බබාට නමක් 2

අපේ බබාට නමක් දාපු හැටි මීට කලින් සිතුවිල්ලකින් කියල තියනවා. මගේ සිතුවිලි අතරින් පාඨකයෝ වැඩිපුරම කියවපු සිතුවිල්ල තමා “බබාට නමක්“. ලංකාවේ අලුතින් ඉපදෙන දරුවෙකුට නමක් දාන්න දෙමව්පියෝ කොයි තරම් හොයනවද කියලා ඒකෙන්ම වැටහෙනවා. දැන් අහුබුදු ශූරීනුත් නැති එකේ අන්තර්ජාලයෙන් නම් හොයන එකත් ජයට වෙනවා වගේ.

එක බබෙකුට විශේෂ තේරුමකුත් නැති, අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්න නමක් කොහොම හරි  දැම්ම කියමුකො. ඊලඟ බබාටත් නමක් හොයන්න වෙන එක ඊටත් වඩා අමාරු කාරණයක් බව තේරුණෙ කරන්න යනකොට තමා.

ඇයි අමාරු? තේරුමක් නොතියෙන්නත් ඕනෙ; අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්නත් ඕනෙ; ඒ මදිවට අයියගෙ නම වගේ වෙන්නත් ඕනෙ කියලා අපි තීරණය කළානෙ. අනිත් එක මේ පාර කෙල්ලෙක්! කෙල්ලෙක්ගෙ නමක් වෙන්නත් ඕනෙ. ලේසි නෑ! ඒ මදිවට එකෙක් එක්ක වැඩපල කරගන්නෙ බොහොම අමාරුවෙන්, තව නමුත් හොයන්නම තමා වෙලාව තියෙන්නෙ.  එහෙමයි කියලා දරුවට නමක් නොදා පුළුවන්යෑ.

ඔන්න ඉතින් මේ පාර ලංකාවෙන් නම් ටිකක් ආනයනය කරලා නමක් හදාගන්න බැලුවා. මොන, ඒ නම් කිව්වහම හක්ක පනිනවා. ලොකු එකාට දාල තියන නම මෙහෙ ඉන්න සුද්දො කියන්නෙත් වරද්දලා. කොහොමත් වාසගමනම් රුවිත කරලා තමා කියන්නෙ. ආනයනය කළ නම් දැම්මොත් සුද්දො කියන්නෙ මුල අකුර විතරයි ෂුවර් එකටම. ඒ නම් ටික එහෙම්මම පැත්තකට දැම්මා.

මගෙ ඔළුවට ඇවිත් තිබ්බෙ අයියගෙ නමේ අකුරු ටික එහෙට මෙහෙට දාලා නමක් හදලා බලන්න. පොඩ්ඩක් එහෙට මෙහෙට කරකවනකොට මෙන්න නමක් සෙට් වුනා. අයියගෙ මැද නම කෙල්ලෙකුට ගැලපෙන විදියට වෙනස් කළා. ඔන්න දැන් කෙලි පොඩ්ඩෙකුට හරියන්න නමක් තියනවා. ඒත් ඉතින් මේ නම බැකප් එකක් විදියට තියාගෙන ඊට වඩා හොඳ නමක් ලැබුනොත් දානවා කියලා හිතන් හිටියෙ. ඒත් හරියන නමක් ලැබුනෙ නෑ. ඒ මදිවට මේ කෙල්ලට ඉක්මනට ලෝකෙ බලන්න එන්න ඕනෙ වුනානෙ. ඉතින් මක්ක කොරන්නද? අර බැකප් නම අනුමත කරලා නාමාරූඪ කළා.

අයියා “නදිත දිල්මික”. නංගි “තිනුදි දිලුනිකා”.

මේ ඉන්න කෙලි පොඩ්ඩ ඉපදිලා දවසකින්.
අයියයි නංගියි දැන් ටිකක් ලොකුයි.
Advertisements

නින්ද

එක් එක් පුද්ගලයා නින්දට යන්න පුරුදුවී තිබෙන්නේ වෙන වෙනස් වෙලාවට. ඒ වගේම එක් එක් පුද්ගලයා නිදාගන්නා කාලයත් වෙනස්. සමහරු දවසකට පැය 8 ක් නිදාගනිද්දි, තවත් සමහරු පැය 4 ක් නිදා ගන්නවා. ඇත්තටම නිදාගන්න හොඳම වෙලාව මොකක්ද? අපි කොපමණ කාලයක් නිදාගන්න ඕනෙද? නිදාගත්තෙ නැත්නම් මොකක්ද වෙන්නෙ?

මිනිසාගේ රුධිර පීඩනය, අභ්‍යන්තර ශරීර උෂ්ණත්වය, මොළයේ ක්‍රියාකාරීත්වය, හෝමෝන නිෂ්පාදනය, සෛල ප්‍රතිජනනය ආදී ශාරීරික ක්‍රියා බොහොමයක් පැය 24 ක් පමණ වන රිද්මයක්  වටා ක්‍රියාත්මක වෙනවා. මිනිසාගේ ජීව ඔරලෝසුව ලෙසද හඳුන්වන මෙය, සර්කේඩියානු රිද්මය ලෙස හඳුන්වනවා. මේ සර්කේඩියානු රිද්මය දළ වශයෙන් පහත පරිදියි.

සර්කේඩියානු රිද්මය

මේ රූපයෙන් පැහැදිලි වන දෙයක් තමා ශරීරයේ ක්‍රියාකාරීත්වය උපරිම වන්නේ දවල් 1 පමණ සිට රාත්‍රී 7 දක්වා බව සහ ශරීරයේ ක්‍රියාකාරකම් අවම වන්නේ රාත්‍රී 10 සහ උදේ 8 අතර බව. ශරීරයේ ක්‍රියාකාරකම් අවම කාලය වන රාත්‍රී 10 සහ උදේ 8 අතරතුර නින්ද ලබාගැනීම “ගුණාත්මක” නින්දක් ලෙස හැඳින්විය හැකියි. නින්ද ලබාගන්නා කාලයට (පැය ගණනට) වඩා, නින්ද ලබාගන්නා වෙලාවයි වැදගත්. දිවා කාලයේදී පැය 8 ක් නිදාගැනීමට වඩා, රාත්‍රී 10 න් පසු පැය 8 ක් නිදාගැනීම ගුණාත්මකයි.

කොපමණ වෙලාවක නින්දක් අවශ්‍යද යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒත් දිනපතාම අඩුවෙන් නිදාගත්තහම වෙන දේ පහත ප්‍රස්තාරයෙන් බලන්න. මේ ප්‍රස්තාරයෙන් පෙන්නන්නේ දිනකට නිදාගන්නා කාලය සීමා කිරීමෙන් යම්කිසි දෙයකට ප්‍රතිචාර දැක්වීමට යන කාලය වෙනස් වන හැටියි. (පුරුද්දෙන් කරන වැඩකදී මේ දත්ත වෙනස් වෙයි. මෙතැනදී ක්‍රියාක්‍රාරීත්වය මැන ඇත්තේ වෙන වෙනස් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වැඩක් සම්බන්ධයෙනුයි.)

නින්ද සීමා කිරීම සහ ක්‍රියාකාරීත්වය

දිනකට නිදාගන්නා කාලය පැය 8 කට වඩා අඩු වෙත්ම, ක්‍රියාකාරීත්වය පහල යනවා. මේකෙන් පැහැදිලි වෙනවා හොඳ ක්‍රියාකාරීත්වයේ ඉන්න නම් දිනකට පැය 7-9 අතර ප්‍රමාණයක් නිදාගත යුතු බව.  විභාගෙකට කලින් හොඳට නිදාගන්න කියන්නෙ ඒකයි.

නින්ද අඩු වුනාම වගේම නින්ද වැඩි උනාමත් ප්‍රශ්න. දවසකට පැය 10 කට වඩා නිදාගත්තොත් නින්ද වැඩි වීමෙන් මත් ගතියක් ඇති වෙන්න පුළුවන්.

සමහරු එක දිගට නිදි වරනවා දවස් ගාණක්ම. එතකොට වෙන දේ පහල තියන ප්‍රස්තාරෙන් බලාගන්නකෝ.

නිදි වැරීම සහ ක්‍රියාකාරීත්වය

මේ ප්‍රස්තාරයෙන් බොහොම පැහැදිලි ඇති එක දිගටම දවස් 2-3 ක් නිදි වරනකොට ක්‍රියාකාරීත්වය අඩු වෙන හැටි. සතියකට වඩා නිදි වැරීම මාරක වෙන්න පුළුවන්.

ප්‍රධාන නින්දට අමතරව, කෙටි නින්දවලුත් බොහොම ප්‍රයෝජනයි. විනාඩි 10 ක තරම් කෙටි නින්දකට පවා ශරීරය වගේම මනස ප්‍රකෘතිමත් කරන්න පුළුවන්. විනාඩි 30 කට අඩු කෙටි නින්දක් බොහොම ඵලදායක වුනාට, පැය 1-2 ක “කෙටි” නිදි එච්චර හොඳ නෑ. හේතුව තමා, ඒ වගේ නින්දකින් පස්සෙ අවදි වෙද්දි  අපේ මොළය නිසි ක්‍රියාකාරීත්වයට එන්න විනාඩි 5-20 ක් අතර කාලයක් ගතවීම. (ඇඟට නැතත් හිතට නිදිමත ගතිය දැනිලා ඇති පැය 1-2 දවල් නිදි දාන අය!). පැය 1-2 නින්දකින් පස්සෙ ඇහෙරෙනකොට, ප්‍රබෝධමත් ගතියකට වඩා, තවත් වෙහෙසකර ගතියක් දැනීම ස්වභාවිකයි.

ඔක්කොම කියවන්න කම්මැලි හිතුනා නම් මෙන්න සාරාංශය.

  • දවසකට පැය 5 ක වත් නින්දක් රාත්‍රී 10 සහ උදේ 8 අතර ලබාගන්න. 100% ක ක්‍රියාකාරීත්වයක් සඳහා දිනකට පැය 8 ක නින්දක් සාමාන්‍යයෙන් අවශ්‍යයි.
  • එක දිගටම නිදි වැරීම භයානකයි.
  • කෙටි නින්දක් (විනාඩි 30 ට අඩු) ලබාගැනීම ඵලදායකයි.

“නින්ද නැති රැයේ” බ්ලොග් ලියන්නෙ/කියවන්නෙ නැතිව, නිදාගන්න යන්න.

සතුටු වීම

ලංකාවෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නොමිලෙනෙ. නිකං දෙන දේවල වටිනාකමක් නෑ කියලා කියන නිසාද කොහෙද විශ්වවිද්‍යාල සිසුන්ගෙන් හැම අවුරුද්දෙම ලියාපදිංචි ගාස්තු විදියට බොහොම පොඩි ගාස්තුවක් අය කරගන්නවා.

අපි විශ්වවිද්‍යාලයේ ගිය මුල් අවුරුද්දෙ මේ ගාස්තුව රුපියල් 50 යි. ඒත් ඊලඟ අවුරුද්දෙ ලියාපදිංචි ගාස්තුව රුපියල් 200 කළා. 300% කින් ගාස්තු වැඩි කළාම ඉතින් ඇඟට දැනෙනවනේ. ඉතින් බොහෝ දෙනා මේ ගාස්තු වැඩි කිරීමට විරුද්ධව තැන තැන කථාබහ කළා.

“නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන, අධ්‍යාපනය විකුණන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත හෙළා දකිමු” කියලවත්, එහෙම නැත්නම් “ලියාපදිංචි ගාස්තු අහෝසි කරවු” කියලවත් පොස්ටර් එල්ලගෙන උද්ඝෝෂණ කරන්නෙ නැතුව අපි සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුනා.

අපේ පීඨ ශිෂ්‍ය සංගමයෙ ප්‍රමුඛත්වයෙන් මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල බලධාරීන් එක්ක සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් විදියට ලියාපදිංචි ගාස්තුව රුපියල් 100 දක්වා අඩු කළා. මේ තීරණය ශිෂ්‍ය සංගම් නිලධාරීන් හරහා සිසුන්ට දැනුම් දුන්නහම හැම දෙනාම බොහොම සතුටු වුනා “රුපියල් 100 ක් ම අඩු කරගත්තනෙ” කියලා. “කොහොමද අපේ වැඩ? අපි කට ඇරියොත් ඉතින් නෝ හෙල්ලුම්! පොල් මැල්ලුම්!” කියලා කියපු අයත් ඉන්න ඇති.

රුපියල් 100 කින් ගාස්තු අඩු කරගත්තා කියලා සතුටු වුන බොහොමයක් අයට තේරුනේ නෑ රුපියල් 50 කින් ගාස්තු වැඩි වුන බව! ඇත්තටම දුක් වෙන්න ඕනෙ සිද්ධියක්නෙ වුනෙ..

ඊයෙ ඕස්ට්‍රේලියාව පරාද කරලා ක්‍රිකට් තරඟය දිනුවහමත් ගොඩක් දෙනා “මරු මැච් එක! ඊලඟ මැච් එකත් මේ වගේම තිබ්බොත් මරු!” කියලා සතුටු වුනා. ඒත් ඒ සතුටු වීම ලියාපදිංචි ගාස්තු අඩු කිරීමෙන් සතුටුවීමට සමානයි කියලා මට හිතුනා.  ක්‍රිකට් ක්‍රීඩාවේ තියන වින්දනය උපරිම වුන තරඟයක්  ජයග්‍රහණයෙන් සතුටු විය යුතුයි.

නමුත් අපේ මුල්පෙළ පිතිකරුවෝ ටිකක් පරීක්ෂාකාරී වුනානම් ජයග්‍රහණය ඊටත් වඩා ඉහළින් සමරන්න තිබුනා. හරියට ගාස්තු වැඩි කරන්නෙම නැතිව තිබුනා නම් වගේ! ඒ වගේ ජයකදි, ඊයේ ජයග්‍රහණය වගේ විශේෂයෙන් සමරන්න දෙයක් නොතිබෙන්න පුළුවන්. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ පරිණතබව වගේම ලෝක කුසලාන තරඟ මාලාවට සූදානම පෙනෙන්නේ වගකීමෙන් තරඟ කළොත් විතරයි.

දිල්ලියේ හුටපටේ

ලංකාවෙන් පිටත් වෙලා ලෝක පොලීසියට ආපු ගමනෙදි මගෙ මුල්ම සංක්‍රාන්තිය (transit) තිබුනෙ අල්ලපු රටේ දිල්ලියෙ.

සාමාන්‍යයෙන් ගමන ආරම්භයෙදි අපේ ගමන් මළු ඔක්කොම (අතේ ගෙනියන ඒවා හැර) ගුවන් සේවයට භාර දෙන්න ඕනෙ බව ගුවන් ගමන් ගිහින් තියන අය දන්නවා ඇති. සාමාන්‍යයෙන් අපිට අපේ ගමන් මළු ලැබෙන්නෙ ගමනාන්තයෙදි. (රටක් ඇතුලෙ ගුවන් ගමන් තියනවානම් ටිකක් වෙනස් වෙන්න පුළුවන්.) කොහොම හරි මගේ ගමන් මළු ටිකත් ඒ වගේ අවසන් ගුවන් තොටුපොලින් ගන්න පුළුවන් විදියට පරිගණක පද්ධතියට ඇතුල් කළා.

මමයි පුතයි

මම ඒ ගමන ආවෙ තනියෙන්ම නෙවෙයි. අවුරුද්දකට ටිකක් වැඩි පුංචි පුතත් එක්ක. දරුවෙක්ව අතේ වඩාගෙන යන්න අමාරු නිසා ළදරු කරත්තයක, තේරෙන භාෂාවෙන් කියනවා නම් ස්ට්‍රෝලර් (stroller) එකක දාගෙන තමා ගෙනිච්චෙ. මේ ස්ට්‍රෝලර් සාමාන්‍ය ගමන් මළු එක්ක භාර දෙන්නෙ නෑ. ගුවන් යානයට ගොඩවෙනකල්ම දරුවව ඒකෙ තියාගෙන ඉන්න ඉඩ දෙනවා. නැවතත් ඊලඟ ගුවන්තොටුපලේදි ගුවන් යානයේ දොරටුව ගාවටම ඒක ගෙනත් දෙනවා.

පළවෙනි පිස්සුව කෙළියෙ අපේ ජාතික ගුවන් සේවයෙන්. “මට හැම ගුවන් තොටුපලකදිම ස්ට්‍රෝලර් එක පාවිච්චි කරන්න  ඕනෙ” කියලා පැහැදිලිව කිව්වත්, ඒක අනෙත් ගමන් මළු එක්ක ගමනාන්තයටම යවන්න පරිගණක පද්ධතියට ඇතුල් කරලා මට හරිම උදව්වක් කරන්න අපේ අය අමතක කළෙ නෑ. (ගුවන් තොටුපලේ පෝලිම් වල තියන් ඉඳලා පරක්කු කරන එක අමතක කරමුකෝ.)

ගුවන් යානය දිල්ලියට ආව කියමුකො. මමත් ඉතින් පොඩි එකාවත් අරන් (ගුවන් යානයෙන්) එලියට බැහැලා බැලුවා කෝ මගෙ ස්ට්‍රෝලර් එක කියලා. පේන තෙක් මානෙකවත් නෑ. “කමක් නෑ, ඕක ලැබෙන්නෙ නැතෑ” කියල හිතාගෙන ගුවන් යානයෙ ඉඳන් ගුවන් තොටුපොලට ඇවිදගෙන එනකොට මෙන්න දොරටුව ගාව ඉන්නවා බෝඩ් ලෑලි එල්ලගෙන කීප දෙනෙක්. නෑ, නෑ.. හිඟන්නො නෙවෙයි. ඒ ගුවන් තොටුපොලේ සේවකයො. ඒ ගුවන් යානයෙ ආපු සමහර මඟීන්ගෙ නම් තමයි බෝඩ් ලෑලි වල ලියලා තිබුනෙ. බලනකොට මගෙ නමත් තියනවා.

මට බයත් හිතුනා මගෙ මල්ලක හොර බඩුවක්වත් තිබිල අහු වුනාද දන්නෙ නෑ කියලා. (එහෙම දෙයක් දැනුවත්ව නම් ගෙනාවෙ නෑ. ඒත් කියන්න බෑනෙ.) කොහොමහරි මමත් ඇතුළුව තව කීප දෙනෙක් එතැන නැවතුනා. මම එතැන හිටපු නිලධාරිණියකගෙන් ඇහුවා මගෙ ස්ට්‍රෝලර් එක ගැන. හරි උත්තරයක් දෙන්න එයාට පුළුවන් වුනෙ නෑ. ඒක මට ලැබෙන්න සලස්සන්නම් කියලා තමා කිව්වෙ.

ගුවන් ගමනකදි එක් ගුවන් යානයකින් තවත් එකකට මාරුවෙන්න තියනවානම්, ඒ ගුවන්තොටුපලේ තියෙන ඉලෙක්ට්‍රොනික් දැන්වීම් පුවරු වලින් අදාල පර්යන්තය (terminal) හොයාගෙන යන්න මහ අමාරුවක් නෑ. හොයාගන්න අමාරු නම් නිලධාරියෙක්ගෙන් ඇහුවාම හරි. ගුවන් සේවාව මාරු කරනවානම් සමහරවිට ගුවන් යානයට ඇතුල්වීමේ ප්‍රවේශපත්‍ර  (boarding pass) ගන්න සිද්ධ වෙනවා. මේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි.

ඒත් දිල්ලියෙදි අපිව වෙනම කාමරයක් වගේ ප්‍රදේශයකට එක්කගෙන ගියා. මොකටද කියලා කවුරුත් දන්නෙ නෑ. අපිට එතන ඉන්න කිව්වා, තවත් නිලධාරියෙක් ඇවිත් කථා කරයි කියලා. වෙන කරන්න දෙයක් නැති කමට එතනට වෙලා හිටියා. පැය භාගෙකට විතර පස්සෙ මෙන්න වෙනත් නිලධාරියෙක් ඇවිත් මාත් ඇතුළුව එතන හිටපු මඟීන්ගෙන් කීපදෙනෙක්ගෙ නම් කථා කරලා එයත් එක්ක එන්න කිව්වා. අපිත් ඉතින් අර මාංචු දාපු හිරකාරයො වගේ පෝලිමට ඒ නිලධාරියා පස්සෙන් වැටිලා ගියා.

අවතැන්වූ මඟීන්

අපිව එක්කගෙන ගියෙ පර්යන්තයක ප්‍රවේශ ශාලාවකට. ඒ කියන්නෙ ආගමන/විගමන කවුළු සහ ගුවන් යානයට ගොඩවෙන ගේට්ටු අතර ප්‍රදේශයකට. මේ ප්‍රදේශයේ අපි වගේම තවත් කීපදෙනෙක් රඳවල තිබුනා. මේ ප්‍රදේශයේ ඉඳගන්න පුටුවක්වත් නෑ. ටිකක් වෙලා ඉන්නකොට තමා තේරුනේ අපිට ඊලඟ ගුවන්යානයට ගොඩවෙනකම් මෙතැන රැඳිල ඉන්න වෙනවා කියලා.

මගෙ ස්ට්‍රෝලර් එකත් ලැබිල තිබුනෙ නෑ. පුංචි පුතා හිටියෙ මගෙ අතේ. එයාව බිමින් තියන්න බෑ, එයා එහෙ මෙහෙ දුවනවා, හොඳටම නිදිමතේ. නිදිකරවන්න විදියක්වත් නෑ. ඒ මදිවට එයාට වගේම මටත් බඩගිනියි. දරුවට කෑම කවන්න තියා කිරි පොවන්නවත් විදියක් නෑ, ඉඳගන්නවත් නැති නිසා. මාත් එක්කම ලංකාවෙ ඉඳන් ආපු සොහොයුරෙක් මට උදව් කලා, මගෙ ගමන් මළු එහෙම පරිස්සම් කරමින්. දිල්ලි ගුවන්තොටුපලේ නිලධාරීන් විටින් විට කට්ටියව එක්කරගෙන ඇවිත් එතන තියලා යනවා.

මෙන්න බොලේ මළු

මේ අතරෙ ගමන් මළු තොගයක් අරගෙන ඇවිත් අපි ඉස්සරහින් තිබ්බා. බලනකොට ඒ අපි යන්න ඉන්න ගුවන් යානයේ මඟීන්ගෙ ගමන් මළු. වෙනත් ගුවන්තොටුපලකින් දිල්ලියට එන මඟීන්ගෙ ගමන් මළු ස්වයංක්‍රීය වාහක පද්ධතිය (automated conveyor system) මතින් ගුවන් යානයට යවනවා වෙනුවට, ඒවා මඟීන් සිටින ප්‍රදේශයට ගෙන ඒම මම කලින් දැකල නෑ. (ඒක ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිද කියල මට හිතුනා.) විටින් විට මේ විදියට ගෙනාපු මළු අතරෙ මගෙ ගමන් මළුත්, දරුවගෙ ස්ට්‍රෝලරයත් තියනවා දැක්කා.

එතැන හිටපු නිලධාරියෙකුට මම කිව්වා “මේ තියෙන්නෙ මගෙ ස්ට්‍රෝලරය. ඒක මට අවශ්‍යයි” කියලා. නමුත් ඔහු ඒක දෙන්න කැමති වුනෙ නෑ, ඒක කෙලින්ම ගමනාන්තයට යවන්න සටහන් කර තිබූ නිසා. (කටුනායකදි අපේ රටේ උදවිය කළ හපන්කම තමා ඒ!) මම ඔහුට තේරුම් කර දුන්නා වැරදීමකින් ඒ අය එලෙස සටහන් කර ඇති බව සහ ස්ට්‍රෝලරය ආරක්ෂාවට බාධාවක් නැති බව. (ගමන් මල්ලක් විවෘත කරනවා වගේ නොවන බව.) ඒ නිලධාරියා පමණක් නොවෙයි, ඉන් පසු වරින් වර ආ නිලධාරීන් කීපදෙනෙක්ම මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ උසස් නිලධාරීන්ගෙන් ඇසිය යුතු බව කියලා මාරු වෙන්න ඒ අය හරිම දක්ෂයි. කොහොමහරි පැය 2 කට විතර පස්සෙ, ඒ අය සමඟ කළ අරගලය නිමා වුනෙ, සුදු හමකට ඔවුන් යටත් වීම නිසයි. මගේ ප්‍රශ්නය කීප වතාවක්ම දැක්ක ඇමරිකන් ජාතිකයෙක්, ඒ නිලධාරීන්ට ‘සුද්දගෙ ඉංග්‍රීසියෙන්ම’ කථාකළ නිසාදෝ, මට ආපහු ස්ට්‍රෝලරය ලැබුනා.

ස්ටිකර් අලවමු

මේ අතරතුර, එතන සිටි මඟීන්ට ඔවුන්ගේ ගමන් මළු අඳුනගන්න සිද්ධ වුනා. ඒ, ඒවායේ තිබූ පරිගණක දත්ත සහිත ස්ටිකරය ඉවත් කොට, අලුත් ස්ටිකර් ඇලවීම සඳහායි. මුල් ගුවන් තොටුපලෙන් ගමන් මළු වලට අලවන ස්ටිකරය, පරිගණකගත පද්ධතියකින් කියවා, ස්වයංක්‍රීය වාහක මඟින් අදාල ගුවන් යානයට යොමු කිරීම වෙනුවට, දිල්ලියේදී කළ දේ ඉන්දියාවට පමණක් ආවේණික දෙයක්ද කියලත් මට හිතුනා.

විටින් විට පැමිණි නිලධාරීන්ට අපේ ගමන් බලපත්‍ර ලබාදෙන්න සිද්ධ වුනා. නරකම දෙය තමා, ඔවුන්ට ඒවා රැගෙන යන්න දෙන්න වීම. ගමන් බලපත්‍රයක් තමන්ගෙ දෑසට පෙනෙන සීමාවෙන් එහාට නොයන්න වගබලාගන්න කියලා කිව්වත්, දිල්ලියට ගියාම ගමන් බලපත්‍රය ඉල්ලන ඕනෙම කෙනෙක් අතට දෙන්න මඟීන්ට සිද්ධ වුනා. වවුලගෙ ගෙදරට ගියානම් එල්ලිලා හිටපිය කිව්වලු!

ගුවන් යානයකට ගොඩවීමට පෙර, ගමනාන්තයට යාමට හේතුව, ආරක්ෂාවට අදාල කාරණා ආදිය ඇසීම සාමාන්‍ය කරුණක්. ගුවන් යානයට ගොඩවන ගේට්ටුව අබියස කවුන්ටරයක සිටින නිලධාරියෙක් අබියසට අදාළ ලියකියවිලි සමඟ ගියවිට, ඒ ප්‍රශ්න කිරීම විනාඩියකටත් අඩු කාලයකදී නිම වෙනවා, ඔවුනට සැක හිතෙන යමක් නොවුනොත්. නමුත් දිල්ලියෙදි වුනෙ අමුතුම සිද්ධියක්.

අපි තැන තැන හිටගෙන ඉන්න අතරෙදි, නිලධාරීන් එනවා අපි ගාවට. ඇවිත් පොඩ්ඩක් පැත්තකට එක්කරගෙන යනවා. (රහසක් කියන්න වගේ. එහෙම නැත්නම් මදාවියෙක් බය කරලා සල්ලි ඉල්ලගන්න යනවා වගේ.) ඇමරිකාවට ඇතුල් වෙද්දි ඒ රටේ ආගමන නිලධාරියෙක් අපෙන් අහන ප්‍රශ්න වලටත් වඩා, ඉන්දියාවෙ ඉන්න මේ නිලධාරියා අපෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීමට විනාඩි 5 ක්වත් ගත වෙනවා. මට උදවු කළ ලංකාවෙ සොහොයුරාට ඔහුගෙ උපාධි නිබන්ධනයත් පෙන්නන්න වුනා ඒ නිලධාරියාට!

මගෙ ගුවන් ගමන් දෙක අතරතුර පැය හතරක අධික කාලයක් තිබුනා. මම හිතාගෙන හිටියෙ පුතාට කවලා, නිදි කරවන්න. ඒත් ඒ පැය 4 ක කාලයම වගේ අපි හිටියෙ හිටගෙන. ඉතින් කොහෙ කන්නද? නිදාගන්නද? වතුර ටිකක් බීලා, දරුවගෙ යට ඇඳුම් මාරු කරගෙන එන්න මම ගිය අවස්ථාවකදි, ගමන් බලපත්‍ර එකතු කරගෙන ගිය නිලධාරියෙක් මාව සොයා තිබුනා. මම  ආවහම, “මගෙන් අහන්නෙ නැතුව මෙතැනින් යන්න එපා” කියලා හරිම කාරුණික විදියට ගෝරනාඩු කරන්න ඒ නිලධාරියා ආචාරශීලී වුනා.

කොහොමහරි, දිල්ලියටම (හෝ ඉන්දියාවට) ආවේණික ඒ වැඩ ටික ඉවර වෙද්දි, ගුවන් යානය පිටත් වෙන්න තියන වෙලාවට ඉතුරු වෙලා තියෙන්නෙ පැය භාගයකට ආසන්න කාලයක්. එච්චර වෙලා තැන තැන කැරකි කැරකි කථා-බහ කරමින් හිටිය නිලධාරීන්ට අන්න එතකොට තමා ගිනි කසයො වගේ වැඩ කරන්න මතක් වුනෙ.

ගුවන් යානයට ගොඩවීමට පෙර සාමාන්‍යයෙන් කරන පරීක්ෂා එකක් වෙනුවට, ‘දිල්ලි ස්පෙෂල්’ පරීක්ෂා දෙකක්ම කෙරුවා ලෝභ නැතුව. ගමන් මළු X කිරණ පරීක්ෂාවට ලක් කිරීමට අමතරව ගමන් මළු ඇරලා බැලීම වගේ ‘එක්ස්ට්‍රා ස්පෙෂල්’ ආරක්ෂක උපක්‍රමත් දිල්ලි නිලධාරීන් මහන්සි නොබලාම කළා. කොහොම හරි ගුවන් යානය පිටත් වුනේ නියමිත වෙලාවට විනාඩි 20 ක් විතර ප්‍රමාද වෙලයි.

දිල්ලි ගුවන්තොටුපලේ සංක්‍රමණික මඟීන් වුන අපි පැය ගණනාවක් හිටගෙන අනාථයො වගේ ඉන්නකොට, දිල්ලියෙන් ආපු මඟීන් සාමාන්‍ය පරීක්ෂාවලට පස්සෙ, (දූවිලි පිරිණු පොළොවට වඩා) හොඳ සැප-පහසු පර්යන්තයේ රැඳී සිටීමේ ප්‍රදේශවල ඉඳගෙන, කෑම-බීම ගනිමින්, වැසිකිලි අවශ්‍ය පරිදි පාවිච්චි කරමින්, අවශ්‍ය නම් පොඩි නින්දක් ලබමින් වෙහෙස නිවාගෙන ඉන්න වාසනාවන්ත වුනා. ඒවා පෙනෙන සීමාවේ, කිසිම පහසුකමක් නැතිව අපිව රඳවලා තිබ්බෙ ඇයිද කියන එක මට තාමත් ප්‍රශ්නයක්.

මගේ අත්දැකීමට වඩා හාත්පසින්ම වෙනත් අත්දැකීම් ලබපු අය ඉන්න පුළුවන්. ඒත්, ඉන්දියාවෙ අගනගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙනත් ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලබාදෙන සේවාවක් ලබාදෙන්න අසමත් වුන බව මගේ අන්තිම තීරණයයි. මේ නිසා නැවතත් දිල්ලිය පමණක් නොව, වෙනත් කිසිම ඉන්දියානු ගුවන් තොටුපොලක් මගේ ගුවන් ගමනකදි සංක්‍රාන්තියක් ලෙස තෝරා නොගන්න මම තීරණය කළා. ඔබත් දිල්ලිය හෝ වෙනත් ඉන්දීය ගුවන්තොටුපලක් හරහා ගුවන් ගමනක් යන්න තීරණය කළොත්, දෙවරක් සිතන්න.

පැණි කෑ මිනිහට වුන දේ

මරණ තුනක් මැද පැණි කෑව මිනිහගෙ කථාව කලින් කිව්වනෙ. ඒ බෞද්ධ කථාවෙ අවසානයක් ගැන සඳහන් නොවෙතත් වෙන්න පුළුවන් අවසානයක් තියනවා.

පාළු ලිඳේ මුලක එල්ලිලා ඉන්න මිනිහව කන්න ලිඳ උඩ ඉන්න කොටියා ටිකෙන් ටික පහුරු ගගා ලං වෙනවා. ලිඳ ඇතුලෙ ඉන්න නයිහාමි ඉස්සි ඉස්සි මිනිහට දෂ්ඨ කරන්න මාන බලනවා. ඒ අතරෙ මීයො දෙන්නත් ටිකෙන් ටික ගහේ මුල කන නිසා ඒක කැඩෙන්න ඔන්න මෙන්න. ඒ අතරෙ මිනිහා කිසි ගානක් නැතිව ඉහල තියන් මී වදෙන් වෑස්සෙන පැණි බින්දු රස බලනවා.

කොටියා ලිඳ උඩ ඉඳලා මිනිහගෙ අත් අල්ලගන්න ලිං බැම්ම පහුරු ගගා පහත් වෙනකොට එක පාරටම ඌ ඕනෙවට වඩා පහත් වුන නිසා ලිඳට ඇදගෙන වැටෙනවා. මොකක්දෝ විශාල දෙයක් ලඟින්ම යනවා දැකල බයවුන මීයො දෙන්න පැනල දුවනවා. කොටිය වැටෙන්නෙ නයාගෙ ඇඟ උඩට. නයා ඒ බරට චොප්ප වෙනවා. වෙන කරන්න දෙයක් නැති කමට පැණි කමින් හිටිය මිනිහා තමන්ට තර්ජනයක් නෑ කියලා තේරුනාම මුලේ එල්ලිලා ලිඳෙන් ගොඩ එනවා.

මේ වගේ මරණය වටකරගෙන සිටි අවස්ථාවක වුනත් නොහිතපු දෙයකුත් වෙන්න පුළුවන්. ඒ නිසා වෙන කරන්නම දෙයක් නැති වෙලාවක මොකුත් නොකර ඉන්න. ඒ වෙලාවට මී පැණි ලැබුනොත් රස නොබල ඉන්නත් එපා.

මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

අපි ජීවිතයත්-මරණයත් අතර කාරණාවලදී හැසිරෙන ආකාරය ගැන කියවෙන බෞද්ධ කථාවක සංක්ෂිප්තය තමයි “මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය” කියලා කියන්නෙ. මේ ගැන කියවෙන කවියකුත් අහලා ඇති.

වනෙත් ගිජිඳාය සිටියොත්       වැනසේය
ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ         කාය
අතකින් කරවැලකි අතකින් දඬුවැල්  බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි   කෑය

වනාන්තරයේ අතරමංවූ මිනිහෙක් පසුපස රෞද්‍ර කොටියෙක් හඹා එනවා. කොටියා ඉන්නේ බඩගින්නෙ. කොටියා මිනිසාට වේගයෙන් ළං වෙනවා. මිනිසාට මෙයින් ගැලවීමේ මඟක් නෑ. (කවියට අනුව නම් කැලේ ඉන්නෙ අලියෙක්. උගෙන් ගැලවෙන්න තමයි මේ මිනිහා යන්නෙ.)

මර බියෙන් යන මේ මිනිසා දකිනවා පාළු ලිඳක්. මේකට පැනලා ජීවිතේ බේරගන්නවා කියලා හිතලා මේ මිනිහා හෙවිල්ලක්-බැලිල්ලක් නැතිව ලිඳට පනිනවා. ලිඳට ඇතුලට වැටෙන අතරෙ තමයි මිනිහා දකින්නෙ ලිඳේ වතුර නෑ, ඒක හිඳිලා බව. ඒ මදිවට ලිඳේ දරණගහගෙන ඉන්නෙ පත නයෙක්. ලිඳට වැටුනොත් මැරෙනවා. බැරිවෙලා හරි බේරුනොත් නයා දෂ්ඨ කරනවා, එතකොට කොහොමත් මැරෙනවා.

ඉබේම වගේ මිනිහගෙ අත ලිං බැම්මේ තියන එල්ලෙන්න පුළුවන් දෙයක් හොයනවා. අර කථාවට කියන්නෙ ගිලෙන්න යන මිනිහා පිදුරුගහෙත් එල්ලෙන්න බලනවා කියලා. කොහොමහරි වාසනාවට(ද අවාසනාවටද කියන්න බෑ) මිනිහගෙ අත වදිනවා ලිං බැම්මෙ තියන (ගහක) මුලක. ඉබේම මිනිහ ඒ මුල අල්ලගත්ත නිසා ලිඳට නොවැටී බේරෙනවා. පොඩ්ඩක් සිහි කල්පනාව ආවට පස්සෙ තමා මිනිහට තේරෙන්නෙ තමන් වැටිල ඉන්න තත්වෙ.

දෑතින්ම ගහේ මුල බදාගෙන ඉන්න මිනිහට උඩ බැලුවහම පේන්නෙ බඩගින්නෙ ඉන්න කොටියා දත් විලිස්සමින් ලිඳට අත දාල පහුරුගාන හැටි. කොටියා හදන්නෙ කොහොමහරි මිනිහව අල්ලගන්නයි. ඒත් මිනිහ එල්ලිලා ඉන්න මුල තියෙන්නෙ කොටියගෙ අත් පසුරු වලට නොවදින සීමාවෙ, ඊට වඩා පොඩ්ඩක් පහලින්. යන්තම් බේරිලා. පහල බැලුවහම පෙනුනෙ නයා පුළුවන් තරම් කෙලින් වෙලා පෙනේ පුප්පමින් මිනිහගෙ පතුලට දෂ්ඨ කරන්න හදන හැටි. නයා කෙලින් වුනත් මිනිහගෙ පතුලට උස මදි. කකුල් දෙක තියෙන්නෙ නයාට ළං වෙන්න පුළුවන් සීමාවට පොඩ්ඩක් උඩින්. නූලෙන් බේරිලා ඒ විදියටත්.

නයි-කොටි මදිවට මීයො කිව්වලු! ඒ අස්සෙ කොහෙන්ද මතුවෙච්ච කළුයි-සුදුයි මීයො දෙන්නෙක් මේ මිනිහ එල්ලිලා ඉන්න ගහේ මුල හපාකන්න ගත්තා. දැන්නම් ඉතින් මොන විදියකටවත් ගැලවීමක් නෑ. කොටිය කොහොමහරි අල්ලනොගත්තොත්, මුල කඩාගෙන ලිඳට වැටිලා හරි මැරෙනවා. ඒකෙන් බේරුනොත් නයා දෂ්ඨ කරලා මැරෙනවා. මරණ තුනයි!

ලිඳ උඩ ඉඳල කොටියා මිනිහව අල්ලගන්න පහුරුගානකොට උගෙ ඇඟ වදිනවා ඒ ලිඳ අයිනෙ තියන පොඩි ගහක. ඒ ගහේ හෙලවෙනවා මේ නිසා. හෙල්ලීම නිසා  ගහේ තියන මී වදයකින් පැණි බිංදු බිමට වැටෙනවා. වැටෙන්නෙ මුලේ එල්ලිලා ඉන්න මිනිහා අසලින්. මරණ තුනක් තියෙන මේ මිනිහා වැටෙන මී පැණි බින්දු දිව දික්කරලා කට ඇතුලට ගෙන රස බලමින් “අහා, මේ මී පැණි කොච්චර රසවත්ද?” කියලා හිතමින් සතුටු වෙනවා. (කවියේ කියවෙන ලෙසට මිනිසා අත මී වදය හෝ දඬුවැල් බෑය තිබෙනවා.)

සාම්ප්‍රදායිකව කථාව මෙතනින් නතර වෙනවා. එයට නිසි අවසානයක් නෑ.

අපගේ ජීවිතය ගැන උපමාකාරයෙන් කියන මේ බෞද්ධ කථාවෙන් අපට සිතීමට යමක් ඉතුරු කරනවා.

මරණය වටකොටගෙන තිබුණත්, නිස්සාර දෙයක් වෙනුවෙන් වෙහෙස වීමට පෙලඹීම සහ ඒ ක්ෂණික සතුටින් සැනසීම මිනිස් ගතිය බව මේ කථාවෙන් කියවෙනවා.

සංසාරයේ අතරමංව සිටින අප පසුපස මරණය හඹා එනවා. අපි ජීවිතය එල්ලී තිබෙන්නේ මරණය දෙපසින් තබාගෙනයි. ජීවිතය එල්ලිලා තිබෙන අඩමාන බන්ධනය දිවා-රෑ නැමති මීයන් විසින් කා දමනවා. ඒ අතරතුරේ කොහෙන් හෝ මී පැණි බිඳකුත් වෑස්සෙනවා.

මරණය අප වටකොටගෙන සිටියත් ඒ මී පැණි බිඳ රසබලන්නට අපි බුද්ධිමත් විය යුතුයි. වෙන කරන්නට කිසිම දෙයක් නැති විටෙකදී, කිසිවක් නොකර ජීවිතේ මී පැණි රස බලන්න.

මේ කථාවේ සඳහන් මිනිසාට ඉන්පසු කුමක් වෙන්න ඇතිද?

මේ කථාව අජාන් බ්‍රහ්ම (Ajahn Brahm) හිමියන්ගේ Opening the door of your heart පොතේ සඳහන්. (මේ ලිපිය ලිවීමට ඒ පොත ආශ්‍රිතයි.)

මට අමතක වෙලා තිබුනු ඉහත සඳහන් කවිය මතක් කරගන්න මේ ලිපිය උදව් වුනා.

http://dulani-pavithra.blogspot.com/2010/02/blog-post.html