මයි කාර්, මයි පැට්‍රෝල්, පබ්ලික් ගරාජ්

තමන්ගෙ කාර් එකේ, තමන්ගෙ සල්ලි වලින් පැට්‍රෝල් ගහගෙන කොහෙ ගියත් කාටවත් මොකද? ඒකනේ හිතුමනාපෙට වැඩ කරන අයට විරුද්ධ වෙනකොට “මයි කාර්, මයි පැට්‍රෝල්” කියන්නෙ. ඒත් ඔය කාර් එක ගෙවෙනකොට නඩත්තු කරන්නයි, කැඩුනාම හදන්නයි තමන්ගෙ සල්ලි වියදම් නොකර, කාර් එක අයිති නැති අයට පවරනව නම් කොහොමට තියේවිද? කවුරුත් කැමති නෑනෙ අනුන්ගෙ කාර් තමන්ගෙ සාක්කුවෙන් වියදම් කරලා නඩත්තු කරන්න.

ඔය අරක්කු ඇතුළු මත්පැන් පානය කරන අයත් කියන දෙයක්නෙ “මයි කාර්, මයි පැට්‍රෝල්” කියලා. ඒත් ඉතින් එහෙම කියන අය බහුතරයක් “මයි කාර්” එක නඩත්තු කරන්න පවරන්නෙ පබ්ලික් ගරාජ් එකටයි. ඒ අයට නඩත්තුවට යන වියදම් ගෙවන්නෙ කවුද කියලා ප්‍රශ්නයක් නෑ, “මයි කාර්” එක හදාගන්න පුළුවන්නම්.

රජයෙන් මහජනයා වෙත නොමිලේ සපයන සෞඛ්‍ය සේවය නඩත්තු වන්නේ මහජනයාම ගෙවන බදු මුදල් වලින්. ඒ අනුව මත්පැන් පානය හේතුවෙන් ඇතිවූ ලෙඩ රෝග වලට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා විටෙකදී මත්පැන් පානය කරන-නොකරන සෑම දෙනාම ගෙවනා බදු මුදල් යොදාගැනෙනවා.

‘මතට තිත’ තියන්න යන රජය මත්පැන් තහනම් නොකර අලුතින් බාර් දාන්නෙ ඇයි කියලා හුඟ දෙනෙක් අහනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස මත්පැන් භාවිතය තහනම් කරන්න බෑ. මත්පැන් වලට රජයෙන් බදු අය කළත්, මත්පැන් පානය කිරීම හේතුවෙන් රෝගී වන අයට ප්‍රතිකාර කරන්න යන වියදම, අර මත්පැන් බදු වලින් ගන්න ආදායමටත් වඩා වැඩි ඇති. ඒ වගේම මත්පැන් පානය කරන්නන්ගෙන් සිදුවන සමාජීය සහ ආර්ථික හානිය කොපමණදැයි ගණන් බලා නෑ. රජයේ ප්‍රතිපත්තියක් ලෙස මත්පැන් සීමා කිරීමට ක්‍රියාමාර්ග ගැනීම වැරැද්දක් නොවේ.

මත්පැන් පානය නිසා ඇතිවන ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීමේදී රෝගීන්ගෙන් මුදල් අය කිරීමට රජයේ අවධානය යොමුකර ඇති කළ බවක් පසුගිය දවසක ප්‍රවෘත්තියක තිබුනා.

රජයෙන් සෞඛ්‍ය සේවය නොමිලේ සපයන්නේ රටේ මහජනයා සෞඛ්‍යසම්පන්නව සිටීම රජයකට ආර්ථික වශයෙන් වාසිදායක නිසයි. එය රජය විසින් කරන ආයෝජනයක්. එම ආයෝජනයේ ප්‍රතිඵල නිසි ලෙස ලැබෙන්නේ මුදල් නිසි ලෙස යෙදෙව්වොත් පමණයි.

මත්පැන් පානයෙන් රෝගී වන්නන්හට ප්‍රතිකාර කිරීමට රටේ සෞඛ්‍ය සඳහා වැය කරන මුදලින් වැඩි ප්‍රතිශතයක් වෙන්වන්නේ නම්, එය රටේ අනාගත පරපුරේ සෞඛ්‍ය සඳහා කරන ආයෝජනයක් නොව, වැරදි ජීවන රටාවක් ගත කරන අය සඳහා කරන වියදමක් පමණක් වෙනවා.

මත්පැන් පානය නිසා ඇතිවන රෝගවලට ප්‍රතිකාර දීමට වැයවන මුදල අඩු කරගත හැකිනම්, ළමා සෞඛ්‍යය, හදිසි ප්‍රතිකාර වැනි වැඩි පිරිසකට යහපතක් වන ක්ෂේත්‍ර වල පහසුකම් වැඩි දියුණු කළ හැකියි.

මත්පැන් පානය කිරීම නිසා පමණක් ඇතිවන ලෙඩ රෝග මොනවද කියන ගැන මහජනයා දැනුවත් කළ යුතුයි. ඒ රෝග සඳහා පමණක් ගාස්තුවක් අය කිරීමත්, එම ගාස්තුව සාධාරණ එකක් වීමත් වැදගත්. මෙහිදී වෛද්‍යවරයා සහ රෝගියා අතර ඇති රහස් සුරැකීමේ අයිතිවාසිකම බිඳෙන්නේද යන්න පිළිබඳ ගැටළුවක් මතුවිය හැකියි. මත්පැන් බීමෙන් ඇතිවන රෝග සඳහා ඇති ඖෂධ නොමිලයේ නොසපයා ගාස්තුවක් අය කිරීමෙන් ඉහත ගැටළුවට විසඳුමක් වනු ඇති.

කොහොම වුනත් මත්පැන් ලෝලීන් නම් රජය ගත් තීරණයට කැමති වෙන එකක් නෑ. රජයට බදු ගෙවලා මත්පැන් බොනවා මදිවට ලෙඩ වුනොත් බෙහෙත් ගන්නවටත් සල්ලි ගෙවන්න වෙනවද කියලා ඒ අය අහයි.

ඉහත අදහස ක්‍රියාත්මක කළොත් මහජනයාගේ සෞඛ්‍යය සම්පන්නව තබාගැනීමේ  රජයේ අරමුණ ඉටු වේවිද කියන එක තවත් ප්‍රශ්නයක්. එම අදහස ක්‍රියාත්මක කළොත් මත්පැන් පානයෙන් රෝගීවන අඩු ආදායම් ලාභීන්ට ප්‍රතිකාර ගැනීමට නොහැකි වනු ඇති. එතකොට රටේ එක් පිරිසකට හොඳ සෞඛ්‍ය පහසුකම් හිමි වෙන්නෙ නෑ. හොඳ සෞඛ්‍යසම්පන්න පුරවැසියන් බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් නොමිලේ සෞඛ්‍ය සේවාව සපයන රටේ, ඒ බලාපොරොත්තුව ඉටු නොවීම උභතෝකෝටියකක්.

ඇතැම් අයගෙ ආර්ථික තත්ත්වය දුර්වල වෙලා තියෙන්නේ පවුලේ කෙනෙක් හෝ වැඩි දෙනෙක් මත්පැන් පානය කිරීම නිසා. එයින් කෙනෙක් හෝ රෝගී වුනොත් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය තවත් දුර්වල වෙනවා, මුදල් උපයන කෙනෙක් අඩු වීම නිසා. ඒ රෝගී කෙනාට ප්‍රතිකාර කරන්න මුදලුත් ගෙවන්න වුනොත් ඔවුන්ගෙ ආර්ථිකයට වෙන දේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය  නෑ. ඒක දුප්පත් කමේ විෂම චක්‍රයක්. (ඒ චක්‍රය කඩන්න පුළුවන් වෙන්නෙ මත්පැන් පානය කරන අයව ඉන් මුදවාගැනීම සහ නොකරන අය මත්පැන් පානයෙන් වලක්වාගැනීම මඟින්.)

දැනටමත් රෝගීව සිටින අය සහ අඩු ආදායම් ලාභීන් ගැනත් හිතලා රජයේ අදහස ක්‍රියාත්මක කළොත් හොඳයි. අඩු ආදායම් ලාභීන් එය වාසියකට හරවාගැනීම වලක්වන්න නම් ඔවුන්ට වාර ගණනක් හෝ යම් කාල සීමාවක් පමණක් නොමිලේ ප්‍රතිකාර සැපයීමට පුළුවන්. ඒ වගේම රෝගීන්ගේ ආදායම සලකා බලා, ඊට ගැලපෙන පරිදි ගාස්තුව තීරණය කිරීමට හැකිනම් වඩාත් හොඳයි.

ඉබේ ඇතිවන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීම කළ යුතු වුනත්, උවමනාවෙන්- හොඳින්ම දැන දැනත්- තමන්ගෙ කැමැත්තෙන් “හදාගන්නා” ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීම ගැන දෙවරක් සිතිය යුතුයි. “මයි කාර්, මයි පැට්‍රෝල්” කියන උදවියට “මයි ගරාජ්” එකෙන් හෝ “මයි පොකට්” එකෙන් වියදම් කර කාර් එකේ නඩත්තු කටයුතු කරන්න කිව්වට වැරැද්දක් තියනවද?

මගේ අදහස තමා ටික දෙනෙක් කාලයක් තිස්සේ දැන දැනත් “විහින් දාගන්න” ලෙඩ වලට ප්‍රතිකාර කරන්න මහජනයා පලි නෑ කියන එක. රජයේ අදහස නිසි ක්‍රමවේදයක් සහිතව ක්‍රියාත්මක කිරීම අනාගතයේදී (මතින් තොර) සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් බිහිකිරීමට උදවු වෙයි.

Advertisements

“මයි කාර්, මයි පැට්‍රෝල්, පබ්ලික් ගරාජ්” වෙත සිතුවිලි 13ක්

  1. කියන එක නම් ගොඩක් පැහැදිලියි..එත් ඒක කොච්චර දුරට ප්‍රයොගිකද කියලා ප්‍රශ්ණයක් එනවා..මොකද ලOකාවේ සල්ලි නැ කියලා මිනිහේක් මැරෙන්න දාලා බලO ඉන්නේ නැති නිසා..ඇත්තටම මත්පැන් හා සිගරට් වල බදු වැඩි කරලා එවායන් එන මුදල ඔය සදහා යොදවන්නන බැරිද?

  2. කතාව නම් සහතික ඇත්ත … ඒ උනාට ඔය ගොඩක් ලෙඩ විහින් හදාගන්නෙ ඒවනෙ…….කට පරිස්සම කොර ගන්නෙ බැරි හින්ඳා හැදෙන ලෙඩ ගැන මං කිව්වේ….එහෙම බැලුවොත් කොලස්ට්‍රොල් වෙලටයි sugar වලටයි රටේ සල්ලි නාස්ති කොරන්නේ මොකටද?මතට තිත තියන්න ඔය වගෙ පටු තීරණ වලට බෑ…..ආකල්පමය වෙනසක් කල යුතුයි..කොයිතරම් බාර් ඇරියත් අරක්කු පිනට දුන්නත් මිනිස්සු ප්‍රතික්ෂේප කොල දාටයි මතට තිත හරියටම වැඩ කල වෙන්න……ජය…

  3. Apologies in advance for writing in English. I am yet to master the Sinhala typing.

    This is a very good and balanced thought process (both the article and the comments). In my view, the liquor issue, the cholesterol issue, sugar issue … all these can be controlled by individual discipline. Out of these, the liquor issue is given more prominence due to the social stigma and religious preconceptions. If you forget about our preconceptions associated with liquor and tobacco. You can put all these in to one category “substance abuse”.

    The larger solution to the “substance abuse” could be a long winded debate. Therefore the “patch work” is the only thing we can try out in the short run. However, the substance abuse issue is not unique to Sri Lanka nor it is a new issue to the world. We should look out for proven solutions before trying out something which might be a proven non-solution.

    Why is my neighborhood ‘Bas unnehe’ goes to the bar and does not come home to his wife and children until he is too high to do anything meaningful with them. Does that have anything to do with Bas unnehe’s wife’s attitude from the first day of the marriage? Or it is simply that bas unnehe is in bad company of bad friends? Why do people mess up their lives? Are these too complicated issues to even talk about? Should we just stick to our patch-work so that we can be happy that at least we tried?

  4. ලෙඩ රෝග සෑදීමට හේතු ගනනාවක් බලපෑ හැක. මත්පැන් පානය, දුම්පානය, අධික ලෙස තෙල්සහිත හා නුසුදුසු ආහාර අනුභවය, අධික සීනි හෝ පැණිරස පරිභෝජනය, අධික වෙහෙස හෝ ආතතිය ගෙනදෙන රැකියාවල නිරතවීම. ඉහත සියලුම දේවල් කාලයක් තිස්සේ කිරීමෙන් ඒ හා බැඳුනු ලෙඩ රෝග ඇතිවිය හැකිය. මේවා ඔක්කෝම තමන් විහින් හදාගන්නා ලෙඩ රෝග ලෙස හැඳින්වීම නිවැරදිය. ඒවා එසේ තිබියදී මත්පැන් හෝ දුම්පානය පමණක් එම ගොඩට දමා කතාකිරීමට හේතුව මත්පැන් හා දුම්වැටි භාවිතාකරන්නන් ඉන් ලබන ආශ්වාදයට ඇති කුහක ඉරිසියාවයි.

    මත්පැන් හා දුම්වැටි වලින් ඇතිවන ආබාධ වලට පමණක් වෙනස් ලෙස සලකන්නේ නම්, මත්පැන් හා දුම්වැටි භාවිතාකරන්නන්ගෙන් අයකරන බදු මුදල් අඩුකල යුතුය. මන්ද ඔවුන්ගෙන් සමාන බදු මුදල් අයකරමින් ඔවුන් සඳහා පමණක් සුබසාධනය කපාහැරීම සදාචාර විරෝධී බැවිනි.

    මෙය තේරුම් කරගත හැක්කේ අන් කිසිවක් ලෙස නොව ජනතාව මෙතෙක් විඳි සුබසාධන අයිතීන් කප්පාදු කිරීමේ ක්‍රියාවලියක ප්‍රථම පියවර ලෙසයි. පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකර නිදහස් අධ්‍යාපනයේ වල කැපීම අරඹන බවට අධ්‍යාපන ඇමති පවා ප්‍රතිඤා දී තිබේ. ජනතාවගෙන් විරෝධයක් එල්ල නොවන මෙවන් ක්‍රියාවලි හරහා අපට නිදහස් සෞඛ්‍ය සේවාව අහිම කිරීම මොවුන්ගේ අරමුණයි. දැන් මේකට හුරේ දමන ඔබලාට යකා තමාගේ ගේ දොරකඩටම ආ පසු සත්‍යයය තේරුම් යාවි.

    මෙහි තවත් පැත්තක් නම් discrimination (වෙනස් ලෙස සැලකීමයි). දියුණු සමාජවල මෙය එන්න එන්නම අඩුවේගෙන යනවිට අපි මේවා තව තවත් තීව්‍ර කිරීමෙන් පෙන්නුම් කරන්නේ අප සමාජයේ නොදියුණු ගෝත්‍රික ස්වභාවයයි. සැමදෙනා දෙසම සමාන ඇසකින් බලනු වෙනුවට මිනිසුන් කොටස්කර එකිනෙකාට ගරහාගන්නා සමාජයකින් වාසි ලබන්නේ ජනතාව ගොනාට අන්දවමින් වරප්‍රසාද ලබන පාලක පන්තියයි. සිගරට් අරක්කු බොන අයට බනිමින් කාලෙ කන්නේ නැතිව තමන්ගේ බදු මුදන් සැබෑවටම ගසා කන්කේ කවුද කියා සොයා බලන ලෙස මම යෝජනා කරමි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්‍යභාරයට කිසිසේත් අදාල නොවන මත්පැන් බලපත්‍ර ලබාදීමේ වරප්‍රසාදයක් අද මන්ත්‍රීවරුන්ට ඇත. එය ඔවුන්ගේ අතිරේක ආදායම් මාර්‍ගයකි. එසේ ඇති එකම රට ලංකාව වන්නට ඇත. හැකිනම් එම බලය විවේචනය කර එය සුරාබදු දෙපාර්තුමේන්තුවට පවරන්න. මතට තිතක් තබනවානම් කලයුතු පළමු පියවර එයයි.

    1. ලෙඩ රෝග සෑදීමට හේතු ගණනාවක් බලපෑ හැකි නමුත් ඇතැම් රෝග සඳහා නම් කළ හැකි හේතු තිබේ. දිගුකාලීන මත්පැන් පානයේ දැනට හඳුනාගෙන ඇති ළුල විපාක ගැන මේ සබැඳියෙන් කියවන්න.
      http://en.wikipedia.org/wiki/Long-term_effects_of_alcohol

      මත්පැන් දුම්වැටි භාවිතා කරන්නන් ‘විඳින ආශ්වාදය’ කෙබඳුද යන්න නිසි ලෙස තේරුම් ගැනීමට මහරගම පිළිකා රෝහලේ කෙටි සවාරියක් කරන ලෙස ඉල්ලමි. ‘ආශ්වාදයට’ එරෙහි ‘කුහක ඊරිසියාවක්’ ඇති කරගන්නේ කවුද යන්න ඉන් පසු තීරණය කරන මෙන් ඉල්ලා සිටිමි.

      ඔබගේ තර්කයට අනුව රථවාහන සඳහා බදු අයකිරීම සහ ඒවා ලියාපදිංචි කිරීමට වාහන හිමියන්ගෙන් මුදල් අයකිරීමද ඔවුන්ගේ ගමන් කිරීමේ මූලික අයිතිය උල්ලංඝනය කරන සදාචාර විරෝධී ක්‍රියා ලෙස සැලකිය හැකි නොවේද? සදාචාර විරෝධී වන්නේ මත්පැන් නොබොන අයගෙන් අයකරගන්නා බදු මුදල් ඔවුන්ගේ සුභසාධනයට නොයොදවා මත්පැන් පානය කරන්නන් වෙනුවෙන් වැය කිරීම නොවේද? මත්පැන් සඳහා බදු මුදල් අයකරගන්නේ ඔවුන් වැඩි වරප්‍රසාදයක් භුක්ති විඳින නිසාවෙනි. (වාහන වලට බදු අයකරන්නා සේම.)

      මහජන සුභසාධනය කප්පාදු කිරීම්, මහජන මුදල් ගසා කෑම්, දේශපාලන ඇඟිලි ගැසීම් ආදියටද විරෝධතාවය පළ කිරීම කළ යුතු දෙයක්. ප්‍රසිද්ධියේ කථාබහ වෙන මැති ඇමතිලාගේ ගසාකෑම කවුරුත් දන්න දෙයක් නිසා ඒවට විරුද්ධ වෙන පිරිසත් වැඩියි. ඒත් මහජන මුදල් අපතේ යන වෙනත් ක්‍රම පෙන්වාදීමත් වැරදිද යන්න සිතිය යුතුයි.
      කොරහේත් කිඹුල්ලු දකින අයටනම් කොයිකත් වැරදියි.

      දියුණු යැයි සම්මත සමාජවලත් විවිධ නිර්නායක අනුව වෙනස් ලෙස සැලකීම දැකිය හැකියි. ඒ සමාජ වලත් මත්පැන් දුම්වැටි සඳහා අධික බදු මුදල් අය කරනවා. එමෙන්ම ඒ සමාජ වල නොමිලේ සපයන සෞඛ්‍ය සේවාවනුත් නැති තරම්. එවිට මත්පැන් පානයෙන් හෝ වෙනත් හේතුවකින් රෝගී වූ විට වියදම් තමන්ම දැරිය යුතුයි. මත්පැන් පානයෙන් නිතරම හෝ වැඩිපුර රෝගී වූ විට එම වියදම තමන්ම දැරිය යුතුවීම ගැන කවුරුත් මැසිවිලි නඟන්නේ නෑ.

  5. ප්‍රජාතත්‍රවාදී රටක මත් පැන තහනම් කල හැකි නමුත්, එවැනි රටක වෙසෙනා මිනිසුන් ගාලේ ඇති නිරෝගී සවිසම්පන්න හරක් වාගේම නීරස, පල රහිත ජීවිතම ගෙවන්නේය. බේබද්දා රටට බරක්යැයී කියනා කතාව සාදාරණ නැත. බේබද්දා මෙන්ම, බීරාද, කොරාද, ගස් නගින්නාද පුරවැසියන්ම වෙයී. බදු ගෙවන්නන්ම වෙයී. පාන් කාලක්වක්, කිරි බෝතලයක්වත්, ගම් බිත්තරයක්වත් අමුතුවෙන් රටට දායක නොකල උසස් අධ්‍යාපනය වාගේ නොවෙයී, හවසට කාලක් පරිබෝජනය කරන කම්කරුවාද, වීදුරුවක් සමග රමනයේ යෙදෙන මුදලාලීද, ධණය ඉපයීමේ යෙදෙන පුරවැසියනුයී.

    දුප්පතා බොන්නේ ලාබ අරක්කුය. කසිප්පුය. බී ලෙඩවෙයී. වයීන් වීදුරුවක් බීමෙන් කිසිම ලෙඩක් ඇතිවන්නේ නැත. වයීන් නිසා හදවත් රෝග අඩුවෙන බව වෙදුන් කියයී. පොහොසතා බොන්නේ වයීන්ය. බ්‍රැන්ඩිය. බීලා, “ආ තෝ කසියා බීලා විහින් ලෙඩ හදා ගත්තා නේද” කියලා අහයී. බීම පමණක් නොවෙයී, ආහාරත් එලෙසය. අනෙකුත් සෑම දේම එලෙසය.

    අපට ඇතිවෙන සියලූම දුක් කරදර වලට අපි වගකිවිය නැතැයී මම කියන්නේ නැහැ. ඒ කෙසේ වෙතත්, බීම නිසාම කපුගේ රෝගී වූවා වාගේම, රහමෙර නැත්නම්, අනුරාදපුර සුරුට්ටු නැත්තම්, දවසක් පැල නැති හේනේවත්, එක් ටැම් ගෙයවත් අපිට ලැබෙන්නේ නැත.

  6. ඔය විදියේ තහනමක් දාන එක සාධාරණයි කියලා හිතුවාට ඒක මහා භයානක වැඩක්. ඔය හදන්නේ මේ රටේ ජනතාවට ලැබෙන නිදහස් සෞඛ්‍ය සේවය වල පල්ලට යවන්න. මේ වගේ නීති ගෙනාවොත් ඕනෙම ලෙඩෙක් ගෙන් මුදල් අය හැකි වෙනවා. උදාහරණයක් විදියට පෙනහළු පිළිකාවක් හරි ඒ වගේ වෙනත් පෙනහළු රෝගයක් හැදුන කෙනෙක් ගන්න. එයට රෝගය හැදුනේ දුම් බීම නිසා හෝ පරිසරයේ තියෙන විෂ වායු නිසා වෙන්න පුළුවන්. වෛද්‍ය වරු තීරණය කලොත් මේක හැදුනේ දුම් බීම නිසා කියලා එයාගෙන් අය කරයි. මිනිහා කිව්වට විස්වාසහ කරයිද මං සිගරට් එකක් කටේ තියලවත් නැහැ කියලා. සමහර විට ඇති නවීන තාක්ෂනය භාවිතා කරලා හරියටම හේතුව හොයා ගන්න හැකි වේවි. ( පිළිකාව හැදුනේ සිගරට් දුමෙන්ද වාහන දුමෙන්ද කියලා. ) . ඒත් කවුද ඒවාට වියදම් කරන්නේ. ආණ්ඩුවට ඉතුරු කරලා දෙන්න ඕනේ කියලා හිතන දොස්තරෙක් හිටියොත් එහෙම බඩුම තමා.

  7. Sapumal, Kolu and Gadfly have all articulated something which I wanted to say but was too shy to say right away. Nadee’s point in his initial post is quite strong and convincing also the follow up comments make sense. Yet, I am not convinced. We need to look at far reaching consequences of such policies (viz. “Discrimination based on lifestyle choices of people”). Where do we draw the line? Why do we not see this type of policies in economically strong nations? Are we actually addressing the root causes or are we doing patch work. Isn’t this thinking based on hatred towards certain group (“Kalakanni beela merenawa madiwata ape sallith kanawa”). Why those people become alcoholics? Should they be hated and punished? If so, why do we single out one type of substance abuse? What about saturated fat? Oliy food is tasty and gives eating pleasure, but seriously damages long term health. I have actually been an addict of saturated fat myself. Now I have seriously high cholesterol levels. However, no one hates me for that. (side note: people hate for other things though… for example religious people hate me for being a secularists) Why do we hate only the alcoholics?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )