රාජා හෝ, මා හෝ, ගංගා හෝ

ඔයාල මේ වාක්‍යය අහල තියනවද? සමහරු අහල ඇති. ඒක හැදුනෙ කොහොමද කියල දන්නවද? දන්නැත්නම් අහගන්නකෝ..

ඔන්න එකෝමත් එක නගරෙක හිටියලු රජ කෙනෙක්. මේ රජතුමාට ආසාවක් තිබුනලු තිත්ත නැති කොහොඹ ගෙඩියක් කන්න. ඉතිං රජතුමා මුළු රට පුරාම අණබෙරකාරයො යැව්වලු  තිත්ත නැති කොහොඹ ගහක් වවලා ගෙඩි හැදුවොත් ඇතෙක් බරට වස්තුව දෙනවයි කියලා.

Kohobaමේ අතරෙ යාළුවො දෙන්නෙක් රස්සාවක් හොයාගෙන ගමින් ගමට යමින් හිටියලු. (රැකියා විරහිත කට්ටිය ඒ කාලෙත් ඉඳල තියනව හොඳේ.) එයාලටත් ඇහුනලු අණබෙර සද්දේ. මේ දෙන්නා අණබෙරකාරයව නවත්තගෙන “මේ අණබෙර ගහන්නෙ මක්කටෙයි?” කියලා ඇහුවලු. අණබෙරකාරයත් රජතුමාගෙ  පයින්ඩෙ කිව්වලු “තිත්ත නැති කොහොඹ ගහක් වවන්නෙකුට අප මහ රජාණෝ විසින් ඇතෙක් බරට වස්තුව දෙනු ලැබේ” කියලා. මේ යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වලු “මට ඇහැකි ඔය වැඩේ කරන්න” කියලා. ඒ පාර අණබෙරකාරයා ඒ මිනිහව රජවාසලට කැන්දගෙන ගියාලු.

“එම්බා පුරුෂය, තට තිත්ත නැති කොහොඹ ගසක් වවා දීමට හැකිද?” කියල රජතුමා ඇහුවලු.

“එහෙයි මහරජතුමනි, මට හැකියි” කියල ඒ මිනිහ කිව්වලු.

“තට ඊට අවශ්‍ය කලමනා මොනවාද?” කියල රජතුමා ඇහුවලු.

“මහරජතුමනි, මසකට වරක් සීනි නැලි සියයකුත්, විශාල වෙඬරු (butter) හැලියකුත් ලැබුනේ නම් මැනවි” කියලා මේ මිනිහා කිව්වලු.

ඊට පස්සෙ රජතුමා කිව්වලු “තා හට අවශ්‍ය දේවල් භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නෙමි. නුඹ මේ කොහොඹ ගස වවන්නේ කොයිබද?” කියලා.

“මහරජතුමනි, තිත්ත නැති කොහොඹ ගසට දිනපතා පිරිසිදු ජලය අවශ්‍යයි. එමෙන්ම රොන්මඩින් සාරවත් වූ පසක් අවශ්‍යයි. ඒ නිසා අසුවල් ගඟ අසබඩ මේ කොහොඹ ශාකය වවන්නෙම්. එය රැක බලා ගැනීමට මා හට පැල් කොටයක්ද ලැබෙන්නේනම් මැනවි, රජතුමනි” කියලා ඒ මිනිහා කිව්වලු.

ඉතින් රජතුමත් ඒ මිනිහට ගඟ අයිනෙ පැලක් දීල, මාසෙකට පාරක් සීනියි වෙඬරුයි සැපයුවලු. ඔන්න ඉතින් කොහොඹ ගහ ටිකක් ලොකු වේගෙන එනකොට මහා ගංවතුරක් ඇවිත් කොහොඹ පැලේ උගුල්ලගෙන ගියාලු. ඒ පාර ඒ මිනිහා රජතුමාට ඒ බව දැනුම්දීල තවත් කොහොඹ පැලයක් හිටෙව්වලු. ඒ පැලෙත් ඊලඟ අවුරුද්දෙ ගංවතුරට ගහගෙන ගියාලු. මේ විදියට පිට පිට හත් අවුරුද්දක් තිස්සෙ මේ මිනිහා හිටෝපු කොහොඹ පැල හතක්ම ගංවතුරට ගහගෙන ගියාලු.

හත් අවුරුද්දකට පස්සෙ ඒ මිනිහගෙ පරණ යාළුවා ආවලු එයාව මුණගැහෙන්න. ආගිය විස්තර කතාබහ කරලා ඒ යාළුවා ඇහුවලු “කොහොමද මිත්‍රයා තිත්ත නැති කොහොඹ ගහ එහෙම?” කියලා.

එතකොට කොහොඹ පැල වවපු යාළුවා කිව්වලු “රාජා හෝ, මා හෝ, ගංගා හෝ” කියලා.

(වයඹ පළාතේ ජනකථාවක්.)

කථාව එච්චරයි. දැන් මොකක්ද මේකෙ තේරුම හැබෑට?

කොහොඹ පැල වැව්ව මිනිහා කිව්ව එකේ තේරුම තමා “එක්කො රජා, එහෙම නැත්නම් මම, එහෙමත් නැත්නම් ගඟ නැති වෙනවා” කියලා.

එක්කො (අවුරුද්දක් ගානේ) ගංවතුර ගලන එක නැති වෙයි. (ගංගා හෝ.) ගංවතුර ගලන එක නතර නොවුනොත් මට රජා මැරෙනම්ම ඒ මෝඩ රජාව රවට්ටගෙන තිත්ත නැති කොහොඹ හදනවා කිය කියා ජීවත් වෙන්න කෑම-බීම හොයාගන්න පුළුවන්. (රාජා හෝ.) එහෙම නැත්නම් මං මැරෙයි මට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙන නිසා. (මා හෝ.)

මේ වාක්‍යය කිව්වෙ නැතත් ඔය වගේ වැඩ කරන මිනිස්සුනම් ඕන තරම් අපි අතරෙ ඉන්නවා.

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

Advertisements

“රාජා හෝ, මා හෝ, ගංගා හෝ” වෙත සිතුවිලි 9ක්

  1. රාජා හෝ මා හෝ ගංගා හෝ..

    අපි අහල තියෙන්නෙ වෙන කතාවක්.
    සීතාවක රාජසිංහ රජ්ජුරුන්ට යාගයක් කරපු වඩුග බමුණෙක් කියපු කතාවක් ඕක. යාගය කෙරු‍ෙ සීතාවක ගඟ මැද. පාරුවක් වගේ එකක. නමුත් මෙයා කවදාවත් යාගය ඉවර කළේ නැතිලු රාජ උදහසින් බේරෙන්න ඕන නිසා [මට හරියට මතක නෑ ඇයි ඒ කියලා. යාගය බොරුවක් වුනොත් මරණවා කියන්නවත් ඇති.] ඉතිං හැමදාම උදේට රාජ පුරුෂයො ආවම කියන්නෙ ඕක තමයි. ඒකත් යාගයෙ කොටසක් විදිහටම වගේලු කියන්නෙ. ඉතිං මෙයා මෙහෙම කීමෙ අදහස නං නදී කියන එකම තමයි.

  2. අපේ කිරි අම්මා කියලා තියෙන විදියටත් මේක වයඹ පලාතේ කතාවක්
    කොහොම උනත් කතාවට පාර්ශව 3 ක් තිබ්බා.
    නියමයි…
    මේ වගේ කතා වැලලිලා යන්න නොදී ගොඩ දැම්මට මෙන්න මගෙනුත් පැණි බෝතලයක්ම…

    /බිඟුවා…!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )