සතුටු වීම

ලංකාවෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නොමිලෙනෙ. නිකං දෙන දේවල වටිනාකමක් නෑ කියලා කියන නිසාද කොහෙද විශ්වවිද්‍යාල සිසුන්ගෙන් හැම අවුරුද්දෙම ලියාපදිංචි ගාස්තු විදියට බොහොම පොඩි ගාස්තුවක් අය කරගන්නවා.

අපි විශ්වවිද්‍යාලයේ ගිය මුල් අවුරුද්දෙ මේ ගාස්තුව රුපියල් 50 යි. ඒත් ඊලඟ අවුරුද්දෙ ලියාපදිංචි ගාස්තුව රුපියල් 200 කළා. 300% කින් ගාස්තු වැඩි කළාම ඉතින් ඇඟට දැනෙනවනේ. ඉතින් බොහෝ දෙනා මේ ගාස්තු වැඩි කිරීමට විරුද්ධව තැන තැන කථාබහ කළා.

“නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන, අධ්‍යාපනය විකුණන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත හෙළා දකිමු” කියලවත්, එහෙම නැත්නම් “ලියාපදිංචි ගාස්තු අහෝසි කරවු” කියලවත් පොස්ටර් එල්ලගෙන උද්ඝෝෂණ කරන්නෙ නැතුව අපි සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුනා.

අපේ පීඨ ශිෂ්‍ය සංගමයෙ ප්‍රමුඛත්වයෙන් මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල බලධාරීන් එක්ක සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් විදියට ලියාපදිංචි ගාස්තුව රුපියල් 100 දක්වා අඩු කළා. මේ තීරණය ශිෂ්‍ය සංගම් නිලධාරීන් හරහා සිසුන්ට දැනුම් දුන්නහම හැම දෙනාම බොහොම සතුටු වුනා “රුපියල් 100 ක් ම අඩු කරගත්තනෙ” කියලා. “කොහොමද අපේ වැඩ? අපි කට ඇරියොත් ඉතින් නෝ හෙල්ලුම්! පොල් මැල්ලුම්!” කියලා කියපු අයත් ඉන්න ඇති.

රුපියල් 100 කින් ගාස්තු අඩු කරගත්තා කියලා සතුටු වුන බොහොමයක් අයට තේරුනේ නෑ රුපියල් 50 කින් ගාස්තු වැඩි වුන බව! ඇත්තටම දුක් වෙන්න ඕනෙ සිද්ධියක්නෙ වුනෙ..

ඊයෙ ඕස්ට්‍රේලියාව පරාද කරලා ක්‍රිකට් තරඟය දිනුවහමත් ගොඩක් දෙනා “මරු මැච් එක! ඊලඟ මැච් එකත් මේ වගේම තිබ්බොත් මරු!” කියලා සතුටු වුනා. ඒත් ඒ සතුටු වීම ලියාපදිංචි ගාස්තු අඩු කිරීමෙන් සතුටුවීමට සමානයි කියලා මට හිතුනා.  ක්‍රිකට් ක්‍රීඩාවේ තියන වින්දනය උපරිම වුන තරඟයක්  ජයග්‍රහණයෙන් සතුටු විය යුතුයි.

නමුත් අපේ මුල්පෙළ පිතිකරුවෝ ටිකක් පරීක්ෂාකාරී වුනානම් ජයග්‍රහණය ඊටත් වඩා ඉහළින් සමරන්න තිබුනා. හරියට ගාස්තු වැඩි කරන්නෙම නැතිව තිබුනා නම් වගේ! ඒ වගේ ජයකදි, ඊයේ ජයග්‍රහණය වගේ විශේෂයෙන් සමරන්න දෙයක් නොතිබෙන්න පුළුවන්. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ පරිණතබව වගේම ලෝක කුසලාන තරඟ මාලාවට සූදානම පෙනෙන්නේ වගකීමෙන් තරඟ කළොත් විතරයි.

Advertisements

තාවිජාඩි සහ මොරටුව විශ්ව විද්‍යාලය

තා.වි.ජා.ඩි. කියන්නෙ මොකක්ද කියලා දන්නවද? තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමාව කියන්නෙ මොකක්ද කියලා අහලා නැතත්, National Diploma in Technology හෙවත් එන්.ඩී.ටී. ගැන නම් අහපු නැති කෙනෙක් නැතුව ඇති. එන්.ඩී.ටී පිරිනමන්නෙ මොරටුව විශ්ව විද්‍යාලය යටතෙ තියන තාක්ෂණ ආයතනය (Institue of Technology University of Moratwa) මඟින්.

1893 දී මරදානේ ආරම්භ වූ රජයේ තාක්ෂණ පාසල (Government Technical School) 1906 දී ලංකා තාක්ෂණික විද්‍යාලය (Ceylon Technical College) බවට පත් වුනා. 1940 දශකයේදී එහි ඇරඹි කණිෂ්ඨ තාක්ෂණ නිලධාරී (Junior Technical Officer) පාඨමාලාව 1960 දී කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණ ආයතනය (Institute of Practical Technology) ලෙසින් ඇරඹි නව ස්ථානයකට ගෙන ආවේ තාක්ෂණ නිලධාරීන් පූර්ණ කාලීනව පුහුණු කිරීමටයි.  රජය විසින් ඉංජිනේරු වෘත්තියේ පුළුල්කිරීම සඳහා 1966 දී කටුබැද්දේම ලංකා තාක්ෂණ විද්‍යාලය (Ceylon College of Technology) පිහිටවු අතර, උපාධියකට සමාන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලා ඇරඹුනා. 1967 දී ප්‍රායෝගික තාක්ෂණ ආයතනය එම තාක්ෂණ විද්‍යාලයට අනුබද්ධ කළ අතර කණිෂ්ඨ තාක්ෂණ නිලධාරී පාඨමාලාව ප්‍රතිනිර්මාණය කර එය තාක්ෂණ නිලධාරීන්ගේ පාඨමාලාව ලෙස නම් කළා. 1972 දී කටුබැද්ද ලංකා තාක්ෂණ විද්‍යාලය විශ්ව විද්‍යාලයක් බවට පත්වූ අතර, තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව ඉංජිනේරු විද්‍යාවේදී උපාධි පාඨමාලාව බවටත්, තාක්ෂණ නිලධාරීන්ගේ පාඨමාලාව තාවිජාඩි ලෙසටත් නම් කළා.

වසර ගණනාවක් ඉංජිනේරු උපාධි සහ තාවිජාඩි පාඨමාලා දෙකම සමාන්තර ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පැවැත්වුනා. සිසු දෙපිරිස අතර විශ්ව විද්‍යාලය තුල හෝ රැකියා වෙළඳපොලේදී සැලකිය යුතු තරඟයක් තිබුනේ නෑ. මේ වාතාවරණයේ වෙනසක් ඇති වූයේ 1992-93 දීයි. ඒ 1987-89 කාලය තුල (ජවිපෙ හිතවාදී) ශිෂ්‍ය ව්‍යාපාරයේ බල කණුවක්ව තිබූ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය දේශපාලනයේ යෙදීමෙන් බැට කා තිබූ බැවින්, කිසිම දේශපාලන පක්ෂයකට සහය නොදැක්වීමට තීරණය කිරීමත් සමඟයි. මොරටුව විශ්ව විද්‍යාලය තුල තම බලය තහවුරු කිරීමේ අදිටනින් ජවිපෙ බළල් අතක් වන අ.වි.ශි.බ.ම. හෙවත් අන්තරය ඉන් පසුව තාවිජාඩි පාඨමාලාවට තම සහය දැක්වීමට පටන් ගත්තා.

තාවිජාඩි ශිෂ්‍ය සංගමය සහ අන්තරය අතර ඇති සබඳතාවය නිසා, එම සංගමයෙන් සංවිධානය කළ විවිධ ඉසවු වලට වෙනත් විශ්ව විද්‍යාලවල සිසුන් පැමිණි අවස්ථාද තිබුනා. ඉංජිනේරු පීඨ සිසුන් සමඟ ඇතිවූ ගැටුම් වලදීද වෙනත් විශ්ව විද්‍යාලවල සිසුන් තාවිජාඩි සිසුන් සමඟ එක්වූ බව වාර්තා වී තිබුනා.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඇති සීමිත ඉඩකඩ තුල මේ පාඨමාලා දෙකම පුළුල් කිරීමේ අපහසුතාවයක් ඇති බව අමුතුවෙන් නොකිව යුතුයි. මේ හා සම්බන්ධ පසුබිම් කාරණා සහ විවිධ ආසන්න හේතු නිසා 1998 දී මේ දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වුනා. එහි ප්‍රතිඵලය ලෙස වසරකට ආසන්න කාලයක් විශ්ව විද්‍යාලය වසා තැබුනා. මේ අවස්ථාවේදී තාවිජාඩි ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලයේ බලධාරීන් සමඟ ගිවිසුමකට එළඹුනා.

මේ ගිවිසුමට අනුව, තාවිජාඩි පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලය යටතේ ඇති තාක්ෂණ ආයතනය (ITUM) යටතට ගැනෙන අතර එම ආයතනය මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පරිබාහිරව පිහිටුවීමට කටයුතු කරනවා. එම බාහිර ස්ථානයේ පහසුකම් ස්ථාපිත කෙරෙන තෙක් තාවිජාඩි පාඨමාලා මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල පවත්වාගෙන යාමට අවසර ලැබෙනවා. එතෙක් බඳවාගන්නා ප්‍රමාණය වැඩි කිරීමට හෝ විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට අවසර ලැබෙන්නේ නෑ. එමෙන්ම තාවිජාඩි ඩිප්ලෝමා සහතිකයේ අන්තර්ගතය ආදියද එම ගිවිසුමේ අඩංගු කරුණු අතර ඇතුලත්.

තාවිජාඩි සිසුන් මේ ගිවිසුම ගැන දැනුවත්ද යන්න ප්‍රශ්නයක්. එමෙන්ම හැකි ඉක්මනින් උපාධිය අවසන්කොට රැකියා සොයාගැනීමට සිතමින් පොතටම කාලය යොදවන මොරටුව ඉංජිනේරු සිසුන් මේ ගිවිසුම ගැන දන්නවාදෝ සැකයි. ගිවිසුමට එකඟව අත්සන් කිරීමෙන් අනතුරුව කුමන හෝ යටි අරමුණු නිසාවෙන් එම ගිවිසුමේ අඩංගු කරුණු ප්‍රතික්ෂේප කරන තාවිජාඩි ශිෂ්‍ය සංගමය එය කාලයේ වැලිතලාවෙන් යට වීමට කැමැත්තෙන් සිටිනවා විය හැකියි.

ගිවිසුමේ ප්‍රකාර, විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයක මොරටුව විශ්ව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනය පිහිටුවීමට සැලසුම් තිබුනා. එවකට අක්‍රියව පැවති, වර්තමානයේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය පිහිටුවා ඇති රත්මලානේ ජාතික තාක්ෂණ අධ්‍යාපන ආයතනය (National Institute of Technical Education – NITESL) තාවිජාඩි පාඨමාලාව පිහිටුවීමට සුදුසු ස්ථානයක් බවට යෝජනා වුනා. විවිධ දේශපාලන බලවේග නිසා එම යෝජනාව යටපත් වූ බවට ආරංචි වුනා. පිළියන්දල මඩපාත ප්‍රදේශයේ ඉඩමක නව ගොඩනැගිලි ඉදිකර තාවිජාඩි පාඨමාලාව ඒ වෙත ගෙනයාමට සැලසුම් තිබුනද, ඉඩම් අත්පත් කරගැනීමේ ප්‍රශ්න නිසා එයද යටපත් වුනා.

මීට වසර තුනකට පමණ පෙර හෝමාගම, දියගම (වර්තමාන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ඉදිරිපිට) භූමි භාගයක් මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනය වෙත ලබා දුන්නා. එය වටකර වැටක්ද ඉදිකර ඇති නමුත්, මේ වනතෙක් එහි කිසිදු ඉදිකිරීමක් සිදුවී නෑ. ඊට හේතුව ආණ්ඩුවට ප්‍රතිපාදන නොමැති වීමද, එසේත් නැතහොත් වෙනත් කාරණයක්ද යන්න ප්‍රශ්නාර්ථයක්. තාවිජාඩි පාඨමාලාව මොරටු සරසවි බිමෙන් ඉවත් කිරීමට තීරණය කර වසර දහයකටත් වැඩි කාලයක් ගත වුනත්, එම තීරණ ක්‍රියාත්මක නොවීම පිටිපස අදිසි හස්තයක් ඇතිදැයි සිතෙනවා.

තාවිජාඩි පාඨමාලාව මොරටුව සරසවි බිමෙන් ඉවත් කිරීම තාවිජාඩි සිසුන්ට කෙසේ වෙතත් අන්තරයට නම් අවාසි සහගතයි. මොරටුව සරසවි බිමෙන් තම මුදුන් මුල උගුල්ලා දැමීමට අකමැති අන්තරය ඊට විරෝධය පාන්නේ විවිධ ක්‍රම වලින්.

තාවිජාඩි පාඨමාලාව මොරටුව සරසවි පරිශ්‍රයෙන් පිටතට ගෙනයාමට උත්සාහ කළ සෑම අවස්ථාවකම කුමන හෝ අඩුපාඩුවක් පෙන්වාදෙමින්, එය කල් දැමීමට තාවිජාඩි ශිෂ්‍ය සංගමය උත්සාහ ගෙන ඇත්තේ හිඟන්නාගේ තුවාලය විලසිනුයි. එම පාඨමාලාව සලසුම් කළ පරිදි නිසි කාලයට විශ්ව විද්‍යාලයෙන් පිටතට ගෙනයාමට නොහැකි වූ නිසා මොරටුව විශ්ව විද්‍යාලයේ තුන්වන පීඨය ලෙස ඇරඹි තොරතුරු තාක්ෂණ පීඨයේ පාඨමාලා මුල් වසර තුන තුල බොරැල්ලේ කුලියට ගත් ගොඩනැගිල්ලක පවත්වන්නට සිදු වුනා.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සිසුන් සහ තාවිජාඩි සිසුන් අතර ගැටුම් ඇති වීමට හේතුව ලෙස ඇතැමුන් පෙන්වා දෙන්නේ රැකියා වෙළඳපොළේ ඇති තරඟයයි. එය සත්‍ය නම් මොරටු ඉංජිනේරු සිසුන් තාවිජාඩි සිසුන් සමඟ ගැටීමට පෙර පේරාදෙණිය සහ රුහුණ ඉංජිනේරු සිසුන් සමඟ මුලින්ම ගැටිය යුතුයි. ඊට පසු ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමා සහ  ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමා සිසුන් සමඟ ගැටිය යුතුයි. එමෙන්ම තාක්ෂණ විද්‍යාල සහ කාර්මික විද්‍යාල සිසුන් සමඟද රැකියා තරඟයක් ඇති නිසා ඔවුන් සමඟද ගැටීම වැලැක්විය නොහැකියි.

ඇත්ත තත්ත්වය නම්, මෙරට ඇති සීමිත රැකියා අවස්ථා සඳහා සුළු තරඟයක් තිබුනද, ඉංජිනේරු උපාධිධාරීන්ට මෙන්ම ඩිප්ලෝමාධාරීන්ටද මෙරට නොමැතිනම් විදේශ රැකියා හෝ සොයාගැනීමේ දැඩි අපහසුතාවයක් නොමැති බවයි. විශ්ව විද්‍යාලය තුල වෙනත් පාඨමාලාවක සිසුන් සමඟ ගැටීමෙන් හෝ ඔවුන්ව විශ්ව විද්‍යාල භූමියෙන් පිටමං කිරීමෙන් රැකියා වෙළඳපොළේ තමන්ට වාසියක් වෙතැයි සිතනවා නම් එය විහිළුවක්.

තවත් මතයක් වනුයේ ඉංජිනේරු ඩිප්ලෝමා සිසුන් ලංකා ඉංජිනේරු ආයතනයේ වැනි විභාග සමත්ව උපාධි සුදුසුකම් ලබාගන්නවාට විශ්ව විද්‍යාල උපාධිධාරීන් අකමැති සහ ඊර්ෂ්‍යා බවයි. පෞද්ගලිකව එබඳු අය සිටිය හැකි වුවත්, පොදුවේ එම මතය පිළිගත නොහැක්කේ මෙරට ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් අතරින්, උක්ත විභාග සමත්වන්නේ සාපේක්ෂව සුළු පිරිසක් නිසයි. ඔවුන්ගේ හැකියාව නිසා ඉහල සුදුසුකම් ලබාගැනීමට අකමැතිවීම හෝ ඊර්ෂ්‍යා කිරීමනම් මෝඩ ක්‍රියාවක්.

‘අපිත් මොරටුව කැම්පස් එකේ. ඉංජොයි අපියි අතරෙ වැඩි වෙනසක් නෑ. අපි කන්නෙ බොන්නෙ එක කැන්ටිමෙන්. පාඩම් කරන්නෙ එක ලයිබ්‍රරියෙ. ඉන්නෙ එක හොස්ටල් එකේ. පාවිච්චි කරන්නෙ එක දේශන ශාලා; එක ලැබ්. ඒ නිසා අපිත් ඉංජිනේරුවො වගේ තමා’ කියලා කියන තාවිජාඩි සිසුන් ඉන්නවද කියන්න නම් මම දන්නෙ නෑ. ඒත් තාවිජාඩි සිසුන්ගේ සහ ඉංජිනේරු සිසුන්ගේ දේශකවරු මෙන්ම විද්‍යාගාර පහසුකම්ද වෙනස් බවත්, එම පාඨමාලා අතර මූලික වෙනස විෂය නිර්දේශවල බවත් අමතක කරන්න හොඳ නෑ. ඒ නිසා ඉහත ප්‍රකාශයෙ වලංගු බව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

තාවිජාඩි පාඨමාලාව හා සම මට්ටමේ ගැනෙන ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව (National Diploma in Engineering Science – NDES) පාඨමාලාව සඳහා වසර හතරකුත්, ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව (Higher National Diploma in Engineering – HNDE) යන පාඨමාලා සම්පූර්ණ කිරීමට වසර හතරක් බැගින් ගතවෙනවා සඳහා වසර තුනහමාරකුත් ගතවෙනවා. නමුත් තාවිජාඩි සඳහා යන්නේ වසර තුනක් පමණයි. එම පාඨමාලාව ‘මොරටුව විශ්ව විද්‍යාලය’ ‘තුල’ පිහිටා තිබීම යන කාරණය මේ වෙනස පියැවීමට යොදාගන්නවාද යන්න සිතා බැලිය යුතුයි. තාවිජාඩි සිසුන් බාහිර ලෝකයට තමන් හඳුන්වා දෙන්නේ තමන් ‘මොරටු සරසවි සිසුන්’ ලෙස බවත්, වැඩිදුර විමසීමේදී පමණක් තමන් තාවිජාඩි සිසුන් බව පවසන බවත් මගේ අත්දැකීමයි.

තාවිජාඩි පාඨමාලාව මොරටුව සරසවි පරිශ්‍රයෙන් පිටතට නොයෑම හේතුවෙන් එම පාඨමාලාවටද සිදුව ඇත්තේ අනර්ථයක්. යුගයට ගැලපෙන පරිදි විෂය නිර්දේශ වෙනස් කළ නොහැකිවීම, වැඩි සිසුන් පිරිසක් බඳවාගත නොහැකිවීම ඒ අතර ප්‍රධානයි.

රටේ ප්‍රචලිත තාවිජාඩි පාඨමාලාව පවත්වන ස්ථානය වෙනස්වූ පලියට එහි ගුණාත්මක භාවය අඩුවේයැයි හෝ, රටේ පිළිගැනීම අඩුවේයැයි හෝ සිතීම මිථ්‍යාවක්. එය වෙනත් තැනක පැවැත්වූවද ඩිප්ලෝමාව පිරිනමන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනය මඟින්. එහි පිළිගැනීමේ වෙනසක් වෙතැයි අපේක්ෂා කළ නොහැකියි.

හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනයට අයත් භූමියේ නව ගොඩනැඟිලි ඉදිකර, දේශන ශාලා, විද්‍යාගාර සහ වෙනත් පහසුකම් සපුරා තාවිජාඩි පාඨමාලාව ඒ වෙතට ගෙනයාමෙන් ඒ සිසුන්ටද නිදහසේ අධ්‍යයන කටයුතු වල යෙදිය හැකියි. එමෙන්ම එම පාඨමාලාවේ අභිවෘද්ධියට අවශ්‍ය නිසි පියවර ප්‍රමාද නොකර ගන්නටත් එය ඉවහල් වේවි.

එමෙන්ම මොරටුව සරසවි බිම තුල ඉංජිනේරු, වාස්තු විද්‍යා සහ තොරතුරු තාක්ෂණ පීඨද නිසි ලෙස පුළුල් කිරීමට හැකි වෙනු ඇති.

ප.ලි.

තාවිජාඩි පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලයෙන් භෞතිකව ඉවත් කළයුතු බව මිස, එම පාඨමාලාව අහෝසි කිරීම හෝ එය වෙනත් ආයතනයක් යටතට පත් කළයුතු බවක් මම අදහස් කරන්නේ නෑ. එය දිගටම මොරටුව විශ්ව විද්‍යාලය යටතේ (තුල නොවේ) පැවතීම පාඨමාලාවට මෙන්ම විශ්ව විද්‍යාලයටද වාසිදායක බවයි මගේ මතය.

එමෙන්ම අපේ රටට ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලා අනවශ්‍යයි යන්න හෝ ඉංජිනේරු උපාධි පාඨමාලා අනවශ්‍යයි යන්න මොනම අයුරකින්වත් මම අදහස් කරන්නේ නෑ. රටේ කර්මාන්ත ක්ෂේත්‍රයට ඉංජිනේරු උපාධිධාරීන් මෙන්ම ඩිප්ලෝමාධාරීනුත් අත්‍යවශ්‍යයි. ඔවුනොවුන්ගෙන් ලැබෙන සේවා එකිනෙකට වෙනස් නිසා කර්මාන්ත ක්ෂේත්‍රයට ඒ දෙපාර්ශවයේම දායකත්වය නැතිව බෑ.

ඉහත සඳහන් කළේ මගේ පෞද්ගලික මතය මිස වෙනත් පාර්ශවයක මතයක් නොවන බව සලකන්න. දින වකවානු හෝ වෙනත් වැරදි ඇත්නම් කරුණාකර පෙන්වා දෙන්න.

විභාගය නිමාවී කැසිකිලි ගිය සඳ

මේ දවස්වල සිංහල බ්ලොග් අවකාශය මුත්‍රා කතන්දරවලින් පිරී ඉතිරී යනවා. කතන්දරකාරයා පටන්ගත්ත චූ කතන්දර දැන් වසංගතයක් වගේ බෝවෙලා, හැමෝම තමතමන්ගේ චූ කතන්දර ලියනවා. මගෙ චූ කතන්දර ලියන්න ගියොත් අපි ආව-ගිය තැන් වලින් ගහලා පන්නයි. ඒවා ඒ තරමටම අභ්‍යාසයි. චිකේයියා…ඒත් අඩු තරමේ එක චූ කතාවක්වත් නොකියා ඉන්න හිතෙන්නෙත් නෑ.

විශ්වවිද්‍යාල ජීවිතේ පළවෙනි සමාසිකය අවසානයේ විභාගෙ, සිංහලෙන්ම කිව්වොත් ෆස්ට් සෙමෙස්ටර් එන්ඩ් එක්සෑම් එකත් ආවා. හරියට ලෙක්චර්ස් යන්නෙත් නැතුව, පාඩම් කරන්න කියලා ගන්න ඕනෙ පොත් මොනවද කියලා දන්නෙත් නැතුව, පරණ ප්‍රශ්නපත්තර කියලා දෙයකුත් (හොයාගන්නවත්) නැතුව විභාග කරන්න ගියා කියමුකො! උසස්පෙළ සුපර් විදියට පාස් උනත් (අනේ පොර වෙන්න කිව්ව නෙවෙයි ඕං), කැම්පස් ඇවිත් කෙලපු පිස්සුවල හැටියට (සහ කැම්පස් දෙකකටම ගිය හැටියට) ඒ විභාග ටිකට කෙල වුනා කියලා ලියනකොටම තේරුනා.

අනේ ආසාවෙන් ඉගෙනගන්න හිටිය විෂයකට දුන්නනෙ මරු ප්‍රශ්න පත්තරයක්. පන්තියෙ උගන්නපු දේවල්වලින් ප්‍රායෝගික විදියට තමා අහල තිබ්බෙ ප්‍රශ්න..ඒත් පන්තියෙදි අපිට ඉගෙනගන්න ලැබුනයැ.. හිටියනෙ ගැටා හෙවත් ගැටළුවා.. “සර් අයි හෑව් අ ක්වෙස්චන්” කියලා මූ අහන දේට අඹරලා උත්තර දිදී සර්ලා ඉගැන්නුවා මිස තේරෙන විදියකට උගන්නන්න ලැබුනේ නෑනෙ. ඉතින් ඒ පේපර් එකට කෙල උනා කියලා ලියනකොටම තේරුනා. (ගැටෝ, තෝ අහුවෙයංකො..)

කැම්පස් එකේ පළවෙනි දවසෙ ඉඳලම මගේ මිත්තරයා තමා කොටා. (මූ අපේ ඉස්කෝලෙවත් නෙවෙයි..එදාමයි දැක්කෙ. කරුමෙට මටම සෙට් උනා.) කොටාගැන කලින් කතාවකත් කියලා තියෙනවනෙ. ඉතින් කොටයි, මායි පේපර් එක ලියලා (ලියන්න උත්සාහ කරලා) පැය ගානක් තිස්සෙ තියන චූ බර නිදහස් කරගන්න ගියා කැසිකිලියකට. විභාග ශාලාව ගාව තියන කැසිලිකියකට චූ කරන්න යන්න හිටියනම් තාම පෝලිමේ ඉන්නවා. ඒ නිසා කැන්ටිමක් ගාව තියන (ඒ කාලෙත් හද්ද) පරණ කැසිකිලියකට තමා ගියෙ.

ඉතින් කොටයි, මායි පේපර් එකට ලියපු හැයි කථා කරකර චූ කරනවා. නොදන්න දේවල් වලට බොරු ලියපු ඒවයි, ගණන් වැරදියට හදපු ඒවයි කියෝ කියෝ නිදහසේ චූ බර නිදහස් කරගන්නවා. චූ කරලා ඉවරවෙලා (කලිසමේ zසිප් එකත් දාගෙන) යන්න හදනකොට අපිට පිටිපස්සෙ චූ කර කර හිටපු කවුද අහනවා “කොහොමද පේපර් එක. පන්තියෙ උගන්නපු දේවල්ම නේද?” කියලා.

අපිත් බැලුවාම කවුද මේ කියලා, හුටා! මේ ඒ විෂය උගන්නපු සර්ල දෙන්නගෙන් එක්කෙනෙක්!! අපි දෙන්නගෙ කථාව එහෙමපිටින්ම අහගෙන ඉඳලා පොර! දැන් මොනවා කියන්නද..බොරු කියන්නයැ. ඇත්තම කිව්වා “සමහර දේවල් දන්නෙ නෑ සර්, බොරුත් ලියලා ඇති” කියලා. ඊට පස්සෙ ඉක්මනින්ම එතැනින් මාරු වුනා.

කොහොමහරි ප්‍රතිඵල එනකොට ඒ විෂයට කොටාට B එකක්ද කොහෙද. මට ලොකුවැයින් C එකක්! මදෑ කොළා!! විභාගෙට ලියපු හැටියට තමා ප්‍රතිඵල. බැච් එකේ 500 කගෙන් විතර එකම එක A+ එකක් තිබ්බා. වැඩේ කියන්නෙ ඒ A+ එක තිබ්බ එකා තමා ඒ සෙමෙස්ටර් එකේ බැච් ටොප්.

හොඳම වැඩේ කියන්නෙ පළවෙනි අවුරුද්ද අන්තිමේ කැමති ක්ෂේත්‍රය තොරගනිද්දි, ඒ කියන්නෙ ෆීල්ඩ් සිලෙක්ෂන් වලදි වෙන වෙන විෂයන්ට A තිබ්බත්, කොටයි, මායි දෙන්නම පළවෙනි කැමැත්ත විදියට දැම්මෙ අර විෂයට අදාල ක්ෂේත්‍රයමයි. කරන්න උනෙත් ඒකම තමා! පස්සෙ කාලෙක කොටා ඒ විෂයම කැම්පස් එකේ ඉගැන්නුවත් එක්ක.

ප.ලි.

ගැටත් පඬියා වගේ ප්‍රශ්න ඇහුවට පොරටත් ඒ විෂයට තිබ්බෙ B එකක් වගේ මට මතක. පොර ඉගෙනගත්තෙත් ඒ විෂයට අදාළ ක්ෂේත්‍රයෙන්. ඒ කිව්වෙ මායි, කොටයි, ආතර් සී ක්ලාක්ගෙ මළගෙදර යන්න හිතන් හිටි සුදයි එක්කම තමා. ගැටා නම් ඒ විෂයෙන්ම පශ්චාත් (හෙවත් පස් තාච්චි) උපාධියකට ඉගෙනගන්නවා මේ දවස්වල.

ආතර් සී. ක්ලාක්ගේ මළගෙදර

Sir Arthur C Clerkආතර් සී. ක්ලාක් අපේ රටේ නොඉපදුනාට ලංකාවෙ පුරවැසියෙකුට ලබාගන්න පුළුවන් උපරිම ගෞරවය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම්ලත් අතලොස්සක් දෙනා අතරට එක් වුන ලංකාවෙ සම්මාන පුරවැසියෙක් බව නොදන්න කෙනෙක් නැතුව ඇති.

ලංකාවෙ විශ්වවිද්‍යාලවල පරිපාලන ප්‍රධානියා උප කුලපති වුනාට කුලපති කෙනෙකුත් ඉන්නවා උත්සව අවස්ථාවලදි විතරක් සහභාගි වෙන. ආතර් සී. ක්ලාක් මැතිතුමාත් මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති විදියට හිටියා 1979 ඉඳන් 2002 වෙනකම්. (2002 දි අපේ රටේ තවත් බුද්ධිමතෙක් වන විද්‍යාජෝති, ආචාර්ය රේ විජේවර්ධන මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්වුනා.)

අපි මොරටුව විශ්වවිද්‍යාලයට ඉගෙනගන්න යනකොට කුලපති වෙලා හිටියෙ ආතර් සී. ක්ලාක් මැතිතුමා. අපි විශ්වවිද්‍යාලයේ ඉන්න අතරතුර තමා එතුමා වෙනුවට ආචාර්ය රේ විජේවර්ධන කුලපති වෙලා ආවෙ. මේ වෙනස අපිට මහ ලොකු දෙයක් නොවුනට අපේ බැචෙක් වුන “සුදා”ටනම් සෑහෙන දුක හිතෙන සිද්ධියක් වුනා.

කැම්පස් යන කාලෙ කාගෙ හරි මළගෙයක් ආරංචි වුනොත් පුළුවන් විදියට උදව් කරනවනෙ හැමෝම. සමහරු සම්මාදමක් දීලා ෂේප් වෙන අතරෙ සුදා වගේ සමාජ සේවකයො සැදී පැහැදී ඉන්නවා ලෙක්චර්ස් අතපසු කරගෙන හරි මළගෙදර උදව්වට යන්න. (ඒකෙ වැරැද්දක් එහෙම කිව්වා නෙවෙයි ඔන්න.) ඒ විදියට රටේ හතරකොණේම තිබ්බ මළගෙවල්වල කොඩි ඇදලා, මරණ දැන්වීම් අලෝලා, නිදි මරලා අත්දැකීම් එකතු කරගත්ත ටික දෙනාගෙන් කෙනෙක් තමා සුදා.

දවසක්දා මළගෙදරක නිදිමරලා බෝඩිමට ඇවිත් දවල් නිදාගන්න අතරෙ සුදා හීනයක් දැකල තියනවා. ඒ හීනය මෙහෙමයි.: ආතර් සී. ක්ලාක් මැතිතුමා හදිසියේ (කිව්වට හදිසියෙම නෙවෙයි, ලෙඩ වෙලානෙ හිටියෙ කාලෙක ඉඳන්) මිය පරලොව යනවා. 1956 ඉඳන් ලංකාවෙ ජීවත් උනාට එතුමටත් නෑදෑ-හිත මිත්‍රයෝ ඉන්නවනෙ උපන් රටේ. අනික කවුද අකමැති තමන්ගෙ මිනිය උපන් මව් බිමට පෝර වෙන්න පසට යට කරනවට. ඒ නිසා එතුමගෙ නිසල දේහය ඇමරිකාවට අරගෙන යනවා අවසාන ගෞරව දක්වන්න.  (ඇමරිකාවට..? හෝව් හෝව්…මට වැරදුනා එහෙම නෙවෙයි. ආතර් සී. ක්ලාක් ඉපදුනෙ බ්‍රිතාන්‍යයෙ තමා. ඒත් සුදා හිතන් ඉඳල තියෙන්නෙ එතුමා ඇමරිකාවෙ ඉපදුනා කියලනෙ. ඉතින් හීනෙ හැටියට එතුමගෙ දේහය අරන් යන්නෙ ඇමරිකාවට හොඳේ.)

ඉතින් කැම්පස් එකේ මළගෙදරක් කිව්වහම නොගිහින් පුළුවනෑ. අනික කැම්පස් එකේ ලොකුම ලොක්කගෙනෙ. අනික එහෙ ලංකාවෙ විදියට කොඩිවැල් අදින්න, “මොරටුව සරසවි සිසුන්ගේ සාතිශය සංවේගය” කියලා තොරණ ගහන්න, අමාරුවෙන් සල්ලි එකතු කරලා ඇඳගත්ත බැච් එකේ සංවේගය පළකරන බැනර් එක එල්ලන්න, ලයිට් කණුවල-බෝක්කු වල මරණ දැන්වීම් අලවන්න කවුද ඉන්නෙ? අනිවා යන්නම ඕනෙනෙ මළගෙදර. ඉතින් සල්ලි සල්ලි කියලා බලන්න්නෙ නැතුව ප්ලේන් එකේම ඇමරිකාවට යනවා.

එහෙම ගිහින් මළගෙදර ඔය කිව්ව වැඩ කරලා, නිදි මරන අතරෙ ඕමි අතක් බලලා, කැරමකුත් ගහලා, බූරු ගහන තැනටත් පොඩ්ඩක් ඔළුව දාලා, ආයෙත් 304 එහෙමත් බලලා කම්මැලි හිතුනහම ඇමරිකාවෙ පාර අයිනෙ තියන බෝක්කුවක් උඩට වෙලා බුලත් විටක් කකා, සිගරට් එකකුත් උර උරා, ඕප දූප කථා කර කර ඉන්නව.

අන්න ඒක තමා සුදා හීනෙන් දැක්කෙ. ආතර් සී. ක්ලාක් මහත්තය කුලපති ධූරයෙන් ඉවත් වුනාම කැම්පස් එකේ කොල්ලො විදියට එතුමගෙ මළගෙදර යන්නෙ කොහොමද? ඇමරිකාවෙ බෝක්කුවක් උඩ විටක් කකා ඕපදූප ගහන්නෙ කොහොමද? මොරටුව සරසවි සිසුන්ගේ සාතිශය සංවේගය කියලා තොරණක් ගහන්නෙ කොහොමද? අන්න ඒකයි සුදා දුක් වුනේ.

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

http://www.clarkefoundation.org/acc/biography.php

හිල් 3ක්

මොරටු සරසවියෙ ඉගෙනගන්න කාලෙ වුන රසවත් සිද්ධියක් තමා මේ.

අපේ සෙට් එක විභාග කාලට කුප්පි දාන්න සහ එකතු වෙලා පාඩම් කරන්න පුස්තකාලෙ ඇරෙන්න වෙනත් ඕනෑම තැනකට සෙට් වෙනවා. අපාය, විමානෙ (එතන වැඩිපුර හිටියෙ ජෝඩු නිසා යන්නෙ නෑ), බස් එක, වල, ගොඩ ඔය කොතැනත් එකයි. දවසක් අපායෙ මදුරුවො තල තලා පාඩම් කරන අතරෙ පොඩි විවේකයක් ගන්න අනං-මනං කථා කර කර හිටියා. (කොහොමත් වැඩ කරනවට වඩා විවේක ගන්න එකනෙ කරන්නෙ).

අපායෙ ඉඳලා බැලුවාම කෙලින්ම පේන්න තියෙන කජු කැලේ තමා එදා අපේ මාතෘකාව උනේ. කජු කැලේ ජෝඩු රිංගන තැනක් විදියට ප්‍රසිද්ධයි. ඔය කාලෙ කජු කැලේ කපලා අලුතෙන් ගොඩනැගිල්ලක් ඉදිවෙමිනුයි තිබුනේ. ඒත් ඉතින් කැලේ කපලා එතැනත් ගොඩනැගිලි තැනුවාම පෙම්වතුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවානෙ. ඉතින් අපි ඕකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කථාබහ කරනවා.

හොඳ විසඳුමක් ගෙනාවෙ අපේ නඩේ ..පුලා. “අපි කාමර හදලා ජෝඩු වලට දෙමු. පැයට 100යි”. හැමෝම ඒකට කැමති වුනා. “කැම්පස් යන කොල්ලන්ට කොහෙද සල්ලි. කවුරුත් එන්නෙ නෑ බං ඔය ගානට” එහෙම කිව්වෙ රංජන්. “එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු. කාමර වල බිත්ති වල හිල් හදමු. කාමරේ 10යි. හිල 20 යි. එතකොට කාටත් වාසියි” හොඳ මොලකාරයෙක් වන කොටා හෙවත් සනා කිව්වා.  (අපේ කාලෙ මොරටුවේ ගැහැණු ළමයි හරිම අඩුයි. කොල්ලො 7 ට කෙල්ලො 1 යි (ඉංජිනේරු පීඨයේ). ඉතින් ජෝඩුත් ටිකයි හිටියේ.)

ඒ නිසා කාමරේ 10ට දීලා හිල් වලින් හොඳ ගානක් හොයාගන්න පුළුවන් බවයි හැමෝගෙම මතය වුනේ.

ඔය අතරේ වැඩි කථාබහක් නැති චන්ඩිත් අපේ කථාවට එකතු වුනේ “මචං එතකොට සනාට රුපියල් 60ක්ම යනවා නේද?” කියලා අහගෙන. “ඒ මොකටද බං මට හිල් 3ක්ම” කියලා කොටා හෙවත් සනා ඇහුවා.

“ඇයි බං, උඹ උස නෑනෙ හිලෙන් බලන්න. ඒ නිසා අත් වලින් එල්ලෙන්න හිල් දෙකයි, බලන්න හිලයි” කියලා චන්ඩි කිව්වේ අපි හැමෝම හිනා සයුරේ ගිල්වමින්.

(නම් මනඃකල්පිතයි).
(අපි විභාගෙ ගොඩ ගියේ පොතට වැඳීමේ පින නිසා නොව මහන්සි වී වැඩ කළ නිසා බව කරුණාවෙන් සලකන්න)