සතුටු වීම

ලංකාවෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නොමිලෙනෙ. නිකං දෙන දේවල වටිනාකමක් නෑ කියලා කියන නිසාද කොහෙද විශ්වවිද්‍යාල සිසුන්ගෙන් හැම අවුරුද්දෙම ලියාපදිංචි ගාස්තු විදියට බොහොම පොඩි ගාස්තුවක් අය කරගන්නවා.

අපි විශ්වවිද්‍යාලයේ ගිය මුල් අවුරුද්දෙ මේ ගාස්තුව රුපියල් 50 යි. ඒත් ඊලඟ අවුරුද්දෙ ලියාපදිංචි ගාස්තුව රුපියල් 200 කළා. 300% කින් ගාස්තු වැඩි කළාම ඉතින් ඇඟට දැනෙනවනේ. ඉතින් බොහෝ දෙනා මේ ගාස්තු වැඩි කිරීමට විරුද්ධව තැන තැන කථාබහ කළා.

“නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන, අධ්‍යාපනය විකුණන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත හෙළා දකිමු” කියලවත්, එහෙම නැත්නම් “ලියාපදිංචි ගාස්තු අහෝසි කරවු” කියලවත් පොස්ටර් එල්ලගෙන උද්ඝෝෂණ කරන්නෙ නැතුව අපි සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුනා.

අපේ පීඨ ශිෂ්‍ය සංගමයෙ ප්‍රමුඛත්වයෙන් මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල බලධාරීන් එක්ක සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් විදියට ලියාපදිංචි ගාස්තුව රුපියල් 100 දක්වා අඩු කළා. මේ තීරණය ශිෂ්‍ය සංගම් නිලධාරීන් හරහා සිසුන්ට දැනුම් දුන්නහම හැම දෙනාම බොහොම සතුටු වුනා “රුපියල් 100 ක් ම අඩු කරගත්තනෙ” කියලා. “කොහොමද අපේ වැඩ? අපි කට ඇරියොත් ඉතින් නෝ හෙල්ලුම්! පොල් මැල්ලුම්!” කියලා කියපු අයත් ඉන්න ඇති.

රුපියල් 100 කින් ගාස්තු අඩු කරගත්තා කියලා සතුටු වුන බොහොමයක් අයට තේරුනේ නෑ රුපියල් 50 කින් ගාස්තු වැඩි වුන බව! ඇත්තටම දුක් වෙන්න ඕනෙ සිද්ධියක්නෙ වුනෙ..

ඊයෙ ඕස්ට්‍රේලියාව පරාද කරලා ක්‍රිකට් තරඟය දිනුවහමත් ගොඩක් දෙනා “මරු මැච් එක! ඊලඟ මැච් එකත් මේ වගේම තිබ්බොත් මරු!” කියලා සතුටු වුනා. ඒත් ඒ සතුටු වීම ලියාපදිංචි ගාස්තු අඩු කිරීමෙන් සතුටුවීමට සමානයි කියලා මට හිතුනා.  ක්‍රිකට් ක්‍රීඩාවේ තියන වින්දනය උපරිම වුන තරඟයක්  ජයග්‍රහණයෙන් සතුටු විය යුතුයි.

නමුත් අපේ මුල්පෙළ පිතිකරුවෝ ටිකක් පරීක්ෂාකාරී වුනානම් ජයග්‍රහණය ඊටත් වඩා ඉහළින් සමරන්න තිබුනා. හරියට ගාස්තු වැඩි කරන්නෙම නැතිව තිබුනා නම් වගේ! ඒ වගේ ජයකදි, ඊයේ ජයග්‍රහණය වගේ විශේෂයෙන් සමරන්න දෙයක් නොතිබෙන්න පුළුවන්. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ පරිණතබව වගේම ලෝක කුසලාන තරඟ මාලාවට සූදානම පෙනෙන්නේ වගකීමෙන් තරඟ කළොත් විතරයි.

ක්‍රිකට් හපනුන්ට වෙන සෙල්ලම් බැරි ඇයි?

ටෙස්ට් තත්ත්වය ලැබූ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ගණන සීමිත වුනත්, ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. ඒ රටවල් අතරින් ලංකාව ඇතුළු දකුණු ආසියා රටවල් ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් දක්වනවා. නමුත් එම රටවල ක්‍රීඩක-ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩා හෝ වෙනත් ක්‍රීඩා වලින් එබඳු දස්කම් දැක්වීම අඩුයි. ඊට හේතුව කුමක්ද?

බොහෝ සඳහා ශරීරයේ ජවසම්පන්න බව මෙන්ම නිවැරදි තාක්ෂණික දැනුම හා පුහුණුව අවශ්‍යයි. එමෙන්ම ක්‍රීඩා උපකරණවල ගුණාත්මක තත්ත්වයත් නූතන තරඟකාරී රටාවේ ක්‍රීඩාවලට අත්‍යවශ්‍යයි.

ක්‍රිකට් ක්‍රීඩාවටද හොඳ ශාරීරික හැකියාවක් අත්‍යාවශ්‍යයි. එමෙන්ම තාක්ෂණයද වැදගත්. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ක්‍රීඩකයන්ගේ හැකියාව මෙන්ම තවත් සාධක ගණනාවක් වැඩගත් වෙනවා. තණ නිල්ලේ ස්වභාවය, කාසියේ වාසිය, ක්‍රීඩා කරන වේලාව (දිවා/ රෑ තරඟ වලදී), කාලගුණික තත්ත්වය (වැස්ස, පින්න, අධික හිරු රශ්මිය), විනිසුරු තීරණ ආදී කාරණා ගණනාවක් ක්‍රිකට් තරඟයක ජය-පැරදුමට බලපානවා.

ඒ නිසා ක්‍රිකට් තරඟයක ජයග්‍රහණය ලබන්නේ සෑම විටම වැඩි දක්ෂතා ඇති කණ්ඩායමම නොවෙයි. වාසනාවද ක්‍රිකට් තරඟයකදී වැඩගත්. තරඟාවලිය පුරාවටම දස්කම් දැක්වූ කණ්ඩායම, අවසන් තරඟයේදී කාසියේ වාසිය අහිමි වීම නිසා තරඟ පැරදුන අවස්ථා ගණනාවක් ක්‍රිකට් ඉතිහාසයෙන් සොයාගත හැකියි. එමෙන්ම වැඩි දක්ෂතා දැක්වූ කණ්ඩායමක ජයග්‍රහණයට වැස්ස එරෙහි වූ අවශ්‍යතා එමටයි.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ශරීරයේ ජවසම්පන්න බව අතිශයින් වැදගත් නෑ. කුඩා ශරීරයක් ඇත්තෙකුට වුවද නිසි තාක්ෂණික හැකියාවක් ඇතිනම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය හැකියි.

සාපේක්ෂව කුඩා ශරීර හිමි දකුණු ආසියානුවන්ට, වාසනාව සහ වෙනත් බාහිර සාධක ගණනාවක් මත ජය-පැරදුම තීරණය වන ක්‍රිකට් බඳු ක්‍රීඩාවක දස්කම් දැක්වීමට හැකිවීම අරුමයක් නොවෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවට නෑකම් කියන බේස්බෝල් ක්‍රීඩාවට තණ නිල්ලේ ස්වභාවය හෝ කාසියේ වාසිය වැදගත් වන්නේ නෑ. ජාත්‍යන්තර බේස්බෝල් තරඟ වලදී දකුණු ආසියානුවන් දස්කම් දැක්වූ බව මා අසා නෑ.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය බව නිසා එයට මුදල් ප්‍රතිපාදන නොඅඩුව තිබීමද, නිසි පුහුණු වැඩපිලිවෙලක් ස්ථාපිතව තිබීමද නිසා දක්ෂයන් ඉදිරියට ගෙන ඒමට දකුණු ආසියානු රටවලට හැකිව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයන් සොයාගැනීමේ නිසි ක්‍රමවේද සහ වැඩපිළිවෙලවල් තිබීම නිසා ජාත්‍යන්තර තලයේදී තරඟකාරීව සිටීමට දකුණු ආසියානු රටවලට හැකිවී තිබෙනවා. එම කරුණු අගය කළ යුතුයි.

එම ආදර්ශය වෙනත් ක්‍රීඩා වලටද යොමුකළ හැකිනම්, හැකියාව වැඩිපුර අවශ්‍ය වන ක්‍රීඩා වලින්ද ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වීමට දකුණු ආසියානුවන්ට හැකි වනු ඇති.

ඇමරිකාවෙ ක්‍රිකට් 2

ඇමරිකාවෙ පවත්වපු පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරඟය වන, ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ඊයෙ නවසීලන්තයත් එක්ක තිබ්බ තරඟෙ පරාද වුනානෙ. අද තරඟෙවත් තලාගන්න ලැබේවා කියලා කළ ප්‍රාර්ථනය ඉටු වුනා ඔන්න. අපේ කණ්ඩායමට ඒ ගැන සුභපැතුම්. පරදිනකොට බනින්න වගේම දිනනකොට හොඳ කියන්නත් අමතක කරන්න හොඳ නෑනෙ.

අපේ පන්දු යවන්නො අද බොහොම හොඳට පන්දු යැව්ව. ඒකට තණ තීරුවත් උදවු උනා මගෙ හිතේ. මොනවා උනත් නුවන් කුලසේකර යවපු පළවෙනි පන්දු වාරයයි, මාලිංග යවපු අන්තිම පන්දු දෙකයි මරු. අද ටිකක් හරි වැදුනෙ අපේ ගරු (සුද්දො කියන විදියට ‘මටාරා’ දිස්ත්‍රික්කයේ) පා.ම. සනා ට විතරයි. (දේශපාලනේට ආවහම බැනුම්ම තමා, නේද සනා?. “ඔන්න මම ඉන්නකොට මැච් දිනනහැටි දැක්කනේ?” කියල අහන්නත් බැරි නෑ දැන්.)

බෝලෙ උඩ එන්නෙ නැති තණ තීරුවක බොහොම ඉවසිල්ලෙන් දිල්ෂාන් ගැහුවා මදෑ. මහේල පොඩ්ඩක් ඉක්මන් වුනා. සංග නම් සුපුරුදු කලබලය නිසා යන්න ගියා. (අම්මපා නායකයා උනාම පොඩ්ඩක් සංවර ගතියක් තියෙන්නෙ එපායැ, නේද? මූ ඔක්කොටම හපන්! බොගක් චාජ් වෙලා වගේ අන්තිමට ඉක්මනට ඉවර කරන්න ඕනැ වුනෙ!) නවක ක්‍රීඩකයෙක් වුනත්, ගහෙන් ගෙඩි එන්න වගේ පිතිකරු ලයිස්තුවෙ ඉහලට එවපු තිසර පෙරේරා මරු පාරවල් ටිකක් ගැහුවා. අපේ රටේ ක්‍රිකට් අනාගතය ඔපවත් කරන්න ඒ වගේ ක්‍රීඩකයන්ට ඉස්සරහට එන්න දෙන්න ඕනෙ.

අපේ නායකයා හදිස්සි උනාට, නවසීලන්තෙ නායකයාගෙ පන්දු යැවීමයි, පන්දුවට පහරදීමයි බොහොම පරිණත ක්‍රීඩකයෙක්ගෙ ගති ලක්ෂණ පෙන්නුම් කළා. අද වගේම ඊයෙ තරඟෙදිත් දක්ෂතා පෙන්නපු නිසා ඩැනී විටෝරිට තරඟාවලියේ ක්‍රීඩකයා සම්මානය ලැබුනා. දින්නත්, පැරදුනත් සංවර විදියට හැසිරෙන එක නායකයෙගෙ ලක්ෂණයක් වෙන්න ඕනැනෙ.

ජ්‍යේෂ්ඨයන් විවේක ගන්වා නවකයින්ට තැනදී තිබෙන ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ වලදි පැවැත්වෙන තුන්-කොන් තරඟාවලියෙදිත්, අපේ කණ්ඩායමට හොඳට ක්‍රීඩා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු!

ඇමරිකාවෙ ක්‍රිකට්

අපි කොල්ලො කුරුට්ටො (කිව්වට කොල්ලො කුරුට්ටොත් ඉන්න තාත්තලා) ටිකක් ඇමරිකාවෙදි එකතුවෙලා ඉඳල හිටල ක්‍රිකට් පාරක් ගහනවා තමා. අනේ ඉතින් තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කිව්ව වගේ අපේ මට්ටමට අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා.

අනේ අපොයි ලංකාවෙ ජාතික කණ්ඩායමත් ඇමරිකාවට ඇවිදින් අපේ මට්ටමටම වැටිච්චි නොවැ! අපි ගහන ක්‍රිකට් හොඳයි කියලා හිතුනා ජාතික කණ්ඩායමේ ‘වෘත්තීය’ ක්‍රීඩකයන්ගෙ වැඩ දැක්කහම.

භූමි දෝෂයක්ද මන්දා ඇමරිකාවෙ තිබ්බ පළවෙනි (ජාත්‍යන්තර) ක්‍රිකට් තරඟෙ උනත් නවසීලන්ත කාරයන්ට ලකුණු 120 කට වඩා ගහගන්න බැරි උනානෙ. ලෝක කුසලාන කාලෙ අපේ කට්ටිය කරපු පිති හරඹවල හැටියට මම හිතුවෙ ඕවර් 10 න් විතර සෙල්ලම ඉවර වෙයි කියලා. මොන, අපේ අයට ඕවර් 20 ගහගන්නත් බැරි වුනානෙ හැබෑට! ලකුණු 92යි, ඔක්කොම ඕල් අවුට්! ලැජ්ජාවේ බෑ!!

පිට්ටනියෙත් වැරැද්දක් තියෙන්න ඇති මගෙ හිතේ. බෝලෙ බිම දිගේම යන්නෙ අප්පා! අපිනම් දහ අට බම්පර් දානවා බැරි කමට, ඒත් ඉතින් ඔය ඉන්ටර්නැෂනල් ගහන අයගෙ බෝල බිම් බම්පර් වෙන්නෙ පිට්ටනියෙ වැරැද්දට වෙන්ටැ.

ඒත් ඉතින් ‘නටන්න බැරි මිනිහට පොලොව ඇදයි’ කිව්ව වගේ මොනව උනත් පිට්ටනියෙයි, කාසියේ වාසිය නොලැබිච්ච එකෙයි වැරදි කියන්නෙ ගත්තොත් ඉතින් මොකටද දක්ෂතාවය කියලා එකක්. පහුගිය දවස්වල නම් ‘මන්ත්‍රීතුමා’ නිසා තරඟ පැරදුනා කියතහැකි. ඒත් අද මොකද උනේ? මන්ත්‍රීතුමාව කපලා දාපු එකෙන් ගත්ත වාසියක් නෑ. (ඉතින් එතුමාට දැන් කියතෑකි ‘මම නැති උනාම දැක්කනෙ බොලා කාපු කෑම’ කියලා.)

සමහරු පන්දු රැකපු හැටි දැක්කහම දුක හිතුනා. බෝල දාපු ටිකනම් හරියට කළා මගෙ හිතේ..ඒත් බැට් කිරිල්ල… එය බැලූ දෑස කුමටද?

පැරදිච්ච එක අමතක කරලා හෙට ගේමවත් තලාගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!! ලංකාවට ජය වේවා!!