ තාත්තා ගැන අහද්දී ඒ ළමයගේ මානසික මට්ටම ගැන මොකද කියන්නේ ? අන්තිමට ඒ ළමයා ලෝකයට වයිර කරන මට්ටමකට ඇවිත් සමාජයට පිලිලයක් වන පුද්ගලයෙක් වෙන්න පුලුවන් නේද ?

  8. //අවිවාහක තරුණියකට ළමයෙක් හිටියාම වෙන ගැටළුව අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.// කියන්න. මම දන්නේ නැහැ.

    යමෙක් යමෙකුට නිරපරාදේ නින්දා කිරීම වැරදියී. නීතියෙනුත් වැරදියී. එහෙම කරන පුද්ගලන් උසාවිය හමුවේ පැමිනිවීමේ අයීතිය සහ වගකීම පොලීසියට තියෙනවා. අප්පා නැත කියා පමණක් නොවෙයී, බීරියැයී කියා, පිස්සුයැයී කියා, අබ්බගාතයැයී කියා, දුප්පත්යැයී කියා, කලු යැයී කියා, කැතයැයී කියා, අංදයැයී කියා කවුරු හරි අපහාස කරණවානම්, ඒ පුද්ගලයන්ට තැලිය යුත්තේ සුදෝ සුදු කාව්‍යයේ විහිලු කල කොලුවාට තැලීමට ඒ අංද කොලුවා යෝජනා කරණ ආකාරයටමය.

    නමුත් ඒ අංද කොලුවාට තිබුනු හයීය, සහෝදරයාටත් තිබුනානම්, සමාජයේ අපහාස නින්දා වලට යටත් වීමට සහෝදරයා යෝජනා නොකරන බවනම් සහතිකයී.

    //අන්තිමට ඒ ළමයා ලෝකයට වයිර කරන මට්ටමකට ඇවිත් සමාජයට පිලිලයක් වන පුද්ගලයෙක් වෙන්න පුලුවන් නේද ?// නැහැ. අප්පා නැති දරුවන් ලෝකයට බොහෝම පලදායී වැඩ කරලා තියෙනවා.

  9. අප්පා නැති දරුවන් ලෝකයට බොහෝම පලදායී වැඩ කරලා තියෙනවා.

    වෙන්න පුළුවන් නමුත් ඒ වගේ දෙයක් වීමේ සම්භාවිතාව අවමයි. මම කියන්නේ පොදුවේ ගත්තහම තියන තත්වය ගැන. මටත් වඩා හොඳට ඒ ගැන පුවත්පත්වල කරුණු දක්වලා තියෙනවා නේ. එහෙම නේද ??

  10. යමෙක් යමෙකුට නිරපරාදේ නින්දා කිරීම වැරදියී. නීතියෙනුත් වැරදියී. එහෙම කරන පුද්ගලන් උසාවිය හමුවේ පැමිනිවීමේ අයීතිය සහ වගකීම පොලීසියට තියෙනවා.

    උදාහරණයක් විදිහට තාත්තා කවුද කියලා දන්නේ නැති ළමයෙකුට එයාගේ පංතියේ ඉන්න ළමයෙක් විහිළු කලොත් ඔයාට තාත්තෙක් නැහැ. ඔයාගේ තාත්තව ඔයා දන්නේ නැහැ කියලා. ඒ ළමයාට එරෙහිව ගන්න පුලුවන් නීතිමය ක්‍රියා මාර්ගය මොකක්ද ?

    ඒක නිසයි මම අදහස් කලේ නීතිය සමඟ සාරධර්මත් පවතින්න ඕන. ඒක ආරක්ෂා කරන එක අපි හැමෝගෙම වැඩක් කියල

  11. //වෙන්න පුළුවන් නමුත් ඒ වගේ දෙයක් වීමේ සම්භාවිතාව අවමයි. මම කියන්නේ පොදුවේ ගත්තහම තියන තත්වය ගැන.//
    වැරදියී. සම්බාවිතාවත් වැරදියී. පොදුවේත් වැරදියී. අසෝබනයී. බොරුයී.

    ප්‍රබාකරන්, හිට්ලර්, පොල්පොට් සහ මෙකී නොකී සියලුදෙනාටම බොහොම හොද දෙමව්පියන් හිටපු අය. බ්ල් කොස්බි, බිල් ක්ලින්ටන්, ඔබාමා, බුදු හාමුදුරුවෝ, ස්ටීව් ජොබ්ස්, ඇරිස්ටොටල්, ලියෝ තෙලෙස්තෝයී යන ඔක්කොටම දෙමාපියන් එක්කනෙක් නැත්තම් දෙන්නම ලමා කාලෙදි හිටියේ නැහැ.

    1. බාකරන්, හිට්ලර්, පොල්පොට් සහ මෙකී නොකී සියලුදෙනාටම බොහොම හොද දෙමව්පියන් හිටපු අය. බ්ල් කොස්බි, බිල් ක්ලින්ටන්, ඔබාමා, බුදු හාමුදුරුවෝ, ස්ටීව් ජොබ්ස්, ඇරිස්ටොටල්, ලියෝ තෙලෙස්තෝයී යන ඔක්කොටම දෙමාපියන් එක්කනෙක් නැත්තම් දෙන්නම ලමා කාලෙදි හිටියේ නැහැ.

      පොඩි දෙයක් එකතු කරන්නම් මම දන්න විදිහට මේ හැම පුද්ගලයෙක්ම තමන්ගේ අම්මා කවුද තාත්තා කවුද කියලා දැනගෙන හිටපු අය නේද ? එතකොට අපේ කතාවට මේ පුද්ගලයන්ව ගලපන්න අමාරුයි නේද ?

      1. //මේ හැම පුද්ගලයෙක්ම තමන්ගේ අම්මා කවුද තාත්තා කවුද කියලා දැනගෙන හිටපු අය නේද //
        නැහැ. සමහරු තවමත් දන්නේ නැහැ. තමාගේ අප්පා අම්මා කවුද කියලා.

        (අප්පා අම්මා කියලා හිතාගෙන ඉන්න සමහරුගේත්, ඇත්ත අම්මා අප්පා ඒ අය නොවෙයී.) පුද්ගලයාගේ තරම තීරණය වන්නේ උපතින් නොවෙයී, ක්‍රියාවෙන්.

        1. මමත් ඒක පිලිගන්නවා පුද්ගලයාගේ ක්‍රියාවෙන් තමා සියල්ල තීරණය වෙන්නේ

          හරි කොලූ සහෝදරයා මම මෙච්චර වෙලා මගේ අදහසනේ ඉදිරිපත් කලේ. ඔයා ඔයාගේ අදහස ඉදිරිපත් කලේ තැනින් තැන නේ. ඔයාගේ අදහස කෙලින්ම කියන්න. ඒක අපේ සංවාදයට ලොකු උදව්වක් වෙයි.

          1. සෑම පුද්ගලයෙක්ම මේ සාමාන්‍යකරණයට ගන්න පුළුවන් ද ?

            තමා අවජාතක දරුවෙක් කියන එක නිතරම සමාජය තුලින් එල්ල වෙද්දී ඒ ළමයට ඒක ගැටලුවක් නෙමෙයිද ? ඒ වගේ ගැටලුවකට සාර්ථකව මුහුණ දීලා ජය ගන්නේ කීයෙන් කී දෙනාද ?

        2. බුද්දියෙන් අඩු ලමයාට, මෝඩයාද, බුද්දියෙන් වැඩි ලමයාට, හරි පන්ඩිතයාද, පියෙක් නැත්තාට, අවජාතකයාද, ඇහැක් නැත්තාට කනයාද කියා සමාජය ප්‍රහාර එල්ල කරනවානම්, ඒ සමාජය පහත්, තුප්පහි, දුශ්ශීල, වැරදි සමාජයක්.

          1. ඔහොම අන් අයට නින්දා නොකරන සමාජයක් මේ ලෝකේ තියෙනවාද ?

            එහෙම තියෙනවානම් ඒ සමාජය පරමාදර්ශී සමාජයක්….
            මම හිතන වීදිහට කාල් මාක්ස් තමන් ඉදිරිපත් කළ මාක්ස්වාදය තුළ දක්වන උත්තරීතර කොමියුනිස්ට් මට්ටමට පත් වූ රාජ්‍යයක් තුළ තමා බුද්දියෙන් අඩු ලමයාට, මෝඩයාද, බුද්දියෙන් වැඩි ලමයාට, හරි පන්ඩිතයාද, පියෙක් නැත්තාට, අවජාතකයාද, ඇහැක් නැත්තාට කනයාද කියා අපහාස නොකරන සමාජයක් දැකගත හැක්කේ…..

            1. චීනයේ අනාත ලමුන්ට නම් දැමීම පිලිබද අරුණිගේ ලිපිය කියවන්න. රුසියාවේ පෝලන්තේ වයසක පුදගලයෙකුගෙන් ඇහුවෙතින් කියයී සමාජාවාදයේ සමානාත්වයේ තරම.

              1. මාක්ස්වාදය තුළ දක්වන සමාජවාදී යුගය හා කොමිනියුස්ට් යුගය යනු එක්ක නොව තත්ව 2 ක්.

                සෝවියට් දේශය තුළ පැවතියේ සමාජවාදී යුගයක් පමණි. මාක්ස් දක්වන පරිදි සමාජවාදී යුගය පසු කිරීමෙන් තමා කොමිනියුස්ට් යුගය හෙවත් උත්තරීතර කොමිනියුස්ට් යුගය ඇතිවන්නේ.

                උත්තරීතර කොමියුනිස්ට් මට්ටමට පත් වූ රාජ්‍යයක් තුළ තමා බුද්දියෙන් අඩු ලමයාට, මෝඩයාද, බුද්දියෙන් වැඩි ලමයාට, හරි පන්ඩිතයාද, පියෙක් නැත්තාට, අවජාතකයාද, ඇහැක් නැත්තාට කනයාද කියා අපහාස නොකරන සමාජයක් දැකගත හැක්කේ…..

                එම යුග් දෙක අතර වෙනස්කම් රැසක් තියෙනවා. ඒක කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි.

  12. // උදාහරණයක් විදිහට තාත්තා කවුද කියලා දන්නේ නැති ළමයෙකුට එයාගේ පංතියේ ඉන්න ළමයෙක් විහිළු කලොත් ඔයාට තාත්තෙක් නැහැ. ඔයාගේ තාත්තව ඔයා දන්නේ නැහැ කියලා. ඒ ළමයාට එරෙහිව ගන්න පුලුවන් නීතිමය ක්‍රියා මාර්ගය මොකක්ද ? //

    ඉස්කෝලෙ පොලීසිය ගුරුවරයා. ඉස්කෝලේ නීතිය හොද නරක. ගුරුවරයා අනිකාට හොද නරක කියා දෙන්න ඕනේ. අනිකාට අප්පා නැතිවීම, මුදල් නැතිවීම, ඇස් පෙනීම නැතිවීම, කං ඇසීම නැතිවීම සහ මෙකී නොකී ස්බාවික, අපී හැමොටම තියෙන අඩු පාඩු නිසා විහුලු කිරීම අපහාස කිරීමේ වැරද්ද කියලා දෙන්න ඕනී. හැබැයී සමහර රටවලනම් පාසලේදි උනත්, මේ වාගේ අපහාස කරෝතින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

    අපහාස කිරීම සාරදර්මයක් නොවෙයී. ධර්මයකුත් නොවෙයී.

    1. ගුරුවරයා අනිකාට හොද නරක කියා දෙන්න ඕනේ. අනිකාට අප්පා නැතිවීම, මුදල් නැතිවීම, ඇස් පෙනීම නැතිවීම, කං ඇසීම නැතිවීම සහ මෙකී නොකී ස්බාවික, අපී හැමොටම තියෙන අඩු පාඩු නිසා විහුලු කිරීම අපහාස කිරීමේ වැරද්ද කියලා දෙන්න ඕනී. //

      ඉතින් මේ විදිහට හොඳ හා නරක කියාදෙන එක නේද සාරධර්ම කියලා දෙනවා කියලා කියන්නේ.?

        1. ඒක නිසයි මම කියන්නේ නීතිය තරමටම කාර්යයක් සාරධර්ම කරනවා කියලා. ඒක නිසා නීතිමය පැත්තෙන් විතරක්ම නෙමෙයි සාරධර්ම පැත්තෙනුත් අපි බලන්න ඕනේ. මොකද සෑම සාරධර්මයක්ම නීතියක් නොවන නිසා

            1. කොලූ මෙහිදී බල්ලාගේ කාර්යය බූරුවා කිරීමක් වන ආකාරය තවදුරටත් පැහැදිලි කරන්න පුලුවන් ද ?

              මම ආයිත් කියනවා මම මෙච්චර වෙලා මගේ අදහසනේ ඉදිරිපත් කලේ. ඔයා ඔයාගේ අදහස ඉදිරිපත් කලේ තැනින් තැන නේ. ඔයාගේ අදහස කෙලින්ම කියන්න. ඒක අපේ සංවාදයට ලොකු උදව්වක් වෙයි.

  13. හරි කොලූ සහෝදරයා මම මෙච්චර වෙලා මගේ අදහසනේ ඉදිරිපත් කලේ. ඔයා ඔයාගේ අදහස ඉදිරිපත් කලේ තැනින් තැන නේ. ඔයාගේ අදහස කෙලින්ම කියන්න. ඒක අපේ සංවාදයට ලොකු උදව්වක් වෙයි.

  14. මට කීමට අවශ්‍යව තිබූ දේවල් කීපයක් කොලූ කියා තිබෙනවා. ස්තුතියි කොලුවෝ!
    මට මේ කථාව සිහියට නැඟුනෙත් මේ වගේ දේවල් හිතනකොටයි. ඒ ගැන ඊලඟ ලිපියෙන් බලන්නකෝ.

  15. පොලීසි මෙහෙම වැඩ කරන්න නම් බොහොම දක්ෂයි. අර සිරස ට ගහපු එවුන් ව අල්ලන්න, ලසන්ත වික්‍රමතුංග මරපු එවුන් අල්ලන්න, ප්‍රදීප් ව උස්සපු අය අල්ලන්න ඒවා බැහැ.

  16. පොලිසිය පනින්නෙත් තමන්ට නොසලකන ලැගුම්හල් වලට පමණක් කියන එක ඔය ඔක්කොටම අමතක වෙලා නැහැ නේද? නිතීයේ කිසිම තැනක තරැණ සහ වැඩිහිටි ‍දෙදෙනාගෙම කැමැත්ත පිට ලිංගික ක්‍රියාවක යෙදීම (අප්‍රසිද්ධියේ) තහනම් කර නොමැති අතර, පොලිසිය අත්අඩගුවට ගන්නේනම් සහ මානසිකව යම් වදයකට ලක් කරන්නේනම් පොලිසියට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියා කළ හැක. හෝ මානව හිමිකම් උල්ලංගනය වීම/කිරීම සම්බන්ධයෙන්ද කටයුත= කළ හැක.

  17. ආචාර ධර්ම කොහෙවත් ලියවුනු දෙයක් නෙ​මෛයි. ඒව අප කුඩා කාලයේ සිට අපේ මනසට ඈතුල් කළ දේවල්.
    දෙන්න කැමති නම් මොනා කරාම මොකද? හැබැයි ඒකෙන් තමා හා බැඳුනු වෙනත් පුද්ගලයෙකුගේ සිත රිදෙනව නම් ඒක වැරදි .

    මම දන්න තරම්න් නම් දැන් පොලිසියෙන් මේ වගේ වැඩ කරන්නේ නැහැ.මොකද මානව හිමිකම් උල්ලන්ඝනය කිරීමක් වෙන නිසා.

    මම පුද්ගලිකව නම් වෙච්චදේට කැමති. මොකද තමන්ට ආදරේ කරන අයගේ සිත් රැවටීම වගේ දරුණු අපරාධයක් මේ ලෝකෙ වෙන නැති නිසා.

  18. හරියට,high-speed යන්න පාරවල් හදල ඉවර වෙලා … හැන්ගිලා ඉදල high-speed යන වාහන අල්ලනව වගේ ඩැඩක් නෙව. දැන් high-speed ලියන්නෙත් නෑහැ නේද පොලිසියෙන්. සදාචාරය ගැන මහගොකුවට කතා කරන අය ලඟම තමයි ඒ කියන දේවල් නැත්තේ. ඉස්සරත් එහෙමයි. දැනුත් එහෙමයි. ඉදිරියටත් එහෙම වෙයි.
    සදාචාරය ආචාර ධර්ම තියෙන්නෙ පොඩි කාලේදි ළමයින්ට කියල දෙන්න විතරයි………………..

  19. hasithag, මගේ අදහස නීතියයී. නීතියෙන් පිට කටයුතු කිරීමට පොලීසියට අයීතියක් ඇතැයී ඔබ පිලිගන්නා අතර, පොලීසියට පමණක් නොවෙයී, බුදුහාමුදුරුවන්ටවත් එහෙම අයීතියක් නැති බව් මාගේ අදහසයී.

    සමාජවාදය කොමිනිස්ට්වාදය වාගේ මනංකල්පිතයන්ට යන්නේ නැතිව, සාපේක්ෂව හොදින් ඉන්නා සමාජ ඕනෑ පදම් තියෙනවා. ඒ පමණකුත් නොවෙයී, පියෙක් නැතිව දරුවන් හදනා මව් වරුන්ට වැඩි සැලකිල්ලක් පමණක් නොවෙයී, ඕවුන්ගේ දයීරියට තරමක ගරුත්වයකුත් ලබා දෙන රටවල් තියෙනවා.

    1. මගේ අදහස මිනිසාගේ හැසිරීම් රටාව පාලනයට නීතිය පමණක් නොවෙයි. සදාචාරයකුත් තිබිය යුතුයි යන්නයි.

      ඒ වගේම මාක්ස්වාදය වැනි සංකල්පයකට මම ගියේ නැති බවත් එය උදාහරණක් පමණක් බවත් තේරුම් ගන්න.

      ” ඔහොම අන් අයට නින්දා නොකරන සමාජයක් මේ ලෝකේ තියෙනවාද ?
      එහෙම තියෙනවානම් ඒ සමාජය පරමාදර්ශී සමාජයක්….
      මම හිතන වීදිහට කාල් මාක්ස් තමන් ඉදිරිපත් කළ මාක්ස්වාදය තුළ දක්වන උත්තරීතර කොමියුනිස්ට් මට්ටමට පත් වූ රාජ්‍යයක් තුළ තමා බුද්දියෙන් අඩු ලමයාට, මෝඩයාද, බුද්දියෙන් වැඩි ලමයාට, හරි පන්ඩිතයාද, පියෙක් නැත්තාට, අවජාතකයාද, ඇහැක් නැත්තාට කනයාද කියා අපහාස නොකරන සමාජයක් දැකගත හැක්කේ…..”

      ඒ වගේම ඔබ කියන ” පියෙක් නැතිව දරුවන් හදනා මව් වරුන්ට වැඩි සැලකිල්ලක් පමණක් නොවෙයී, ඕවුන්ගේ දයීරියට තරමක ගරුත්වයකුත් ලබා දෙන රටවල් තියෙනවා. ”
      ලංකාවට අදාල නොවන බව ඔබම තේරුම් ගෙන තිබීම ගැන සතුටුයි. මොකද එවැනි තත්වයක් ලංකාවේ දැකගත හැකිවන්නේ ඉතාමත් අල්ප වශයෙන් නිසා.

    2. ///මගේ අදහස මිනිසාගේ හැසිරීම් රටාව පාලනයට නීතිය පමණක් නොවෙයි. සදාචාරයකුත් තිබිය යුතුයි යන්නයි. //
      එකගයී. නමුත් හාමුදුරුවෝ හොරු අල්ලන්න යෑම අසෝබන වාගේම, පොලීසිය පෙම්වතුන් අල්ලන යාම අසොබනයී. නීතී විරෝදීයී. දඩුවම් ලැබිය යූතුයී.

      නමුත් සදාචාරය යනු, වහලෙකු වාගේ ජීවත් වීමද, වැඩිහිටියන් වාගේ නිදහස් මිනිසුන් වාගේ තීරණ ගැනීමද යන්න වෙනමම සාකච්චා කර යුතු කාරණයක්.

      //ඒ වගේම මාක්ස්වාදය වැනි සංකල්පයකට මම ගියේ නැති බවත් එය උදාහරණක් පමණක් බවත් තේරුම් ගන්න//
      එකගයී.

      //ලංකාවට අදාල නොවන බව ඔබම තේරුම් ගෙන තිබීම ගැන සතුටුයි. මොකද එවැනි තත්වයක් ලංකාවේ දැකගත හැකිවන්නේ ඉතාමත් අල්ප වශයෙන් නිසා.//

      එකගයී. ඒ ක්‍රියාවන් නරක බව ඔබත් පිලිගන්නා බව මට හැගෙයී. නමුත් ඔබෙයී මගේයී ප්‍රතිපත්තියමය වෙනස ඇත්තේ; ඔබ වහලෙක් වාගේ සම්මතයට, වැරදි බව දැන දැනත්, යටත් විය යුතුයැයී යෝජනා කරණ අතර, තුවක්කුවේ බලයෙන් ඒ වැරදි සම්මතයම පෝෂණය කලයුතුයැයී කියන අතර, මම මේ සම්මතයන් වෙනස් කිරීමට අපට හැකියාව ඇතැයී, කල යුතුයැයී සිතයී. අවම වශයෙන් ඒ සිහිනයවත් දකීයී.

      නවක වදය අපේ සම්මතයයී. ඒ සම්මතය වෙනස් නොකල යූතුයැයී, වෙනස් කර නොහැකියයී කියනා උදවිය බොහෝමයී. නවක වදයේ ගුණ ගයනා උදවියත් බොහෝමයී. හැකියාවක් ලැබුනොත් පොලීසියේ තුවක්කු බලයෙන් ඒ සම්මතය පවත්වාගෙන යන බවත් නිසකයී. නවක වදයත් එක්තරා ආකාරයක ලිංගික කුහක කමකි.

      1. සෑම සම්මතයක්ම වැරදියි කියන්න බැහැනේ.

        සමාජයේ පැවැත්ම තහවුරු කරන හා සමාජය නිවැරදිව ඉදිරිය කරා ගෙන යන සම්මතයන් තිබෙනවා.

        උදාහරණයක් විදිහට විවාහයට පෙර ලිංගික සබඳතා නොපැවැත්විය යුතුයි වැනි ලාංකීය සමාජයේ පවතින සමාජ සම්මතය මිනිසාගේම සුභ සිද්ධිය තකාම ඇති සමාජ සම්මතයක් නේද ?

          1. සමාජ සම්මත පවතින්නේ විවිධ සංස්ථාවල පැවැත්ම පහසු කරගැනීම සඳහායි. සමාජ සම්මත එක් එක් සංස්ථාවලට මාර්ගෝපදේශක ලෙස යොදාගත හැකියි. උදාහරණයක් ලෙස හොඳ-නරක කියාදීමට පවුලක වැඩිහිටියන්ට ඒ සමාජ සම්මත යොදාගත හැකියි. ඒත් ඒවාට නීතිමය හෝ ආගමික මූලයන් තිබීම අත්‍යාවශ්‍ය නෑ. (සමාජ සම්මතයක් එසේ වන්නේ ඇයිදැයි ඇසුවොත් එයට තර්කානුකූල පිළිතුරක් දීමට නොහැකි විය හැකියි.)

        1. විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම මිනිසාගේ සුභ සිද්ධියට හේතු වෙනවාද නැද්ද යන්න වෙනම විවාදයට ගන්න ඕනෙ කාරණයක්. ඒත් කෙටියෙන් මගෙ මතය කියනවා නම් කියන්න තියෙන්නෙ ඒ සම්මතය වලංගු වෙන්නෙ වයස අවුරුදු 16-20 අතර විවාහ වුනු තරුණ-තරුණියෝ සිටි යුගයට පමණක් බවයි. දැන් විවාහ වීමේ වයස අවුරුදු 22-30 පමණ වන නිසා මේ සම්මත වෙනස්විය යුතුයි. (හරියට ගෑණු ඉගෙනගන්න ඕනෙ නෑ කියන සම්මතය වෙනස් වුනා වගේ.)

  20. කාරණා කීපයක් සලකා බලන්න වෙනවා. පුලුවන් තරම් කෙටියෙන් ලියන්න බලන්නම්.

    දශක කීපයකට (තවමත් සමහර රටවල (අපේ රටේත් තරමකට ) ) හැකියාවක් තියෙන පිරිමියෙකුට කාන්තාවන් එකෙකුට වඩා තියා ගන්න පුලුවන්. (මේ නිසා ඇතිවන තරගය කොහොමදැයි ගණන් හදලා බලන්නකො). දශක කීපයකට පෙර කාන්තාවන්ගේ පොදු ආයූශ වසර හතලිහක් පමණ වෙනවා. මේ මත්තට හැකියාවේ සහ අවශ්‍යතාවයේ වයස ගැටලුවත් එනවා. මේ ගැටලුව සත්ව ලෝකය අලංකාරව විසදනවා. නමුත් මිනිස් සමාජය හැකි උපරිමයෙන් කාන්තාවන්ව කෙල හලන පිරිමින්ගේ ඈත් කරලා තියෙනවා. විවාහ නොවී කාන්තාවන් සමග ඇසුර තහනම. කාන්තාවන්ගේ හිස සිට දෙපතුල දක්වා වැසීම. විවාහයට පෙර කාන්තාව මුන නොගැසීම. සාමණයෙන් සතුරන් මැරීම සම්ප්‍රදාය වුනත්, හොද වයසේ කාන්තාවන්ව වහලුන් වශයෙන් තබා ගැනීම. නැත්නම් තවමත් කෙරෙන්නා වාගේ, අනේකුත් රටවලින් මිලදී ගැනීම. නමුත් මේ කිසිවක් අපේ සමාජයට දැන් අදාල නැහැ. අදාල විය යුතුත් නැහැ.

    දෙවැනි ප්‍රදාන කාරණය තමයී ජනගහන මර්ධණය. දරුවන් ලැබෙන්නේ කාන්තාවන්ට නිසා, බර පටවලා තියෙන්නේ කාන්තාවන්ටයී. විවාහ නොවී කාන්තාවන් සමග සම්බන්ද නොවීම. සති පූජාව. එක ගෙයී කෑම. සහ මෙකී නොකී බොහෝම නිර්මාණශීලි ක්‍රම විවිද සමාජ යොදා ගන්නවා. උපත් පාලනය හොයාගෙන දැනට වසර ගණනාවක් ගිහිල්ල තියෙන නිසා, මේකත් දැන් ගැටලුවක් නොවෙයී. “ලමෙයෙක් හම්මු වුනොත්” කියන තරකය අදාල නොවන්නේ මේ නිසයී. (නමුත් අබරන්ගේ ආගම් වලට අනුව, උපත් පාලනය තහනම්. නමුත් උපත් පාලනයේ වැරද්දක් මම නොදකින නිසා, මේ කාරනය ගැන මම තකන්නේ නැහැ.)

    ලිංගික ක්‍රියාව, වැඩිහිටි අවදියේදී ජීවිතයේ ඇති වින්දනයන් අවමයන්ගෙන් එකක්. එය රසවත්. අනතුරුදායක. අදුරු. අභියෝගත්මක වින්දනයක්. බොහෝ දුරට රසවත් ආහාරයන් වාගේ. ආහාරයන්ටත් වඩා රසවත්. විවාහයට පෙර ලිංගික ක්‍රියා බාවිතය තහනම, විවිහයට පෙර මනාලිය/මනාලයා කවුදැයී දැනගැනීම තහනමට සර්ව සමයී. විවාහයට පසු, වැරදුනු දේ නිවරෙදි කරන්න දවසක් පරක්කුයී. ඉතුරු කාලයේම දුක විදගෙන ඉන්න ඕනි. ඒ උදවිය ඕනෑ තරම් හවසට තැබෑරුම් හලේදී හමු වෙන්න පුලුවන්. ලිංගික ක්‍රියාව ස්බාවිකම පුද්ගලයන් දෙදෙනෙක් එක් කරනා ක්‍රියාවයී. රජයත් සමග කොන්තරාත්තුවක් අත්සත් කිරීමේන් මිනිසුන් දෙදෙනෙකු එක් වන්නේ නැහැ. මිනිසුන් දෙදෙනෙකු එක් කරන්නේ දෙවියන් විසින් නොවෙයී. අපේ ශරීරයේම ඒ සදහා අවශ්‍ය ස්බාවික යාන්ත්‍රණය තියෙනවා. ධණයෙන් රූපයෙන් පමණක් නොවෙයී, ලිංගිකවත් අපිට ගැලපෙන සහකරුවෙක් තෝරා ගැනීමේ අයීතිය මනුශ්‍යාට තිබිය යුතුයී.

    මේ ගැන ලියනකොට මට මතක් වෙන්නේ, කපුගේගේ, “නෑ මා ඔබගේ බිරිය නොවෙයී” ගීතයයී.

  21. මමත් හිතුවා මේක නදීගේ සිතිවිල්ලක් නිසාම යමක් ලියන්න.සංස්කෘතියක සදාචාරය,සභ්‍යත්වය හා නීතිය යන්න මේ ප්‍රශ්නය දිහා බලන්න පෙර තේරුම් ගත යුතුයි.ඕනෑම රටක මේ ත්‍රිත්ව සංකල්පය සර්ව සාධාරණ අයුරින් ස්ථාපිත වෙලා නැහැ තවමත්.ඒ කියන්නේ ඒවායේ යම් යම් අඩු පාඩු කම් තිබෙනවා.ඒත් පොදුවේ ගත්තොතින් ඒවායේ යම් සාධාරණ බවකුත් නැත්තේ නැහැ.නමුත් මේ කතා නායිකාව හා නායකයා ඔවුනොවුන්ගේ කැමැත්ත මත රහසිගතව එකතු වෙලා තියෙන්නේ.රහසිගතව එකතු වීමට හේතු වෙන්න ඇත්තේ අපේ රටේ ඔය කියන ඊනියා සභ්‍යත්වය හා සංස්කෘතික නොගැලපීම නිසායි.කෙසේ වුවත් පොලිසිය මොවුන් දෙමාපියනට බාර දීමට තැත් කළේ යම් කිසි යටි අරමුණක් ඇතිව බවයි මගේ හැගීම.එය තවත් ටික දිනකින් පවසන්නම්.ඒ වගේම මොවුන් දෙදෙනා සත්‍ය සිදුවීම පොලිසියට හෙලි නොකර ඇති බවක් ද මා දකිනවා.ඒ අනුව හැකිනම් මා කීමට යන දේ ඔබ අනුමාන කොට පවසන්න.එය නිවැරදිනම් මා වඩාත් නිවැරදි වේවි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )