කවුද යාළුවා

මට ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. එකෙක් සුද්දෙක්. අනිකා චීනෙක්. මුන් දෙන්නම මගෙත් එක්ක තියෙන්නෙ යාළු කමට කරන ආශ්‍රයකට වඩා  බිස්නස් ආශ්‍රයක්. මමත් අතේ දුරින් තමා මේ දෙන්නව ආශ්‍රය කරන්න බලන්නෙ. හැබැයි සුද්දයි චීනයි එච්චර හිත හොඳ නෑ ඕං.

ඉස්සර කාලෙ මුන්ගෙ මහ උන් අපිව යටත් කරගෙන හිටිය මදිවට අපේ රටේ සම්පත් හූරා කෑව කියල මතක් වෙනකොට සුද්දත් එක්ක තරහ වෙන්නත් හිතෙනවා. ඒත් පහුගිය කාලෙ අපේ ගෙදර වැඩ ටිකක් කරගන්න අත-මිට හිඟ වෙලා තියෙද්දි සුද්දා මට අතමාරුවට කාසි-පනම් දුන්න නිසා තරහ වෙලත් බෑ. මගෙ බිස්නස් එකේ බඩු වැඩිපුර ගන්නෙත් සුද්දා තමා.

චීනත් හැබැයි මෑතකදි මට අතමාරුවට කාසි-පනම් දීල තියනවා. පහුගිය දොහේ අපේ ගෙදර-දොරේ අලුත් වැඩ ටිකක් කරන්න කාසි මදි උනාම චීනා තමා නෑ-බෑ නොකියා දුන්නෙ. ඒත් ඉතින් මම පොලියත් එක්ක ගෙවන්න ඕනෙ ණය. මොකෝ සුද්දටත් ඉස්සර කාලෙ ගත්ත ණය තාම ගෙවනවනෙ.

සුද්දත් මට සල්ලි දෙන්නම් කිව්වා. ඒත් මිනිහගෙ මාර නීතිනෙ තිබ්බෙ. අපේ ගෙදර පොඩි උන් දෙන්න නිතරම රණ්ඩු. සුද්දා කියපි සල්ලි දෙන්නෙ ලොකු එකාට ගහලා, පැත්තකට කරල දාලා, පොඩි එකාට සීනි බෝල දුන්නොත් විතරයි කියලා. “අනේ ඔය පොඩි උන්ගෙ රණ්ඩු  උන් බේර ගත්ත දෙන්, මම උඹේ ගෙදර වැඩට සල්ලි දෙන්නම්” කියලා චීනා කියපු නිසා මම උගෙන් තමා සල්ලි ඉල්ලගත්තෙ. මම මොකටෙයි සුද්දගෙ නීති වලට යට වෙන්නෙ!

ඒ තරහටද මන්ද සුද්දා උගෙ යාළු-මාළුවොත් එක්ක එක්කහු වෙලා මට අංචියක් අදින්න ආවනෙ, මුන්ගෙ ගෙදර පොඩි උන් දෙන්නා ගහගන්නවා වැඩියි, අපි ඒ ගැන හොයන්න එන්න ඕනෙ, අරකද, මේකද කියලා. මම “අපේ ගෙදර රණ්ඩු මම බලාගන්නම්” කීවට උන් ගණන් ගත්තෙම නෑ. හොඳ වෙලාවට චීනත් කිව්වා සුද්දට “උන්ගෙ ගෙදර රණ්ඩු උන්ට විසඳගන්න දීපන්” කියලා. ඒකෙන් හොඳට ගියා. ඒ වගේ අංචි කීයක් නම් අදින්න සුද්දා දත කෑවද? චීනා කොහොම හරි මගෙ පැත්තෙ හිටිය නිසා හොඳට ගියා.

ඒ කිව්වහමයි මතක් උනෙ, ඉස්සර එක දවසක අපේ උන් දෙන්නා ගහගෙන, පොඩි එකා අඬාගෙන අල්ලපු ගෙදරට ගියා. අල්ලපු ගෙදර එකා ආවනෙ අපේ ගෙදරට පොඩි එකාව බේරගන්න. මම කීවා “උඹ අපේ ගෙදර රණ්ඩු වලට අත දාන්න එන්න ඕනෙ නෑ” කියලා. අල්ලපු ගෙදර එකා ඒ කාලෙ චණ්ඩියා උනාට, මම ඒ කාලෙ සුද්දා එක්ක හොඳට යාළු වෙලා හිටිය නිසා මම බය නැතුව හිටියේ සුද්දා අල්ලපු ගෙදර එකාට පාඩමක් උගන්නලා “උන්ගෙ රණ්ඩු උන්ට බේරගන්න දීපන්” කියලා කියයි කියලා. මොන, සුද්දා ඒ දවස් වල උන්නද මලාද නෑ. යාළු කම කොහේද නෑ..මට ලැජ්ජාවේ බෑ, අල්ලපු ගෙදර එකා අපේ ගෙදර රණ්ඩු බේරනකොට.

ලඟදි ඉඳන් මට කට්ටිය කියනවා “උඹ චීනා පස්සෙන් යනවා වැඩියි, උඹ චීනට ගොට්ට අල්ලනවා වගේනෙ” කියලා. මමත් චීනගෙ පොඩි පොඩි දේවල් වලට සහයෝගයක් දුන්න තමා. ඒවා සමහරක් සුද්දා අකමැති වැඩත් තමා. ඒත් ඉතින් මම කළෙ මට උදව් කළ කෙනාට අනිත් පැත්තට උදව්වක් කළ එකයි. ඒක වැරදිද මන්දා?

කට්ටිය තව අහනවා “එතකොට සුද්දා උඹේ යාළුවෙක් නෙවෙයිද, චීනද උඹේ යාළුවා?” කියලා.  අනේ මන්දා මට මේක තෝරගන්න බැරි ප්‍රශ්නයක්. ඇත්තම කිව්වොත් මුන් දෙන්නම යාළුවන්ට වඩා මාත් එක්ක බිස්නස් කරන්න බලන් ඉන්න උන්. ඔයාලටවත් කියන්න  පුළුවන්ද කවුද අඩුවෙන් නරක යාළුවා කියලා?

Advertisements

“කවුද යාළුවා” වෙත සිතුවිලි 5ක්

  1. ඔකට පුතේ දැන්ම උත්තර දෙන්න අමාරුයි…මොකද ඉතිං අපි ඉගුරු දීලා මිරිස් ගත්ත ජාතියේ මුණුපුරු මිණිපිරියෝනේ..

    ඒත් ඉතිං දැනටනං ඉගුරු වලට වඩා මිරිස් හොඳයි වගේ..

    ප්‍රශ්නෙ තියෙන්නේ අපිට හැමදාම සුද්දගෙන් හරි චීනගෙන් හරි උදව් ඔන එක..ඔන්න ඔය හිගන වැඩෙ නවත්තනංන ඇහැකි උන දවසට සුද්දටයි චීනටයි දමලා අරින්න බැරියා පස්ස පැත්තටම කෙළවෙලා යන්න.
    ඒත් උන් දෙන්නා කවදාවත් එහෙම තතවෙකට අපිට නැගෙන්න දෙන්නේ නැති එකනං ඉර හඳ වගේ විස්වාසයි.

    හැබැයි ඔතනදී අපිට ආදරුසෙට ගන්න වටින එකෙක් ඉන්නවා..ඒ තමයි අර නන්දිකඩාල්වල අවසන් ගමන් ගිය පෝරිසාදයා..අන්න ඌ අපේ මහ එකාලට වරින් වර කිට්ටු වෙලා..ගන්ට ඔන සබ්බ සකල මනාවම අරගෙන පස්ස පැත්තේ උගේ හංවඩුව ගැහෙන විදියට ගේම දීලා ඊළගට එන එකා අල්ලගෙන ඌටත් අර සංතෑසියම කොරලා දාපු ප්‍රති පත්තිය..

    ඔකෙත් ප්‍රශ්නෙ තියෙන්නේ අපේ මහ එකාලා වගේ ගස් බඳින්න ඇහැකි කේප්ප වස්සෝ තවත් වෙන රට රාජ්ජවල ඉන්නවද කියන එකයි…

    1. හිඟන වැඩේ නවත්තන්න බැරි තැනකනෙ තාම ඉන්නෙ.
      මටත් හිතාගන්න බැරි, ඉඟුරු වලට වඩා මිරිස් හොඳයි කියන අයම මහ එකාල ඒ වැඩේ කරද්දි පළු පැලෙන්න බනින එකනෙ.

  2. චැහ්.. ඔය සුද්ද්යි චීනයි දෙන්නම එකයි. ඕකුං දෙන්න ඔය ණයට දීල තියෙන්නෙ ආදරේට නං නෙවෙයි. හැබයි ඔය ණයගෙවාගන්න බැරිඋණ දාට ගෙදර බඩු හරි විකුනල උං උංගෙ ණය පියවගනී. එදාට දතකට පූට්‍ටුකරං බලං ඉන්නවෙයි ගලේ පහරපු බළල වගේ.

  3. මෙහෙම කිව්වා කියලා මා එක්ක තරහ වෙන්නනම් එපා. හණමිටි බිමින් තියලා මිනිස්සු මිනිස්සු හැටියට අඳුනාගන්න එක නේද හොඳ? ඔබ පිටරටක් ජීවත්වෙනවානම් එහි උපරිම ප්‍රයොජනය ගන්නටනම් මනස විවෘත කළයුතුයි කියා සිතෙනවා. මේ දෙකම ඔබගේ අනන්‍යතාවයත්, ජාතිකත්වයත් ‍රැකගෙන් කළහැකියි කියා මට හිතෙනවා.

    ඔවුන් දෙදෙනාම හොඳ මිනිසුන්නම් ඔවුන් අතර කුමන ප්‍රශ්න තිබුණත ඔබගේ ආශ්‍රයට බාධාවක් නොවිය යුතුයි. මට ශ්‍රි ලාංකික මිතුරන් මෙන්ම, පණ මෙන් ආශ්‍රයකළ සුද්දොත් චීන්නුත් ඉන්නවා. චීනාට කිට්‍ටුවීම පහසු ඔවුන්ගේ සංස්කෘතිය සහ අපගේ සංස්කෘතිය අතර වැඩිවෙනසක් නැතිනිසා විය හැකියි. ඔහුත් සමග ඒ ගැනකතා කළොත් ඔබටත් එහෙම හිතෙයි. සුද්දා අනවශ්‍ය දේවල්වලට ඇඟිලි ගැහැව්වේ ඇයි කියලා මම දන්නේ නැහැ, නමුත් ඔහු ඔබට මුදල්දෙන්න ඇත්තේ ඔබ කෙරෙහි විශ්වාසයක් තිබුණු නිසානේද?

    1. ඇත්තම කිව්වොත් චීනයි සුද්දයි දෙන්නම ආස්සරේ කරන්නෙ යාළුකමට වඩා බිස්නස් කරන්නයි. මුන් දෙන්නාගෙන් වැඩිය නරක කවුද, අඩුවෙන් නරක කවුද කියලා දැනගෙන ඉන්න එක හොඳයිනෙ දෙන්නම උදව් ඉල්ලනකොට කාගෙ පැත්තද ගන්න ඕනෙ කියලා තීරණය කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )