ගමරාලගෙ දූ පොඩිත්ත – 2

කථාවෙ මුල් කොටස කියෙව්වෙ නැත්නම් මෙතනින් ඒක කියවලා ඉන්නකෝ.

රජතුමා දුන්නු උපදෙස් හිතේ තියාගෙන ගමරාල ගෙදරට ආවලු. එතකොට ගමරාලගෙ දෝණියන්දැ ගෙදර හිටියෙ නෑලු. දූ පොඩිත්ත වී කොටන්න ගමට ගිහින්, එදා දවසෙ මහන්සියට හම්බු වුනු හාලුත් අරන් ගෙදර එනකොට ගමරාල අඬා වැලපෙමින් මිදුලෙ වලවල් ටිකක් කප කපා හිටියලු.

ගමරාලගෙ දූ ඇහුවලු “අපුච්චි, මොකෑ මේ අදත් වැලපෙන්නෙ?” කියලා. එතකොට ගමරාල කිව්වලු “අනේ දුවේ, රජතුමා හෙට වඩිනවා කිව්වා නොවැ උඹව පෙලවහට ගන්ට. උඹව පෙලවහට ගන්නවට දෑවැද්ද විදියට රජතුමා කිව්වෙ ‘ඇතුලෙත් මඩු, පිටත් මඩු ගහලා, මී හරකුන්ගෙන් කිරි දොවලා, ඒවා මුදෝලා, වැලි වලින් තෙල් අරන් තියන්ට’ නොවැ. ඉතිං කියහංකො මං කොහොමෙයි ඔය දේවල් කොරන්නෙ කියාල. අන්නෙ ඒකයි මං වැලපෙන්න කාරණාව” කියලා.

එතකොට ගමරාලගෙ දූ පොඩිත්ත කිව්වලු “අපුච්චි, ඒකට කාරි නෑ. අපුච්චා ගෙදරට වෙලා ඉඳින්නකො. දන්න විදියට මඩු ගැහුවට කාරි නෑ. මී ගොන්නුන්ගෙන් කිරි දොවන්නත්, ඒ කිරි මුදවන්නත් ඇහැකියැ? වැලි වලින් තෙල් ගන්න ඇහැකියැ?” කියලා. ගමරාලත් දූගෙ උපදේසෙ පිළි අරන් මඩු හැදුවලු.

රජතුමා වඩිනවා කිව්ව ඊලඟ දවසෙ, ගමරාලගෙ දෝණියන්දැ තවත් කෙල්ලෙක් එක්ක රෙදි පොට්ටනියක් අරං පාර දිගේ ගියාලු රජතුමාව මුලිච්චි වෙන්න. ඔය පාර අයිනෙ තියනවලු තල හේනක්. තල හේන ගාවදි මේ කෙල්ලො දෙන්න රජතුමා පෙරහැරින් වඩිනවා දැක්කලු.

රජතුමාත් පෙරහැරේ එනකොට දුරදිම දැක්කලු කෙල්ලො දෙන්නෙක් පොට්ටනියක් අරං ඉස්සරහට එනවා. ඈතදිම ඇමැත්තෙක් රජතුමාට කීවලු “අර ඉස්සරහින් එන්නෙ ගමරාලගෙ දු පොඩිත්ත මහරජතුමනි” කියලා. ගමරාලගෙ දූත් ඉස්සර වෙලා රජතුමා ඉස්සරහට ගියාලු.

එතකොට රජතුමා ඇහුවලු “කෙල්ල, නුඹ කොයිබ යන්නෙහිද?” කියලා. එතකොට ගමරාලගෙ දූ උත්තර දුන්නලු “අපේ අපුච්චා කොටහළු වෙලා. අපි රෙදි නැන්දලගෙ ගෙදරට යනවා පිරුවට අරන්” කියලා. එතකොට රජතුමා ඇහුවලු “බොල කෙල්ල, පිරිමි කොටහළු වෙන්නෙ කෙසේද?” කියලා.

එතකොට ගමරාලගෙ දූ කිව්වලු “ඉතිං රජතුමනි, නුඹ වහන්සේ අපේ අපුච්චාට ඇතුලෙත් මඩු, පිටත් මඩු හදන්න කියලා, මී ගොන්නුන්ගෙන් කිරි දොවන්නයි, ඒ කිරි මුදවන්නයි, වැලි වලින් තෙල් ගන්නයි කීවනෙ. ඒ දේවල් කරන්නෙ කොහොමෙයි? අන්න ඒ විදියටම තමා පිරිමි කොටහළු වෙන්නෙ” කියලා.

රජතුමාත් කෙල්ල කිව්ව දේ ගැන පැහැදුනාලු. ඊට පස්සෙ රජතුමා තල හේනෙන් තල මලක් මිටට අරගෙන “කෙල්ල, මේ තල මලේ තෙල් තියෙන්නෙ කොතනද කියා කියනු” කියලා අණ කළාලු. එතකොට දූ පොඩිත්ත ඇහුවලු “රජතුමනි, ඔබතුමාගෙ මෑණියන් ඔබතුමාව ගැබ් ගනිද්දි, ඔබතුමා කොහෙද හිටියෙ?” කියලා.

රජතුමා ගමරාලගෙ දූ පොඩිත්තගෙ බුද්ධිය ගැන පැහැදිලා, අශ්වයගෙ පිටින් බැහැලා ගමරාලගෙ දූව අස්සයා උඩින් තියාගත්තලු. ඊට පස්සෙ රජතුමත් අස්සයා පිට නැගලා රජ මාලිගාවට ගියාලු. අනිත් කෙල්ල තනියම ගෙදර ගියාලු.

ඊට පස්සෙන්දා, රජතුමා ඇමතිවරු යවලා ගමරාලව රජ මාලිගාවට ගෙන්නගත්තලු. රජතුමා ගම දූව පෙලවහට අරගෙන රජ මාලිගාවෙ ජීවත් වුනාලු. ගමරාලත් රජ මාලිගාවෙම නැවතුනාලු.

වයඹ පළාතේ ජන කථාවක්

Advertisements

ගමරාලගෙ දූ පොඩිත්ත

එකෝමත් එක රටක රජතුමෙක් හිටියලු. ඒ රජතුමා ගමින් ගමට පයිණ්ඩයක් යවනවලු. ඒ පයිණ්ඩෙ ලැබුන කෙනා ඊට පස්සෙ දවසෙ රජ මාලිගාවට ඇවිත්, ඒකෙ තියන දේ විස්තර කරන්න ඕනෙලු. එහෙම විස්තර කරන්න බැරි උනොත් ඒ මිනිහගෙ හිස ගසා දානවලු. ඔය විදියට එන මිනිස්සුන්ගෙන් රජතුමා ඒ පයිණ්ඩෙ තේරුම ඇහුවාම උත්තර දෙන්න කාටවත් බැරි වුනාලු. ඉතිං ඒ මිනිස්සුන්ගෙ හිස ගසා දැම්මලු.

ඉතිං, ඒ විදියට රජතුමා ගම් හතකට පයිණ්ඩ යැව්වලු. ඒ ගම් හතේ මිනිස්සු හත් දෙනෙක් පයිණ්ඩෙ තේරුම් ගන්න බැරුව රජතුමා ගාවට ගිහින් හිස් ගැසුම් කෑවලු.

අටවෙනි දවසෙදි ඔය පයිණ්ඩෙ ආවලු ගමරාල කෙනෙක්ගෙ ගෙදෙට්ට. ගමරාලට තරුණ දූ කෙනෙකුත් හිටියලු. රාජ පුරුෂයෝ ගමරාලට ඒ පයිණ්ඩෙ භාර දෙනකොට ගමරාලගෙ දෝණියන්දැ ගෙදර නෙමෙයිලු හිටියෙ; වී කොටන්න ගමට ගිහින්ලු හිටියෙ. වී කොටලා, මහන්සියට (ගාස්තුව විදියට) හාලුත් අරගෙන දෝණියන්දැ ගෙදර එනකොට ගමරාල කඳුලු පෙර පෙරා වැලපෙනවලු.

ඉතින් දූ පොඩිත්ත ඇහුවලු “අපුච්චෙ, මොකෑ ඔය වැලපෙන්නෙ?” කියලා. එතකොට ගමරාල කිව්වලු “අනේ දුවේ, වැලපෙන්නෙ නැතුව කොහොමෙයි?. අහල ගම් හතක මිනිස්සු හතකගෙ හිස් ගසා දැම්ම රජතුමා, මෙදා පොටේ මට පයිණ්ඩයක් එවලා නොවැ. මිනිස්සු හත් දෙනෙකුට මෙ පයිණ්ඩෙ තේරුම් ගන්න බැරි වෙච්චි, මේ මෝඩ මං කොහොමෙයි රජතුමා අහන පුරස්න වලට උත්තර බඳින්නෙ? මොකෑ, මේ පයිණ්ඩෙත් අරං හෙට රජ මාලිගාවට නොගිහින් ඉන්නෙයි? මටම තමා පයිණ්ඩෙ අරං යන්න වෙන්නෙ. එහෙම ගියාම, රජතුමා මගෙ හිස ගසා දායි. එතකොට උඹට කාත් කවුරුවත් නැතුව යනවා. ඒකයි මං වැලපෙන්නෙ බොලං” කියලා.

එතකොට ගමරාලගෙ දෝණියන්දැ “කොයිබද ඔය කියන පයිණ්ඩෙ අපුච්චි. මටත් ඒක බලන්න දුන්නනං” කියලා රජතුමා එව්ව පයිණ්ඩෙ ඉල්ලගෙන බැලුවලු. ගමරාලගෙ දූ පොඩිත්තට ඒ පයිණ්ඩෙ තියන දේ තේරුනාලු. ඉතිං දූ පොඩිත්ත “අපුච්චි, හෙට රජ මාලිගාවට ගෙහුං රජතුමා අහන දේට මේ මේ විදියට උත්තර බඳින්ට.” කියලා පයිණ්ඩෙ තේරුම ගමරාලට කියල දුන්නලු.

ගමරාලත් පහු වෙනිදා රජ මාලිගාවට ගිහින් පයිණ්ඩෙ ආපහු බාර දුන්නලු. එතකොට රජතුමාත් කලින් මිනිස්සුන්ගෙන් ඇහුව වගේ ගමරාලවත් ගෙන්නලා පයිණ්ඩෙ තේරුම ඇහුවලු. ගමරාලත් දෝණියන්දැ කියල් දුන්න විදියටම රජතුමාට උත්තර දුන්නලු. එතකොට රජතුමා ගමරාලගෙන් ඇහුවලු “කවුද උඹට මේ පයිණ්ඩෙ විස්තර කරල දුන්නෙ?” කියලා. ගමරාල කිව්වලු “රජතුමනි, මට දෝණියන්දැ කෙනෙක් ඉන්නවා. ඒකි තමා පයිණ්ඩෙ තනියෙන් තේරුම් අරන් මටත් කියල දුන්නෙ” කියලා.

එතකොට රජතුමා කිව්වලු “හොඳා. හෙට මං උඹේ දෝණියන්දැව සරණපාවා ගන්න එනවා. උඹ දැන් ගෙහුං ඇතුලෙත් මඩු, පිටත් මඩු ගහපං. මී හරකුන්ගෙන් (දෙනුන්ගෙන් නෙවේ) කිරි දොවලා ඒ කිරි මුදවාපං. වැලි වලින් තෙල් අරං ලෑස්ති කරල තියාපං. කලින් නොකරපු දේවල් කරල තියාපං” කියලා.

මතු සම්බන්ධයි

හීනැටි හාලෙ බත් කෑ ගමරාල – 2

ඔන්න පොරොන්දු වුන විදියටම ගමරාල හීනැටි හාලෙ බත් කෑ හැටි කතාව  අද ඉවර කරනවා. කතාවෙ මුල් ටික කියෙව්වෙ නැත්නම් කියවලා ඉන්නකෝ.

ඉතින් ගමරාල ගමමහගෙට රුක් දෙවියො කියන්න වගේ කීවනෙ හීනැටි හාලෙ බතුයි, කළුකුං මසුයි උයලා දෙන්න කියලා. කිව්ව වගේම ඊලඟ දවසෙ ඉඳන් ගමමහගෙ ගමපුරාම ඇවිදලා හීනැටි හාලුයි, කළුකුං මසුයි හොය හොයා උයලා ගමරාලට කන්න දුන්නලු. මේ විදියට කටට රහට උයලා දෙන හීනැටි හාලෙ බත් එක්ක කළුකුං මස් බඩ පිරෙන්න ගිලදාන ගමරාල ටික දවසක් යනකොට ගමමහගෙට කිව්වලු “අනේ බං, මගෙ ඇස් පෙනීමත් දැන් ටිකක් දුර්වලයි නොවැ” කියලා. රුක් දේවතාව කිව්ව සාස්තරේ හරියටම හරි කියල හිතාගත්ත ගමමහගෙ වැඩි-වැඩියෙන් ගමරාලට කන්න හීනැටි හාලෙ බතුයි කළුකුං මසුයි උයලා දුන්නලු.

මේ විදියට ටික දවසක් යනකොට ඇස් දෙක හොඳටම පේන්නෙ නැති වේගෙන එනබව ගමරාල කිව්වලු. කිව්ව විතරක් නෙවෙයි අන්ධයෙක් වගේ අත ගගා එහෙ මෙහෙ යන්න පටන් ගත්තලු. ගමමහගෙත් ඒ නිසා බය නැතිව තමන්ගෙ හොර මිනිහව ගෙදරටම ගෙන්න ගත්තලු. අන්ධයෙක් වගේ ගෙදර ඉන්න ගමරාල දැක්කලු ගමමහගෙ හොර මිනිහෙක් ගෙන්නගෙන තියෙන විත්තිය. ගමරාලට ඒ පාර තේරුනාලු තමන්ගෙ ඇස් අන්ධ කරන්න ගමමහගෙට ඕන වුනේ ඇයි කියලා. ගමරාල ඒත් මොකුත් වෙනසක් නැතිව හිටියලු අන්ධයෙක් වගේ.

ඊලඟ දවසෙ ගමරාල මහගෙට කිව්වලු “උඹ ගෙදර නැති වෙලේ බල්ලො ගේ ඇතුලට වැදිලා වළං පෙරලනවා. මට අර කිතුල් පොල්ල ලං කරලා දියංකො බං” කියලා. මේ අන්ධය පොල්ලෙන් මොනවා කරන්නඩ කියලා හිතලා ගමමහගෙත් විසාල කිතුල් පොල්ලක් ගමරාලට දුන්නලු. එදා හවස් ජාමෙ ගමමහගෙ ගෙදර නැති වෙලේ හොර මිනිහා ගෙට ගොඩ උනාලු. ගමරාල හොර මිනිහගෙ අත් දෙක බැඳලා කිතුල් පොල්ලෙන් බැට දුන්නලු. ගමරාල පොල්ලෙන් ගහපු පාර හොර මිනිහ මළාලු.

ගමමහගෙ ගෙදර ආවහම ගමරාල කිව්වලු “ඒයි මේ බලපංකො බං, කොයි ලොකෙන් හරි පර බල්ලෙක් මේ ගෙට වැදිලා එහෙ මෙහෙ දුව පනිනවා. මම කිතුල් පොල්ල ඔහෙ විසිකළා. ඌට ඒක වැදුනද මන්දා ඊට පස්සෙ හාංකවිසියක් නෑනෙ, පොඩ්ඩක් බලපංකො” කියලා.

ඒක අහලා ගමමහගෙ වටපිට බලනකොට තමන්ගෙ හොර මිනිහා මැරිල වැටිල ඉන්නව දක්කලු. “දැන් රාජ පුරුෂයො මේ මිනිහා හොයාගෙන එයි, එතකොට මං කම්මුතුයි.” කියලා හිතලා ගමමහගෙ හොඳටම බය උනාලු. ඒ පාර ගමමහගෙ මිනිය කෙහෙල් කොරටුවකට ඇදගෙන ගිහින් කෙහෙල් පඳුරකට හේත්තු කරලා පැනලා ආවලු.

ඒ කෙහෙල් කොරටුව ගමමහගෙගෙ තාත්තගෙලු. එදා රෑ කෙහෙල් කොටුව මුර කරන්න ගමමහගෙගෙ තාත්ත යනකොට අඳුරෙම දැක්කලු මිනිහෙක් කෙහෙල් පඳුරකට හේත්තු වෙලා ඉන්නවා. ගමමහගෙගෙ තාත්ත “එකත් එකටම මූ හොරෙක් තමා” කියලා හිතලා සද්ද නැතුව ගිහින් තමන් අතේ තිබ්බ පොල්ලෙන් එකක් දෑත බදලා දුන්නලු. ගහපු පාර එච්චර සැර නැතත් සද්දයක්වත් නැතුව ඒ මිනිහා බිමට පාත් වුන නිසා ගමමහගෙගෙ තාත්ත පන්දමක් ගෙනත් බලනකොට හොරා මැරිල කියල තේරුනාලු. රාජ පුරුෂයන්ට අහුවුනොත් ඉඳලා හමාරයි කියල බයවුන පාර ගමමහගෙගෙ තාත්තා මිනියත් කර ගහගෙන ගමේ කඩ මණ්ඩිය පැත්තට ගියාලු.

කඩමණ්ඩියෙ තියන ලුණු කඩේ ලෑල්ලක් අස්සෙන් මිනියෙ ඔළුව රිංගවලා ගමමහගෙගෙ තාත්ත පැනල ආවලු. සද්දයක් ඇහුන නිසා පොල්ලකුත් අරන් ඒ පැත්තට ගිය මුදලාලි “මේ හොරා ලෑල්ල අස්සෙන් ඔළුවත් දාල. හිටපිය තොට” කියලා පොල්ලෙන් පාරක් දුන්නලු. පස්සෙ ලඟට ඇවිත් බලනකොට ඒ මිනිහා මැරිල කියල දැක්කලු.

එතකොට එලියත් වැටීගෙන ආ නිසා මුදලාලි රාජ පුරුෂයන්ට දැන්නුවලු හොරා ගැන. ඒත් එක්කම කිව්වලු තමන් ගහපු පාරෙන් නම් මැරෙන්න විදියක් නෑ, කවුරු හරි මිනිය තියල ගිහින් වෙන්න ඇති කියලා.

කොහොම හරි මැරුන මිනිහගෙ පවුලෙ කවුරුත් හිටියෙ නැහැලු විලාප දීලා අඬන්න. අඬන කවුරුත් නැතිව මළ ගෙදර පාළු නිසා සල්ලි දීලා අඬන්න ගෑණුන්ව ගෙන්න ගත්තලු. (මීගමුව පැත්තෙ එහෙම ඔය වගේ ගෑණු තවමත් ඉන්නවද කොහෙද.) ගෑණුත් ඉතින් මිනිය බදාගෙන, විලාප දිදී, මර ලතෝනි තිය-තියා අඬනවලු කිඹුල් කඳුලු පෙර-පෙරා.

ඔය අඬන ගෑණු අතරෙ හිටි එක ගෑණියෙක් “ඉස්සරවෙලා මගෙ කරුමෙ. ඊ ගාවට අප්පගෙ කරුමෙ. ඊටත් පස්සෙ ලුණු මුදලාලිගෙ කරුමෙ” කිය කියා අඬනවලු. “ඒ මොකද කියලා” රාජ පුරුෂයො අහන්න ගත්තලු. ඒ පාර ගෑණිට (ගමමහගෙට) ඇත්ත නොකියා බැරි උනාලු. (ඒ කාලෙ රාජ පුරුෂයොත් දැන් අය වගේ උත්තර වමාරවන්න දන්නව ඇතිනෙ.) ඇත්ත එලි වුනාට පස්සෙ ගමමහගෙ වැරදිකාරිය කියලා තීරණය කරලා මරා දමන්න නියෝග කලාලු.

බස්නාහිර පළාතේ ජනකථාවකි.

ගමරාල හීනැටි හාලෙ බත් කෑ හැටි

හැඳිමිටේ නුවණ තියන ගෑණුන්ගෙ තරම ගැන “බත් අමු වූ හැටි” ජනකථාවෙන් කිව්වනෙ. ඒත් පිරිමින්ව අන්දන්න හැම ගෑණිටම බෑ.

ඔන්න එකෝමත් එක රටක (මේ රටක කියන්නෙ පිටරටක නෙවෙයි, රජරට-රුහුණු රට, පස්දුන් රට වගේ ලංකාවෙම ප්‍රදේශයක් ගැනයි) ගමරාල කෙනෙකුයි, ගමමහගෙ කෙනෙකුයි හිටියලු. මේ ගමමහගෙට හොර මිනිහෙකුත් හිටියලු. ගමරාල ගෙදර හිටිය නිසා හොර මිනිහට ගමමහගෙ බලන්න එන්න බැරි උනාලු දවස් ගාණකින්.

මේ නිසා ගමමහගෙ හිතුවලු හොර මිනිහව නොපෙනෙන්න නම් ගමරාලගෙ ඇස් අන්ධ කරන්න ඕනෙ කියලා. එහෙම හිතලා මූකලානෙ තිබ්බ මහ විසාල ගහක් මුලට ගිහින් ඒකෙ ඉන්නව කියලා හිතන් ඉන්න රුක් දෙයියන්ට කන්නලව් කළාලු “රුක් දේවතාවුන් වහන්ස, මගේ මිනිහගෙ ඇස් අන්ධ කර දෙනු මැනවි” කියලා.

හැමදාම හැන්දෑවට ගෙදර-දොරේ වැඩ ඔක්කොම දමල ගහල ගමමහගෙ නොවරදවාම මූකලානට  රිංගන්නෙ මොකටද කියලා හොයන්න ගමරාලට හිතුනලු.

දවසක්දා ගමමහගෙ මූකලානට රිංගනකොට ගමරාලත් හොරෙන්ම පස්සෙන් ගියාලු. ගමමහගෙ විසාල ගහක් ගාව නතර වෙලා මල් පූජ කරල, පහන් පත්තු කරනවා දැක්ක ගමරාල සද්ද නැතිව ලඟටම ගිහින් කියන දේවල් අහගන්න පඳුරක් අස්සෙ හැංගිලා බලා හිටියලු. “රුක් දේවතාවන් වහන්ස, මගේ මිනිහගෙ ඇස් අන්ධ කර දෙනු මැනවි” කියලා ගමමහගෙ කන්නලව් කරනවා ඇහිලා ගමරාළ පුදුම වුනාලු.  “මේකෙ මොකක් හරි හොරයක් තියනවා” කියල හිතපු ගමරාල හොරේ අල්ලගන්න හැටි කල්පනා කර-කර ගමමහගෙට ගෙදර යන්න ඇරලා, පහු වෙලා ගෙදරට ගියාලු.

ඊලඟ දවසෙ ගමරාල පරෙයියෙකුත් අල්ලගෙන කලින්ම මූකලානෙ මහ ගහ ගාවට ගිහින් ඒකෙ පිටිපස්සෙ තිබ්බ බෙණේක හැංගිලා හිටියලු. එහෙම ඉන්නකොට ගමමහගෙ ඇවිත් ඉස්සරින්දා වගේම තෙල්-මල් පූජ කරල දේවතාවට කන්නලව් කරන්න පටන්ගත්තලු. එතකොට බෙණේ හැංගිලා ඉන්න ගමරාල කටහඬ වෙනස් කරලා “බොල නරපණුව!” කියලා කිව්වලු.

මේ කථා කරන්නෙ ගහට අධිපති රුක් දේවතාව තමා කියලා රැවටුණ ගමමහගෙ “එසේය දේවතාවන් වහන්ස” කියල උත්තර දුන්නලු.  රුක් දේවතාව වගේ කථාකරන ගමරාල කිව්වලු “උඹේ මිනිහගෙ ඇස් අන්ධ කරන්න නම් හැමදාම හීනැටි හාලෙ බතුයි, කළුකුං මසුයි උයලා කන්න දෙනු!” කියලා. එහෙම කියලා අතේ තියාගෙන හිටිය පරෙයියව අතෑරියලු.

පරෙයියා ඉගිලිලා යනව දැක්ක ගමමහගෙ  “එකත් එකටම මේ ගහට අධිපති රුක් දෙවියො තමා ඒ පරෙයියෙක්ගෙ වේශය අරන් ඉගිලිලා ගියෙ” කියලා හිතලා පරෙයියා පියාඹන පියාඹන පැත්තට වැඳ-වැඳ ගෙදර ගියාලු. ගමරාලත් පහුවෙලා ගෙදර ගියාලු.

හපොයි! කතාවෙ තව ගොඩක් තියනවනෙ. ඒ ටික කොටන්න ගියොත් වැඩ කොට උඩ. ඒ නිසා ඉතුරු ටික හෙට කියන්නම්කො…