කොපර්නිකස් වීරයෙක්ලු

නිකලස් කොපර්නිකස් නූතන විද්‍යාවේ ගමන් මඟ වෙනස් කළ පුද්ගලයෙක් ලෙස පැවසෙනවා. (එහෙම කියන්නෙ කවුද කියලත් දැනගෙන ඉන්න ඕනෙ.) තාරකා විද්‍යාවේ අතීතය ගැන කථා කරද්දි කොපර්නිකස් ගැන නිසැකයෙන්ම සඳහන් වෙනවා. වසර දෙදහසක් පමණ පිළිගෙන තිබූ පෘථිවි කේන්ද්‍රවාදී ආකෘතිය පසෙකට දමා සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත් කිරීමේ ගෞරවය කොපර්නිකස්ට පුද කරනවා.

ඒ මොනවා වුනත් අවුරුදු 500 කට ඉස්සර කොපර්නිකස් මළාම වල දැම්මෙ ‘මිථ්‍යාමතිකයා’ කියලා පල්ලියෙන් පට්ටමකුත් පටබැඳලා, නමවත් නොගහපු සොහොනක. හැබැයි කොපර්නිකස් ජීවත්ව ඉඳිද්දිනම් පල්ලියෙන් කරදරයක් උනෙ නෑ කියනවනෙ. කොපර්නිකස් පූජකයෙක් වීමත්, සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත් කරමින් ඔහු ලියූ නිබන්ධනය වන On the Revolutions of the Heavenly Spheres පලකෙරුනේ ඔහුගේ මරණින් පස්සෙ වීමත් ඒකට හේතු වෙන්න ඇති. ඒ පොත 1835 වෙනකම්ම වතිකානුවේ ‘තහනම්’ පොත් ලැයිස්තුවට අයිති වෙලා තිබ්බලුනේ. කොපර්නිකස් වගේම ගැලීලියෝත් ලියපු පොත් ‘තහනම්’ ලැයිස්තුවව ඇතුලත් වුනේ ඒවා ඉහල පෙලැන්තියට විතරක් කියවන්න ලතින් භාෂාවෙන් නොලියා, ‘ගොඩේ භාෂාවෙන්’ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න ලියපු නිසා කියනවනෙ.

මීට අවුරුදු ගාණකට කලින් පෝලන්තෙ ෆ්‍රොම්බෝක් ආසන දෙව් මැදුරේ යට නමවත් නොගහපු සොහොනකින් කොපර්නිකස්ගේ ඇටකටු හොයාගෙන තිබුනනේ. ඒවා කොපර්නිකස්ගෙමයි කියලා තහවුරු කරගෙන තියෙන්නෙ කොපර්නිකස් ලියපු පොතක් අස්සෙ තිබ්බ ඔහුගෙ (කියලා හිතන) කෙස් ගසකුයි, සොහොනෙන් සොයාගත්ත ඇටකටුයි DNA පරීක්ෂණයකට ලක් කරලයි.

කොපර්නිකස් මළාට පස්සෙ ඔහුගේ නම කැත කරපු එකට සමාව ගන්නදෝ මන්දා, පල්ලිය ඔහුගේ භෂ්මාවශේෂ  පෝලන්තයේ ෆ්‍රොම්බෝක් (Frombork) ආසන දෙව්මැදුර යටම වීරයෙක්ගේ ගෞරව පුදකරමින් චාරිත්‍රානුකූලව මෑතකදි නැවත වල දැම්මා. ගැලීලියෝට එල්ලකළ චෝදනා පල්ලියෙන් ඉවත් කරලා දශක දෙකක් වෙන්න එනකොට කොපර්නිකස්ව වීරයාගේ චරිතයට ඇන්දවීම විශේෂිතයි.

කොහොම නමුත් පහු වෙලා හරි ඒ පුද්ගලයන්ට නිසි ගෞරවය ලබා දීම අගය කළ යුතුයි.  කොපර්නිකස් ‘සූර්ය කේන්ද්‍රවාදය’ ඉදිරිපත් කිරීමේ පසුබිම් තොරතුරු වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු! කොපර්නිකස් දැනට වීරයා.!!

අම්මේ, මම ලෝකෙ මුදුනෙ ඉන්නෙ

සතුට උපරිම වුන අවස්ථාවක “ලෝකෙ මුදුනෙ ඉන්නවා” කියලා සමහරු කිව්වත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෝකෙ මුදුන හෙවත් ලෝකයේ උසම තැන වන එවරස්ට් කන්ද මුදුනේ ඉඳලා එහෙම කියන්නෙ එහෙමත් කෙනෙක් විතරයි. ඊයෙ දවසෙදි (මැයි 22) එහෙම කිව්වෙ වයස අවුරුදු දහතුනක කොළු පැටියෙක්. නමින් ජෝ(ර්)ඩන් රොමේරෝ (Jordan Romero). පදිංචිය ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ. ඔහු තමා එවරස්ට් කන්ද තරණය කළ ලාබාලතම පුද්ගලයා.

එවරස්ට් කන්ද මුදුනේ ඉඳලා චන්ද්‍රිකා දුරකථනයක් මාර්ගයෙන් ඔහුගේ අම්මා, ලී ඈන් ඩ්‍රේක් (Leigh Anne Drake) අමතමින් ජෝර්ඩ්න් “අම්මේ, මම ලෝකෙ මුදුනෙ ඉන්නෙ” යැයි පවසා තිබුනා. ජෝර්ඩ්න්ගේ කඳු තරණය චන්ද්‍රිකා සහ අන්තර්ජාලයේ සහායෙන් සෑම මොහොතකම නිරීක්ෂණය කිරීමට ඔහුගේ අම්මාත් අමතක කර තිබුනේ නෑ.

ජෝර්ඩ්න් එවරස්ට් කන්ද තරණය කළේ ඊටත් වඩා විශාල අරමුණක එක පියවරක් ලෙසයි. ඔහුගේ බලාපොරොත්තුව ලෝකයේ සෑම මහාද්වීපයකම ඇති උසම කන්ද තරණය කිරීමයි. එවරස්ට් තරණයත් සමඟ දැනට මහාද්වීප හයකම උසම කඳු තරණය කර ඇති ඔහුට තව ඉතිරිව ඇත්තේ ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන වින්සන් මැසිෆ් (Vinson Massif) තරණය කිරීම පමණයි. ඔහු අප්‍රිකාවේ උසම කන්ද වන කිලිමන්ජාරෝ තරණය කර ඇත්තේ වයස අවුරුදු නවයේදී.

මීට පෙර එවරස්ට් තරණයකළ ලාබාලතම පුද්ගලයා වූයේ නේපාල ජාතික ටෙම්බා ට්ෂේරි (Temba Tsheri). ඒ වයස අවුරුදු 16 දී. ජෝර්ඩ්න් එවරස්ට් තරණය කළේ ඔහුගේ පියා පෝල් රොමේරෝ (Paul Romero), ඔහුගේ පෙම්වතිය කැරන් ලන්ඩ්ග්‍රෙන් (Karen Lundgren) සහ ශර්පා මඟපෙන්වන්නන් තිදෙනෙකුත් සමඟයි.

එවරස්ට් තරණය කරන්නන් බොහෝ දෙනෙක් නේපාලයෙන් ගමන් ඇරඹුවත්, ජෝර්ඩ්න් සහ පිරිස එවරස්ට් තරණය කළේ සාමාන්‍යයෙන් වැඩි දෙනා ගමන් නොකරන, වඩාත් දුෂ්කර එවරස්ට් කන්දට උතුරින් ටිබෙටයේ ඇති මූලික කඳවුරෙන් ඇරඹෙන ගමන් මඟක් ඔස්සේයි. නේපාලයෙන් මෙන් නොව, චීනයෙන් එවරස්ට් තරණය කරන්නන්ට වයස් සීමාවක් නෑ.

දැනට ලෝකයේ මහාද්වීප හතේම උසම කඳුමුදුන් තරණය කළ ලාබාලතමයා වන්නේ ඇමරිකාවේම යුටා ජනපදයේ දහහත් හැවිරිදි ජොනී කොලින්සන්. (Johnny Collinson) ජෝර්ඩන් මේ වසරේම දෙසැම්බරයේ ඇන්ටාක්ටිකාව කරා යන්නට සැලසුම් කර ඇත්තේ එහි උසම කන්ද තරණය කරන්නටයි. ඔහු එම අභියෝගයද ජයගන්නාතෙක් ජොනී කොලින්සන් ඔහුගේ වාර්තාව උසුලනු ඇති.

ජෝර්ඩ්න් එවරස්ට් නගින්නට යද්දී මාස දෙකකම පාසැලේ ගෙදරවැඩ රැගෙන ගියබව ඔහුගේ අම්මා කියා තිබුනා. මොනදේ කළත් පාසැල් වැඩ අතපසු නොකරන්නට ඔහු ඉටාගෙන ඇති හැඩයි.

ප.ලි.

හදිස්සියකට කඩේකට යන්න, පාසැල නිමාවෙලා තනියම ගෙදර එන්න දරුවෙකුට ඉඩ දෙන්නෙ නැති අම්මලා කොච්චර අපි අතරේ ඉන්නවද?

තවත් ප.ලි.

ඊයේ දිනයේදීම (මැයි 22) අපා (Apa) නම් නේපාල ජාතික ශර්පා විසිවෙනි වතාවටත් එවරස්ට් තරණය කරමින් වැඩිම වාරයක් එවරස්ට් තරණය කළ පුද්ගලයාවීමේ ඔහුගේම වාර්තාව අලුත් කළා. එවරස්ට් කන්දේ (සංචාරකයන් දමාගිය ) කසල ඉවත් කිරීම් ඔහුගේ අරමුණ වන අතර, මිහිතල උණුසුම්වීම නිසා හිමාලය කඳුවලට ඇති බලපෑම ගැන ලොවට ප්‍රචාරය කිරීමද අපා ශර්පාවරයාගේ අරමුණක්.

පින්තූරෙ ගත්තෙ මෙතැනින්

වලපයයි ගොඩපයයි අතේ උපාධියයි

වයස අවුරුදු 30 වෙනකොට ‘අපිට මේ අලුත් දේවල් ඉගෙනගන්න තේරෙන්නෙ නෑනෙ. දැන් මොලේ කුරුවල් වෙලා’ කියලා හිතන අයත් ඉන්නවා. වයස අවුරුදු 50 පිරෙනකොටම සමහර වැඩිහිටියො ‘අපි දැන් නාකියි’ කියලා පැත්ත ගහලා ඉන්නවා. කොණ්ඩෙ ඉදිලා තට්ටෙ පෑදෙනකොට තවත් සමහරු අපි මේ ලෝකෙ සියල්ල දත් අයයි කියලා විවේක සුවයෙන් ඉන්නවා. වයස අවුරුදු 80 විතර (ඉන්න වාසනාව තියන) අය පිනක් දහමක් කරගෙන ඉන්නවා.

ඒත් ඔය අතරෙ තමන්ට තරුණ කාලෙදි කරන්න බැරි වුන දේවල් වයසට ගියත් කරන අයත් නැතුව නෙවෙයි. ඒ වගේ දෙන්නෙක් ගැන පසුගිය දවසකදි වාර්තා වුනා. එක්කෙනෙක් වයස 94 ක ආච්චි කෙනෙක්. එයා Mills College විශ්ව විද්‍යාලයෙන් කලා ඉතිහාසය පිළිබඳ උපාධිය ලබා ගත්තා. හේසල් සෝරස් (Hazel Soares) ලෝකයේ දෙවැනියට වයස්ගතම උපාධිධාරිණිය ලෙසයි සැලකෙන්නේ.

අනිත් කෙනා ගිනස් වාර්තා පොතට අනුව ලෝකෙ වයස්ගතම උපාධිධාරියා. ඇයත් කාන්තාවක්. වයස 95 දී උපාධියක් ලබාගනිමින් ගිනස් වාර්තා පොතට එක්වුනු නෝලා ඕක්ස් (Nola Ochs) පසු ගිය සතියේදී ඇගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරනා විට ඇගේ වයස අවුරුදු 98 ක්. ඒත් දැනට ලොව වයස්ගතම උපාධිධරයා ලෙස ගිනස් පොතේ වාර්තා වන්නේ වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධිය ලබාගත් තායිවාන් ජාතික චාඕ මු-හේ (Chao Mu-He). 2007 වසරේදී වයස්ගතම උපාධිධාරිණිය වෙමින් නෝලා තැබූ වාර්තාව 2009 දී බිඳහෙලූ චාඕ වෙතින් එය නැවත ලබාගන්නට ඇය සමත් වුනා.

මේ කට්ටියටම දූ-දරුවෝ, මුණුපුරු-මිණිපිරියෝ විතරක් නෙවෙයි මී මුණුපුරු-මිණිපිරියෝත් ඉන්නවා. තමන්ගෙ තරුණ කාලෙදි විවිධ හේතු නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නෙ බැරි වුනත්, වයසට ගිහින් හරි උපාධියක් ගන්න ලැබීම ගැන ඒ අය සතුටු වෙනවා ඇති. උපාධියක් අරන් නිකං ඉන්න මේ ආච්චිලගෙ බලාපොරොත්තුවක් නෑ. ඉන්න ටික කාලෙදි හරි ඉගෙනගත්ත දෙයින් රැකියාවක් කරන්න තමා ඒ අයගෙ අදහස.

වයස්ගත අය උපාධි ගැනීම ලංකාවෙත් නැතිවම නෙවෙයි. වයස අවුරුදු 80 දී විවෘත විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ගත් අයෙක් පිළිබඳව පුවත්පත්වල වාර්තා වී තිබුනා. (ඔහු මිය ගිය බවද වාර්තා වුනා.)

වයස ඉගෙනගැනීමට බාධාවක් නොවේ යන්න මේ අය පෙන්වා දී තිබෙනවා. උපාධියකට ඉගෙනගැනීම පමණක් නොව (සවි ශක්තිය ඇත්නම්) තමන් කැමති කාර්යයක් කරන්නට වයස බාධාවක් කරගත යුතු නෑ.

මිනිසා මැරෙන මොහොත දක්වාම කුමක් හෝ නොදත් දෙයක් ඉගෙනගන්නා බව අමතක නොකළ යුතුයි. තරුණ වියෙන්ම ඉගෙනගැනීම අතැරදමා සිටින්නන්ට මේ අයගෙන්වත් පාඩම් ඉගෙනගන්නට පුළුවන්නම්?

නූතන වෙස්සන්තර කෙනෙක්

ඔබට රුපියල් කෝටි ගණනක් තිබුනොත් මොකද කරන්නේ? හොඳ ගෙයක් ගන්නවද? සුඛෝපභෝගී වාහනයක් ගන්නවද? ලෝකෙ වටේ සවාරියක් යනවද? කරමින් සිටි රස්සාවට නිවාඩු දීලා ගෙදර ඉන්නවද? හැමදාම තරු පහේ හෝටල් වලින් කෑම කනවද? දරුවන්ට අති වෙන්න සල්ලි ඉතිරි කරලා ඉතිරිය පිනට දෙනවද? එහෙම නැත්නම් සල්ලි ඔක්කොම පිනට දෙනවද?

Yu Pengnion(ඩොලර්) ප්‍රකෝටිපතියෙක් (billionaire) වන චීන ජාතික යූ  පෙංග්නියන් (Yu Pengnian)  මේ ප්‍රශ්නෙට ලබාදී තිබෙන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් නොසිතන පිළිතුරක්. ඒ ඔහු සතු සෑම දෙයක්ම පිනට දීමට තීරණය කිරීමයි. පසුගිය සතියේ ඔහු ඩොලර් මිලියන 470 ක් වටිනා මුදල් සහ දේපල යූ පෙංග්නියන් පදනමට (Yu Pengnian Foundation) පරිත්‍යාග කරමින් කියා සිටියේ මේ තමන්ගේ අන්තිම පරිත්‍යාගය බවයි. මෙයින් පසු දන් දෙන්නට දෙයක් තමා සතුව නැතිබව ඔහු කියා සිටියා.

යූ පෙංග්නියන් පදනමට ඩොලර් මිලියන 260 ක මුදලක් බැංකුවේ තැන්පත්ව ඇති අතර පදනමට අයිති ඩොලර් බිලියන එකක වටිනාකමැති දේපල වලින් වසරකට ඩොලර් මිලියන 50 ක පමණ ආදායමක් ලැබෙතැයි විශ්වාස කරනවා. එම පදනමින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආපදා සහන සැපයීම ආදී ක්ෂේත්‍ර සඳහා ප්‍රදාන කරනු ඇති.

88 හැවිරිදි යූ හෝටල් සහ ඉඩකඩම් ව්‍යාපාරයෙන් ධනය ඉපයූවෙක්. ඔහු මෑතදී කළ පරිත්‍යාගයත් සමඟ ඔහු පරිත්‍යාග කළ මුළු වත්කම ඩොලර් බිලියන 1.2 ක්. (රුපියක් කෝටි 13,000 කටත් වැඩියි.) තම දරුවන්ට මුදල් ඉතිරි නොකිරීම ගැන යූ ගේ අදහස මෙයයි. “මගේ දරුවන් මට වඩා දක්ෂ නම් ඔවුන්ට විශාල මුදලක් ඉතිරි කිරීම අනවශ්‍යයි. ඔවුන් අදක්ෂනම්, විශාල මුදලකින් ඔවුන්ට වෙන්නේ අයහපතක් පමණයි.”

යූ, චීනයේ අංක එකේ පරාර්ථකාමියා (philanthropist) ලෙසයි සැලකෙන්නේ. චීනයේ වෙසෙන ප්‍රකෝටිපතියන් තම ධනය පරිත්‍යාග කිරීමට පෙළඹවීම ඔහුගේ අරමුණක්. “මගේ වත්කම අනෙක් (ධනවතුන්ගේ) ධනයත් සමඟ සසඳනකොට බාල්දියක තියන දිය බිඳක් වගෙයි. ඒත් මගේ දැක්ම ඔවුන්ට වඩා බොහොම වෙනස්. මම දරුවන්ට ධනය ඉතුරු කර යන්නේ නෑ.” යැයි යූ පවසනවා.

චීනය ප්‍රකෝටිපතියන් සැලකිය යුතු ප්‍රමාණයක් බිහි කිරීමට සමත් වී තිබෙනවා. චීනයේ වෙසෙන ධනවතුන්ගෙන් 97% ක් ම ධන පරිත්‍යාගයේ යෙදෙන බව වාර්තා වෙනවා.

යූ තවමත් වැඩ කරන අතර වැඩි වෙලාවක් යෙදවෙන්නේ පරිත්‍යාගශීලී වැඩ සඳහා බවයි කියැවෙන්නේ.

ප්ලාස්ටික් ගැන ලොවට කියන ප්ලාස්ටිකි

දකුණු ඇමරිකාවේ පෙරූ රටේ සිට පැසිෆික් සාගරයේ පොලිනීසියන් දූපත් වෙත බැල්සා දැවයෙන් තැනූ යාත්‍රාවකින් නෝවීජියානු පර්යේෂකයින් පිරිසක් 1947 දී කළ වික්‍රමාන්විත චාරිකාව ගැන ඔබ අසා තිබෙනවාද? ‘කොන්-ටිකි චාරිකාව‘ නමින් ඒ පිළිබඳව පළවූ පොත සිංහලටද පරිවර්තනය වුනා. එය ගුරුකොට, නමුත් වෙනත් අරමුණක් වෙනුවෙන් මේ වනවිට ‘ප්ලාස්ටිකි‘ නමින් වික්‍රමාන්විත චාරිකාවක් සිදුකෙරෙමින් පවතිනවා.

ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි දක්වා රුවල් ඔරුවකින් චාරිකා කිරීම ප්ලාස්ටිකි චාරිකාවේ අරමුණයි. මෙහි විශේෂත්වය වන්නේ ‘ප්ලාස්ටිකි’ ලෙස හැඳිනවෙන රුවල් ඔරුව සාම්ප්‍රදායික (නූතන) රුවල් ඔරු වලට වඩා බෙහෙවින් වෙනස් වීමයි. ප්ලාස්ටිකි තැනී ඇත්තේ (වැඩි ප්‍රමාණයක්) ප්ලාස්ටික් වලින්.

කාබන් ඩයොක්සයිඩ් වායු පිරවූ ලීටර් දෙකේ ප්ලාස්ටික් බෝතල් 12,500 ක් ප්ලාස්ටිකි යාත්‍රාවේ ඉපිලුම් හැකියාවෙන් 68% ක් ලබා දෙනවා. කැටමරන් (Catamaran) වර්ගයේ යාත්‍රාවක් වන ප්ලාස්ටිකිහි බඳ සකස්වී ඇත්තේත් srPET නම් ප්ලාස්ටික් විශේෂයකින්. බෝට්ටු නිපදවීමට යොදාගන්නා ෆයිබර්ග්ලාස් මෙන් නොව  ප්ලාස්ටිකි බෝතල් ප්‍රතිචක්‍රීකරණයෙක් නිපදවන srPET ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි.

ප්ලාස්ටිකිහි රුවලත් ප්‍රතිචක්‍රීකෘත ප්ලාස්ටික් රෙද්දකින් නිමවා තිබෙනවා. බෝට්ටුවේ ඇලුමිනියම් කුඹගස වැසිවතුර එකතුකරන පයිප්පයක් ලෙසද ක්‍රියා කරනවා. ඒ වැසිවතුර එකතුවන්නේ යාත්‍රාවේ කුටියේ වහලයට අනුබද්ධිතව තැනූ ටැංකියකයි. එකතු කළ වැසි වතුර ප්ලාස්ටිකි චාරිකාවේ 6 දෙනෙක්ගෙන් සමන්විත කාර්යමණ්ඩලයට අවශ්‍ය ජලය සපයාගැනීමේ එක් මඟක්.

මුත්‍රා ජලය බවට පත්කිරීම සහ රික්ත වාෂ්පීකරණයෙන් මුහුදු වතුරේ ලුණු ඉවත් කිරීම ජලය සපයාගන්නා තවත් ක්‍රම දෙකක්. යාත්‍රිකයන්ට බීමට ජලය රැගෙනයාමට ඔවුන් අමතක කර නැහැ.

මාර්තු 25 දින ඇරඹි ප්ලාස්ටිකි චාරිකාව නිමාවනවිට සැතපුම් 10,000 ක් පමණ යාත්‍රා කරනු ඇති. පැයට නාවික සැතපුම් (නොට්) 5 ක පමණ දළ වේගයක් ඇති ප්ලාස්ටිකි යාත්‍රාව මේ සටහන තබනවිට දින 31 ක් තුල නාවික සැතපුම් 2841 ක් ගමන් කර තිබෙනවා. චාරිකාව නිමා කිරීමට දින 100 ක් පමණ ගතවනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

ප්ලාස්ටිකි යාත්‍රා කරන්නේ මූලික වශයෙන් සුළං බලයෙන්. යාත්‍රාවේ ඇති පරිගණක, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතිය, ආලෝකකරණය ආදියට අවශ්‍ය විදුලි බලය නිපදවාගන්නේ සූර්ය කෝෂ, සුළං ටර්බයින, ව්‍යායාම බයිසිකල් සහ බෝට්ටුවේ පසුපසින් සවි කළ හැකි අනු දියවැල් ටර්බයිනය යන පුනර්ජනනය කළහැකි ශක්ති ප්‍රභව මඟින්.

ප්ලාස්ටිකිහි කාර්යමණ්ඩලය දෙදෙනා බැගින් සේවාමුර ක්‍රමයට යාත්‍රාව මෙහෙයවනවා. විවේක ගන්නා අය ඔවුන්ගේ ගමන ගැන බ්ලොග්කරණය ඇතුළු ක්‍රම ගණනාවකින් ලෝකයට දැනුම් දෙනවා. යාත්‍රාවේ ශීතකරණයක් නොමැති නිසා ඔවුන්ගේ ආහාර බොහොමයක් වේලා හෝ ටින් වල අසුරා රැගෙන ඇවිත්. ගමන අතරතුර අල්ලාගන්නා මාළුවෙක්ද, පස් රහිතව කුඹගසක් දිගේ සිරස්ව වගා කරන පාත්තියේ එළවළුද ඔවුන්ගේ කෑමට එකතු වෙනවා.

ප්ලාස්ටිකි චාරිකාව අතරමඟදී පැසිෆික් සාගරයේ පාරිසරික තර්ජනවලට මුහුණපා ඇති ස්ථාන ගණනාවක්ද ඔවුන්ගේ ගවේෂණයට ලක්වෙනු ඇති. මේවා අතර ගෝලීය උණුසුම වැඩිවීම නිසා වැඩිවන සාගර ජලයෙන් යටවීමට නියමිත දූපත් කිහිපයක්, මහා පැසිෆික් කසල පරිමාව, විනාශවූ කොරල්පර ප්‍රමුඛයි. කෙසේවෙතත් මේ අධ්‍යයන, යාත්‍රාවේ ගමන් මඟ තීරණය කරන සුළඟ සහ කාලගුණය මත රඳාපවතිනු ඇති.

ඇමරිකාවේ පමණක් එක් වසරකට ප්ලාස්ටික් බෝතල් බිලියන 29.8 ක් පාවිච්චි කරතැයි ගණන් බලා තිබෙනවා. ඒවායින් 80% ක් ම ප්‍රතිචක්‍රීකරණය නොකර කුණු ලෙස බැහැර කරනවා. ප්ලාස්ටික් වලින් ප්‍රතිචක්‍රීකරණය වන්නේ 1% පමණයි. මුහුදට එකතු වන ප්ලාස්ටික් සමුද්‍ර දූෂණයට ඍජුවම බලපානවා. දැනට සොයාගෙන ඇති මහා පැසිෆික් කසල පරිමාව (Great Pacific garbage patch) මෙන්ම මෑතකදී වාර්තා වූ අත්ලාන්තික් කසල පරිමාවත් මෙලෙස ඉවතලන ප්ලාස්ටික්වලින් නිර්මිත ඒවායි. ප්ලාස්ටිකි චාරිකාවේ අරමුණ මෙබඳු පාරිසරික විපත් ගැන දැනුවත් කිරීමයි.

ප්ලාස්ටිකි වික්‍රමාන්විත පරිසර විද්‍යාත්මක චාරිකාවක් ලෙස සැලකෙනවා. වික්‍රමාන්විත පරිසර විද්‍යාව ලෙස හැඳින්වෙන්නේ යම් ක්ෂේත්‍ර චාරිකාවක් මඟින් විනෝදාස්වාදයක් සමඟ සමාජයට දැනුම සපයමින්, පරිසරය පිළිබඳව දැනුවත් කිරීමක්. නවමු ලෙස සිතන්නට පොලඹවන මෙබඳු චාරිකා මේ ග්‍රහලෝකයේ අපේ පැවැත්මට උපකාරී වනු ඇති.

අපිත් ප්ලාස්ටික් පාවිච්චිය අවම කිරීමට සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට උත්සාහ කරමු.

ප්ලාස්ටිකි ගැන වැඩි විස්තර දැනගන්න – http://www.theplastiki.com

අවුරුදු දහතුනේ උපාධි අපේක්ෂකයා

දහතුන් හැවිරිදි කොලින් කාල්සන් (Colin Carlson) ඇමරිකාවේ කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ (University of Connecticut) පරිසර විද්‍යාව  හා පරිණාමී ජීව විද්‍යාව (Ecology & Evolutionary biology) සහ පාරිසරික අධ්‍යයනය (Environmental studies) යන ද්විත්ව උපාධි (double major) හදාරන දෙවන වසරේ සිසුවෙක්. වයසින් අඩු බැවින් දකුණු අප්‍රිකාවේ ක්ෂේත්‍ර වැඩ කළයුතු  පාඨමාලාවක් හැදෑරීමට විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඔහුට ඉඩ නොදීම මාධ්‍යවල වාර්තා වුනා.

වයස අවුරුදු 2-3 සිටම කියවීමට හුරු වූ කොලින්, පාසලේ ශ්‍රේණි දෙකක්ම මඟහැර ඉහළ ශ්‍රේණියකට සමත් වී තිබෙනවා. වයස අවුරුදු 9 දී කනෙක්ටිකට් විශ්වද්‍යාලයේ මනෝවිද්‍යාව, ඉතිහාසය ආදී පාඨමාලා හැදෑරීම ආරම්භ කළ ඔහු ස්ටැන්ෆඩ් විශ්වවිද්‍යාලයේ (Stanford University) අන්තර්ජාල උසස් පාසැලෙන් (Online high school) උසස්පෙළ ඩිප්ලෝමාව (High school diploma) ලබාගන්නා විට වයස අවුරුදු 11 ක්. ඉන්පසු පූර්ණකාලීන සිසුවෙක් ලෙස කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිවූ කොලින් 3.9/4.0 ක ඉතා හොඳ ලකුණු සාමාන්‍යයක් (Grade point average) රඳවාගෙන තිබෙනවා.

කොලින් මූලික උපාධිය සම්පූර්ණකිරීමෙන් අනතුරුව, වයස අවුරුදු 22 වනවිට පරිසර විද්‍යාව හා පරිණාමී ජීව විද්‍යාවෙන් ආචාර්ය උපාධියක්ද, පාරිසරික නීති (Environmental law) උපාධියක්ද ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ සංරක්ෂණ විද්‍යාව (Conservation science) තම වෘත්තිය කරගැනීමේ අරමුණින්.

කැස්බෑ විශේෂයක (common snapping turtle) හැසිරීම සම්බන්ධයෙන් කොලින් මේ වනවිටත් පර්යේෂණ ලිපියක් පළකර තිබෙනවා.

වයස අවුරුදු දහතුනේ දරුවෙක් වුවද කොලින් විශිෂ්ඨ සිසුවෙක් පමණක් නොව තමන්ගේ වෘත්තිය පිළිබඳව පැහැදිලි දැක්මක් ඇත්තෙක් වීම ගැන ඔහුගේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මවිතය පළ කරනවා. ඉහළ බුද්ධිමය හැකියාව සහ ආත්ම විශ්වාසය කොලින්ගේ වයසට අනුව අසාමාන්‍ය බව ඔවුන් පවසනවා.

විශ්වවිද්‍යාලයෙන් පාඨමාලාව හැදෑරීමට නොදීම නිසා තමන්ගේ කාලය අපතේ යනබව කොලින් පවසනවා. අවුරුදු හතරෙන් උපාධි දෙකම සම්පූර්ණ කිරීමේ සැලසුමට මේ නිසා බාධාවී ඇතැයි ඔහු පවසනවා. කොලින් සහ ඔහුගේ මව විශ්වවිද්‍යාලයේ තීරණයට විරුද්ධව පැමිණිල්ලක් ගොනුකර තිබෙන අතර විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් පවසන්නේ වෙනත් ස්ථානයකට යාමේදී සිසුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය දියයුතු බවයි. කොලින්ගේ මව ඇයගේ වියදමින් ඔහුගේ ආරක්ෂාව සඳහා දකුණු අප්‍රිකාවට පැමිණීමට සූදානම්වුවත් පාලනාධිකාරිය කොලින් හට පාඨමාලාවට ලියාපදිංචිවීමට ඉඩ දී නෑ.

කෙසේ වෙතත් ඇමරිකාවේ ජාතික විද්‍යා පදනමේ (National Science Foundation) අනුග්‍රහයෙන් දකුණු අප්‍රිකාව බලායන පර්යේෂණ කණ්ඩායමකට ඇතුලත්වීමට කොලින් සමත්වෙලා. එම පර්යේෂණ ගමන සහ සම්මන්ත්‍රණයක් කළහොත් ඔහුට ලියාපදිංචිවීමට නොදුන් පාඨමාලාවේ අවශ්‍යතා සම්පූර්ණවන බවට විශ්වවිද්‍යාලයෙන් සහතික වියහැකිනම් සෑහීමට පත්වෙන බව කොලින් හා ඔහුගේ මව පවසනවා. තමන් පාලනාධිකාරිය සමඟ ගැටුම් ඇතිකරගැනීමට අකමැති නමුත් ඒ හැර විකල්පයක් නැති බවයි කොලින් පවසන්නේ. බාධක හමුවේ පසුබැසීමට අකමැති බව කොලින් පවසනවා.

කොලින් ගැන විස්තර කියවන්න මෙතනින්.

http://hydrodictyon.eeb.uconn.edu/eebedia/index.php/Colin_Carlson

ලංකාවෙ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න අවම වයස 18 වෙන්න ඕනෙ මම දන්න විදියට නම්. බාහිර උපාධි වලටනම් වයස 17 සම්පූර්ණ කරලා තියෙන්නෙ ඕනෙ. අපේ රටේ සා.පෙ., උ.පෙ. කරලා විශ්වවිද්‍යාලවලට යන්නෙ වෙන රටවල අය උපාධිය ඉවරකරලා එලියට බහින වයසෙදියි. කාට කියන්නද?

ආශ්‍රිත ලිපි.

http://news.yahoo.com/s/ap/20100325/ap_on_re_us/us_prodigy_study_abroad

නයිමිරිස් බෝම්බ

ලංකාවෙත් සමහර ප්‍රදේශවල වැවෙන නයිමිරිස් වලට ඉන්දියාවෙ විවිධ නම් පාවිච්චි කරනවා නාග ජොලොකියා (Naga jolokia), භොට් හෙවත් භුට් ජොලොකියා (Bhot or Bhut jolokia), බිහ් ජොලොකියා (Bih jolokia) ඒවායින් කීපයක්. බටහිර මාධ්‍යවල “භූත මිරිස්” (Ghost chili) කියල තමයි මේ මිරිස් වර්ගය හඳුවන්නෙ.

පසුගිය වසරේදී ඉන්දීය ආරක්ෂක විද්‍යාඥයන් නයිමිරිස් යොදාගෙන අත්බෝම්බ වලට ආදේශකයක් නිපදවීමේ හැකියාව හැදෑරීම ඇරඹුවා. පරීක්ෂණ වලින් අනතුරුව නයිමිරිස් යොදාගෙන කඳුලු ගෑස් බෝම්බ ආකාරයේ අවි නිපදවීමට තීරණය කර තිබෙනවා. මෙම බෝම්බ වර්ගය සතුරන්ව මරාදමනවා වෙනුවට ඔවුන්ව අප්‍රාණික කරනු ඇති.

මිරිස්වල ඇති සැර බව (Piquancy) ඇතිකරන රසායනික සංඝටකයවන කැප්සයිසින් (Capsaicin) ප්‍රමාණය මනින ස්කෝවිල් පරිමාණයේ (Scoville scale) ඉහලින්ම ඇති නයිමිරිස් (මෙහි සැර විවිධ සාධක මත වෙනස් වනවා ) ලොව සැරම මිරිස් වර්ගය ලෙස 2007 වසරේදී ගිනස් වාර්තා පොතටත් එක් වුනා.

විෂ රහිත රසායනිකයක් නිසා සැකකරුවන් මරාදමනු වෙනුවට ඔවුන්ව අප්‍රාණික කිරීමට මේ නයිමිරිස් බෝම්බ සමත්. කැරලි මැඩපැවැත්වීමට, ත්‍රස්තවාදීන් සැඟවී සිටින ගුහා, බංකර් ආදියෙන් ඉවත් කිරීමට නයිමිරිස් බෝම්බ යොදාගත හැකියි.

ලංකාවෙ දවසකට කීපයක් තියන උද්ඝෝෂණ, පෙලපාලි මැඩපවත්වන්න නැතිවම බැරි කඳුලු ගෑස් පිටරටවලින් ආනයනය කරන්නෙ නැතුව අපේ රටේම නයිමිරිස් බෝම්බ නිපදවන්න ආරක්ෂක උපකරණ පර්යේෂකයොත් කටයුතු කළානම්, අන්තරේ, ජ.වි.පෙ, අන්තර් සමාගම් සහෝදර-සහෝදරියන්ටයි, ලිප්ටන් වටරවුමෙයි-කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ බදු ගත්ත ඩොලර් කාක්කන්ටයි  අධිරාජ්‍යවාදී බටහිර කුමන්ත්‍රණවලින් ලංකාවට එවපු කඳුලු ගෑස් වලින් ප්‍රහාර නොකා, දේශීය නිෂ්පාදකයන්ට අත-හිත දෙමින් “සියරට දේ සිරිසැප දේ” කිය-කියා අඬ-අඬා ගෙදර දුවන්න තිබ්බා.

පින්තූරෙ ගත්තෙ මෙතනින් – http://en.wikipedia.org/wiki/File:Naga_Jolokia_Peppers.jpg