ඕමාර් ඛයියාම් නම් විද්‍යාඥයා

ඕමාර් ඛයියාම්…ඔබට මතක් වෙන්නේ රුබයියාට් නේද? (Rubáiyát of Omar Khayyám)  රෝස මල්, මධු පානය, කාන්තාවන්….ඕමාර් ඛයියාම් අමරණීය කළ කාව්‍ය සංග්‍රහය වන රුබයියාට් විශිෂ්ඨ නිර්මාණයක්. ඔහුව අමරණීය කළ නිර්මාණය රුබයියාට් වුනත්, ගණිතයේ සහ විද්‍යාවේ උන්නතියට ඔහුගෙන් වූ සේවාව ඔහු කවියෙක් ලෙස ලබා ඇති කීර්තියෙන් වැසී යනවා.  ඕමාර් ඛයියාම් මධ්‍යතන යුගයේ විසූ ප්‍රධාන ගණිතඥයෙක් සහ තාරකා විද්‍යාඥයෙක් වුනා. එමෙන්ම ඔහු දාර්ශනිකයෙක් ලෙසද ප්‍රකටයි.

ගණිතඥයෙක්

ඕමාර් ඛයියාම් ගණිතය සම්බන්ධයෙන් නිබන්ධන කිහිපයක්ම රචනා කර තිබෙනවා. 1070 දී රචිත “වීජ ගණිතයේ ගැටළු ආදර්ශනය” (Treatise on Demonstrations of Problems of Algebra) නිබන්ධනය ඝනජ සමීකරණ (Cubic equations) විසඳීම පිළිබඳව විස්තර කෙරෙනවා. සිව්වන සහ ඉහල ගණවල සමීකරණද එම ආකාරයටම විසඳීමේ හැකියාව ඔහු සොයාගෙන තිබෙනවා. ජ්‍යාමිතිය භාවිතයෙන් වීජ ගණිත සමීකරණ විසඳීම (geometric algebra) ඛයියාම් තම නිබන්ධනයක විස්තර කරනවා. ගණිතයට ඛයියාම්ගෙන් වූ වැදගත්ම දායකත්වය ඝනජ සමීකරණවලට ජ්‍යාමිතික විසඳුම් ලබාදීම (geometric solutions to cubic equations) ලෙස සැලකිය හැකියි.

එමෙන්ම ඛයියාම් සතුව ද්විපද ප්‍රමේයයක්  (binomial theorem) තිබූ බවට ගණිත ඉතිහාසඥයන් විශ්වාස කරනවා. ඉහත සඳහන් නිබන්ධනයේ ද්විපද ප්‍රමේයයක් ගැන ඇති සඳහන, පොදු ද්විපද ප්‍රමේයයක වැදගත්කම දැන සිටි බවට සාක්ෂියක්.

ග්‍රීකයන් වෘත්තයක පරිධිය සහ විෂ්කම්භය අතර ඇති අනුපාතය (pi-π),   සමචතුරස්‍රයක විකර්ණය සහ පාදයක දිග අතර ඇති අනුපාතය (වර්ගමූල 2) වැනි අපරිමේය සංඛ්‍යා  (irrational numbers) ඉලක්කමෙන් ලිවිය හැකි බවට සැලකුවේ නැහැ. ඕමාර් ඛයියාම් අපරිමේය සංඛ්‍යා ඉලක්කමෙන් ලිවිය හැකිවන ලෙස සංඛ්‍යා පිලිබඳ සංකල්පය වැඩිදියුණු කළා. යුරෝපීයයන් එම අදහස සලකා බැලුවේ 17 වන සියවසේදීයි.

ඛයියාම්ගේ නිබන්ධන පසුකාලීනව යුරෝපීයයන්ගේ ගණිතමය සංකල්පවලට ඉවහල් වූ බවට සැකයක් නෑ. 17-18 සියවස්වල විසූ ඉතාලි ගණිතඥයෙක් වන ගියෝවානි සැකෙරිගේ  (Giovanni Gerolamo Saccheri) ගණිතමය සංකල්පවලට මූලබීජ වූයේ ඛයියාම්ගේ නිබන්ධන බවට සැක කෙරනවා. සැකෙරි චතුරස්‍ර ලෙස හැඳින්වූ චතුරස්‍ර විශේෂය අද ඛයියාම්-සැකෙරි චතුරස්‍ර (Khayyam–Saccheri quadrilateral) ලෙස හැඳින්වෙන්නේ එම අදහස මුලින්ම ඉදිරිපත් කළේ “යුක්ලිඩ්ගේ උපකල්පිත වල දුෂ්කරතා විස්තර කිරීම” (Explanations of the Difficulties in the Postulates of Euclid)  යන ඛයියාම්ගේ නිබන්ධනයෙන් බැවින්. ඔහුගේ අධ්‍යයනය යුරෝපීයයන් ඉදිරියට ගෙන යන්නේ තවත් වසර 600 කට පසුවයි.

තාරකා විද්‍යාඥයෙක්

එවක පර්සියාවේ විසූ බොහෝ ගණිතඥයන් මෙන් ඛයියාම්ද තාරකා විද්‍යාඥයෙක් වුනා. සමකාලීන පිළිගත් විද්‍යාර්ථීන් සමඟ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයක් බිහිකරන ලෙස එවක පර්සියාවේ සුල්තාන්වරයා ඛයියාම්ගෙන් ඉල්ලීමක් කළා. ඛයියාම් සහ පිරිස සූර්ය වර්ෂයක (solar year) කාලය බොහෝ නිවැරදිව ගණනය කළ අතර එය පදනම්කොටගෙන දිනදර්ශනයක්ද පිලියෙල කළා. ඊට වසර 500 කට පසුව ග්‍රෙගරි පාප්තුමා සැකසූ  ග්‍රෙගෝරියානු දිනදර්ශනයටත් වඩා එය නිවැරදියි. වසර 33 කට අධික වර්ෂ 8 ක් එන ලෙස සැකසූ එම දිනදර්ශනය ඉරානයේ නූතන දිනදර්ශනය සැකසීමට පදනම් කොටගෙන තිබෙනවා.

පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වනබව සරල ආකෘතියක් පාවිච්චියෙන් ඔහු පෙන්වාදී තිබනවා. පසුබිම් තරු පෘථිවිය වටා භ්‍රමණය නොවන බවත්, ඒවා ස්ථාවර බවත් ඔහුගේ මතය වුනා. මෙමඟින් සූර්ය කේන්ද්‍රවාදී (heliocentric) අදහසක් ඉදිරිපත් වෙන බව සිතිය හැකියි. සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත්කළ බවට ප්‍රචලිත කොපර්නිකස් ඒ අදහස ඉදිරිපත් කළේ ඛයියාම්ට වසර 400 කට පසුවයි.

එවකට පර්සියාවේ සහ ඉස්ලාම් ලෝකයේ ප්‍රචලිත තරු සිතියමක්ද (star map) ඛයියාම් විසින් නිර්මිත බව කියැවෙනවා.

දාර්ශනිකයෙක්

දාර්ශනිකයෙක් වූ ඛයියාම් ආගම ගැනත් ගණිතමය සංකල්ප ගැනත් දාර්ශනික මත ඉදිරිපත් කර තිබෙනවා. ඉස්ලාම් ආගමිකයෙක් වුවත් නොබියව මධුවිත රසවිඳීමටත්, කාන්තාවන් ඇසුරු කිරීමටත් රුබයියාට් තුලින් පැවසීම ආගම ගැන ඔහු දැරූ අදහසට උදාහරණයක්.  ගණිතමය අනුපිළිවෙල, ගණිතයේදී ප්‍රත්‍යක්ෂවල වැදගත්කම, ස්වභාවික සහ ගණිතමය වස්තු අතර වෙනස්කම පිළිබඳව ඛයියාම් දාර්ශනික මත ඉදිරිපත් කළ බවට සැලකෙනවා.

කොපර්නිකස්, ලියනාඩෝ ඩා වින්සි බඳු බහුශාස්ත්‍රඥයන් (polymath) ගණයට අයත් ඕමාර් ඛයියාම්ට කවියෙක් ලෙස පමණක් ගෞරව කිරීම ඔහට කරනා අසාධාරණයක්!

ගණිතයේ ඉතිහාසය හෝ තාරකා විද්‍යාවේ ඉතිහාසය ගැන ඉගැන්වීමේදී මධ්‍යතන යුගයේදී එම විද්‍යාවන්ට මහඟු මෙහෙයක් ඉටු කළ ඛයියාම් බඳු විද්‍යාඥයින් බලෙන් අමතක කරනා බවයි පෙනී යන්නේ. ග්‍රීකයන්ගේ දැනුම සියවස් ගණනක් තමන් සන්තකයේ තබාගෙන සිට නැවතත් පුනරුද යුගයේදී යුරෝපීයයන්ට දායාද කළ පුස්තකාලයක බඳු සේවයක් පමණක් පර්සියානුවන් ප්‍රමුඛ අරාබි විද්‍යාර්ථීන් ඉටු කළ බවට ඇති දුර්මතය ඉවත් කළ යුතුයි. අරාබිය පමණක් නොව චීනය, ඉන්දියාව (සහ ලංකාව) ආදී පෙරදිග රටවල දැනුම නූතන විද්‍යාවේ මූල බීජ බව මතු පරපුරට ඉගැන්විය යුතුයි.

π

Advertisements

10 thoughts on “ඕමාර් ඛයියාම් නම් විද්‍යාඥයා”

  1. බටහිර විසින් අමතක කර දැමු මුස්ලිම් ව්ද්වතුන් පිලිබදව වැඩසටහනක්, The Secret Scientist නමින් බ්.බ්.සි. ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය වුනා (පුදුමයි!). එහි ලින්ක් එක පහතින් තිබෙනවා.

    (http://www.bbc.co.uk/worldservice/documentaries/2009/04/090414_secret_scientists.shtml)

  2. මේ කතාව බොහෝ දෙනාට අදාලයී නේද. මාටින් වික්‍රමසින්හ, ඔස්කාර් වයීල්ඩ් ලේඛකයෙක් පමණක් නොවෙයී. ස්ටෙපන් ෆ්‍රයී නලුවෙක් පමණක් නොවෙයී. දඟ ලමයා, දඟ ලමයෙකු පමණක් නොවෙයී. බොහෝමයක් වෙලාවට පුද්ගලයන් කියන්නේ නාම පද නොවෙයී, ක්‍රියා පදයී. පුද්ගලයන් ද්විමාන නොවෙයී, බහුමානයී. නමුත් අපේ පහසුව සදහා යූද්දෙන් මියගිය පුද්ගලයන් සංඛ්යාව අවසාන දාහට වටයනවා වාගේ, අපි පුද්ගලයන්වත් පහසුම නාම පදයට රවුම් කරලා විස්තර කරනවා. විවිචනය කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )