ඉන්ධන පිරිමසින ක්‍රම

වාහනේක ඉන්ධන පරිභෝජනය ගැන තියන මිථ්‍යා මත කීපයක් කලින් සඳහන් කළා. වාහනයකින් හොඳ ඉන්ධන පිරිමැස්මක් ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන් හෝඩුවාවල් ටිකක් කියන්නම්.

1. කාර්යක්ෂමව රිය පැදවීම

වාහනයක් සිහි කල්පනාවෙන් පැදෙව්වොත් 5%-33% දක්වා ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන්. ලෑල්ලට පාගන්නෙ නැතුව, ඉද්ද ගැහුව වගේ නතර කරන්නෙ නැතුව වාහනේ පදවනවානම් ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන්. ඒ කියන්නෙ අධික ත්වරණය (වේගය වැඩිකිරීම ) හෝ අධික මන්දනය (වේගය අඩු කිරීම ) නොකර සිටීම සාක්කුවට වාසිදායකයි. වාහනේ එන්ජිමටත් හොඳයි. ආරක්ෂාකාරීයි.

වේග සීමාවල් පිළිපැදීමත් වාසිදායකයි. වාහනයක් නිපදවා තියෙන්නෙ යම් වේග පරාසයකදී එහි උපරිම ඉන්ධන පිරිමැස්ම ලැබෙන පරිදියි. (ප්‍රස්තාරය බලන්න.) යම් වේගයකට පසුව වාහනයේ ඉන්ධන පරිභෝජනය ඉතා සීග්‍රයෙන් වැඩි වෙනවා. ඒ කියන්නෙ අධික වේගයෙන් හෝ ඉතා සෙමින් රිය පැදවීමේදී වැයවන ඉන්ධන ප්‍රමාණය වැඩියි.

(ලංකාවෙ හැම පාරකම වේග සීමා ඇතුලෙ රිය පැදවීම ටිකක් අමාරු කාරණයක්. මොකද වේග සීමා නිර්ණය කරල තියෙන්නෙ නිසි පදනමක් ඇතුව නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. පාරෙ ස්වභාවය, යන රථ-වාහන ගණන අනුව වේගය සීමා කරන්න ඕනෙ වුනත්, ඒ විදියෙ විද්‍යාත්මක පදනමකින් තොරව වේග සීමා පනවල ඇති බවයි තේරෙන්නෙ.) හයි ස්පීඩ් ගියොත් ඉන්ධන වලට යන වියදම විතරක් නෙවෙයි, දඩයකුත් ලැබෙන බව දන්නවනෙ.

වාහනයේ තියෙන අමතර (අනවශ්‍ය) බර ඉවත් කිරීමෙනුත් ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන්. සමහරුන්ගෙ වාහන වල අනවශ්‍ය දේවල් ගොඩ ගහලා තියනවා. ඒ දේවල් ඉවත් කිරීමෙන් වාහනය සැහැල්ලු වෙන නිසා ඉන්ධන පිරිමැසෙනවා.

කලිනුත් සඳහන් කළා වගේ, අනවශ්‍ය විදියට වාහනය නිදැල්ලේ ක්‍රියාත්මක කිරීම ඉන්ධන නාස්ති කරනවා. වාහන තදබදයකදී හැර, විනාඩි කීපයකට හෝ වාහනය නතර කර තබනවානම්, එහි එන්ජිම ක්‍රියාවිරහිත කිරීමෙන් ඉන්ධන පිරිමසාගන්න පුළුවන්.

එන්ජිම අධික වේගයෙන් ක්‍රියාත්මක කිරීම ඉන්ධන වැඩිපුර දහනය කරනවා. පහල ගියරයක අධික වේගයෙන් එන්ජිම ක්‍රියාත්මක කරනවා වෙනුවට ඉහල ගියරයකට මාරු කිරීමෙන් එන්ජිමේ වේගය අඩු කරගත හැකියි. ස්වයංක්‍රීය ගියර ඇති වාහනයක O/D ගියරයට මාරුවීමට ඉඩ දී තිබිය යුතුයි. (O/D ක්‍රියා විරහිත කර තිබීම අනවශ්‍ය ක්‍රියාවක්.) සෙමෙන් ක්‍රියාත්මක වන එන්ජිමක ගෙවීමද සාපේක්ෂව අඩුයි.

එකම වේගයෙන් යා හැකි පාරක යද්දී, ඔබේ රථයේ Cruise Control පහසුකම තිබෙනවානම්, එය යොදාගැනීම මඟින් එකම වේගයක් රිය පැදවීම ඉන්ධන ඉතිරි කිරීමට උදව්වක් වෙනවා. (නමුත් කඳු-පල්ලම් සහිත පාරකට Cruise Control ගැලපෙන්නේ නෑ.)

2. වාහනය හොඳ ධාවන තත්ත්වයේ තබාගැනීම

වාහනය හොඳ තත්ත්වයේ තබාගැනීම ඉන්ධන පිරිමැසීමට උදව් වෙනවා. නිසිලෙස සුසර කරනලද, හොඳින් නඩත්තු කළ වාහනයකින් ඉන්ධන පිරිමසින්න පුළුවන්. එන්ජිමේ සංවේදක උපකරණ (sensors) ක්‍රියාත්මක තත්ත්වයේ තබාගැනීම වැදගත්. එම සංවේදක මඟින් ලැබෙන දත්ත වැරදි නම් එන්ජින් කළමණාකරණය කරන පරිගණකය වැරදි ගණනය කිරීම් කරන නිසා ඉන්ධන දහනයද නිසි ලෙස සිදු නොවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා වාහනයේ ‘check engine’ දර්ශකය (indicator) පෙන්නු කරනවානම් හැකි ඉක්මනින් එන්ජිම සුදුසු කාර්මිකයෙක් ලවා පරීක්ෂා කරවීම එන්ජිම හොඳ තත්ත්වයේ පවත්වාගැනීමට පමණක් නොව, ඉන්ධන ඉතිරියටද උපකාරී වෙනවා.

ටයර්වල පීඩනය නිසි මට්ටමේ පවත්වාගැනීමෙන් 3% දක්වා ඉන්ධන ඉතුරු කරගත හැකියි. නිසි ලෙස සුළං පිරවූ ටයරයක සුළු ප්‍රමාණයක් පමණක් පාරේ ගැටීම නිසා ඝර්ෂණය අඩුවීම ඊට හේතුවයි.

වාහන නිෂ්පාදකයා නිර්දේශ කරන ලිහිසි තෙල් වර්ගය යොදාගැනීමෙන් ඉන්ධන පිරිමැසුම වැඩි කරගත හැකියි. නිර්දේශ කරනලද එන්ජින් ලිහිසි තෙල් වර්ගය වෙනුවට වෙනත් වර්ගයක් යොදාගැනීමෙන් එන්ජිම තුල ඝර්ෂණය වැඩිවීම නිසා අඩු ඉන්ධන පිරිමැස්මක් ලැබීමට ඉඩ තිබෙනවා.

කලින් සඳහන් කළ පරිදි, අවහිර වූ වායු පෙරණයක් වෙනුවට අලුත් වායු පෙරණයක් යොදාගැනීමෙන් කාර්බියුරේටර් සහිත වාහන වලටනම් 6-14% දක්වා (වායු පෙරණය අවහිර වී තිබූ ප්‍රමාණයට සාපේක්ෂව) ඉන්ධන පිරිමැසීම වැඩි කරගත හැකියි. නූතන වාහන වල වායු පෙරණය අලුත් කිරීමෙන් එන්ජිමෙන් වැඩි ත්වරණයක් ලබාගත හැකි නමුදු එය ඉන්ධන පිරිමැස්මට බලපාන්නේ නෑ.

3. ඔබේ ගමන් වලදී සැලකිලිමත් වීම

ගමන්-බිමන් යද්දී වාහනයේ වහලයේ බඩු ගෙනයාම නිසා වායුගතික රෝධක බලය වැඩිවී වැඩි ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. වහලයේ වෙනුවට වාහනයේ ඇතුලේ බඩු ගෙන යා හැකිනම් ඉන්ධන පිරිමසාගත හැකියි.

ඒ වගේම වාහනයේ එන්ජිම සිසිල්ව ඇති විටක පණගන්වා කෙටි ගමන් ගණනාවක් යනවා වෙනුවට, එකම ගමනකින් වැඩ ගණනාවක් ඉටුකර ගන්නට හැකි වෙන ලෙස ගමන් සැලසුම් කරගත හැකිනම්, එන්ජිම රත්ව ඇති විටෙක කාර්යක්ෂමව වැඩකිරීමේ වාසිය ලබාගත හැකියි. වැයවන ඉන්ධන ප්‍රමාණය අඩකින් පමණ ඉතුරු කරගනීමට එවැනි සැලසුම් කළ ගමන් වලට හැකි වේවි.

ඉන්ධන හොඳටම ඉතුරු කරන්නනම් පෞද්ගලික වාහන ගෙදර තියලා පොදු ප්‍රවාහනයට යොමු වෙන එක තමා හොඳම.  ඔබේ වාහනයේම යන්න අවශ්‍ය නම්, වාහන තදබදය අඩු වෙලාවල් තෝරගත්තොත් ඉන්ධන ඉතුරුවෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

හොඳ ඉන්ධන පිරිමැස්මක් ඇති වාහනයක් මිලට ගැනීමත් කළ හැකි තවත් විකල්පයක්. (දැන් වාහනවලට අයකරන බද්දත් අඩු කරලා තියන එකේ ඔන්න ඔහෙ අලුත්, ඉන්ධන පිරිමසින වාහනයක් ගන්න!)

Advertisements

3 thoughts on “ඉන්ධන පිරිමසින ක්‍රම”

  1. “අනවශ්‍ය විදියට වාහනය නිදැල්ලේ ක්‍රියාත්මක කිරීම ඉන්ධන නාස්ති කරනවා. වාහන තදබදයකදී හැර, විනාඩි කීපයකට හෝ වාහනය නතර කර තබනවානම්, එහි එන්ජිම ක්‍රියාවිරහිත කිරීමෙන් ඉන්ධන පිරිමසාගන්න පුළුවන්.”

    මේ ප්‍රකාශයෙ දෙපැත්තක් තියෙනව. නවත්තල තියෙන එන්ජිමක් පණ ගන්වනකොට බැටරියෙ ආයු කාලය අඩු වෙනව වගේම, එන්ජිමේ journal bearing ගෙවීමත් වෙනව. එතකොට අපි බලන්න ඕනෙ එන්ජිම නවත්තල ඉතිරි කරගන්න ඉන්ධන ටිකද බැටරියයි journal bearingනුයිද වැඩියෙන් වටින්නෙ කියල. මේ ප්‍රකාශය මීට අවුරුදු 5කට කලින් කිව්වනම් සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනව. ඒත් දැන් ඉන්ධනවල මිලත් එක්ක බලනකොට එකඟ නොවී ඉන්නත් බැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )