මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

අපි ජීවිතයත්-මරණයත් අතර කාරණාවලදී හැසිරෙන ආකාරය ගැන කියවෙන බෞද්ධ කථාවක සංක්ෂිප්තය තමයි “මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය” කියලා කියන්නෙ. මේ ගැන කියවෙන කවියකුත් අහලා ඇති.

වනෙත් ගිජිඳාය සිටියොත්       වැනසේය
ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ         කාය
අතකින් කරවැලකි අතකින් දඬුවැල්  බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි   කෑය

වනාන්තරයේ අතරමංවූ මිනිහෙක් පසුපස රෞද්‍ර කොටියෙක් හඹා එනවා. කොටියා ඉන්නේ බඩගින්නෙ. කොටියා මිනිසාට වේගයෙන් ළං වෙනවා. මිනිසාට මෙයින් ගැලවීමේ මඟක් නෑ. (කවියට අනුව නම් කැලේ ඉන්නෙ අලියෙක්. උගෙන් ගැලවෙන්න තමයි මේ මිනිහා යන්නෙ.)

මර බියෙන් යන මේ මිනිසා දකිනවා පාළු ලිඳක්. මේකට පැනලා ජීවිතේ බේරගන්නවා කියලා හිතලා මේ මිනිහා හෙවිල්ලක්-බැලිල්ලක් නැතිව ලිඳට පනිනවා. ලිඳට ඇතුලට වැටෙන අතරෙ තමයි මිනිහා දකින්නෙ ලිඳේ වතුර නෑ, ඒක හිඳිලා බව. ඒ මදිවට ලිඳේ දරණගහගෙන ඉන්නෙ පත නයෙක්. ලිඳට වැටුනොත් මැරෙනවා. බැරිවෙලා හරි බේරුනොත් නයා දෂ්ඨ කරනවා, එතකොට කොහොමත් මැරෙනවා.

ඉබේම වගේ මිනිහගෙ අත ලිං බැම්මේ තියන එල්ලෙන්න පුළුවන් දෙයක් හොයනවා. අර කථාවට කියන්නෙ ගිලෙන්න යන මිනිහා පිදුරුගහෙත් එල්ලෙන්න බලනවා කියලා. කොහොමහරි වාසනාවට(ද අවාසනාවටද කියන්න බෑ) මිනිහගෙ අත වදිනවා ලිං බැම්මෙ තියන (ගහක) මුලක. ඉබේම මිනිහ ඒ මුල අල්ලගත්ත නිසා ලිඳට නොවැටී බේරෙනවා. පොඩ්ඩක් සිහි කල්පනාව ආවට පස්සෙ තමා මිනිහට තේරෙන්නෙ තමන් වැටිල ඉන්න තත්වෙ.

දෑතින්ම ගහේ මුල බදාගෙන ඉන්න මිනිහට උඩ බැලුවහම පේන්නෙ බඩගින්නෙ ඉන්න කොටියා දත් විලිස්සමින් ලිඳට අත දාල පහුරුගාන හැටි. කොටියා හදන්නෙ කොහොමහරි මිනිහව අල්ලගන්නයි. ඒත් මිනිහ එල්ලිලා ඉන්න මුල තියෙන්නෙ කොටියගෙ අත් පසුරු වලට නොවදින සීමාවෙ, ඊට වඩා පොඩ්ඩක් පහලින්. යන්තම් බේරිලා. පහල බැලුවහම පෙනුනෙ නයා පුළුවන් තරම් කෙලින් වෙලා පෙනේ පුප්පමින් මිනිහගෙ පතුලට දෂ්ඨ කරන්න හදන හැටි. නයා කෙලින් වුනත් මිනිහගෙ පතුලට උස මදි. කකුල් දෙක තියෙන්නෙ නයාට ළං වෙන්න පුළුවන් සීමාවට පොඩ්ඩක් උඩින්. නූලෙන් බේරිලා ඒ විදියටත්.

නයි-කොටි මදිවට මීයො කිව්වලු! ඒ අස්සෙ කොහෙන්ද මතුවෙච්ච කළුයි-සුදුයි මීයො දෙන්නෙක් මේ මිනිහ එල්ලිලා ඉන්න ගහේ මුල හපාකන්න ගත්තා. දැන්නම් ඉතින් මොන විදියකටවත් ගැලවීමක් නෑ. කොටිය කොහොමහරි අල්ලනොගත්තොත්, මුල කඩාගෙන ලිඳට වැටිලා හරි මැරෙනවා. ඒකෙන් බේරුනොත් නයා දෂ්ඨ කරලා මැරෙනවා. මරණ තුනයි!

ලිඳ උඩ ඉඳල කොටියා මිනිහව අල්ලගන්න පහුරුගානකොට උගෙ ඇඟ වදිනවා ඒ ලිඳ අයිනෙ තියන පොඩි ගහක. ඒ ගහේ හෙලවෙනවා මේ නිසා. හෙල්ලීම නිසා  ගහේ තියන මී වදයකින් පැණි බිංදු බිමට වැටෙනවා. වැටෙන්නෙ මුලේ එල්ලිලා ඉන්න මිනිහා අසලින්. මරණ තුනක් තියෙන මේ මිනිහා වැටෙන මී පැණි බින්දු දිව දික්කරලා කට ඇතුලට ගෙන රස බලමින් “අහා, මේ මී පැණි කොච්චර රසවත්ද?” කියලා හිතමින් සතුටු වෙනවා. (කවියේ කියවෙන ලෙසට මිනිසා අත මී වදය හෝ දඬුවැල් බෑය තිබෙනවා.)

සාම්ප්‍රදායිකව කථාව මෙතනින් නතර වෙනවා. එයට නිසි අවසානයක් නෑ.

අපගේ ජීවිතය ගැන උපමාකාරයෙන් කියන මේ බෞද්ධ කථාවෙන් අපට සිතීමට යමක් ඉතුරු කරනවා.

මරණය වටකොටගෙන තිබුණත්, නිස්සාර දෙයක් වෙනුවෙන් වෙහෙස වීමට පෙලඹීම සහ ඒ ක්ෂණික සතුටින් සැනසීම මිනිස් ගතිය බව මේ කථාවෙන් කියවෙනවා.

සංසාරයේ අතරමංව සිටින අප පසුපස මරණය හඹා එනවා. අපි ජීවිතය එල්ලී තිබෙන්නේ මරණය දෙපසින් තබාගෙනයි. ජීවිතය එල්ලිලා තිබෙන අඩමාන බන්ධනය දිවා-රෑ නැමති මීයන් විසින් කා දමනවා. ඒ අතරතුරේ කොහෙන් හෝ මී පැණි බිඳකුත් වෑස්සෙනවා.

මරණය අප වටකොටගෙන සිටියත් ඒ මී පැණි බිඳ රසබලන්නට අපි බුද්ධිමත් විය යුතුයි. වෙන කරන්නට කිසිම දෙයක් නැති විටෙකදී, කිසිවක් නොකර ජීවිතේ මී පැණි රස බලන්න.

මේ කථාවේ සඳහන් මිනිසාට ඉන්පසු කුමක් වෙන්න ඇතිද?

මේ කථාව අජාන් බ්‍රහ්ම (Ajahn Brahm) හිමියන්ගේ Opening the door of your heart පොතේ සඳහන්. (මේ ලිපිය ලිවීමට ඒ පොත ආශ්‍රිතයි.)

මට අමතක වෙලා තිබුනු ඉහත සඳහන් කවිය මතක් කරගන්න මේ ලිපිය උදව් වුනා.

http://dulani-pavithra.blogspot.com/2010/02/blog-post.html

Advertisements

“මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය” වෙත සිතුවිලි 18ක්

  1. ම්…. ඇත්තටම මම හිතන්නේ මේකතාවේ අර්තය ලැබෙන ටික ඉඩෙත් පැණි බිඳ රසබල්නනට බුද්ධිමත් වීමෙන් නොවේ. ලැබුන අවස්තාවෙන් ඒයින් ගැලවීමයි. ඒකියන්නෙ අපට ලැබිල තියෙන ක්ෂණ සම්පත්තිය නැතිවෙන්න නොදී එයින් සසරෙන් ගොඩ වීමයි. නැතුව මරණ තුනක් ඇති මිනිසෙක් පැනි කෑව වගේ ජීවිතය අන්ද ලෙස කා දැමීමට නොවෙයි. මමනම් තේරුම්ගත්තේ මෙන්න මේ විදියටයි.

    1. ඔබ කියන දේත් හරි.
      නමුත් මරණය වටකොටගෙන ඇති අවස්ථාවක කරන්නට වෙන කිසිම දෙයක් නැතිනම්, මී පැණි රසබලන එක බුද්ධිමත්කමක්. මී පැණි කන්නට ජීවත්වීම නම් අනුවණකමක්.

  2. මම අහල තියෙන කතාවනම් මීට වඩා ටිකක් වෙනස්…..

    මිනිහෙක් කැලේ මැදින් යද්දි තනි අලියෙක් පන්නන් එනවා……. දුවගෙන යද්දි මේ මනුස්සයා වලකට වැටෙනවා…….. වැටෙන මගදි අහු වෙන වැලක් අල්ල ගෙන උඩ බලද්දි අලිය වල ලඟ ඉන්නවා….. වල ඇතුල බලද්දි කොටියෙක් ඉන්නව වලේ වැටිල…… දවස් ගානක් බඩගින්නෙ හිටපු කොටිය මිනිහගෙ ලේ සුවඳ දැනිල යට ඉදන් ගොරවනවා….. අල්ලන් හිටිය මුල දිහා බලද්දි වල කෙලවරේ කරවැලෙක් (සර්පයෙක්) එතිල ඉන්නවා….. අර එල්ලිලා ඉන්න මුල උඩ දඬුවැල් බෑයක්…. එ මුල දිගේ මී පැනි බේරෙනව මෙ මනුස්සය අත දිගේ බේරෙන මී පැනි ලෙවකනවා…… මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කාය කියල මම අහල තියෙන කතාව නම් මේකයි…

    වලෙන් උඩට යන්න බෑ තනි අලියා, වලට පනින්න බෑ කොටිය, වැලේ එල්ලිලා ඉන්නත් බෑ කරවලා…

    ස්තුතියි දැනගෙන නොහිටිය කතාවකුත් කිවුවට …….. 🙂

  3. ලංකාවේ ජන කතාවලින් හොදම කතාව මේකයී කියන්න පුලුවන්. මේ කතාව ජීවිතය පිලිබද දාර්ශණික ගැටලු රාශියක් බොහොම පැහැදිලිව තනි උපමාවකින් පෙන්වනවා. අපි හැමෝම කරන්නේ මරණ තුනක් තියාගෙන් පැනි කෑම තමයී. සමහරු මරණ තුන ගැනම වද වෙවී, පැනිත් කරදරයැක්යැයී සිතනවා. සමහරු අවස්තාවක් / වාසනාවක් ලැබුනෝතින් ගැලවෙනවා. (අවස්තාව, නැත්තම් වාසනාව සමීකරනෙට එන්නේ එතකොටයී.)

    මේ වාගේ තවත් කවියක් තමයී, අම්බලමේ පිනා.

  4. ඔයාගෙ ලිපියෙන් අපිට හිතන්න හුගක් දේවල් කියලා දීලා තියෙනවා. කවිය නම් හරි, ඒත් මම අහලා තියෙන විදිහට නම් ගිජිදා කියන්නෙ ඇතාට. කොටියාට නෙවෙයි. මම හරියටම දන්නෙ නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )