බබාට නමක් 2

අපේ බබාට නමක් දාපු හැටි මීට කලින් සිතුවිල්ලකින් කියල තියනවා. මගේ සිතුවිලි අතරින් පාඨකයෝ වැඩිපුරම කියවපු සිතුවිල්ල තමා “බබාට නමක්“. ලංකාවේ අලුතින් ඉපදෙන දරුවෙකුට නමක් දාන්න දෙමව්පියෝ කොයි තරම් හොයනවද කියලා ඒකෙන්ම වැටහෙනවා. දැන් අහුබුදු ශූරීනුත් නැති එකේ අන්තර්ජාලයෙන් නම් හොයන එකත් ජයට වෙනවා වගේ.

එක බබෙකුට විශේෂ තේරුමකුත් නැති, අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්න නමක් කොහොම හරි  දැම්ම කියමුකො. ඊලඟ බබාටත් නමක් හොයන්න වෙන එක ඊටත් වඩා අමාරු කාරණයක් බව තේරුණෙ කරන්න යනකොට තමා.

ඇයි අමාරු? තේරුමක් නොතියෙන්නත් ඕනෙ; අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්නත් ඕනෙ; ඒ මදිවට අයියගෙ නම වගේ වෙන්නත් ඕනෙ කියලා අපි තීරණය කළානෙ. අනිත් එක මේ පාර කෙල්ලෙක්! කෙල්ලෙක්ගෙ නමක් වෙන්නත් ඕනෙ. ලේසි නෑ! ඒ මදිවට එකෙක් එක්ක වැඩපල කරගන්නෙ බොහොම අමාරුවෙන්, තව නමුත් හොයන්නම තමා වෙලාව තියෙන්නෙ.  එහෙමයි කියලා දරුවට නමක් නොදා පුළුවන්යෑ.

ඔන්න ඉතින් මේ පාර ලංකාවෙන් නම් ටිකක් ආනයනය කරලා නමක් හදාගන්න බැලුවා. මොන, ඒ නම් කිව්වහම හක්ක පනිනවා. ලොකු එකාට දාල තියන නම මෙහෙ ඉන්න සුද්දො කියන්නෙත් වරද්දලා. කොහොමත් වාසගමනම් රුවිත කරලා තමා කියන්නෙ. ආනයනය කළ නම් දැම්මොත් සුද්දො කියන්නෙ මුල අකුර විතරයි ෂුවර් එකටම. ඒ නම් ටික එහෙම්මම පැත්තකට දැම්මා.

මගෙ ඔළුවට ඇවිත් තිබ්බෙ අයියගෙ නමේ අකුරු ටික එහෙට මෙහෙට දාලා නමක් හදලා බලන්න. පොඩ්ඩක් එහෙට මෙහෙට කරකවනකොට මෙන්න නමක් සෙට් වුනා. අයියගෙ මැද නම කෙල්ලෙකුට ගැලපෙන විදියට වෙනස් කළා. ඔන්න දැන් කෙලි පොඩ්ඩෙකුට හරියන්න නමක් තියනවා. ඒත් ඉතින් මේ නම බැකප් එකක් විදියට තියාගෙන ඊට වඩා හොඳ නමක් ලැබුනොත් දානවා කියලා හිතන් හිටියෙ. ඒත් හරියන නමක් ලැබුනෙ නෑ. ඒ මදිවට මේ කෙල්ලට ඉක්මනට ලෝකෙ බලන්න එන්න ඕනෙ වුනානෙ. ඉතින් මක්ක කොරන්නද? අර බැකප් නම අනුමත කරලා නාමාරූඪ කළා.

අයියා “නදිත දිල්මික”. නංගි “තිනුදි දිලුනිකා”.

මේ ඉන්න කෙලි පොඩ්ඩ ඉපදිලා දවසකින්.
අයියයි නංගියි දැන් ටිකක් ලොකුයි.
Advertisements

බබාට නමක්

ඇමරිකාවට ඇවිත් ටික දවසකින් අපේ පුංචි කැදැල්ලට අලුත් සාමාජිකයෙක් එක්වන බව දැනගත්තා. නෑදෑ හිත මිතුරන්ගෙන් සැතපුම් දහස් ගණනක් දුර රටක තනි වුන අපිට මේ ආරංචිය සතුටුදායක එකක් වගේම “තනියම මොනවා කරගන්නද මන්දා” කියලා හිතුන බියජනක එකකුත් වුනා.

බබාට නමක් හොයන එක තමා මේ කාලෙ අපිට තිබුන ලොකුම හිසරදය. ලංකාවෙදි උපන් වෙලාව බලලා ඒකට ගැලපෙන අකුරුවලට නමක් හොයන්න එක එක අය ගාවට දුවන එක තදින්ම ප්‍රතික්ෂේප කළ කෙනෙක් මම. ඒ නිසා අපි කැමති නමක් දාන එක ලේසි උනා. ඒත් ප්‍රශ්නෙ තිබ්බෙ නමක් හොයන එකයි.

දැන් කාලෙ ළමයින්ට දාන්නෙ කට උලුක් වෙන නම් නේ. කියනකොට හක්ක පනින නමක් අපේ දරුවන්ට දාන්න මම කැමති වුනේම නෑ. ඒ මදිවට දැන් කාලෙ මෝස්තරේනෙ තේරුමක් තියන නමක් දාන එක. ඒකට මට කියන්න තියෙන්නෙ සන්ෆ්ලවර්ස්ලා කියන “පිං මාලු වලේ” සින්දුව තමා. ලොකු වෙලා හොඳ පුද්ගලයෙක් වුනත් නැතත් ගැලපෙනවා විශේෂ තේරුමක් නැති (අකුරු සංයෝජනයකින් සැදුන ) නමක් දාන එක. නමකින් බලාපොරොත්තු වෙන්නෙ ඒ පුද්ගලයව වෙන් කරලා අඳුනගන්න එක මිසක් වෙන දෙයක් නෙවෙයිනේ.

අපිට අමුතුම අත්දැකීමක් වුනෙ බබා ඉපදෙන්නත් ඉස්සෙල්ලා මග තොටේදි මුණගැහෙන අය එයාගෙ නම අහන එකයි. ඒ වෙලාවෙට ලංකාවෙ නම් දාන හැටි එයාලට කියලා දෙන්න වුනා. ඇමරිකාවෙදි නම් පිරිමි ළමයෙකුට තාත්තගෙ නමම දාලා, අගට Jr. කියලා දාන එක අමුතු දෙයක් නෙවෙයි. අපේ පළවෙනි බබා නිසා අපි දෙන්නගෙ නම්වලට කිට්ටුවෙන් යන නමක් දාන්න අපි හිතාගත්තා. (මගෙ කැමැත්ත තිබ්බෙනම් Jr. කියලා දාන්න. ඒත් ඉතින් සිංහල ළමයෙකුට ඒක ගැලපෙන්නෙ නෑ කියලා හිතුනා.) ලැබෙන්න ඉන්නෙ කොලුපැටියෙක් කියලා කලින්ම දැනගත්ත නිසා නම් හෙවිල්ල ටිකක් ලේසි වුනා.

කොහොමහරි හොයලා හොයලා කට උලුක් වෙන වර්ගයේ අගට හල් කිරීම් නැති, දන්න විදියට තේරුමකුත් නැති, අපි දෙන්නගේ නම් වලට ලඟින් යන නමක් හොයාගන්න පුළුවන් වුනා. ඔය පින්තූරෙ ඉන්නෙ ඒ නම දාපු හාදය ඉපදිලා මිනිත්තු කීපයකින්, එයාගේ පියාණන්ගෙ අතේ.