පංචායුධයෙන් වැඩක් තිබේද?

හෝව්..හෝව්. මම කියන්න යන්නෙ මව්බිමේ පංචායුධය ගැන නෙවෙයි ඔන්න. ළමයින්ගෙ බෙල්ල වටේ දාන පංචායුධය ගැනයි.

ඔයාල කී දෙනෙක්ගෙ බෙල්ල වටේ පංචායුධයක් දාල තිබ්බද පොඩිකාලෙ? ළමයින්ගෙ බෙල්ල වටේ පංචායුධයක් දාන්නෙ ආරක්ෂාවට කියලනෙ. පංචායුධ කතාව තියෙන්නෙ ජාතක කථා පොතේනෙ. ඒක දන්නෙ නැති අය ඉන්නවනම් මෙතනින් පඤ්චායුධ ජාතකය කියවලා ඉන්නකො. ඒකෙ තියන සිංහල තේරෙන්නෙ නැත්නම් මේක කියවලා බලන්නකෝ.

ඉතින් මේ පංචායුධ ජාතකයෙන් පැහැදිලි වෙනදේ තමයි දුනු-ඊතල, කඩු, හෙල්ල, තෝමර, අඩයටිය වගේ භයානක අවි-ආයුධවත්, අතේ-පයේ හයිය සහ සටන් කලාවක් දැනගෙන තිබුනටවත් වැඩක් නෑ, ඊට වඩා වැදගත් දේ තමයි නුවණ තැනට සුදුසු ලෙස පාවිච්චි කරන එක කියන දේ.ඉතින් ඕක නොදන්නවටද කොහෙද අපේ අම්මලා-තාත්තලා පුංචිම දරුවන්ගෙ බෙල්ලෙත් පංචායුධ එල්ලනවා. සල්ලි තියන අය රත්තරන් පංචායුධ එල්ලනවා, සල්ලි යහමට නැති අයත් තඹ පංචායුධයක් හරි එල්ලනවා.

ඔය එල්ලන පංචායුධයෙන් වැඩක් තියනවද? පංචායුධ කුමාරයට අවි-ආයුධ, සටන් කලාවේ දැනුම තිබිලා රාක්ෂයාගෙන් බේරෙන්නෙ බැරි වුන එකේ, බෙල්ලෙ ලෝහ පතුරක් එල්ලුවයි කියලා ළමයෙකුට කිසිම දේකින් ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද? ළමයින්ව ලෙඩ-රෝග සහ විපත්වලින් වලින් ආරක්ෂාකරගන්න නම් දෙමව්පියන් සහ රැක-බලාගන්නන් හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනෙ.

බෙල්ලෙ එල්ලන පංචායුධය හෝ වෙනත් ආභරණ දරුවන්ට විපත් ගෙන එන්න ඉඩ තිබෙන බව හුඟක් අය දන්නෙ නැතුව ඇති. මේ ආභරණ බැරිවෙලා හරි ගැලවිලා වැටුනොත් ඒක අහුලලා කටට දාගන්න පුංචි ඈයො පසුබට වෙන්නෙ නෑ. පොඩි ළමයි එක එක දේ කටට දාගන්න එක නවත්තන්න බෑනෙ. ඉතින් ඔය ආභරණයක් උගුරෙ හිරවුනොත් වෙන දේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. තවත් දෙයක් තමයි ඒ ආභරණ එල්ලන්න පාවිච්චි කරන නුල් හෝ මාල වලින් බෙල්ල තද වෙලා හුස්ම හිරවෙන්න ඉඩකඩකුත් තියනවා. විශේෂයෙන් රෑ නින්දෙදි එහෙම වෙන්න ඉඩකඩ තියනවා. ඒ නිසා ආභරණ දාල තියනවනම් රෑට ඒවා ගලවලා දමන්න අමතක කරන්න හොඳ නෑ. ඒ ආභරණ ලේසියෙන් නොගැලවෙන විදියට සවිකරන එක අත්‍යාවශ්‍යයි.

ඒ විතරක් නෙවෙයි, පුංචි ළදැරියන්ගෙ කන්වලට දාන කරාබුත් භයානකයි. අඩු අවදානමක් තිබුනත් පුංචිම දැරියන්ගෙ කන් විදිනකොට විෂබීජ ආසාදනයක් වෙන්න ඉඩක් තියනවා. ඒ නිසා මාස දෙකකට වඩා අඩු දැරියන්ගේ කන් විදින්න හොඳ නෑ. කරාබුත් ගැලවෙන්න ඉඩ තියන නිසා ඒවා හොඳට තදකරන එක වැදගත්.

ආභරණවල ඊයම් තිබෙනවානම් ඊයම් විෂවීමක් වීමේ ඉඩකඩකුත් තියනවා. ඊයම් රහිත ආභරණ තෝරාගැනීම ඒ නිසා බොහොම වැදගත්.

පංචායුධ ඇතුළු ළදරුවන්ට පළඳවන ආභරණ විශේෂ අවස්ථාවකදී පලඳන්න සුදුසු වුනාට දිනපතා පලඳලා තියන්න නම් සුදුසු දෙවල් නෙවෙයි.  ඒ නිසා දරුවන්ට ආභරණ පැළඳවීමගැන දෙමව්පියන් දෙවරක් සිතිය යුතුයි.

“පංචායුධයෙන් වැඩක් තිබේද?” වෙත සිතුවිලි 12ක්

  1. හික්zzzzzz පට්ට කතාව. මෙක ඉස්සෙල්ලම පෙන්නන්න ඔනෙ අපෙ එහාගෙදර අක්කට හෙහ් හෙහ්.එයා එයාගෙ ලමයගෙ කරේ ඔවා එල්ලගෙන ගිහින් දවසක් එයාවත් දන්නෙනතුවා හොරෙක් කපාගෙනගිහින්…… ඇත්තට ලංකාවෙ මිනිස්සු මෙච්චර මෝඩයිද?? බාලගිරි දෝෂෙ ගැන විශ්වාසයත් ඔයවගෙමයිනේ………………….. 😀

  2. මගේ දුවලා දෙන්නාට කරාබු දමනවාට මා තදින් ම විරුද්ධ වුනා. නමුත් සොඳුරිය අන්තිමේ දී ජය ගත්තා. කරාබු, තුවා වල පැටලීමට මෙන්ම ඇඳුම් ගැලැවීමේදී ද පැටලීමට යත්න දරනවා. නමුත් අපේ අම්මාත් සමඟ එකතු වූ සොඳුරිය ජය ගත්තා. සිරිත් විරිත් සමඟ ගැටෙන්න සෑහෙන්න අමාරුයි. ඒ අයගේ තර්කය වුනේ දුවලා ලොකු වූ කල එසේ කණ නොවිදීම ගැන දුක් වනු ඇති බවත්, පාසැල් වල දී ඔවුන් කොන් වන බවත් ය. මා නම් කීවේ ඔවුන් කැමැති නම් ලොකු වූවාට පසු ඒවා දමා ගත හැකි බවය.

    1. මගෙත් මතය තේරෙන වයසට පැමිණි පසු ඔවුන් කැමතිනම් කරාබු ආදී ආභරණ දැමීමට ඉඩ දිය යුතු බවයි. දරුවන් වෙනුවෙන් තීරණ ගත්තාට කමක් නෑ, අවශ්‍ය දේ පමණකු්ූ!

    1. ඔව්, පංචායුධයක් පලඳන්නනේ සංකේතයක් ලෙසයි. ඒත් එය නිකම්ම ලෝහ පතුරක් පමණයි. එනිසා ආරක්ෂාව ලැබීමේ සංකේතයක් ලෙස විපතක් වීමට ඉඩ ඇති යමක් පැලඳීම බොලඳ තේරුමක් නැති දෙයක්.
      බෝධිසත්වයන්ගේ ආයුධ නොව බුදුරදුන්ගේ රුවක් එල්ලුවත් එයින් ලැබෙන ආරක්ෂාවක් නෑ.

  3. ඔව්. නමුත් අපි සෑමදෙයක්ම කරන්නේ තේරුමක් ඇතුවමද? නමුත් මේවගේ සංස්කෘතික අංගයන් නිසා සමාජයට යම් කිසි අනන්‍ය තාවක් ලැබෙනව. එයින් තමයි ඒ ජනසමාජය අලංකාර වෙන්නේ. බලන්න දෙමල ගැණුළමයෙක් කොන්ඩයේ මල්ගසනවා. නලලේ තිත් තියෙනවා තේරුමක් තියෙනවාද? නමුත් ඒ හා බැඳුනු සංසකෘතිය කොතරම් අගේද? සිංහල පොඩි කොලු පැටියෙක්ගේ කරේ පංචායුදයක් තියෙනකොට තියෙන සුංදරත්වය කොතරම්ද.

    1. පංචායුධයක් අලංකාරය සඳහා හෝ සංස්කෘතික අවශ්‍යතාවයකට පැළඳීම වෙනම දෙයක්. මම කිව්වේ පංචායුධයෙන් ආරක්ෂාවක් නොලැබෙන බව සහ එයින් වෙන්න පුළුවන් අනතුරු ගැනයි.
      පොඩි දරුවන්නට ආභරණ පළඳන්න අවශ්‍යනම් කළාට වැරැද්දක් නෑ අනතුරු වලක්වාගැනීමේ පියවර අරගෙන.

  4. මෙය බොළඳ තේරුමක් නැති දෙයක් ලෙස මම දකින්නේ නෑ…මොකද දේශීය සිරිත් ගැන අපි විවේචනය කරන්නෙ ඒවා පිළිබඳ නිසි අවබෝධයක් නැතුවයි..මේවයේ යම් කිසි විද්‍යාත්මක වටින කමක් තියෙන්න පුලුවන් ඒත් තියන ගැටළුව අපි දැනට ( බාගෙට ) දැනගෙන ඉන්න බටහිර විද්‍යාවේ මාන වලට මේවා අර්ථකතනය කරන්න බැරි වීමයි …

  5. මචං අපේ නෑදෑකෙනෙකුත් ඉන්නවා. එයත් පංචායුධයක් දාලා පොඩි‍එකාගේ කරේ. මම කිවිවා ඕවයින් ඇති වැඩක් නෑ කියලා. ඒත් විශ්වාස කරන්නේ නෑ. මිත්‍යාවිශ්වාස වල එලඹ සිටින අයට හොද ආටිකල් එකක් තමයි මේක.

හෙළයා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න