ඉන්ධන පරිභෝජනය ගැන මිථ්‍යා මත

අද කාලෙ ඉන්ධනවල මිල දැක්කහම වාහනයක් තිබ්බත් ඒකෙ ගමනක්-බිමනක් යන්න හිතෙන්නෙ නෑනෙ. (පොදු ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරන එකනම් කොහොමත් සාක්කුවට වගේම පරිසරයටත් හොඳයි. ඇඟේ පතේ අමාරුවලට තමා හොඳ නැත්තෙ.) වාහනයක් ගන්නකොට (ඒක නිතරම පාවිච්චි කරන්න හිතන) අය  විශේෂයෙන්ම හොයන දෙයක් තමා ඉන්ධන පිරිමැසුම (fuel economy) කියන එක.

ලංකාවෙදිනම් වාහනේක ඉන්ධන පිරිමැසුම සාමාන්‍යයෙන් කියන්නෙ ඉන්ධන ලීටරේට කිලෝ මීටර් (km/l) වලින්. ඇමරිකාව, බ්‍රිතාන්‍යය වගේ රටවලදි පාවිච්චි කරන්නෙ ගැලුමට සැතපුම් (mpg). (හැබැයි බ්‍රිතාන්‍යයෙ ගැලුමයි, ඇමරිකාවෙ ගැලුමයි වෙනස්. ඒ නිසා එකම වාහනේක ගැලුමට සැතපුම් ප්‍රමාණය වෙනස් විදියටයි සටහන් වෙන්නෙ.) මේ අගය වැඩි වෙන තරමට වාහනය (ඉන්ධන අතින්) හොඳයි.

යුරෝපීය රටවල, ඕස්ට්‍රේලියාවෙ සහ කැනඩාවෙදි ඉන්ධන පිරිමැසුම වෙනුවට ඉන්ධන පරිභෝජනයයි (fuel consumption) මනින්නෙ. කිලෝමීටර් 100 කට යන ඉන්ධන ලීටර් ප්‍රමාණය (l/100 km) තමා මිනුමක් විදියට කියන්නෙ. මේ අගය අඩු වෙන තරමට හොඳයි.

ඉන්ධන පිරිමැස්ම වැඩි වාහනයක් මිලදී ගන්නවා විතරක් නෙවෙයි, ඒක ධාවනය කරන විදියත් වැඩගත් ඉන්ධනය පරිභෝජනය අඩු කරගන්න. ඉන්ධන පරිභෝජනය අඩු කරගන්න සමහරු විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. ඒවා අතරින් සමහර ඒවා මිථ්‍යා මත විතරයි. ඉන්ධන පිරිමැස්ම ගැන ජනප්‍රිය මිථ්‍යා මත කීපයක් තමා මේ.

  1. හොඳ ඉන්ධන පිරිමැස්මක් ලබා දෙන්නෙ පුංචි වාහන විතරයි. – වාහනේ පුංචි නම්, බර අඩු නම් වැය වන ඉන්ධන ප්‍රමාණය අඩු වීමේ ප්‍රවණතාවයක් තියනවා තමයි. ඒත් දෙමුහුන් එලවුම් පද්ධති (hybrid drive-trains) , ඩීසල් එන්ජින්, ඍජු ඉන්ධන විදිනයන් (direct fuel injection), ටර්බොචාර්ජින් (turbo-charging), වැඩිදියුණු කළ සම්ප්‍රේෂණ පද්ධති (transmission systems), ඝර්ෂණය අඩු ටයර්, වායුගතිකව නිර්මිත බඳ (aerodynamically designed body) වගේ නවීන තාක්ෂණික උපාංග නිසා සාමාන්‍ය ප්‍රමාණයේ කාර් වලිනුත් හොඳ ඉන්ධන පිරිමැසුමක් ලබාගන්න පුළුවන්.
  2. ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ පද්ධති (automatic transmission) වලට වඩා යාන්ත්‍රික සම්ප්‍රේෂණ පද්ධති (manual transmission) ඉන්ධන පිරිමසිනවා. – යාන්ත්‍රික සම්ප්‍රේෂණ පද්ධති වල විවිධ වාසි තිබුනත්, ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ පද්ධති තාක්ෂණයේ සිදුව ඇති වැඩි දියුණුවීම් නිසා යාන්ත්‍රික සම්ප්‍රේෂණ පද්ධතියක් ඇති වාහනයක ඉන්ධන පිරිමැස්මට සමාන හෝ ඊටත් වැඩි ඉන්ධන පිරිමැසුමක් ලබාගන්නට ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ පද්ධතියක් ඇති නූතන වාහනයක් සමත්.
  3. වාහනයක් නිදැල්ලේ ක්‍රියාත්මක වෙනවාට (idling)  වඩා පණගැන්වීමට (start) ඉන්ධන වැය වෙනවා. – නූතන ඍජු ඉන්ධන විදින (direct fuel injection) සහිත එන්ජින් ඉතා කාර්යක්ෂමව  පණගැන්වෙනවා. රත්වී ඇති එන්ජිමක් වඩාත් කාර්යක්ෂමව පණගැන්විය හැකියි. එන්ජිමක් නිදැල්ලේ ක්‍රියාත්මක වනවිට පැයකට ඉන්ධන ලීටරයක් හෝ ඊටත් වැඩියෙන් වැය වනවා. පාරේ රථවාහන තදබදයකදී හැර, වාහනය නවත්වා ඇති හැකි සෑම විටකම එන්ජිම ක්‍රියා විරහිත කර තිබීම වාසිදායකයි. (ඒත් නිතරම එන්ජිම පණගැන්වීම නිසා ස්ටාටරය ගෙවීමට ලක් වෙන බවත් අමතක නොකළ යුතුයි.)
  4. වාහනය ධාවනය කරන්නට පෙර එන්ජිම රත් වෙනකම් සිටිය යුතුයි. – තවත් මිථ්‍යා මතයක්. නූතන වාහන පණගැන්වූ මොහොතේම ධාවනය කළ හැකියි. (ඊට කලින් එන්ජිම අධිකව රත්වී තිබී සිසිල් වීමට තබා ඇති අවස්ථාවකදී හැර.) එන්ජිමක් රත් කිරීමට හොඳම ක්‍රමය වාහනය ධාවනය කිරීමයි.
  5. වාහනේ පරණ වෙනකොට ඉන්ධන පිරිමැස්ම ගොඩක් අඩු වෙනවා. – වාහනේ නිවැරදිව නඩත්තු කරලා තිබුනොත් අවුරුදු ගණනාවක්ම ඒකෙ මුල් ඉන්ධන පිරිමැස්ම තියාගන්න පුළුවන්. හොඳින් නඩත්තු කළ අවුරුදු 10-15 විතර පරණ වාහනේක නම් ඉන්ධන පිරිමැස්මෙ සුළු අඩුවක් දැකිය හැකියි.
  6. වාහනේ සුළං පෙරණය (air filter) මාරු කළොත් ඉන්ධන පිරිමැස්ම වැඩි වෙනවා. – මේක අදාල වෙන්නෙ කාබියුරේටර් (carburetor) තියන පරණ වාහන වලට. නූතන ඉන්ධන විදින තියන වාහන වල ඇති පරිගණක පද්ධතියෙන් ඉන්ධන-වාතය අනුපාතය (fuel-air ratio) ස්වයංක්‍රීයව සීරු-මාරු කරනවා. සුළං පෙරණය මාරු කිරීම වාහනේ එන්ජිමේ ක්‍රියාකාරිත්වයට නම් හොඳයි. ඒත් ඒකෙන් ඉන්ධන පිරිමැස්මට කෙලින්ම බලපෑමක් වෙන්නෙ නෑ.
  7. ඉන්ධන පිරිමැස්ම වැඩිකරන්න විශේෂ උපාංග වලට, ඉන්ධන වලට එකතු කරන රසායනික සංයෝග වලට පුළුවන්. – පරීක්ෂණ වලදී හොයාගෙන තියන දත්ත වලට අනුව නම් මේ කථා බොරු. ඉන්ධන පිරිමැස්ම වැඩි කරන්න පුළුවන් ගැජට් එකක් තාම හොයාගෙන නෑ. රසානික සංයෝග වලටත් ඒ කථාවම තමා. (ඒවයින් වාසි ලබන්නෙ වාහන අලුත්වැඩියා කරන කාර්මිකයා. ඒ ගැජට් සහ රසායනික ද්‍රව්‍ය වලින් වාහනේ එන්ජිමට හානි කරන්න වගේම එන්ජිමෙන් පිට කරන දේවල් වෙනස් කරන්න ඉඩ තියන නිසා සයිලන්සරේටත් හානි කරන්න ඉඩ තියනවා.)
  8. ඔක්ටේන් අංකය වැඩි (සුපිරි) ඉන්ධන පාවිච්චියෙන් වැඩි ඉන්ධන පිරිමැස්මක් ලබාගන්න පුළුවන්. – සුපිරි ඉන්ධන පාවිච්චි කරන්න ඔබේ වාහනේ නිෂ්පාදකයා ඒ වර්ගයේ ඉන්ධන විතරක් පාවිච්චි කරන්න කියලා කියල තියනව නම් හෝ සාමාන්‍ය ඉන්ධන පාවිච්චි කරනකොට ඉන්ධන හරියට දහනය වෙන්නෙ නැත්නම් (නොක් (knock) කරනවා නම්). (අයිතිකරුගේ අත්පොත (owners manual) බලන්න ඔබේ වාහනයට සුදුසු ඉන්ධන වර්ගය මොකක්ද කියා දැනගන්න.) එහෙම නැති අවස්ථාවකදි සුපිරි ඉන්ධන ගැනීමෙන් ඔබේ සාක්කුවට පාඩුවක් වෙනවා මිස වන දෙයක් වෙන්නෙ නෑ.
  9. නිෂ්පාදකයා සඳහන් කරන ඉන්ධන පිරිමැස්ම වාහනේ ඉන්ධන පිරිමැස්ම ගැන සහතිකයක්. – නිෂ්පාදකයා සඳහන් කරන්නෙ ‘සම්මත තත්ත්ව යටතේ’ ඉන්ධන පිරිමැස්ම මිස, සාමාන්‍ය අවස්ථාවකදි වාහනයෙන් ලැබෙන ඉන්ධන පිරිමැස්ම නෙවෙයි. වාහනය ධාවනය කරන විලාසය, ධාවනය කරන ප්‍රදේශය, වෙලාව ආදී කරුණු ගණනාවක් මත ඉන්ධන පිරිමැස්ම වෙනස් වෙනවා.

වාහනයකින් උපරිම ඉන්ධන පිරිමැස්මක් ලබාගන්න කරන්න ඕනෙ මොන දේවල්ද කියලා වෙනත් ලිපියකින් සඳහන් කරන්නම්.

පින්තූරෙ අයිතිය දර්ශන කරුණාතිලක මහතා සතුයි.

Advertisements

20 thoughts on “ඉන්ධන පරිභෝජනය ගැන මිථ්‍යා මත”

  1. ඔක්ටේන් 95 නිර්දේශ නොකළ වාහන වලට එම ඉන්ධන භාවිතය, එන්ජිමට දඩි හානි ගෙන ඒමට සමත් . සුපිරි ඉන්ධන වල ජ්වලනය පමා කොට ඇත්තේ ඉතා ඉහළ සම්පීඩන අගයකට පෙට්‍රල් වායු මිශ්‍රණය ගෙන ඒම සඳහායි . ඒ සඳහා විශේෂයෙන් නිර්මිත ඉහළ සම්පීඩනයක් දැරිය හැකි එන්ජින් බඳ හා හිස උවමනා වෙනවා . නමුත් සාමන්‍ය පෙට්‍රල් සඳහා එතරම් සම්පීඩනයකට ඔරොත්තු දීමට එන්ජින් නිර්මාණය කරන්නේ නැහැ. ඔක්ටේන් අංකය අඩු ඉන්ධන නිර්දේශිත වූ වාහනයක ඉන්ධන පාරිභෝජනයේ ගැටළුවක් ඇත්නම් ඔබේ වාහනයේ වායු පෙරනය, පේනු , පෙට්‍රල් මාර්ග වල හෝ, සුසර කිරීමේ ගැටළුවක් ඇත්දැයි පරීක්ෂා කිරීම සුදුසුයි. වෙළඳපොලේ ඇති උත්ප්‍රේරක හෝ, සුපිරි ඉන්ධන භාවිතයෙන් නැති ප්‍රශ්න ඇති වනවා විනා, වාසියක් බලා පොරොත්තු විය නොහැකියි .

    1. මෙතනදි මතුවෙන තවත් පැත්තක් තියෙනව. ලංකාවට විශාල වශයෙන් ආනයනය කරන Reconditioned වාහන බොහොමයක් එන්නෙ ජපානෙන් සහ සිංගප්පූරුවෙන්. ඒ වාහන බොහොමයක් ඒ රටවල් ඇතුලෙ පාවිච්ච්ය සඳහා නිර්මාණය කරපුව. Domestic Models කියල කියන මේව බොහොමයක් Octane 95 දාන්න තමයි හදල තියෙන්නෙ.

      ලංකාවට බලයලත් නියෝජිතයින් හරහා Brand New වාහන ගේනකොට බොහොමයක් වෙලාවට ගේන්නෙ Export Models . එතකොට මම දන්න විදිහටනම් option එකක් තියෙනව Octane 95 ද Octane 90 ද කියල තෝරගන්න. එතනදි මම දන්න විදිහට තවමත් ලංකාවට වාහන ගෙන්වන්නෙ ට. හොඳම උදාහරණය තමයි ලංකාවෙ ඉතාමත් ජනප්‍රිය වගේම, ඉතාමත් මිළ අධික, සුඛෝපභෝගී ජීප් මාදිලියක Domestic Model එකේ එන්ජිමේ තියෙන්නෙ Octane 95 ට නිර්මාණය කරපු Gasoline Direct Injection කියන තාක්ෂණය; එකේම Export Model එකේ එන්ජිමේ තියෙන්නෙ Octane 90 ට නිර්මාණය කරපු Multi Point Injection කියන තාක්ෂණය.

  2. වාහනය ධාවනය කරන්නට පෙර එන්ජිම රත් වෙනකම් සිටිය යුතුයි. කියන තැනදීනම් මට පොඩි ගැටලුවක් තියෙනවා.සාමාන්‍යයෙන් වාහනටක් දින දෙකක් විතර ස්ටාර්ට් නොකරම තියෙනකොට එන්ජිමේ තියෙන තෙල් ගුරුත්වය යටතේ එන්ජිමේ පහළට එකතු වෙනවා.එතකොට ටික වේලාවක් නොතියා ස්ටාර්ට් කරපු ගමන්ම ධාවනය කලොත් එන්ජිමේ කොටස් අතර ඝර්ෂණය නිසා හානි වෙනවා නේද?

    1. වාහනය පනගැන්වූ ගමන් අධික ලෙස වෙගයෙන් එන්ජිම ක්‍රියා නොකල යුතුයි කියන එකයි හරි. සමහර අය පනගැන්වූ වාහනයේ එන්ජිම රත් වන තුරු එක තැන නවතාගෙන අධික වෙගයෙන් ක්‍රියා කරවනවා. ඒක තම වැරදි. එහෙම නැතුව සාමන්‍ය ආකාරයෙන් ධාවනය කරාට කමක් නැ.

  3. අපේ පැත්තෙ බස් අයිති කාර මාමලනම් ඩීසල් ලීටර් 10කට පෙට්‍රල් ලීටර .5 ක් දානවලු පිකප් වෙන්න,,,හැබෑටම එන්ජිමේ ආයුකාලය පැත්තකින් තිව්වොත් ඔය කියන පිකප් 1 ඇත්තටම ලැබෙනවද???/

    1. කොළඹ -අනුරාධපුරය බස් දාලා තියෙන D.S. ගුණසේකරගේ බස්වලත් එහෙම එකක් කරනවා කියලා මම අහලා තියෙනවා. ඒකෙන් බස් එකට හොඳ පිකප් එකක් ආවත් ඉක්මණට ඇන්ජිම සවුත්තු වෙන නිසා අවුරුදු 2 ක් විතර එක බස් එකක් පාවිච්චි කරලා විකුණනවා කියලා තමා ආරංචිය තියෙන්නේ.

      1. අලුත් ඩීසල් එන්ජින් වලට පෙට්‍රල් ටිකක් දැම්මත් ප්‍රශ්නයක් නෑ. පිකප් වෙනවද කියල නම් කියන්න බෑ. ඉස්සර ඩීසල් වලට පෙට්‍රල් එකතු කළා ඩීසල් වලින් එන්ජිමේ ජෙල් බැඳෙන එක අඩු කරගන්න. ඒත් දැන් ඩීසල් වලින් ඒ වගේ ප්‍රශ්න අඩු නිසා පෙට්‍රල් එකතු කරන්න ඕනෙ නෑ.

        මේ ලිපිය කියවලා බලන්න.
        http://www.turbodieselregister.com/mixing_gasoline_and_diesel.htm

  4. ඔක්ටේන් අංකයේ සුපිරි බවක් කියා දෙයක් නෑ… ඔක්ටේන් අංකය වැඩි නම් එම ඉන්ධනය වැඩි සම්පීඩකතාවකට Compression ලක්කල හැකියි, konocking නොවී… (knock කරනවා කියන්නේ ඉන්ධන / වායු මිස්‍රණය සම්පීඩනය කර පීඩනය උපරිම වූ අවස්ථාවේදී plug එකෙන් ලබාදෙන පුලිඟුවෙන් දහනය අරඹන්න පෙර ඉන්ධනය තමා විසින්ම දැවෙන්න පටන් ගැනීමයි … මේක වෙන්නේ අඩු ජ්වලනාංක සහිත සංඝටක ඉන්ධනයේ වැඩිවීම නිසායි…. එවිට ඒ පෙර දහනය නිසා ඇතිවන පීඩන තරංගයත්, පුලිඟුවෙන් ඇති කල දහනය නිසා ඇතිවූ පීඩන තරංගයත් දෙක සිලින්ඩරය තුල එකිනෙක ගැටීම නිසා ඇතිවන අමතර ගැස්මටයි… ). සම්පීඩකතාව වැඩිවූ විට එන්ජිමෙන් දෙන බලය වැඩියි…(second law of thermodynamics)… ඉන්ධනයක ඔක්ටේන් අගය වැඩිවූ විට මෙසේ පෙර දහනය අඩුවී සම්පූර්නයෙන්ම දහනයේ බලය ෂාෆ්ට් එකට ලබාදෙනවා… නමුත් ඒන්ජිම නිර්මාණය කර ඇති සම්පීඩකතාවට සුදුසු ඔක්ටේන් අගයක් ඇති ඉන්ධනයකට වඩා ඔක්ටේන් අගයක් ඇති ඉන්ධනයක් භාවිතාකිරීම නිසා වෙන්නේ, මූල්‍යමය පාඩුවක්ම පමණයි නදී කියාඇති ආකාරයටම…
    එයින් කිසිසේත්ම ඉන්ජිමට හානියක් නැහැ…
    දෙවනි කාරනය නම් යම් යම් රසායනික සංයෝග එකතු කිරීමෙන් ඍජු වාසියකට වඩා අනියම් වාසි බොහෝයි… එනම් Gum Content වැඩි ඉන්ධන නිසා සිලින්ඩරයේ අතුලත බැ‍ඳෙන හා Crank Case එකට වැස්සෙන heavy කොටස් අඩු කරගත හැකියි…. exhaust පද්ධතියේ කාබන් බැඳීමත් අඩු කර ගත හැකියි… නමුත් මෙය එක් එක්කෙනා වාහන පාවිච්චි කරන (ලඟ ගමන් හෝ දුර ගමන් ) ආකාරයට යම් ඇස්තමේන්තුවක් කොටම පසක් කර ගත යුතුයි….

  5. අනෙක් කාරනය තමයී (අලුත් වාහන වල) වායූසමීකරණය නැතිව ජනෙල් ඇරගෙන යාම. හෙමින් හෙමින් යනකොට කතාව ඇත්ත වුනත්, හයීයෙන් යනකොට වාහනේට වැඩිපුර හුලගත් එක්ක සටනක් කරන්න වෙනවා. වායූ සමීකරනය පාවිච්චි නොකිරීමේ ඇත්ත වාසිය ලබා ගන්නනම් ජනේල ඔක්කොමත් වහගෙන යන්න ඕනේ.

    1. වාහනේ යන්නෙ පැ. සැතපුම් 45 කට වැඩි වේගයකින්නම් වීදුරු ඇරගෙන යාම අවාසිදායකයි. ඊට අඩු වේග වලදි වායුසමීකරණය වෙනුවට වීදුරු ඇරගෙන යා හැකිනම් ඉන්ධන පිරිමසාගන්න පුළුවන්.

  6. එතකොට අර දැනට ලංකාවෙ අලෙවි කරන නැනෝ තාක්ෂණික උපකරණය මිත්‍යාවක්ද….?
    දැනට ඒක ලංකාවේ විකිණීමට පේටන්ට් බල පත්‍රය ඇත්තේ මං හිතන විදිහට ලාල් අලවත්ත මහතාටයි.
    ඔහු කියන්නෙ එමඟින් 30% ක ඉන්ධන ඉතිරියක් වෙන බවයි.[ ඩීසල් හෝ පැට්‍රල් ]
    ඇත්තද ඒක…?

    1. මම ඔය උපකරණෙ ගැන දැනගෙන හිටියෙ නෑ. ඔබ කියන්නෙ පහත වෙබ් අඩවියේ තියන නිෂ්පාදනය ගැන කියලා හිතනවා.
      http://www.nanotechnology.net.nz/

      ලාල් අලවත්තට පේටන්ට් කෙසේ වෙතත් ලංකාවේ අලෙවි කිරීමේ බලපත්‍රය ඇති.

      නැනෝ තාක්ෂණය මේ වැඩේට කොහොම යොදාගන්නවද කියල විස්කර කරලා නෑ. මට නම් පේන්නෙ බොරුවක් වගේ. FIR හෙවත් දුර අධෝරක්ත කිරණ නිකුත් වෙනවා රත්වූ වස්තු වලින්. එන්ජිමට එන ඉන්ධනවලට FIR  අවශ්‍ය නම් එන්ජිමේ exhaust එක ඉන්ධන බටය අසලින් ගෙනිච්චානම් හරි.

      පරීක්ෂණාගාරයකදී ඔය උපකරණය ඉන්ධන ඉතිරි කරන බවට ඔප්පු කර ඇතිදැයි දැනගැනීමට මමත් කැමතියි.

      වාහන නිෂ්පාදකයන් මේ තාක්ෂණය පාවිච්චි කරනවානෙ ඔය කියන තරම් ඉන්ධන ඉතිරි කරන්න පුළුවන් නම්! අහිංසක මිනිස්සු නොදන්නා තාක්ෂණයක නමක් කියලා ගසා කන්න කට්ටිය ඕනතරම් ඉන්නවා..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )