එයාලගෙ සහ අපේ අයිතිවාසිකම්

කොන්ස්ටන්ස් මැක්මිලන් (Constance McMillen)  18 හැවිරිදි ඇමරිකාවේ මිසිසිපි ජනපදයේ අයිටවම්බා  කෘෂිකාර්මික උසස් විද්‍යාලයේ (Itawamba Agricultural High School) අවසන් වසර ශිෂ්‍යාවක්. අප්‍රේල් මස පැවැත්වීමට නියමිත තම පාසලේ වර්ෂාවසාන නැටුම් උත්සවයට (Prom) සහභාගිවීමට ඇය පසුගිය වසරේ දෙසැම්බර් මස පාසල් විදුහල්පතිගෙන් අවසර ඉල්ලුවා.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුනේ ප්‍රවේශපත්‍ර සම්බන්ධ ගැටළුවක් ඇතිබව පවසමින්. ඊට හේතුව වුනේ ඇය නැටුම් උත්සවයට සහභාගිවීමට තීරණය කර තිබුනේ එම පාසලේම පහල පංතියක ශිෂ්‍යාවක් වන ඇයගේ පෙම්වතිය සමඟ වීමයි. ඇය සමරිසි කාන්තාවක් (Lesbian). නැටුම් සහායකයා හෝ සහායිකාව (date) විරුද්ධ ලිංගයෙන් (opposite sex) තෝරාගතයුතු බවට පාසලෙන් දැනුම්දී තිබුනා. එමෙන්ම සාම්ප්‍රදායික ලෙස ගවුමක් වෙනුවට කලිසමකින් හා කබායකින් (tuxedo) සැරසී නැටුමට පැමිණීමට ඇය කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප වුනා. පෙම්වතිය හා ඇයට වෙනවෙනම නැටුමට පැමිණිය හැකි වුවත්, නැටුමට සහභාගී වුවහොත් එතැනින් ඉවත් කරන බවද ඇයට දැනුම්දී තිබුනා.

ඇය මේ සම්බන්ධයෙන් පාසැල් කොට්ඨාසටද (school district) පැමිණිලි කළද එයින් විසඳුමක් ලැබුනේද නෑ. සිවිල් ක්‍රියාකාරී කණ්ඩායමක් (ACLU) ඒ සම්බන්ධව විමසීමක් කර සතියක් ඇවෑමෙන් මුට්ටිය ගන්නට එළුවාගේ හිසගසා දැම්මා සේ පාසැල් පාලනාධිකාරිය කළේ වාර්ෂික නැටුම් උත්සවය නිසි හේතු පැහැදිලි කිරීමකින් තොරව අවලංගු කර දැමීමයි. මේ සිද්ධිය ඇමරිකානු සහ ලෝක මාධ්‍යවල අවධානය දිනාගත්තා.

පාසැලේ ක්‍රියාමාර්ගයට එරෙහිව නඩුමගට පිවිසීමට කොන්ස්ටන්ස් සහ සිවිල් ක්‍රියාකාරීන් කටයුතු කළා. එහිදී විනිසුරුවරයා තීරණය කළේ පාසැල ගත් ක්‍රියාමාර්ගය කොන්ස්ටන්ස්ගේ ප්‍රකාශනය කිරීමේ ව්‍යවස්ථාමය අයිතිය උල්ලංඝනය කර ඇති බවයි. එහෙත් විනිසුරුවරයා පාසැල විසින් අවලංගුකළ නැටුම් උත්සවය නැවත පැවැත්වියයුතු බවට තීන්දු කළේ නෑ. මේ නිසා දෙපාර්ශවයම යම් ආකාරයකින් ජයගෙන ඇති බව පෙනෙනවා.

අවලංගුකළ නැටුම් උත්සවය වෙනුවට පාසැලේ දෙමව්පියන් විසින් තවත් නැටුම් උත්සවයක් සංවිධානය කළ අතර එම නැටුමටද සමරිසි සිසුන්ට සහභාගිවීමට ඉඩ නොදීමට තීරණය කර තිබුන නිසා නීතිමය ක්‍රියාමාර්ගයකට පෙර එයද අවලංගු කළා. තුන්වන නැටුම් උත්සවයක්ද සංවිධානය කර ඇති අතර එයට සහභාගිවීමට කොන්ස්ටන්ස්ට ඉඩ ලැබෙනු ඇති.

ලෝකයේ විවිධ රටවල  සමරිසි පුද්ගලයන් සඳහා ඇති සැලකිල්ල වෙනස්. ඇතැම් රටවල සමරිසි සම්බන්ධයක් පැවැත්වීම මරණීය දණ්ඩනය ලැබියහැකි වරදක් වන අතර, තවත් රටවල සමරිසි පුද්ගලයන්ට විවාහ වීමටද ඉඩ ඩී තිබෙනවා. ඇමරිකාවේනම් බොහෝ ආයතනවල ලිංගික නැඹුරුතාවය මත වෙනස්කම් කිරීම නීති විරෝධීයි.

ලංකාවේ පුංමෛථුනය නීතියෙන් තහනම් (මා දන්නා හැටියට). එහෙත් මේ තහනම ක්‍රියාත්මක තත්ත්වයේ නෑ. තමන් සමරිසි පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධියේ පිළිගැනීම නොකරන්නේ නීතියෙන් තහනම් නිසා සහ සමාජයෙන් එල්ලවන නින්දා-අපහාස නිසයි.

අවිවාහක තරුණ-තරුණියන්ටවත් නිදහසේ හැසිරීමට පොලීසිය ඉඩ නොදෙන හැටි මීට පෙර ලිපියක සඳහන් කළා. ඉතින් සමරිසි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන කවර කථාද?

පහත කරුණු ගැන ඔබට හිතෙන්නේ මොනවාද?

  • සමරිසිබව සමාජයට සහ නීතියට බියේ හෙළි නොකර, දෙමව්පියන්ගේ සහ සමාජමය බලකිරීමට විවාහ වන අයගේ පවුල් කීයක් නම් කඩාකප්පල් වී ඇතිද? ඒවා සමාජ ප්‍රශ්න නොවේද?
  • සමරිසි පුද්ගලයන්ට සමාජයේ ප්‍රසිද්ධියේ ඉන්නට ඉඩදීම සදාචාරයේ සහ සංස්කෘතියේ බිඳවැටීමක්ද?
  • සමරිසිබව සැඟවීමනිසා ඇතිවන මානසික පීඩනයෙන් අපහසුතා විඳින පුද්ගලයන් කොපමණ ඇතිද? ඔවුහු ප්‍රධාන සමාජධාරාවට වෛර කරන්නෝද? ඔවුහු සමාජවිරෝධී ක්‍රියා කරන්නෝද?
  • සමරිසි පුද්ගලයන්ව අපහාසයට බඳුන් කරන සමාජයක සදාචාරයක්, සභ්‍යත්වයක් තිබේද?

පින්තූරය AP Photo/Rogelio V. Solis වෙතින්.

Advertisements

24 thoughts on “එයාලගෙ සහ අපේ අයිතිවාසිකම්”

  1. මේ ගැන නම් බ්ලොග් පෝස්ට් ගනනාවක් ලියන්න පුලුවන් මට. මම මහණ වෙලා හිටපු දවස් වල සහභාගී වෙච්ච ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක මගේ කතාවට මූලික උනෙත් බුදු දහම, සමලිංගිකත්වය සහ ලාංකීය සමාජය කියන එක. ඔය ඔබ අසා තිබෙන ප්‍රශ්න ඔක්කොම ගන මට පෞද්ගලික අත්දැකීම තියෙනව. මම කාලයක් human rights organization එකක් එක්ක වැඩ කලා. මම හාමුදුරු කෙනෙක් වශයෙන් හිටපු කාලේත් එයින් පස්සෙත් මට භාර උනේ counciling වැඩ. මේ විදියේ ප්‍රශ්න තියෙන අය මට ඕන තරම් හම්බ වෙලා තියෙනව.

    ඒත් ලංකාවේ සමරිසි අයිතිවාසිකම් කතාකරන සංවිධාන එක්ක මට මතවාදීමය එකඟතාවයකට එන්න බෑ. ඒ අය උත්සාහ කරන්නෙ සමලිඟිකයන්ට කසාද බඳින්න අවසර අරන් දෙන්න. ඒත් මගේ අදහස කල යුත්තේ සමාජයේ ඒ අය ගන තියෙන වැරදි මත ඉවත් කිරීම කියන එකයි. ඒ අයට තියෙන ලොකුම ප්‍රශ්නය කසාදේ කියන එකයි මේ අය හිතන්නෙ. ඒකටත් හේතුවක් තියෙනව. මේ සංවිධාන කොලඹ 7 උදවිය විසින් පාලනය කරන ඒව. ඒ අයට ප්‍රසිද්දියේ සමලිංගිකයන් වගේ ජීවත් වීම ප්‍රශ්නයක් නෙමේ. මේ හේතුවෙන් ඒ අය සාමාන්‍ය සමලිංගිකයන්ගේ ප්‍රශ්න ගැන පැහැදිලි අවභෝධයක් නෑ.

  2. සමරිසි අයිතිවාසිකම් කිව්වහම ගොඩක් අය හිතන්නෙ අර සංවිධානවල අය වගේ තමා. ඒත් ඒ මිනිස්සුන්ට (සහ ගෑණුන්ට) කසාද බඳිනවා ඇරෙන්න වෙන ප්‍රශ්න ඕනතරම් තියෙනවා.

    අපේ සමාජයෙ අවජාතක (පියා කවුදැයි හරිහැටි නොදන්නා) දරුවන්ට පවා අපහාස කරනකොට, සැමියෙක් නැතිව ගර්භනීවන කාන්තාවන්ට අපහාස කරනකොට සමරිසි අයට අපහාස නොකරයි කියලා හිතන්න බෑ.

    තරිඳු, ඔබේ අත්දැකීම් ටිකක් ලියන්නකෝ (පැවිදි දිවිය ගැන.)

  3. සංස්කෘතිය යනු කාලයත් සමග වෙනස් වන දෙයකි. එබැවින් මීට වසර කිහිපයකට අනුචිත දේවල් අද උචිත විය හැක. සංස්කෘතිය රැක ගැනීම ගැන කතා කරන බොහෝ දෙනෙක් සියවස් ගනනාවක් තිස්සේ සමාජ සම්මතයන් නොවෙනස්ව පැවතිය යුතුයැයි තරයේ අදහති. පරම්පරා ඝට්ටනයන් ඇති වන්නේ එවිටයි. නමුත්, අප කොතරම් විරෝධය පළ කළත්, සමාජය වෙනස් වේ. එම වෙනස හොඳද නරකද යන්න සාපේක්ෂ දෙයකි. කාලයත් සමග වෙනස් නොවන සමාජයක් පරිණාමය නොවේ. එබැවින් සමලිංගික සම්බන්ධතා පිළිබඳව දැනට ඇති විරෝධතා කාලයත් සමග වෙනස් වනු ඇත. සමාජයේ බහුතරයකගේ අවශ්‍යතා යටපත් කරගෙන සිටීම අනාගත විප්ලවයකට මග පාදනු ඇත.

  4. නදී අයියා බොහොම විප්ලවකාරී අදහස් ගැන නේ post ලියන්නේ.

    සමලිංගිකත්වය කියන එක අද ඊයේ නෙමෙයි ඈත අතීතයේදී පවා තිබුණු එක්ක කියලා තමා මම අහලා තියෙන්නේ. පුරාණ රෝම හා ග්‍රීක සභ්‍යත්වවල අප්‍රසිද්ධ මට්ටමෙන් මේවා වෙලා තියෙනවා. නමුත් මෙවැනි කටයුතුවලට ඒ කාලේ ඉදන්ම ආගමෙන් වැට බැඳීමක් කරලා තියෙනවා.

    කොහොම වෙතත් මේකත් යම්කිසි මානසික මට්ටමක්නේ. එවැනි පුද්ගලයන් සමාජයෙන් කොන් කිරීමෙන් සිදුවෙන්නේ නදී අයියා කියන විදිහට සමාජය ගැන කෝපයක් ඇතිකරගෙන සමාජ විරෝධී පිරිස් ඇතිවීමයි.

    මානවයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීමට නේ ප්‍රජනනය සිදුවෙන්නේ. එකේදී විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාවකින් නේ ඒක සිදුවෙන්නේ. එතකොට මට එන එක ප්‍රශ්නයක් තමා මිනිසා කෙමෙන් කෙමෙන් සමලිංගිකත්වයට අනුගත වීමෙන් මිනිසාගේ අනාගත පැවැත්ම පිලිබඳව ගැටළුවක් ඇති වෙනවා නේද ?

    මේක ගැන අයියලාගේ අදහස මොකක්ද ?

      1. ඔබේ ප්‍රශ්නයට ඔබම පිලිතුරු දී තිබෙනවා. හැමවිටම වාගේ සමරිසි අයගේ ප්‍රතිශතය නියතයි. ජනගහනය වැඩි වද්දී සංඛ්‍යාව වැඩි වුනත් ප්‍රතිශතය වැඩි වෙනසක් වන්නේ නෑ. ඊට හේතුව සමරිසිකම උපතින්ම ලැබෙන දෙයක් වීම නිසයි. (මේ ගැන තවමත් පර්යේෂණ කෙරෙනවා.) ඇතැම් සතුන් අතරේත් සමලිංගික හැසිරීම් ඇති බව දන්නවාද?

    1. හසිත, දිගටම විප්ලවකාරී අදහස් ලියන්න බලාපොරොත්තුවක් නෑ. ඒත් අවසන් ලිපි දෙකම එකිනෙකට සමබන්ධයි. (මට මුල් ලිපියේ සඳහන් කථාව මතක් වුනේ දෙවැනි ලිපියේ සඳහන් සිද්ධිය නිසයි.)

      ඔබ නිවැරදියි. සමලිංගිකත්වය රෝම හා ග්‍රීක ශිෂ්ඨාචාරවල තිබූ බවට සාක්ෂි තිබෙනවා.

  5. මෙය මා විසින් ලියමින් පවතින ලිපියකින් ‍උපුටා ගත් කොටසකි.මෙම ලිපියෙන් යම් වැදගත් කරුණක් කියවෙනවා යැයි ඔබට හැගෙනවා ද?ඔබගේ ප්රටතිචාර ලිපියේ ඉදිරි දිගුවට බලපානු ඇත.
    සමාජය හා පුද්ගලිකත්වය
    ජීවියෙකු යනු ආශ්වාසයෙන් හා ප්රාිශ්වාසයෙන් පමණක් ජිවත් වන්නෙකු නොවේ.සියලු ජිවින්ට පොදු වු කරුණු මෙන්ම පුද්ගලික හා අතිශය පුද්ගලික කරුණුද ඔවුනට අදාල වේ.විශේෂයෙන් දැකිය හැකි කරුණක් වන්නේ අප පොදුයැයි කියා ගන්නා කරුණු වල දී වුවද ඔවුනටම ආවේණික වු ලක්ෂණ ද එම පොදු කරුණුවල දී දැකිය හැකි වීමයි.උදාහරණයක් ලෙසින් සියලු ජීවින්ට පොදු වූ කාරණයකි ජීවත් වීම සදහා ආහාර ලබා ගැනීම.එය එසේ වුවත් සියලු ජීවින් එක සමාන ලෙස ආහාර ගන්නවාද?නැත.එය ඔවුනගේ රුචිකත්වය,සමාජ තත්වය,ආර්ථික හැකියාව අනුව වෙනස් වේ. නමුත් සමාජය පිළිගත් මතය වන්නේ ජීවත් වීම සදහා ආහාර ලබා ගැනීම ජීවියෙකුගේ අයිතියක් බවයි.එය තමන්ගේ රුචි අරුචිකම් අනුව ඔහුටම තීරණය කිරීමේ අයිතිය ද සමාජය විසින් පුද්ගලයෙකුට පවරා ඇත.තවත් උදාහරණයක් දක්වතොත් ඇදුම් පැලදුම් දැක්විය හැකිය.එය ද පෙර කී ලෙසටම පුද්ගලික මනාපය පරිදි තිරණය කිරීමේ අයිතිය කෙනෙකුට තිබේ.ඕනෑම සමාජයක් ඉහත කී අයිතීන් පිළි ගනියි.එය නීතියෙන් සුරක්ෂිත කිරිමක් ද දැකිය හැකි ය.
    ඉහත කී මිනිස් අවශ්යිතාවයන් මතුපිටින් ගෙන බලන විට හුදෙක් භෞතික අවශ්යඕතාවයන් ලෙසින් පෙනී යයි.නමුත් සුක්ෂම ලෙසින් විග්රතහ කරන විට දැකිය හැක්කේ එම අවශ්යඕතාවයන් තුල මානසික පසුබිමක් ද පවතින බවයි.පුද්ගලික රුචි අරුචිකම් අනුව ඒවා තෝරා ගැනීමකට ලක් කීරිමක් දැකිය හැකි වන්නේ මෙම හේතුව නිසා ය.එමගින් තහවුරු වන්නේ කුමක් ද?සෑම පුද්ගලයෙකුටම ඔවුනටම ආවේණික වූ භාවමය ලක්ෂණයන් පවතින බව නොවේ ද?පුද්ගලිකත්වය යනු මේ භාවමය ලක්ෂණයන් අතර පවතින වෙනස් කම නොවේ ද?එසේනම් පුද්ලිකත්වයට ගරු කිරීම හා පුද්ගලිකත්වයට ඉඩ දීම යනු එකිනෙකකා අතර පවතින මෙම භාවමය ලක්ෂණයන් තේරුම් ගැනීම හා වටහා ගැනීම හැර වෙන කුමක් ද?පුද්ගලිකත්වයට ඉඩ දීම යනු මෙම භාවමය ලක්ෂණ හා හැකියාවන් අනුව ඔවුනට යම් යම් දේ තෝරා ගැනීමකට පවතින අයිතියට ඉඩ දීම නොවෙයි ද?
    ලෝකයේ නව නිර්මාණ බිහි වන්නේ මෙම පුද්ගල භාවයන්වලට නිදහසේ ක්රිියාත්මක වීමට ඉඩ හැරීමෙනි.මෙතෙක් ලෝකය සියල්ලන්ටම පොදු කරුණුවලට පමණක් ක්රිියාත්මක වීමට ඉඩ දුන්නානම් අද පවතින දියුණුව මිනිසාට ලගා කර ගැනීමට හැකියාව තිබුනේ ද?නැත.එසේ වූවානම් අද ලෝකයේ මිනිසා යන සත්ව කොට්ඨාශය දැකිය නොහැකි ය.මන්ද එසේ වුවානම් ලෝකයේ නව නිර්මාණ බිහි වීමට තිබු ඉඩ කඩ ඇහිරෙන නිසාය.නව නිර්මාණ බිහි වන්නේ පුද්ගලිකත්වය නිසාවෙනි.
    ආදරය, ලිංගිකත්වය හා පුද්ගලභාවයන් අනුව ලිංගිකත්වයේ ඇති වෙනස්කම්
    ජීවින්ටම පමණක් පොදු වූ සුවිශේෂතම ලක්ෂණය වන්නේ ආදරය කිරිමේ හා ලිංගිකව හැසිරිමේ හැකියාව යි. ලිංගිකව හැසිරිමේ හැකියාව සෑම ජීවියෙකුටම පොදු වුවත්,බො‍හෝ ජීවින්ට ආදරය කිරිමේ හැකියාව නැත.එය අනෙකුත් ජීවින්ට සාපේක්ෂව දැකිය හැකි වන්නේ මිනිසා තුල පමණි.මිනිසා යන නම ලැබී ඇත්තේ මනසින් උසස් යැයි කියා ගන්නා මෙම ලක්ෂණය නිසා ය.මේ නිසා මිනිසාගේ ලිංගික චර්යාව හා ලිංගික ජිවිතය තම වර්ගයා බෝ කිරිමේ ප්රාමථමික ක්රිවයාවෙන් ඔබ්බට විහිදුනු සංකීර්ණ ක්රිායා වලියක් බව අවිවාදාත්මකව පිළි ගත යුතය.
    ලිංගිකව හැසිරිමේ හැකියාව කිසිම ජීවියෙකුට පුරුදු පුහුණු කළ යුතු දෙයක් නොවේ.මන්ද,එය ජිවියෙකු ඔහුගේ උපතින්ම ලබන සහජ හැකියාවකි.සහජය සෑම විටෙකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.පුද්ගලිකත්වය යනු එයයි.සහජය තීරණය වීමට බලපාන හේතු මොනවාදැයි නිශ්චිතව දැක්විය නොහැකි ය.ඒ නිසාම සහජය පාලනය කිරිමේ හැකියාවක් ද කිසියම් පුද්ගලයෙකුට හෝ සමාජයකට නැත.එසේනම් පාලනය කළ නොහැකි සහජය පාලනය කිරීමට උත්සාහ දැරීම සාධාරණ ද යන්න ගැටලු සහගත ය.යම් කිසිවක් පාලනය කිරීමට සාධාරණ වු මුලික කරුණු දෙකක්වත් අවම වශයෙන් තිබිය යුතුය.
    1 පාලනය කළ යුතු දේ සමාජයට කරදරකාරි,සමාජයේ ප්රුගමනයට බාධා පමුණුවන්නක් වීම.
    2 අදාල කරුණ පාලනය කළ හැකි වීම හා එමගින් කිසියම් කොටසකට මානසික හෝ/හා ශාරිරිකව පීඩාවක් සිදු නොවීම.
    ඉහත කරුණු දෙක සංතෘප්ත වනවානම් යම් කිසි කරුණක් පාලනය කිරීමෙන් සමාජයට හෝ පුද්ගලයෙකුට අවැඩක් නොවේ.යම් කිසිවක් පාලනය කිරිමකට ලක් කළ යුතු වනුයේ එම කරුණ සදහා හේතු වු කරුණු නිශ්චිතව පැහැදිලි කර ගැනීමෙන් අනතුරුවයි.නැතහොත් එය පාලනය කළ නොහැකි ය.යමක් ඇති වීමට නිශ්චිතව හේතු දැක්විය නොහැක්කක් පාලනය කිරිමට යාමෙන් වන්නේ සමාජයේ පාලනයට ලක්වන එම ජන කොට්ඨාශය කිසියම් අසාධාරණයකට ලක් වීමත්,එමගින් ඔවුන්ගෙන් සමාජයේ ප්රලගමනයට ගත හැකි දායකත්වය නොලැබී යාමත් පමණි.එසේ වුවහොත් එම සමාජය ආපස්සට ගමන් කරනු ඇත.නැතහොත් එක තැන පල්වීමක් දැකිය හැකි වනු ඇත.
    මිනිසාගේ ලිංගික චර්යාව වර්ගයා බෝ කිරිමේ ක්රිොයාවලියට අමතරව එකිනෙකාට ආදරය කිරීම, අන්තර් පුද්ගල බැදියාව තහවුරු කර ගැනිම ආදි වශයෙන් පුලුල් පරාසයක විහිදෙන සංකීර්ණ ක්රිකයාවලියකි.එයට අමතරව මෙම ලිංගික චර්යාවන් එකිනෙකාගේ පුද්ගල භාවයන් මත තීරණය වන වෙනස්කම් රාශියකින් යුක්ත වීමත් දැකිය හැකි ය.විෂම ලිංගිකයන් අතර පවතින ලිංගික හැසිරීම,සමාන ලිංගිකයන් අතර පවතින ලිංගික හැසිරිම,ද්වි ලිංගික හැසිරීම සහ වෙනත් ලිංගික විපර්යාසවලට භාජනය වුවන් අතර පවතින ලිංගික චර්යාවන් ද මිනිස් ලිංගික චර්යාවේ මතුපිට ඇති මුලික ලක්ෂණයන් වේ.ලිංගිකව එක් වීමේ අවශ්යචතාවය මානසික හා කායික අවශ්යකතාවයක්වන අතර එය අභිප්රේණරණයකි.අභිප්රේ රණයක් යනු ඕනෑම ජීවියෙකුට තම ජීවිතය පවත්වා‍ ගෙන යාමට අවශ්යය කරන මුලික සාධකයක්යැයි කෙටියෙන් හැදින්විය හැකි ය.එසේනම් යම් කිසිවෙකුට ලිංගිකව හැසිරිමේ අයිතිය පාලනයට ලක් කරනවානම් එය ඔහුගේ ජීවිතය පවත්වාගෙන යාමේ අයිතිය පාලනයට ලක් කිරීමකට සමාන යැයි කෙනෙකුට තර්ක කළ හැකි ය.අනෙක් අතට සැබෑ ලෙසින්ම එය පාලනයට ලක් කළ හැකි ද යන්නත් වීමසිය යුත්තකි.මන්ද ලිංගික චර්යාව හා ක්රි යාව අතිශය පුද්ගලික නිසාත්,එය රහසිගතව කිරීමට සෑම මිනිසෙක්ම ක්‍රියා කරන නිසාත් (පාලනය කළද නොකළ ද),ලිංගික අවශ්ය,තාවය අභිප්රේ රණයක් නිසාත්,අභිප්රේතරණ අවශ්යරතාවය ඉතාමත් ප්රපබල නොවැලැක්විය හැකි කරුණක් නිසාත් ය.එසේනම් මෙය පාලනය කිරිමෙන් සිදු වන්නේ කුමක් ද?සමාජ ප්රයතිලාභයක් ද?නැතහොත් සමාජ පිරිවැයක් ද?අප විසින් එය තීරණය කළ යුතු ය.ලිංගික චර්යාවන් පාලනයට ලක් කිරීමෙන් සමාජයට අහිමි වන ප්ර තිලාභ දෙකක් දැක්විය හැකිය.(මෙයින් අදහස් කරන්නේ ලිංගික චර්යාවන්ට ප්රිසිද්ධියේ ඉඩ දිය යුතුය යන්න නොවේ.යම් සමාජයන් විසින් පාලනය කරනු ලබන සම ලිංගිකත්වය වැනි පුද්ගල භාවයන් අනුව වෙනස්වන ලිංගික චර්යාවන් පිළිබදව පමණි.)
    1 පාලිත කොටසේ හැකියාවන් යටපත් වීම සහ මානසිකව පසුබෑම නිසා ඇතිවන සමාජ ප්රකතිලාභ අහිමි වීමේ පිරිවැය,
    2 අදාල ජන කොට්ඨාශය පාලනයට ලක් කිරීමට අවශ්යක කටයුතු සදහා වැයවන ඝෘජු මූල්යභ හා මූර්ත පිරිවැය.
    එසේනම් අප විසින් තීරණය කළ යුතු කරුණක් ඇත.වෙනස්කම් සැමරීමෙන් හා වෙනස් හැකියාවන්ට ඉඩ දෙමින් සමාජයේ ප්රතගමනයට අවශ්ය් දායකත්වය සපයනවා ද?එසේ නැතහොත් වෙනස්කම් පාලනයෙන් අනවශ්ය පිරිවැයක් නිර්මාණය කොට ලැබිය හැකිව තිබු ප්රයතිලාභයන් අහිමි කර ගන්නවා ද?

    1. බොහොම වැදගත් කරුණු ගණනාවක්ම ඔබගේ ලිපියේ අන්තර්ගතයි. ඒ බොහොමයක් සමඟ මම එකඟයි. ලිපිය අවසානයේ අසා ඇති ප්‍රශ්න දෙක සෑම පුරවැසියෙක්ම සහ සිතුය යුතුයි. නීති සම්පාදකයන්ට මේ ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබාදීමට සිදු වෙනවා.

      සදාචාරය ගැන මහ ඉහලින් කථාකරන හැම දෙනාම මේ ලිපියේ ඇති කරුණු ගැන සිතිය යුතුබව මගේ අදහසයි.

  6. නදී ඔබට බොහොම ස්තූතියි මගේ ලිපියට ප්‍රතිචාර දැක්වීම පිළිබදව.එය මා දිරිමත් කළා.ඔබට හැකිනම් ඔබේ අදහසුත් මා වෙත ලියන්න.(ලිපියට ඇතුලත් කළ යුතු දේවල්)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )