මගේ නම (අපිජිහ්විකාවෙන්) ඛාන්

මමත් “මයි නේම් ඉස් ඛාන්” චිත්තරපටිය (ගෙදර ඉඳන්) බැලුවා. ඕන තරම් අය ඇති තරම් ඒ චිත්තරපටිය ගැන කථා කරල තිබ්බ. ඉතින් මමත් ඒ ගැනම ලිව්වට මොකෝ?

ශාරුක්ගේ රඟපෑම නම් බොහොම ඉහළයි. දෙන්න හදන පණිවිඩෙත් වැදගත් එකක්. ඒ උනාට මොකද ඒක තවත් හින්දි චිත්තරපටියක් විතරක් වගේ මටනම් තේරුනෙ.

“තවත් හින්දි චිත්තරපටියක්” කිව්වෙ සියල්ල (නැතත් ටිකක් හරි) සතුටින් නිමාවන, අවසානය හිතාගන්න පුළුවන්, අභව්‍ය සිද්ධි අඩු නැති චිත්තරපටියක් නිසයි. (හොලිවුඩ් චිත්තරපටි ඔක්කොටම වඩා අභව්‍යයි. කොහොමද අප්පා මකුළුවෙක් කෑවහම අතින් මකුළුදැල් විදින්න පුළුවන් වෙන්නෙ?)

කොච්චර හොඳ කථාවක් වුනත් කරන් ජොහාර්ට වැරදුන තැන් කීපයක් තිබ්බා. එකක් තමා ඇමරිකාවෙ පොඩි නගරෙකට ගංවතුර ගැලුවට පස්සෙ වෙනදේ. ඛාන් කැලිෆෝනියාවෙ ඉඳන් වාහනවල එල්ලෙ එල්ලි එන්න දවස් දෙකක්වත් යනවා. එතකං ඇමරිකන් කාරයෝ මොකද කළේ. අනික ඛාන්ට එන්න පුළුවන්නම් ඇයි ඇමරිකන් කාරයන්ට බැරි? ඇමරිකන් කාරයෝ (තමන්ගෙ රටේ) අනිත් මිනිස්සුන්ට කෙල වෙලා ගියත් කමක් නෑ කියලා හිතලා පැත්තකට වෙලා බකං නිලා ඉන්න සත්ව කොට්ඨාසයක්ද? ඇමරිකාවෙ නැගෙනහිර මායිමක තියන (ජෝර්ජියා වල) නගරෙක මිනිස්සුන්ට උදව් කරන්න බටහිර කොණේ කැලිෆෝනියාවෙන් මුස්ලිම් මිනිස්සු එන්න ඕනෙද? ඇමරිකාවෙ හෙලිකොප්ටර් එහෙම නැද්ද ඔය ගංවතුරකදි එහෙම මිනිස්සු බේරගන්න? (මේ සිද්ධිය ඉන්දියාවෙ උනා නම් ඔන්න ඇත්ත කියලා හිතන්න තිබ්බා.) හින්දි චිත්තරපටියක වීරයා පොර වෙනවා කියන්නෙ ඕකට තමා.

අර පල්ලියක ඉඳන් අන්තවාදී මත පතුරවලා සෙනඟ බඳවාගන්න දොස්තර වගේ මෝඩ ත්‍රස්තවාදියෝ ඉන්නවද මේ ලෝකෙ? හොර රහසෙ කට්ටියව බඳවගන්නව මිස කවදාවත් නොදැක්ක මිනිස්සු ඉන්න තැන්වල ප්‍රසිද්ධියේ ඔය වගේ රැස්වීම් තියනවද?

තමන් උපයන දෙයින් හරියටම මැනලා කොටසක් පිනට දෙන අවංක මුස්ලිම් අය ඉන්නවද? (එහෙම අය ඇති. මුස්ලිම් අය අවංක නෑ කියල කිව්ව නෙවේ ඔන්න.) අනික සාමාන්‍යයෙන් පිනට දෙන ටික දෙන්නෙ පල්ලියටනෙ. ඛාන් සල්ලි 9/11 වලින් විපතට පත් අයට දෙනකොටත් නුහුරු ගතියක් වගේ දැනුනෙ ඒ නිසා වෙන්න ඇති.

ඊලඟ විහිළුව ඇමරිකාවෙ ජනාධිපතිවරණෙ. ඇමරිකාවෙ ජනාධිපතිවරණෙ නොවැම්බර් මුල සතියෙ තිබ්බට ජනාධිපති වැඩ භාරගන්නෙ ජනවාරිවල. ‘පත්වූ’ ජනාධිපති නිල වැඩවල යෙදෙන්නෙ නෑ ජනවාරි වෙනකම්. ඛාන් එතකොට මුණගැහෙන්නෙ ඇමරිකාවෙ ඇත්ත ජනාධිපතිව නෙවේ. ‘පත්වූ’ ජනාධිපතිව විතරයි. (බුෂාව මුණගැහුනා කිව්ව නම් ඔන්න හිතාගන්න පුළුවන්, ගෙදර යන්න ඉන්න එකාට මොකාව මුණගැහුනත් කමක් නැති නිසා.)

“මගෙ නම ඛාන්. මම ත්‍රස්තවාදියෙක් නෙවේ” කියලා රිස්වාන් ඛාන් කිව්වහම හැම මුස්ලිම් පුද්ගලයම ත්‍රස්තවාදියො නෙවේ කියල අදහස එනවා තමා. ඒත් “මගෙ නම xxxx. මම ත්‍රස්තවාදියෙක්මි” කියලා කවුරුත් කියන්නෙ නැති බව අමතක කරන්නත් හොඳ නෑ.

කොහොම උනත් “මයි නේම් ඉස් ඛාන්” කියන්නෙ මම ආසාවෙන් බලපු හින්දි චිත්තරපටියක් කියලා කියන්න ඕනෙ.

Advertisements

16 thoughts on “මගේ නම (අපිජිහ්විකාවෙන්) ඛාන්”

  1. ඔයාගේ ලිපිය නම් හොඳයි.
    එත් නදී සහෝදරයා චිත්‍රපටයක් බලන්කොට අපි ටිකක් මෝඩ වෙන්න ඕන.එහෙම නැතුව අපි සත්‍ය ජිවිතයේදී වෙන විදිහටම චිත්‍රපටය තියෙන්න ඕන කියලා හිතුවොත් ඒක අපේ රසවින්ඳනයට බධාවක් වෙනවා. මේක මම කියපු එකක් නෙමෙයි ලොකේ ඉන්න ප්‍රවීණ කලාකරුවෝ වගේම ලංකාවේ ඉන්න ප්‍රවීණ කලාකරුවෝ කියපු දෙයක්.
    දැන් සහෝදරයා කියන විදිහට බැලුවනම් වාර්තා පිට වාර්තා තියපු 2009 වර්ෂයේ Oscar සම්මාන බොහෝමයක් ලබාගත්ත ඒ වගේම හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වූ Avatar චිත්‍රපටය My Name is Kahn චිත්‍රපටයට වඩා දුර්වල නිර්මාණයක් වෙනවා.මොකද ඒ චිත්‍රපටය පුරාවටම තියෙන්නේ මනකල්පිත විෂයක්.
    සහෝදරයා හිතන්න එපා මම My Name is Khan චිත්‍රපටය කඩේ යනවා කියලා.මට හිතුනා ලියන්න ඕන කියලා එකයි ලිව්වේ.
    වටිනා ලිපියක් දිගටම ලියන්න….සුභ පැතුම්

    1. ස්තුතියි ප්‍රතිචාරයට.
      චිත්‍රපටියක් බලන්නෙ ඒකෙ වැරදි හොයන්න නෙවෙයිනෙ. ඒක රස විඳින්න. මමත් මේ චිත්‍රපටිය රස වින්දා. නමුත් ඒකෙ වැරැදි කීපෙකුත් දැක්කා. ඒ වගේ පොඩි වැරදි වෙනුවට කථාව පොඩ්ඩක් වෙනස් කළානම් වඩාත් තාත්වික චිත්‍රපටියක් වෙලා ‘හින්දි’ චිත්‍රපටියක් නොවී කලාත්මක නිර්මාණයක් වෙන්න තිබ්බා. උදාහරණයක් විදියට අර ගංවතුර සිද්ධියෙදි ඛාන් ගංවතුරෙන් පසුව ඒ නගරයට ඇවිත් ඔහුගේ හිතැති අය හමුවීමත්, මුස්ලිම් මිතුරන් නගරය නැවත ගොඩනැඟීමට උදව් කිරීමත් වගේ වෙනසක් තිබුනා නම් වඩාත් තාත්විකයි. නිධානය වගේ කථාවක තාත්වික බව ඒ චිත්‍රපටියේ රසයට කොච්චර උදව් වෙනවද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
      අවතාර් විද්‍යා ප්‍රබන්ධ වර්ගයේ අනාගතයේ සිදුවන කථාවක්. ඒක වෙන්නත් ඉඩකඩක් තියන්වා අනාගතයේ සිදුවන එකක් නිසා නිසා. අනාගතයේ සිදුවන විද්‍යා ප්‍රබන්ධයක හෝ මනකල්පිත කථාවක සහ නූතනයේ ජීවිතය සම්බන්ධ කථාවක ලොකු වෙනසක් තියනවා.

  2. ඔහොම හිතනවා නම් ඉතින් හින්දි චිත්‍රපටි බලනව බොරු…

    වෙඩි කාගෙන මැරෙන්න ඔන්න මෙන්න හිටියට කෙල්ලගේ කටහඬ ඇහුන ගමන් නැගිටල එන ඒව කොච්චර නම් දැකල තියෙනවද..

  3. ඔයා ශාරුක් විවේචකයෙක්…(ඔහොම බැලුවාම swades , lagaan වගේ ෆිල්ම් වලත් අභවය දේවල් ඕන තරම් තියනවා..)
    මේකට බැරිවෙලා හරි ඔස්කාර් හම්බුනොත් නම් කට්ටිය නැති දේවලුත් දාලා සුපිරි විචාර ලියයි.. නැත්නම් මේකට සුද්දෙක් හොද විචාරයක් ලිව්වොත්..
    ඒ වගේම මෙහෙම කියන ඔයාට ඕනම හින්දි ෆිල්ම් එකක අඩුවක් පෙන්නන්න පුලුවන්..
    ඒ උනාට ඔස්කාර් සම්මාන ගහපු අභවය ෆිල්ම් ඕනේ තරම් තියනවා…(ස්ලම්ඩෝග් මිලියනර් : රටට ලොකේට කිසිම වැඩකට ඇති විශේෂ පණිවිඩයක්වත් දෙන්නේ නෑ නේ.. දැන් ඉතිO මේකට ඉන්දියාවේ මොකක් හරි පොයිට් අල්ලන් රිප්ලයි කරන්න එපා..)

    අභවය සිද්ධි නැති ෆිල්ම් එකක් ගැන කියනවද..? ප්ලීස්..
    ඒ නිසා අර සහොදරයෙක් කිවුවා වගේ ටිකක් මෝඩ වෙලා බලන්න..

    1. මම ශාරුක් විවේචකයෙක් නම් නෙවේ.
      මම ලිව්වෙ මේ චිත්‍රපටියේ තියන අභව්‍ය සිද්ධි කීපයක් ගැන. චිත්‍රපටියකට සම්මාන ලැබෙන්නෙ ඒකෙ තියන පණිවිඩයටම නෙවේ. ඒකෙ තියන කලාත්මක බවට. හින්දි චිත්‍රපටි ‘හින්දි’ චිත්‍රපටි වෙන්නෙ ඒවයේ තියන අභව්‍ය සිද්ධි නිසයි. ඒව අඩුපාඩු කියල හඳුන්වන්න මම කැමති නෑ. ඒත් ඒවා වැරදුන තැන් කිව්වොත් නිවැරදියි.

      කථාවේ වැරදි (අභව්‍ය සිද්ධි) සහ තාක්ෂණික වැරදි කියලා වර්ග දෙකක් තියනවා. මම සඳහන් කළේ කථාවේ වැරදි කීපයක් ගැන.

      සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිපදවූ චිත්‍රපටි ගොඩක් අභව්‍ය සිද්ධිවලින් තොරයි. (අභව්‍යයි කියලා හිතුනත් ඒවා සත්‍ය සිද්ධි!). මම කලිනුත් සඳහන් කළ, සිංහල සිනමාවේ විශිෂ්ඨ නිර්මාණයක් වන ‘නිධානය’ බලලා නැන්නම් බලන්න. සත්‍ය සිදුවීමක් නොවූවත් එහි කථා රසය උපරිමයි. එහි අභව්‍ය සිද්ධි ඇතියි මම හිතන්නේ නෑ.

  4. මමත් ඔය ගැන වෙනම (http://kalavama.blogspot.com/2010/04/my-name-is-v-and-im-not-terrorist.html)පොස්ට් එකක් දැන්මා .නමුත් මම බලපු හුගක් හින්දී වලට වඩා වෙනස් පනිවිඩයක් දෙන්න හදන එකක් මේ ෆිල්ම් එක.හැබැයි තව දෙයක් මුස්ලිම් කට්ටිය ඔය විදියට මුදල් සමාජ සේවය සදහා යොදවන්නේ පල්ලිය හරහා බව ඇත්ත.ඒ වගේම සමහරක් එවා තාත්වික හා ප්‍රයෝගික නැති බව ඇත්ත.හැබැයි ඉතින් මට හිතෙන්නේ එක සැරේ දහ දෙනෙක් එක්ක තනියෙන් ගහ ගන්නවාට වඩා මේ තියෙන තත්ත්වේ හොදයි.

    ඒ වුණාට අවුරුදු 10 ක පොඩි එකෙක් ෆිල්ම් එකක් බලද්දි තාත්වික අතාත්වික දේවල් අදාල නැ.ඒ ගොල්ලෝ වෙනම සිහින ලෝකයක් මවා ගන්නවානේ.ඉතින් මම හිතන්නේ යම් දෙයක් රස වින්දනය කරන්න ඒක තාත්විකද නැද්ද කියන එක වැඩක් නැ.

    සැ.ලි මම අවුරුදු 10 ක් පොඩි එකෙක් නෙමේ.හැබැයි ගෙදර නොවන උන් මට බනින්නේ අවුරුදු 10 කට වඩා පොඩි උන් කරන වැඩ කරනවා කියලා.( උදා මම නිවඩු දවස්වලට කාටුන් බලන එකට එහෙම )

  5. “මේ ලෝකයේ දෙවර්ගයක මිනිසුන් ඉන්නවා. එක් වර්ගයක් හොද මිනිස්සු, අනික න‍රක මිනිස්සු.”

    ගත යුතු දේ ගන්න. නොගත යුතු දේ බැහැර ක‍රන්න. විචාරය ලේසියි. නමුත් මුල් ව‍ර සිතීම දුශ්ක‍රයි. හැම දෙනෙක්වම සතුටු ක‍රන්න බැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )