ජී ෆො ජග් නිධාන කථාව

මමත් කාලයක් තිස්සෙ SkyLK වලට ලියන අනුරාධ, Universe Cafe ලියන තිලිණ වගේ “තාරකා විද්‍යා හා අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රය” හෙවත් Astronomy and Space Study Center (ASSC) හෙවත් හුඟක් අය දන්න විදියට සුබෝධි මංගැච්චුවා. ඒ තාරකා විද්‍යා උණ නිසයි. සුබෝධිය කියන්නෙ තාරකා විද්‍යාව විතරක් උගන්වන තැනක් නෙවෙයි. ඒකෙ තිබ්බ එක කොටහක් තමා තාරකා විද්‍යා සංගමය.

මේකට එන කට්ටිය උදේ දේශනය අහවර වෙලා දවල් ආහාරය අරන් කෑම දිරවන අතරෙ කෙස් පැලෙන තර්ක-විතර්ක කරනවා. ඒ අතරෙ ඔය ආගිය කථාත් නොඇදෙනවා නෙවෙයි. ඒත් එක්කම සංගමයේ වැඩ රාජකාරි ගැන නිල නොවන විදියට සාකච්ඡාත් ඔය වෙලාවෙ කෙරෙනවා.

එක දවසක් ඔය විදියට කථා කර-කර ඉන්න අතරෙ එක ඉස්කෝලෙකින් රාත්‍රී නිරීක්ෂණ කඳවුරක් පවත්වන්න ආරාධනාවක් ආපු බව එක සාමාජිකයෙක් සඳහන් කළා. අපේ සංගමෙන් කෙරෙන එක සේවයක් තමා ඒ විදියට පාසල් (හෝ වෙනත් සංවිධානවල) රාත්‍රී නිරීක්ෂණ කඳවුරු පැවැත්වීම. ඉතින් ඔය නිරීක්ෂණ කඳවුර පවත්වන්න අපිට ආරාධනාව එවලා තිබ්බෙ කැස්බෑව කිට්ටුව තියන හර්මන් මයිනර් කියන ඉස්කෝලෙන්.

පිලියන්දල, කැස්බෑව පැත්තෙ ඉන්න අයනම් දන්නවා ඇති මේ ඉස්කෝලෙ ගැන. කැස්බෑවෙ තියන  SOS ළමා ගම්මානයෙ තමා මේ ඉස්කෝලෙ තියෙන්නෙ. මේ ඉස්කෝලෙට ගිය අපේ පරණ සාමාජිකයෙක් ගැනත් මතක් කරන අතරෙ අපේ ජ්‍යේෂ්ඨ සාමාජික දොස්තර මහත්තයෙක් කිව්වා “ඔය හර්මන් මයිනර් කියන එකේ මයිනර් කියන එක ලියනකොට ජී(g) අකුරක් තිබ්බට ඒක කියවනකොට ශබ්දවෙන්නෙ නෑනෙ” කියලා. (හර්මන් මයිනර් ලියන්නෙ Hermann Gmeiner විදියටයි.) එතන හිටපු සමහරු ඕක දැනගෙන හිටිය නිසා “ඔව් ඔව්” කියලා ඒකට එකඟ වුනා. “ඒ වගේ සයිලන්ට් ලෙටර්ස් (නිෂ්ශබ්ද අකුරු) තියනව ඉංග්‍රීසියෙ. නිව්මෝනියා ලියනකොට පී (p) අකුරක් මුලින් තිබ්බට ඒක ශබ්ද වෙන්නෙ නෑනෙ කියනකොට” කියලා දොස්තර මහත්තයා එයා දන්න විෂයෙන්ම උදාහරණයක් අරන් කිව්වෙ අපේ කථා අහගෙන හිටපු පොඩ්ඩන්ටත් ඇහෙන්නයි, යමක් ඉගෙන ගන්නවනම් ඉගෙනගන්නත් එක්ක.  “ඔව්, නියුමැටික් ලියනකොටත් පී අකුරක් තියනව මුලට, ඒත් ඒකත් ශබ්දවෙන්නෙ නෑ කියවද්දි” කියලා වෙන්න ඉංජිනේරුවෙකුත් කිව්වා.

“ඒක කිව්වහමයි මතක් වුනෙ. ඔය වගේ කථාවක් තියනවා” කියලා අපේ දොස්තර මහත්තයා “ජී ෆො ජග්” කථාව කියන්න ගත්තා. (ඒක කියවපු නැති අය ඉන්නවනම් කියවලම ඉන්නකෝ. ඒක කියවලා හිටියොත් මෙතනින් එහාට කථාව තේරෙයි.)

ඉතින් ඔය “ජී ෆො ජග්” කථාව අහලා එතන හිටපු හැමෝම වගේ මහ හයියෙන් හිනා වෙන්න ගත්තා “එන් ෆො නියුමෝනියා..හඃ හඃ. නියුමෝනියා පටන් ගන්නෙ පී අකුරෙන්නෙ” කියලා කෑ ගගහා. ඔය විදියට ඒකට සෑහෙන වෙලාවක් හිනා වුනා. හිනාවුන අයත් එක්කම හිනා වෙච්ච දොස්තර මහත්තයා අනිත් අය හිනාව නැවැත්තුවටත් පස්සෙ තවත් මොකකටදෝ හිනා වෙනවා තනියම.

“මොකද අයියෙ තනියම හිනා වෙන්නෙ?” කියලා එකෙක් අපේ දොස්තර මහත්තගෙන් අහපි. “ඇයි මෝඩයිනේ, උඹලට තේරුනෙ නැද්ද ඒ කථාවෙ නියුමෝනියා ඇරෙන්න ඉතුරු වචන දෙකත් ඒ වගේමයි කියලා” කියපු දොස්තර මහත්තයා ආයෙත් හිනා වෙන්න ගත්තා.

කථාව ආයෙත් මතක් කරගත්ත කට්ටිය ඒ පාර විහිළුව හරියට තේරුම් අරන් ආයෙත් හිනා වුනා. (නියුමෝනියා ඊට ටිකකට කලින් මතක් කළ නිසා හැමෝටම ඒක විතරයි මීටර් වුනේ!). ටික වෙලාවකින් කට්ටිය තමන්ට වැරදුන එකට තව පාරක් හිනා වුනා. ඒකෙන් ටියුබ් ලයිට් අයගේ තුන් හිනාව සම්පූර්ණ වුනා. ඒත් කථාව තාම ඉවර නෑ.

එවෙලෙ එතන හිටියෙ නැති අය එකා දෙන්නා කෑම ඉවරවෙලා ආයෙත් එනකොටත් කට්ටිය හිනා වෙනවා. ඉතින් ඒ අයටත් ප්‍රශ්නෙ ඇයි මේ කට්ටිය හිනා වෙන්නෙ කියලා. ඉතින් සමහරු ඇහුවා “ඇයි හිනාවෙන්නෙ?” කියලා. එතකොට “ජී ෆො ජග්” කථාව කියන්න හේතු වුන හර්මන් මයිනර් කථාවෙ ඉඳලා “ජී ෆො ජග්” කථාවෙ අවසානය දක්වාම අඩුපාඩුවක් නැතුව සිද්ධි ටික ඒ අයටත් මුල් විදියටම කිව්වා. වැඩේ කියන්නෙ මේ “ජී ෆො ජග්” කථාව අහන හැමෝම වගේ හිනා වෙන්නෙ “නියුමෝනියා පටන් ගන්නෙ පී අකුරෙන්නෙ” කියලයි.

එතකොට කථාව කියපු අයයි, මුලින් කථාව අහගෙන හිටපු අනිත් අයයි හැමෝම හිනා වෙනවා. එතකොට හතර හිනා! ඔය විදියට “ජී ෆො ජග්” කථාව හතර හිනා මවන කතන්දරයක් වුනා අපිටනම්.

කතන්දරගෙ ජෝක්ස් වර්ගීකරණයට හතර හිනා කියල එකකුත් එකතු කරන්න වෙනවා.

Advertisements

ඇය ගිහින්

නොසිතූ දිනෙක හමුවුනු ඇය
රහසින්ම මසිතට ළං වූ ඇය
විටෙක මා සමඟ
කෙලිදෙලෙන් පසුවූ ඇය
අනෝරා වැසි වැටෙනා දිනෙක
මා කුටියට පැමිණි ඇය
සඳ ඇති රැයක
මා උකුලේ සැතපුනු ඇය
සුමුදු සුසිනිඳු ගත
මා වතේ තැවරූ ඇය
හිම වැටෙන සීතල දිනක
මා ගතට තුරුල්වූ ඇය
හිමිකරු සිටිද්දී
මා සොයා පැමිණි ඇය
මා බිළිඳු පුතුටද
සතුටක්ම ගෙනා ඇය
යන්න ගිහින්…
හිමිකරු ඇය ගෙන ගිහින්…
ඈ යළි නො ඒවිද?

රතිඤ්ඤා

සිංහල අලුත් අවුරුද්දත් ලඟ එනවනෙ. ඒ කාලෙට පොඩ්ඩන්ට තමා සතුටු. රතිඤ්ඤා, නිලාකූරු, බඹරචක්‍ර, අහස්ගුණ්ඩු පත්තු කරලා විනෝද වෙන එක පොඩ්ඩො විතරක් නෙවෙයි ලොකු අයත් කරනවනෙ. මම පොඩි කාලෙ රතිඤ්ඤා පත්තු කරන්න ගිහින් වුන ඇබැද්දියක් ගැනයි කියන්නෙ.

ඉස්කෝලෙ 6-7 පන්ති වල ඉන්න කාලෙ ගෙදර ආපු ගමන් කරන්නෙ කොලු රැලත් එක්ක එකතු වෙලා රොබින්හුඩ්, ටාසන් සෙල්ලම්  කරන එක. අම්මලගෙන් බාධාවක් තිබ්බෙත් නෑ ඒවට. අපි සෙල්ලම් කරන්නෙ (කිරි කපන්නෙ නැති) රබර් වතු දෙකක. එක රබර් වත්තක මායිමේ තියනවා පොඩි ගල් පොත්තක්. ඒක තමයි අපේ තිප්පොල. වටේ තියන දං පඳුරු, වල් අන්නසි අපිටම හැදිලා වගේ තමා.

අලුත් අවුරුදු නිවාඩුවෙදි දවල් දවසෙම කරන්නෙ ඉතින් කැලේ කොලේ රිංගන එකයි. ගෙදර එන්නෙ කන්න විතරයි. හවසට සත 25 ඔට්ටුවට කැට ගහන්නත් එකතු වෙනවා. ඔය කාලෙ අතේ වැඩිපුර සල්ලි ගැවසෙන්නෙ නෑනෙ. රතිඤ්ඤ පත්තු කරන්න එහෙම ආසාව තිබ්බට ගන්න සල්ලි එපායැ. තාත්තට වද කරලා එක රතිඤ්ඤ පැකට් එකක් ගෙන්නගත්තට ඒක පත්තු කරන්න බෑනෙ නැකැත් ලබනකං. ඒ නිසා කොල්ලො කට්ටියම තමන්ගෙ කැට එහෙම (ගෙදර අයට අහු නොවෙන්න) කඩල සල්ලි ටිකක් එකතු කරගත්ත රතිඤ්ඤා අරගන්න.

රතිඤ්ඤ පෙට්ටියක්ම ගන්න සල්ලි නැති නිසා කඩපු රතිඤ්ඤ 10ක් විතර කඩෙන් විතර අරන් කට්ටියම අපේ තිප්පොල වුන ගල් පොත්ත උඩට ගියා. ගෙදරින් උස්සපු ගිනි පෙට්ටියකුයි, පොල්කටුයි අරන් කට්ටිය සෙට් උනෙ බෝම්බ හදන්න. රතිඤ්ඤ බෝම්බ හදන්නෙ මෙහෙමයි. ගෑණු පොල්කට්ටක ඇස් 3න් එකක් හිල් කරලා ඒක අතරින් රතිඤ්ඤෙ සේව නූල රිංගවනවා. ඊට පස්සෙ පොල්කට්ටට වැලි පුරවලා ඒක මුනින් අතට තියලා. රතිඤ්ඤෙ පත්තු කරනවා. හැබැයි ඉක්මනට රතිඤ්ඤෙ පත්තු වෙන එක වලක්වන්න සේව නූලෙ තියන වෙඩි බෙහෙත් ටිකක් අයින් කරන්න ඕනෙ. එතකොට රතිඤ්ඤෙ පත්තු වෙන්න කලින් දුරකට දුවන්න පුළුවන්.

ඔය විදියට රතිඤ්ඤ බෝම්බ හදලා, ඒවා පත්තු කරලා පොල්කට්ට උඩ යනහැටි බලලා අපි හොඳට සතුටු වුනා. ඒත් එක බෝම්බයක් පත්තු කරලා ගල උඩට දුවගෙන ආවට ඒක පත්තු වුනෙ නෑ, මොකද සේව නූලෙ තිබ්බ වෙඩිබෙහෙත් ගොඩක් අයින් කරලා නිසා නූල පත්තු වෙන්නෙ නැතුව. මම පහලට ගිහින් රතිඤ්ඤෙ පත්තු කරන්න හදනකොට ගල උඩ හිටපු කට්ටිය රතිඤ්ඤයක් පත්තුකරලා මම ඉන්න පැත්තට විසි කළා. බය වුන පාර මමත් පත්තු කරන්න ගිය රතිඤ්ඤෙත් අරන් ගල උඩට දිව්වා.

ගල උඩට ගියාම කට්ටිය  මාව දැක්ක ගමන් කන් වහගෙන “නදී ඔය, ඔය” කියලා කෑ ගහන්න ගත්තා. මුන් ටික තවත් රතිඤ්ඤයක් මගෙ ලඟට දාලා තමා කියලා හිතලා මමත් කන් දෙක වහගත්තා. මම කන් වහගෙන වටේටම කැරකි කැරකි “කෝ මුන් දාපු රතිඤ්ඤෙ” කියලා හොයනවා. මට පේන්න රතිඤ්ඤයක් නෑ. “අතේ, අතේ” කියලා කවුද කෑ ගැහුවා. ඒත් මට තේරෙන්නෙ නෑ මුන් මෙච්චර බයවෙන්න හේතුව.

“රතිඤ්ඤෙ උඹේ අතේ” කියලා කෑ ගහගෙන මා ලඟට ආවෙ ජයන්ත. ඒක ඇහුන ගමන් මගෙ අතේ තිබ්බ රතිඤ්ඤෙ ඈතට විසිවුනෙ මමත් නොදැනුවත්ව. ඒක බිම වැටිලා ටික වෙලාවකින් පත්තු වුනා. අනූ නමයෙන් එදා ලොකු අනතුරක් නොවී බේරුනෙ. නිවිලා කියලා මම හිතපු සේව නූල පුංචි ගිනි පුපුරු කීපයකින් ආයෙත් ඇවිලිලා. ඒත් මම උඩට දුවපු පාර ඒක දැක්කෙ නෑ. රතිඤ්ඤෙ අතේ තියාගෙන කන් දෙක වහගත්තාම කොහොමද ඒක පේන්නෙ?

ලඟ එන අලුත් අවුරුද්දෙ රතිඤ්ඤා ඇතුළු සියළුම ගිනිකෙලි පරිස්සමින් පාවිච්චි කරලා සතුටු වෙන්න කියලා හැම දෙනාටම මතක් කරනවා.

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

මං ආස නෑ

පිස්සාගෙ පලාමල්ලෙ තිබී හමුවුන නූතන උම්මග්ග ජාතකයේ සෙන්පෝක කථාවස්තුවේ බරණැස් නුවරුන් ලියූ පිටපත ගැන පිස්සා මෙසේ කියයි. එය කියවා මසිතට නැඟුනු සිතුවිලි මෙසේ සටහන් කරමි.

පළමුවම පිස්සන් දෙදෙනෙකුගෙන් පලාමල්ල ලියනා පිස්සා වෙනුවට පිස්සාගේ ලෝකය ලියන පිස්සාගේ පිටුවට සබැඳියක් යොදාගැනීම පිළිබඳව සමාව අයැදිමි. එයින් පිස්සාගේ ලෝකය ලියන පිස්සාට හෝ පලාමල්ල ලියන පිස්සාට යම් අපහසුතාවයක් වූයේ නම් මගේ කණගාටුව පළකර සිටිමි. එම වරද දැන් නිවැරදි කර ඇත. බ්ලොග්කරණයට මෑතකදී අත්පොත් තැබූ මම පිස්සන් දෙදෙනෙක් බ්ලොග්කරණයෙහි යෙදීම පිළිබඳව නොදැන සිටීම ගැන කණගාටු වෙමි. උපාධිධරයෝද සාමාන්‍ය මනුෂ්‍යයෝ මිස සෑම දෙයක්ම නිවැරදිව කරනා රොබෝ යන්ත්‍ර හෝ අති විශේෂ පුද්ගලයෝ නොවෙති. මම එය නිහතමානීව පිළිගනිමි.

පිස්සා පවසන පරිදි හොඳින් හෝ නරකින් ඔහුගේ කටයුත්තකට බාධා කිරීම මගේ අභිප්‍රාය  නොවේ. බ්ලොග්කරණයෙන් මා සතුටුවන අතර, වෙනත් අයෙකුගේ සතුටට බාධාවක් වීමට අපේක්ෂා නොකරමි. මගේ බ්ලොගයට යන-එන පිරිස වැඩිකරගැනීමටවත්, අදහස් දක්වන පිරිස වැඩිකරගැනීමවත්, තවෙකෙකුගේ බ්ලොගයකට බාධා කිරීමවත් මගේ අරමුණ නොවේ. මම දේශපාලනික බ්ලොග් ලියන්නෙක්ද නොවෙමි.

එකම තේමාවකට රාමුවී බ්ලොග් ලියන්නෙක්ද නොවන නිසා පිස්සාගේ සෙන්පෝක කථාවස්තුව කියැවීමෙන් මසිතට පැමිණි අදහස් කීපයක් ඉහත ලිපියේ සටහන් කර තැබීමි. පිස්සාගේ සෙන්පෝක කථාවස්තුවේ චරිත මගේ සිතුවිල්ලටද යොදාගත්තේ පාඨකයින්ගේ පහසුව සඳහාය. එය හොර කොපියක් ලෙස හැඳින්විය හැකිදැයි තීරණය කිරීම පාඨක ඔබටම භාර කරමි. හොර කොපි පලකිරීමට තරම් නිර්මාණ අහේනියකින් නොපෙලෙමි. හොර කොපියකත් නිර්මාණාත්මක සංස්කරණයකත් වෙනසක් හඳුනාගැන්මට බුද්ධිමත් පාඨකයිනට හැකිය.

පන්සිය පනස් ජාතක කථා පොතේ උම්මග්ග ජාතකය මෙන් දිගැති කථා ලිවීමට හෝ, සමහරක් බ්ලොග් කරුවන් මෙන් (බ්ලොගය කියවන්නන් රඳවාගැනීමටදෝ) කොටස් සහිතව කථා ලිවීමට අකමැති නිසා සරම කැහැපට ගසාගෙන නොව කලිසම දෙකකුල් වැසෙන සේ ඇඳගෙන මගේ කථාව අවසන් කළෙමි. මගේ කථාව අවසන්වූ හෙයින් පිස්සාගේ කථා අවසන් කළයුතුයැයි අදහස් නොවනබව බුද්ධිමත් පාඨකයාට වැටහෙනු ඇත. හොරාට කලින් කෙසෙල් කැන වැට පැන ඇත්තේ, ගොනා හැරෙන්නේ කෙසෙල් පැලය කන්නට බව හොඳින්ම දන්නා නිසාය.

අන්වර්ථ නාමයකින් පෙනීසිටින පිස්සා මෙන් නොව, මගේ අනන්‍යතාවය රහසක් නොවේ. (අවශ්‍ය අයට දැනගත හැකිය.) එබැවින් මා උපාධිධරයෙක් බව නොසඟවා පසවමි. එය ආභරණයක් කරගැනීමටවත්, අඩුපාඩුවක් ලෙස පෙන්වීමටවත් උත්සාහ නොගනිමි. මාහටද පිස්සායැයි ආමන්ත්‍රණය කිරීම ගැනද අබමල් රේණුවකින්වත් නොතැවෙමි. (අපි සියල්ලෝම උන්මත්තකයින් බව බුදුවදනට අනුව මම පිළිගනිමි.) එහෙත් මා හැඳින්වීමට “උපාධිධාරී” යන්න නැවත නැවතත් යොදාගන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම බුද්ධිමත් පාඨකයිනටම භාර කරමි.

මා සරසවියට පිවිසුනේ කටපාඩම් කිරීමෙන් නොවන බවත්, කිසිවෙකුට ගැති නොවන බවත්, කිසිවෙකුටවත් කඩේ නොයන බවත් පිස්සාගේ ලිපියට ප්‍රතිචාර සපයන ඉන්දික සොයුරාට කාරුණිකව දන්වා සිටිමි. (සරසවි යන වෙනත් අයට මෙය අදාලද යන්න නොදනිමි.) මගේ පැටිකිරිය මෙහි සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් මට නැත.

මා බ්ලොග් ලියන්නේ පිස්සාගේ පලාමල්ලට පිළිතුරු සැපයීමට නොවනබව මෙහි යන-එන සහෘද පාඨකයෝ දනිති. එබැවින් පිස්සාගේ පලාමල්ලේ ඇති කතන්දරවලට පිළිතුරු (පිස්සා කියනා පරිදි හොර කොපි ) සැපයීම මාගේ රාජකාරිය නොවේ. මා හටද වෙනත් රාජකාරි ඇත. අවශ්‍යනම් එය පරාජය පිළිගැනීමක් ලෙස හැඳින්වීමට පිස්සාට හැකිය. තව තවත් ඔහුගේ ඔරිජිනල් හෙවත් මුල් පිටපත් පොත් ලිවීමට පිස්සාටම භාර කරමින් මට කීමට ඇත්තේ පිස්සන්ගේ වැඩවලට අකුල් හෙලමින් හොඳින් හෝ නරකින් පිස්සු කථා අවසන් කිරීමටවත්, විකල්ප පිස්සු කථා තවත් ලිවීමටවත්  “මං ආස නෑ” බවය.

නූතන උම්මග්ගය: බරණැස් නුවරුන් ලිවූ පිටපත

අපේ හිතවත් බ්ලොග්කරුවෙක් වන පිස්සා තමන්ගෙ පලාමල්ල ලෙහද්දි හමුවුන නූතන උම්මග්ග ජාතකයෙ සෙන්පෝක කථාවස්තුව ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන්. ඒ කථාවස්තුවට අදාල මුල් පුස්කොලපොත ලියලා තියෙන්නෙ බරණස්නුවර වටේට තිබ්බ එක් සියයක් රාජධානිවල රචකයෝ. (ඒ අයට මොන මොන වරප්‍රසාද ලැබුනද කියලා මම දන්නෙ නෑ.) මට හම්බු වුනා ඔය ජාතක කථාවෙ බරණස් නුවරුන් ලියපු පිටපතක්. අන්න ඒක තමා මේ.

~එකල්හි බරණැස් නුවර සශ්‍රීක රාජධානියක් වන්නේය. චූලනී බ්‍රහ්මදත්ත නම් රජෙක් ධර්මිෂ්ඨව රාජ්‍යය කරන්නාහු එරට නේක සම්පතින් ආඪ්‍යව පැවැතීය. එම සම්පතට ලොල්වූ එක් සියයක් රජ දරුවෝ එරට තමන් සන්තක කරගැන්මට නොයෙක් උපා යොදන්නාහ. උන් කිරුබාහර නම් සොර දෙටුවෙකුට අත්ලස් දී මෙසේ කියන්නාහ. “තොප බරණැස් නුවරට එරෙහිව පසල් දනව්වෙහි සෝලි කරව. අපි තොපට සිව් රඟ සේනා සම්පාදනය කරම්හ. තොපට ඇවැසි දෙයක් කර එරට රජු මරාපියව”. මෙබස් අසා කිරුබාහරයාද පසල් දනව්වෙහි සෝලි කරන්නාහ.

චූලනී රජුගේ ඇවෑමෙන් භීමකුමාර රජුද, ඉනික්බිති දීඝිති බ්‍රහ්මදත්ත රජුද, චන්ද්‍රකාන්ති රැජිණද රාජ්‍යය කරන්නා නමදු කිරුබාහර සොර දෙටුවා මරාපිය නොහැක්කේය. එක් සියයක් රජදරුවන්ගේ අත්ලස් ගෙන රටවැස්සන්ට වඤ්චා බස් දොඩා චන්ද්‍රකාන්ති රැජිණට  වේදේහ නම් (පුරුෂයෙක්)  අගමැති වන්නේය. වේදේහයාද කිරුබාහරයාද එක්සියයක් රජදරුවන්ට හිතැත්තේ බරණැස් නුවර දෙකඩ කරනට කුමන්ත්‍රණය කරන්නාහ. එක්සියයක් රජදරුවන්ගේ සහ නොමං රජුගේ බස් අසා වේදේහයා බරණැස් නුවර අසුවල් පසල් දනව්ව තොපට හිමියැයි කිරුබාහරයාට සන්නස්පත්‍රයෙන් පුදන්නාහ.

වේදේහයා කිරුබාහරයාගේ ඉස කපා සුනුවිසුණු කරනු නියා උන් සමඟ කුමන්ත්‍රණ කරනු ඉවසාපිය නොහී සෞම්‍යවංශ, ඌරුවංශ, වර්ණදැව ප්‍රමුඛ රටවැස්සෝ වේදේහයා පන්නා මැදමුලනී බ්‍රහ්මදත්ත අගමැති තනතුරට පත්කරන්නාහ. කාලයාගේ ඇවෑමෙන් මැදමුලනී බ්‍රහ්මදත්ත රජකමට පත් වන්නේය.

මෙකල්හි යුද්ධෝපායයන්හි කෙල පැමිණි සෙන්පෝක නම් පුරුෂයෙක් බරණැස් නුවර යුද සේනාවෙහි අවශේෂ නිලයක් දරන්නේ විශ්‍රාම යායුතු වියටත් එලඹිනි. සෙන්පෝකයා රාජද්‍රෝහී වනු ඇතැයි චරපුරුෂයන් පූර්ව රජුනට පැවසීම හේතෙමේ හට අවශේෂ තනතුරු ලැබීමට හේතු වූ බව දතයුතුය.  මැදමුලනී රජුගේ මළණු “අන්න පොබය” අගසෙනෙවිරත් තනතුරු දරන්නේ සෙන්පෝකගේ යුද්ධෝපායයන් මැනැවින් දත්තේය. එබැවින් මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සෙන්පෝකයා යුද සෙන්පතිඳු ලෙස නිල කර “තෙල දුෂ්ඨ වූ කිරුබාහරයා මරාපියව” යැයි අණකරලූහ.

මෙබස් අසා සෙන්පෝකයා ප්‍රමුඛ බරණැස් නුවර අටළොස් අක්ෂෞහිණියක් සෙනඟ වේරම්භ වාතයක් මෙන් දිවි නොතකා කිරුබාහරයා ප්‍රමුඛ භ්‍රෂ්ඨ සේනාව හා  සටන් වැදුණාහුය. සෙන්පෝකයාහට ඇවැසි යුද්ධෝපකරණ සහ සේනා සම්පාදනය මැදමුලනී රජු නොපමාව සිදුකරන්නාහ. වස්සාන, රෝෂණ සෙනෙවිවරුද තම සේනා හසුරවමින් කිරුබාහරයාගේ සේනාව සුණුවිසුණු කරන්නාහුය.

තම අතවැසි කිරුබාහරයාගේ සේනාව හිස්ලූ ලූ අත පැන යනු දැක නොසතුටු වූ එක්සියයක් රජදරුවෝ “බරණැස් නුවර සේනාවෝ රටවැසියා පෙලන්නාහ. කිරුබාහරයා සමඟ යුදය වහා නවතුව” යැයි ගර්ජනා කරන්ට වන්හ. අළුයම ලූ කෙලපිඬක් මෙන්, කැණහිලුන්ගේ නාදයට නොසැලෙන සිංහයෙක් මෙන් එක්සියයක් රජදරුවන්ගේ ගර්ජනා පසෙකලූ මැදමුලනී රජු “සෙන්පෝකය නොබව. තොප භ්‍රෂ්ඨ කිරුබාහරයා මැඩපියාලුව. මම තොප රක්ෂා කරන්නෙම්හ” යි වදාළහ.

දිවි නොතකා සටන් වදිනා අටළොස් අක්ෂෞහිණියක් සෙනඟ මෙහෙයවන සෙන්පෝකයා තම ඇඹේනිය හා නෑදෑ මාල්ලන් සමඟ වෙනත් රාජ්‍යයක සංචාරය කරනා’තරතුර බරණැස් නුවර සේනාවෝ කිරුබාහරයා මරාපීහ. මානයෙන් ඔජවැඩුනු සෙන්පෝකයා “කිරුබාහරයා මරාපියා රට සමනය කළේ මම්මය. වස්සාන, රෝෂණ සෙනෙවිවරු කළ දෙයක්නම් නැත්තේය. එක්සියයක් රජදරුවන්ගේ කෙණෙහිලි ඉවසා සිටියේවීද මම්මය. සේනා සම්පාදනය කළෝද  මම්මය. බෑණනුවගේ මඩිය තර කරනුවස් රටවැස්සන්ගේ කහවණු වලින් යුද්ධෝපකරණ එක් රැස් කළෝද මම්මය.  ඉදින් සියල් ප්‍රසාද මටම හිමිවිය යුත්තේය. සෙන්පති වියයුත්තේද මම්මය. අතිපාලක වියයුත්තේත් මම්මය. රජ වියයුතුත් මම්මය” යැයි සිතූහ. රජ්ජුරුවෝද සෙන්පෝකයා තුටුකරනු නියා, අතිපාලක තනතුරද, නා නා තුටුපඬුරුද ඌ හට පිදූහ. සැපසම්පතට ලොල් හෙතෙම ඒ සියල්ල මුවින් නොබැණ පිළිගත්තාහ.  සෞම්‍යවංශයා මෙකල්හි සෙන්පෝකයාහට සමීප වනුයේ, කේලාම් කියා උන් රජ්ජුරුවන් හා බිඳවාලීය.

බරණැසට දැන් සතුරු බියක් නම් නැත්තේය. මම මහාසම්මතයෙන්ම යලිදු සිංහාසනාරූඪ වෙමියි සිතා මැදමුලනී රජ්ජුරුවෝ කල්යල් බලා සිංහාසනාවරණය මෙකල්හි පවත්වම්හයි අඬබෙර ගැස්වූය. මානයෙන් ඔදවැටුනු සෙන්පෝකයා සෞම්‍යවංශයාගේ මුසාබස් අසා රාජශ්‍රීය විඳිනට මෙය කදිම අවස්ථාවකැයි සිතා මැදමුලනී රජුහට ආකෝශ පරිභවකොට අතිපාලක ධූරය හැර ලාපියා මැදමුලනී රජ්ජුරුවෝ හා සිංහාසනාවරණ තරඟයට වන්නේය.

එක්සියයක් රජදරුවන්ගේ අතවැස්සා යැයි ජනසම්මත වේදේහයාද, සෞම්‍යවංශයාද, නීලමේඝ ගඟ අසබඩ සිටි පිංගුත්තරයාද මන්ත්‍රණය කරන්නේ “අපට මැදමුලනියා හා තරඟකොට පලක් නැත්තේය. උහු හට නුවරුන්ගේ ප්‍රසාදය හිමියේය. අපද නිලතල රැකගනු යුතුය. එහෙයින් සෙන්පෝකයා සිංහාසනාවතරණයට යොදවම්හ”යි ගිවිස ගත්හ.

සෙන්පෝක තෙම උන්ගේ යටිසිත් නොදන්නේ සිංහාසනාරූඪ වීමට සිහින දැක්කෝය. හෙතෙම බරණැස් නුවරු අමතන්නේ “මා කිරබාහරයා මරාපියා ලූ පරිද්දෙන් මැදමුලනී රජුද පරදවමි. උන් ගලග්‍රහයෙන් ගෙන, පිටිතල හොවා දණ්ඩෙන් පහරදී දඟගෙයි පමුණුවමි. උන්ගේ මලණුවන්හටද එලෙසම දඬුවම් පමුණුවමි. උන්ගේ අතවැස්සනටද ඒ විපත්ම කරමි”යි කටමැත දෙඩවන්නේය.

තවද හේ තෙමේ, “කිරුබාහරයාගේ සේනාවෝ හිස් ලුලූ අත දිවයන්නේ ගොක්කොලයක් ඔසවාගෙන කඩු, කිණිසි, දුනු ඈ නානාවිධ ආයුධ අමෝරා අපගේ සේනා වෙත පැමිණියහ. එකල්හි අපගේ යෝධයනට උන්ව මරාපියාලනුවැයි අගසෙනෙවිරත් “අන්න පොබය” අණකළබවට මා හිතවත් ගිරාපෝතකයෙක් මසවනට කොඳුරාලූයැ”යි තැනින් තැන පවසමින් යන්නාහ. මෙපවත් ඇසූ එක්සියයක් රජදරුවෝ “වන්නාට, මැදමුලනී රජුරුවන්ගේ සේනාවෝ ගොක් කොල ඔසවාගෙන ආ කිරුබාහරයාගේ අහිංසකයන් තලා පෙලා මරාපුව. මෙවන් සෝලි කරනා මැදමුලනීහට රජකම් කරනට නොදිය යුත්තේයැ”යි ගර්ජනා කරන්නට වන්හ.

තවද සෙන්පෝකයා තම පසමිතුරන් මෙන්ම හිතැතියන් පරුෂවචනයෙන්ම අමතන්නේය. මැදමුලනී රජු තම රටවැසියන්හට සංවේදීවම අමතන්නේය. බරණැස් නුවරුන් මැදමුලනී රජ්ජුරුවන් සමඟ බිඳවනුරිසි සෞම්‍යවංශයාද, වේදේහයාද, පිංගුත්තරයාද “මැදමුලනී රජ්ජුරුවෝ තොපගේ රීරි මාංශද සූරාකති. උන්ගේ මලණුවෝද ඊට නොදෙවනිය. උහුද අත්ලස් ගන්නාහ. සොරකම් කරන්නාහ. උන්හට නැවතත් රජකම නොදිය යුත්තේයැ”යි  තැන තැන ආරංචි පැතිරූහ.

“බරණැස් නුවරු අඳබාලයෝ වෙති. උහු අප කියන බසක් එලෙසින්ම පිළිගන්නෝය. උන් අපගේ බස් අසා මැදමුලනී රජ්ජුරුවන් පන්නාදමා සෙන්පෝකයා රජ කරවන්නාහ. එවිට අපද මැති ඇමැත්තෝ වම්හ. අපිද රාජශ්‍රීය විඳිමින් අපගේ යසස වැඩිකරගම්හ”යි වේදේහයා ප්‍රමුඛ පිංගුත්තර සේනාව කල්පනා කළහ.

එනමුදු බරණැස් නුවරු නුවණැත්තෝ වූහ. උන් සෙන්පෝකයාගේ බස් මෙන්ම උන්ගේ සහචර රැලගේ බස්ද විමසන්නාහු “කිරුබාහරයා මැඩලූයේ සෙන්පෝකයා පමණක් නොවන්නේය. අටලොස් අක්ශෞහිණියක් සේනාවෝ උන් මැඩලූහ. සෙන්පෝකයා මෙන්ම වස්සාන, රෝෂණ සෙනෙවිරත්වරුද කිරුබාහරයා මැඩීමට එකසේ දහඩිය මුගුරු හෙළූහ. මූ කියනා බස බොරුයැ. එමෙන්ම සෙන්පෝකයා දොඩන්නේ රජෙකුට නොහොබිනා ලෙසය. එවැන්නෙක් රජකමට නොසුදුසුයැ”යි කල්පනා කළැබව දත යුතුය.

තවද “මුන් මැදමුලනී රජ්ජුරුවෝ සොරෙකැයි කියත්. මූද සොරෙක් නොවන්නේදැයි අපි නොදනිමු. මැදමුලනී රජ්ජුරුවෝ සොරකම් කළත් රටට යහපතක්ම කරන්නෝය. උන් බරණැස දියුණුවට කළැ කී දේ බොහෝය. උන් සොරකම් කළත් කිරුබාහරයා මැඩපියා අපට ඉන්නට රටක් බේරාගත්තෝය. සෙන්පෝකයා රජ වුවහොත් උන්ගේ සහචර පරගැති වේදේහයා එක් සියයක් රජදරුවන්ට මෙරට පුදන්නාහ. අපට ඉන්නට රටක්ද නොමැති වන්නේයෑ”යි රටවැස්සෝ සිතූහ.

එබැවින් බරණැස් නුවරු සිංහාසනාවතරණයෙන් එක්සියයක් රජදරුවන්ගේ ආශිර්වාදලත් සෙන්පෝකයා පරදවා මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ව නැවතත් සිංහාසනාරූඪ කරවූහ. එතැන්පටන් මැදමුලනී රජු නැවතත් සංවේදීව රාජ්‍යය විචාරන්නට වන්නාහ.

සෙන්පෝකයා පරාජය දරාගත නොහී දණ්ඩෙන් පහරලත් සර්පයෙක්සේ කිපී “මැදමුලනී වංචාවෙන් සිංහාසනාරූඪ වූහ. සිංහාසනාරූඪ වියයුත්තේ මම්මය. නුවරු මාගේ බස් අසනට දහස් ගණනින් එක්-රොක් වූහ. එහෙයින් මා පරාජය වීම පිළිගත නොහැක්කක්මයැ”යි අඳෝනා කීහ. තවද හේ තෙමේ “එක්සියයක් රජදරුවනි, මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සිංහාසනයෙන් පහකළ යුත්තේය. වහ වහා සුදුසු පිළිවෙත් කරවු” යැයි පණිවුඩ යැව්වෝය.

සෞම්‍යවංශයාද පරාජය වසාගනු නියා “මැදමුලනී රජ්ජුරුවෝ සිංහාසනාවතරණය ජයග්‍රහණය කළේ භක්ෂිශීල කළ ජිල්මාට් නම් උපක්‍රමයෙකි. සෙන්පෝකයා කෙසේ පරාජයවුනුදැයි අපහට හරියට නොවැටහේ. අපි බරණැස්නුවර තැන් තැන්හි සෝලි තබම්හ”යි පැවසූහ. වේදේහයෝද මෙබසට එකඟවන්නාහ.

එක්සියයක් රජදරුවෝ තම උපායය වැරදීම සඟවනුවස් සිංහාසනාවතරණය ලේඛනගත කරන්නේ “මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ යළිත් සිංහාසනාරූඪ වනුයේ ජිල්මාට් නම් උපක්‍රමයකින් යැයි දතයුතුය” යැයි ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා සටහන් කර තබම්හ. ~

ප.ලි. පිස්සාණෙනි, ඔබගේ බුද්ධිමය දේපල සොරකම් කිරීමට කමාවන මැනවි. ඔබගේ කථාවස්තුවේ චරිත මේ කථාවස්තුවේද එනමින්ම සටහන්ව ඇත. ඔබ ඊට එරෙහිවනු ඇතැටි නොසිතමි.

කාර් රිමෝට්

ඇමරිකාවට ඇවිත් ටික දවසකින් කාර් කට්ටක් ගන්න තැනට වැඩ කටයුතු සිද්ධ වුනා.  මුල් කාලෙ අවශ්‍ය බඩුමුට්ටු ගන්න එහෙම ගියේ මෙහෙ හිටපු ලංකාවෙ අයත් එක්ක. ඒ අයට හැමදාමත් කරදර කරන්නත් බෑනෙ.  තුන්වෙනියෙකුත් පවුලට එකතුවෙන්න ඉන්න නිසා ගමන්-බිමන් වැඩියි. ඉතින් අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන පාවිච්චි කළ කාර් කට්ටක් ගත්තා. (මෙහෙ පරණ හොඳ තත්වයේ වාහන ලාබෙට ගන්න පුලුවන්.) පරණ කිව්වට හද්ද පරණ නෙවෙයි, අලුත් සහස්‍රකයෙ හදපු භාණ්ඩයක්.

මේ කාර් එකේ තියන පහසුකමක් තමා RKE (Remote Keyless Entry) හෙවත් යතුර නැතිව දොර ඇරීම. ඒ වැඩේට ඉතින් දුරස්ථ පාලකයක්, සිංහලෙන් කියනවානම් රිමෝට් එකක් ඕනෙනේ. ඒත් කාර් එකේ පරණ අයිතිකාරයා මට රිමෝට් එකක් දුන්නෙ නෑ. (පොර අතින් ඒක නැතිවෙලා වෙන්න ඇති.) ලාභ භාණ්ඩෙ හිලක් කිව්වලුනේ. මම අහන්න ගියෙත් නෑ රෝද පහ (අර ඇතුලෙ තියන එකත් එක්ක හොඳේ) කැරකෙන නිසා අරන් ආවා.

රිමෝට් එකක් සෙට් කරගන්න ඩීලර් ගාවට ගියොත් $120-150 ක් විතර යනවා. යතුරු වැඩකරුවෙක් (locksmith) ගාවට ගියොත් $100 කින් බේරෙන්න පුළුවන්. කජු ඇටද-කොස් ඇටද? $100 ක් හොඳටම වැඩියි.  පොඩ්ඩක් අන්තර්ජාලෙ හොයලා බලනකොට මේ රිමෝට් ගන්න තියනවා eBay එකේ $25 විතර. අපිටම ප්‍රෝග්‍රෑම් කරගන්නත් පුළුවන්. මමත් ඕන මඟුලක් කියලා eBay එකෙන් ගෙන්නගත්තා රිමෝට් එකක් සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව.

ඔන්න ඉතින් සෙල්සියස් 10ක් විතර වුන හොඳ රස්නෙ දවසක රිමෝට් එක ප්‍රෝගෑම් කරන්න ලෑස්ති වුනා. බොහොම සරල උපදෙස් ටිකක් තමා තියෙන්නෙ පිළිපදින්න. මමත් උපදෙස් ටික අකුරට කරගෙන යනවා. එක උපදෙසක් තියෙනවා “Press the Hazard button six times within 10 seconds” කියලා. මමත් දෙපාරක් හිතන්නෙ නැතිව ඔය රිමෝට් එකේ තියන Panic බොත්තම එබුවා. ම්හු…කියලා තියෙන විදියට වැඩේ වෙන්නෙ නෑ. ආයෙත් පාරක් මුල ඉඳලා කරලා බැලුවා..හරියන්නෙ නෑ.  මම දැන් දහ අතේ කල්පනා කරනවා කරපු වැරැද්ද මොකක්ද කියලා. කල්පනා වෙන්නෙම නෑ. එදා දවසෙ කීප වතාවක් උත්සාහ ගත්තත් වැඩේ හරිගියෙ නෑ.

ආයෙත් දවසක බැලුවා වැඩේ ගොඩ දාන්න, හරි යන්නෙම නෑ. කොයිකටත් කියලා රිමෝට් එකේ බැටරියත් මාරු කරලා බැලුවා. ඒත් හරියන්නෙ නෑ. ඔය ඉලව් කරන්න ගිහින් Central Locking System එකේ ෆියුස් එකත් පිච්චුනා. ෆියුස් එක දාලා කාර් එක මුල් තත්වෙට අරගෙන මම වැඩේ අතඇරලා දැම්මා. මට හිතුනෙ එක්කො ගත්ත රිමෝට්  එක අවුල්, එහෙම නැත්නම් RKE සිස්ටම් එක අවුල් කියලයි.

මගෙ යාලුවෙකුටත් ඒ වර්ගයෙම කාර් එකක් තිබුනා. ඉතින් මිනිහටත් විස්තරේ කියලා ඒ කාර් එකටත් රිමෝට් එක ප්‍රෝග්‍රෑම් කරන්න උත්සාහ කරලා බැලුවා. (ඒකටත් රිමෝට් එකක් තිබුවෙ නෑ.) මොන, හරිගියෙ නෑ. කාර් දෙකකම RKE සිස්ටම් එක වැඩ නොකරන්න තියෙන ඉඩකඩ අඩුයිනෙ. දැන් මට ෂුවර් මේ රිමෝට් එක වැඩ කරන්නෙ නැති කසලගොඩක් කියලා. ඒත් ඉතින් ඔය වෙනකොට මම රිමෝට් එක අරන් මාස ගාණක් ගිහින්. රිට(ර්)න් කරන්න පුලුවන් කාලසීමාවත් පැනලා. මොනවා කරන්නද, මගෙ වැරැද්දනෙ කියලා රිමෝට් එක ගැන ආසාවත් අතෑරලා හිටියා.

මට ආයෙත් ඔය රිමෝට් එක ගැන මතක් වුනේ මාස ගාණකට පස්සෙ ගෙවල් අස්-පස් කරද්දි ඒක මුල්ලක් තියෙනව දැක්කහමයි. ආයෙත් පාරක් ප්‍රෝග්‍රෑම් කරන්න උත්සාහ අරන් බැරි වුනොත් බැද්දට විසිකරලා දානවා කියලා හිතලා වැඩේ පටන් ගත්තා. කොයිකටත් කියලා කාර් එකේ සේවා අත්පොතත් (Service Manual) කියවලා බැලුවා. ඒකෙ තියෙන්නෙත් මම කලින් කියවපු උපදෙස් ටිකම තමා. තවත් හොඳට කියලා කාර් සංසදයක (forum) මේ ගැන තියන විස්තර කියවද්දි තමා මම කරපු ගොංකම මාට්ටු වුනේ.

මොකක්ද Hazard button මේ කියන්නෙ. ඔය පහල රූපෙ තියන එකනෙ. එහෙම නැතිව රිමෝට් එකේ  තියන Panic button එක නෙවෙයි. මෝඩකමට බෙහෙත් නෑ කිව්වලු.

කරපු ගොංකමට මමම හිනාවෙවී රිමෝට් එක ප්‍රෝග්‍රෑම් කරන්න ගත්තා. වන් ෂොට් වැඩේ ගොඩ.

ඇයි එහෙම උනෙ කියලා පස්සෙ කල්පනා කරල බලනකොට මට තේරුනා Hazard button කියන්නෙ මොකක්ද කියලා මම දැනගෙන හිටිය බව. ඒත් මම රිමෝට් එකේ Panic button එක එබුවෙ වැඩිය හිතන්නෙ නැතුව. ඒ පියවර නිවැරදියි කියලා (යටි හිතෙන් ) මම පූර්ව නිගමනයකට ඇවිත් තිබුන නිසා තමා මට වැරැද්ද අහු නොවුනෙ. කාලෙකට පස්සෙ කරද්දි අලුත් විදියට හිතන නිසා මට වැරැද්ද තේරුම් ගන්න පුළුවන් වුනා. (රෑට නැති නුවණ උදේට පහල වෙනවා කියන්නෙ ඕකට තමා.)

ඉගෙනගත්ත පාඩම තමා හැම වෙලේම මට වැරදෙන්න තියන ඉඩකඩ වැඩියි කියලා හිතන්න අවශ්‍ය බව.

මටත් හිතුනා බ්ලොග් ලියන්න

ආයුබෝවන් !

ටික දවසක ඉඳලා මමත් සිංහල බ්ලොග් කියවනවා. මටත් හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න.

ඔබ සැමගේ ප්‍රතිචාර බොහොම අගය කරනවා.