ගමන් බලපත්‍රය අලුත් කිරීම

දින කීපයක නිහැඬියාවකින් පසු නැවතත් සිතුවිලි සටහන් කරන්න ලැබුනා. මවුබිමට පැමිණීමෙන් පසු කාලය වේගයෙන් ගතවෙනවා වගෙයි දැනෙන්නෙ.

මව්බිමට පැමිණීමෙන් පසු මුලින්ම කළයුතුව තිබූ දෙයක් වුනේ මගෙ ගමන් බලපත්‍රය (passport) අලුත් කරගැනීමයි. දැන් අලුත් ගමන් බලපත්‍රයක් අවුරුදු 10 කට වලංගු ලෙස නිකුත් කළත්, මම ගමන් බලපත්‍රය ගන්න දවස්වල ඒක නිකුත් කළෙ අවුරුදු 5 කට වලංගු වෙන විදියටයි. (මම අරං මාස කීපයකට පස්සෙ අවුරුදු 10 කට වලංගු විදියට ගමන් බලපත්‍ර නිකුත් කරන්න පටන් ගත්තනෙ. ඒ දවස් වලට වඩා දැන් අලුත් කිරීමට අය කරන ගාස්තුවත් වැඩියි. කාට කියන්නද ඉතින්.)

ගමන් බලපත්‍රයෙ වලංගු කාලසීමාව ලියල තියන විදිය නිසා මට වෙන්න ගිය ඇබැද්දියකුත් තියනවා. ඒක අතුරු කතාවක් නිසා වෙනම ලියන්නම්.

කොහොමහරි මගෙ ගමන් බලපත්‍රය අලුත් කරගන්න මම ආගමන-විගමන දෙපාර්තමේන්තුවට ගියා. වැඩක් කරගන්න රාජ්‍ය අංශයේ තැනකට ගියාම විඳින්න වෙන අපහසුතා ගැන ලියන්න, කියන්න ඕන තරම් අය හිටියත්, පහසුවෙන් සේවය ඉටු කරගන්න ලැබීම ගැන ස්තුති කරන්න ඉදිරිපත් වෙන අය නම් අඩුයිනෙ සාමාන්‍යයෙන්. මම මේ සටහන තබන්නෙ ආගමන-විගමන දෙපාර්තමේන්තුවේ සේවය ගැන පැහැදීම නිසා ඔවුන්ට ස්තුති කරන්නටයි.

දෙපාර්තමේන්තුවට ඇතුල්වූ විට තමන්ට කරගැනීමට අවශ්‍ය කාර්යය සඳහා යා යුත්තේ කොතැනටදැයි සොයාගැනීමට පහසුයි. ඒ සඳහා මං පුවරු තැනින් තැන පිහිටුවා තිබුනා. එමෙන්ම විමසීම් කවුළුවෙනුත් අවශ්‍ය උදවු ලබාගත හැකියි. ගමන් බලපත්‍ර අලුත් කරන අංශයේ පොඩි පෝලිමක් තිබුනා. නමුත් කෙටි කාලයක් ඇතුලත මගේ අයැදුම්පත භාරගත්තා. එම නිලධාරිණිය ඉතා වෙහෙසකාරී බවක් පෙන්නුම් කළත් සිනාමුසු මුහුණින් මගේ අවශ්‍යතාවය ඉටුකරදුන්නා. ඊට අවශ්‍ය ගෙවීම කළ පසු පැය දෙකකින් නැවතත් මගේ ගමන් බලපත්‍රය ලබාගත හැකි බව දැනුම් දුන්නා.

පැය එකහමාරකට පමණ පසු නැවත පැමිණි මට වලංගු කාලසීමාව දිගු කරන ලද මගේ ගමන් බලපත්‍රය ඉතා පහසුවෙන් ලබාගත හැකිවුනා. ඊටද වැය වුනේ විනාඩියකටත් අඩු කාලයක්.

රජයේ කාර්යාලයකින් සේවයක් ලබාගැනීමට යාමේදී බලාපොරොත්තු වන දිගු පෝලිම්, අවිනීත නිලධාරීන්, නැවත නැවත කළයුතු විමසීම් හා ඉන්පසු ප්‍රමාදවී සපයන සේවය යනාදී දේ බලාපොරොත්තුවෙන් සිටි මට බලාපොරොත්තු වූවාට වඩා ඉහල මට්ටමේ සේවයක් ලැබීම ගැන පැහැදීමක් ඇතිවුනා.

බස් රථයකින් පහසුවෙන් ලඟාවෙන්න පුළුවන් තැනක ඒ දෙපාර්තමේන්තුව පිහිටලා තියන නිසා දුර බැහැර ඉඳන් එන අයටත් ලඟාවෙන්න පහසුයි. තමන්ගේ වාහනයකින් එහි ලඟා වෙන්නන්ට වාහන නැවැත්වීමේ පහසුකම් නැතත්, ඉදිරිපිට (පෞද්ගලික ) රථගාලක් තිබීම පහසුවක්.

මා දුටු එක් අඩුපාඩුවක් තමා නව ගමන් බලපත්‍ර අංශයේ නම් පැමිණෙන පිලිවෙලට අංක ලබා දුන්නත්, ගමන් බලපත්‍ර අලුත් කිරීමේ අංශයේ අංක නිකුත් කිරීමේ ක්‍රමයක් වෙනුවට පෝලිමක් තිබීම. එමෙන්ම අදහස්-යෝජනා සටහන් කිරීමට තැනක් නොතිබීමද අඩුපාඩුවක්.

මගේ ප්‍රසාදය පළ කිරීමට අදහස් හා යෝජනා දැමීමට තැනක් සෙව්වද, එවැන්නක් නොදුටු බැවින් මගේ සිතුවිල්ල සටහන් තැබීමට ඉටාගත්තා.

මගේ අත්දැකීමට වෙනස් විදියේ අත්දැකීම් ආගමන-විගමන දෙපාර්තමේන්තුවෙන් ලැබූ අයත් ඇති. එහි සෑම අංශයක්ම හෝ සෑම නිලධාරියෙක්ම සෑමවිටම මහජනයාට උසස් සේවයක් ලබාදෙන බවක් මෙයින් අදහස් නොකෙරන බවත් සැලකිය යුතුයි.

රාජ්‍ය අංශයේ සියළුම ආයතන වලින් හොඳ සේවයක් මහජනයාට ලැබෙනවානම් කොතරම් අපූරුද?

Advertisements

9 thoughts on “ගමන් බලපත්‍රය අලුත් කිරීම”

  1. ගමන් බලපත්‍රයේ කාලය දික් කරගන්න ගිය වෙලාවෙ මාත් මේ කාර්යාලයේ වැඩ පිලිවෙල ගැන බොහොම පැහැදුනා. ඊට අවුරුදු දෙකකට විතර කලින් පරණ කාර්යාලයට ගිය වෙලාවෙ නම් එතැන ලොකු “වලියක්” දාගෙන, මහ ගෝසාවක් කරල ආවෙ (අන්තිමට වැඩෙත් කරගෙන හැබැයි ;-)).

    ගමන් බලපත්‍රයෙ වලංගු කාලසීමාව ලියල තියන විදිය නිසා මටත් ඕනෙ තරම් ඇබැද්දි වෙලා තියනවා. සරමක් ගහගෙන කොණ්ඩෙ දිගට වවල ඉන්න කෙනෙක් ගුවන් තොටුපොලක නිතර දකින්න නොලැබෙන නිසාද මංදා. 😉 මෑතකදී චීනයේ ගුවන් තොටුපොලකදී ආගමන අංශයේ නිලධාරියෙක් මාව තවත් “උසස්” කෙනෙකුට යොමු කළා, හැබැයි බොහෝම කරුණාවෙන් “please sir, come with me” කියල බොහෝම ලෙංගතු ස්වරයකින්. ඊට පස්සෙ බොහෝ දෙනෙක් මගේ බලපත්‍රය බලල, අන්තිමට අර නිලධාරිය ඇවිත් කියුවා “sir, your passport is expired” කියල! ඊට පස්සෙ සංශෝදන කොටසේ තිබෙන කාලය දික් කරපු එක පෙන්නුවාම වැඩේ හරි.

  2. ඇත්තටම ආගමන විගමන දෙපාර්තුමේන්තුව තමා ඉස්සර හොර ගුහාවක් වෙලා,අන්තිම ජරා විදිහට මිනිස්සුන්ට සලකන තැනක් වෙලා තිබුනේ,ඒත් දැන් ඒවගේ දේවල් නෑ සුහද සීලි සේවයක් දේන්නේ,ඉස්සර වගේ ජේ.පී ලගේ කරදරත් නෑ,කාක්කන්ගේ කරදරත් නෑ…

  3. මටත් මේවගේ හිතාගන්නවත් බැරි තරමෙ ඉතා විශිෂ්ඨ සේවයක් එක පාරක් රේගුවෙදි ලැබුන. මම හිතන්නෙ තවමත් අපේ රටේ ඉතා විශිෂ්ඨ රාජ්‍ය සේවකයින් ඉන්නව. අල්ප ප්‍රමාණයක් වෙච්ච දූෂිත නිළධාරීන් හින්ද හොඳ අයගෙත් නම කැතවෙන එක තමයි වෙන්නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )