පිය සමර

ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් විය; කුඹුරු යායක් අස්වද්දනා ගොවියෙක් විය; ගමේ පන්සලේ, සමිති-සමාගම්වල ක්‍රියාකාරී සමාජ සේවකයෙක් විය; සමාජ ගුණධර්ම රකිනා ගැමියෙක් විය; ආදරණීය පියෙක් විය.

දරුවන් පස් දෙනෙක් අතරින් දෙවැනියා වූ ඔහු පාසල් අධ්‍යාපනය හමාර වූ විගස පුහුණු ගුරුවරයෙක් ලෙස සේවය කිරීම තෝරාගත්තේ බාල සහෝදර-සහෝදරියන්ගේ උසස් අධ්‍යාපනයට බරපැන දැරීමට තරම් සවිමත් ආර්ථිකයක් දෙමාපියන්ට නොතිබීම නිසාවෙනි. ගුරු වෘත්තියේ නියැලුනද, දුර බැහැර ප්‍රදේශවල සිට පවා හැකි සෑම විටෙකම ගෙදර ආවේ ගොවිතැන් කටයුතු කිරීමට දෙමාපියන්ට උදව් කිරීමටය. පවුලට හැකි පමණින් උදව් උපකාර කළ ඔහු දිවියේ තෙවන දශකය එළඹෙත්ම විවාහ දිවියට ඇතුළු විය.

ගුරුවරයෙක්ගේ වේතනයෙන් පමණක් පවුලක් නඩත්තු කිරීම අසීරුවූ යුගයක වුවද, වසර ගණනාවක ඇවෑමෙන් හොඳ නිවසක් තනාගැන්මට ඔහු සහ බිරිඳ ධෛර්යය සම්පන්න වූහ. දරු තිදෙනෙකුගේ පියෙක් වනවිට ඔහු ජීවිතයේ සිව්වන දශකයටද පා තබා තිබිණ.

ඔහුගේ බලාපොරොත්තුව වූයේ තම දරුවන් ලොකු-මහත් කර සැප-සම්පත් ලබාදීම නොව, ඔවුන් සමාජයේ වැඩක් ඇති අය කිරීමට ඔවුනට හැකි පමණ ඉගැන්වීමටය. පොත-පතේ අධ්‍යාපනය පමණක් නොව, ජීවිතයට අවශ්‍ය ගුරුහරුකම් ලබාදීමටද ඔහු අමතක නොකළේය. අවවාදයෙන් නොව ආදර්ශයෙන් ඔහු දරුවනට ජීවිතයේ පාඩම් ඉගැන්වූයේය; වචනයෙන් නොව ක්‍රියාවෙන් ගුරුහරුකම් ලබාදුන්නේය; මෙලෙස ජීවත් විය යුතුය කියා නොපවසා තම හැසිරීමෙන් ජීවත් විය යුතු ආකාරය කියා දුන්නේය.

වසරකට වරක් දරුවන් සමඟ විනෝද සවාරි යන්නට වත්කමක් නොතිබුනද, හැකි අයුරින් දරුවන්ට රට-තොට පෙන්වීමට උත්සාහ ගත්තේය. ඔහුට රට-තොට බලමින් විනෝද වීමට පමණක් නොව, ඒ ගැන විස්තර කරමින් දරුවන්ට යමක් කියාදීමටද හැකි විය. අවුරුදු කාලයට කාටත් කලින් කොස් අත්තක ඔංචිල්ලාවක් බැඳ දෙන්නේ ඔහුය. දරුවන් කැළේ-කොළේ සෙල්ලම් කරනාවිට තහංචි දැමීමට ඔහු උත්සුක නොවූයේ එයින්ද ඉගෙනීමට පාඩම් ඇති බව දත් නිසාවෙනි.

දරුවන්ගේ අධ්‍යාපනයට උදව්-උපකාර මිස බලපෑම් කිරීමට ඔහු ක්‍රියා නොකළේය. දරුවන් උසස්පෙළ හදාරන විෂය මාලාව ඔවුන්ටම තෝරා ගැනීමට හැකි තරම් ඔවුන්ව ස්වාධීන කළා මිස, එයට බලපෑම් කිරීමට ඔහු උත්සාහ ගත්තේ නැත. හොඳ-නරක තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම හැර වචනයෙන් හොඳ-නරක ගැන දේශනා දීමට ඔහු ක්‍රියා කළේ නැත.

සුරාවෙන්-සූදුවෙන් තොර වුවද, ඔහුගේ මුවේ බුලත් විටක් නම් නොතිබූ මොහොතක් නොමැති විය. නිවසට පැමිණෙන ඕනෑම අයෙකුට බුලත් හෙප්පුව පිරිනමමින් හෙතෙමද බුලත් විටකින් සප්පායම් වීමට අමතක නොකළේය. නිවසට පැමිණියෙක් බුලත් විටකින් හෝ තේ කෝප්පයකින් සංග්‍රහ නොලබා ගියේ කලාතුරකිනි. ගමේ රැඳී සිටි සීමිත කාලය තුල වුවද සමිති සමාගම් වල රාජකාරීවල නියුතු වූ ඔහු මුණගැසීමට ආවෝ-ගියෝ එමට වූහ. තම සාක්කුවෙන් පවා මුදල් වියදම් කරමින් සමිති සමාගම්වල රාජකාරිවල නියැලීම ඔහුගේ සිරිත විය.

නියුතු වූ දේශපාලනයක් නොවූවද, දැරූ දේශපාලන මතිමතාන්තර නිසාදෝ, ඔහුගේ ගුරු දිවියේ තිස් වසෙන් විස්සකට අධික කාලයක් නිවසින් දුර-බැහැර ප්‍රදේශ වල සේවය කිරීමට සිදු විය. පුහුණු උපගුරුවරයෙක් ලෙස ගුරු සේවයට එක්වූ ඔහු උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආදිය සම්පූර්ණ කළද, තිස් වසරක සේවය අවසානයේ උපගුරුවරයෙක් ලෙසම විශ්‍රාම යන්නේ උසස්වීම් ලැබිය යුත්තාට නොලැබීම නිසාය. එසේ වුවද පසුගිය දේවල් ගැන නොතැවුනු ඔහු සතුටින් තම රාජකාරිය කළේ තම සිසු-සිසුවියන්ගේ යහපත ගැන සිතමිනි.  විශ්‍රාම යාමට නියමිත වයසටත් කලින් විශ්‍රාම යන්නේ දේශපාලන හෙංචයියෙකු යටතේ සේවය කිරීමට තිබූ අකමැත්ත නිසාවෙනි.

විශ්‍රාම යාමෙන් අනතුරුව අත් ට්‍රැක්ටරයක් මිලට ගෙන එය කුලියට දෙමින් ව්‍යාපාරයක් කිරීමට උත්සාහ ගත්තද, හිත හොඳ මිනිහාට වෙළඳාම් කිරීමට නොහැකි බව පසක් කරමින් එම උත්සාහය ව්‍යර්ථ වූයේ ආර්ථික අලාභයක්ද සමඟිනි. පූර්ණ කාලීන සමාජ සේවයට යොමුවෙන ඔහු ඉඳහිට පුද්ගලික උපකාරක පන්තියක් කළේ එයින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභයටත් වඩා ඉගැන්වීමෙන් ලැබෙන සතුට නිසාවෙනි.

අදින් දශක එකහමාරකට පෙරාතුව ඔහු හදිසි හෘදයාබාධයකින් මෙලොවින් සමුගත්තේය. ඒ මගේ ආදරණීය පියාණන්ය.

දරුවන්ගේ අධ්‍යාපනය ගැන වෙහෙසුනු ඔහු, ඔවුන් ඉන් ඵල නෙලාගන්නා අයුරු දකින්නට ජීවත් වූයේ නැත. තම දරුවන් විවාහ දිවියට එළඹෙනු දකිනු රිසිවූ ඔහුට ඒ වනතෙක් ජීවත්ව ඉන්නට ඉඩ ලැබුනේ නැත. ඔහු පැතූ ලොව උදාවී ඇති අයුරු දකින්නට ඔහු සිටියේ නැත.

තාත්තේ, ඔබ අනුස්මරණය කර පැවැත්වෙන පිංකම් වලට දායක වන්නට බැරි වුනද මම ඔබ සිහිකරමි.  ඔබට ඇති ආදරය, ගෞරවය වචනයෙන් පැවසූ දිනයක් මතක නැති වුනත්, ඔබ එය දැන සිටින්නට ඇතැයි සිතමි.   වචනයෙන් ඔබ නොදුන් ගුරුහරුකම් අදත් මම පිළිපදිමි.

Advertisements

5 thoughts on “පිය සමර”

  1. ඔබෙන් දිය ලැබ සාරවූ
    තුරුණු කෙත්වතු දෙස බලා
    නොපෙනෙනා තරමින් සිනාසී
    නිසලවම හිඳිනා
    අප්පච්චී…………
    (ජයතිලක කම්මැල්ලවීර ලියපු කසුන්ගේ සින්දුවක්)

  2. පියෙකු හැටියක කළයුතුකම් සාර්ථක බව පුතුගෙන් පෙනෙනා බැවින් ඔහුගේ එහා ලෝකයේදී සතුටින් ඇතැයි මම සිතමි. මා මගේ තාත්තාගේ සෙවනැල්ලෙන් පලා යන අයෙකු බැවින් (යම් දිනකදී ලියන්නම්) මෙම සටහන මගේ සිතේ යම් කැළැඹීමක ඇතිකළේය. වරදවා තෙරුම් ගන්න එපා මම මගේ පියාණන්ට ඉතා ළැදිය.
    good post!

  3. පියවරුන් ගැන මගෙත් සිත්ගත් ගීයක පද කීපයක් ලියලා මගේ ප්‍රතිචාරය එක් කරන්නම්.

    “අන්දර යායේ වැව් තාවල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොලේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී…“

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )