බස් කතාබස්

ලංකාවෙ බස් ගැන කථාකරන්න ගියොත් ඒකට වෙනම බ්ලොග් එකක් පටන් ගන්න වෙනවා. ඇමරිකාවට ආවට පස්සෙ මම දැක්ක බස් ගැනයි මේ කතාබහ.

ලංකාවෙ බස්වල ටිකට් නැතුව හොරෙන් ගිහිල්ලා පුරුද්දක් නැති වුනත්, ඇමරිකාවට ආවට පස්සෙ ආසාවටවත් හොරෙන් බස් එකේ යන්න අවස්ථාවක් ලැබුනෙ නෑනෙ. ඒකට හේතුව මම ඉන්න නගරයේ තියන බස් සේවාව නොමිලයේ පවත්වාගෙන යාමයි. ඉතින් හොරෙන් යන්නෙ කොහොමද? (අපි ඉන්න නගරෙ බස් සේවාව නොමිලේ වුනාට ඇමරිකාවෙම තියන බස් සේවා නොමිලේ සපයන ඒවා නෙවෙයි.) නොමිලේ කිව්වට වක්‍රාකාරව අපෙන් (යම් ප්‍රමාණයක් හෝ) සල්ලි ගන්නවා. මේ ප්‍රදේශයේ තියන විශ්වවිද්‍යාල, තාක්ෂණික පාසල්, නගර සභා තමයි මේ බස් සේවාවෙ බරපැන දරන්නෙ. මධ්‍යම ආණ්ඩුවෙනුත් දායකත්වයක් දෙනවා පොදු බස් සේවාවක් නිසා. විශ්වවිද්‍යාලයේ සිසුන් මේ බස් සේවාවට දායක මුදලක් ගෙවන්න ඕනෙ.

මේ බස් සේවය අවට තියන නගර කීපයක් සහ විශ්වවිද්‍යාල, තාක්ෂණ පාසල් වලට ගමන් පහසුව සපයනවා. සුපිරි වෙළඳසැල් කීපයක් මේ බස් මාර්ගවල තියන නිසා තමන්ටම වාහනයක් අහිමි අයට ගොඩක් පහසුවක්. රජයේ කාර්යාල ගණනාවකටද මේ බස් සේවාවෙන් ගමන් ගන්න පුලුවන්.

මේ බස්වල ඉන්නෙ රියැදුරා විතරයි. ලංකාවෙ වගේ කොන්දොස්තරලා නෑ. දොර අරින්නෙ වහන්නෙ ස්විචයක් මඟින් නිසා සහ ටිකට් දෙන්න අනවශ්‍ය නිසා රියැදුරාටත් වැඩේ ලේසියි. ඊට අමතරව මේ බස්වල තියෙන්නෙ ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් (automatic transmission) සහ බලගැන්වූ සුක්කානමක් (power steering). ඒ නිසා මහන්සියක් නැතිවම රිය පදවන්න පුලුවන්. කාන්තාවන් මෙන්ම වයසක අයද බස් රථ රියැදුරන් ලෙස සේවය කරනවා. සිසිර ඍතුවේදී රත්කරගෙනත්, ගිම්හානයේදී වායු සමීකරණ දාගෙනත් තමයි බස් රථය යන්නෙ.

බස් රථය නියමිත කාලසටහනකටයි ගමන්ගන්නේ. වාහන තදබදයද සීමිත නිසා බස් රථය යම් ස්ථානයකට නියමිත වෙලාවට නොපැමිණෙන්නේ කලාතුරකින්. එක් එක් ප්‍රදේශයට ගමන් මාර්ගය බැගින් ගමන් මාර්ග ගණනාවක්ම තිබෙනවා. එක් බස් රථයක පැමිණ වෙනත් මාර්ගයක බස් රථයකට මාරුවීමට හැකිලෙසයි කාලසටහන් සකස් කර තිබෙන්නේ. එක් බස් රථයක් ප්‍රමාද වෙනවානම් සහ මාරුවීමට මඟීන් සිටිනවානම් බස් රථයේම සවිකොට ඇති රේඩියෝ සන්නිවේදක මගින් අනිත් බස් රථයට ඒ බව දැනුම් දිය හැකියි.

නීතියක් ලෙසම බස් රථයට ගොඩවිය යුත්තේ ඉදිරි දොරටුවෙන්. පිටවීමට ඕනෑම දොරටුවක් භාවිතා කළ හැකියි. සාමාන්‍යයෙන් බසයට ගොඩවීමට සිටින මඟීන් පිටවන සියල්ලන්ම පිටවනතෙක් බසයට ගොඩවන්නේ නෑ. (ඒකට ලංකාවේ නේද?) බස් රථයේ කන්න-බොන්න තහනම්. (කමින් බොමින් සිටි කෑම-බීම අරන් බසයට ගොඩවෙන්න දෙන්නෙත් නෑ. බස් එක එනකම් කෝපි එහෙම බොමින් සිටි අය ඒක විසි කරලා තමයි නගින්නෙ.) බස් රථයේ සතුන් අරගෙන යාම සහ ඝෝෂාකාරී සංගීතය භාවිතයද තහනම්. රියැදුරාට පුළුවන් ඒ වගේ අයට බසයෙන් පිටවෙන ලෙසට කියන්න.

බස් රියැදුරාට මඟීන් අමතන්න මයික් එකක් තියනවා. බස් නැවතුමකට ආවහම ඒ කොතැනද කියලා කියනවා. (විශේෂයෙන් විශ්වවිද්‍යාලයට අලුතින් සිසුන් එක කාලයට එහෙම.) බස් රථය නවත්තන්නේ නියමිත නැවතුම්පොළවල් වලදී විතරයි. මගදි නවත්තලා මඟීන් නංවාගැනීම තහනම්.

මේ බස් වලට රෝදපුටුවල ගමන්ගන්නා අයටද ගොඩවීමට පුළුවන්. ඒ සඳහා බස් රථ විශේෂයෙන් සකස් කර තිබෙනවා. රෝදපුටුව බස් රථය තුලට ගත්පසු බස් රියැදුරා පටි දමා රෝදපුටුව සුරක්ෂිත කළ පසුයි යලි ගමන් අරඹන්නේ. (පරක්කු වෙනවා කියල මැසිවිලි කියන්නෙ නෑ කවුරුත්.)

බස් රථවල තියන තවත් පහසුකමක් තමා බයිසිකල් අරන් යන්න හැකිවීම. ගේ ගාවින් බස් එකට බයිසිකලේ පටවගෙන, විශ්වවිද්‍යාලය ගාවින් බැහැල ඉතුරුටික බයිසිකලේ යන්න පුළුවන් නිසා විශ්වවිද්‍යාල සිසුන් මේ පහසුකම පාවිච්චි කරනවා. (මෙහෙ විශ්වවිද්‍යාලත් හරිම පොඩියිනෙ. පයින් යන්න එහෙම හරිම ලේසියි.)

එක් එක් මාර්ගවල බස් සේවය තියන වෙලාව වෙනස්. ඒත් ප්‍රධාන මාර්ගයේ බස් සේවාව උදේ 7 ඉඳන් පහුවෙනිදා  අළුයම 3 වෙනකම් වැඩ. එච්චර පාන්දර වෙනකම් තියෙන්නෙ බාර් ගානෙ ගිහින් බීලා වාහන එලවන්න බැරි අයට පරිස්සමින් ගෙදර එන්නයි. සෙනඟ නෑ කියලා රෑ වෙනකොට බස් ධාවනය නවත්තන්නේ නම් නෑ. සාමාන්‍යයෙන් පැය භාගයකට වරක් ඇති ප්‍රධාන මාර්ගයේ බස් සේවාව විශ්වවිද්‍යාලයේ නිවාඩු දිනවල සහ වැඩිපුර සිසුන් නොගැවසෙන ගිම්හාන කාලයේදී පැයකට වරක් ලෙස සහ උදේ 7 සිට හවස 7 දක්වා ලෙස කප්පාදු වෙනවා.

බස් රථයේ ඉදිරියේ ඇති ඉලෙක්ට්‍රොනික් පුවරුවකින් බස් රථයේ ගමනාන්තය සඳහන් වෙනවා. ඒ නිසා නොදන්නා අයෙකුට වුනත් එක වගේම බස් රථ අතරින් තමන් යා යුතු බස් රථය තෝරාගැනීම පහසුයි. මේ පුවරුවේ ගමනාන්තය මෙන්ම Welcome Abroad වගේ සුභපැතුම්ද, විශේෂ ක්‍රීඩා තරඟ, විභාග සහ උත්සව පැවැත්වෙන කාල වලදී ඒවාට සුභපැතුම්ද දකින්න පුළුවන්.

තමන්ගේම වාහන ඇති අය පවා බස් රථයේ ගමන් ගන්නේ වාහන නැවැත්වීමට බලපත්‍රයක් (parking ticket) මිලට ගතයුතු නිසයි. ඊට අමතරව පරිසරය සුරැකීම ගැන හිතන අයත්, ඉන්ධන වියදම ගැන හිතන අයත් තමන්ගේ වාහන ගෙදර තියා බසයේ යනවා. (වාහන නැති අයට ඉතින් විකල්පයක් නෑනෙ.) ඇමරිකාවෙ ආර්ථිකයේ ඇදවැටීම නිසා බස් සේවාවෙ කප්පාදුකිරීම් කිහිපයකුත් සිදුවුනා. ඒකෙන් පාඩුව වුනෙත් ඉතින් බස්වල යන අපිටම තමා.

බස්වල සෙනඟ ඉන්නෙ උදේට සහ හවසට. අනිත් වෙලාවට ඉඳගෙන යන්නවත් කට්ටිය නෑ. බස්වල යන අය ලංකාවට යවලා (ඉන්දියාවට නම් වැඩිය හොඳයි) මාස 3 ක විතර පුහුණුවක් දෙන්න හිතෙන්නෙ සෙනඟ වැඩි වෙලාවටයි. ඇඟවල්වල නොවැදී යන්න හදන කොල්ලො-කෙල්ලො නිසා බස් එකේ ඉඩ තියෙද්දිත් සමහරුන්ව මග දාල යන වෙලාවල් තියනවා. (මෙහෙ ඩ්‍රයිවර්ලටත් ලංකාවෙ කොන්දා මල්ලි කෙනෙක්ව ගෙන්නල හරි සැමන් වගේ සෙනඟ පැකිං ගැන සම්මන්ත්‍රණයක් දෙන්න හිතෙනවා.) බස් එකේ දොරවල වහගෙනනෙ යන්නෙ. ඒ වගේම දොරවල් ගාව හිටගෙන යන්නත් තහනම්. (අනේ කවදා ෆුට් බෝඩ් එකක එල්ලිලා වින්ඩ් සර්ෆින් ක්‍රීඩාව කරන්නද කියලා හිතෙනවා.)

ලංකාවෙ නම් ඕනෑම තැනකට වගේ බස් එකේ යන්න පුළුවන්නෙ. ඒත් සමස්තයක් විදියට ගත්තහම, රටේ විශාලත්වය නිසාදෝ ඇමරිකාවෙ පොදු ප්‍රවාහනය එච්චර ප්‍රචලිත නෑ. එක් එක් නගර සහ ප්‍රදේශවල ප්‍රාදේශීය බස් සේවාත්, ප්‍රධාන නගර යාකරන බස් සහ දුම්රිය සේවාත් තිබුනත්, පහසුවෙන් එක ස්ථානයක සිට තවත් තැනකට යාමේදී පොදු ප්‍රවාහන සේවා සොයාගැනීමට අපහසු වන්නට පුළුවන්. උදාහරණයක් ලෙස අපිට ලඟින්ම තිබෙන වාණිජ ගුවන්තොටුපලට යාමට තමන්ගේම වාහනයක් නැත්නම් කුලී රථයක් අවශ්‍යයි. සාප්පු සවාරියේ යනවිටත් බස් රථවලින් යන්න පුළුවන් සීමිත සාප්පු කීපයකට විතරයි.  ඇමරිකාව ලොව වැඩිම ඛණිජතෙල් පරිභෝජකයා වීමට සීමිත පොදු ප්‍රවාහන පහසුකම් පමණක් තිබීමක් හේතුවක් වෙන්නට ඇති.

ලංකාවෙ බස් සේවාවත් කවදා හොඳ තත්ත්වයකට පත්වෙයිද?

බස් රථයේ ඉදිරියේ ඇති ඉලෙක්ට්‍රොනික් පුවරුවකින් බස් රථයේ ගමනාන්තය සඳහන් වෙනවා. ඒ නිසා නොදන්නා අයෙකුට වුනත් එක වගේම බස් රථ අතරින් තමන් යා යුතු බස් රථය තෝරාගැනීම පහසුයි. මේ පුවරුවේ ගමනාන්තය මෙන්ම වගේ සුභපැතුම්ද, විශේෂ ක්‍රීඩා තරඟ සහ උත්සව පැවැත්වෙන දින වලදී ඒවාට සුභපැතුම්ද දකින්න පුළුවන්.
Advertisements

“බස් කතාබස්” වෙත සිතුවිලි 21ක්

  1. නිව්යෝක් වාගේ ප්‍රාන්ත වල නොමිලේ බස් නැති වුනත්, ඉහත කී අනෙකුත් සියලුම කතා අදාලයී. තමන්ගේම වාහනේ ගිහිල්ලා පාකින් හොයන්වාට වඩා ලෙසීයී. බස් එකෙන් බැහැලා, ඒ ටිකට් එකෙන්ම ඉතිරි කොටහ කොච්චීයෙ යන්නත් පුලුවන්. රොද පුටුවක් බානකම්, නග්ගනකම් මිනිස්සු හරිම ඉවසීමෙන් ඉන්නෙ. පික්පොකට් කාරයෝ බස් වල නැහැ. නාදුනන අයත්, විශේශයෙන්ම වයසක උදවිය කතාවට වැටෙනවා. සමහර දවසට පොල් පැටවෙනවා වගේ පිරෙනවා. නමින් ජැක්සන්ලා හිටියාට, ක්‍රියාවෙන් ජැක්සන්ලා නැහැ. ජැක් ගැසීම මොකද්ද කියලාවත් මෙහෙ අය දන්නේ නැහැ. සමහර වෙලාවට අපේ හාමුදුරු ඇත්තෝ කියන, මහ මගත් ලිංගික කිරියාවේ යෙදෙන, අශීලාචාර අශිශ්ට ඇමරිකාවද මේ කියලා හිතෙනවා.

    බස් එකේ අලංකාර කවි ලියලා තියනවා මගීන්ට කියවන්න. මේ බස් එකක තිබුනු කවි කීපයක්.

    “People expect old men to die, They do not really mourn old men.
    Old men are different. People look At them with eyes that wonder when..
    People watch with unshocked eyes; But the old men know when an old man dies.”

    මේ ලමයෙක් තරගෙකට ලියපු කවියක්. නිවියෝක් වල බස් එකේදි කියවලා, ජනේලෙන් එලිය බැලුවහම ඇස් දෙකට කදුලු ආවා.
    I used to see
    From the windows
    The two tallest Towers
    I ever saw
    After that day
    in September
    I can’t anymore

  2. ඒකට ලංකාවෙනම්,
    කඳු බැහැගෙන කොළඹට යද්දි වේගෙන් ගියා කියලාත් , කඳු නැගගෙන නුවරට එද්දි හෙමින් ආවා කියලාත් කෑ ගහන්නෙ එකම කෙනා…(ළගදි දවසක් මට ඒ වගේ කෙනෙක් මුණ ගැසුණා. ගෙදර ළග මනුස්සයෙක්(?) උදේ ගියෙත් හවස ආවෙත් ඒ බස් එකේමලු)

  3. මම තාම යුරෝපයට හරි ඇමරිකාවට හරි ගිහින් නම් නෑ. ඒත් මම ගිය රටවල් වලින් සිංගප්පූරුවෙත්, සුලු වශයෙන් තායිලන්තයේ නගරාන්තර බස් වලත් මේ දේ දැක ගන්න පුලුවන්. සිංගප්පූරුවේ බස් එකට නදින තැන තියෙනව මැෂින් එකක්. ඒකට අපේ බස් කාඩ් එක අල්ලන්න විතරයි ඕනෙ නගිනකොටයි බහින කොටයි. අපේ කාර්ඩ් එකෙන් ගාන අඩු කරගන්නවා එතකොට.

  4. අයියොහ්, ඇමරිකන් බුවාලා බබාලා වගේ නෙ. දැන් බලන්න අපේ බස් සේවාව නිසා අපේ මගී ජනයාට කොච්චර හැකියාවන් ප්‍රමාණයක් හම්බවෙනවාද කියලා?

    1. (ඔය ලිපියෙත් තිබුන වගේ) වින්ඩ් සර්ෆින් ශුරයෙක් වීමේ හැකියාව.
    2. වේගයෙන් ගමන් කරන වස්තුවක් තුළට එක්වරම පැණීමේ හා වේගයෙන් ගමන් කරන වස්තුවක් වෙතින් එක්වරම පැණීමේ හැකියාව. හැකියාව.
    3. නොමිලේ මෝටර් රථ ධාවන තරග වල නරඹන්නන් පමණක් නොව එයට සහභාගී වන්නන්ද වීමට ලැබෙන හැකියාව.
    4. එකවර මිනිසුන් ගණනාවකගේ බර තම ශරීරය මත යොමු වීම නිසා බර ඉසිලීමේ හැකියාව.
    5. දකුණු අත බසයේ ඉදිරිපස වමේත්, වම් අත බසයේ පසුපස දකුණේත්, වම් කකුල බසයේ ඉදිරිපස දකුණේත්, දකුණු කකුල බසයේ පසුපස වමේත් තබාගෙන යාාම් ජිම්නාස්ටික් හැකියාව.
    6. ඔක්සිජන් හිඟ පරිසරයක කාබන්ඩයොක්සයිඩ් ආධාරයෙන් පරිවෘත්තීය ක්‍රියා පවත්වාගෙන යාමේ හැකියාව.
    7. නංගිලා, අක්කලා, ඇන්ටිලා, ආච්චිලාගේ උල් සපත්තු කකුල පාසාකරගෙන යත්දීත් කෑ නොගසා ඉවසා සිටීමට තරම් ස්නායු පද්ධතිය අක්‍රීය කරගැනීමේ හැකියාව.
    8. ක්‍ෂණිකව යොදන තිරිංග බල නිසා බසයේ පසුපස සිට ඉදිරියට එන ආවේගීබල දරාගැනීමේ හැකියාව.
    9. මෙසේ සිටියදීත් එක තැන විනාඩි ගණන් නවතාගෙන සිටීම නිසා රියදුරුවරයා ප්‍රමුඛ ඔහුගේ පවුලේ සැමටත්, කොන්දොස්තරවරයා ප්‍රමුඛ ඔහුගේ පවුලේ සැමටත් මෙත් වැඩීමට ලැබෙන අගනා අවස්ථාව.
    10. මෙසේ පැමිණත්, ඊළඟ දිනයේත් බසයක ගමන් යාමට තරම් ආත්මශක්තිය වර්ධනය කරගැනීමේ හැකියාව.

    මේ හැකියාවන් 10ක් පමණි, තව ඇත!

    1. අපොයි ඔවි.. මේ වගේ ගුණාංග නෑ තමා..
      බස් පරක්කු වෙනකොට ඉවසීමේ හැකියාව වර්ධනය කිරීම, බස් නැති වුනාම පයින් යාමෙන් කරගකහැකි ව්‍යායාම වගේ තව නානා ප්‍රකාර දේවල් තියනවා. ඒකනෙ මම මුලින්ම කිව්වෙ ලංකාවෙ බස් ගැන නම් වෙනම බ්ලොග් එකක් වුනත් ලියතෑකි කියලා.

  5. මෙලෝ රහක් නැහනෙ ඔහොම බස් එකේ ගිහින්. හික් හික්. මෙහෙත් ඔහොම තමා. එකම වෙනස නොමිලේ නම් නෙමෙයි.

    බුධාජීව කීව වගේ මාර ආතල් නෙ ලංකාවේ බස් හික් හික්

  6. මං කියන්න යන්නෙ ඊට වෙනස් කතාවක්.. මේ බස් ජාතිය දැක්කෙ ඉන්දියාවෙ බිහාර් ප්‍රාන්තයේ …බස් එක අතුලෙ ඉඳගෙන යන්න රුපියල් 6යි.. හිටගෙන යන්න 4යි.. වහලෙ උඩ යන්න 2යි.. (කොච්චර දුරක්ද කියන එක හරියට මතක නැහැ )

    1. මරු සීන් එකනෙ ඒක. මම නම් වහලෙ උඩ යනවා ආතල් එකේ හුලං වැදි වැදි, ඇතුලෙ දාඩිය දාගෙන යනවට වඩා.
      අපේ රටෙත් ඔය වැඩේ කරන්න කිව්වනම් හරි. අර වින්ඩ් සර්ෆින් ක්‍රීඩාව කළත්, ඉදගෙන ගියත් එකම ගාණක් ගන්න එකනම් අසාධාරණයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )