රජවරු පෙරලීම

ඔන්න එකමත් එක කාලෙක රජෙක් හිටියා. මේ රජා හරිම නපුරු පාලකයෙක්. තමන්ගෙ මාළිගාවට වෙලා ඉන්න මේ රජාට රට වැසියො හැමෝම හරිම බයයි. රජා කෝප වුනොත් මහා විනාශයක් වෙයි කියන බය තමා හැමෝටම තිබ්බෙ. තමන්ගෙ රාජධානියෙ වැසියන් හම්බු කරන හැම දේකින්ම කප්පම් අරගෙන තමා මේ රජා ජීවත් වුනෙ.

මේ රටේ වැසියොත් එක්ක වෙනත් රටක අය හරිම තරහයි. ඒ රටවල් දෙකේ වැසියො නිතරම යුද්ධ කර කර තමා හිටියෙ. එක දවසක් අනිත් රටේ වැසියෙක්, නපුරු රජාගෙ රටේ බොහොම ප්‍රබල කෙනෙක්ව අල්ලගත්තා. ඒ කපටි වැඩකින් අර ප්‍රබලයව දුර්වල කරලයි. ඉතින් මෙ ප්‍රබලයට මොකුත් කරගන්න බැරිව ඉන්නකොට ටිකෙන් ටික එයාව මුල් තත්වයට ගේන්න අර අල්ලගත්ත කෙනා උදව් කළා. ඒ නිසා ඒ ප්‍රබල කෙනා, අර අල්ලගත්ත කෙනත් එක්ක යාළු වුනා.

ඊට පස්සෙ අර ප්‍රබලයගෙ උදව්වෙන් නපුරු රජා ගැන විස්තර දැනගත්ත අනිත් රටේ අය, නපුරු රජාව මරා දාන්න සැලසුම් කළා. මුලින් හමුදාවක් යවල නපුරු රජාව මරන්න උත්සාහ ගත්තට වැඩක් වුනෙ නෑ. ඒකෙන් වුනෙ නපුරු රජා කෝප වුන එක විතරයි.

ඊලඟට ඒ අය නපුරු රජාගෙ රටේම වැසියො ටිකක් ඉත්තො විදියට යොදාගෙන, නපුරු රජාව මරන්න උත්සාහ ගත්තා. අර ප්‍රබලයව පාවිච්චි කරලා, නපුරු රජාව මරා දාන්න අනිත් රටේ අයට පුළුවන් වුනා.

අන්තිමට අනිත් රටේ අය, නපුරු රජාගෙ රට වැසියන්ව හුරතලුන් (?) විදියට තියාගෙන ඒ අයගෙන් වැඩ ගත්තලු.

මේ කිව්වෙ සුරංගනා කථා පොතක තියන කථාවක් නෙවේ. මෑතකදි ඊජිප්තුවෙ වුන දේවත්, ලිබියාවෙ වෙමින් පවතින දේවත් නෙවෙයි. ලංකාවෙ ඉස්සරහට වෙන්න නියමිත දේත් නෙවෙයි. How to train your dragon (ඔබේ මකරා පුහුණු කරන්නේ කොහොමද) කියන හොලිවුඩ් චිත්‍රපටියෙ කථාවයි.

“කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ” කියන්නෙ මේවටද මන්දා?

දිල්ලියේ හුටපටේ

ලංකාවෙන් පිටත් වෙලා ලෝක පොලීසියට ආපු ගමනෙදි මගෙ මුල්ම සංක්‍රාන්තිය (transit) තිබුනෙ අල්ලපු රටේ දිල්ලියෙ.

සාමාන්‍යයෙන් ගමන ආරම්භයෙදි අපේ ගමන් මළු ඔක්කොම (අතේ ගෙනියන ඒවා හැර) ගුවන් සේවයට භාර දෙන්න ඕනෙ බව ගුවන් ගමන් ගිහින් තියන අය දන්නවා ඇති. සාමාන්‍යයෙන් අපිට අපේ ගමන් මළු ලැබෙන්නෙ ගමනාන්තයෙදි. (රටක් ඇතුලෙ ගුවන් ගමන් තියනවානම් ටිකක් වෙනස් වෙන්න පුළුවන්.) කොහොම හරි මගේ ගමන් මළු ටිකත් ඒ වගේ අවසන් ගුවන් තොටුපොලින් ගන්න පුළුවන් විදියට පරිගණක පද්ධතියට ඇතුල් කළා.

මමයි පුතයි

මම ඒ ගමන ආවෙ තනියෙන්ම නෙවෙයි. අවුරුද්දකට ටිකක් වැඩි පුංචි පුතත් එක්ක. දරුවෙක්ව අතේ වඩාගෙන යන්න අමාරු නිසා ළදරු කරත්තයක, තේරෙන භාෂාවෙන් කියනවා නම් ස්ට්‍රෝලර් (stroller) එකක දාගෙන තමා ගෙනිච්චෙ. මේ ස්ට්‍රෝලර් සාමාන්‍ය ගමන් මළු එක්ක භාර දෙන්නෙ නෑ. ගුවන් යානයට ගොඩවෙනකල්ම දරුවව ඒකෙ තියාගෙන ඉන්න ඉඩ දෙනවා. නැවතත් ඊලඟ ගුවන්තොටුපලේදි ගුවන් යානයේ දොරටුව ගාවටම ඒක ගෙනත් දෙනවා.

පළවෙනි පිස්සුව කෙළියෙ අපේ ජාතික ගුවන් සේවයෙන්. “මට හැම ගුවන් තොටුපලකදිම ස්ට්‍රෝලර් එක පාවිච්චි කරන්න  ඕනෙ” කියලා පැහැදිලිව කිව්වත්, ඒක අනෙත් ගමන් මළු එක්ක ගමනාන්තයටම යවන්න පරිගණක පද්ධතියට ඇතුල් කරලා මට හරිම උදව්වක් කරන්න අපේ අය අමතක කළෙ නෑ. (ගුවන් තොටුපලේ පෝලිම් වල තියන් ඉඳලා පරක්කු කරන එක අමතක කරමුකෝ.)

ගුවන් යානය දිල්ලියට ආව කියමුකො. මමත් ඉතින් පොඩි එකාවත් අරන් (ගුවන් යානයෙන්) එලියට බැහැලා බැලුවා කෝ මගෙ ස්ට්‍රෝලර් එක කියලා. පේන තෙක් මානෙකවත් නෑ. “කමක් නෑ, ඕක ලැබෙන්නෙ නැතෑ” කියල හිතාගෙන ගුවන් යානයෙ ඉඳන් ගුවන් තොටුපොලට ඇවිදගෙන එනකොට මෙන්න දොරටුව ගාව ඉන්නවා බෝඩ් ලෑලි එල්ලගෙන කීප දෙනෙක්. නෑ, නෑ.. හිඟන්නො නෙවෙයි. ඒ ගුවන් තොටුපොලේ සේවකයො. ඒ ගුවන් යානයෙ ආපු සමහර මඟීන්ගෙ නම් තමයි බෝඩ් ලෑලි වල ලියලා තිබුනෙ. බලනකොට මගෙ නමත් තියනවා.

මට බයත් හිතුනා මගෙ මල්ලක හොර බඩුවක්වත් තිබිල අහු වුනාද දන්නෙ නෑ කියලා. (එහෙම දෙයක් දැනුවත්ව නම් ගෙනාවෙ නෑ. ඒත් කියන්න බෑනෙ.) කොහොමහරි මමත් ඇතුළුව තව කීප දෙනෙක් එතැන නැවතුනා. මම එතැන හිටපු නිලධාරිණියකගෙන් ඇහුවා මගෙ ස්ට්‍රෝලර් එක ගැන. හරි උත්තරයක් දෙන්න එයාට පුළුවන් වුනෙ නෑ. ඒක මට ලැබෙන්න සලස්සන්නම් කියලා තමා කිව්වෙ.

ගුවන් ගමනකදි එක් ගුවන් යානයකින් තවත් එකකට මාරුවෙන්න තියනවානම්, ඒ ගුවන්තොටුපලේ තියෙන ඉලෙක්ට්‍රොනික් දැන්වීම් පුවරු වලින් අදාල පර්යන්තය (terminal) හොයාගෙන යන්න මහ අමාරුවක් නෑ. හොයාගන්න අමාරු නම් නිලධාරියෙක්ගෙන් ඇහුවාම හරි. ගුවන් සේවාව මාරු කරනවානම් සමහරවිට ගුවන් යානයට ඇතුල්වීමේ ප්‍රවේශපත්‍ර  (boarding pass) ගන්න සිද්ධ වෙනවා. මේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි.

ඒත් දිල්ලියෙදි අපිව වෙනම කාමරයක් වගේ ප්‍රදේශයකට එක්කගෙන ගියා. මොකටද කියලා කවුරුත් දන්නෙ නෑ. අපිට එතන ඉන්න කිව්වා, තවත් නිලධාරියෙක් ඇවිත් කථා කරයි කියලා. වෙන කරන්න දෙයක් නැති කමට එතනට වෙලා හිටියා. පැය භාගෙකට විතර පස්සෙ මෙන්න වෙනත් නිලධාරියෙක් ඇවිත් මාත් ඇතුළුව එතන හිටපු මඟීන්ගෙන් කීපදෙනෙක්ගෙ නම් කථා කරලා එයත් එක්ක එන්න කිව්වා. අපිත් ඉතින් අර මාංචු දාපු හිරකාරයො වගේ පෝලිමට ඒ නිලධාරියා පස්සෙන් වැටිලා ගියා.

අවතැන්වූ මඟීන්

අපිව එක්කගෙන ගියෙ පර්යන්තයක ප්‍රවේශ ශාලාවකට. ඒ කියන්නෙ ආගමන/විගමන කවුළු සහ ගුවන් යානයට ගොඩවෙන ගේට්ටු අතර ප්‍රදේශයකට. මේ ප්‍රදේශයේ අපි වගේම තවත් කීපදෙනෙක් රඳවල තිබුනා. මේ ප්‍රදේශයේ ඉඳගන්න පුටුවක්වත් නෑ. ටිකක් වෙලා ඉන්නකොට තමා තේරුනේ අපිට ඊලඟ ගුවන්යානයට ගොඩවෙනකම් මෙතැන රැඳිල ඉන්න වෙනවා කියලා.

මගෙ ස්ට්‍රෝලර් එකත් ලැබිල තිබුනෙ නෑ. පුංචි පුතා හිටියෙ මගෙ අතේ. එයාව බිමින් තියන්න බෑ, එයා එහෙ මෙහෙ දුවනවා, හොඳටම නිදිමතේ. නිදිකරවන්න විදියක්වත් නෑ. ඒ මදිවට එයාට වගේම මටත් බඩගිනියි. දරුවට කෑම කවන්න තියා කිරි පොවන්නවත් විදියක් නෑ, ඉඳගන්නවත් නැති නිසා. මාත් එක්කම ලංකාවෙ ඉඳන් ආපු සොහොයුරෙක් මට උදව් කලා, මගෙ ගමන් මළු එහෙම පරිස්සම් කරමින්. දිල්ලි ගුවන්තොටුපලේ නිලධාරීන් විටින් විට කට්ටියව එක්කරගෙන ඇවිත් එතන තියලා යනවා.

මෙන්න බොලේ මළු

මේ අතරෙ ගමන් මළු තොගයක් අරගෙන ඇවිත් අපි ඉස්සරහින් තිබ්බා. බලනකොට ඒ අපි යන්න ඉන්න ගුවන් යානයේ මඟීන්ගෙ ගමන් මළු. වෙනත් ගුවන්තොටුපලකින් දිල්ලියට එන මඟීන්ගෙ ගමන් මළු ස්වයංක්‍රීය වාහක පද්ධතිය (automated conveyor system) මතින් ගුවන් යානයට යවනවා වෙනුවට, ඒවා මඟීන් සිටින ප්‍රදේශයට ගෙන ඒම මම කලින් දැකල නෑ. (ඒක ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිද කියල මට හිතුනා.) විටින් විට මේ විදියට ගෙනාපු මළු අතරෙ මගෙ ගමන් මළුත්, දරුවගෙ ස්ට්‍රෝලරයත් තියනවා දැක්කා.

එතැන හිටපු නිලධාරියෙකුට මම කිව්වා “මේ තියෙන්නෙ මගෙ ස්ට්‍රෝලරය. ඒක මට අවශ්‍යයි” කියලා. නමුත් ඔහු ඒක දෙන්න කැමති වුනෙ නෑ, ඒක කෙලින්ම ගමනාන්තයට යවන්න සටහන් කර තිබූ නිසා. (කටුනායකදි අපේ රටේ උදවිය කළ හපන්කම තමා ඒ!) මම ඔහුට තේරුම් කර දුන්නා වැරදීමකින් ඒ අය එලෙස සටහන් කර ඇති බව සහ ස්ට්‍රෝලරය ආරක්ෂාවට බාධාවක් නැති බව. (ගමන් මල්ලක් විවෘත කරනවා වගේ නොවන බව.) ඒ නිලධාරියා පමණක් නොවෙයි, ඉන් පසු වරින් වර ආ නිලධාරීන් කීපදෙනෙක්ම මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ උසස් නිලධාරීන්ගෙන් ඇසිය යුතු බව කියලා මාරු වෙන්න ඒ අය හරිම දක්ෂයි. කොහොමහරි පැය 2 කට විතර පස්සෙ, ඒ අය සමඟ කළ අරගලය නිමා වුනෙ, සුදු හමකට ඔවුන් යටත් වීම නිසයි. මගේ ප්‍රශ්නය කීප වතාවක්ම දැක්ක ඇමරිකන් ජාතිකයෙක්, ඒ නිලධාරීන්ට ‘සුද්දගෙ ඉංග්‍රීසියෙන්ම’ කථාකළ නිසාදෝ, මට ආපහු ස්ට්‍රෝලරය ලැබුනා.

ස්ටිකර් අලවමු

මේ අතරතුර, එතන සිටි මඟීන්ට ඔවුන්ගේ ගමන් මළු අඳුනගන්න සිද්ධ වුනා. ඒ, ඒවායේ තිබූ පරිගණක දත්ත සහිත ස්ටිකරය ඉවත් කොට, අලුත් ස්ටිකර් ඇලවීම සඳහායි. මුල් ගුවන් තොටුපලෙන් ගමන් මළු වලට අලවන ස්ටිකරය, පරිගණකගත පද්ධතියකින් කියවා, ස්වයංක්‍රීය වාහක මඟින් අදාල ගුවන් යානයට යොමු කිරීම වෙනුවට, දිල්ලියේදී කළ දේ ඉන්දියාවට පමණක් ආවේණික දෙයක්ද කියලත් මට හිතුනා.

විටින් විට පැමිණි නිලධාරීන්ට අපේ ගමන් බලපත්‍ර ලබාදෙන්න සිද්ධ වුනා. නරකම දෙය තමා, ඔවුන්ට ඒවා රැගෙන යන්න දෙන්න වීම. ගමන් බලපත්‍රයක් තමන්ගෙ දෑසට පෙනෙන සීමාවෙන් එහාට නොයන්න වගබලාගන්න කියලා කිව්වත්, දිල්ලියට ගියාම ගමන් බලපත්‍රය ඉල්ලන ඕනෙම කෙනෙක් අතට දෙන්න මඟීන්ට සිද්ධ වුනා. වවුලගෙ ගෙදරට ගියානම් එල්ලිලා හිටපිය කිව්වලු!

ගුවන් යානයකට ගොඩවීමට පෙර, ගමනාන්තයට යාමට හේතුව, ආරක්ෂාවට අදාල කාරණා ආදිය ඇසීම සාමාන්‍ය කරුණක්. ගුවන් යානයට ගොඩවන ගේට්ටුව අබියස කවුන්ටරයක සිටින නිලධාරියෙක් අබියසට අදාළ ලියකියවිලි සමඟ ගියවිට, ඒ ප්‍රශ්න කිරීම විනාඩියකටත් අඩු කාලයකදී නිම වෙනවා, ඔවුනට සැක හිතෙන යමක් නොවුනොත්. නමුත් දිල්ලියෙදි වුනෙ අමුතුම සිද්ධියක්.

අපි තැන තැන හිටගෙන ඉන්න අතරෙදි, නිලධාරීන් එනවා අපි ගාවට. ඇවිත් පොඩ්ඩක් පැත්තකට එක්කරගෙන යනවා. (රහසක් කියන්න වගේ. එහෙම නැත්නම් මදාවියෙක් බය කරලා සල්ලි ඉල්ලගන්න යනවා වගේ.) ඇමරිකාවට ඇතුල් වෙද්දි ඒ රටේ ආගමන නිලධාරියෙක් අපෙන් අහන ප්‍රශ්න වලටත් වඩා, ඉන්දියාවෙ ඉන්න මේ නිලධාරියා අපෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීමට විනාඩි 5 ක්වත් ගත වෙනවා. මට උදවු කළ ලංකාවෙ සොහොයුරාට ඔහුගෙ උපාධි නිබන්ධනයත් පෙන්නන්න වුනා ඒ නිලධාරියාට!

මගෙ ගුවන් ගමන් දෙක අතරතුර පැය හතරක අධික කාලයක් තිබුනා. මම හිතාගෙන හිටියෙ පුතාට කවලා, නිදි කරවන්න. ඒත් ඒ පැය 4 ක කාලයම වගේ අපි හිටියෙ හිටගෙන. ඉතින් කොහෙ කන්නද? නිදාගන්නද? වතුර ටිකක් බීලා, දරුවගෙ යට ඇඳුම් මාරු කරගෙන එන්න මම ගිය අවස්ථාවකදි, ගමන් බලපත්‍ර එකතු කරගෙන ගිය නිලධාරියෙක් මාව සොයා තිබුනා. මම  ආවහම, “මගෙන් අහන්නෙ නැතුව මෙතැනින් යන්න එපා” කියලා හරිම කාරුණික විදියට ගෝරනාඩු කරන්න ඒ නිලධාරියා ආචාරශීලී වුනා.

කොහොමහරි, දිල්ලියටම (හෝ ඉන්දියාවට) ආවේණික ඒ වැඩ ටික ඉවර වෙද්දි, ගුවන් යානය පිටත් වෙන්න තියන වෙලාවට ඉතුරු වෙලා තියෙන්නෙ පැය භාගයකට ආසන්න කාලයක්. එච්චර වෙලා තැන තැන කැරකි කැරකි කථා-බහ කරමින් හිටිය නිලධාරීන්ට අන්න එතකොට තමා ගිනි කසයො වගේ වැඩ කරන්න මතක් වුනෙ.

ගුවන් යානයට ගොඩවීමට පෙර සාමාන්‍යයෙන් කරන පරීක්ෂා එකක් වෙනුවට, ‘දිල්ලි ස්පෙෂල්’ පරීක්ෂා දෙකක්ම කෙරුවා ලෝභ නැතුව. ගමන් මළු X කිරණ පරීක්ෂාවට ලක් කිරීමට අමතරව ගමන් මළු ඇරලා බැලීම වගේ ‘එක්ස්ට්‍රා ස්පෙෂල්’ ආරක්ෂක උපක්‍රමත් දිල්ලි නිලධාරීන් මහන්සි නොබලාම කළා. කොහොම හරි ගුවන් යානය පිටත් වුනේ නියමිත වෙලාවට විනාඩි 20 ක් විතර ප්‍රමාද වෙලයි.

දිල්ලි ගුවන්තොටුපලේ සංක්‍රමණික මඟීන් වුන අපි පැය ගණනාවක් හිටගෙන අනාථයො වගේ ඉන්නකොට, දිල්ලියෙන් ආපු මඟීන් සාමාන්‍ය පරීක්ෂාවලට පස්සෙ, (දූවිලි පිරිණු පොළොවට වඩා) හොඳ සැප-පහසු පර්යන්තයේ රැඳී සිටීමේ ප්‍රදේශවල ඉඳගෙන, කෑම-බීම ගනිමින්, වැසිකිලි අවශ්‍ය පරිදි පාවිච්චි කරමින්, අවශ්‍ය නම් පොඩි නින්දක් ලබමින් වෙහෙස නිවාගෙන ඉන්න වාසනාවන්ත වුනා. ඒවා පෙනෙන සීමාවේ, කිසිම පහසුකමක් නැතිව අපිව රඳවලා තිබ්බෙ ඇයිද කියන එක මට තාමත් ප්‍රශ්නයක්.

මගේ අත්දැකීමට වඩා හාත්පසින්ම වෙනත් අත්දැකීම් ලබපු අය ඉන්න පුළුවන්. ඒත්, ඉන්දියාවෙ අගනගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙනත් ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලබාදෙන සේවාවක් ලබාදෙන්න අසමත් වුන බව මගේ අන්තිම තීරණයයි. මේ නිසා නැවතත් දිල්ලිය පමණක් නොව, වෙනත් කිසිම ඉන්දියානු ගුවන් තොටුපොලක් මගේ ගුවන් ගමනකදි සංක්‍රාන්තියක් ලෙස තෝරා නොගන්න මම තීරණය කළා. ඔබත් දිල්ලිය හෝ වෙනත් ඉන්දීය ගුවන්තොටුපලක් හරහා ගුවන් ගමනක් යන්න තීරණය කළොත්, දෙවරක් සිතන්න.

ඇමරිකාවෙ ක්‍රිකට් 2

ඇමරිකාවෙ පවත්වපු පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරඟය වන, ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ඊයෙ නවසීලන්තයත් එක්ක තිබ්බ තරඟෙ පරාද වුනානෙ. අද තරඟෙවත් තලාගන්න ලැබේවා කියලා කළ ප්‍රාර්ථනය ඉටු වුනා ඔන්න. අපේ කණ්ඩායමට ඒ ගැන සුභපැතුම්. පරදිනකොට බනින්න වගේම දිනනකොට හොඳ කියන්නත් අමතක කරන්න හොඳ නෑනෙ.

අපේ පන්දු යවන්නො අද බොහොම හොඳට පන්දු යැව්ව. ඒකට තණ තීරුවත් උදවු උනා මගෙ හිතේ. මොනවා උනත් නුවන් කුලසේකර යවපු පළවෙනි පන්දු වාරයයි, මාලිංග යවපු අන්තිම පන්දු දෙකයි මරු. අද ටිකක් හරි වැදුනෙ අපේ ගරු (සුද්දො කියන විදියට ‘මටාරා’ දිස්ත්‍රික්කයේ) පා.ම. සනා ට විතරයි. (දේශපාලනේට ආවහම බැනුම්ම තමා, නේද සනා?. “ඔන්න මම ඉන්නකොට මැච් දිනනහැටි දැක්කනේ?” කියල අහන්නත් බැරි නෑ දැන්.)

බෝලෙ උඩ එන්නෙ නැති තණ තීරුවක බොහොම ඉවසිල්ලෙන් දිල්ෂාන් ගැහුවා මදෑ. මහේල පොඩ්ඩක් ඉක්මන් වුනා. සංග නම් සුපුරුදු කලබලය නිසා යන්න ගියා. (අම්මපා නායකයා උනාම පොඩ්ඩක් සංවර ගතියක් තියෙන්නෙ එපායැ, නේද? මූ ඔක්කොටම හපන්! බොගක් චාජ් වෙලා වගේ අන්තිමට ඉක්මනට ඉවර කරන්න ඕනැ වුනෙ!) නවක ක්‍රීඩකයෙක් වුනත්, ගහෙන් ගෙඩි එන්න වගේ පිතිකරු ලයිස්තුවෙ ඉහලට එවපු තිසර පෙරේරා මරු පාරවල් ටිකක් ගැහුවා. අපේ රටේ ක්‍රිකට් අනාගතය ඔපවත් කරන්න ඒ වගේ ක්‍රීඩකයන්ට ඉස්සරහට එන්න දෙන්න ඕනෙ.

අපේ නායකයා හදිස්සි උනාට, නවසීලන්තෙ නායකයාගෙ පන්දු යැවීමයි, පන්දුවට පහරදීමයි බොහොම පරිණත ක්‍රීඩකයෙක්ගෙ ගති ලක්ෂණ පෙන්නුම් කළා. අද වගේම ඊයෙ තරඟෙදිත් දක්ෂතා පෙන්නපු නිසා ඩැනී විටෝරිට තරඟාවලියේ ක්‍රීඩකයා සම්මානය ලැබුනා. දින්නත්, පැරදුනත් සංවර විදියට හැසිරෙන එක නායකයෙගෙ ලක්ෂණයක් වෙන්න ඕනැනෙ.

ජ්‍යේෂ්ඨයන් විවේක ගන්වා නවකයින්ට තැනදී තිබෙන ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ වලදි පැවැත්වෙන තුන්-කොන් තරඟාවලියෙදිත්, අපේ කණ්ඩායමට හොඳට ක්‍රීඩා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු!

ඇමරිකාවෙ ක්‍රිකට්

අපි කොල්ලො කුරුට්ටො (කිව්වට කොල්ලො කුරුට්ටොත් ඉන්න තාත්තලා) ටිකක් ඇමරිකාවෙදි එකතුවෙලා ඉඳල හිටල ක්‍රිකට් පාරක් ගහනවා තමා. අනේ ඉතින් තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කිව්ව වගේ අපේ මට්ටමට අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා.

අනේ අපොයි ලංකාවෙ ජාතික කණ්ඩායමත් ඇමරිකාවට ඇවිදින් අපේ මට්ටමටම වැටිච්චි නොවැ! අපි ගහන ක්‍රිකට් හොඳයි කියලා හිතුනා ජාතික කණ්ඩායමේ ‘වෘත්තීය’ ක්‍රීඩකයන්ගෙ වැඩ දැක්කහම.

භූමි දෝෂයක්ද මන්දා ඇමරිකාවෙ තිබ්බ පළවෙනි (ජාත්‍යන්තර) ක්‍රිකට් තරඟෙ උනත් නවසීලන්ත කාරයන්ට ලකුණු 120 කට වඩා ගහගන්න බැරි උනානෙ. ලෝක කුසලාන කාලෙ අපේ කට්ටිය කරපු පිති හරඹවල හැටියට මම හිතුවෙ ඕවර් 10 න් විතර සෙල්ලම ඉවර වෙයි කියලා. මොන, අපේ අයට ඕවර් 20 ගහගන්නත් බැරි වුනානෙ හැබෑට! ලකුණු 92යි, ඔක්කොම ඕල් අවුට්! ලැජ්ජාවේ බෑ!!

පිට්ටනියෙත් වැරැද්දක් තියෙන්න ඇති මගෙ හිතේ. බෝලෙ බිම දිගේම යන්නෙ අප්පා! අපිනම් දහ අට බම්පර් දානවා බැරි කමට, ඒත් ඉතින් ඔය ඉන්ටර්නැෂනල් ගහන අයගෙ බෝල බිම් බම්පර් වෙන්නෙ පිට්ටනියෙ වැරැද්දට වෙන්ටැ.

ඒත් ඉතින් ‘නටන්න බැරි මිනිහට පොලොව ඇදයි’ කිව්ව වගේ මොනව උනත් පිට්ටනියෙයි, කාසියේ වාසිය නොලැබිච්ච එකෙයි වැරදි කියන්නෙ ගත්තොත් ඉතින් මොකටද දක්ෂතාවය කියලා එකක්. පහුගිය දවස්වල නම් ‘මන්ත්‍රීතුමා’ නිසා තරඟ පැරදුනා කියතහැකි. ඒත් අද මොකද උනේ? මන්ත්‍රීතුමාව කපලා දාපු එකෙන් ගත්ත වාසියක් නෑ. (ඉතින් එතුමාට දැන් කියතෑකි ‘මම නැති උනාම දැක්කනෙ බොලා කාපු කෑම’ කියලා.)

සමහරු පන්දු රැකපු හැටි දැක්කහම දුක හිතුනා. බෝල දාපු ටිකනම් හරියට කළා මගෙ හිතේ..ඒත් බැට් කිරිල්ල… එය බැලූ දෑස කුමටද?

පැරදිච්ච එක අමතක කරලා හෙට ගේමවත් තලාගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!! ලංකාවට ජය වේවා!!

දවසක් පැල නැති හේනේ

මේ දවස්වල ලංකාවට මදි නොකියන්න වහිනවනෙ. වැස්ස එපාවෙලා ඇති සමහරුන්ට. වැස්සත් එක්ක බැඳුනු සිංහල ගීත ගණනාවක්ම තියෙනවා.

ඒත් ගුණදාස කපුගේ මහත්මයා ගායනා කරන “දවසක් පැල නැති හේනේ” ගීතය කියන්නෙ වැස්ස ගැන නෙවෙයි. අම්මා ගැන ලියැවුණු සිංහල ගී අතරින් මුල් තැනක් හිමි කරගන්නා මේ ගීතය රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ නිර්මාණයක්.

දෑසට කඳුලු බිඳු නංවන්නට සමත් මේ ගීතයේ මුල් කොටසින් කියන්නේ මුවාවෙන්න ගසක්වත් නැති හේනකදි අකාලයේ වැටුන වැස්සෙන් තමන්ගෙ පුතා නොතෙමා තියාගන්න ඔහුව තුරුළු කරන් ඒ අම්මා තෙමුන හැටි.

අපේ අම්මලා එහෙමයි. තමන් ගැන නොසිතා, තමන් තෙමුනත් දරුවන්ව වැස්සට නොතෙමා ඉන්න තරම් අපේ අම්මලා අපිට ආදරෙයි. ඒ ගැන කවි, ගීත කොච්චර ලිව්වත් මදි. ඒ ආදරේ ගැන කියන්න, ලියන්න වචන මදි.

ලංකාවෙ අම්මලා එහෙම වුනාට, ඇමරිකාවෙ අම්මා කෙනෙක් වැස්ස වෙලාවකදි කළ වැඩක් කියන්නම්. මම දැනට ඉන්නෙ ඇමරිකාවෙ පොඩි නගරෙක කියලා කලින් කියලා ඇති. දවසක්දා මේ නගරය මැදින් බස් එකක යද්දි දුටු සිදුවීමක් මේ.

එදා පොඩි වැස්සක් තිබුනා. මොරසූරන වැස්සක් නෙවෙයි, ඒත් පොදයකුත් නෙවෙයි. මේ වැස්ස මැදින් පවුලක්, ඒ කියන්නෙ අම්මයි, තාත්තයි, අවුරුදු 4-5 ක විතර පුතෙකුයි පයින් යනවා. ඉස්සරහින් අම්මා යනවා හොඳට කුඩයක් ඉහලගෙන. පිටිපස්සෙන් පුතා එනවා වැස්සෙ තෙමි-තෙමි. කොල්ලා වැස්සෙ තෙමෙන්න ආසාවෙ තෙමුනා කියලා කියන්නත් බැරි, පාර අයිනෙ තියන කඩ වල පියැසි තියෙනවානම් ඒවා යටින් තමා එන්නෙ නොතෙමෙන්න.  ඔළුවට අතකුත් තියාගෙනයි යන්නෙ. තාත්තා අන්තිමට එනවා තෙමි-තෙමි පුතා වගේම.

‘දවසක් පැල නැති හේනේ’දි ඒ අම්මා පුතාව තුරුළු කරන් තමන් තෙමුනත්, මේ අම්මා පුතාට තෙමෙන්න කියලා තමන් නොතෙමි, කුඩයක් ඉහලගෙන යනවා.

ඒ පුතා ලොකුවුන දවසට (සිංහල දන්නවානම් සහ ගීත රචකයෙක් වුනොත්) ලියාවි ගීතයක්

“දවසක්දා මහ පාරේ
අකාල පොඩි වැහි වැස්සා
කුඩයක් ඉහලාගෙන නුඹ යන්න ගියා අම්මේ
වැස්සේ තෙමි-තෙමි පස්සෙන් ආවා මම අම්මේ” කියලා.

ප.ලි.

ලංකාවෙ ඉන්න හැම අම්මා කෙනෙක්ම පුතාව තුරුළු කරන් තෙමෙන අම්මලා නෙවෙයි. ඇමරිකාවෙ ඉන්න හැම අම්මා කෙනෙක්ම පුතාව තෙමෙන්න ඇරලා තමන් කුඩ ඉහලගෙන යන අම්මලාත් නෙවෙයි.

ඇමරිකාවෙ ඒ අම්මා කුඩයක් ඉහලන් නොතෙමි යන්න හේතුවක් තියෙන්න ඇති. පුතා තෙමි-තෙමි යන්නත් හේතුවක් තියෙන්න ඇති. (ඒ හේතු සාධාරණ හේතු වෙන්නත් ඉඩ තියනවා.)

පින්තූරෙ ගත්තෙ මෙතැනින්.

මගේ නම (අපිජිහ්විකාවෙන්) ඛාන්

මමත් “මයි නේම් ඉස් ඛාන්” චිත්තරපටිය (ගෙදර ඉඳන්) බැලුවා. ඕන තරම් අය ඇති තරම් ඒ චිත්තරපටිය ගැන කථා කරල තිබ්බ. ඉතින් මමත් ඒ ගැනම ලිව්වට මොකෝ?

ශාරුක්ගේ රඟපෑම නම් බොහොම ඉහළයි. දෙන්න හදන පණිවිඩෙත් වැදගත් එකක්. ඒ උනාට මොකද ඒක තවත් හින්දි චිත්තරපටියක් විතරක් වගේ මටනම් තේරුනෙ.

“තවත් හින්දි චිත්තරපටියක්” කිව්වෙ සියල්ල (නැතත් ටිකක් හරි) සතුටින් නිමාවන, අවසානය හිතාගන්න පුළුවන්, අභව්‍ය සිද්ධි අඩු නැති චිත්තරපටියක් නිසයි. (හොලිවුඩ් චිත්තරපටි ඔක්කොටම වඩා අභව්‍යයි. කොහොමද අප්පා මකුළුවෙක් කෑවහම අතින් මකුළුදැල් විදින්න පුළුවන් වෙන්නෙ?)

කොච්චර හොඳ කථාවක් වුනත් කරන් ජොහාර්ට වැරදුන තැන් කීපයක් තිබ්බා. එකක් තමා ඇමරිකාවෙ පොඩි නගරෙකට ගංවතුර ගැලුවට පස්සෙ වෙනදේ. ඛාන් කැලිෆෝනියාවෙ ඉඳන් වාහනවල එල්ලෙ එල්ලි එන්න දවස් දෙකක්වත් යනවා. එතකං ඇමරිකන් කාරයෝ මොකද කළේ. අනික ඛාන්ට එන්න පුළුවන්නම් ඇයි ඇමරිකන් කාරයන්ට බැරි? ඇමරිකන් කාරයෝ (තමන්ගෙ රටේ) අනිත් මිනිස්සුන්ට කෙල වෙලා ගියත් කමක් නෑ කියලා හිතලා පැත්තකට වෙලා බකං නිලා ඉන්න සත්ව කොට්ඨාසයක්ද? ඇමරිකාවෙ නැගෙනහිර මායිමක තියන (ජෝර්ජියා වල) නගරෙක මිනිස්සුන්ට උදව් කරන්න බටහිර කොණේ කැලිෆෝනියාවෙන් මුස්ලිම් මිනිස්සු එන්න ඕනෙද? ඇමරිකාවෙ හෙලිකොප්ටර් එහෙම නැද්ද ඔය ගංවතුරකදි එහෙම මිනිස්සු බේරගන්න? (මේ සිද්ධිය ඉන්දියාවෙ උනා නම් ඔන්න ඇත්ත කියලා හිතන්න තිබ්බා.) හින්දි චිත්තරපටියක වීරයා පොර වෙනවා කියන්නෙ ඕකට තමා.

අර පල්ලියක ඉඳන් අන්තවාදී මත පතුරවලා සෙනඟ බඳවාගන්න දොස්තර වගේ මෝඩ ත්‍රස්තවාදියෝ ඉන්නවද මේ ලෝකෙ? හොර රහසෙ කට්ටියව බඳවගන්නව මිස කවදාවත් නොදැක්ක මිනිස්සු ඉන්න තැන්වල ප්‍රසිද්ධියේ ඔය වගේ රැස්වීම් තියනවද?

තමන් උපයන දෙයින් හරියටම මැනලා කොටසක් පිනට දෙන අවංක මුස්ලිම් අය ඉන්නවද? (එහෙම අය ඇති. මුස්ලිම් අය අවංක නෑ කියල කිව්ව නෙවේ ඔන්න.) අනික සාමාන්‍යයෙන් පිනට දෙන ටික දෙන්නෙ පල්ලියටනෙ. ඛාන් සල්ලි 9/11 වලින් විපතට පත් අයට දෙනකොටත් නුහුරු ගතියක් වගේ දැනුනෙ ඒ නිසා වෙන්න ඇති.

ඊලඟ විහිළුව ඇමරිකාවෙ ජනාධිපතිවරණෙ. ඇමරිකාවෙ ජනාධිපතිවරණෙ නොවැම්බර් මුල සතියෙ තිබ්බට ජනාධිපති වැඩ භාරගන්නෙ ජනවාරිවල. ‘පත්වූ’ ජනාධිපති නිල වැඩවල යෙදෙන්නෙ නෑ ජනවාරි වෙනකම්. ඛාන් එතකොට මුණගැහෙන්නෙ ඇමරිකාවෙ ඇත්ත ජනාධිපතිව නෙවේ. ‘පත්වූ’ ජනාධිපතිව විතරයි. (බුෂාව මුණගැහුනා කිව්ව නම් ඔන්න හිතාගන්න පුළුවන්, ගෙදර යන්න ඉන්න එකාට මොකාව මුණගැහුනත් කමක් නැති නිසා.)

“මගෙ නම ඛාන්. මම ත්‍රස්තවාදියෙක් නෙවේ” කියලා රිස්වාන් ඛාන් කිව්වහම හැම මුස්ලිම් පුද්ගලයම ත්‍රස්තවාදියො නෙවේ කියල අදහස එනවා තමා. ඒත් “මගෙ නම xxxx. මම ත්‍රස්තවාදියෙක්මි” කියලා කවුරුත් කියන්නෙ නැති බව අමතක කරන්නත් හොඳ නෑ.

කොහොම උනත් “මයි නේම් ඉස් ඛාන්” කියන්නෙ මම ආසාවෙන් බලපු හින්දි චිත්තරපටියක් කියලා කියන්න ඕනෙ.

ආතර් සී. ක්ලාක්ගේ මළගෙදර

Sir Arthur C Clerkආතර් සී. ක්ලාක් අපේ රටේ නොඉපදුනාට ලංකාවෙ පුරවැසියෙකුට ලබාගන්න පුළුවන් උපරිම ගෞරවය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම්ලත් අතලොස්සක් දෙනා අතරට එක් වුන ලංකාවෙ සම්මාන පුරවැසියෙක් බව නොදන්න කෙනෙක් නැතුව ඇති.

ලංකාවෙ විශ්වවිද්‍යාලවල පරිපාලන ප්‍රධානියා උප කුලපති වුනාට කුලපති කෙනෙකුත් ඉන්නවා උත්සව අවස්ථාවලදි විතරක් සහභාගි වෙන. ආතර් සී. ක්ලාක් මැතිතුමාත් මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති විදියට හිටියා 1979 ඉඳන් 2002 වෙනකම්. (2002 දි අපේ රටේ තවත් බුද්ධිමතෙක් වන විද්‍යාජෝති, ආචාර්ය රේ විජේවර්ධන මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්වුනා.)

අපි මොරටුව විශ්වවිද්‍යාලයට ඉගෙනගන්න යනකොට කුලපති වෙලා හිටියෙ ආතර් සී. ක්ලාක් මැතිතුමා. අපි විශ්වවිද්‍යාලයේ ඉන්න අතරතුර තමා එතුමා වෙනුවට ආචාර්ය රේ විජේවර්ධන කුලපති වෙලා ආවෙ. මේ වෙනස අපිට මහ ලොකු දෙයක් නොවුනට අපේ බැචෙක් වුන “සුදා”ටනම් සෑහෙන දුක හිතෙන සිද්ධියක් වුනා.

කැම්පස් යන කාලෙ කාගෙ හරි මළගෙයක් ආරංචි වුනොත් පුළුවන් විදියට උදව් කරනවනෙ හැමෝම. සමහරු සම්මාදමක් දීලා ෂේප් වෙන අතරෙ සුදා වගේ සමාජ සේවකයො සැදී පැහැදී ඉන්නවා ලෙක්චර්ස් අතපසු කරගෙන හරි මළගෙදර උදව්වට යන්න. (ඒකෙ වැරැද්දක් එහෙම කිව්වා නෙවෙයි ඔන්න.) ඒ විදියට රටේ හතරකොණේම තිබ්බ මළගෙවල්වල කොඩි ඇදලා, මරණ දැන්වීම් අලෝලා, නිදි මරලා අත්දැකීම් එකතු කරගත්ත ටික දෙනාගෙන් කෙනෙක් තමා සුදා.

දවසක්දා මළගෙදරක නිදිමරලා බෝඩිමට ඇවිත් දවල් නිදාගන්න අතරෙ සුදා හීනයක් දැකල තියනවා. ඒ හීනය මෙහෙමයි.: ආතර් සී. ක්ලාක් මැතිතුමා හදිසියේ (කිව්වට හදිසියෙම නෙවෙයි, ලෙඩ වෙලානෙ හිටියෙ කාලෙක ඉඳන්) මිය පරලොව යනවා. 1956 ඉඳන් ලංකාවෙ ජීවත් උනාට එතුමටත් නෑදෑ-හිත මිත්‍රයෝ ඉන්නවනෙ උපන් රටේ. අනික කවුද අකමැති තමන්ගෙ මිනිය උපන් මව් බිමට පෝර වෙන්න පසට යට කරනවට. ඒ නිසා එතුමගෙ නිසල දේහය ඇමරිකාවට අරගෙන යනවා අවසාන ගෞරව දක්වන්න.  (ඇමරිකාවට..? හෝව් හෝව්…මට වැරදුනා එහෙම නෙවෙයි. ආතර් සී. ක්ලාක් ඉපදුනෙ බ්‍රිතාන්‍යයෙ තමා. ඒත් සුදා හිතන් ඉඳල තියෙන්නෙ එතුමා ඇමරිකාවෙ ඉපදුනා කියලනෙ. ඉතින් හීනෙ හැටියට එතුමගෙ දේහය අරන් යන්නෙ ඇමරිකාවට හොඳේ.)

ඉතින් කැම්පස් එකේ මළගෙදරක් කිව්වහම නොගිහින් පුළුවනෑ. අනික කැම්පස් එකේ ලොකුම ලොක්කගෙනෙ. අනික එහෙ ලංකාවෙ විදියට කොඩිවැල් අදින්න, “මොරටුව සරසවි සිසුන්ගේ සාතිශය සංවේගය” කියලා තොරණ ගහන්න, අමාරුවෙන් සල්ලි එකතු කරලා ඇඳගත්ත බැච් එකේ සංවේගය පළකරන බැනර් එක එල්ලන්න, ලයිට් කණුවල-බෝක්කු වල මරණ දැන්වීම් අලවන්න කවුද ඉන්නෙ? අනිවා යන්නම ඕනෙනෙ මළගෙදර. ඉතින් සල්ලි සල්ලි කියලා බලන්න්නෙ නැතුව ප්ලේන් එකේම ඇමරිකාවට යනවා.

එහෙම ගිහින් මළගෙදර ඔය කිව්ව වැඩ කරලා, නිදි මරන අතරෙ ඕමි අතක් බලලා, කැරමකුත් ගහලා, බූරු ගහන තැනටත් පොඩ්ඩක් ඔළුව දාලා, ආයෙත් 304 එහෙමත් බලලා කම්මැලි හිතුනහම ඇමරිකාවෙ පාර අයිනෙ තියන බෝක්කුවක් උඩට වෙලා බුලත් විටක් කකා, සිගරට් එකකුත් උර උරා, ඕප දූප කථා කර කර ඉන්නව.

අන්න ඒක තමා සුදා හීනෙන් දැක්කෙ. ආතර් සී. ක්ලාක් මහත්තය කුලපති ධූරයෙන් ඉවත් වුනාම කැම්පස් එකේ කොල්ලො විදියට එතුමගෙ මළගෙදර යන්නෙ කොහොමද? ඇමරිකාවෙ බෝක්කුවක් උඩ විටක් කකා ඕපදූප ගහන්නෙ කොහොමද? මොරටුව සරසවි සිසුන්ගේ සාතිශය සංවේගය කියලා තොරණක් ගහන්නෙ කොහොමද? අන්න ඒකයි සුදා දුක් වුනේ.

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

http://www.clarkefoundation.org/acc/biography.php