Z ස්කෝර් ගැන කෙටියෙන්

මම සංඛ්‍යාන විශේෂඥයෙක් නම් නෙවෙයි. මට වැටහෙන විදියට z-ස්කෝර්  ගැන කෙටි හැඳින්වීමක් මේ. අඩුපාඩු තියනවානම් පෙන්වලා දෙන්න.

z-ස්කෝර් වලට කලින් මොකද වුනේ?

2000 වසරේදි උසස්පෙළ ලකුණු වලට z-ස්කෝර් හඳුන්වලා දෙන්න ඉස්සර තිබුනෙ ශිෂ්‍යයා මුහුණදුන් විෂයයන් හතරේම මුළු ලකුණු එකතු කර, එකතුව අනුව ජාතික සහ දිස්ත්‍රික් පදනමින් අනුතැන (rank) සකස් කිරීමයි. විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී බොහෝ පාඨමාලා සඳහා 40% ක් ජාතික පදනමිනුත්, 60% දිස්ත්‍රික් පදනමිනුත් බඳවා ගන්නවා. මේ අනුතැන පදනම් කරගෙන තමා ඒ ඒ පාඨමාලා සඳහා සිසුන් තෝරාගත්තේ.

ඇයි z-ස්කෝර් පාවිච්චි කරන්න ගත්තේ?

මූලික වශයෙන්ම 2000 වසරේදී පැරණි නිර්දේශය යටතේ විෂයයන් 4 කට පෙනී සිටි සහ නව නිර්දේශය යටතේ විෂයයන් 3 කට පෙනී සිටි සිසුන් විශ්ව විද්‍යාල වලට තෝරා ගැනීමේදී මේ දෙපිරිස සාමාන්‍යකරණයකට ලක් කිරීමටයි. එනම්, දෙපිරිසම එකම විභාගයකට මුහුණ දුන්නා සේ සලකා අනුතැන් ගණනය කිරීමටයි.

මෙය හුදෙක් මධ්‍යන්‍ය (average) ලකුණු වලින් පමණක් කළොත් යම් පිරිසකට අසාධාරණයක් වෙනවා. උදාහරණයක් ලෙස ගණිත අංශයෙන් උසස් පෙළට පැරණි නිර්දේශයෙන් පෙනීසිටි සිසුවෙක් විෂයයන් 4 ට ලකුණු 280 ක් ලබා ගත්තා යැයි සිතමු. නව නිර්දේශය යටතේ ගණිත අංශයෙන් පෙනී සිටි සිසුවෙක් විෂයයන් 3 ට මුළු ලකුණු 210 ක් ලබා ගත්තා යැයිද සිතමු. මධ්‍යන්‍ය අනුව මේ සිසුන් දෙදෙනාගේම අනුතැන සමාන විය යුතුයි. එහෙත් මේ දෙදෙනා පෙනී සිටි ප්‍රශ්න පත්‍ර එක සමාන නෑ. උදාහරණයක් ලෙස භෞතික විද්‍යාව නව නිර්දේශ ප්‍රශ්න පත්‍රය සාපේක්ෂව පහසුයැයි සිතමු. එවිට නව නිර්දේශ සිසුන් පොදුවේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට වැඩි ලකුණු ලබා තිබෙනවා. එවිට ඉහත පැරණි නිර්දේශ සිසුවා අපහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තද, ඔහුගේ අනුතැන පහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණදුන් සිසුවාගේ අනුතැනට සමානයි. පොදුවේ ගත්තොත්, පහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණ දුන් නව නිර්දේශ සිසුන් ඉහල අනුතැන් හිමිකර ගන්නවා ඇති. මධ්‍යන්‍යය ක්‍රමයෙන් යම් සිසුන් කොට්ඨාශයකට අසාධාරණයක් වෙන බව පැහැදිලි ඇති.

කොහොමද z-ස්කෝර් හොයන්නේ?

යම් සිසුවෙක්ගේ එක් විෂයක z-ස්කෝර් එක ගණනය කරන්නේ ඒ සිසුවා ලබාගත් ලකුණු ප්‍රමාණය සියළුම සිසුන් එම විෂයට ලබාගත් සාමාන්‍ය ලකුණු ප්‍රමාණයට සාපේක්ෂවයි. z-ස්කෝර් අගය සාමාන්‍යයෙන් -4 සිට +4 දක්වා අගයක්. z-ස්කෝර් අගය 0 නම්, එම සිසුවාගේ එම විෂයේ ලකුණු ප්‍රමාණය විෂයේ මධ්‍යන්‍ය ලකුණු ගණනට සමානයි. z-ස්කෝර් අගය +1 නම් ඔහුගේ ලකුණු ප්‍රමාණය 84% සිසුන්ගේ ලකුණු වලට වඩා වැඩියි. එම අගය +2 නම්, ඔහුට වඩා අඩුවෙන් ලකුණු ගත් සිසුන් ප්‍රමාණය 97% ක්. z-ස්කෝර් අගය -1 නම්, ඔහුට වඩා අඩුවෙන් ලකුණු ගත් සිසුන් ප්‍රමාණය 16% ක් පමණයි. වැඩි z-ස්කෝර් අගයක් යනු වැඩි අනුතැනක් බව පැහැදිලි ඇති. එක් එක් විෂයට ගණනය කරන z-ස්කෝර් අගයන් මඟින් මධ්‍යන්‍ය z-ස්කෝර් අගයක් ගණනය කරනවා. ප්‍රතිඵල සටහනේ පෙන්නන්නේ මේ z-ස්කෝර් අගයයි.

z-ස්කෝර් අගය අනුව තේරීම සාධාරණද?

මධ්‍යන්‍ය ක්‍රමයේදී දුෂ්කර ලෙස නම් කළ දිස්ත්‍රික්කවල සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී වැඩි වාසියක් සිදු වුනා. z-ස්කෝර් ක්‍රමයෙන් එම වෙනස අඩුවී තිබෙනවා. කෙසේ වෙතත් 2001 සහ 2002 වසර වලදී විශ්ව විද්‍යාල ප්‍රවේශයට z-ස්කෝර් ක්‍රමය යොදාගැනීම නිසා අසාධාරණයට ලක්වූ ඇතැම් පැරණි නිර්දේශ සිසුන් අධිකරණයේ පිහිට පතා, විශ්ව විද්‍යාල වලට ඇතුල් වුනා.

z-ස්කෝර් හොයන එක අමාරුද?

සංඛ්‍යාන මෘදුකාංගයක් මඟින් z-ස්කෝර් අගයන් හොයන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. එහෙත් ජාතික සහ දිස්ත්‍රික් අනුතැන සොයද්දී නම් එක් පාඨමාලාවකට අදාල විෂය සංයෝජන ගැන සැලකිලිමත් විය යුතුයි.

මොකක්ද වුන ප්‍රශ්නය?

විභාග දෙපාර්තමේන්තුවෙන් කොතැන අනාගත්තද කියලානම් මම දන්නෙ නෑ. ඒත් විෂය නිර්දේශ දෙකකට z -ස්කෝර් ගණනය අනාගන්න තරම් සංකීර්ණ වැඩක්වත්, මීට කලින් කරල නැති වැඩක්වත් නෙවෙයි.

අනාගතේදි මොනවද වෙන්න ඕනෙ?

කෙටිකාලීනව නම් නිවැරදි z-ස්කෝර් අගයන් නිකුත් කිරීමයි. (දැනටමත් ඒක කරලා, ඒත් නිවැරදිද කියන්න නම් දන්නෙ නෑ.)

මේ ක්‍රමයේ තියෙන ලොකුම අඩුපාඩුව තමා විනිවිද නොපෙනීම. z-ස්කෝර් ක්‍රමය පටන් ගත් දිනයේ පටන් ජාතික මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් එක් එක් විෂය සඳහා මධ්‍යන්‍ය සහ සම්මත අපගමන (standard deviation) අගයන් නිකුත් කර නෑ. z-ස්කෝර් අගයන් ගණනය වඩාත් විනිවිද පෙනිය යුතුයි. මධ්‍යන්‍ය අගයන් සහ z-ස්කෝර් සූත්‍ර ප්‍රසිද්ධ කිරීම විනිවිද බවට අත්‍යාවශ්‍යයි.

රටේ සියළුම පාසල් එකම මට්ටමකට ගෙන ඒමට ගෙන ඒමට නොහැකි නිසයි දිස්ත්‍රික් කෝටා ක්‍රමය හඳුන්වා දී ඇත්තේ. එහෙත් එකම දිස්ත්‍රික්කයේ පාසල් වල වෙනස්කම් මේ ක්‍රමයෙන් සැලකිල්ලට බඳුන් වෙන්නේ නෑ. ඒ වෙනුවට වඩාත් නිවැරදි ක්‍රමයක් වන්නේ එක් එක් පාසැලට ශ්‍රේණි ක්‍රමයක් හඳුන්වාදී, ඒ අනුව කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. එවිට එකම දිස්ත්‍රික්කයේ ඇති සුපිරි පාසල් සහ අඩු පහසුකම් ඇති පාසැල් වලට එකම විදියකට සැලකීම නැති වේවි. එමෙන්ම සුපිරි පාසැල් වලට ඇති අධික ඉල්ලුම අඩුවීමටද එය උදව් වේවි.

Advertisements

දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ආයලා

නූතන තරඟකාරී ජීවන රටාව නිසා සහ රටේ ආර්ථික තත්ත්වය නිසා, පවුලකින් එක් අයෙක් පමණක් රැකියාවක නියුතුවී පවුලක් නඩත්තු කරන්න බොහොම අසීරුයි. ඒ නිසා බොහොමයක් පවුල්වල මව සහ පියා දෙදෙනාම රැකියාවල නියුතුවෙනවා.

අලුත විවාහවූ යුවලකට දරුවෙක් ඉපදීම බොහොම සතුටුදායක අවස්ථාවක්. රැකියාවක නියුතුවෙන අම්මලාට අවම වශයෙන් මාස 3 කවත් ප්‍රසූත නිවාඩු ලැබෙනවනෙ. (රජයේ රැකියාවක නියුතු වෙන අයටනම් මාස 10 ක් විතර නිවාඩු ලැබෙනවා.) ඒ වෙනකම් දරුවව බලාගන්න ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. නමුත් ඊට පස්සෙ මොකද වෙන්නෙ?

බොහොම අය කරන්නේ තම දෙමවුපියන්ගෙන් දරුවා රැක-බලාගන්නා ලෙස ඉල්ලීමයි. ආච්චිලා-සීයලාට දරුවෙක් රැක බලාගන්න පුළුවන්නම් ලොකු දෙයක්. ඒත් හැමෝටම ඒ වාසනාව නෑ. සමහර ආච්චිලා-සීයලා රැකියා කරනවා. තවත් සමහරු දරුවො බලන්න බැරි තරම් අසනීපයි. වෙනත් සහෝදර-සහෝදරියන්ගේ දරුවො බලන නිසා උදවු කරන්න එන්න බැරි ආච්චිලා-සීයලත් ඉන්නවා. දරුවො ගොඩාක් දුර පදිංචි වෙලා ඉන්නවානම්, මුණුබුරු-මිණිබිරියෝ බලන්න ගම දාල එන්න අකමැති අයත් නැතිව නෙවෙයි. මේ වගේ නා-නා ප්‍රකාර හේතු නිසා ආච්චිලා-සීයලාට දරුවන්ව දාල යන්න බැරි වෙන අවස්ථා එමටයි.

ඊලඟ විකල්පය තමා ආයා කෙනෙක් (nurse) හොයාගන්න එක. විශ්වාසවන්ත, පළපුරුදු ආයා කෙනෙක් හොයාගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරු වැඩක් මගෙ හිතේ! දරුවෙක්ව ආය එක්ක විතරක් ගෙදර දාල යන්න ගොඩක් දෙමවුපියො බයයි, විශේෂයෙන් කලින් ඇඳුනුම්කමක් නැති, නෑදෑයෙක් නොවන ආය කෙනෙක් නම්.

ආයා කෙනෙකුට ළදරුවෙක්ව දාල යන්න බයවෙන්න හේතුත් නැතිව නෙවෙයිනෙ. ඒ අයට නිසි පුහුණුවක් නෑ. ඒ වගේම දරුවෙකුට මොනවා හරි වුනොත් ඒ අය වගකීම භාරගන්නෙත් නෑ. (මොනවා හරි වුනොත් නොකියා ඉන්න තියෙන ඉඩකඩ වැඩියි.) ඒ නිසා නොදන්න ආයා කෙනෙකුට දරුවෙක්ව භාරදීලා යන එක තරමක් අවදානම් වැඩක්. ඒ විතරක් නෙවෙයි, ආයලා මාර්ගයෙන් හොරු ගෙට ආපු අවස්ථා ගැනත් අහලා ඇති.

දන්න කියන ආය කෙනෙක් හොයාගන්න අමාරු නම්, ආයලා හොයල දෙන නියෝජිත ආයතනත් දැන් තියනවා. මේ නියෝජිත ආයතනවලින් එවන ආයලා ගොඩක් අය එක ගෙදරක දිගටම රැඳී ඉන්නෙ නෑ. මාසයකට- දෙකකට පස්සෙ ඒ අය ගෙදර යන්න ඕනෙ කියලා යන්නෙ ආයෙත් එන්න නෙවේ. එහෙම ගියාම ආයෙත් අර නියෝජිත ආයතනයට සල්ලි දීලා තව ආය කෙනෙක් හොයාගන්න සිද්ධ වෙනවා.

ආයා කෙනෙකුට ගෙවන්න ඕනෙ වැටුපත් සමහර අයට දරාගන්න බෑ. කෑම-බීම, ඉඳුම්-හිටුම් වලට අමතරව මාසිකව රුපියල් 12,000 ක් විතර ආයා කෙනෙකුට දෙන්න ඕනෙ. මාසෙකින් දෙකකින් විතර ඒ අය ගෙදර ගියොත් අලුතෙන් ආයා කෙනෙක් හොයාගන්නත් තව අමතර මහන්සියක් වගේම වියදමකුත් යනවා. ආයලා කරන්නෙ දරුවා බලන වැඩේ විතරක් නිසා ගෙදර වැඩවලට පහසුවක් වෙන්නෙ නෑ.

මේකට විකල්පය තමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන (Day Care Centers). නමුත් බොහොමයක් දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට ඇතුල් කරන්න පුළුවන් වයස අවුරුදු 2.5 හෝ 3 සම්පූර්ණ කළ දරුවන් පමණයි. ඒ නිසා ඊට වඩා වයසින් අඩු දරුවන් බලාගැනීමට දෙමාපියන්ට විවිධ දුෂ්කරතා වලට මුහුණදෙන්න වෙනවා.

නිසි පුහුණුවකින් යුත් කාර්ය මණ්ඩලයක් සිටින, දරුවන්ගේ කායික මෙන්ම මානසික වර්ධනයට නිසි පහසුකම් සපයන, දරුවන් එහි රැඳීසිටින කාලය තුල ඔවුන්ගේ වගකීම භාරගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සුලභ කිරීමෙන් දරුවන් රැක-බලාගැනීමට තිබෙන දුෂ්කරතා අවම කරගත හැකියි.

වැදගත්ම කාරණය වන්නේ දැනට තිබෙන මෙන්ම අලුතෙන් ඇති කරන දිවා  සුරැකුම් මධ්‍යස්ථාන නිරීක්ෂණයට මෙන්ම පාලනයට නිසි අධිකාරියක් පිහිටුවීමට යුහුසුළුව රජය කටයුතු කළයුතු වීමයි.  ඒවායේ සේවය කරන අයගේ පුහුණුව, තිබිය යුතු අවම පහසුකම්, සිටිය හැකි උපරිම දරුවන් ප්‍රමාණය (දරු-ගුරු අනුපාතය ) ආදිය ගැන සම්මතයක් පිහිටුවිය යුතුයි.

පාසල් අධ්‍යාපනය මෙන්ම, පෙර පාසල් අධ්‍යාපනයද යහපත් පුරවැසියන් බිහිකිරීමට උපකාරී වෙනවා. දරුවන් බලාගැනීමට මෙන්ම දෙමාපියන්ව ආර්ථිකයේ වර්ධනයට දායක කරගැනීමටද දිවා සුරැකුම් මධ්‍යස්ථාන උපකාරී වනු ඇති.

දරුවන්ව පාසල් යවනතෙක්ම නිවසේ තබාගෙන ඇති-දැඩි කළහැකිනම් ඊටත් වඩා අගනේයි!

මයි කාර්, මයි පැට්‍රෝල්, පබ්ලික් ගරාජ්

තමන්ගෙ කාර් එකේ, තමන්ගෙ සල්ලි වලින් පැට්‍රෝල් ගහගෙන කොහෙ ගියත් කාටවත් මොකද? ඒකනේ හිතුමනාපෙට වැඩ කරන අයට විරුද්ධ වෙනකොට “මයි කාර්, මයි පැට්‍රෝල්” කියන්නෙ. ඒත් ඔය කාර් එක ගෙවෙනකොට නඩත්තු කරන්නයි, කැඩුනාම හදන්නයි තමන්ගෙ සල්ලි වියදම් නොකර, කාර් එක අයිති නැති අයට පවරනව නම් කොහොමට තියේවිද? කවුරුත් කැමති නෑනෙ අනුන්ගෙ කාර් තමන්ගෙ සාක්කුවෙන් වියදම් කරලා නඩත්තු කරන්න.

ඔය අරක්කු ඇතුළු මත්පැන් පානය කරන අයත් කියන දෙයක්නෙ “මයි කාර්, මයි පැට්‍රෝල්” කියලා. ඒත් ඉතින් එහෙම කියන අය බහුතරයක් “මයි කාර්” එක නඩත්තු කරන්න පවරන්නෙ පබ්ලික් ගරාජ් එකටයි. ඒ අයට නඩත්තුවට යන වියදම් ගෙවන්නෙ කවුද කියලා ප්‍රශ්නයක් නෑ, “මයි කාර්” එක හදාගන්න පුළුවන්නම්.

රජයෙන් මහජනයා වෙත නොමිලේ සපයන සෞඛ්‍ය සේවය නඩත්තු වන්නේ මහජනයාම ගෙවන බදු මුදල් වලින්. ඒ අනුව මත්පැන් පානය හේතුවෙන් ඇතිවූ ලෙඩ රෝග වලට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා විටෙකදී මත්පැන් පානය කරන-නොකරන සෑම දෙනාම ගෙවනා බදු මුදල් යොදාගැනෙනවා.

‘මතට තිත’ තියන්න යන රජය මත්පැන් තහනම් නොකර අලුතින් බාර් දාන්නෙ ඇයි කියලා හුඟ දෙනෙක් අහනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස මත්පැන් භාවිතය තහනම් කරන්න බෑ. මත්පැන් වලට රජයෙන් බදු අය කළත්, මත්පැන් පානය කිරීම හේතුවෙන් රෝගී වන අයට ප්‍රතිකාර කරන්න යන වියදම, අර මත්පැන් බදු වලින් ගන්න ආදායමටත් වඩා වැඩි ඇති. ඒ වගේම මත්පැන් පානය කරන්නන්ගෙන් සිදුවන සමාජීය සහ ආර්ථික හානිය කොපමණදැයි ගණන් බලා නෑ. රජයේ ප්‍රතිපත්තියක් ලෙස මත්පැන් සීමා කිරීමට ක්‍රියාමාර්ග ගැනීම වැරැද්දක් නොවේ.

මත්පැන් පානය නිසා ඇතිවන ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීමේදී රෝගීන්ගෙන් මුදල් අය කිරීමට රජයේ අවධානය යොමුකර ඇති කළ බවක් පසුගිය දවසක ප්‍රවෘත්තියක තිබුනා.

රජයෙන් සෞඛ්‍ය සේවය නොමිලේ සපයන්නේ රටේ මහජනයා සෞඛ්‍යසම්පන්නව සිටීම රජයකට ආර්ථික වශයෙන් වාසිදායක නිසයි. එය රජය විසින් කරන ආයෝජනයක්. එම ආයෝජනයේ ප්‍රතිඵල නිසි ලෙස ලැබෙන්නේ මුදල් නිසි ලෙස යෙදෙව්වොත් පමණයි.

මත්පැන් පානයෙන් රෝගී වන්නන්හට ප්‍රතිකාර කිරීමට රටේ සෞඛ්‍ය සඳහා වැය කරන මුදලින් වැඩි ප්‍රතිශතයක් වෙන්වන්නේ නම්, එය රටේ අනාගත පරපුරේ සෞඛ්‍ය සඳහා කරන ආයෝජනයක් නොව, වැරදි ජීවන රටාවක් ගත කරන අය සඳහා කරන වියදමක් පමණක් වෙනවා.

මත්පැන් පානය නිසා ඇතිවන රෝගවලට ප්‍රතිකාර දීමට වැයවන මුදල අඩු කරගත හැකිනම්, ළමා සෞඛ්‍යය, හදිසි ප්‍රතිකාර වැනි වැඩි පිරිසකට යහපතක් වන ක්ෂේත්‍ර වල පහසුකම් වැඩි දියුණු කළ හැකියි.

මත්පැන් පානය කිරීම නිසා පමණක් ඇතිවන ලෙඩ රෝග මොනවද කියන ගැන මහජනයා දැනුවත් කළ යුතුයි. ඒ රෝග සඳහා පමණක් ගාස්තුවක් අය කිරීමත්, එම ගාස්තුව සාධාරණ එකක් වීමත් වැදගත්. මෙහිදී වෛද්‍යවරයා සහ රෝගියා අතර ඇති රහස් සුරැකීමේ අයිතිවාසිකම බිඳෙන්නේද යන්න පිළිබඳ ගැටළුවක් මතුවිය හැකියි. මත්පැන් බීමෙන් ඇතිවන රෝග සඳහා ඇති ඖෂධ නොමිලයේ නොසපයා ගාස්තුවක් අය කිරීමෙන් ඉහත ගැටළුවට විසඳුමක් වනු ඇති.

කොහොම වුනත් මත්පැන් ලෝලීන් නම් රජය ගත් තීරණයට කැමති වෙන එකක් නෑ. රජයට බදු ගෙවලා මත්පැන් බොනවා මදිවට ලෙඩ වුනොත් බෙහෙත් ගන්නවටත් සල්ලි ගෙවන්න වෙනවද කියලා ඒ අය අහයි.

ඉහත අදහස ක්‍රියාත්මක කළොත් මහජනයාගේ සෞඛ්‍යය සම්පන්නව තබාගැනීමේ  රජයේ අරමුණ ඉටු වේවිද කියන එක තවත් ප්‍රශ්නයක්. එම අදහස ක්‍රියාත්මක කළොත් මත්පැන් පානයෙන් රෝගීවන අඩු ආදායම් ලාභීන්ට ප්‍රතිකාර ගැනීමට නොහැකි වනු ඇති. එතකොට රටේ එක් පිරිසකට හොඳ සෞඛ්‍ය පහසුකම් හිමි වෙන්නෙ නෑ. හොඳ සෞඛ්‍යසම්පන්න පුරවැසියන් බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් නොමිලේ සෞඛ්‍ය සේවාව සපයන රටේ, ඒ බලාපොරොත්තුව ඉටු නොවීම උභතෝකෝටියකක්.

ඇතැම් අයගෙ ආර්ථික තත්ත්වය දුර්වල වෙලා තියෙන්නේ පවුලේ කෙනෙක් හෝ වැඩි දෙනෙක් මත්පැන් පානය කිරීම නිසා. එයින් කෙනෙක් හෝ රෝගී වුනොත් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය තවත් දුර්වල වෙනවා, මුදල් උපයන කෙනෙක් අඩු වීම නිසා. ඒ රෝගී කෙනාට ප්‍රතිකාර කරන්න මුදලුත් ගෙවන්න වුනොත් ඔවුන්ගෙ ආර්ථිකයට වෙන දේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය  නෑ. ඒක දුප්පත් කමේ විෂම චක්‍රයක්. (ඒ චක්‍රය කඩන්න පුළුවන් වෙන්නෙ මත්පැන් පානය කරන අයව ඉන් මුදවාගැනීම සහ නොකරන අය මත්පැන් පානයෙන් වලක්වාගැනීම මඟින්.)

දැනටමත් රෝගීව සිටින අය සහ අඩු ආදායම් ලාභීන් ගැනත් හිතලා රජයේ අදහස ක්‍රියාත්මක කළොත් හොඳයි. අඩු ආදායම් ලාභීන් එය වාසියකට හරවාගැනීම වලක්වන්න නම් ඔවුන්ට වාර ගණනක් හෝ යම් කාල සීමාවක් පමණක් නොමිලේ ප්‍රතිකාර සැපයීමට පුළුවන්. ඒ වගේම රෝගීන්ගේ ආදායම සලකා බලා, ඊට ගැලපෙන පරිදි ගාස්තුව තීරණය කිරීමට හැකිනම් වඩාත් හොඳයි.

ඉබේ ඇතිවන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීම කළ යුතු වුනත්, උවමනාවෙන්- හොඳින්ම දැන දැනත්- තමන්ගෙ කැමැත්තෙන් “හදාගන්නා” ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීම ගැන දෙවරක් සිතිය යුතුයි. “මයි කාර්, මයි පැට්‍රෝල්” කියන උදවියට “මයි ගරාජ්” එකෙන් හෝ “මයි පොකට්” එකෙන් වියදම් කර කාර් එකේ නඩත්තු කටයුතු කරන්න කිව්වට වැරැද්දක් තියනවද?

මගේ අදහස තමා ටික දෙනෙක් කාලයක් තිස්සේ දැන දැනත් “විහින් දාගන්න” ලෙඩ වලට ප්‍රතිකාර කරන්න මහජනයා පලි නෑ කියන එක. රජයේ අදහස නිසි ක්‍රමවේදයක් සහිතව ක්‍රියාත්මක කිරීම අනාගතයේදී (මතින් තොර) සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් බිහිකිරීමට උදවු වෙයි.

රණවිරු සමරුව, දේශපාලනය සහ සමෘද්ධිය

තිස් වසරක් පුරා අපේ රට ගිලගෙන තිබුණු ත්‍රස්තවාදය පරාජය කිරීමේ එක් වැදගත් සන්ධිස්ථානයක් අදට වසරකට පෙර සිදුවුනා. නන්දිකඩාල් කලපුවේදී ජන ඝාතක වේළුපිල්ලේ පිරබාහරන් අවසන් ගමන් යාම ත්‍රස්තවාදයේ අවසන් සලකුණද මැකීයාම සනිටුහන් කරන්නක් වීම නිසා මහජනයා එම ජයග්‍රහණය වීදි බැසගෙන සැමරුවේ පක්ෂ භේදයකින් තොරවයි.

පක්ෂ භේදයකින් තොරව එක්වූ මහජන මතය රටේ ප්‍රගතියට යොදාගත හැකිව තිබූ නමුත් එයින් වසරකට පසු අපි රටක් ලෙස ප්‍රගතියක් ලබා ඇතිදැයි සිතා බැලිය යුතුයි. රජයටම වැරැද්ද පැටවීමට සමහරු උත්සාහ ගත්තත් ඕනෑම දෙයක නොහොඳ දකින, රජයේ වැරදි පුන පුනා කියමින් සිටිනවා මිස ඒවා හදාගන්නා හැටි නොකියන විපක්ෂයද රට ප්‍රගතිය කරා නොයෑමේ වගකීමෙන් යම් වගකීමක් ගත යුතුයි. ‘යුධ ජයග්‍රහණයේ මුවාවෙන් මැතිවරණ පැවැත්වූවා’යැයි දොස් තියන විපක්ෂය මැතිවරණ පැවැත්වූයේ නැත්නම් කියන දේවල්ගැන අමුතුවෙන් කිව යුතු නෑ.

කැරැල්ල මැඩපැවැත්වීමෙන් පසු රජය ගත් ක්‍රියාමාර්ගද නිවැරදි නෑ. කළයුතුව තිබුනේ ආර්ථික සංවර්ධනයේ සැලසුම් සකස්කර ඒවා ක්‍රියාත්මක කරනා අතරේ නිසි කලට මැතිවරණ පැවැත්වීමයි. ජනාධිපතිවරණය කලින් පැවැත්වීම හුදෙක් දේශපාලන තීරණයක් පමණයි. එහෙත් ජනාධිපතිවරණයෙන් රටේ බෙදීම් ඇතිවීමට කවුරු කවුරුත් වගකිව යුතුයි.

මනාලිය නැති මඟුල් ගෙයක් ලෙස සමහරු රණවිරු සමරුව හඳුන්වන්නේ ත්‍රස්තවාදය පරාජයකිරීමේ සටනේ නියමුවෙක් වූ සරත් ෆොන්සේකා මහතා හමුදා සිර භාරයේ සිටීම නිසායි. ඔහු කළ හෝ නොකළ වරදකට සැකපිට හමුදා භාරයේ සිටින්නේ දේශපාලනය කිරීමේ වරදටමදැයි සිතා බැලිය යුතුයි. තම තමන්ගේ පෞද්ගලික දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට සරත් ෆොන්සේකාව දේශපාලනයට කැන්දාගෙන ආ පිරිස් අදද උත්සාහ ගන්නේ සරත් ෆොන්සේකාගේ නාමයෙන් දේශපාලන ප්‍රයෝජන ගැනීමටයි.

සරත් ෆොන්සේකා මහතා ත්‍රස්තවාදය මැඩලීමේ සටනේ පෙරමුණ ගත් රණවිරුවෙක් වුවත් රණ විරුවන් යනු සරත් ෆොන්සේකා පමණක් නොවන බවත් සිහි තබාගත යුතුයි. එමෙන්ම ත්‍රස්තවාදය මැඩලීමේ සටනේදී නිසි දේශපාලන නායකත්වයක් අවශ්‍යවූ බවත්, මහින්ද රාජපක්ෂ විසින් එය නොඅඩුව ලබාදුන් බවත් අමතක නොකළ යුතුයි. එහෙත් ත්‍රස්තවාදය මැඩලීමේ මුළු ගෞරවය මහින්දට පමණක් ලබාදීමද වැරදි සහගතයි.සටන ජයගැනීමේ වැඩි ගෞරවය අනේකවිධ කැපකිරීම් කළ ත්‍රිවිධ හමුදා, සිවිල් ආරක්ෂක සහ පොලිස් සාමාජිකයන්ට හිමි වෙනවා.

දින කිහිපයක් තිස්සේ වැටෙන මහා වැසි යුද්ධය දිනා දුන් සරත් ෆොන්සේකා හිර කිරීම ගැන සොබාදහම කම්පාවෙන බවට උදාහරණ ලෙස කල දුටු කල වල ඉහගන්නා දේශපාලනඥයන් හඳුන්වනවා. ස්වභාවධර්මයේ හැසිරීමකට වෙනත් තේරුමක් දෙන්න අවශ්‍යමනම් ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ සටනේදී දිවි දුන් දහස් ගණන් රණවිරුවන් සිහිකර ස්වභාවධර්මය හඬනා බව කීමට ඔවුන් පෙළඹෙන්නේ නැත්තේ එහි දේශපාලන වාසියක් තමන්ට නැති නිසයි.

රටේ ඒකීය භාවය වෙනුවෙන් තම ජීවිතය, ශරීරාංග පිදූ ඒ උතුම් මිනිසුන් සැමරීමට රජයෙන් සැරසෙද්දී රජතුමාගේ රණවිරු සමරුව ලෙස කියමින් ගරහන අය රණවිරුවන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි විමසිය යුතුයි. රණවිරුවන් සැමරීමට දේශපාලඥයන් අවශ්‍යම නෑ.

දිවි පිදූ රණවිරුවන්ව සැමරුවත්, අමතක කළත් රජයට දොස් කීමට ඔවුන් පසුබට වෙන්නේ නෑ.  නාමිකව රණවිරුවන්ව සැමරීමෙන් පමණක් ප්‍රයෝජනයක් නොමැති බව රජය වටහාගත යුතුයි. ඔවුන්ගේ සුභ සාධනය, බෙදුම්වාදය මුලිනුපුටා දැමීම, ජාත්‍යාලය වර්ධනය කිරීම ආදිය රණවිරුවන්ගේ කැප කිරීම්වල ප්‍රතිඵල බවට පත් කළ යුතුයි.

රට සංවර්ධනය කිරීමට නොහැකි වීමට එක් හේතුවක් වී ඇත්තේ රජයට දොස් කියමින් තම රාජකාරි, යුතුකම් මඟහරිනා පිරිස්වල සහයෝගයක් නොලැබීම බවත් අමතක නොකළ යුතුයි. රට සංවර්ධනය කිරීමටනම් පක්ෂ භේද නොසලකා තම තමන්ගේ රාජකාරි හැකි උපරිම අයුරින් ඉටු කිරීමට කවුරු කවුරුත් ඉටාගන්නේ නම් අපේ රටට හොඳ කලක් ලැබෙනු ඇති.  අවතැන්ව සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජනතාව නිසි ලෙස යලි පදිංචි කර ඔවුන්ව යැපෙන්නන් නොව රටේ ආර්ථික සංවර්ධනයේ දායකකරුවන් බවට පත් කර ගත යුතුයි. මිය ගිය රණවිරුවන්ට දිය හැකි උපරිම උපහාරය ඔවුන් බලාපොරොත්තුවූ පරිදි රටේ ඒකීය භාවය සුරකිමින් රට සමෘද්ධිමත්කිරීම බව සිහිතබා ගත යුතුයි.

ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය ඇයි

මැදපිලිවෙත සිංහල බ්ලොගයේ “උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කල යුතුද?” ලිපිය කියවීමෙන් ඒ මාතෘකාව පිළිබඳව මගේ සිතුවිලි ගැන ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනෑ මේ ලිපියේ අරමුණ උසස් අධ්‍යාපයන පෞද්ගලීකරණ කළ යුතුයි කියන එක නෙවෙයි, ලංකාවට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි කියන එක බව.

ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය වෙන්නේ 1978 විශ්වවිද්‍යාල පනත මඟින් පිහිටවූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. (දන්න සිංහලෙන් කියනවා නම් University Grants Commission හෙවත් යූ.ජී.සී එකෙන්.)

එහි වෙබ් අඩවියේ ඇති විස්තර වලට අනුව ලංකාවේ ඇති විශ්වවිද්‍යාල පද්ධතිය පහත පරිදියි.

  1. විශ්වවිද්‍යාල (Universities) – 15
  2. (විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත) මණ්ඩප (Campuses) – 3
  3. විද්‍යාස්ථාන (Institutes)- 17 (උපාධි, පශ්චාත් උපධි/ඩිප්ලෝමා, ඩිප්ලෝමා ප්‍රදානය කරන ආයතන මේ අතර වේ)
  4. වෙනත් (අමාත්‍යංශ යටතේ ඇති) රජයේ විශ්වවිද්‍යාල (Other government universities) – 3
  5. උපාධි ප්‍රදානය කරන (පෞද්ගලික හෝ රජයේ) ආයතන (Other recognized degree institues) – 8

උපාධි ප්‍රදානය කරන (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පිළිගත්) ‘පෞද්ගලික’ ආයතන 3 ක් ලංකාවෙ තියනවා. මුදල් ගෙවා ඉගෙනගතහැකි උපාධි පාඨමාලා ගණනාවක්ම රාජ්‍ය අංශයේ ආයතන වලිනුත් පවත්වනවා. (මේ ආයතන පිටරටවල උපාධි ලබාදෙන ආයතන නොවේ. පිටරටවල විශ්වවිද්‍යාලවල උපාධි ලබාදෙනබව කියන උපාධි කඩ වෙනම තියනවා.) එතකොට ලංකාවෙ ‘පෞද්ගලික විශ්වවිද්‍යාල’ කියන නම නොතිබ්බට උපාධි ලබාදෙන ආයතන තියන බව බොහොම පැහැදිලියි. ඒ ආයතනවල ඉගෙනගන්න සිසුන් බොහෝ ගණනක්ද ඉන්නවා. එම ආයතන ‘විශ්වවිද්‍යාල’ ලෙස නම් කිරීමෙන් එම ආයතන වලට නිසි පිළිගැනීමක් ලැබෙනවා.

ලංකාවෙ උසස්පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලෙට ඇතුලත් වෙන්න 60% ක පමණ සුදුසුකම් ලැබුවත් විශ්වවිද්‍යාලෙට ඇතුලත් වෙන්නෙ එම අයගෙන් 16% ක් පමණ පිරිසක්. ඉතිරි 84% න් සුළු පිරිසක් රජය යටතේ තියන ආයතනවල වෘත්තීය අධ්‍යාපනය වෙතට යොමු වෙනවා. අනිත් අයට වෙන්නෙ රැකියාවක් සොයාගන්න. එහෙම නැත්නම් මුදල් ගෙවා වැඩිදුර ඉගෙනගන්න. අපේ රටේ විෂය මාලාවේ හොඳකම නිසා උසස්පෙළ විතරක් සමත් වෙල කරන්න පුළුවන් රැකියා ඕනතරම් තියනවනෙ..මොකට කියනවද? ඉතින් වැඩි පිරිසකට සිද්ධ වෙන්නෙ මුදල් ගෙවලා අර කෝස්-මේ කෝස් කියල තියන හොර ගුහා වලට සල්ලි පූජ කරල මොනවා හරි සුදුසුකම් ටිකක් අටවගන්න.

හොඳට සල්ලිය-බාගෙ තියන ඇත්තෝ පිටරට විශ්ව විද්‍යාලයකට යනවා උපාධියක් ගන්න. දෙමව්පියෝ ඉඩකඩම් විකුණලා හරි දරුවන්ට උගන්නන්න වියදම් කරනවා. ඒ අපේ රටේ සල්ලි පිටරට යන හැටි.

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න ඔක්කොම විසඳෙන්නෙ නෑ. ඒත් අර විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලබන, ඒත් රජයේ විශ්ව විද්‍යාලවල සීමිත පහසුකම් තියන නිසා ඒ අවස්ථාව අහිමිවන 84% දෙනාට  වැඩිදුර ඉගෙනගන්න කැමතිනම් අවස්ථාවක් ලැබෙනවා. පිටරටක ඉගෙනගන්නකොට යන නවාතැන් කුලී, ගමන් ගාස්තු  වගේ දේවල් අඩුවෙන් යන නිසා සාධාරණ මුදලක් වැය කරලා ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට දරුවන්ව පිටරට යවන්න වත්කමක් නැති මධ්‍යම පංතියේ දෙමව්පියන්ටත් තමන්ගෙ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් වේවි. ඒත් එක්කම එක එක වර්ගයේ කෝස් වලට සල්ලි පූජ කරන්නෙ නැතිව පිළිගත් උපාධියක් සඳහා ඉගෙන ගන්න රජයේ විශ්ව විද්‍යාලවලට යන්න බැරිවුන සිසුන්ට අවස්ථාව ලැබෙනවා.

හොඳ පහසුකම් තියන විශ්ව විද්‍යාල ඇති වුනොත් වෙනත් රටවලිනුත් සිසුන් ආකර්ෂණය කරගන්න අවස්ථාව තියනවා. එතකොට අපේ රටටත් විදේශ විනිමය උපයන්න පුළුවන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන්.

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් ඇතිවෙන ඊලඟ වාසිය විදියට මම දකින්නෙ රජයේ විශ්ව විද්‍යාලවලට තරඟයක් ඇති වීමයි. එතකොට දැනට නිකං ලැබෙන නිසා කිසි වටිනාකමක් නැතිව ඉගෙනගන්න උපාධිය උනන්දුවෙන් ඉගෙනගෙන, හැකි ඉක්මනින් ඉවර කරන්න රජයේ විශ්ව විද්‍යාලවල සිසුන් උනන්දු වේවි. දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙ නැතිව, විෂයමාලා අලුත් කිරීම, ඉගෙනගැනීමට පහසුකම් ඉල්ලීම වගේ වගේ ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන් පෙළඹේවි.

හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමත් සමඟම ඒවායෙන් රජයට ලැබෙන බදු මුදල් රජයේ විශ්ව විද්‍යාලවලටම ආයෝජනය කිරීම වගේ වැඩ පිළිවෙලකටත් යන්න වෙනවා. මොකද එහෙම නැත්නම් රජයේ විශ්ව විද්‍යාල වලට භෞතික සහ මානව කියන සම්පත් දෙවර්ගයෙන්ම පසු බහින්න ඉඩ තියන නිසා.

රටේ පුහුණු ශ්‍රම බලකාය වැඩි වෙනකොට පුහුණු ශ්‍රමය අවශ්‍ය කර්මාන්ත අරගෙන ආයෝජකයො රටට එන්න ගනීවි. සිංගප්පූරුව, තායිවානය හොඳම උදාහරණ.

දැනට අපේ රටේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් බිහි කරන්නෙ රටේ අවශ්‍යතාවයට ගැලපෙන උපාධිධාරීන් අනුපාතයක් නෙවේ. ඒ කියන්නෙ කලා උපාධි ලබන්නන් ප්‍රමාණය වැඩියි තාක්ෂණ, වාණිජ උපාධිලාභීන්ට වඩා. ඒ නිසයි රැකියා විරහිත උපාධිධාරියො මහ ගොඩක් ඉන්නෙත්, ෂයිලොක් මස් රාත්තල ඉල්ලුවා වගේ ඔවුන් රජයේ රැකියාවක් ඉල්ලන්නෙත්. (ඔවුන්ට රජයේ රැකියා නොදියයුතුයි කියලා කිව්ව නෙවෙයි ඔන්න.) පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමෙන් රටේ රැකියා වෙළඳපොළේ ඉල්ලුමට සරිලන විදියට උපාධිධාරීන් සැපයීමක් ඇති වේවි.

දැනට රජයේ විශ්ව විද්‍යාල මුහුණපාන බරපතල ප්‍රශ්නයක් තමා වැඩි වැඩියෙන් සිසුන් බඳවාගන්න සිදුවීම. රජයේ බල කිරීමට සිසුන් බඳවා ගත්තත්, සිසුන්ට අධ්‍යාපනය සැපයීමේදී විවිධ ප්‍රශ්න මතු වෙනවා. ඊට හේතුව සිසුන් වැඩිවීමට සාපේක්ෂව සම්පත් වැඩි නොවීමයි. උදාහරණයක් විදියට වසර 2000 දි 14.5 ක් ව තිබූ ගුරු-සිසු අනුපාතය 2008 වෙනකොට 15.9 දක්වා වැඩි වෙලා. පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමෙන් රජයට අමතර ආදායමක් ලැබෙන නිසා විශ්ව විද්‍යාලවලට අවශ්‍ය සම්පත් වැඩි කිරීමට පියවර ගන්න පුළුවන්. (පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් රජයට ලැබෙන ආදායම නැවත රජයේ විශ්ව විද්‍යාල වලටම ලැබෙන විදියේ වැඩපිළියෙලක් අවශ්‍යමයි.) ඒ අතරම විශ්ව විද්‍යාලවලට ප්‍රමාණාත්මකව (quantitative) නොව ගුණාත්මකව (qualitative) දියුණු වෙන්න ඉඩ ලැබෙනවා.

රටක විශ්ව විද්‍යාල වැඩි වීමෙන් ඒවා අතර ඇතිවන තරඟයේ ප්‍රතිඵලයක් ලෙස රටට අවශ්‍ය පර්යේෂණ වැඩි-වැඩියෙන් සිදු වේවි. (මේක එක දවසෙන් සිදු වෙන දෙයක් නෙවේ. දිගු කාලීනව බලාපොරොත්තු වෙන දෙයක්.) රටට උචිත පර්යේෂණ වලින් අලුත් කර්මාන්ත පටන්ගෙන ආර්ථික දියුණුවට උදව් දේවි.

හුඟක් අය අහන ප්‍රශ්නයක් තමා, උදාහරණයක් විදියට රජයේ විශ්ව විද්‍යාලයක ජීව විද්‍යා පාඨමාලාවටවත් ඇතුලත් වෙන්නවත් සුදුසුකම් නොලබපු කෙනෙක් සල්ලි තියන නිසා වෛද්‍ය විද්‍යාව ඉගෙන ඉඩකඩ ලැබෙනවා නේද කියලා. (ඒක දැනටත් වෙනවනෙ ඒ අය පිටරට ගිහින් ඉගෙනගන්න එකෙන්.) ඒකට කියන්න තියෙන්නෙ ඒ පුද්ගලයාට වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න පුළුවන් නම් විභාග සමත් වෙලා ඉගෙන ගනීවි කියලයි. සල්ලි ගෙව්ව පලියට විභාග සමත් කළොත් ඒ විශ්ව විද්‍යාලයේ නම කැත වෙනබව දන්න නිසා අදක්ෂයන්ව සමත් නොකරන්න ඒ විශ්ව විද්‍යාලයෙන් වග බලා ගනීවි. එහෙම නොවුනොත් ඔවුන් (උදාහරණයක් ලෙසට වෛද්‍යවරුන් සඳහා ඇති ) පොදු පරීක්ෂණ අසමත් වේවි. එහෙමත් නැත්නම් රැකියාවකට ගියාම වැඩ කරගන්න බැරි නිසා අමාරුවෙ වැටේවි. (එතකොට රැකියා ලෝකය දැනගන්නවා ඒ විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්ගෙ තරම. එතකොට ඒ විශ්ව විද්‍යාලයට එන සිසුන් ප්‍රමාණය අඩු වේවි.  ඒ නිසා ප්‍රමිතිය ආරක්ෂා කරගන්න ඒ පෞද්ගලික විශ්ව විද්‍යාල පෙළඹේවි, අදක්ෂ සිසුන් සමත් නොකිරීමෙන් . ) ඉන්දියාවෙ විශ්ව විද්‍යාල පද්ධතිය මේකට උදාහරණයක්. ලංකාවෙ විවෘත විශ්ව විද්‍යාලයත් මේ ප්‍රමිතිය රකින නිසා ලේසියෙන් උපාධි ගන්න බෑ.

සිසුනුත් තමන් ආසාව නිසා කරන්න ගත්තට කරන්න බැරි සංකීර්ණ විෂයයන් අතෑරලා ලේසි විෂයකට මාරු වේවි. (මේක ඇමරිකාවෙදි දකින දෙයක්. එන්නෙ ඉංජිනේරුවො වෙන්න. පස්සෙ හෙමින් සැරේ ලේසි major එකකට මාරු වෙනවා.)

ලංකාව ආර්ථිකව ආර්ථිකව සංවර්ධනය වුන කාලෙක රාගම පිහිටවූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය බවට හරවමින් රජයට පවරාගත්ත වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල සියල්ලමත් (ඒවායේ හිමිකරුවන්ට නිසි මුදලක් ගෙවා) C.W.W. කන්නංගර මහතාගේ නිදහස් අධ්‍යාපන දර්ශනය ක්‍රියාත්මක කරමින් රජයට පවර ගන්න පුළුවන්.

ලංකාවෙ උසස් අධ්‍යාපනයට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය බව තේරුම් අරගෙන ඒවා පිහිටුවන්න පෞරුෂයක් ඇමති S.B. ට තියේවිද? රජයේ විශ්ව විද්‍යාලත් ආරක්ෂා වී වැඩි දියුණුවන විදිහේ වැඩපිළිවෙලක් සකස් කරන්නට ඔහුට හැකි වේවිද?

පින්තූරෙ ගත්තෙ මෙතනින්