දිල්ලියේ හුටපටේ

ලංකාවෙන් පිටත් වෙලා ලෝක පොලීසියට ආපු ගමනෙදි මගෙ මුල්ම සංක්‍රාන්තිය (transit) තිබුනෙ අල්ලපු රටේ දිල්ලියෙ.

සාමාන්‍යයෙන් ගමන ආරම්භයෙදි අපේ ගමන් මළු ඔක්කොම (අතේ ගෙනියන ඒවා හැර) ගුවන් සේවයට භාර දෙන්න ඕනෙ බව ගුවන් ගමන් ගිහින් තියන අය දන්නවා ඇති. සාමාන්‍යයෙන් අපිට අපේ ගමන් මළු ලැබෙන්නෙ ගමනාන්තයෙදි. (රටක් ඇතුලෙ ගුවන් ගමන් තියනවානම් ටිකක් වෙනස් වෙන්න පුළුවන්.) කොහොම හරි මගේ ගමන් මළු ටිකත් ඒ වගේ අවසන් ගුවන් තොටුපොලින් ගන්න පුළුවන් විදියට පරිගණක පද්ධතියට ඇතුල් කළා.

මමයි පුතයි

මම ඒ ගමන ආවෙ තනියෙන්ම නෙවෙයි. අවුරුද්දකට ටිකක් වැඩි පුංචි පුතත් එක්ක. දරුවෙක්ව අතේ වඩාගෙන යන්න අමාරු නිසා ළදරු කරත්තයක, තේරෙන භාෂාවෙන් කියනවා නම් ස්ට්‍රෝලර් (stroller) එකක දාගෙන තමා ගෙනිච්චෙ. මේ ස්ට්‍රෝලර් සාමාන්‍ය ගමන් මළු එක්ක භාර දෙන්නෙ නෑ. ගුවන් යානයට ගොඩවෙනකල්ම දරුවව ඒකෙ තියාගෙන ඉන්න ඉඩ දෙනවා. නැවතත් ඊලඟ ගුවන්තොටුපලේදි ගුවන් යානයේ දොරටුව ගාවටම ඒක ගෙනත් දෙනවා.

පළවෙනි පිස්සුව කෙළියෙ අපේ ජාතික ගුවන් සේවයෙන්. “මට හැම ගුවන් තොටුපලකදිම ස්ට්‍රෝලර් එක පාවිච්චි කරන්න  ඕනෙ” කියලා පැහැදිලිව කිව්වත්, ඒක අනෙත් ගමන් මළු එක්ක ගමනාන්තයටම යවන්න පරිගණක පද්ධතියට ඇතුල් කරලා මට හරිම උදව්වක් කරන්න අපේ අය අමතක කළෙ නෑ. (ගුවන් තොටුපලේ පෝලිම් වල තියන් ඉඳලා පරක්කු කරන එක අමතක කරමුකෝ.)

ගුවන් යානය දිල්ලියට ආව කියමුකො. මමත් ඉතින් පොඩි එකාවත් අරන් (ගුවන් යානයෙන්) එලියට බැහැලා බැලුවා කෝ මගෙ ස්ට්‍රෝලර් එක කියලා. පේන තෙක් මානෙකවත් නෑ. “කමක් නෑ, ඕක ලැබෙන්නෙ නැතෑ” කියල හිතාගෙන ගුවන් යානයෙ ඉඳන් ගුවන් තොටුපොලට ඇවිදගෙන එනකොට මෙන්න දොරටුව ගාව ඉන්නවා බෝඩ් ලෑලි එල්ලගෙන කීප දෙනෙක්. නෑ, නෑ.. හිඟන්නො නෙවෙයි. ඒ ගුවන් තොටුපොලේ සේවකයො. ඒ ගුවන් යානයෙ ආපු සමහර මඟීන්ගෙ නම් තමයි බෝඩ් ලෑලි වල ලියලා තිබුනෙ. බලනකොට මගෙ නමත් තියනවා.

මට බයත් හිතුනා මගෙ මල්ලක හොර බඩුවක්වත් තිබිල අහු වුනාද දන්නෙ නෑ කියලා. (එහෙම දෙයක් දැනුවත්ව නම් ගෙනාවෙ නෑ. ඒත් කියන්න බෑනෙ.) කොහොමහරි මමත් ඇතුළුව තව කීප දෙනෙක් එතැන නැවතුනා. මම එතැන හිටපු නිලධාරිණියකගෙන් ඇහුවා මගෙ ස්ට්‍රෝලර් එක ගැන. හරි උත්තරයක් දෙන්න එයාට පුළුවන් වුනෙ නෑ. ඒක මට ලැබෙන්න සලස්සන්නම් කියලා තමා කිව්වෙ.

ගුවන් ගමනකදි එක් ගුවන් යානයකින් තවත් එකකට මාරුවෙන්න තියනවානම්, ඒ ගුවන්තොටුපලේ තියෙන ඉලෙක්ට්‍රොනික් දැන්වීම් පුවරු වලින් අදාල පර්යන්තය (terminal) හොයාගෙන යන්න මහ අමාරුවක් නෑ. හොයාගන්න අමාරු නම් නිලධාරියෙක්ගෙන් ඇහුවාම හරි. ගුවන් සේවාව මාරු කරනවානම් සමහරවිට ගුවන් යානයට ඇතුල්වීමේ ප්‍රවේශපත්‍ර  (boarding pass) ගන්න සිද්ධ වෙනවා. මේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි.

ඒත් දිල්ලියෙදි අපිව වෙනම කාමරයක් වගේ ප්‍රදේශයකට එක්කගෙන ගියා. මොකටද කියලා කවුරුත් දන්නෙ නෑ. අපිට එතන ඉන්න කිව්වා, තවත් නිලධාරියෙක් ඇවිත් කථා කරයි කියලා. වෙන කරන්න දෙයක් නැති කමට එතනට වෙලා හිටියා. පැය භාගෙකට විතර පස්සෙ මෙන්න වෙනත් නිලධාරියෙක් ඇවිත් මාත් ඇතුළුව එතන හිටපු මඟීන්ගෙන් කීපදෙනෙක්ගෙ නම් කථා කරලා එයත් එක්ක එන්න කිව්වා. අපිත් ඉතින් අර මාංචු දාපු හිරකාරයො වගේ පෝලිමට ඒ නිලධාරියා පස්සෙන් වැටිලා ගියා.

අවතැන්වූ මඟීන්

අපිව එක්කගෙන ගියෙ පර්යන්තයක ප්‍රවේශ ශාලාවකට. ඒ කියන්නෙ ආගමන/විගමන කවුළු සහ ගුවන් යානයට ගොඩවෙන ගේට්ටු අතර ප්‍රදේශයකට. මේ ප්‍රදේශයේ අපි වගේම තවත් කීපදෙනෙක් රඳවල තිබුනා. මේ ප්‍රදේශයේ ඉඳගන්න පුටුවක්වත් නෑ. ටිකක් වෙලා ඉන්නකොට තමා තේරුනේ අපිට ඊලඟ ගුවන්යානයට ගොඩවෙනකම් මෙතැන රැඳිල ඉන්න වෙනවා කියලා.

මගෙ ස්ට්‍රෝලර් එකත් ලැබිල තිබුනෙ නෑ. පුංචි පුතා හිටියෙ මගෙ අතේ. එයාව බිමින් තියන්න බෑ, එයා එහෙ මෙහෙ දුවනවා, හොඳටම නිදිමතේ. නිදිකරවන්න විදියක්වත් නෑ. ඒ මදිවට එයාට වගේම මටත් බඩගිනියි. දරුවට කෑම කවන්න තියා කිරි පොවන්නවත් විදියක් නෑ, ඉඳගන්නවත් නැති නිසා. මාත් එක්කම ලංකාවෙ ඉඳන් ආපු සොහොයුරෙක් මට උදව් කලා, මගෙ ගමන් මළු එහෙම පරිස්සම් කරමින්. දිල්ලි ගුවන්තොටුපලේ නිලධාරීන් විටින් විට කට්ටියව එක්කරගෙන ඇවිත් එතන තියලා යනවා.

මෙන්න බොලේ මළු

මේ අතරෙ ගමන් මළු තොගයක් අරගෙන ඇවිත් අපි ඉස්සරහින් තිබ්බා. බලනකොට ඒ අපි යන්න ඉන්න ගුවන් යානයේ මඟීන්ගෙ ගමන් මළු. වෙනත් ගුවන්තොටුපලකින් දිල්ලියට එන මඟීන්ගෙ ගමන් මළු ස්වයංක්‍රීය වාහක පද්ධතිය (automated conveyor system) මතින් ගුවන් යානයට යවනවා වෙනුවට, ඒවා මඟීන් සිටින ප්‍රදේශයට ගෙන ඒම මම කලින් දැකල නෑ. (ඒක ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිද කියල මට හිතුනා.) විටින් විට මේ විදියට ගෙනාපු මළු අතරෙ මගෙ ගමන් මළුත්, දරුවගෙ ස්ට්‍රෝලරයත් තියනවා දැක්කා.

එතැන හිටපු නිලධාරියෙකුට මම කිව්වා “මේ තියෙන්නෙ මගෙ ස්ට්‍රෝලරය. ඒක මට අවශ්‍යයි” කියලා. නමුත් ඔහු ඒක දෙන්න කැමති වුනෙ නෑ, ඒක කෙලින්ම ගමනාන්තයට යවන්න සටහන් කර තිබූ නිසා. (කටුනායකදි අපේ රටේ උදවිය කළ හපන්කම තමා ඒ!) මම ඔහුට තේරුම් කර දුන්නා වැරදීමකින් ඒ අය එලෙස සටහන් කර ඇති බව සහ ස්ට්‍රෝලරය ආරක්ෂාවට බාධාවක් නැති බව. (ගමන් මල්ලක් විවෘත කරනවා වගේ නොවන බව.) ඒ නිලධාරියා පමණක් නොවෙයි, ඉන් පසු වරින් වර ආ නිලධාරීන් කීපදෙනෙක්ම මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ උසස් නිලධාරීන්ගෙන් ඇසිය යුතු බව කියලා මාරු වෙන්න ඒ අය හරිම දක්ෂයි. කොහොමහරි පැය 2 කට විතර පස්සෙ, ඒ අය සමඟ කළ අරගලය නිමා වුනෙ, සුදු හමකට ඔවුන් යටත් වීම නිසයි. මගේ ප්‍රශ්නය කීප වතාවක්ම දැක්ක ඇමරිකන් ජාතිකයෙක්, ඒ නිලධාරීන්ට ‘සුද්දගෙ ඉංග්‍රීසියෙන්ම’ කථාකළ නිසාදෝ, මට ආපහු ස්ට්‍රෝලරය ලැබුනා.

ස්ටිකර් අලවමු

මේ අතරතුර, එතන සිටි මඟීන්ට ඔවුන්ගේ ගමන් මළු අඳුනගන්න සිද්ධ වුනා. ඒ, ඒවායේ තිබූ පරිගණක දත්ත සහිත ස්ටිකරය ඉවත් කොට, අලුත් ස්ටිකර් ඇලවීම සඳහායි. මුල් ගුවන් තොටුපලෙන් ගමන් මළු වලට අලවන ස්ටිකරය, පරිගණකගත පද්ධතියකින් කියවා, ස්වයංක්‍රීය වාහක මඟින් අදාල ගුවන් යානයට යොමු කිරීම වෙනුවට, දිල්ලියේදී කළ දේ ඉන්දියාවට පමණක් ආවේණික දෙයක්ද කියලත් මට හිතුනා.

විටින් විට පැමිණි නිලධාරීන්ට අපේ ගමන් බලපත්‍ර ලබාදෙන්න සිද්ධ වුනා. නරකම දෙය තමා, ඔවුන්ට ඒවා රැගෙන යන්න දෙන්න වීම. ගමන් බලපත්‍රයක් තමන්ගෙ දෑසට පෙනෙන සීමාවෙන් එහාට නොයන්න වගබලාගන්න කියලා කිව්වත්, දිල්ලියට ගියාම ගමන් බලපත්‍රය ඉල්ලන ඕනෙම කෙනෙක් අතට දෙන්න මඟීන්ට සිද්ධ වුනා. වවුලගෙ ගෙදරට ගියානම් එල්ලිලා හිටපිය කිව්වලු!

ගුවන් යානයකට ගොඩවීමට පෙර, ගමනාන්තයට යාමට හේතුව, ආරක්ෂාවට අදාල කාරණා ආදිය ඇසීම සාමාන්‍ය කරුණක්. ගුවන් යානයට ගොඩවන ගේට්ටුව අබියස කවුන්ටරයක සිටින නිලධාරියෙක් අබියසට අදාළ ලියකියවිලි සමඟ ගියවිට, ඒ ප්‍රශ්න කිරීම විනාඩියකටත් අඩු කාලයකදී නිම වෙනවා, ඔවුනට සැක හිතෙන යමක් නොවුනොත්. නමුත් දිල්ලියෙදි වුනෙ අමුතුම සිද්ධියක්.

අපි තැන තැන හිටගෙන ඉන්න අතරෙදි, නිලධාරීන් එනවා අපි ගාවට. ඇවිත් පොඩ්ඩක් පැත්තකට එක්කරගෙන යනවා. (රහසක් කියන්න වගේ. එහෙම නැත්නම් මදාවියෙක් බය කරලා සල්ලි ඉල්ලගන්න යනවා වගේ.) ඇමරිකාවට ඇතුල් වෙද්දි ඒ රටේ ආගමන නිලධාරියෙක් අපෙන් අහන ප්‍රශ්න වලටත් වඩා, ඉන්දියාවෙ ඉන්න මේ නිලධාරියා අපෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීමට විනාඩි 5 ක්වත් ගත වෙනවා. මට උදවු කළ ලංකාවෙ සොහොයුරාට ඔහුගෙ උපාධි නිබන්ධනයත් පෙන්නන්න වුනා ඒ නිලධාරියාට!

මගෙ ගුවන් ගමන් දෙක අතරතුර පැය හතරක අධික කාලයක් තිබුනා. මම හිතාගෙන හිටියෙ පුතාට කවලා, නිදි කරවන්න. ඒත් ඒ පැය 4 ක කාලයම වගේ අපි හිටියෙ හිටගෙන. ඉතින් කොහෙ කන්නද? නිදාගන්නද? වතුර ටිකක් බීලා, දරුවගෙ යට ඇඳුම් මාරු කරගෙන එන්න මම ගිය අවස්ථාවකදි, ගමන් බලපත්‍ර එකතු කරගෙන ගිය නිලධාරියෙක් මාව සොයා තිබුනා. මම  ආවහම, “මගෙන් අහන්නෙ නැතුව මෙතැනින් යන්න එපා” කියලා හරිම කාරුණික විදියට ගෝරනාඩු කරන්න ඒ නිලධාරියා ආචාරශීලී වුනා.

කොහොමහරි, දිල්ලියටම (හෝ ඉන්දියාවට) ආවේණික ඒ වැඩ ටික ඉවර වෙද්දි, ගුවන් යානය පිටත් වෙන්න තියන වෙලාවට ඉතුරු වෙලා තියෙන්නෙ පැය භාගයකට ආසන්න කාලයක්. එච්චර වෙලා තැන තැන කැරකි කැරකි කථා-බහ කරමින් හිටිය නිලධාරීන්ට අන්න එතකොට තමා ගිනි කසයො වගේ වැඩ කරන්න මතක් වුනෙ.

ගුවන් යානයට ගොඩවීමට පෙර සාමාන්‍යයෙන් කරන පරීක්ෂා එකක් වෙනුවට, ‘දිල්ලි ස්පෙෂල්’ පරීක්ෂා දෙකක්ම කෙරුවා ලෝභ නැතුව. ගමන් මළු X කිරණ පරීක්ෂාවට ලක් කිරීමට අමතරව ගමන් මළු ඇරලා බැලීම වගේ ‘එක්ස්ට්‍රා ස්පෙෂල්’ ආරක්ෂක උපක්‍රමත් දිල්ලි නිලධාරීන් මහන්සි නොබලාම කළා. කොහොම හරි ගුවන් යානය පිටත් වුනේ නියමිත වෙලාවට විනාඩි 20 ක් විතර ප්‍රමාද වෙලයි.

දිල්ලි ගුවන්තොටුපලේ සංක්‍රමණික මඟීන් වුන අපි පැය ගණනාවක් හිටගෙන අනාථයො වගේ ඉන්නකොට, දිල්ලියෙන් ආපු මඟීන් සාමාන්‍ය පරීක්ෂාවලට පස්සෙ, (දූවිලි පිරිණු පොළොවට වඩා) හොඳ සැප-පහසු පර්යන්තයේ රැඳී සිටීමේ ප්‍රදේශවල ඉඳගෙන, කෑම-බීම ගනිමින්, වැසිකිලි අවශ්‍ය පරිදි පාවිච්චි කරමින්, අවශ්‍ය නම් පොඩි නින්දක් ලබමින් වෙහෙස නිවාගෙන ඉන්න වාසනාවන්ත වුනා. ඒවා පෙනෙන සීමාවේ, කිසිම පහසුකමක් නැතිව අපිව රඳවලා තිබ්බෙ ඇයිද කියන එක මට තාමත් ප්‍රශ්නයක්.

මගේ අත්දැකීමට වඩා හාත්පසින්ම වෙනත් අත්දැකීම් ලබපු අය ඉන්න පුළුවන්. ඒත්, ඉන්දියාවෙ අගනගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙනත් ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලබාදෙන සේවාවක් ලබාදෙන්න අසමත් වුන බව මගේ අන්තිම තීරණයයි. මේ නිසා නැවතත් දිල්ලිය පමණක් නොව, වෙනත් කිසිම ඉන්දියානු ගුවන් තොටුපොලක් මගේ ගුවන් ගමනකදි සංක්‍රාන්තියක් ලෙස තෝරා නොගන්න මම තීරණය කළා. ඔබත් දිල්ලිය හෝ වෙනත් ඉන්දීය ගුවන්තොටුපලක් හරහා ගුවන් ගමනක් යන්න තීරණය කළොත්, දෙවරක් සිතන්න.

Advertisements

පංචායුධයෙන් වැඩක් තිබේද?

හෝව්..හෝව්. මම කියන්න යන්නෙ මව්බිමේ පංචායුධය ගැන නෙවෙයි ඔන්න. ළමයින්ගෙ බෙල්ල වටේ දාන පංචායුධය ගැනයි.

ඔයාල කී දෙනෙක්ගෙ බෙල්ල වටේ පංචායුධයක් දාල තිබ්බද පොඩිකාලෙ? ළමයින්ගෙ බෙල්ල වටේ පංචායුධයක් දාන්නෙ ආරක්ෂාවට කියලනෙ. පංචායුධ කතාව තියෙන්නෙ ජාතක කථා පොතේනෙ. ඒක දන්නෙ නැති අය ඉන්නවනම් මෙතනින් පඤ්චායුධ ජාතකය කියවලා ඉන්නකො. ඒකෙ තියන සිංහල තේරෙන්නෙ නැත්නම් මේක කියවලා බලන්නකෝ.

ඉතින් මේ පංචායුධ ජාතකයෙන් පැහැදිලි වෙනදේ තමයි දුනු-ඊතල, කඩු, හෙල්ල, තෝමර, අඩයටිය වගේ භයානක අවි-ආයුධවත්, අතේ-පයේ හයිය සහ සටන් කලාවක් දැනගෙන තිබුනටවත් වැඩක් නෑ, ඊට වඩා වැදගත් දේ තමයි නුවණ තැනට සුදුසු ලෙස පාවිච්චි කරන එක කියන දේ.ඉතින් ඕක නොදන්නවටද කොහෙද අපේ අම්මලා-තාත්තලා පුංචිම දරුවන්ගෙ බෙල්ලෙත් පංචායුධ එල්ලනවා. සල්ලි තියන අය රත්තරන් පංචායුධ එල්ලනවා, සල්ලි යහමට නැති අයත් තඹ පංචායුධයක් හරි එල්ලනවා.

ඔය එල්ලන පංචායුධයෙන් වැඩක් තියනවද? පංචායුධ කුමාරයට අවි-ආයුධ, සටන් කලාවේ දැනුම තිබිලා රාක්ෂයාගෙන් බේරෙන්නෙ බැරි වුන එකේ, බෙල්ලෙ ලෝහ පතුරක් එල්ලුවයි කියලා ළමයෙකුට කිසිම දේකින් ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද? ළමයින්ව ලෙඩ-රෝග සහ විපත්වලින් වලින් ආරක්ෂාකරගන්න නම් දෙමව්පියන් සහ රැක-බලාගන්නන් හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනෙ.

බෙල්ලෙ එල්ලන පංචායුධය හෝ වෙනත් ආභරණ දරුවන්ට විපත් ගෙන එන්න ඉඩ තිබෙන බව හුඟක් අය දන්නෙ නැතුව ඇති. මේ ආභරණ බැරිවෙලා හරි ගැලවිලා වැටුනොත් ඒක අහුලලා කටට දාගන්න පුංචි ඈයො පසුබට වෙන්නෙ නෑ. පොඩි ළමයි එක එක දේ කටට දාගන්න එක නවත්තන්න බෑනෙ. ඉතින් ඔය ආභරණයක් උගුරෙ හිරවුනොත් වෙන දේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. තවත් දෙයක් තමයි ඒ ආභරණ එල්ලන්න පාවිච්චි කරන නුල් හෝ මාල වලින් බෙල්ල තද වෙලා හුස්ම හිරවෙන්න ඉඩකඩකුත් තියනවා. විශේෂයෙන් රෑ නින්දෙදි එහෙම වෙන්න ඉඩකඩ තියනවා. ඒ නිසා ආභරණ දාල තියනවනම් රෑට ඒවා ගලවලා දමන්න අමතක කරන්න හොඳ නෑ. ඒ ආභරණ ලේසියෙන් නොගැලවෙන විදියට සවිකරන එක අත්‍යාවශ්‍යයි.

ඒ විතරක් නෙවෙයි, පුංචි ළදැරියන්ගෙ කන්වලට දාන කරාබුත් භයානකයි. අඩු අවදානමක් තිබුනත් පුංචිම දැරියන්ගෙ කන් විදිනකොට විෂබීජ ආසාදනයක් වෙන්න ඉඩක් තියනවා. ඒ නිසා මාස දෙකකට වඩා අඩු දැරියන්ගේ කන් විදින්න හොඳ නෑ. කරාබුත් ගැලවෙන්න ඉඩ තියන නිසා ඒවා හොඳට තදකරන එක වැදගත්.

ආභරණවල ඊයම් තිබෙනවානම් ඊයම් විෂවීමක් වීමේ ඉඩකඩකුත් තියනවා. ඊයම් රහිත ආභරණ තෝරාගැනීම ඒ නිසා බොහොම වැදගත්.

පංචායුධ ඇතුළු ළදරුවන්ට පළඳවන ආභරණ විශේෂ අවස්ථාවකදී පලඳන්න සුදුසු වුනාට දිනපතා පලඳලා තියන්න නම් සුදුසු දෙවල් නෙවෙයි.  ඒ නිසා දරුවන්ට ආභරණ පැළඳවීමගැන දෙමව්පියන් දෙවරක් සිතිය යුතුයි.

ජී ෆො ජග්

1987-1989 කාලය අපේ රටේ භීෂණය රජ කළ කාලයක්නෙ. ඒ කාලෙ කිසිම කෙනෙක්ගෙ ආරක්ෂාව ගැන සහතික වෙන්න බෑ. විශේෂයෙන් රජයේ ප්‍රබලයන්ට මරණීය තර්ජන එමටයි. මැති-ඇමතිවරුන්ගෙ ආරක්ෂාවට හමුදාවෙන් සහ පොලීසියෙන් කණ්ඩායම් සපයල තිබුනා. ඊට අමතරව මැති-ඇමතිවරුන්ට පෞද්ගලික පිස්තෝලයක් (පෞ.පි. එකක්) ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත් කළා.

කොහොමහරි එක ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත් කරන මේ පිස්තෝලෙ ලැබුනෙ නෑ. (ඒ කාලෙ 5/6 ක බලය තියන ආණ්ඩුවක් තිබ්බත් කැබිනට් ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති වගේ ඇමතිවරු වැහි වැහැල හිටියනෙ. කොයි ඇමතිද කියන්න මම හරියටම දන්නෙ නෑ.) මේ ඇමැත්තා ඉංග්‍රීසි හරියට නොදන්නවා වුනත් හරි-හරියට සුද්දා වගේ ඉංග්‍රීසි කථාකරනවා කියල ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් මේ ඇමති දවසක් ආරක්ෂක අමාත්‍යංශයට දුරකථනයෙන් කථා කළා.

“හෙලෝ, දිස් ඉස් මිනිස්ටර් සිරිපාල. හූ ඉස් ස්පීකින් දෙයා?” ඇමැත්තා කඩ්ඩ දැම්මා. (ඇමතිගෙ නම සිරිපාල කියලා හිතන්නකෝ.)

දුරකථනයට පිළිතුරු දුන්නෙ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. පොලිස් ලොක්කටත් සිංහලෙන් උත්තර දෙන්න බෑනෙ දැන්. මිනිහත් දන්න ඉංගිරිසියෙන් උත්තර දුන්නා “අයි ඈම් ඩී. අයි. ජී සමරපාල. වට් කැන් අයි ඩූ ෆො යූ සර්?” කියලා.

“අයිසෙ, අයි ඩිඩ්න්ට් රිසීව්ඩ් ද වෙපන් ඉෂූඩ් ෆො මිනිස්ටර්ස්. කැන් යූ චෙක් ඔන් දැට්?” කියලා ඇමැත්තා කිව්වා. දුරකථන මාර්ගයේ තිබ්බ ප්‍රශ්නයක් නිසා පොලිස් ලොක්කට ඕක හරියට ඇහුනෙත් නෑ, තේරුනෙත් නෑ. “අයි ඈම් සොරි සර්, අයි ඩිඩ්න්ට් හියර් යූ” කියලා පොලිස් ලොක්කා බොහොම යටහත් පහත්ව කිව්වා. ඇමැත්තත් ආයෙත් තමන්ගෙ අවශ්‍යතාවය කිව්වත් දුරකථන පද්ධතියෙ තිබ්බ දෝෂයක් නිසාදෝ පණිවිඩේ හරියට ගියෙ නෑ.

ඇමතිට ඒ වෙනකොට ටිකක් විතර තරහ ගිහින්. “අයිසෙ, අයි නීඩ් අ ගන්” ඇමති ටිකක් විතර සද්දෙන් කිව්ව. “අයි ඈම් සොරි සර්, යූ නීඩ් වට්?” පොලිස් ලොක්කා ආචාරශීලීව ඇහුවා. “කාන්ට් යූ හියර් මී ඩෑම්න් ෆූල්, අයි නීඩ් අ ගන්, ගන්” ඇමැත්තා සද්දෙ දැම්මා. පොලිස් ලොක්කට තාමත් හරියට ඇහුනෙ නෑ. “දෙයා ඉස් අ ඩිස්ට(ර්)බන්ස් ඔන් ද ලයින් සර්, අයි ඈම් සොරි. කැන් යූ ප්ලීස් සේ වට් ඩූ යූ නීඩ්?” පොලිස් ලොක්කා කිව්වා.

ඒ වෙනකොට ඇමතිටත් තේරිලා තිබ්බෙ දුරකථන මාර්ගයේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවා කියලා. ඉංග්‍රීසියෙන් අමාරු වචන කියනකොට අකුරෙන් අකුර කියනවනෙ, ඒ අකුරට අදාල වචනයකුත් එක්ක එන් ෆො නොවැම්බර්, ඒ ෆො ඇපල් වගේ. ඒ නිසා ඇමති හිතුවා ගන් කියන එක අකුරෙන් අකුර කිව්ව නම් පැහැදිලි වෙයි කියලා.

ඉතින් ඇමැත්තා කිව්වා “අයිසෙ, අයි නීඩ් අ ගන්.. ගන්, ගන්.. ගී ෆො ජග්, යූ ෆො යුරෝප්, එන් ෆො නිව්මෝනියා” කියලා.

ඊට පස්සෙ වුන දේ නම් මම දන්නෙ නෑ..

තාම හිනා ගියෙ නැද්ද..

ගන් ලියන්නෙ මෙහෙමයි.: GUN

ජග් ලියන්නෙ මෙහෙමයි.: Jug

යුරෝප් ලියන්නෙ මෙහෙමයි.: Europe

නිව්මෝනියා ලියන්නෙ මෙහෙමයි.: Pneumonia

දැන් හිනා නොගිය අය හිනා වෙන්න.

නයිමිරිස් බෝම්බ

ලංකාවෙත් සමහර ප්‍රදේශවල වැවෙන නයිමිරිස් වලට ඉන්දියාවෙ විවිධ නම් පාවිච්චි කරනවා නාග ජොලොකියා (Naga jolokia), භොට් හෙවත් භුට් ජොලොකියා (Bhot or Bhut jolokia), බිහ් ජොලොකියා (Bih jolokia) ඒවායින් කීපයක්. බටහිර මාධ්‍යවල “භූත මිරිස්” (Ghost chili) කියල තමයි මේ මිරිස් වර්ගය හඳුවන්නෙ.

පසුගිය වසරේදී ඉන්දීය ආරක්ෂක විද්‍යාඥයන් නයිමිරිස් යොදාගෙන අත්බෝම්බ වලට ආදේශකයක් නිපදවීමේ හැකියාව හැදෑරීම ඇරඹුවා. පරීක්ෂණ වලින් අනතුරුව නයිමිරිස් යොදාගෙන කඳුලු ගෑස් බෝම්බ ආකාරයේ අවි නිපදවීමට තීරණය කර තිබෙනවා. මෙම බෝම්බ වර්ගය සතුරන්ව මරාදමනවා වෙනුවට ඔවුන්ව අප්‍රාණික කරනු ඇති.

මිරිස්වල ඇති සැර බව (Piquancy) ඇතිකරන රසායනික සංඝටකයවන කැප්සයිසින් (Capsaicin) ප්‍රමාණය මනින ස්කෝවිල් පරිමාණයේ (Scoville scale) ඉහලින්ම ඇති නයිමිරිස් (මෙහි සැර විවිධ සාධක මත වෙනස් වනවා ) ලොව සැරම මිරිස් වර්ගය ලෙස 2007 වසරේදී ගිනස් වාර්තා පොතටත් එක් වුනා.

විෂ රහිත රසායනිකයක් නිසා සැකකරුවන් මරාදමනු වෙනුවට ඔවුන්ව අප්‍රාණික කිරීමට මේ නයිමිරිස් බෝම්බ සමත්. කැරලි මැඩපැවැත්වීමට, ත්‍රස්තවාදීන් සැඟවී සිටින ගුහා, බංකර් ආදියෙන් ඉවත් කිරීමට නයිමිරිස් බෝම්බ යොදාගත හැකියි.

ලංකාවෙ දවසකට කීපයක් තියන උද්ඝෝෂණ, පෙලපාලි මැඩපවත්වන්න නැතිවම බැරි කඳුලු ගෑස් පිටරටවලින් ආනයනය කරන්නෙ නැතුව අපේ රටේම නයිමිරිස් බෝම්බ නිපදවන්න ආරක්ෂක උපකරණ පර්යේෂකයොත් කටයුතු කළානම්, අන්තරේ, ජ.වි.පෙ, අන්තර් සමාගම් සහෝදර-සහෝදරියන්ටයි, ලිප්ටන් වටරවුමෙයි-කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ බදු ගත්ත ඩොලර් කාක්කන්ටයි  අධිරාජ්‍යවාදී බටහිර කුමන්ත්‍රණවලින් ලංකාවට එවපු කඳුලු ගෑස් වලින් ප්‍රහාර නොකා, දේශීය නිෂ්පාදකයන්ට අත-හිත දෙමින් “සියරට දේ සිරිසැප දේ” කිය-කියා අඬ-අඬා ගෙදර දුවන්න තිබ්බා.

පින්තූරෙ ගත්තෙ මෙතනින් – http://en.wikipedia.org/wiki/File:Naga_Jolokia_Peppers.jpg

බබාලට කාර් සීට්

වාහනවල ගමන්කරනකොට ආරක්ෂක පටි හෙවත් සීට් බෙල්ට් පැළඳීමේ වැදගත්කම ගැන කලින් කථා කළානෙ. වැඩිහිටියන්ට ආරක්ෂක පටි පළඳින්න පුළුවන් උනාට පොඩි ළමයින්ට- විශේෂයෙන්ම ළදරුවන්ට- වාහනයේ තියන ආරක්ෂක පටි පළඳින්න බැහැනෙ. ඔවුන්ගෙ ආරක්ෂාවට විශේෂයෙන් සැලසුම්කළ ළදරු කාර් සීට් (Infant Car Seat) පාවිච්චි කරන්න ඕනෙ.

ලංකාවෙ ගොඩක් දෙනා ළදරුවන්ව වාහනවල යනකොට අතේ තමයි අරන් යන්නෙ. දරුවන්ව අතේ අරන් යන එක ආරක්ෂිතයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක බලලම තේරුම් ගන්නකෝ ඒක කොච්චර අනාරක්ෂිතද කියලා.

බස්-දුම්රිය වල යන යටත්, රෝද දෙකේ සහ තුනේ රථවල යන අයටත් වෙන විකල්පයක් නැති වුනාට කාර්, වෑන් වගේ පුද්ගලික වාහන වල යන අයට ළදරුවන්ව වඩාත් ආරක්ෂිතව අරන් යන්න පුළුවන් කාර් සීට් වල දාගෙන යනවා නම්. ඇමරිකාවෙ කළ අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා, කාර් සීට් භාවිතා කළහොත් කාර් වල ගමන් කරන ළදරුවන් (අත දරුවන්) අනතුරකදී මරණයට පත්වීමේ අවදානම 71% කිනුත්, අවුරුදු 1-4 දක්වා දරුවන් අනතුරකදී මරණයට පත්වීමේ අවදානම 54% කිනුත් අඩුවන බව.

මූලිකව කාර් සීට් වර්ග තුනක් විවිධ වයස්වල දරුවන් සඳහා පාවිච්චි කරනවා.

1. පසුපසට මුහුණලන ළදරු (Rear facing infant) කාර් සීට් . : මේවා යොදාගන්නේ වයස අවුරුදු 1 ට සහ බර කි.ග්‍රෑ. 10 ට අඩු ළදරුවන් සඳහායි. පසුපසට මුහුණලූ පරිවර්ත්‍ය (Rear facing convertible) කාර් සීට්.: මේ කාර් සීට් වර්ගය බිළිඳුන් සඳහා මෙන්ම වයස අවුරුදු 1 ට හා බර කි.ග්‍රෑ. 10ට වැඩි දරුවන් පසුපසට මුහුණලා ගමන් කරවීමට යොදාගත හැකියි.

2. ඉදිරියට මුහුණලූ පරිවර්ත්‍ය (Forward facing convertible) කාර් සීට් සහ ඉදිරියට මුහුණලන (Forward facing) කාර් සීට් : මේවා වයස අවුරුදු 1 ට වැඩි, පසුපසට මුහුණලන කාර් සීට් වල ගමන් කළ නොහැකි දරුවන් සඳහා යොදාගන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 6 දක්වා දරුවන්ට මේවායේ ගමන් කළ හැකියි.

3. උස වැඩිකරන වර්ගයේ (Booster) කාර් සීට් : ඉදිරියට මූණලන කාර් සීට් වල ගමන් කළ නොහැකි, නමුත් වැඩිහිටි සීට් බෙල්ට් පාවිච්චි කිරීමට නොහැකි දරුවන් සඳහායි මේවා පාවිච්චි කරන්නෙ. සාමාන්‍යයෙන් උස 4’9″ ට අඩු අවුරුදු 4-12 දක්වා දරුවන් මේ වර්ගයේ කාර් සීට් වල ගමන් කරනවා.

සමහර රටවල වාහනවල ළමුන් ගෙනයාම සඳහා කාර් සීට් පාවිච්චි කරන එක නීතිගත කරලා තියනවා. ඉපදුන ගමන් කිරිකැටි දරුවන්වත් ඉස්පිරිතාලෙ ඉඳලා ගෙදර ගේන ඕනෙ කාර් සීට් එකේ දාගෙනයි. (කාර් සීට් එකක් නැත්නම් ළමයව ගෙදර ගෙනියන්න දෙන්න නෑ කියනවනෙ!).

මේ කාර් සීට් සවිකරන්න හොඳම තැන ලෙස සලකන්නෙ කාර් එකක නම් පිටුපස ආසනයේ මැද.  එයාර් බෑග් තියන තැන්වල කාර් සීට් සවිකරන එක හොඳ නැහැ. ඒ අනතුරකදි එයාර් බෑග් වේගයෙන් පිම්බෙනකොට ළමයින්ට හානිවෙන්න පුළුවන් නිසයි. (පැති-තිර (Side curtain) එයාර් බෑග්වලට මේක අදාල නෑ.) මේ හේතුව නිසා වයස අවුරුදු 12ට අඩු ළමයින්ව කාර්වල පසුපස අසුනේ පමණක් රැගෙන යන ලෙසට උපදෙස් දෙනවා.

අනතුරකදී ළමුන්ගේ හිස, බෙල්ල සහ කොඳුඇට පෙළට වැඩි ආරක්ෂාවක් සැපයීමට ඉදිරිපසට මුහුණලූ කාර් සීට් වලට වඩා පසුපසට මුහුණලූ කාර් සීට් සමත්. ඒ නිසා හැකි තරම් කල් දරුවන්ව පසුපසට මුහුණලූ කාර් සීට්වල රැගෙන යෑම වැදගත්. මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙයි ඔය දෙකේ වෙනස.

දරුවෙක් අරන් වාහනේ යනකොට තියන තව ප්‍රශ්නයක්නෙ එලවන්නයි, ළමයව අරන් යන්නයි දෙන්නක් අවශ්‍ය වීම. කාර් සීට් පාවිච්චි කරන එකෙන් ඒ වැඩෙත් ලේසි වෙනවා. (ආරක්ෂාව තමා ඒ ඔක්කොටම වඩා වැදගත්.)

අපේ රටේ දෙමව්පියො තමන්ටත් වඩා දරුවන්ට ආදරෙයිනෙ. (පුද්ගලික) වාහනවල යනකොට තමන් ආරක්ෂක පටි පැළඳුවෙ නැතත් දරුවන්ට ආදරේ නම් කාර් සීට් එකක් පාවිච්චි කරන්න. ඉඳල-හිටල විතරක් පාවිච්චි කරන ප්‍රෑම් (Pram), ස්ට්‍රෝලර් (Stroller) ගන්න සල්ලි වියදම් කරන එක වෙනුවට දරුවෙක්ව වාහනේ අරන් යනකොට ආරක්ෂිතව අරන් යන්න පුළුවන් කාර් සීට් එකක් මිලට ගන්න එක හොඳයි නේද?.

කන්න-බොන්න නැතිව දරුවන්ව ගඟට විසි කරන රටේ, වාහනවල යන අයගෙ දරුවන්ව තවත් ආරක්ෂා කරන හැටි කියන ලිපි ලියන එකද කරන්නෙ ඕනෙ කියල හිතුනත්, කාට හෝ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසයි මේ ලිපිය ලිව්වෙ.

පින්තූර ගත්තෙ මෙතනින්.

http://www.healthychildren.org/English/safety-prevention/on-the-go/pages/Car-Safety-Seats-Information-for-Families-2010.aspx