කවුද යාළුවා

මට ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. එකෙක් සුද්දෙක්. අනිකා චීනෙක්. මුන් දෙන්නම මගෙත් එක්ක තියෙන්නෙ යාළු කමට කරන ආශ්‍රයකට වඩා  බිස්නස් ආශ්‍රයක්. මමත් අතේ දුරින් තමා මේ දෙන්නව ආශ්‍රය කරන්න බලන්නෙ. හැබැයි සුද්දයි චීනයි එච්චර හිත හොඳ නෑ ඕං.

ඉස්සර කාලෙ මුන්ගෙ මහ උන් අපිව යටත් කරගෙන හිටිය මදිවට අපේ රටේ සම්පත් හූරා කෑව කියල මතක් වෙනකොට සුද්දත් එක්ක තරහ වෙන්නත් හිතෙනවා. ඒත් පහුගිය කාලෙ අපේ ගෙදර වැඩ ටිකක් කරගන්න අත-මිට හිඟ වෙලා තියෙද්දි සුද්දා මට අතමාරුවට කාසි-පනම් දුන්න නිසා තරහ වෙලත් බෑ. මගෙ බිස්නස් එකේ බඩු වැඩිපුර ගන්නෙත් සුද්දා තමා.

චීනත් හැබැයි මෑතකදි මට අතමාරුවට කාසි-පනම් දීල තියනවා. පහුගිය දොහේ අපේ ගෙදර-දොරේ අලුත් වැඩ ටිකක් කරන්න කාසි මදි උනාම චීනා තමා නෑ-බෑ නොකියා දුන්නෙ. ඒත් ඉතින් මම පොලියත් එක්ක ගෙවන්න ඕනෙ ණය. මොකෝ සුද්දටත් ඉස්සර කාලෙ ගත්ත ණය තාම ගෙවනවනෙ.

සුද්දත් මට සල්ලි දෙන්නම් කිව්වා. ඒත් මිනිහගෙ මාර නීතිනෙ තිබ්බෙ. අපේ ගෙදර පොඩි උන් දෙන්න නිතරම රණ්ඩු. සුද්දා කියපි සල්ලි දෙන්නෙ ලොකු එකාට ගහලා, පැත්තකට කරල දාලා, පොඩි එකාට සීනි බෝල දුන්නොත් විතරයි කියලා. “අනේ ඔය පොඩි උන්ගෙ රණ්ඩු  උන් බේර ගත්ත දෙන්, මම උඹේ ගෙදර වැඩට සල්ලි දෙන්නම්” කියලා චීනා කියපු නිසා මම උගෙන් තමා සල්ලි ඉල්ලගත්තෙ. මම මොකටෙයි සුද්දගෙ නීති වලට යට වෙන්නෙ!

ඒ තරහටද මන්ද සුද්දා උගෙ යාළු-මාළුවොත් එක්ක එක්කහු වෙලා මට අංචියක් අදින්න ආවනෙ, මුන්ගෙ ගෙදර පොඩි උන් දෙන්නා ගහගන්නවා වැඩියි, අපි ඒ ගැන හොයන්න එන්න ඕනෙ, අරකද, මේකද කියලා. මම “අපේ ගෙදර රණ්ඩු මම බලාගන්නම්” කීවට උන් ගණන් ගත්තෙම නෑ. හොඳ වෙලාවට චීනත් කිව්වා සුද්දට “උන්ගෙ ගෙදර රණ්ඩු උන්ට විසඳගන්න දීපන්” කියලා. ඒකෙන් හොඳට ගියා. ඒ වගේ අංචි කීයක් නම් අදින්න සුද්දා දත කෑවද? චීනා කොහොම හරි මගෙ පැත්තෙ හිටිය නිසා හොඳට ගියා.

ඒ කිව්වහමයි මතක් උනෙ, ඉස්සර එක දවසක අපේ උන් දෙන්නා ගහගෙන, පොඩි එකා අඬාගෙන අල්ලපු ගෙදරට ගියා. අල්ලපු ගෙදර එකා ආවනෙ අපේ ගෙදරට පොඩි එකාව බේරගන්න. මම කීවා “උඹ අපේ ගෙදර රණ්ඩු වලට අත දාන්න එන්න ඕනෙ නෑ” කියලා. අල්ලපු ගෙදර එකා ඒ කාලෙ චණ්ඩියා උනාට, මම ඒ කාලෙ සුද්දා එක්ක හොඳට යාළු වෙලා හිටිය නිසා මම බය නැතුව හිටියේ සුද්දා අල්ලපු ගෙදර එකාට පාඩමක් උගන්නලා “උන්ගෙ රණ්ඩු උන්ට බේරගන්න දීපන්” කියලා කියයි කියලා. මොන, සුද්දා ඒ දවස් වල උන්නද මලාද නෑ. යාළු කම කොහේද නෑ..මට ලැජ්ජාවේ බෑ, අල්ලපු ගෙදර එකා අපේ ගෙදර රණ්ඩු බේරනකොට.

ලඟදි ඉඳන් මට කට්ටිය කියනවා “උඹ චීනා පස්සෙන් යනවා වැඩියි, උඹ චීනට ගොට්ට අල්ලනවා වගේනෙ” කියලා. මමත් චීනගෙ පොඩි පොඩි දේවල් වලට සහයෝගයක් දුන්න තමා. ඒවා සමහරක් සුද්දා අකමැති වැඩත් තමා. ඒත් ඉතින් මම කළෙ මට උදව් කළ කෙනාට අනිත් පැත්තට උදව්වක් කළ එකයි. ඒක වැරදිද මන්දා?

කට්ටිය තව අහනවා “එතකොට සුද්දා උඹේ යාළුවෙක් නෙවෙයිද, චීනද උඹේ යාළුවා?” කියලා.  අනේ මන්දා මට මේක තෝරගන්න බැරි ප්‍රශ්නයක්. ඇත්තම කිව්වොත් මුන් දෙන්නම යාළුවන්ට වඩා මාත් එක්ක බිස්නස් කරන්න බලන් ඉන්න උන්. ඔයාලටවත් කියන්න  පුළුවන්ද කවුද අඩුවෙන් නරක යාළුවා කියලා?

Advertisements

හොරකම සහ දඬුවම

නව පරපුරේ නිළියක් වන උදාරි වර්ණකුලසූරිය ඔඩෙල් ආයතනයෙන් ඇඳුම් හොරකම් කිරීමට ගොස් අසුවීමක් ගැන පසුගිය දවස්වල පුවත්පත්වලින් වගේම අන්තර්ජාලය හරහාත් නොඅඩුව කථාබහ කෙරුනා. ඒ පිළිබඳව උසාවියේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.

ඒ සිද්ධියට අදාල ඡායාරූපයක්ද මේ වනවිට සංසරණය වෙනවා. මේ ඡායාරූපය දැක්ක ගමන් “හොඳ වැඩේ..හොරකමේ ගිහින් අහුවුනාට ඔහොම කරල මදි!” කියලා ගොඩ දෙනෙක් හිතන්න ඇති. මේ ඡායාරූපයේ ඇත්ත නැත්ත හෝ ඇය සැබැවින්ම රෙදි හොරකම් කළාද නැද්ද යන්න පිළිබඳව මට කීමට නොහැකියි. නමුත්, මේ ඡායාරූපය සත්‍ය එකක් සහ ඇඳුම් හොරකම් කිරීමට උත්සාහ ගැනීම නිසා ඇයව දණගස්වා තිබුණායැයි සිතමු.

යමෙක් හොරකම් කර අසුවූ විට ඔවුනට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ කාටද?

හොරකමට ලක්වූ තැනැත්තාටම හොරාට දඬුවම් කිරීමේ අයිතියත් ලබා දී තිබේනම් නීතිය සහ අධිකරණය පද්ධතියක් තියෙන්නේ ඇයි?

හොරකමකදී හොරාව අල්ලා පොලීසියට භාරදීම සහ ඒ ගැන පැමිණිලි කිරීම හැර වෙනත් යමක් කිරීම මහජනයාගේ (හෝ සිවිල් ආයතනයක) වගකීම නෙවෙයි. දඬුවම් කිරීමක් වෙනවානම් එය සිදුවිය යුත්තේ උසාවිය හරහායි. පොලීසියට හෝ මහජනයාට යමෙකුට දඬුවම් කිරීමේ අයිතියක් නෑ.

මේ සියල්ලම හරියට වෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවානම් පමණයි. අපක්ෂපාත නීති සහ අධිකරණ පද්ධතියක් තිබේනම් ගැටළුවක් නෑ. නමුත් ලංකාවේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීම ගැන අමුතුවෙන් කිවයුතු නෑ. අපේ රටේ හාල්මැස්සො වගේ පොඩි හොරු අහුවෙද්දි තෝරු-මෝරු වගේ මහ හොරු නීතියෙ සිදුරු වලින් රිංගලා යන එක නොඅඩුව සිද්ධ වෙනවා.

රටේ නීති පද්ධතියේ දුර්වලතා තිබුනත් මහජනයා නීතිය අතට ගැනීම අනුමත කරන්න පුළුවන්ද? නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය-උසාවිය මෙන්ම මහජනයාත් නීතිගරුක ලෙස හැසිරිය යුතුයි. විශේෂයෙන්ම ආයතනයක් නීතිගරුකව හැසිරිය යුතුයි. පුද්ගලයෙක් නීතිය කඩකිරීමට වඩා ආයතනයක් නීතිය කඩකිරීම වෙනස්.

ඔඩෙල් වැනි ප්‍රසිද්ධ ආයතනයක් පුරවැසියෙකුට දඬුවම් කිරීම නීතිය ක්‍රියාත්මක කිරීමේ විශාල අඩුපාඩුවක් ලෙසයි මම දකින්නේ. පොලීසිය අදාල හොරකම පිළිබඳව චූදිත නිළියට නඩු පවරනා අතරම, නීතිගරුක ලෙස නොහැසිරුනු ඔඩෙල් ආයතනයට විරුද්ධවත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි මගේ මතය. එහෙම නොවුනොත්, තමන්ගේ ආයතනයෙන් හොරකමක් කළ පුද්ගලයෙක් අල්ලගෙන හොරාව ගස් බැඳලා දිමිගොටු දාන ආයතන නොඅඩුව බිහිවෙයි.

උදාරි හොරකමක් කළානම් එයට උසාවියෙන් දඬුවම් හිමිවිය යුතුයි. නමුත් ඇය ඔඩෙල් ආයතයේදී දඬුවමක් වින්දානම්, ඔඩෙල් ආයතනයට විරුද්ධව නඩුවක් පැවරීමෙන් ඇයට විශාල මුදලක් හොයාගත හැකිබවයි මට හිතෙන්නේ!

නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන පොලීසිය-උසාවියටම දොස් කියනවාට අමතරව අපිත් නීතිගරුක පුරවැසියන් වෙමු.

 

එයාලගෙ සහ අපේ අයිතිවාසිකම්

කොන්ස්ටන්ස් මැක්මිලන් (Constance McMillen)  18 හැවිරිදි ඇමරිකාවේ මිසිසිපි ජනපදයේ අයිටවම්බා  කෘෂිකාර්මික උසස් විද්‍යාලයේ (Itawamba Agricultural High School) අවසන් වසර ශිෂ්‍යාවක්. අප්‍රේල් මස පැවැත්වීමට නියමිත තම පාසලේ වර්ෂාවසාන නැටුම් උත්සවයට (Prom) සහභාගිවීමට ඇය පසුගිය වසරේ දෙසැම්බර් මස පාසල් විදුහල්පතිගෙන් අවසර ඉල්ලුවා.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුනේ ප්‍රවේශපත්‍ර සම්බන්ධ ගැටළුවක් ඇතිබව පවසමින්. ඊට හේතුව වුනේ ඇය නැටුම් උත්සවයට සහභාගිවීමට තීරණය කර තිබුනේ එම පාසලේම පහල පංතියක ශිෂ්‍යාවක් වන ඇයගේ පෙම්වතිය සමඟ වීමයි. ඇය සමරිසි කාන්තාවක් (Lesbian). නැටුම් සහායකයා හෝ සහායිකාව (date) විරුද්ධ ලිංගයෙන් (opposite sex) තෝරාගතයුතු බවට පාසලෙන් දැනුම්දී තිබුනා. එමෙන්ම සාම්ප්‍රදායික ලෙස ගවුමක් වෙනුවට කලිසමකින් හා කබායකින් (tuxedo) සැරසී නැටුමට පැමිණීමට ඇය කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප වුනා. පෙම්වතිය හා ඇයට වෙනවෙනම නැටුමට පැමිණිය හැකි වුවත්, නැටුමට සහභාගී වුවහොත් එතැනින් ඉවත් කරන බවද ඇයට දැනුම්දී තිබුනා.

ඇය මේ සම්බන්ධයෙන් පාසැල් කොට්ඨාසටද (school district) පැමිණිලි කළද එයින් විසඳුමක් ලැබුනේද නෑ. සිවිල් ක්‍රියාකාරී කණ්ඩායමක් (ACLU) ඒ සම්බන්ධව විමසීමක් කර සතියක් ඇවෑමෙන් මුට්ටිය ගන්නට එළුවාගේ හිසගසා දැම්මා සේ පාසැල් පාලනාධිකාරිය කළේ වාර්ෂික නැටුම් උත්සවය නිසි හේතු පැහැදිලි කිරීමකින් තොරව අවලංගු කර දැමීමයි. මේ සිද්ධිය ඇමරිකානු සහ ලෝක මාධ්‍යවල අවධානය දිනාගත්තා.

පාසැලේ ක්‍රියාමාර්ගයට එරෙහිව නඩුමගට පිවිසීමට කොන්ස්ටන්ස් සහ සිවිල් ක්‍රියාකාරීන් කටයුතු කළා. එහිදී විනිසුරුවරයා තීරණය කළේ පාසැල ගත් ක්‍රියාමාර්ගය කොන්ස්ටන්ස්ගේ ප්‍රකාශනය කිරීමේ ව්‍යවස්ථාමය අයිතිය උල්ලංඝනය කර ඇති බවයි. එහෙත් විනිසුරුවරයා පාසැල විසින් අවලංගුකළ නැටුම් උත්සවය නැවත පැවැත්වියයුතු බවට තීන්දු කළේ නෑ. මේ නිසා දෙපාර්ශවයම යම් ආකාරයකින් ජයගෙන ඇති බව පෙනෙනවා.

අවලංගුකළ නැටුම් උත්සවය වෙනුවට පාසැලේ දෙමව්පියන් විසින් තවත් නැටුම් උත්සවයක් සංවිධානය කළ අතර එම නැටුමටද සමරිසි සිසුන්ට සහභාගිවීමට ඉඩ නොදීමට තීරණය කර තිබුන නිසා නීතිමය ක්‍රියාමාර්ගයකට පෙර එයද අවලංගු කළා. තුන්වන නැටුම් උත්සවයක්ද සංවිධානය කර ඇති අතර එයට සහභාගිවීමට කොන්ස්ටන්ස්ට ඉඩ ලැබෙනු ඇති.

ලෝකයේ විවිධ රටවල  සමරිසි පුද්ගලයන් සඳහා ඇති සැලකිල්ල වෙනස්. ඇතැම් රටවල සමරිසි සම්බන්ධයක් පැවැත්වීම මරණීය දණ්ඩනය ලැබියහැකි වරදක් වන අතර, තවත් රටවල සමරිසි පුද්ගලයන්ට විවාහ වීමටද ඉඩ ඩී තිබෙනවා. ඇමරිකාවේනම් බොහෝ ආයතනවල ලිංගික නැඹුරුතාවය මත වෙනස්කම් කිරීම නීති විරෝධීයි.

ලංකාවේ පුංමෛථුනය නීතියෙන් තහනම් (මා දන්නා හැටියට). එහෙත් මේ තහනම ක්‍රියාත්මක තත්ත්වයේ නෑ. තමන් සමරිසි පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධියේ පිළිගැනීම නොකරන්නේ නීතියෙන් තහනම් නිසා සහ සමාජයෙන් එල්ලවන නින්දා-අපහාස නිසයි.

අවිවාහක තරුණ-තරුණියන්ටවත් නිදහසේ හැසිරීමට පොලීසිය ඉඩ නොදෙන හැටි මීට පෙර ලිපියක සඳහන් කළා. ඉතින් සමරිසි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන කවර කථාද?

පහත කරුණු ගැන ඔබට හිතෙන්නේ මොනවාද?

  • සමරිසිබව සමාජයට සහ නීතියට බියේ හෙළි නොකර, දෙමව්පියන්ගේ සහ සමාජමය බලකිරීමට විවාහ වන අයගේ පවුල් කීයක් නම් කඩාකප්පල් වී ඇතිද? ඒවා සමාජ ප්‍රශ්න නොවේද?
  • සමරිසි පුද්ගලයන්ට සමාජයේ ප්‍රසිද්ධියේ ඉන්නට ඉඩදීම සදාචාරයේ සහ සංස්කෘතියේ බිඳවැටීමක්ද?
  • සමරිසිබව සැඟවීමනිසා ඇතිවන මානසික පීඩනයෙන් අපහසුතා විඳින පුද්ගලයන් කොපමණ ඇතිද? ඔවුහු ප්‍රධාන සමාජධාරාවට වෛර කරන්නෝද? ඔවුහු සමාජවිරෝධී ක්‍රියා කරන්නෝද?
  • සමරිසි පුද්ගලයන්ව අපහාසයට බඳුන් කරන සමාජයක සදාචාරයක්, සභ්‍යත්වයක් තිබේද?

පින්තූරය AP Photo/Rogelio V. Solis වෙතින්.

දරුවන්ට ආදරේ නැද්ද

පසුගිය දවස්වල ලංකාවෙ ජනමාධ්‍ය හැම එකකම පාහෙ වාර්තාවුන සිදුවීම් දෙකක් තමයි කළුතර මවක් කළු ගඟට දරුවෙක් විසිකිරීම සහ අම්බලන්ගොඩ මවක් අලුත උපන් බිළිඳෙක් ගඟකට විසිකිරීම.

මේ සිදුවීම් විග්‍රහ කරන සමහරු අපේ රටේ ආර්ථිකයට දොස් කියන අතරෙ, තවත් අය දේශපාලකයන්ට දොස් කියනවා අනවශ්‍ය දේට සල්ලි වියදම් කරන බව කියමින්. කවුරු කාට දොස් කිව්වත් පිළිගන්න අවශ්‍ය දෙයක් තමයි හෙටත් මේ වගේ සිදුවීමක් වලක්වන්න අපේ රටේ ශක්තිමත් යාන්ත්‍රණයක් නැතිබව.

කෙටිකලකින් දුප්පත්කම නැතිකරන්නවත්, සමාජ-දේශපාලන ක්‍රමය වෙනස්කරන්නවත් අමාරුයි. තනිකඩ (විවාහ නොවූ, සැමියා හැරගිය හෝ වැන්දඹු) තරුණ අම්මලට දරුවන්ව හදා-වඩාගන්න වත්කමක් නැත්නම් දීමනාවක් දෙන එක ආණ්ඩුව කරන්න ඕන දෙයක් වුනත් ඒකට ප්‍රතිපාදන වෙන් කරන එකත් අමාරුයි කියමුකො. (මොකෝ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න මැති-ඇමති ගොල්ලන්ට සහ එයාලගෙ කාර්ය මණ්ඩලයට පඩි, දීමනා, විශ්‍රාම වැටුප් දෙන්න ඕනැනෙ.)

ඒත් ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් තමා රටට ගැලපෙන ක්ෂේමස්ථාන නීතියක් ඉදිරිපත් කරන එක.

දරුවන්ව අදාල ආයතනයකට භාරදෙන්න ගියාම අසරණ මව/පියාට මුහුණපාන්නවෙන නොයෙකුත් ප්‍රශ්න සහ ඒ ක්‍රියාමාර්ග ගැන නොදැනුවත්කම නිසා අහිංසක දරුවන්ට වෙලා තියෙන්නෙ මරුට බිලිවෙන්න.

දරුවන් හදාගන්න කැමති දෙමව්පියෝ කොච්චර රටේ ඉන්නවද? නිසි සම්බන්ධීකරණයක් තියනවනම් දාලා යන දරුවන්ව ඔවුන්ව හදාගන්න අවශ්‍ය දෙමව්පියන්ට භාරදෙන එක කරන්න පුළුවන්, ආණ්ඩුවට වැඩි වියදමක් දරන්නෙ නැතිවම.  පෞද්ගලිකත්වය ආරක්ෂාකරගත හැකි ක්ෂේමස්ථාන නීතියක් ගෙනැවිත්, සමාජය නිසිලෙස දැනුවත් කළොත් තැන-තැන ළමුන්ව දමා යාම අඩු කරන්න පුළුවන්.

රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන් ඛේදනීය ලෙස අකාලයේ මියැදෙන්න හරිමින් උදාසීනව සිටීමට අවුරුදු දහස් ගණනක ප්‍රෞඩ අතීතයක් ඇති ජාතියකට හැකිද? ජාතියක් වශයෙන් අපි දරුවන්ට ආදරේ නැද්ද?

සීට් බෙල්ට් එපාද

ලංකාවෙ තමන්ටම කියලා වාහනයක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද? මෝටර් සයිකලයක්වත් නැති පවුල් කොච්චර ඉන්නවද? එහෙව් එකේ සීට් බෙල්ට් ගැන මොකට කථා කරනවද කියලා හිතෙයි.

රටේ වැඩි පිරිසක් පොදු ප්‍රවාහන පහසුකම් යොදාගත්තත් පුද්ගලික වාහන වලින් යන අයත් තරමක් ඉන්නවනෙ. පුද්ගලික වාහනවල ගමන් කරන අය වැඩි ප්‍රමාණයක් වාහනයේ ආරක්ෂක පටි, තේරෙන විදියට කියනවා නම් සීට් බෙල්ට් (Seat Belt) තිබ්බත් ඒවා පාවිච්චි කරන්නෙ නෑ.

වාහනවල (මේ කිව්වේ රෝද 4 හෝ ඊට වැඩි වාහන ගැනයි) යන අයට ආරක්ෂක පටි පළඳින නීතියක් ගේන එක ආණ්ඩුවෙන් ගැන ගිය අවුරුද්දෙ කථාවුනා. ඒක ක්‍රියාත්මක වුනෙ නෑ මම දන්න විදියටනම්. ඒත් ඉතින් වාහනවල යන අයට ආරක්ෂක පටි පැළඳගෙන යන්න තහනමක් නෑනෙ.

සමහරු සීට් බෙල්ට් දාන්නෙ නැත්තෙ තමන් සුරක්ෂිතව රිය පදවන නිසා අනතුරක් සිදුනොවන බව ඇති විශ්වාසයටයි. ඔබ සුරක්ෂිතව රිය පැදෙව්වත්, වෙනත් අයෙක් ඔබේ වාහනයේ තම රථය හැප්පුවොත් මොකද වෙන්නෙ?

තවත් සමහරු හිතන්නෙ සීට් බෙල්ට් දදා ඉන්න ගියාම පරක්කු වෙනවා කියලයි. සීට් බෙල්ට් එක දාන්න තත්පර 30ක් යයි උපරිම. (හුඟක් වෙලාවට තත්පර 10 යි.) ඒ තත්පර 30 ද වටින්නෙ, එහෙම නැත්නම් අනතුරක් වුනොත් වෙන්න පුළුවන් හානිය වලක්වාගැනීමද?

“සීට් බෙල්ට් ඕනවෙන්නෙ පැයට කි. මී. 100 ක විතර වේගෙන් යනකොට විතරයි”. මේ සමහරු හිතන් ඉන්න හැටි. පැයට කි.මී. 50 ක වේගයෙන් ගොස් ගසක හෝ ලයිට් කණුවක හැපෙන වාහනයක සිටින (ආරක්ෂිත පටි නොපැළඳි) අයෙක් තමන්ගෙ සිරුරේ බර මෙන් 30 ගුණයක බලයකින් ඉදිරියට විසිවන බව ඔබ දන්නවාද? ආරක්ෂිත පටියක් පැළඳීමෙන් මෙම බලය 5 ගුණයකින්වත් අඩුකරගත හැකියි.

රිය අනතුරකදී ඇතිවන බලයන් පිළිබඳව භෞතික විද්‍යාත්මක විස්තර පහත සබැඳියෙන් බලාගත හැකියි.

http://hyperphysics.phy-astr.gsu.edu/Hbase/carcr2.html#cc1

ඔය ෆිසික්ස් (Physics) ගණන් හිලව් තේරෙන්නෙ නැත්නම් මේ වීඩියෝ එක බලන්නකෝ.

වාහනයක් ගන්න ගියාම සමහරු මුලින්ම බලන්නෙ ඒකෙ තියන ආරක්ෂිත ක්‍රම-විධි (Safety features). Airbags, ABS, ESC, Dynamic Steering, TPMS මෙකී නොකී හැමදේම තියනවද කියලා බලනවා. Full Option වාහනම හොයන්නෙ ඒකනෙ. ඒත් ලාභම වාහනේකත් තියන, වැදගත්ම ආරක්ෂක උපකරණය වන සීට් බෙල්ට් එක පාවිච්චි කරන්න හිතන්නෙවත් නෑ. Airbag තියනවා නම් ඔක්කොම හරි කියලයි සමහරු හිතන්නෙ. ඒත් airbag වල ප්‍රයෝජනේ තියෙන්නෙ සීට් බෙල්ට් එක්ක ඒක පාවිච්චි කරනකොට කියන කාරණේ සමහරු දන්නෙ නෑ. (Airbags වලට කියන්නෙ SRS- Supplemental Restraint Systems කියලනෙ. මේ Supplemental කියන්නෙ පරිපූරක-අමතර උපකරණයක් බවත්, ප්‍රධාන උපකරණය සීට් බෙල්ට් බවත් නොදන්න අය බොහොමයි.)

ලංකාවෙ අවුරුද්දකට මාරාන්තික රිය අනතුරු 2000 කට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයන් 2300 කට ආසන්න ගණනක් මියයනවා. ඒ කියන්නෙ එක දවසකට 6 දෙනෙකුටත් වැඩියි. තුවාල ලබන ප්‍රමාණය 20,000 කටත් වැඩියි. [1] ඒ සියළුදෙනාම පුද්ගලික රථවල යන අය නොවුනත්, කීපදෙනෙක් හෝ පුද්ගලික රථවාහන අනතුරු වලින් ආපදාවලට ලක් වෙනවා. ආරක්ෂක පටි පැළඳීම මඟින් විපතට පත්වන ප්‍රමාණය තරමක් හෝ අඩු කරගත හැකියි.

රිය අනතුරුවලින් තුවාල ලබන්නන් ප්‍රතිකාර ලබන්නේ රජයේ රෝහල් වලින් නම්, ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට යන වියදම දරන්නේ බදු ගෙවන මහජනතාවයි. එයට පාපැදියක්වත් හිමි නැති, බස් සහ දුම්රියවල පමණක් ගමන් කරන දුප්පතාද දායක වෙනවා. හිතන්න, ඔබේ නොසැලකිලිමත්කම නිසා ආරක්ෂක පටි නොපැළඳීමෙන් අනතුරකට ලක් වී රෝහල්ගත වුවහොත් ඔබ රටේ ජනතාවට බරක් වෙනවා නේද? (මැති-ඇමතිවරු කරන නාස්තිය මීට වැඩියි කීම නිදහසට කාරණයක්ද?)

ලෝකෙ රටවල් ගණනාවක වාහනවල යද්දි ආරක්ෂක පටි පැළඳීම අනිවාර්යයි. හයිවේ (Highway) නැති අපේ රටේ මොන සීට් බෙල්ට්ද කියලා හිතන අය හිටියත් තමන්ගෙ ආරක්ෂාව ගැන හිතන අය ආරක්ෂක පටි දාගෙන යනවා නීති තිබ්බත් නැතත්.

[1]. http://www.iatss.or.jp/pdf/research/30/30-1-12.pdf

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

http://en.wikipedia.org/wiki/File:Seatbelt.svg