Memento- සමහර මතකයන් අමතක වූ තරමට හොඳය

හින්දි චිත්‍රපට ලෝලියෝ වෙනස් විදියේ කථාවක් විදියට රස වින්ද නිර්මාණයක් තමා ඝජිනි (Ghajini) (2008). ඝජිනි සිනමා කෘතිය බොහොම ලිහිල්ව පදනම් වෙලා තියෙන්නෙ 2000 වසරේදි හොලිවුඩ් සිනමා විචාරකයන් අතර බොහොම කථාබහට ලක් වෙච්ච Memento කියන නිර්මාණය ආශ්‍රිතවයි. ඔබ ඝජිනි ආසාවෙන් බැලුවානම්  මෙමෙන්ටෝ ඊටත් වඩා ආසාවෙන් නරඹාවි.

කථාව පදනම් වෙලා තියෙන්නෙ පූර්වක්‍රමික විස්මෘතිය  (anterograde amnesia) හෙවත් අලුත් දිගුකාලීන මතක නිපදවීමේ නොහැකියාවක් ඇති ලෙනාර්ඩ් නම් අයෙක් පදනම්වයි. ඔහුට කෙටිකාලීන මතකයන් දිගුකාලීනව මතක තබාගැනීමට බැරි නිසා, සටහන් සහ පච්ච භාවිතයෙන් තොරතුරු තබාගන්නවා. ඔහුට මේ තත්ත්වය ඇතිවන්නේ ඔහු සහ බිරිඳ නොදන්නා අයෙක්ගේ ප්‍රහාරයට ලක් වීමෙනුයි.

මෙමෙන්ටෝහි ඝජිනි සමඟ සමඟ සමානකම එතැනින් නිමාවෙනවා. මෙමෙන්ටෝහි කථාව දිවෙන්නේ ඝජිනිහි මෙන් අවසානය කලින්ම කිවහැකි කථාවක් ලෙස නොවේ. මේ සිනමා කෘතියේ විශේෂත්වය වන්නේ කාල රාමු දෙකකින් කථාව ඉදිරිපත් කිරීමයි. වර්තමාන කථාව කාලානුක්‍රම  (Chronological) ක්‍රමයටත්, අතීත කථාව ප්‍රතිලෝම කාලානුක්‍රම (Reverse chronological) ක්‍රමයටත් ඉදිරිපත් කරන නිසා අන්තිම මොහොත වනතෙක්ම කථාව තේරුම් ගැනීමට අපහසුයි.

ඝජිනි කියන්නෙ මෙමෙන්ටෝ වල පිටපතක් නොවන බවත් සඳහන් කරන්නෙ ඕනෑ. මෙමෙන්ටෝ සිනමා කෘතිය ඝජිනි චිත්‍රපටියට වඩා බොහොම ගැඹුරු සහ දාර්ශනික බවයි මගේ මතය.

මෙමෙන්ටෝ සිනමා කෘතිය පදනම් වී ඇත්තේ ජොනතන් නොලාන් (Jonathan Nolan) විසින් රචිත මෙමෙන්ටෝ මොරි (Memento Mori) නම් කෙටිකථාව ආශ්‍රිතවයි. ජොනතන්ගේ අයියා ක්‍රිස්ටෝපර් නොලාන් (Christoper Nolan) තමා මේ චිත්‍රපටිය නිර්මාණය කර ඇත්තේ. ක්‍රිස්ටෝපර් නොලාන් කියන්නේ Batman Begins, The Dark Knight වගේම Inception සිනමා කෘතිවල නිර්මාපකයා බව දන්නවා ඇති.

මෙමෙන්ටෝ මොරි කෙටිකථාව චිත්‍රපටියේ කථාවට වඩා තරමක් වෙනස්. (එය ඊටත් වඩා රසවත්!) ඒ  කථාව මෙතැනින් කියවන්න.

IMDB හි 8.7 ක ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති මේ සිනමා නිර්මාණය ඔස්කාර් සම්මාන දෙකක් ඇතුළු සම්මාන ගණනාවකට නිර්දේශ වූ අතර තවත් සම්මාන ගණනාවක් දිනාගෙන තිබෙනවා. චිත්‍රපටිය නරඹලාම රස විඳින්න.

මගේ නම (අපිජිහ්විකාවෙන්) ඛාන්

මමත් “මයි නේම් ඉස් ඛාන්” චිත්තරපටිය (ගෙදර ඉඳන්) බැලුවා. ඕන තරම් අය ඇති තරම් ඒ චිත්තරපටිය ගැන කථා කරල තිබ්බ. ඉතින් මමත් ඒ ගැනම ලිව්වට මොකෝ?

ශාරුක්ගේ රඟපෑම නම් බොහොම ඉහළයි. දෙන්න හදන පණිවිඩෙත් වැදගත් එකක්. ඒ උනාට මොකද ඒක තවත් හින්දි චිත්තරපටියක් විතරක් වගේ මටනම් තේරුනෙ.

“තවත් හින්දි චිත්තරපටියක්” කිව්වෙ සියල්ල (නැතත් ටිකක් හරි) සතුටින් නිමාවන, අවසානය හිතාගන්න පුළුවන්, අභව්‍ය සිද්ධි අඩු නැති චිත්තරපටියක් නිසයි. (හොලිවුඩ් චිත්තරපටි ඔක්කොටම වඩා අභව්‍යයි. කොහොමද අප්පා මකුළුවෙක් කෑවහම අතින් මකුළුදැල් විදින්න පුළුවන් වෙන්නෙ?)

කොච්චර හොඳ කථාවක් වුනත් කරන් ජොහාර්ට වැරදුන තැන් කීපයක් තිබ්බා. එකක් තමා ඇමරිකාවෙ පොඩි නගරෙකට ගංවතුර ගැලුවට පස්සෙ වෙනදේ. ඛාන් කැලිෆෝනියාවෙ ඉඳන් වාහනවල එල්ලෙ එල්ලි එන්න දවස් දෙකක්වත් යනවා. එතකං ඇමරිකන් කාරයෝ මොකද කළේ. අනික ඛාන්ට එන්න පුළුවන්නම් ඇයි ඇමරිකන් කාරයන්ට බැරි? ඇමරිකන් කාරයෝ (තමන්ගෙ රටේ) අනිත් මිනිස්සුන්ට කෙල වෙලා ගියත් කමක් නෑ කියලා හිතලා පැත්තකට වෙලා බකං නිලා ඉන්න සත්ව කොට්ඨාසයක්ද? ඇමරිකාවෙ නැගෙනහිර මායිමක තියන (ජෝර්ජියා වල) නගරෙක මිනිස්සුන්ට උදව් කරන්න බටහිර කොණේ කැලිෆෝනියාවෙන් මුස්ලිම් මිනිස්සු එන්න ඕනෙද? ඇමරිකාවෙ හෙලිකොප්ටර් එහෙම නැද්ද ඔය ගංවතුරකදි එහෙම මිනිස්සු බේරගන්න? (මේ සිද්ධිය ඉන්දියාවෙ උනා නම් ඔන්න ඇත්ත කියලා හිතන්න තිබ්බා.) හින්දි චිත්තරපටියක වීරයා පොර වෙනවා කියන්නෙ ඕකට තමා.

අර පල්ලියක ඉඳන් අන්තවාදී මත පතුරවලා සෙනඟ බඳවාගන්න දොස්තර වගේ මෝඩ ත්‍රස්තවාදියෝ ඉන්නවද මේ ලෝකෙ? හොර රහසෙ කට්ටියව බඳවගන්නව මිස කවදාවත් නොදැක්ක මිනිස්සු ඉන්න තැන්වල ප්‍රසිද්ධියේ ඔය වගේ රැස්වීම් තියනවද?

තමන් උපයන දෙයින් හරියටම මැනලා කොටසක් පිනට දෙන අවංක මුස්ලිම් අය ඉන්නවද? (එහෙම අය ඇති. මුස්ලිම් අය අවංක නෑ කියල කිව්ව නෙවේ ඔන්න.) අනික සාමාන්‍යයෙන් පිනට දෙන ටික දෙන්නෙ පල්ලියටනෙ. ඛාන් සල්ලි 9/11 වලින් විපතට පත් අයට දෙනකොටත් නුහුරු ගතියක් වගේ දැනුනෙ ඒ නිසා වෙන්න ඇති.

ඊලඟ විහිළුව ඇමරිකාවෙ ජනාධිපතිවරණෙ. ඇමරිකාවෙ ජනාධිපතිවරණෙ නොවැම්බර් මුල සතියෙ තිබ්බට ජනාධිපති වැඩ භාරගන්නෙ ජනවාරිවල. ‘පත්වූ’ ජනාධිපති නිල වැඩවල යෙදෙන්නෙ නෑ ජනවාරි වෙනකම්. ඛාන් එතකොට මුණගැහෙන්නෙ ඇමරිකාවෙ ඇත්ත ජනාධිපතිව නෙවේ. ‘පත්වූ’ ජනාධිපතිව විතරයි. (බුෂාව මුණගැහුනා කිව්ව නම් ඔන්න හිතාගන්න පුළුවන්, ගෙදර යන්න ඉන්න එකාට මොකාව මුණගැහුනත් කමක් නැති නිසා.)

“මගෙ නම ඛාන්. මම ත්‍රස්තවාදියෙක් නෙවේ” කියලා රිස්වාන් ඛාන් කිව්වහම හැම මුස්ලිම් පුද්ගලයම ත්‍රස්තවාදියො නෙවේ කියල අදහස එනවා තමා. ඒත් “මගෙ නම xxxx. මම ත්‍රස්තවාදියෙක්මි” කියලා කවුරුත් කියන්නෙ නැති බව අමතක කරන්නත් හොඳ නෑ.

කොහොම උනත් “මයි නේම් ඉස් ඛාන්” කියන්නෙ මම ආසාවෙන් බලපු හින්දි චිත්තරපටියක් කියලා කියන්න ඕනෙ.

The Blind Side – අපූරු සිනමා කෘතියක්

ලඟදි බලපු බොහොම අපූරු චිත්‍රපටයක් නිසා මට හිතුනා ඒ ගැන සටහනක් තියන්න.

Sandra Bullock නම් ප්‍රසිද්ධ රංගන ශිල්පිණියගෙ රඟපෑමෙන් විසිතුරු වන මේ චිත්‍රපටය ඒ නමින්ම යුත් පොතක් ආශ්‍රයෙන් සැකසුන එකක්. සත්‍ය කථාවක් නිසාමදෝ මේ චිත්‍රපටය ඉතාම අගනේයි.

(ඇමරිකන්) ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වන Micheal Ohre (මයිකල් ඕර්) ගේ ජීවිතයේ එක් කාල පරිච්ඡේදයක් අලලා කියවෙන මේ කථාව ඇමරිකානු සමාජයේ වෙනස්කම් සහ මානුෂික ගුණාංග පිළිබිඹු වන්නක්.

ඉන්නට නිවසක් නොමැතිව ඉතා අපහසුවෙන් දිවි ගෙවනා පාසල් සිසුවෙක් වන මයිකල්ගේ ජීවිතය, ඩොලර් මිලියන ගණනක් උපයන ෆුට්බෝල් ක්‍රීඩකයෙක් දක්වා වෙනස් වන්නේ කෙසේද යන්න ඔබට මේ චිත්‍රපටයෙන් දැක බලාගත හැකියි.

IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.8 ක් හිමිව ඇති මේ සිනමා කෘතිය, 2010 ඔස්කාර් සම්මාන දෙකකට නිර්දේශ වී ඇති අතර Sandra Bullock ගෝල්ඩන් ග්ලෝබ්, SAG ඇතුළු සම්මාන උළෙල හතරකදී හොඳම නිළියට හිමි සම්මනයද දිනාගත්තේ මෙහි රඟපෑම වෙනුවෙන්.

නාට්‍යමය/ චරිත කථා/ ක්‍රීඩා සම්බන්ධ චිත්‍රපට නරඹන්න කැමති නම්, ඔබ මේ චිත්‍රපටයට කැමති වේවි.