666

666 කියන්නෙ බොහොම අපූරු ඉලක්කමක්. 1 ඉඳන් 36 දක්වා තියන නිඛිල සංඛ්‍යා (integers) වල එකතුව 666 යි. (1+2+3+..+35+36=666). 666 ‘බහුල ඉලක්කමක්’ (abundant number). ඒ වගේම 666 ත්‍රිකෝණ ඉලක්කමක් (triangular number). 666 විශේෂ නිඛිල සංඛ්‍යා ශ්‍රේණි කීපයකටම අයිති ඉලක්කමක්.

666 කියන්නෙ මෘගයගෙ , එහෙම නැත්නම් යක්ෂයගෙ (සාතන්ගෙ) ඉලක්කම (Number of the Beast) කියල සමහරු සලකනවා. ක්‍රිස්තියානි බයිබලයේ ගුප්ත විදියට 666 ඉලක්කම මෘගයා (the beast) නොහොත් යක්ෂයා නොහොත් සාතන්ට (Satan) සම්බන්ධ පුද්ගලයෙකුට (ඔහුට ප්‍රති-ජේසු (Antichrist) කියලත් කියනව) සම්බන්ධ ඉලක්කමක් විදියට පවසනවා. ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රති-ජේසු සහ යක්ෂයා සංකේත කරන දෙයක් විදියට 666 සැලකෙනවා.

666 ඉලක්කමට සමහරු බයයි. ඒ ලෙඩේට කියන්නෙ හෙක්සකොසියොයිහෙක්සකොන්ටහෙක්සෆෝබියා (hexakosioihexekontahexaphobia) කියලයි. (කියන්න ගිහින් කට උළුක් උනොත් මට බනින්න නම් එපා, හරිද.) ක්‍රිස්තියානි විශ්වාසයට අමතරව තැතිගන්වන චිත්‍රපට (horror films) වලිනුත් 666 බියජනක ඉලක්කමක් බවට පත් කරල තියනවා.

ජනප්‍රිය සංස්කෘතියේ 666 ට හිමි තැනට හොඳම උදාහරණයක් තමා තැතිගන්වන චිත්‍රපටියක් වුන The Omen (නැවත නිෂ්පාදනය) 6-6-6 නොහොත් 2006 ජුනි 6 වෙනිදා නිකුත් වීම. ඒත් ඒ දිනය මටනම් වෙනස් විදියකින් වැදගත් දවසක්. ඒ මම විවාහ දිවියට එළඹුනේ එදා නිසයි.

නැකැත් විශ්වාස නොකරන සහ ඒවා අනුගමනය නොකරන මම බොහොම අමාරුවෙන් (එවකට වෙන්න බිරිඳ හැර) අනිත් අයවත්  කැමති කරගෙන (කැමති උනාද මන්දා, අකමැති නොවී හිටියා මදෑ), සාමාන්‍යයෙන් මංගල උත්සව නොගන්නා අඟහරුවාදා දවසක් වුන 6-6-6 අපේ මංගල්ලෙ ගත්තෙ ඒ දිනය අමතක නොවෙන දිනයක් නිසයි. (ඕක කවදා ගත්තහම මොකද. ගෑණියි මිනිහයි කැමතිනම් එච්චරයි.)

ඉතින් මේ අවුරුද්දෙ ජුනි 6 වෙනිදට අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු හතරක්. (දැන් දෙන්නා තුන්දෙනා වෙලානෙ.) පරක්කු වෙලා හරි සිතුවිලි සටහන් කළේ එදා වගේම අදත් මා සමඟ ඉන්න ආදරණීය බිරිඳට ගෞරව පිණිසයි. දිවි ගමනේ අඩක්ම මට නුදුරෙන් සිටි ඔබට එදා වගේම මම ආදරෙයි.

Advertisements

පොලීසියට එහෙම කරන්නත් පුළුවන්ද

මීට වසර කීපයකට පෙර ජාතික පුවත්පතක පලවූ කථාවක් මෑතකදී වෙනත් ප්‍රවෘත්තියක් කියැවීමේදී සිහි වුනා. (ඒ ප්‍රවෘත්තිය ගැන වෙනම කියන්නම්.) මේ කථාව මට මතක විදියට මෙහෙමයි.

කොළඹින් ඈත පළාතක උසාවියක නඩු වලට පෙනී සිටින නීතීඥයෙක් හමුවීමට තරුණ යුවලක් පැමිණියා. ඒ ඔවුන්ට දික්කසාදයක් ලබාගැනීමට නඩුවක් ගොනු කිරීමටයි. නීතීඥ මහතා ඔවුන්ගෙන් දික්කසාදවීමට හේතුව කුමක්දැයි විමසුවා. “අපි දෙන්නා විවාහ වුනේ අපේ කැමැත්තට නෙවෙයි සර්. අපේ ජීවිත වෙන වෙනම ගෙනියන්න ඕනෙ නිසයි දික්කසාද වෙන්න ඕන වෙලා තියෙන්නෙ.” තරුණයා හඬ අවදි කළා. තවදුරටත් විස්තර විමසූ නීතීඥයාට ඔවුන් පැවසූ කථාව මෙහෙමයි.

ඔහු පෞද්ගලික ආයතනයක් සේවය කරන අයෙක්. ඔහුට පෙම්වතියක් සිටියා. ඔහු ඒ පෙම්වතිය හා විවාහ ගිවිසගෙනයි සිටියේ. මේ අතරතුර වෙනත් මිතුරෙකුගේ විවාහ මංගල්‍යයකට ගිය අවස්ථාවකදී ඔහුට ඇය (පසුව ඔහු විවාහ වන තරුණිය) නෙත ගැටුනා. ඔවුන් දෙදෙනා අතර නෙත්සර හුවමාරුවකින් පසුව කෙටි කථාබහක් සිදු වුනා. ඒ කථාබහ අවසන් වුනේ ඊලඟ සති අන්තයේ නගරයේ තැනකදී මුණගැසීමේ පොරොන්දුවක් සමගින්.

පොරොන්දු වූ පරිදි ඔවුන් දෙදෙනා ඊලඟ සති අන්තයේදී මුණ ගැසුනා. එහිදී ඔහු තමා විවාහ ගිවිසගෙන ඇතිබව ඇයට හෙලි කළා. ඇයට එය ප්‍රශ්නයක් වුනේ නැහැ. ඔහු සමඟින් සතුටු වීමට කැමති බව ඇය හෙලි කළා. ඔහුත් ඇය සමඟ හාද වූයේ ඒ බලාපොරොත්තුවෙන්මයි. දෙදෙනාම නගරයේ ලැගුම්හලකට පියමැන්නේ දවසේ ඉතිරිය ගෙවීමටයි. දවස අවසානයේ ඔවුන් දෙදෙනාම වෙන්ව ගියේ නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන්.

මේ ලෙස ඔවුන්ගේ ඇසුර මාස කිහිපයක්ම කෙරීගෙන ගියා. ඔහු විවාහ ගිවිසගත් පෙම්වතිය හෝ පවුලේ කිසිවෙක් මේ කිසිවක් දැන සිටියේ නැහැ. ඇයගේ පවුලේ කිසිවෙකුත් මේ කිසිවක් දැන සිටියේ නෑ. ඔහුගේ විවාහ මංගල්‍ය දිනයද ටික ටික ලං වූවා.

එක දිනෙක ඔවුන් දෙදෙනා සූපුරුදු පරිදි හමුවූයේ ලැගුම්හලේදීයි. ඔවුන්ගේ ජීවිත වෙනස් වුනේ ඒ ලැගුම්හලට පොලීසිය කඩාවැදීමෙන්. ලැගුම්හලේ පෙම් සුව විඳිමින් සිටි ජෝඩු කීපයක්ම පොලිස් අත්අඩංගුවට පත් වුනා. ඒ අය අතරින් සමහරක් විවාහ බිරිඳට හෝ සැමියාට වංචා කරමින් අනියම් ඇසුරක් පවත්වන අය. තවත් අය විවාහ නොවූ තරුණ ජෝඩු. පොලිස් අත්අඩංගුවට පත් අනියම් ඇසුරුකම් පැවැත්වූ විවාහකයන්ගේ විවාහක සැමියා හෝ බිරිඳ පොලීසියට ගෙන්වා ඔවුන්ට අවවාදකොට මුදාහැරීමට පොලීසිය ක්‍රියා කළා.

විවාහ නොවූ ජෝඩු වලට පොලිස් නිලධාරීන් තෝරාගැනීමට විසඳුම් දෙකක් ඉතිරිපත් කළා. එකක් දෙපාර්ශවයේම දෙමව්පියන් ගෙන්වා ඔවුන්ට භාර දීම. අනෙක වහාම විවාහ වීම. ඇතැම් අය දෙමව්පියන්ට භාරවීමට තීරණය කළත් මේ කථා නායකයාට සහ නායිකාවට ඔවුන්ගේ සම්බන්ධයදෙමව්පියන් නිවෙස් වලට හෙලිදරව් වීමට ඉඩදීමේ හැකියාවක් තිබුනේ නෑ. ඔවුන්ගේ ජීවිත වෙන වෙනම ගලායමින් තිබීම ඊට හේතුවයි. ඒ නිසා ඔවුනොවුන් හා විවාහ වීමට කිසිදිනෙක බලාපොරොත්තු නොවුනත්,පොලීසියේ බලකිරීම මත ඔවුන් දෙදෙනා හදිසියේම විවාහ වූයේ ඇතිවන ගැටළු පසුව විසඳාගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි.

ඔවුන්ගේ පවුල්වලට රහසින්, ඔහුගේ විවාහ මංගල්‍යයට පෙර දික්කසාදවීමට ඒ දෙපලට අවශ්‍යවීම නිසයි ඉහත සඳහන් පරිදි ඔවුන්ගේ ගම් පළාතෙන් දුර බැහැර ප්‍රදේශයක උසාවියකදී දික්කසාද නඩුවක් ගොණුකිරීමට නීතීඥ මහතෙක් හමු වුනේ. ඔවුන්ගේ කථාව අවසන් වූයේ “පොලීසිය කළදේ හරිද සර්?” පැනයත් සමඟින්.

පුවත්පතේ මා කියැවූ කථාව එයයි. එහි සත්‍යාසත්‍යතාවය හෝ ඒ යුවලට ඉන්පසු සිදුවූයේ කුමක්ද යන්න ගැන මා දන්නේ නෑ. එහෙත් ලංකාවේ පොලීසියකින් මෙබඳු සිදුවීමක් සිදුවීමට ඉඩකඩ ඇති බවයි මගේ විශ්වාසය. ඒ සිදුවීම සත්‍යබව සිතමු. ඒ දෙපල කළ දේ හරිද, වැරදිද? හෝ සදාචාර සම්පන්නද, නැතිද? යන්න වෙනම කාරණයක්. කෙසේවෙතත් මේ කථාවත් සමඟ මසිතට ආ සිතුවිලි කීපයක් මේ.

  • ස්වයං තීරණ ගත හැකි, වැඩිහිටි යුවලකට ඒ ආකාරයේ බලපෑම් කිරීමට පොලීසියට අයිතියක්, බලයක් තිබේද? පොලීසිය කළ දේ හරිද?
  • ඒ තරුණයා ඔහුගේ පෙම්වතිය හා විවාහවීම ස්ථිරව තිබියදී වෙනත් තරුණියක් ඇසුරු කළේ ඇයි? ඒ සම්බන්ධ සමාජමය ගැටළුවක් තිබේද?
  • අවිවාහක තරුණියකට තමන් කැමති අයෙක් හා සබඳකම් පැවැත්වීමට නොහැකිද? ඇයගේ දෙමව්පියන්ට ඒ බව දැනුම් දීම කළ යුතුද?
  • අවිවාහක (සහ වයස 16ට වැඩි ) තරුණ-තරුණියන් ලැගුම්හල්වල පෙම්සුව විඳීම නීති විරෝධීද? පොලීසිය ඔවුන් අත් අඩංගුවට ගන්නේ ඇයි?

මේ ගැන ඔබට හිතෙන්නේ කුමක්ද?