සතුටු වීම

ලංකාවෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නොමිලෙනෙ. නිකං දෙන දේවල වටිනාකමක් නෑ කියලා කියන නිසාද කොහෙද විශ්වවිද්‍යාල සිසුන්ගෙන් හැම අවුරුද්දෙම ලියාපදිංචි ගාස්තු විදියට බොහොම පොඩි ගාස්තුවක් අය කරගන්නවා.

අපි විශ්වවිද්‍යාලයේ ගිය මුල් අවුරුද්දෙ මේ ගාස්තුව රුපියල් 50 යි. ඒත් ඊලඟ අවුරුද්දෙ ලියාපදිංචි ගාස්තුව රුපියල් 200 කළා. 300% කින් ගාස්තු වැඩි කළාම ඉතින් ඇඟට දැනෙනවනේ. ඉතින් බොහෝ දෙනා මේ ගාස්තු වැඩි කිරීමට විරුද්ධව තැන තැන කථාබහ කළා.

“නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන, අධ්‍යාපනය විකුණන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත හෙළා දකිමු” කියලවත්, එහෙම නැත්නම් “ලියාපදිංචි ගාස්තු අහෝසි කරවු” කියලවත් පොස්ටර් එල්ලගෙන උද්ඝෝෂණ කරන්නෙ නැතුව අපි සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුනා.

අපේ පීඨ ශිෂ්‍ය සංගමයෙ ප්‍රමුඛත්වයෙන් මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල බලධාරීන් එක්ක සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් විදියට ලියාපදිංචි ගාස්තුව රුපියල් 100 දක්වා අඩු කළා. මේ තීරණය ශිෂ්‍ය සංගම් නිලධාරීන් හරහා සිසුන්ට දැනුම් දුන්නහම හැම දෙනාම බොහොම සතුටු වුනා “රුපියල් 100 ක් ම අඩු කරගත්තනෙ” කියලා. “කොහොමද අපේ වැඩ? අපි කට ඇරියොත් ඉතින් නෝ හෙල්ලුම්! පොල් මැල්ලුම්!” කියලා කියපු අයත් ඉන්න ඇති.

රුපියල් 100 කින් ගාස්තු අඩු කරගත්තා කියලා සතුටු වුන බොහොමයක් අයට තේරුනේ නෑ රුපියල් 50 කින් ගාස්තු වැඩි වුන බව! ඇත්තටම දුක් වෙන්න ඕනෙ සිද්ධියක්නෙ වුනෙ..

ඊයෙ ඕස්ට්‍රේලියාව පරාද කරලා ක්‍රිකට් තරඟය දිනුවහමත් ගොඩක් දෙනා “මරු මැච් එක! ඊලඟ මැච් එකත් මේ වගේම තිබ්බොත් මරු!” කියලා සතුටු වුනා. ඒත් ඒ සතුටු වීම ලියාපදිංචි ගාස්තු අඩු කිරීමෙන් සතුටුවීමට සමානයි කියලා මට හිතුනා.  ක්‍රිකට් ක්‍රීඩාවේ තියන වින්දනය උපරිම වුන තරඟයක්  ජයග්‍රහණයෙන් සතුටු විය යුතුයි.

නමුත් අපේ මුල්පෙළ පිතිකරුවෝ ටිකක් පරීක්ෂාකාරී වුනානම් ජයග්‍රහණය ඊටත් වඩා ඉහළින් සමරන්න තිබුනා. හරියට ගාස්තු වැඩි කරන්නෙම නැතිව තිබුනා නම් වගේ! ඒ වගේ ජයකදි, ඊයේ ජයග්‍රහණය වගේ විශේෂයෙන් සමරන්න දෙයක් නොතිබෙන්න පුළුවන්. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ පරිණතබව වගේම ලෝක කුසලාන තරඟ මාලාවට සූදානම පෙනෙන්නේ වගකීමෙන් තරඟ කළොත් විතරයි.

විභාගය නිමාවී කැසිකිලි ගිය සඳ

මේ දවස්වල සිංහල බ්ලොග් අවකාශය මුත්‍රා කතන්දරවලින් පිරී ඉතිරී යනවා. කතන්දරකාරයා පටන්ගත්ත චූ කතන්දර දැන් වසංගතයක් වගේ බෝවෙලා, හැමෝම තමතමන්ගේ චූ කතන්දර ලියනවා. මගෙ චූ කතන්දර ලියන්න ගියොත් අපි ආව-ගිය තැන් වලින් ගහලා පන්නයි. ඒවා ඒ තරමටම අභ්‍යාසයි. චිකේයියා…ඒත් අඩු තරමේ එක චූ කතාවක්වත් නොකියා ඉන්න හිතෙන්නෙත් නෑ.

විශ්වවිද්‍යාල ජීවිතේ පළවෙනි සමාසිකය අවසානයේ විභාගෙ, සිංහලෙන්ම කිව්වොත් ෆස්ට් සෙමෙස්ටර් එන්ඩ් එක්සෑම් එකත් ආවා. හරියට ලෙක්චර්ස් යන්නෙත් නැතුව, පාඩම් කරන්න කියලා ගන්න ඕනෙ පොත් මොනවද කියලා දන්නෙත් නැතුව, පරණ ප්‍රශ්නපත්තර කියලා දෙයකුත් (හොයාගන්නවත්) නැතුව විභාග කරන්න ගියා කියමුකො! උසස්පෙළ සුපර් විදියට පාස් උනත් (අනේ පොර වෙන්න කිව්ව නෙවෙයි ඕං), කැම්පස් ඇවිත් කෙලපු පිස්සුවල හැටියට (සහ කැම්පස් දෙකකටම ගිය හැටියට) ඒ විභාග ටිකට කෙල වුනා කියලා ලියනකොටම තේරුනා.

අනේ ආසාවෙන් ඉගෙනගන්න හිටිය විෂයකට දුන්නනෙ මරු ප්‍රශ්න පත්තරයක්. පන්තියෙ උගන්නපු දේවල්වලින් ප්‍රායෝගික විදියට තමා අහල තිබ්බෙ ප්‍රශ්න..ඒත් පන්තියෙදි අපිට ඉගෙනගන්න ලැබුනයැ.. හිටියනෙ ගැටා හෙවත් ගැටළුවා.. “සර් අයි හෑව් අ ක්වෙස්චන්” කියලා මූ අහන දේට අඹරලා උත්තර දිදී සර්ලා ඉගැන්නුවා මිස තේරෙන විදියකට උගන්නන්න ලැබුනේ නෑනෙ. ඉතින් ඒ පේපර් එකට කෙල උනා කියලා ලියනකොටම තේරුනා. (ගැටෝ, තෝ අහුවෙයංකො..)

කැම්පස් එකේ පළවෙනි දවසෙ ඉඳලම මගේ මිත්තරයා තමා කොටා. (මූ අපේ ඉස්කෝලෙවත් නෙවෙයි..එදාමයි දැක්කෙ. කරුමෙට මටම සෙට් උනා.) කොටාගැන කලින් කතාවකත් කියලා තියෙනවනෙ. ඉතින් කොටයි, මායි පේපර් එක ලියලා (ලියන්න උත්සාහ කරලා) පැය ගානක් තිස්සෙ තියන චූ බර නිදහස් කරගන්න ගියා කැසිකිලියකට. විභාග ශාලාව ගාව තියන කැසිලිකියකට චූ කරන්න යන්න හිටියනම් තාම පෝලිමේ ඉන්නවා. ඒ නිසා කැන්ටිමක් ගාව තියන (ඒ කාලෙත් හද්ද) පරණ කැසිකිලියකට තමා ගියෙ.

ඉතින් කොටයි, මායි පේපර් එකට ලියපු හැයි කථා කරකර චූ කරනවා. නොදන්න දේවල් වලට බොරු ලියපු ඒවයි, ගණන් වැරදියට හදපු ඒවයි කියෝ කියෝ නිදහසේ චූ බර නිදහස් කරගන්නවා. චූ කරලා ඉවරවෙලා (කලිසමේ zසිප් එකත් දාගෙන) යන්න හදනකොට අපිට පිටිපස්සෙ චූ කර කර හිටපු කවුද අහනවා “කොහොමද පේපර් එක. පන්තියෙ උගන්නපු දේවල්ම නේද?” කියලා.

අපිත් බැලුවාම කවුද මේ කියලා, හුටා! මේ ඒ විෂය උගන්නපු සර්ල දෙන්නගෙන් එක්කෙනෙක්!! අපි දෙන්නගෙ කථාව එහෙමපිටින්ම අහගෙන ඉඳලා පොර! දැන් මොනවා කියන්නද..බොරු කියන්නයැ. ඇත්තම කිව්වා “සමහර දේවල් දන්නෙ නෑ සර්, බොරුත් ලියලා ඇති” කියලා. ඊට පස්සෙ ඉක්මනින්ම එතැනින් මාරු වුනා.

කොහොමහරි ප්‍රතිඵල එනකොට ඒ විෂයට කොටාට B එකක්ද කොහෙද. මට ලොකුවැයින් C එකක්! මදෑ කොළා!! විභාගෙට ලියපු හැටියට තමා ප්‍රතිඵල. බැච් එකේ 500 කගෙන් විතර එකම එක A+ එකක් තිබ්බා. වැඩේ කියන්නෙ ඒ A+ එක තිබ්බ එකා තමා ඒ සෙමෙස්ටර් එකේ බැච් ටොප්.

හොඳම වැඩේ කියන්නෙ පළවෙනි අවුරුද්ද අන්තිමේ කැමති ක්ෂේත්‍රය තොරගනිද්දි, ඒ කියන්නෙ ෆීල්ඩ් සිලෙක්ෂන් වලදි වෙන වෙන විෂයන්ට A තිබ්බත්, කොටයි, මායි දෙන්නම පළවෙනි කැමැත්ත විදියට දැම්මෙ අර විෂයට අදාල ක්ෂේත්‍රයමයි. කරන්න උනෙත් ඒකම තමා! පස්සෙ කාලෙක කොටා ඒ විෂයම කැම්පස් එකේ ඉගැන්නුවත් එක්ක.

ප.ලි.

ගැටත් පඬියා වගේ ප්‍රශ්න ඇහුවට පොරටත් ඒ විෂයට තිබ්බෙ B එකක් වගේ මට මතක. පොර ඉගෙනගත්තෙත් ඒ විෂයට අදාළ ක්ෂේත්‍රයෙන්. ඒ කිව්වෙ මායි, කොටයි, ආතර් සී ක්ලාක්ගෙ මළගෙදර යන්න හිතන් හිටි සුදයි එක්කම තමා. ගැටා නම් ඒ විෂයෙන්ම පශ්චාත් (හෙවත් පස් තාච්චි) උපාධියකට ඉගෙනගන්නවා මේ දවස්වල.

පස්සෙ හිලක්

කතන්දර චූ කරන එක ගැන කතන්දර කියනකොට ඒව ප්‍රසිද්ධියෙ නොකියන ටැබූ දේවල් කියලා කට්ටිය කියල තිබුනනෙ. ඇත්ත තමා! අපේ සමාජයේ චූ කරන එක, කක්ක කරන එක ගැන විතරක් නෙවෙයි, ඒවට පාවිච්චි කරන ඇඟේ අවයව වල නම් පවා ප්‍රසිද්ධියේ කියන්නෙ නෑනෙ. සමහරුන්ට ‘පස්ස’ කියන්නෙත් කුණුහරුපයක්. අනිත් ඒව ගැන කවර කථාද?

ඉස්කෝලෙ යන කාලෙදි අපි කළ පොඩි බයිට් වැඩක් ගැනයි කියන්න යන්නෙ. කකුල් දෙකටම දිග කලිසම් අඳින අයියලා වුනාට පස්සෙ අර කොටම කොට කලිසම් අඳින මල්ලිලව බයිට් කරන්න බයක් නෑ. (මොකද කොට කලිසම අඳින කොට අපිත් ඕන තරම් බයිට් වෙලා තියන එකේ වාඩුව ගන්නත් එපයැ.) ඉතින් කකුල් දෙකටම දිග කලිසම් ඇඳගෙන අයියලා ඉස්කෝලෙ වටේ යනවා බයිට් කරන්න මල්ලිලා හොයාගෙන. (අනේ ශාරීරික වද හිංසා එහෙම කළෙ නෑ ඒ අයියලා.)

ඔහොම යන අතරෙ දකින සමහර මල්ලිලට “මල්ලි, මල්ලි… ඔයාගෙ පස්ස පැත්තෙ හිලක්” කියලා අයිය කෙනෙක් කියන්නෙ සහෝදර ප්‍රේමයටමයි. අනේ ඉතින් ඒ අහිංසක මල්ලියත් පස්ස පැත්ත අතගාලා බලලා “බොරු කියන්නෙ එපා අයියෙ..හිලක් නෑ” කියලා කියන්නෙ ‘හ්ම්.. අපි අහුවෙයි ඔය අයියලගෙ බොරු වලට’ කියලා වීරයා වගේ යටි හිතෙන් කියන ගමන්.

අන්න එතකොට තමා එච්චර වෙලාවක් නිහඬව හිටපු අනිත් අයියලා ටිකත් මල්ලියව වට කරගෙන, මහා හයියෙන් “මල්ලි හොඳටම ෂුවර්ද පස්සෙ හිලක් නෑ කියලා?”  කියල අහන්නෙ වටේ පිටේ ඉන්න අනිත් අයටත් ඇහෙන්නෙ. මල්ලියත් ලැජ්ජාවෙන් ආයෙත් පාරක් පස්ස අතගාලා “හිලක් නෑ අයියෙ” කියලා හෙමීට කියනවා.

“ඈ බොල. උඹ බොග (කක්කා) දාන්නෙ කොහෙන්ද? පස්සෙ නැතුව වෙන කොහෙවත් හිලක් එහෙම තියනවද බොට?” කියලා මහ හයියෙන් ඇහුවාම මල්ලියා ‘රුං’ ගාලා මාරු වෙන්නෙ යාළුවන්ගෙ සරදම් හිනා හඬ අතරින්.

ආතර් සී. ක්ලාක්ගේ මළගෙදර

Sir Arthur C Clerkආතර් සී. ක්ලාක් අපේ රටේ නොඉපදුනාට ලංකාවෙ පුරවැසියෙකුට ලබාගන්න පුළුවන් උපරිම ගෞරවය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම්ලත් අතලොස්සක් දෙනා අතරට එක් වුන ලංකාවෙ සම්මාන පුරවැසියෙක් බව නොදන්න කෙනෙක් නැතුව ඇති.

ලංකාවෙ විශ්වවිද්‍යාලවල පරිපාලන ප්‍රධානියා උප කුලපති වුනාට කුලපති කෙනෙකුත් ඉන්නවා උත්සව අවස්ථාවලදි විතරක් සහභාගි වෙන. ආතර් සී. ක්ලාක් මැතිතුමාත් මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති විදියට හිටියා 1979 ඉඳන් 2002 වෙනකම්. (2002 දි අපේ රටේ තවත් බුද්ධිමතෙක් වන විද්‍යාජෝති, ආචාර්ය රේ විජේවර්ධන මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්වුනා.)

අපි මොරටුව විශ්වවිද්‍යාලයට ඉගෙනගන්න යනකොට කුලපති වෙලා හිටියෙ ආතර් සී. ක්ලාක් මැතිතුමා. අපි විශ්වවිද්‍යාලයේ ඉන්න අතරතුර තමා එතුමා වෙනුවට ආචාර්ය රේ විජේවර්ධන කුලපති වෙලා ආවෙ. මේ වෙනස අපිට මහ ලොකු දෙයක් නොවුනට අපේ බැචෙක් වුන “සුදා”ටනම් සෑහෙන දුක හිතෙන සිද්ධියක් වුනා.

කැම්පස් යන කාලෙ කාගෙ හරි මළගෙයක් ආරංචි වුනොත් පුළුවන් විදියට උදව් කරනවනෙ හැමෝම. සමහරු සම්මාදමක් දීලා ෂේප් වෙන අතරෙ සුදා වගේ සමාජ සේවකයො සැදී පැහැදී ඉන්නවා ලෙක්චර්ස් අතපසු කරගෙන හරි මළගෙදර උදව්වට යන්න. (ඒකෙ වැරැද්දක් එහෙම කිව්වා නෙවෙයි ඔන්න.) ඒ විදියට රටේ හතරකොණේම තිබ්බ මළගෙවල්වල කොඩි ඇදලා, මරණ දැන්වීම් අලෝලා, නිදි මරලා අත්දැකීම් එකතු කරගත්ත ටික දෙනාගෙන් කෙනෙක් තමා සුදා.

දවසක්දා මළගෙදරක නිදිමරලා බෝඩිමට ඇවිත් දවල් නිදාගන්න අතරෙ සුදා හීනයක් දැකල තියනවා. ඒ හීනය මෙහෙමයි.: ආතර් සී. ක්ලාක් මැතිතුමා හදිසියේ (කිව්වට හදිසියෙම නෙවෙයි, ලෙඩ වෙලානෙ හිටියෙ කාලෙක ඉඳන්) මිය පරලොව යනවා. 1956 ඉඳන් ලංකාවෙ ජීවත් උනාට එතුමටත් නෑදෑ-හිත මිත්‍රයෝ ඉන්නවනෙ උපන් රටේ. අනික කවුද අකමැති තමන්ගෙ මිනිය උපන් මව් බිමට පෝර වෙන්න පසට යට කරනවට. ඒ නිසා එතුමගෙ නිසල දේහය ඇමරිකාවට අරගෙන යනවා අවසාන ගෞරව දක්වන්න.  (ඇමරිකාවට..? හෝව් හෝව්…මට වැරදුනා එහෙම නෙවෙයි. ආතර් සී. ක්ලාක් ඉපදුනෙ බ්‍රිතාන්‍යයෙ තමා. ඒත් සුදා හිතන් ඉඳල තියෙන්නෙ එතුමා ඇමරිකාවෙ ඉපදුනා කියලනෙ. ඉතින් හීනෙ හැටියට එතුමගෙ දේහය අරන් යන්නෙ ඇමරිකාවට හොඳේ.)

ඉතින් කැම්පස් එකේ මළගෙදරක් කිව්වහම නොගිහින් පුළුවනෑ. අනික කැම්පස් එකේ ලොකුම ලොක්කගෙනෙ. අනික එහෙ ලංකාවෙ විදියට කොඩිවැල් අදින්න, “මොරටුව සරසවි සිසුන්ගේ සාතිශය සංවේගය” කියලා තොරණ ගහන්න, අමාරුවෙන් සල්ලි එකතු කරලා ඇඳගත්ත බැච් එකේ සංවේගය පළකරන බැනර් එක එල්ලන්න, ලයිට් කණුවල-බෝක්කු වල මරණ දැන්වීම් අලවන්න කවුද ඉන්නෙ? අනිවා යන්නම ඕනෙනෙ මළගෙදර. ඉතින් සල්ලි සල්ලි කියලා බලන්න්නෙ නැතුව ප්ලේන් එකේම ඇමරිකාවට යනවා.

එහෙම ගිහින් මළගෙදර ඔය කිව්ව වැඩ කරලා, නිදි මරන අතරෙ ඕමි අතක් බලලා, කැරමකුත් ගහලා, බූරු ගහන තැනටත් පොඩ්ඩක් ඔළුව දාලා, ආයෙත් 304 එහෙමත් බලලා කම්මැලි හිතුනහම ඇමරිකාවෙ පාර අයිනෙ තියන බෝක්කුවක් උඩට වෙලා බුලත් විටක් කකා, සිගරට් එකකුත් උර උරා, ඕප දූප කථා කර කර ඉන්නව.

අන්න ඒක තමා සුදා හීනෙන් දැක්කෙ. ආතර් සී. ක්ලාක් මහත්තය කුලපති ධූරයෙන් ඉවත් වුනාම කැම්පස් එකේ කොල්ලො විදියට එතුමගෙ මළගෙදර යන්නෙ කොහොමද? ඇමරිකාවෙ බෝක්කුවක් උඩ විටක් කකා ඕපදූප ගහන්නෙ කොහොමද? මොරටුව සරසවි සිසුන්ගේ සාතිශය සංවේගය කියලා තොරණක් ගහන්නෙ කොහොමද? අන්න ඒකයි සුදා දුක් වුනේ.

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

http://www.clarkefoundation.org/acc/biography.php

හීනැටි හාලෙ බත් කෑ ගමරාල – 2

ඔන්න පොරොන්දු වුන විදියටම ගමරාල හීනැටි හාලෙ බත් කෑ හැටි කතාව  අද ඉවර කරනවා. කතාවෙ මුල් ටික කියෙව්වෙ නැත්නම් කියවලා ඉන්නකෝ.

ඉතින් ගමරාල ගමමහගෙට රුක් දෙවියො කියන්න වගේ කීවනෙ හීනැටි හාලෙ බතුයි, කළුකුං මසුයි උයලා දෙන්න කියලා. කිව්ව වගේම ඊලඟ දවසෙ ඉඳන් ගමමහගෙ ගමපුරාම ඇවිදලා හීනැටි හාලුයි, කළුකුං මසුයි හොය හොයා උයලා ගමරාලට කන්න දුන්නලු. මේ විදියට කටට රහට උයලා දෙන හීනැටි හාලෙ බත් එක්ක කළුකුං මස් බඩ පිරෙන්න ගිලදාන ගමරාල ටික දවසක් යනකොට ගමමහගෙට කිව්වලු “අනේ බං, මගෙ ඇස් පෙනීමත් දැන් ටිකක් දුර්වලයි නොවැ” කියලා. රුක් දේවතාව කිව්ව සාස්තරේ හරියටම හරි කියල හිතාගත්ත ගමමහගෙ වැඩි-වැඩියෙන් ගමරාලට කන්න හීනැටි හාලෙ බතුයි කළුකුං මසුයි උයලා දුන්නලු.

මේ විදියට ටික දවසක් යනකොට ඇස් දෙක හොඳටම පේන්නෙ නැති වේගෙන එනබව ගමරාල කිව්වලු. කිව්ව විතරක් නෙවෙයි අන්ධයෙක් වගේ අත ගගා එහෙ මෙහෙ යන්න පටන් ගත්තලු. ගමමහගෙත් ඒ නිසා බය නැතිව තමන්ගෙ හොර මිනිහව ගෙදරටම ගෙන්න ගත්තලු. අන්ධයෙක් වගේ ගෙදර ඉන්න ගමරාල දැක්කලු ගමමහගෙ හොර මිනිහෙක් ගෙන්නගෙන තියෙන විත්තිය. ගමරාලට ඒ පාර තේරුනාලු තමන්ගෙ ඇස් අන්ධ කරන්න ගමමහගෙට ඕන වුනේ ඇයි කියලා. ගමරාල ඒත් මොකුත් වෙනසක් නැතිව හිටියලු අන්ධයෙක් වගේ.

ඊලඟ දවසෙ ගමරාල මහගෙට කිව්වලු “උඹ ගෙදර නැති වෙලේ බල්ලො ගේ ඇතුලට වැදිලා වළං පෙරලනවා. මට අර කිතුල් පොල්ල ලං කරලා දියංකො බං” කියලා. මේ අන්ධය පොල්ලෙන් මොනවා කරන්නඩ කියලා හිතලා ගමමහගෙත් විසාල කිතුල් පොල්ලක් ගමරාලට දුන්නලු. එදා හවස් ජාමෙ ගමමහගෙ ගෙදර නැති වෙලේ හොර මිනිහා ගෙට ගොඩ උනාලු. ගමරාල හොර මිනිහගෙ අත් දෙක බැඳලා කිතුල් පොල්ලෙන් බැට දුන්නලු. ගමරාල පොල්ලෙන් ගහපු පාර හොර මිනිහ මළාලු.

ගමමහගෙ ගෙදර ආවහම ගමරාල කිව්වලු “ඒයි මේ බලපංකො බං, කොයි ලොකෙන් හරි පර බල්ලෙක් මේ ගෙට වැදිලා එහෙ මෙහෙ දුව පනිනවා. මම කිතුල් පොල්ල ඔහෙ විසිකළා. ඌට ඒක වැදුනද මන්දා ඊට පස්සෙ හාංකවිසියක් නෑනෙ, පොඩ්ඩක් බලපංකො” කියලා.

ඒක අහලා ගමමහගෙ වටපිට බලනකොට තමන්ගෙ හොර මිනිහා මැරිල වැටිල ඉන්නව දක්කලු. “දැන් රාජ පුරුෂයො මේ මිනිහා හොයාගෙන එයි, එතකොට මං කම්මුතුයි.” කියලා හිතලා ගමමහගෙ හොඳටම බය උනාලු. ඒ පාර ගමමහගෙ මිනිය කෙහෙල් කොරටුවකට ඇදගෙන ගිහින් කෙහෙල් පඳුරකට හේත්තු කරලා පැනලා ආවලු.

ඒ කෙහෙල් කොරටුව ගමමහගෙගෙ තාත්තගෙලු. එදා රෑ කෙහෙල් කොටුව මුර කරන්න ගමමහගෙගෙ තාත්ත යනකොට අඳුරෙම දැක්කලු මිනිහෙක් කෙහෙල් පඳුරකට හේත්තු වෙලා ඉන්නවා. ගමමහගෙගෙ තාත්ත “එකත් එකටම මූ හොරෙක් තමා” කියලා හිතලා සද්ද නැතුව ගිහින් තමන් අතේ තිබ්බ පොල්ලෙන් එකක් දෑත බදලා දුන්නලු. ගහපු පාර එච්චර සැර නැතත් සද්දයක්වත් නැතුව ඒ මිනිහා බිමට පාත් වුන නිසා ගමමහගෙගෙ තාත්ත පන්දමක් ගෙනත් බලනකොට හොරා මැරිල කියල තේරුනාලු. රාජ පුරුෂයන්ට අහුවුනොත් ඉඳලා හමාරයි කියල බයවුන පාර ගමමහගෙගෙ තාත්තා මිනියත් කර ගහගෙන ගමේ කඩ මණ්ඩිය පැත්තට ගියාලු.

කඩමණ්ඩියෙ තියන ලුණු කඩේ ලෑල්ලක් අස්සෙන් මිනියෙ ඔළුව රිංගවලා ගමමහගෙගෙ තාත්ත පැනල ආවලු. සද්දයක් ඇහුන නිසා පොල්ලකුත් අරන් ඒ පැත්තට ගිය මුදලාලි “මේ හොරා ලෑල්ල අස්සෙන් ඔළුවත් දාල. හිටපිය තොට” කියලා පොල්ලෙන් පාරක් දුන්නලු. පස්සෙ ලඟට ඇවිත් බලනකොට ඒ මිනිහා මැරිල කියල දැක්කලු.

එතකොට එලියත් වැටීගෙන ආ නිසා මුදලාලි රාජ පුරුෂයන්ට දැන්නුවලු හොරා ගැන. ඒත් එක්කම කිව්වලු තමන් ගහපු පාරෙන් නම් මැරෙන්න විදියක් නෑ, කවුරු හරි මිනිය තියල ගිහින් වෙන්න ඇති කියලා.

කොහොම හරි මැරුන මිනිහගෙ පවුලෙ කවුරුත් හිටියෙ නැහැලු විලාප දීලා අඬන්න. අඬන කවුරුත් නැතිව මළ ගෙදර පාළු නිසා සල්ලි දීලා අඬන්න ගෑණුන්ව ගෙන්න ගත්තලු. (මීගමුව පැත්තෙ එහෙම ඔය වගේ ගෑණු තවමත් ඉන්නවද කොහෙද.) ගෑණුත් ඉතින් මිනිය බදාගෙන, විලාප දිදී, මර ලතෝනි තිය-තියා අඬනවලු කිඹුල් කඳුලු පෙර-පෙරා.

ඔය අඬන ගෑණු අතරෙ හිටි එක ගෑණියෙක් “ඉස්සරවෙලා මගෙ කරුමෙ. ඊ ගාවට අප්පගෙ කරුමෙ. ඊටත් පස්සෙ ලුණු මුදලාලිගෙ කරුමෙ” කිය කියා අඬනවලු. “ඒ මොකද කියලා” රාජ පුරුෂයො අහන්න ගත්තලු. ඒ පාර ගෑණිට (ගමමහගෙට) ඇත්ත නොකියා බැරි උනාලු. (ඒ කාලෙ රාජ පුරුෂයොත් දැන් අය වගේ උත්තර වමාරවන්න දන්නව ඇතිනෙ.) ඇත්ත එලි වුනාට පස්සෙ ගමමහගෙ වැරදිකාරිය කියලා තීරණය කරලා මරා දමන්න නියෝග කලාලු.

බස්නාහිර පළාතේ ජනකථාවකි.

ගමරාල හීනැටි හාලෙ බත් කෑ හැටි

හැඳිමිටේ නුවණ තියන ගෑණුන්ගෙ තරම ගැන “බත් අමු වූ හැටි” ජනකථාවෙන් කිව්වනෙ. ඒත් පිරිමින්ව අන්දන්න හැම ගෑණිටම බෑ.

ඔන්න එකෝමත් එක රටක (මේ රටක කියන්නෙ පිටරටක නෙවෙයි, රජරට-රුහුණු රට, පස්දුන් රට වගේ ලංකාවෙම ප්‍රදේශයක් ගැනයි) ගමරාල කෙනෙකුයි, ගමමහගෙ කෙනෙකුයි හිටියලු. මේ ගමමහගෙට හොර මිනිහෙකුත් හිටියලු. ගමරාල ගෙදර හිටිය නිසා හොර මිනිහට ගමමහගෙ බලන්න එන්න බැරි උනාලු දවස් ගාණකින්.

මේ නිසා ගමමහගෙ හිතුවලු හොර මිනිහව නොපෙනෙන්න නම් ගමරාලගෙ ඇස් අන්ධ කරන්න ඕනෙ කියලා. එහෙම හිතලා මූකලානෙ තිබ්බ මහ විසාල ගහක් මුලට ගිහින් ඒකෙ ඉන්නව කියලා හිතන් ඉන්න රුක් දෙයියන්ට කන්නලව් කළාලු “රුක් දේවතාවුන් වහන්ස, මගේ මිනිහගෙ ඇස් අන්ධ කර දෙනු මැනවි” කියලා.

හැමදාම හැන්දෑවට ගෙදර-දොරේ වැඩ ඔක්කොම දමල ගහල ගමමහගෙ නොවරදවාම මූකලානට  රිංගන්නෙ මොකටද කියලා හොයන්න ගමරාලට හිතුනලු.

දවසක්දා ගමමහගෙ මූකලානට රිංගනකොට ගමරාලත් හොරෙන්ම පස්සෙන් ගියාලු. ගමමහගෙ විසාල ගහක් ගාව නතර වෙලා මල් පූජ කරල, පහන් පත්තු කරනවා දැක්ක ගමරාල සද්ද නැතිව ලඟටම ගිහින් කියන දේවල් අහගන්න පඳුරක් අස්සෙ හැංගිලා බලා හිටියලු. “රුක් දේවතාවන් වහන්ස, මගේ මිනිහගෙ ඇස් අන්ධ කර දෙනු මැනවි” කියලා ගමමහගෙ කන්නලව් කරනවා ඇහිලා ගමරාළ පුදුම වුනාලු.  “මේකෙ මොකක් හරි හොරයක් තියනවා” කියල හිතපු ගමරාල හොරේ අල්ලගන්න හැටි කල්පනා කර-කර ගමමහගෙට ගෙදර යන්න ඇරලා, පහු වෙලා ගෙදරට ගියාලු.

ඊලඟ දවසෙ ගමරාල පරෙයියෙකුත් අල්ලගෙන කලින්ම මූකලානෙ මහ ගහ ගාවට ගිහින් ඒකෙ පිටිපස්සෙ තිබ්බ බෙණේක හැංගිලා හිටියලු. එහෙම ඉන්නකොට ගමමහගෙ ඇවිත් ඉස්සරින්දා වගේම තෙල්-මල් පූජ කරල දේවතාවට කන්නලව් කරන්න පටන්ගත්තලු. එතකොට බෙණේ හැංගිලා ඉන්න ගමරාල කටහඬ වෙනස් කරලා “බොල නරපණුව!” කියලා කිව්වලු.

මේ කථා කරන්නෙ ගහට අධිපති රුක් දේවතාව තමා කියලා රැවටුණ ගමමහගෙ “එසේය දේවතාවන් වහන්ස” කියල උත්තර දුන්නලු.  රුක් දේවතාව වගේ කථාකරන ගමරාල කිව්වලු “උඹේ මිනිහගෙ ඇස් අන්ධ කරන්න නම් හැමදාම හීනැටි හාලෙ බතුයි, කළුකුං මසුයි උයලා කන්න දෙනු!” කියලා. එහෙම කියලා අතේ තියාගෙන හිටිය පරෙයියව අතෑරියලු.

පරෙයියා ඉගිලිලා යනව දැක්ක ගමමහගෙ  “එකත් එකටම මේ ගහට අධිපති රුක් දෙවියො තමා ඒ පරෙයියෙක්ගෙ වේශය අරන් ඉගිලිලා ගියෙ” කියලා හිතලා පරෙයියා පියාඹන පියාඹන පැත්තට වැඳ-වැඳ ගෙදර ගියාලු. ගමරාලත් පහුවෙලා ගෙදර ගියාලු.

හපොයි! කතාවෙ තව ගොඩක් තියනවනෙ. ඒ ටික කොටන්න ගියොත් වැඩ කොට උඩ. ඒ නිසා ඉතුරු ටික හෙට කියන්නම්කො…

බත් අමු වූ හැටි

මේ පැරණි සිංහල ජනකථාවක්.

ඔන්න එකෝමත් එක කාලෙක ගෑණියෙකුයි, මිනිහෙකුයි ගොවිතැන් කරලා ජීවත් වුනා. දවසක්දා මේ මිනිහා ගෑණිට කිව්වා “මම අද රෑ පැල් රකින්න යනවා. උදේට ගෙදර එන්නේ නෑ, කුඹුරෙ වැඩ කරනවා. උඹ මට උදේට කන්න බත් මුලක් අරන් කුඹුරට වරෙන්” කියලා.

මේ ගෑණිත් තමන්ගෙ මිනිහා රෑට ගෙදර එන්නෙ නැති බව දන්න නිසා හොර මිනිහව ගෙදරට ගෙන්නගත්තා. ඒ මදිවට හොඳටම බඩ පිරෙන්න කාලා රෑ පුරා නිදා ගත්තෙ නෑ. උදේ එලිය වැටීගෙන එනකොටයි ගෑණි නිදාගන්න ගියෙ.

ඊට පස්සෙ මේ ගෑණි දවල් වෙලා නැගිටලා මිනිහට ගෙනියන්න කෑම උයන්න වෙලා මදි නිසා, හාල් හෝදලා දාගත්තා මුට්ටියකට. කරවල, බටු එහෙමත් හෝදලා තුනපහ එක්ක හට්ටි වලට දැම්මා. මේ හට්ටි, මුට්ටි ටිකත් අරගෙන මේ ගෑණි මිනිහා වැඩකරන කුඹුරට ගියා.

රෑ තිස් පැයක් පැල් රැකලා උදේ කුඹුරෙත් වැඩකරලා ඒ මිනිහා හොඳටම බඩගින්නෙ හිටියෙ. ගෑණි පරක්කුවෙලා කෑම අරන් එනවා දැක්කගමන් මිනිහට යක්ෂාවේෂ වුනා. “බොල වේxxx, තෝ තොගෙ හොර මිනිහා එක්ක ලැගල හිටිය නේද යකෝ මගෙ කෑම අරන් එන්න මෙච්චර පරක්කු වෙන්න?” කියලා ඒ මිනිහා බෙරිහන් දීලා ගෑණිට බැන්නා.

එතකොට මේ ගෑණි “අපොයි, උඹ මට කියපු මේ අලුකුත්තේරු කථාව නිසා උඹට ගෙනා මේ උයපු බත්, මාළු පිණි අමු වෙයං” කියලා හට්ටි-මුට්ටි ටික බිමින් තිබ්බා.

මිනිහා හට්ටි-මුට්ටි ටික ඇරලා බලනකොට ගෑණි කියපු දේ වෙලා. උයපු බත්, මාළු-පිණි අමුයි. ඒ පාර මිනිහා ගෑණි කිව්ව දේ ඇත්ත කියලා හිතලා ඒ ගෑණි හොඳ ගෑණියෙක් කියලා හොඳට සලකන්න ගත්තා.
(වයඹ පළාතේ ජනකථාවකි.)

බලන්නකො, ගෑණුන්ට හැඳිමිටේ නුවණ නෑ කිව්වට කොටු පනින්නනම් ගණදෙවි නුවණ පහල වෙන හැටි.