නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

කවුරුත් “නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ” කියන කියමන අහල ඇතිනෙ. මේ කියමන හැදුන හැටි දැනගන්න කැමතිද? එහෙනම් දිගටම කියවන්න.

ඔන්න එකෝමත් එක රටක කැළෑවක අලියෙක් මැරිල හිටියලු. මේ අලියගෙ මළකුණේ මස් කන්න නරියෙක් ආවලු. මේ නරියා අලියගෙ කුණේ පැත්තකින් මස් කාගෙන කාගෙන ගියාලු. මේ විදියට නරියා මස් කනකොට මළකුණේ හිලක් හැදුනලු. නරියා ඒ හිලෙන් ඇතුලට රිංගලා ඇතුලෙ තියන මස් කන්න ගත්තලු.

ඌ ඒ විදියට මළකුණ ඇතුලෙ ඉන්න අතරෙදි, අව්වට අලියගෙ හම වේලිලා ඇඹරිලා පුංචි වෙලා ගියාලු. එතකොට නරියා ඇතුලට රිංගපු හිලත් වැහිල ගියාලු. ඉතිං නරියා අලියගෙ මළකුණ ඇතුලෙ හිර වුනාලු.

ඔය අතරෙ බෙරවායෙක් බෙරේකුත් එල්ලගෙන තොවිලෙකට ගියාලු  ඒ අලියගෙ මළකුණ ළඟින්. නරියට ඇහුනලු කවුදෝ යන සද්දයක්. නරියා මළකුණ ඇතුලෙ ඉඳන් ඇහුවලු “කවුද ඔය යන්නෙ?” කියලා.

එතකොට බෙරවායා කිව්වලු “මම මේ තොවිලෙකට යන ගමන්” කියලා. එතකොට නරියා කිව්වලු “මගේ අවසරයකින් තොරව මගෙ වැයික්කියෙන් යන්න උඹ කවුද?” කියලා.

පේන්න කවුරුත් නැතිව කථාකරන්නෙ යකෙක් හරි දෙවියෙක් හරි තමා කියලා හිතපු බෙරවායා “ගැත්තාට සමාවනු මැනවි, මං මේ අඩවියෙන් ගියෙ (අවසර ගන්න ඕනෙ බව ) නොදැනයි. මම මේ තොවිලෙකට බෙර ගහන්න යන ගමන්.” කියලා කිව්වලු.

එතකොට නරියා ඇහුවලු “බෙර ගැහුවාම උඹට මොනවද ලැබෙන්නෙ?” කියලා. “අනේ ඉතින් කන්න බොන්නත් එක්ක පොඩි ගතමනාවකුත් ලැබෙනවා. එච්චරයි” කියලා බෙරවාය කිව්වලු.

එතකොට නරියා කිව්වලු “මම උඹට ඇති වෙන්න රත්තරන් දෙන්නම්. උඹේ වාසනාවකට තමා උඹ මේ ඉසව්වෙන් ගියෙ. මම මෙතන තියන මහා නිධානයක් රකින දේවතාවෙක්. උඹට මේ නිධානෙ ගන්න පුළුවන් මම කියන විදියට කළොත්” කියලා. රත්තරන් වලට කෑදරකමේ බෙරවායත් කියන දෙයක් කරන්න කැමති වුනාලු.

“උඹේ අතේ බෙරයක් තියනවා නොවැ. ඒ බෙරේ එක ඇහැක් පළලා බෙරේට වතුර පුරවගෙන ඇවිත්, මේ අලි කුණට හලාපිය” කියලා නරියා උපදෙස් දුන්නලු. නිධානෙට ලෝභකමේ බෙරවායත් තමන්ගෙ බෙරේ එක පළුවක් අයින් කරලා ඒකට වතුර පුරවන් ඇවිත් වේලිච්ච අලි කුණට හැලුවලු.

අනේ ඉතිං මේ විදියට වතුර වැටෙද්දි වේලිච්ච අලි හම ආයෙත් මෙලෙක් වීගෙන ආවලු. නරියත් ඇතුලෙ ඉඳන්, උගෙ හොම්බෙන් ඇනලා ඇනලා හම මෙලෙක් කරගෙන ඌ ඇතුලට ආපු හිල පාදගෙන එලියට පැනලා දිව්වලු.

බෙරවායා අලියගෙ කුණ ඇතුලට එබිල බැලුවහම, දෙවියෙක් නෙවෙයිලු හිටියෙ, ඉහඳ පණුවොලු. ඒ මිනිහා පැලිච්ච බෙරෙත් අරන් තොවිලෙට ගිහින් වැඩක් නැති නිසා වෙච්ච පාඩුව ගැන තැවෙමින් ගෙදර ගියාලු.

(වයඹ රදා කුලයේ ජන කථාවක්.)
(ඉහත කියමනේ මූලාශ්‍රය ගැන වෙනත් කථාද තිබිය හැකියි.)

Advertisements

ගමරාලගෙ දූ පොඩිත්ත – 2

කථාවෙ මුල් කොටස කියෙව්වෙ නැත්නම් මෙතනින් ඒක කියවලා ඉන්නකෝ.

රජතුමා දුන්නු උපදෙස් හිතේ තියාගෙන ගමරාල ගෙදරට ආවලු. එතකොට ගමරාලගෙ දෝණියන්දැ ගෙදර හිටියෙ නෑලු. දූ පොඩිත්ත වී කොටන්න ගමට ගිහින්, එදා දවසෙ මහන්සියට හම්බු වුනු හාලුත් අරන් ගෙදර එනකොට ගමරාල අඬා වැලපෙමින් මිදුලෙ වලවල් ටිකක් කප කපා හිටියලු.

ගමරාලගෙ දූ ඇහුවලු “අපුච්චි, මොකෑ මේ අදත් වැලපෙන්නෙ?” කියලා. එතකොට ගමරාල කිව්වලු “අනේ දුවේ, රජතුමා හෙට වඩිනවා කිව්වා නොවැ උඹව පෙලවහට ගන්ට. උඹව පෙලවහට ගන්නවට දෑවැද්ද විදියට රජතුමා කිව්වෙ ‘ඇතුලෙත් මඩු, පිටත් මඩු ගහලා, මී හරකුන්ගෙන් කිරි දොවලා, ඒවා මුදෝලා, වැලි වලින් තෙල් අරන් තියන්ට’ නොවැ. ඉතිං කියහංකො මං කොහොමෙයි ඔය දේවල් කොරන්නෙ කියාල. අන්නෙ ඒකයි මං වැලපෙන්න කාරණාව” කියලා.

එතකොට ගමරාලගෙ දූ පොඩිත්ත කිව්වලු “අපුච්චි, ඒකට කාරි නෑ. අපුච්චා ගෙදරට වෙලා ඉඳින්නකො. දන්න විදියට මඩු ගැහුවට කාරි නෑ. මී ගොන්නුන්ගෙන් කිරි දොවන්නත්, ඒ කිරි මුදවන්නත් ඇහැකියැ? වැලි වලින් තෙල් ගන්න ඇහැකියැ?” කියලා. ගමරාලත් දූගෙ උපදේසෙ පිළි අරන් මඩු හැදුවලු.

රජතුමා වඩිනවා කිව්ව ඊලඟ දවසෙ, ගමරාලගෙ දෝණියන්දැ තවත් කෙල්ලෙක් එක්ක රෙදි පොට්ටනියක් අරං පාර දිගේ ගියාලු රජතුමාව මුලිච්චි වෙන්න. ඔය පාර අයිනෙ තියනවලු තල හේනක්. තල හේන ගාවදි මේ කෙල්ලො දෙන්න රජතුමා පෙරහැරින් වඩිනවා දැක්කලු.

රජතුමාත් පෙරහැරේ එනකොට දුරදිම දැක්කලු කෙල්ලො දෙන්නෙක් පොට්ටනියක් අරං ඉස්සරහට එනවා. ඈතදිම ඇමැත්තෙක් රජතුමාට කීවලු “අර ඉස්සරහින් එන්නෙ ගමරාලගෙ දු පොඩිත්ත මහරජතුමනි” කියලා. ගමරාලගෙ දූත් ඉස්සර වෙලා රජතුමා ඉස්සරහට ගියාලු.

එතකොට රජතුමා ඇහුවලු “කෙල්ල, නුඹ කොයිබ යන්නෙහිද?” කියලා. එතකොට ගමරාලගෙ දූ උත්තර දුන්නලු “අපේ අපුච්චා කොටහළු වෙලා. අපි රෙදි නැන්දලගෙ ගෙදරට යනවා පිරුවට අරන්” කියලා. එතකොට රජතුමා ඇහුවලු “බොල කෙල්ල, පිරිමි කොටහළු වෙන්නෙ කෙසේද?” කියලා.

එතකොට ගමරාලගෙ දූ කිව්වලු “ඉතිං රජතුමනි, නුඹ වහන්සේ අපේ අපුච්චාට ඇතුලෙත් මඩු, පිටත් මඩු හදන්න කියලා, මී ගොන්නුන්ගෙන් කිරි දොවන්නයි, ඒ කිරි මුදවන්නයි, වැලි වලින් තෙල් ගන්නයි කීවනෙ. ඒ දේවල් කරන්නෙ කොහොමෙයි? අන්න ඒ විදියටම තමා පිරිමි කොටහළු වෙන්නෙ” කියලා.

රජතුමාත් කෙල්ල කිව්ව දේ ගැන පැහැදුනාලු. ඊට පස්සෙ රජතුමා තල හේනෙන් තල මලක් මිටට අරගෙන “කෙල්ල, මේ තල මලේ තෙල් තියෙන්නෙ කොතනද කියා කියනු” කියලා අණ කළාලු. එතකොට දූ පොඩිත්ත ඇහුවලු “රජතුමනි, ඔබතුමාගෙ මෑණියන් ඔබතුමාව ගැබ් ගනිද්දි, ඔබතුමා කොහෙද හිටියෙ?” කියලා.

රජතුමා ගමරාලගෙ දූ පොඩිත්තගෙ බුද්ධිය ගැන පැහැදිලා, අශ්වයගෙ පිටින් බැහැලා ගමරාලගෙ දූව අස්සයා උඩින් තියාගත්තලු. ඊට පස්සෙ රජතුමත් අස්සයා පිට නැගලා රජ මාලිගාවට ගියාලු. අනිත් කෙල්ල තනියම ගෙදර ගියාලු.

ඊට පස්සෙන්දා, රජතුමා ඇමතිවරු යවලා ගමරාලව රජ මාලිගාවට ගෙන්නගත්තලු. රජතුමා ගම දූව පෙලවහට අරගෙන රජ මාලිගාවෙ ජීවත් වුනාලු. ගමරාලත් රජ මාලිගාවෙම නැවතුනාලු.

වයඹ පළාතේ ජන කථාවක්

ගමරාලගෙ දූ පොඩිත්ත

එකෝමත් එක රටක රජතුමෙක් හිටියලු. ඒ රජතුමා ගමින් ගමට පයිණ්ඩයක් යවනවලු. ඒ පයිණ්ඩෙ ලැබුන කෙනා ඊට පස්සෙ දවසෙ රජ මාලිගාවට ඇවිත්, ඒකෙ තියන දේ විස්තර කරන්න ඕනෙලු. එහෙම විස්තර කරන්න බැරි උනොත් ඒ මිනිහගෙ හිස ගසා දානවලු. ඔය විදියට එන මිනිස්සුන්ගෙන් රජතුමා ඒ පයිණ්ඩෙ තේරුම ඇහුවාම උත්තර දෙන්න කාටවත් බැරි වුනාලු. ඉතිං ඒ මිනිස්සුන්ගෙ හිස ගසා දැම්මලු.

ඉතිං, ඒ විදියට රජතුමා ගම් හතකට පයිණ්ඩ යැව්වලු. ඒ ගම් හතේ මිනිස්සු හත් දෙනෙක් පයිණ්ඩෙ තේරුම් ගන්න බැරුව රජතුමා ගාවට ගිහින් හිස් ගැසුම් කෑවලු.

අටවෙනි දවසෙදි ඔය පයිණ්ඩෙ ආවලු ගමරාල කෙනෙක්ගෙ ගෙදෙට්ට. ගමරාලට තරුණ දූ කෙනෙකුත් හිටියලු. රාජ පුරුෂයෝ ගමරාලට ඒ පයිණ්ඩෙ භාර දෙනකොට ගමරාලගෙ දෝණියන්දැ ගෙදර නෙමෙයිලු හිටියෙ; වී කොටන්න ගමට ගිහින්ලු හිටියෙ. වී කොටලා, මහන්සියට (ගාස්තුව විදියට) හාලුත් අරගෙන දෝණියන්දැ ගෙදර එනකොට ගමරාල කඳුලු පෙර පෙරා වැලපෙනවලු.

ඉතින් දූ පොඩිත්ත ඇහුවලු “අපුච්චෙ, මොකෑ ඔය වැලපෙන්නෙ?” කියලා. එතකොට ගමරාල කිව්වලු “අනේ දුවේ, වැලපෙන්නෙ නැතුව කොහොමෙයි?. අහල ගම් හතක මිනිස්සු හතකගෙ හිස් ගසා දැම්ම රජතුමා, මෙදා පොටේ මට පයිණ්ඩයක් එවලා නොවැ. මිනිස්සු හත් දෙනෙකුට මෙ පයිණ්ඩෙ තේරුම් ගන්න බැරි වෙච්චි, මේ මෝඩ මං කොහොමෙයි රජතුමා අහන පුරස්න වලට උත්තර බඳින්නෙ? මොකෑ, මේ පයිණ්ඩෙත් අරං හෙට රජ මාලිගාවට නොගිහින් ඉන්නෙයි? මටම තමා පයිණ්ඩෙ අරං යන්න වෙන්නෙ. එහෙම ගියාම, රජතුමා මගෙ හිස ගසා දායි. එතකොට උඹට කාත් කවුරුවත් නැතුව යනවා. ඒකයි මං වැලපෙන්නෙ බොලං” කියලා.

එතකොට ගමරාලගෙ දෝණියන්දැ “කොයිබද ඔය කියන පයිණ්ඩෙ අපුච්චි. මටත් ඒක බලන්න දුන්නනං” කියලා රජතුමා එව්ව පයිණ්ඩෙ ඉල්ලගෙන බැලුවලු. ගමරාලගෙ දූ පොඩිත්තට ඒ පයිණ්ඩෙ තියන දේ තේරුනාලු. ඉතිං දූ පොඩිත්ත “අපුච්චි, හෙට රජ මාලිගාවට ගෙහුං රජතුමා අහන දේට මේ මේ විදියට උත්තර බඳින්ට.” කියලා පයිණ්ඩෙ තේරුම ගමරාලට කියල දුන්නලු.

ගමරාලත් පහු වෙනිදා රජ මාලිගාවට ගිහින් පයිණ්ඩෙ ආපහු බාර දුන්නලු. එතකොට රජතුමාත් කලින් මිනිස්සුන්ගෙන් ඇහුව වගේ ගමරාලවත් ගෙන්නලා පයිණ්ඩෙ තේරුම ඇහුවලු. ගමරාලත් දෝණියන්දැ කියල් දුන්න විදියටම රජතුමාට උත්තර දුන්නලු. එතකොට රජතුමා ගමරාලගෙන් ඇහුවලු “කවුද උඹට මේ පයිණ්ඩෙ විස්තර කරල දුන්නෙ?” කියලා. ගමරාල කිව්වලු “රජතුමනි, මට දෝණියන්දැ කෙනෙක් ඉන්නවා. ඒකි තමා පයිණ්ඩෙ තනියෙන් තේරුම් අරන් මටත් කියල දුන්නෙ” කියලා.

එතකොට රජතුමා කිව්වලු “හොඳා. හෙට මං උඹේ දෝණියන්දැව සරණපාවා ගන්න එනවා. උඹ දැන් ගෙහුං ඇතුලෙත් මඩු, පිටත් මඩු ගහපං. මී හරකුන්ගෙන් (දෙනුන්ගෙන් නෙවේ) කිරි දොවලා ඒ කිරි මුදවාපං. වැලි වලින් තෙල් අරං ලෑස්ති කරල තියාපං. කලින් නොකරපු දේවල් කරල තියාපං” කියලා.

මතු සම්බන්ධයි

සුළඟේ ගිය පුළුන් ගුලිය – ඉතිරිය

අක්ක-නගෝලගෙන් කපු කටිමින් සිටි නංගිගෙ පුළුන් ගුලියක් හුළඟෙ ගිහින් ඒක පස්සෙ යැව්ව දුවට වුන දේ  කලින් කිව්වනෙ. ඒක කියෙව්වෙ නැති අය මෙතනින් කියවල ඉන්නකෝ.

ඉතින් අර නංගිගෙ දුව පුළුන් ගුලියයි, රජතුමාගෙන් හම්බු වුන පොඩි සඳුන් ලීයෙන් හදපු පෙට්ටියයි, බල්ල දුන්න මස් ගාතෙයි, බුලත් කොරටුවෙ මිනිහ දුන්න බුලතුයි අරන් ගෙදරට ආවලු. ගෙදර ඇවිත් වුන දේවල් අම්මටත් කියලා රජතුමා දුන්න පෙට්ටියෙ තියෙන්නෙ මොනවද කියලා ඒක ඇරලා බැලුවලු. එතකොට කෙල්ලයි, අම්මයි දැක්කලු ඒ පෙට්ටිය පුරෝල තියෙන්නෙ රන්-රිදී, මුතු-මැණික් වලින් කියලා. ඉතින් ඒ දෙන්නා බොහොම සතුටු උනාලු.

අක්ක-නගෝලගෙන් අක්කට ආරංචි වුනාලු නංගිටයි, දෝණියන්දැටයි පුළුන් ගුලියක් නිසා මහා ධනස්කන්ධයක් ලැබුන හැටි.

ඉතින් ඊලඟ දවසෙදි අක්කා තමන්ගෙ දෝණියන්දැ එක්ක පුළුන් වලින් කපු කටින්න ගත්තලු. ඊට පස්සෙ අක්කා පුළුන් ගුලියක් බලෙන්ම හුළඟට විසි කෙරුවලු. පුළුන් ගුලියත් හුළඟෙ ගහගෙන ගියාලු. එතකොට අක්කා තමන්ගෙ දුවට හොඳටම තලලා කිව්වලු “හුළඟෙ ගිය පුළුන් ගුලිය අරගෙන මිසක් ආයෙත් එනව නෙවේ උඹ” කියලා. ඉතින් ඒ කෙල්ලත් අඬ අඬා හුළඟෙ ගිය පුළුන් ගුලිය හොයාගෙන යන්න පිටත් උනාලු.

ඒ යනකොට අර නොණ්ඩි මිනිහගෙ බුලත් කොරටුව ගාවින් යන්න වුනාලු. ඒ මිනිහා “අනේ, පිං සිද්ධ වෙයි බුලත් කොරටුවට වතුර ටිකක් දාලා පලයංකො” කියලා අර කෙල්ලට කිව්වලු. ඒ කෙල්ල “මට බෑ” කියලා යන්න ගියාලු. ඔහොම යනකොට අර බල්ල බැඳල හිටිය තැනිනුත් ගියාලු. එතකොට බල්ල කිව්වලු “අනේ අක්කෙ, මාව හෙවණකින් බැඳල පලයංකො, පිං සිද්ධ වෙනවා. එහෙම කළොත් උඹ ආපහු ගෙදර යනකොට මං මස් ගාතයක් උඹට දෙඤ්ඤං” කියලා. අර කෙල්ල “මට බෑ” කියාගෙන එතැනිනුත් යන්න ගියාලු.

පුළුන් ගුලිය ඉස්සෙල්ල දවසෙ වගේම වේවැල් පඳුරක රැඳිල නතර වෙලා තිබ්බලු. අර කෙල්ලත් කොටු කෑලි අමුණගෙන කෙක්කක් හදලා පුළුන් ගුලිය ගන්න වෑයම් කළාලු. එතකොට ඉස්සෙල්ල දවසෙ වගේම රජතුමා එතැනට ආවලු. “මං උඹට පුළුන් ගුලිය අරගෙන දෙන්නම්. උඹ රජ මාලිගාවට ගිහින් කෑම උයපං” කියලා රජතුමා කිව්වලු.

කෙල්ලත් රජ මාළිගාවට ගියාලු. කෑම උයලා පුරුද්දක් නැති මේ කෙල්ල මාළු පිණියි, බතුයි ඉව්වලු. රජතුමා වේවැල් ගාලෙන් පුළුන් ගුලිය අරගෙන  රජ මාලිගාවට ඇවිත් කෙල්ලට ඒක භාර දුන්නලු. ඊට පස්සෙ කෙල්ල උයපු කෑම කන්න ගියාලු. කන්න ගිහින් කෑම කන්න බලනකොට ඒ කෑම කන්න බැරිලු, දියම දිය රහයිලු.

ඒ පාර රජතුමා ඉස්සෙල්ල වගේම කෙල්ලව ලොකු කාමරේකට එක්කගෙන ගියාලු. “මෙ පෙට්ටි වලින් උඹට මනාප පෙට්ටියක් තෝර ගනිං” කියලා රජතුමා කෙල්ලට කිව්වලු. “පුංචම්මගෙ කෙල්ල මෝඩ කමට පොඩි පෙට්ටියක් තෝර ගෙන. ඒ පෙට්ටියෙ තිබ්බ රත්තරං මැණික් එහෙම නම් මේ ලොකු පෙට්ටියෙ කොහොම ඇද්ද? උන්ට වඩා අපි පෝසත් වෙන්න ඕනෙ කියලා” හිතලා අර කෙල්ල හොයලා හොයලා ඒ කාමරේ තිබ්බ ලොකුම පෙට්ටිය තෝරගත්තලු.

එතකොට රජතුමා කිව්වලු “උඹට ගැලපෙනම පෙට්ටියක් තෝරගෙන තියනවා. උඹේ අම්මයි-අප්පච්චියි ඉන්න තැනක මිස පෙට්ටිය අරිනවා නෙවෙයි” කියලා. එහෙම කියලා රජතුමා කෙල්ලව ගෙදර පිටත් කළාලු.

කෙල්ල ගෙදර ඇවිත් විස්තරේ කිව්වලු. ඊට පස්සෙ රෑ වෙලා ගමේ සේරමන්ටම එන්න කියලා පෙට්ටියෙ තියෙන්නෙ මොනවද තියෙන්නෙ කියලා බලන්න ඒක ඇරියලු. ඒ පෙට්ටිය පිරිල තිබ්බෙ නයි-පොළොං සරපයින්ගෙලු. ඒ සරපයි පෙට්ටියෙන් එලියට ඇවිදිල්ල අර කෙල්ලවයි, අම්මවයි, තාත්තවයි, ගමේ හැමෝවමයි කෑවලු. සරපයි කාල මිනිස්සු මැරිච්ච නිසා ඒ ගම පාළු වුනාලු.

වයඹ පළාතේ රොඩී ජන කථාවකි.

සුළඟේ ගිය පුළුන් ගුලිය

තවත් ජනකථාවක්.

ඔන්න එකෝමත් එක රටක තිබ්බලු නගරයක්. මේ නගරෙ හිටියලු සහෝදරියො දෙන්නෙක්, අක්කයි- නංගියි. මේ අක්ක නගෝලට දූවරු දෙන්නෙකුත් හිටියලු.

එක දවසක්දා බාල සහෝදරී (කපු පුළුන් වලින්) කපු කටිමින් හිටියලු. ඒ ඇත්තිගෙ දූත් එතැන ඉඳගෙන උදව් කර කර හිටියලු. එක පාරටම හුළඟක් ඇවිල්ලා ඒ දුවගෙ අතේ තිබ්බ පුළුන් ගුලියක් හුළඟට ගහගෙන ගියාලු. ඒ කෙල්ලගෙ අම්මණ්ඩි කෙල්ලට තලලා කිව්වලු “පුළුන් ගුලිය ගොහින් නතරවෙන තැනකින් ඒක අරන් ආපහු වර” කියලා. අනේ ඉතින් මේ කෙල්ලත් අඬ අඬා අර හුළඟෙ යන පුළුන් ගුලිය පස්සෙන් දිව්වලු.

මෙ කෙල්ල පුළුන් ගුලිය පස්සෙන් දුවන අතරෙ බුලත් කොරටුවක් ගාවට ආවලු. ඒ බුලත් කොරටුවෙ වැඩ කර කර හිටියෙ නොණ්ඩි මිනිහෙක්ලු. මේ නොණ්ඩි  මිනිහ අර කෙල්ලට කථා කරල කිව්වලු “අනේ කෙල්ලෙ, පිං සිද්ධ වෙයි,  මේ බුලත් කොරටුවට වතුර ටිකක් දාල පලයංකො” කියලා. මේ කෙල්ල බුලත් කොරටුවට වතුර දාල ආයෙත් පුළුන් ගුලිය පස්සෙන් යන්න ගත්තලු. එතකොට අර නොණ්ඩි මිනිහා කිව්වලු “උඹ ආයෙත් එනකොට මං උඹට අරන් යන්න බුලත් කඩා තියඤ්ඤං” කියලා.

ඉතිං ඔහොම යනකොට බල්ලෙක් බැඳල තිබ්බ තැනකට ආවලු. ඒ බල්ලව අව්වෙලු බැඳල තිබ්බෙ. “අනේ නංගියෙ, මාව හෙවණ ඇති තැනකින් බැඳල පලයංකො, පිං සිද්ධ වෙනවා” කියලා බල්ල කිව්වලු. කෙල්ලත් බල්ලව හෙවණින් බැඳල ආයෙත් පුළුන් ගුලිය පස්සෙ ගියාලු. “උඹ ආයෙත් ගෙදර යනකොට මං උඹට ඇන්න යන්න මස් ගාතයක් සූදානං කොරල තියඤ්ඤං” කියල බල්ල කිව්වලු.

කෙල්ල ඔහොම යනකොට දැක්කලු පුළුන් ගුලිය වේවැල් ගාලක පැටලිලා තියනවා. මෙ කෙල්ල කෝටු කෑලි එක්කහු කරල කෙක්කක් බැඳගෙන පුළුන් ගුලිය ගන්න වෑයම් කළාලු. ඒ අතරෙ එතනට ආවලු රජතුමෙක්. රජතුමා ඒ කෙල්ලට කිව්වලු “මම උඹට පුළුන් ගුලිය අරගෙන දෙන්නම්. උඹ රජ මාලිගාවට ගිහින් කෑම උයාපං” කියලා.

ඒ පාර ඒ කෙල්ල රජ මාලිගාවට ගිහින් කෑම ඉව්වලු. රජතුමාත් පුළුන් ගුලිය අරගෙන රජ මාලිගාවට ඇවිත් කෙල්ලට ඒක දුන්නලු. ඊට පස්සෙ රජතුමා කෙල්ල උයපු කෑම ටික කෑවලු. ඒ කල්ලා රජතුමා කෙල්ලව ලොකු කාමරේකට එක්කගෙන ගියාලු. ඒ කාමරේ පුරෝල තිබුනලු එක එක ප්‍රමාණයෙ පෙට්ටි. “මෙ පෙට්ටි වලින් උඹට මනාප ඕනෙම පෙට්ටියක් තෝරල ගනින්” කියලා රජතුමා කිව්වලු.

ඉතිං ඒ කෙල්ල කාමරේ පුරාම බලලා බලලා එතැන තිබ්බ පොඩිම සඳුන් ලීයෙන් හදපු පෙට්ටි පොඩියක් තෝරගත්තලු. එතකොට රජතුමා “මේ පෙට්ටියෙ තියන දේ උඹව හදා-වඩා ගත්ත ඇත්තන්ටත් ජීවත් වෙන්න උපකාර වෙයි” කියලා කෙල්ලව පිටත් කරාලු.

පුළුන් ගුලියයි, රජතුමාගෙන් හම්බු උන පෙට්ටියයි අරන් ඒ කෙල්ල ආයෙත් ගෙදර එන්න පිටත් වුනාලු. ආපහු එන අතරෙ හෙවණෙන් ගැටගහපු බල්ල හිටිය තැනට ආවහම ඌ කිව්ව විදියටම මස් ගාතයක් තියාගෙන හිටියලු. ඒ කෙල්ල ඒකත් අරන් එනකොට බුලත් කොරටුවෙ හිටිය මිනිහා පොරොන්දු වුන විදියටම බුලත් කඩලා තිබ්බලු. ඒ කෙල්ල බුලතුත් අරගෙන ආයෙත් ගෙදරට ආවලු.

අනේ තරහ වෙන්න එපා, අදට මෙතනින් නවත්තන්නම්. කථාවෙ ඉතුරු ටික හෙට දාන්නම්කෝ.

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

සිල් ගත්ත පූසා

තවත් සිංහල ජනකථාවක් කියන්නයි සූදානම. සිංහලෙන් ස්වයංක්‍රීයකරණය ගැන ලියන ලිපි මාලාවත් අතපසු වුනා මේ ජනකථා ලියන එකෙන්. ඒකත් ආයෙත් පටන් ගන්නවා ලඟදිම.

එකමත් එක දවසක පූසෙක් බඩගින්නෙ ඇවිදිනකොට ගෙදරකින් කරෝල සුවඳක් එනවා දැනුනලු. හොරෙන්ම ඒ ගෙදරට රිංගගත්ත පූසා කරෝල තියෙන්නෙ කොහෙද කියලා හොයනකොට ඒක තියෙන්නෙ පෙට්ටගමක් උඩ තිබුන හාල් මුට්ටියක් ඇතුලෙ කියලා දැනුනලු. ඒක කන්න පෙට්ටගම උඩට පනිනකොට එතන එල්ලලා තිබ්බ නවගුණ වැලක් පූසගෙ බෙල්ලෙ පැටලුනාලු. පූසා නවගුණ වැල ගලවගන්න දන්න ඔක්කොම සෙල්ලම් දැම්මත් ඒක ගලවගන්න බැරි වුනාලු.

පෙරලුන පිට හොඳයි කිව්ව වගේ පූසා නවගුණවැලත් කරේ එල්ලගෙන කැලේට ගියාලු. ඔහොම යනකොට පූසට මුලිච්චි වුනාලු වලිකිකිළියෙක්. පූසව දැක්ක විතරයි මේකි පැනලා දිව්වලු. පූසා බොහොම උපාසක ස්වරයෙන් වලිකිකිළිට කිව්වලු “මම සිල් අරන් ඉන්නෙ. මට බය වෙන්න එපා. මම පන්සලක් හොයාගෙනයි යන්නෙ. තුම්මල් කිත්තියෙ මාත් එක්ක යං” කියලා. (මේ තුම්මල් කිත්ති කිව්වෙ ඔළුවෙ මල් තුනක් තියන කීර්තිමත් ඇත්තිය කියලා.)

වලිකිකිළිත් පූසව විශ්වාස කරලා ඌත් එක්ක යනවලු. මේ යන අතරමගදි ඇටිකුකුළෙක්ව මුලිච්චි වුනාලු මේ දෙන්නට. ඇටිකුකුළත් පැනල යන්න හදනකොට පූසා කිව්වලු “මම සිල් අරන් ඉන්නෙ. මාත් එක්ක යං” කියලා. ඒ පාර ඇටිකුකුළත් පූසට එකතු වුනාලු.

ඔහොම යනකොට මේ කාණ්ඩෙට මුලිච්චි වුනාලු  හාවෙක්ව. පූසා හාවටත් කිව්වලු “ටොක්කා නැට්ටුවේ, මාත් එක්ක යං. මම සිල් අරන් ඉන්නෙ” කියලා. (ටොක්කා කියන එක හැදිල තියෙන්නෙ දෙමලෙන් පැන පැන යනවා කියන අදහස දෙන ටොංකු කියන වචනෙනුයි.) ඉතින් හාවත් මේ කාණ්ඩෙට එකතු වුනාලු.

සිල් ගත්ත පූසා පෙරටු කරගත්ත මේ කට්ටිය කැලේ තිබ්බ ගල්ගුහාවක් ගාවට ආවලු. “ඉස්සරකාලෙ භාවනායෝගියො මේ වගේ තැන්වලතමා භාවනා කළෙ. මටත් මෙතන හොඳා පන්සලකට” කියලා පූසා ඒ ගල් ගුහාවෙ තිබ්බ උස තැනකට වෙලා ඉඳගෙන ඇස් පියාගෙන හිටියලු. වලිකිකිළියි, ඇටිකුකුළයි, හාවයි පැත්තකට වෙලා බලාගෙන හිටියලු.

කිකිළියන්ටත්  නිකං ඉන්න බෑනෙ, හැම වෙලේම බිම පහුරු ගගා කෑම හොයනවා. මේ වලිකිකිළිත් පුරුද්දට බිම පහුරු ගෑවලු. මේක ඇහුනු පූසා “ටොක්කා නැට්ටුවෙ, තුම්මල් කිත්ති බිම පහුරුගාලා පන්සල් භූමිය අපවිත්‍ර කලා. මම ඒකිව මරන්න ඕනෙ නේද?” කියලා ඇහුවලු. හාවත් “ඔව්, ඔව් ඒක හොඳා” කියලා කිව්වලු. ඒ පාර පූසා එක පාරටම පැනලා වලිකිකිළිව මැරුවලු.

ඊට පස්සෙ පූස ඇහුවලු “මැරිච්ච සතෙක්ව කෑවට සීලෙ කැඩෙන්නෙ නෑ නේද?” කියලා. “නෑ නෑ..මැරිච්ච සතෙක් කෑවට පව් සිද්ධ වෙන්නෙ නෑ. සීලෙ කැඩෙන්නෙත් නෑ” කියලා හාවා කිව්වලු. ඉතිං පූසා වලිකිකිළිව කෑවලු.

ඊටපස්සෙ භාවනා කරන්න වගේ ඇස් පියාගෙන හිටි පූසා ටික වෙලාවකින් ඇස් ඇරලා කිව්වලු “ටොක්කා නැට්ටුවේ, මේ ඇටිකුකුලා මං භාවනා කරන වෙලේ ඇස් දෙක හොඳටම රතු වෙනකම්ම අරක්කු බීල නොවැ. මූව මරන්න නොවෙද වටින්නෙ?” කියලා. හාව ඔව් කියන්නත් කලින් පූස පැනල ඇටිකුකුළව මැරුවලු. “මැරිච්ච සතෙක් කෑවට සිල් කැඩෙන්නෙ නෑ නේද?” කියලා පූස ඇහුවහම හාව “නෑ. නෑ. සිල් කැඩෙන්නෙ නෑ” කිව්වහම පූස ඇටිකුකුළවත් කෑවලු.

ආයෙත් භාවනා කරන්න ගිය පූසා ටික වෙලාවකින් ඇස් ඇරලා “ටොක්කා නැට්ටුවො, උඹ පන්සල වටේම බෙටි දාලා පන්සල් භූමිය අපවිත්‍ර කළා නේද? උඹව මැරුවත් මදි නේද?” කියලා ඇහුවලු. හාවත් “ඔව්, මාව මරන එක තමා යහපත්, නිවැරදි ක්‍රියාව. මම මහ ටොක්කමයි, පොඩි ටොක්කමයි  ටොක්කම් දෙකක් දැම්මට පස්සෙ මාව මැරුවට කිසිම වැරැද්දක් නෑ. සීලෙ කැඩෙන්නෙත් නෑ” කියලා කිව්වලු. (ටොක්කම කිව්වෙ පැන පැන යනවට හොඳේ.)

“එහෙනම් ටොක්කම් දාපං” කියලා පූසා කිව්වලු.

හාවා ගල් ගුහාව වටේ රවුමක් පැන පැන දුවලා කිව්වලු “මේක තමයි පොඩි ටොක්කම” කියලා. ඊට පස්සෙ හාවා පූසගෙ වටේට රවුමක් දුවලා පූසගෙ ඔළුව උඩින් පැනලා “ඒක තමයි මහ ටොක්කම” කියලා කැලේට දිව්වලු.

වයඹ පළාතේ ජනකථාවක්.

පින්තූර ගත්තෙ මෙතනින්.

රාජා හෝ, මා හෝ, ගංගා හෝ

ඔයාල මේ වාක්‍යය අහල තියනවද? සමහරු අහල ඇති. ඒක හැදුනෙ කොහොමද කියල දන්නවද? දන්නැත්නම් අහගන්නකෝ..

ඔන්න එකෝමත් එක නගරෙක හිටියලු රජ කෙනෙක්. මේ රජතුමාට ආසාවක් තිබුනලු තිත්ත නැති කොහොඹ ගෙඩියක් කන්න. ඉතිං රජතුමා මුළු රට පුරාම අණබෙරකාරයො යැව්වලු  තිත්ත නැති කොහොඹ ගහක් වවලා ගෙඩි හැදුවොත් ඇතෙක් බරට වස්තුව දෙනවයි කියලා.

Kohobaමේ අතරෙ යාළුවො දෙන්නෙක් රස්සාවක් හොයාගෙන ගමින් ගමට යමින් හිටියලු. (රැකියා විරහිත කට්ටිය ඒ කාලෙත් ඉඳල තියනව හොඳේ.) එයාලටත් ඇහුනලු අණබෙර සද්දේ. මේ දෙන්නා අණබෙරකාරයව නවත්තගෙන “මේ අණබෙර ගහන්නෙ මක්කටෙයි?” කියලා ඇහුවලු. අණබෙරකාරයත් රජතුමාගෙ  පයින්ඩෙ කිව්වලු “තිත්ත නැති කොහොඹ ගහක් වවන්නෙකුට අප මහ රජාණෝ විසින් ඇතෙක් බරට වස්තුව දෙනු ලැබේ” කියලා. මේ යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වලු “මට ඇහැකි ඔය වැඩේ කරන්න” කියලා. ඒ පාර අණබෙරකාරයා ඒ මිනිහව රජවාසලට කැන්දගෙන ගියාලු.

“එම්බා පුරුෂය, තට තිත්ත නැති කොහොඹ ගසක් වවා දීමට හැකිද?” කියල රජතුමා ඇහුවලු.

“එහෙයි මහරජතුමනි, මට හැකියි” කියල ඒ මිනිහ කිව්වලු.

“තට ඊට අවශ්‍ය කලමනා මොනවාද?” කියල රජතුමා ඇහුවලු.

“මහරජතුමනි, මසකට වරක් සීනි නැලි සියයකුත්, විශාල වෙඬරු (butter) හැලියකුත් ලැබුනේ නම් මැනවි” කියලා මේ මිනිහා කිව්වලු.

ඊට පස්සෙ රජතුමා කිව්වලු “තා හට අවශ්‍ය දේවල් භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නෙමි. නුඹ මේ කොහොඹ ගස වවන්නේ කොයිබද?” කියලා.

“මහරජතුමනි, තිත්ත නැති කොහොඹ ගසට දිනපතා පිරිසිදු ජලය අවශ්‍යයි. එමෙන්ම රොන්මඩින් සාරවත් වූ පසක් අවශ්‍යයි. ඒ නිසා අසුවල් ගඟ අසබඩ මේ කොහොඹ ශාකය වවන්නෙම්. එය රැක බලා ගැනීමට මා හට පැල් කොටයක්ද ලැබෙන්නේනම් මැනවි, රජතුමනි” කියලා ඒ මිනිහා කිව්වලු.

ඉතින් රජතුමත් ඒ මිනිහට ගඟ අයිනෙ පැලක් දීල, මාසෙකට පාරක් සීනියි වෙඬරුයි සැපයුවලු. ඔන්න ඉතින් කොහොඹ ගහ ටිකක් ලොකු වේගෙන එනකොට මහා ගංවතුරක් ඇවිත් කොහොඹ පැලේ උගුල්ලගෙන ගියාලු. ඒ පාර ඒ මිනිහා රජතුමාට ඒ බව දැනුම්දීල තවත් කොහොඹ පැලයක් හිටෙව්වලු. ඒ පැලෙත් ඊලඟ අවුරුද්දෙ ගංවතුරට ගහගෙන ගියාලු. මේ විදියට පිට පිට හත් අවුරුද්දක් තිස්සෙ මේ මිනිහා හිටෝපු කොහොඹ පැල හතක්ම ගංවතුරට ගහගෙන ගියාලු.

හත් අවුරුද්දකට පස්සෙ ඒ මිනිහගෙ පරණ යාළුවා ආවලු එයාව මුණගැහෙන්න. ආගිය විස්තර කතාබහ කරලා ඒ යාළුවා ඇහුවලු “කොහොමද මිත්‍රයා තිත්ත නැති කොහොඹ ගහ එහෙම?” කියලා.

එතකොට කොහොඹ පැල වවපු යාළුවා කිව්වලු “රාජා හෝ, මා හෝ, ගංගා හෝ” කියලා.

(වයඹ පළාතේ ජනකථාවක්.)

කථාව එච්චරයි. දැන් මොකක්ද මේකෙ තේරුම හැබෑට?

කොහොඹ පැල වැව්ව මිනිහා කිව්ව එකේ තේරුම තමා “එක්කො රජා, එහෙම නැත්නම් මම, එහෙමත් නැත්නම් ගඟ නැති වෙනවා” කියලා.

එක්කො (අවුරුද්දක් ගානේ) ගංවතුර ගලන එක නැති වෙයි. (ගංගා හෝ.) ගංවතුර ගලන එක නතර නොවුනොත් මට රජා මැරෙනම්ම ඒ මෝඩ රජාව රවට්ටගෙන තිත්ත නැති කොහොඹ හදනවා කිය කියා ජීවත් වෙන්න කෑම-බීම හොයාගන්න පුළුවන්. (රාජා හෝ.) එහෙම නැත්නම් මං මැරෙයි මට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙන නිසා. (මා හෝ.)

මේ වාක්‍යය කිව්වෙ නැතත් ඔය වගේ වැඩ කරන මිනිස්සුනම් ඕන තරම් අපි අතරෙ ඉන්නවා.

පින්තූරෙ ගත්තෙ මෙතනින්.