පොලීසිය කළ තවත් වැඩක්

ලංකාවෙ පොලීසියක හපන්කමක් ගැන කලින් කිව්වනෙ. එතැනදි පොලීසියට අයිති සහ අයිති නැති වැඩ ගැනත්, සදාචාරය ගැනත් කොලූ සහ හසිත අතර සංවාදයක් කෙරුනා. මට ඒ අතරෙ මතක් වුනා ඒ වගේම තවත් සිද්ධියක් ගැන. මේ සිද්ධියත් මම කාලෙකට ඉස්සර ජාතික පුවත්පතක කියෙව්ව එකක්.

එක ප්‍රදේශයක (මට මතක විදියට අම්බලන්ගොඩ) දක්ෂ වඩු කාර්මිකයෙක් ඉන්නවා. ඔහු ලීයෙන් විසිතුරු නිර්මාණ කරන්න දක්ෂයි. මේ වඩු මහතා එක් නිර්මාණයක් නිසා බොහොම ජනප්‍රිය වෙනවා. ඒ ලී නිර්මාණයෙ අනුරූ සකස්කරගන්න පාරිභෝගිකයො ගොඩක් එනවා. ඒ නිර්මාණය මැදපෙරදිග ඉන්න පාරිභෝගිකයන්ටත් අපනයනය කරලා තියෙනවා. හැබැයි මේකෙ විශේෂත්වය තමා මේ පාරිභෝගිකයො සියළුම දෙනා කාන්තාවන් වීම. විශේෂයෙන්ම මැදපෙරදිග සේවයට යන කාන්තාවන් සහ තනිකඩ කාන්තාවන් තමා මේ නිර්මාණය මිලට ගන්න ඇවිත් තියෙන්නෙ. දැන් ඔයාලට තේරෙනව ඇතිනෙ මොකක්ද මේ ලී නිර්මාණය කියලා. කොලේ වහල ගහන්නෙ මොකටද? ඒ වඩු කාර්මිකයා හදපු විශේෂ දේ තමා (උත්තේජිත) පුරුෂ ලිංගයක ආකෘතියක්. දැන් පොලීසිය මේ සිද්ධියට ගැවෙන්නෙ කොහොමද?

මේ වඩු කාර්මිකයා පුරුෂ ලිංගවල ආකෘති හදලා විකිණුවා කියලා පොලීසියෙන් අත්අඩංගුවට ගත් බව ඒ පුවත්පතේ සඳහන් කරලා තිබුනා. මේ පුවත හොඳට රස කරලා ලියල තිබුනා මිස ඔහුට චෝදනා එල්ල කරලා උසාවියෙ නඩු දැම්මද නැද්ද කියලා ඒ පුවතෙ සඳහන්ව තිබුනෙ නෑ.

මෙතනදිත් පොලීසියෙ කාර්ය භාරය, ලංකාවෙ ලිංගික නිදහස වගේ දේවල් විවාදයට ගන්න පුළුවන්.

  • පුරුෂ ලිංගවල ආකෘති හදන එක වැරදිද? එහෙම නම් මුලින්ම කරන්න තියෙන්නෙ ලංකාව වටේම තියන ශිව ලිංග ඩයිනමයිට් දාලා පුපුරවන එකයි.
  • පුරුෂ ලිංගවල ආකෘති ලඟ තබාගැනීම හෝ නිපදවීම නීතියෙන් තහනම්ද? එහෙම නැතිනම් පොලීසියෙන් වඩු කාර්මිකයව අත්අඩංගුවට ගත්තෙ ඇයි? පොලීසියට සදාචාරය රකින්න ලයිසන් දීල තියනවද?
  • කාන්තාවන් කෘත්‍රිම වස්තුවලින් ලිංගික වින්දනයක් ලබාගැනීම (වක්‍රාකාරයෙන් හෝ) වැලැක්වීමට පොලීසියට ඇති අයිතිය මොකක්ද? (ඒ අය තලේබාන් පුහුණූව ලබපු අයද දන්නෙ නෑ.)
  • කෘත්‍රිම පුරුෂ ලිංග පාවිච්චිය වලක්වන්න උත්සාහ කරන අය මැදපෙරදිග ගොස් වෙනත් පිරිමින් ඇසුරු කළොත් හෝ තනිකඩ/ වැන්දඹු කාන්තාවක් විවාහ නොවී පිරිමියෙක් ඇසුරු කළොත් සමාජයේ ගර්භාවට පාත්‍ර වීමෙන් බේරා ගන්නවද?

මේ ගැන ඔබට හිතෙන්නෙ මොනවද?

Advertisements

පොලීසියට එහෙම කරන්නත් පුළුවන්ද

මීට වසර කීපයකට පෙර ජාතික පුවත්පතක පලවූ කථාවක් මෑතකදී වෙනත් ප්‍රවෘත්තියක් කියැවීමේදී සිහි වුනා. (ඒ ප්‍රවෘත්තිය ගැන වෙනම කියන්නම්.) මේ කථාව මට මතක විදියට මෙහෙමයි.

කොළඹින් ඈත පළාතක උසාවියක නඩු වලට පෙනී සිටින නීතීඥයෙක් හමුවීමට තරුණ යුවලක් පැමිණියා. ඒ ඔවුන්ට දික්කසාදයක් ලබාගැනීමට නඩුවක් ගොනු කිරීමටයි. නීතීඥ මහතා ඔවුන්ගෙන් දික්කසාදවීමට හේතුව කුමක්දැයි විමසුවා. “අපි දෙන්නා විවාහ වුනේ අපේ කැමැත්තට නෙවෙයි සර්. අපේ ජීවිත වෙන වෙනම ගෙනියන්න ඕනෙ නිසයි දික්කසාද වෙන්න ඕන වෙලා තියෙන්නෙ.” තරුණයා හඬ අවදි කළා. තවදුරටත් විස්තර විමසූ නීතීඥයාට ඔවුන් පැවසූ කථාව මෙහෙමයි.

ඔහු පෞද්ගලික ආයතනයක් සේවය කරන අයෙක්. ඔහුට පෙම්වතියක් සිටියා. ඔහු ඒ පෙම්වතිය හා විවාහ ගිවිසගෙනයි සිටියේ. මේ අතරතුර වෙනත් මිතුරෙකුගේ විවාහ මංගල්‍යයකට ගිය අවස්ථාවකදී ඔහුට ඇය (පසුව ඔහු විවාහ වන තරුණිය) නෙත ගැටුනා. ඔවුන් දෙදෙනා අතර නෙත්සර හුවමාරුවකින් පසුව කෙටි කථාබහක් සිදු වුනා. ඒ කථාබහ අවසන් වුනේ ඊලඟ සති අන්තයේ නගරයේ තැනකදී මුණගැසීමේ පොරොන්දුවක් සමගින්.

පොරොන්දු වූ පරිදි ඔවුන් දෙදෙනා ඊලඟ සති අන්තයේදී මුණ ගැසුනා. එහිදී ඔහු තමා විවාහ ගිවිසගෙන ඇතිබව ඇයට හෙලි කළා. ඇයට එය ප්‍රශ්නයක් වුනේ නැහැ. ඔහු සමඟින් සතුටු වීමට කැමති බව ඇය හෙලි කළා. ඔහුත් ඇය සමඟ හාද වූයේ ඒ බලාපොරොත්තුවෙන්මයි. දෙදෙනාම නගරයේ ලැගුම්හලකට පියමැන්නේ දවසේ ඉතිරිය ගෙවීමටයි. දවස අවසානයේ ඔවුන් දෙදෙනාම වෙන්ව ගියේ නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන්.

මේ ලෙස ඔවුන්ගේ ඇසුර මාස කිහිපයක්ම කෙරීගෙන ගියා. ඔහු විවාහ ගිවිසගත් පෙම්වතිය හෝ පවුලේ කිසිවෙක් මේ කිසිවක් දැන සිටියේ නැහැ. ඇයගේ පවුලේ කිසිවෙකුත් මේ කිසිවක් දැන සිටියේ නෑ. ඔහුගේ විවාහ මංගල්‍ය දිනයද ටික ටික ලං වූවා.

එක දිනෙක ඔවුන් දෙදෙනා සූපුරුදු පරිදි හමුවූයේ ලැගුම්හලේදීයි. ඔවුන්ගේ ජීවිත වෙනස් වුනේ ඒ ලැගුම්හලට පොලීසිය කඩාවැදීමෙන්. ලැගුම්හලේ පෙම් සුව විඳිමින් සිටි ජෝඩු කීපයක්ම පොලිස් අත්අඩංගුවට පත් වුනා. ඒ අය අතරින් සමහරක් විවාහ බිරිඳට හෝ සැමියාට වංචා කරමින් අනියම් ඇසුරක් පවත්වන අය. තවත් අය විවාහ නොවූ තරුණ ජෝඩු. පොලිස් අත්අඩංගුවට පත් අනියම් ඇසුරුකම් පැවැත්වූ විවාහකයන්ගේ විවාහක සැමියා හෝ බිරිඳ පොලීසියට ගෙන්වා ඔවුන්ට අවවාදකොට මුදාහැරීමට පොලීසිය ක්‍රියා කළා.

විවාහ නොවූ ජෝඩු වලට පොලිස් නිලධාරීන් තෝරාගැනීමට විසඳුම් දෙකක් ඉතිරිපත් කළා. එකක් දෙපාර්ශවයේම දෙමව්පියන් ගෙන්වා ඔවුන්ට භාර දීම. අනෙක වහාම විවාහ වීම. ඇතැම් අය දෙමව්පියන්ට භාරවීමට තීරණය කළත් මේ කථා නායකයාට සහ නායිකාවට ඔවුන්ගේ සම්බන්ධයදෙමව්පියන් නිවෙස් වලට හෙලිදරව් වීමට ඉඩදීමේ හැකියාවක් තිබුනේ නෑ. ඔවුන්ගේ ජීවිත වෙන වෙනම ගලායමින් තිබීම ඊට හේතුවයි. ඒ නිසා ඔවුනොවුන් හා විවාහ වීමට කිසිදිනෙක බලාපොරොත්තු නොවුනත්,පොලීසියේ බලකිරීම මත ඔවුන් දෙදෙනා හදිසියේම විවාහ වූයේ ඇතිවන ගැටළු පසුව විසඳාගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි.

ඔවුන්ගේ පවුල්වලට රහසින්, ඔහුගේ විවාහ මංගල්‍යයට පෙර දික්කසාදවීමට ඒ දෙපලට අවශ්‍යවීම නිසයි ඉහත සඳහන් පරිදි ඔවුන්ගේ ගම් පළාතෙන් දුර බැහැර ප්‍රදේශයක උසාවියකදී දික්කසාද නඩුවක් ගොණුකිරීමට නීතීඥ මහතෙක් හමු වුනේ. ඔවුන්ගේ කථාව අවසන් වූයේ “පොලීසිය කළදේ හරිද සර්?” පැනයත් සමඟින්.

පුවත්පතේ මා කියැවූ කථාව එයයි. එහි සත්‍යාසත්‍යතාවය හෝ ඒ යුවලට ඉන්පසු සිදුවූයේ කුමක්ද යන්න ගැන මා දන්නේ නෑ. එහෙත් ලංකාවේ පොලීසියකින් මෙබඳු සිදුවීමක් සිදුවීමට ඉඩකඩ ඇති බවයි මගේ විශ්වාසය. ඒ සිදුවීම සත්‍යබව සිතමු. ඒ දෙපල කළ දේ හරිද, වැරදිද? හෝ සදාචාර සම්පන්නද, නැතිද? යන්න වෙනම කාරණයක්. කෙසේවෙතත් මේ කථාවත් සමඟ මසිතට ආ සිතුවිලි කීපයක් මේ.

  • ස්වයං තීරණ ගත හැකි, වැඩිහිටි යුවලකට ඒ ආකාරයේ බලපෑම් කිරීමට පොලීසියට අයිතියක්, බලයක් තිබේද? පොලීසිය කළ දේ හරිද?
  • ඒ තරුණයා ඔහුගේ පෙම්වතිය හා විවාහවීම ස්ථිරව තිබියදී වෙනත් තරුණියක් ඇසුරු කළේ ඇයි? ඒ සම්බන්ධ සමාජමය ගැටළුවක් තිබේද?
  • අවිවාහක තරුණියකට තමන් කැමති අයෙක් හා සබඳකම් පැවැත්වීමට නොහැකිද? ඇයගේ දෙමව්පියන්ට ඒ බව දැනුම් දීම කළ යුතුද?
  • අවිවාහක (සහ වයස 16ට වැඩි ) තරුණ-තරුණියන් ලැගුම්හල්වල පෙම්සුව විඳීම නීති විරෝධීද? පොලීසිය ඔවුන් අත් අඩංගුවට ගන්නේ ඇයි?

මේ ගැන ඔබට හිතෙන්නේ කුමක්ද?