සිරස සුපර් ස්ටාර් සහ ඇමරිකන් අයිඩල්

සිරස සුපර් ස්ටාර් (Sirasa Super Star) තුන්වන වටය පසුගිය සතියේ නිමා වුනා. ඇමරිකන් අයිඩල් (American Idol) නමවන වටය තවත් සති කීපයකින් නිමාවීමට නියමිතයි. සිරස සුපර් ස්ටාර් කියන්නෙ ඇමරිකන් අයිඩල් වල කොපියක් කියලා දන්නෝ දනිති. ඒත් සුපර් ස්ටාර් කොපියක් කිව්වට අමුතුම ජාතියේ කොපියක් වෙන්නෙ කොහොමද කියලා විස්තර හොයලා බැලුවොත් තේරෙනවා.

සිරස සුපර් ස්ටාර් වලයි ඇමරිකන් අයිඩල් වලයි මම දකින මූලික වෙනස තමා පැවැත්වෙන සහ ප්‍රදර්ශනය කරන කාලසටහන. සුපර් ස්ටාර් කවදා පටන් අරන් කවදා ඉවර වෙනවද කියල විශ්වාස නෑනෙ. ඇමරිකාවෙ රූපවාහිනී වැඩසටහන් ඔක්කොම වගේ පෙන්නන්නෙ අවුරුද්දෙ යම් නියමිත කාලයක. ඒ නිසා අයිඩලුත් හැම අවුරුද්දකම ජනවාරි ප්‍රදර්ශනය පටන් අරන් මැයි මාසෙ ඉවර වෙනවා. සුපර් ස්ටාර් වගේ බඩවැල වගේ අදින්නෙ නෑ. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට කම්මැලි නැතුව බලන්න පුළුවන්.

අයිඩල් සඳහා සහභාගි වෙන්න පුළුවන් වයස අවුරුදු 16 ත් 28 ත් අතර අයට පමණයි. (පළමු වට තුනේ වයස සීමාව 16-24 වී තිබුනා.) සුපර් ස්ටාර් වල උපරිම වයස් සීමාවක් නෑ මම දන්න විදියට නම්. තවත් දෙයක් තමා අයිඩල් වල අවසන් 24 (හෝ 36) දක්වාම තරඟකරුවන් විනිශ්චයකරුවන් විසින් තේරීම. එම 24 දෙනා සිටින අවසන් පූර්ව වටයේ සිට පමණයි මහජනතාවට තම කැමැත්ත ප්‍රකාශ කළ හැක්කේ. සුපර් ස්ටාර්වල කලින්ම මහජන මනාප ඉල්ලන්නෙ ජනතා පරමාධිපත්‍යය සඳහාද වෙන යමකටද කියලා හිතාගන්න එක මහජනයාටම භාර දෙමු.

සුපර් ස්ටාර් සහ අයිඩල් දෙකටම පොදු, ඒත් වෙනස් ලක්ෂණ ගණනාවක්ම තියනවා. ජනතාවගේ මනාපය ප්‍රකාශ කිරීම එයින් එකක්. අයිඩල් වලදි මනාප ප්‍රකාශ කරන්න පුළුවන් තරඟය අවසන් වුන මොහොතේ ඉඳලා පැය දෙකයි. සුපර් ස්ටාර් වල පහු වෙනිදා වෙනකම් පුළුවන්නේ මනාප යවන්න. ඊලඟ දේ තමා අයිඩල් වලින් ඇත්තටම ජනතාවගේ කැමැත්ත විමසා බලනවා මිස ඒක ව්‍යාපාරයක් කරගෙන නොතිබීම. තරඟකරුවන්ට මනාප ප්‍රකාශ කරන්න එක්කො ඕනෑම දුරකථනයකින් ඇමතුමකින්, එහෙම නැත්නම් AT&T ජංගම දුරකථනයකින් කෙටි පණිවිඩයක් යැවීමෙන් පුළුවන්. ඒ දුරකථන ඇමතුම් Toll free හෙවත් නොමිලේ ලබාගතහැකි ඇමතුම්. ඒ කියන්නෙ කෝල් කරලා තමන්ගෙ කැමැත්ත ප්‍රකාශ කරන්න සතයක්වත් යන්නෙ නෑ. කෙටි පණිවිඩවලට යන්නෙත් සාමාන්‍ය කෙටි පණිවිඩයක්ට යන වියදම විතරයි. ඇමරිකාවෙ ගොඩක් අය කෙටි පණිවිඩ  ඕන තරම් (අමතර ගාස්තුවකින් තොරව) යවන්න පුළුවන් විදියේ සබඳතා පාවිච්චි කරන නිසා ඒකටත් අමතර වියදමක් යන්නෙ නෑ. ඒ නිසා මහජනතාව තමන් කැමති තරඟකරුවට මනාපයක් දෙන්න මැලි වෙන්නෙ නෑ (අමතර වියදමක් යන්නෙ නැති නිසා.)

සුපර් ස්ටාර් වල කෙටි පණිවිඩ වලට වැඩිපුර ගාස්තු අය කරන්න ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. සුපර් ස්ටාර් වලදි ඇත්තම මහජන මතය නිරූපණය වෙනවා කියන්න අමාරුයි ඒ අමතර ගාස්තු ක්‍රමය නිසා මිනිස්සු ප්‍රතිචාර දක්වන්න නොපෙලඹීම හේතුවෙන්.

අයිඩල් වල අවසන් වටයේ වැඩසටහන් සජීවීව විකාශය කරනවා. සුපර් ස්ටාර් වලදී අවසන් තරඟය පමණයි සජීවීව විකාශය කරන්නේ මම දන්න තරමට.

තරඟය අවසන්වීමෙන් පසු සුපර් ස්ටාර් තරඟ කරුවන්ට සිරස සමඟ ගිවිසුමකට එලඹෙන්න සිදුවෙනවා. ඔවුන්ගේ ගීත වලින් ලැබෙන ආදායමින් කොටසක්ද සිරස ආයතනයට ලැබෙනවා.  නමුත් අයිඩල් වලදි එහෙම නෑ. අයිඩල් ජයග්‍රාහකයාට ගීත ඇල්බමයක් පටිගත කිරීමට ඩොලර් මිලියනයක් ලැබෙනවා. අයිඩල් නිෂ්පාදකයාට අයිති සමාගමෙන් එය කළමනාකරණය කෙරෙන අතර අනෙකුත් තරඟකරුවන්ට තමන් කැමති ලෙසට ගීත පටිගත කිරීමට පුළුවන්.

ඇමරිකන් අයිඩල් දිනලා (හෝ සහභාගි වෙලා) ගීත ක්ෂේත්‍රයේ වැජඹෙන ගායක-ගායිකාවො හිටියත්, සිරස සුපර් ස්ටාර් වලින් ලංකාවෙ ගායන ක්ෂේත්‍රයට අලුත් මුහුණු හඳුන්වලා දුන්නත්, ඒ අය ක්ෂේත්‍රයේ ඉස්සරහට ඇවිත්ද, නැද්ද කියන එක ප්‍රශ්නයක්.

තමන්ගෙ නෑදෑ-හිත මිත්‍රයන්ට සල්ලි දීලා කෙටි පණිවිඩ යවාගන්න තරඟකාරයෝ සුපර් ස්ටාර් වල ඉන්න බව රහසක් නෙවෙයි. ඒත් මිලියන ගානක් මනාප ලැබෙන ඇමරිකන් අයිඩල් වලදි ඒ වගේ වැඩකින් ලොකු වෙනසක් ලබාගන්න ලේසි නෑ.

අයිඩල් වලදි විවිධ හේතු නිසා නුසුදුසු වූ තරඟකරුවන්ව තරඟයෙන් ඉවත් කළ අවස්ථා ගැන දැනගන්න තිබ්බත් සුපර් ස්ටාර් වලදි අහන්න ලැබෙන්නෙ සිරසට ඕන තරඟකරුවන්ව ආයෙත් තරඟයට ගෙනාව කථා.

මට වැටහෙන විදියට සිරසෙන් ඇමරිකන් අයිඩල් ගුරුකොටගෙන තමන්ට ලාභ ලැබෙන විදියට ඒක වෙනස් කරලා ව්‍යාපාරයක් බිහි කරලා තියනවා ‘සිරස සුපර් ස්ටාර්’ කියලා. ‘ඩාන්සින් ස්ටාර්’ කියන්නෙත් ඒ අරමුණින්ම හදපු තවත් එකක්. නවක ගායක ගායිකාවන් ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නත් සිරසේ අරමුණ වෙනත් එකක් කියලා හොඳින් බැලුවොත් වැටහෙයි. (සිරස විතරක් නෙවෙයි අනිත් නාලිකාත් කරන්නෙ ඒ වැඩේම තමා. ඒ අයගෙත් හොඳක් නෑ.) මට දුක අපේ මිනිස්සු රූපවාහිනී නාලිකා පෝසත් කරන්න මේ වැඩසටහන් වලට කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් යවලා දායක වෙන එකයි. ඇත්ත ඇති හැටියෙන් දකින්න ලැබේවා!

Advertisements

19 thoughts on “සිරස සුපර් ස්ටාර් සහ ඇමරිකන් අයිඩල්”

  1. ඔව් සහෝදරයා. මූලික වටවලදී, අහිංසක මිනිස්සු සිනහවට ලක්කරලා සිරස කලේ මහම මහා අසික්කිත වැඩක්…අන්තිමට බොරැවට කිංස්ලිලා ඇවිත් බබා පාට් දානවා. ඒත් උන් විකුණන්නේ අහිංසක මිනිස්සුන්ගේ ආත්ම කියලා උන්ට තේරැණත් අපේ හැලපෙයොන්ට තේරෙන්නේ නෑ

    1. අනිත් නාලිකා වලින් කරන්නෙත් ඒ වැඩේම තමා කියල විතරක් ලිව්වට ඒවත් සිරසට දෙවෙනි නෑ. හොඳට බිස්නස් එක කරනවා! සුපර් ස්ටාර් ගැන විතරක් ලිව්වෙ ලංකාවෙ ජනප්‍රිය සහ ප්‍රථම තථ්‍යතා (රියැලිටි) වැඩසටහන නිසයි. මම ඔය සිහිනතරු හෙවත් ඩ්‍රීම් ස්ටාර් දැකලවත් නෑ. ඒ නිසා ඒකෙ නීති රීති ගැන දන්නෙත් නෑ! දන්නෙ නැති දෙයක් ගැන ලියන්න බෑනෙ.

  2. සිරස සුපර් ස්ටාර් කියන්නේ ඇමෙරිකන් අයිඩල් එකේම එක වර්ෂන් එකක් හැබැයි වෙනසකට තියෙන්නේ මේක ඩිරෙක්ට් කොපියක් නෙමේ.ඕක කොපි කරන් තියෙන්නේ ඉන්දියාවේ (බලන්න සී ටීවී) ඒකේ තාම නැවතන් තරගයට පරාද වුන අයව ගන්නේ.හැබැයි මම දකින විදියට ඉන්දියන් රියැලිටි ශෝ වලයි ලංකාවේ ලොකු වෙනසක් තියෙනවා.ඉන්දියාවේ ඒ ගොල්ලන්ගේ අනන්‍යතාවක් හොඩ නගාගෙන තියෙනවා.උදා ජජ් කරන කට්ටිය ඔක්කොම filed එකේ උඩම ඉන්න කට්ටිය.ඒ ගොල්ලෝ පෙන්වන විදියට ඒ ගොල්ලෝ සාධාරනව ජජ් කරනවා.අපේ වගේ පිස්සු කෙලින්නේ නැතුව.

  3. දන්නවද? මම සිරස සුපර්ස්ටාර් 3නේ කිසිම වැඩසටහනක් නැරඹුවේ නෑ. ඒක මම තිරණය කරලා කරපු දෙයක්. ​මාධ්‍යවලට ජනතාව හැසිරවීමේ හැකියාව නැතිකරදැමිය යුතුයි

  4. ඉතා හොද ලිපියක්,නමුත් මෙහි සමහරුන් පවසා තිබුනා තමන් නම් කවදාවත්ම ඔය වැඩසටහන බලන්නෙත් නෑ ඒත් එයට අකමැති බව.බලන්නෙත් නැතුව යන්නන් වාලෙ ප්‍රතික්ශේප කෙරීම අනුවනයි.සියල්ල නරබා එය විවෙචනය කිරීම සාධාරනයි.
    සම්පූර්නයෙන්ම හෙළයට එකග වෙනවා,අවසන් තරගයෙත් මිනිස්සුන්ව සිනහවට ලක් කිරීම හරිම අශෝබනයි.මම හිතන් සිටි ආකාරයට මඩ ගොඩේ පිපුනු නෙලුමක් වගෙයි මම කිංස්ලිව දැක්කෙ,නමුත් පවුල් බර වැඩි වෙද්දි මුදල් අගහිගකම් වැඩි වෙද්දි හැමෝටම වෙන දේ වගෙදෙයක් එයාටත් වෙලා වගෙ.

    1. මද්දු, අප්‍රසන්න දෙයක් ප්‍රතික්ෂේපයට හෝ විවේචනයට එය අත්විඳින්නම ඕන නැහැ. අප්‍රසන්න බව දැනගන්නට යයි කියා වහ කදුරු මෙන් තිත්තයි කී කල කාලා බලනවායැ අපි. මමත් කිසිම අයිඩල් වැඩසටහනක් හෝ කිසිම සුපර්ස්ටාර් වැඩසටහනක් නරඹා නැත. ඒවා නරඹන්නට අදහසක් ද නැත. කිංස්ලිව දැන හඳුනා කතාබහ කර ඇති නිසාත්, ඔහුගේ අතීත දක්ෂකම් අගය කළ නිසාත්, මමත් ඔහුව ඔබ කියන්නා සේම “මඩ ගොඩේ පිපුනු නෙලුමක් වගෙයි” සලකන්නෙමි. ඒ වගේම ඔයා ඊ ළගට කියූ සේම මඩ ගොඩක ඉන්න කොට මඩ ගෑවෙන එකෙන් බේරෙන්නත් බැහැ වගෙයි යන්නත් පිළිගනිමි.

  5. ඕකේ මූලාරම්භය Britains got talent කියලා UK වැඩසටහනක්, ඒකෙන් තමයි ඇමරිකන් කාරයෝ ඕක හදා ගත්තේ. ලංකාවේ සිරස ඒක අමු අමුවෙම කොපි කලා. මම ඔය වැඩසටහන බලලා තියෙනවා. හැබැයි එහෙන් මෙහෙන්. එස්.එම්.එස් කියලත් යවලා තියෙන්නේ සුරේන්ද්‍රගේ ෆයිනල් එකෙදි එයාට එකක් යැව්වා මට මතක හැටියට. කොහොම උනත් සිරස කරන්නේ ප්‍රෝඩාව කියලයි මට හිතෙන්නේ.

  6. මම නම් මේ වැඩසටහනෙ කිසිම වැරැද්දක් දකින්නෙ නෑ.සිරස නෙවෙයි ඕනිම ආයතනයක්(පුණ්‍ය ආයතන හැර)මොනව හරි කරන්නෙ ලාභ ගන්න තමයි.සුපර් ස්ටාර් වැඩසටහන කරන්නෙත් ලාභ ගන්න තමයි.එත් ඒ වැඩසටහන නිසා ගම්වල ඉන්න දක්ෂතා තියෙන තරුණ තරුණියො කී දෙනෙක් ඉදිරියට එනවද,ඉදිරියට ඇවිත් තියෙනවද…..sms එවන එක බලන අය අනිවාර්යයෙන් කරන්න කියල නීතියක් නෑනෙ….sms එවන්නෙ කැමති අය විතරනෙ…..ඉතින් මේකෙ තියෙන් වරද මොකක්ද…අනිත් එක සිරසට බනින කවුරැවත් ජාතික රෑපවාහිනියෙ ගායකයින් තෝරන රියැලිටි වැඩසටහනට,ස්වර්ණ වාහිනි වල මෙගා ස්ටාර් වලට,දෙ‍රනෙ ඒ වගේ වැඩසටහන් වලට බනිනවද…..එවත් සිරසෙන් කොපි කරල කරන ඒවමනෙ…..ඒ අයටත් ඒව කරන්න මතක් උනේ සුපර් ස්ටාර් වැඩසටහටනන් පස්සෙනෙ…සිරස,ඇමරිකන් අයිඩ්ල් කොපි කලා තමයි…නුමුත් කොපි කලා කියල ඒක ඒ ආකාරයෙන්ම කරන්න ඕන නෑනෙ…ඒත් බලන්නකො ලංකාවෙ අනිත් එක චැනල් එකකවක් කරන මේ වගේ වැඩසටහන් දිහා…එයාල‍ට පුළුවන් උනාද තමන්ගේම ආකෘතියකට ඒ වැඩසටහන් කරන්න….අඩුගානෙ නිවේදකටයත් පුළුවන් උනාද තමන්ගේම ශෛලියතට ඒක කරන්න…ඒ හැමෝම කලේ කමල්ව කොපි කරන එකනෙ…..ඉතිං හැම චැනල් එකකම මේ වගේ වැඩසටහන් තියෙද්දි සිරසට විතරක් බනින්නේ මම හිතන්නෙ සිරසත් එක්ක තියෙන වෙන මොකක් හරි කේන්තියකට හරි….නැත්නම් හිතේ තියෙන කුහක කමට කියල…..

    1. මම සිරසට විතරක් බැන්න කියල හිතන්න එපා. ලංකාවේ මේ ජාතියේ ජාවාරම් කරන නාලිකා ඔක්කොටමයි මම බනිනවනම් බනින්නෙ.

      සිරසට ඇමරිකන් අයිඩල් ඒ විදියටම කොපි කරන්න කියන්නෙ නෑ. ඒත් ඒක ජාවාරමක් කරගත්ත බවයි මම පෙන්නලා දුන්නෙ. ඇමරිකන් අයිඩල් කරන්නෙත් පිනට නෙවෙයිනෙ. ඒකත් ව්‍යාපාරයක්. ඒත් අයිඩල් මිනිස්සුන්ව හූරාකන එකක් නෙවෙයි.

      දක්ෂකම් තියන තරුණ ගායක ගායිකාවන්ව ක්ෂේත්‍රයට ගෙනාපු වැඩසටහනක් තමා තුරුණු තරු. ඒක ඔය ස්ටාර්ල බිහිවෙන්න කලින් ආපු වැඩසටහනක්. ඒකෙන් ආපු අය අදටත් ක්ෂේත්‍රයේ ඉන්නෙ ඒ අය හුලං පුම්බපු තරු නෙවේ හැකියාවක් ඇති තරු නිසයි. තරු බිහි කරන්න මිනිස්සුන්ව හූරාකන්න ඕනෙ නෑ කියන්න ඒ උදාහරණෙ විතරක් වුනත් ඇති.

      මේ තරඟ වලට ප්‍රතිචාර දක්වන අය ඒකෙ තියන රැවටීම හරිහැටි දන්නෙ නැති නිසා ඒකට සහභාගි වෙය බවයි මටනම් හිතෙන්නෙ. (ලොතරැයි ගන්නවා වගේ තමා.)

      සිරසෙන් කරන නරක වැඩ විවේචනය කරනකොට ඒ ගැන කිපෙන්න හේතුව මොකක්ද කියලා නම් මම දන්නෙ නෑ!

  7. බැලුවේ නෑ දැක්කා, SMS යැව්වෙ නෑ වගේ ගොන්පර්ට් නැතුව යමක් විමසා බලා විචාරය කීරීම මැනවී, කොපි කලත් සිරසේ නිර්මානශීලී බව අගයමී. හුගක් දෙනෙක් සිරසට ගහන්නේ පොරසිටි වීමේ mania එකෙන් විනා (ආචාර්යා වගේ) එහි වැඩසටහන් නිවරැදි දිශානතියකට යොමුකර ගැනිමේ චේතනාවෙන් නොවේ

    1. නොබැලීමත්, මුදල් ගෙවා කෙටි පණිවිඩ නොයැවීමත් ‘ගොන් පාට්’ වන්නේ කෙසේදැයි දැනගන්න ආසයි. (බලන එකේ සහ දකින එකේ වෙනසක් ඇතිබව ඔබට වැටහෙනවා කියලා හිතනවා. පාරෙ යනකොට හුඟක් අය වාහන දකිනවා මිස උවමනාවෙන් ‘බලන්නෙ’ නෑනෙ.) මා දන්නා පරිදි සිරස සුපර් ස්ටාර් සහ ඇමරිකන් අයිඩල් යන වැඩසටහන් සංසන්දනය කළා. ඒ අදහස් වල වැරදි තියනවානම් පෙන්නලා දෙන්න. කැමැත්තෙන් භාරගන්නවා වගේම වැරදි නිවැරදි කරගන්නන් මම කැමතියි. (විමසා බලා කියන්නේ ඒ වැඩසටහන මුල සිට අගටම බලලා කියන එකද කියලා දැනගන්න කැමතියි.)

      සිරසේ නිර්මාණශීලීත්වය මහජනයාට උදව් කරන විදියට වෙනස් වෙනවානම් කවුරුත් කැමති වෙයි. ඒ නිර්මාණශීලීත්වය අසරණ ජනතාව සූරාකෑමට යොදාගන්නවානම් ඒ බව පෙන්නලා දෙන්න පසුබට වෙන්නෙ නෑ.

      සිරසට වදිනවානම් වැදුනදෙන්. ඒත් මම කිව්වෙ ඇත්තයි. සිරසට ගහලා යමක් බලාපොරොත්තුවෙන් නෙවෙයි මම මගේ සිතිවිලි ලිව්වෙ! මේනියාවක් කියන්නේ නිතරම කරද්දිනෙ… සිරසේ වැඩසටහන් නිවැරදි දිශාවට ගැනීමේ චේතනාවක්නම් මට නැති බව ඇත්තයි. අපේ රටේ (සමහර) මාධ්‍ය ආයතන තමන්ගේ න්‍යායපත්‍රවලට ගැලපෙන වැඩසටහන් නිපදවන බවත්, ඒවාට මහජනයා යොමුකරගන්නවා මිස මහජන සහ ජාතික අවශ්‍යතාවල ගැලපෙන වැඩසටහන් නිපදවන්නේ නැති බව රහසක් නෙවෙයි.  ඒ මාධ්‍ය ආයතන වල වැඩසටහන් නිවැරදි (ජාතික අවශ්‍යතාවයට ගැලපෙන පරිදි) දිශානතියකට යොමුකරගන්නට උත්සාහ ගැනීම නම් ගොන්පාට් එකක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )