නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

කවුරුත් “නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ” කියන කියමන අහල ඇතිනෙ. මේ කියමන හැදුන හැටි දැනගන්න කැමතිද? එහෙනම් දිගටම කියවන්න.

ඔන්න එකෝමත් එක රටක කැළෑවක අලියෙක් මැරිල හිටියලු. මේ අලියගෙ මළකුණේ මස් කන්න නරියෙක් ආවලු. මේ නරියා අලියගෙ කුණේ පැත්තකින් මස් කාගෙන කාගෙන ගියාලු. මේ විදියට නරියා මස් කනකොට මළකුණේ හිලක් හැදුනලු. නරියා ඒ හිලෙන් ඇතුලට රිංගලා ඇතුලෙ තියන මස් කන්න ගත්තලු.

ඌ ඒ විදියට මළකුණ ඇතුලෙ ඉන්න අතරෙදි, අව්වට අලියගෙ හම වේලිලා ඇඹරිලා පුංචි වෙලා ගියාලු. එතකොට නරියා ඇතුලට රිංගපු හිලත් වැහිල ගියාලු. ඉතිං නරියා අලියගෙ මළකුණ ඇතුලෙ හිර වුනාලු.

ඔය අතරෙ බෙරවායෙක් බෙරේකුත් එල්ලගෙන තොවිලෙකට ගියාලු  ඒ අලියගෙ මළකුණ ළඟින්. නරියට ඇහුනලු කවුදෝ යන සද්දයක්. නරියා මළකුණ ඇතුලෙ ඉඳන් ඇහුවලු “කවුද ඔය යන්නෙ?” කියලා.

එතකොට බෙරවායා කිව්වලු “මම මේ තොවිලෙකට යන ගමන්” කියලා. එතකොට නරියා කිව්වලු “මගේ අවසරයකින් තොරව මගෙ වැයික්කියෙන් යන්න උඹ කවුද?” කියලා.

පේන්න කවුරුත් නැතිව කථාකරන්නෙ යකෙක් හරි දෙවියෙක් හරි තමා කියලා හිතපු බෙරවායා “ගැත්තාට සමාවනු මැනවි, මං මේ අඩවියෙන් ගියෙ (අවසර ගන්න ඕනෙ බව ) නොදැනයි. මම මේ තොවිලෙකට බෙර ගහන්න යන ගමන්.” කියලා කිව්වලු.

එතකොට නරියා ඇහුවලු “බෙර ගැහුවාම උඹට මොනවද ලැබෙන්නෙ?” කියලා. “අනේ ඉතින් කන්න බොන්නත් එක්ක පොඩි ගතමනාවකුත් ලැබෙනවා. එච්චරයි” කියලා බෙරවාය කිව්වලු.

එතකොට නරියා කිව්වලු “මම උඹට ඇති වෙන්න රත්තරන් දෙන්නම්. උඹේ වාසනාවකට තමා උඹ මේ ඉසව්වෙන් ගියෙ. මම මෙතන තියන මහා නිධානයක් රකින දේවතාවෙක්. උඹට මේ නිධානෙ ගන්න පුළුවන් මම කියන විදියට කළොත්” කියලා. රත්තරන් වලට කෑදරකමේ බෙරවායත් කියන දෙයක් කරන්න කැමති වුනාලු.

“උඹේ අතේ බෙරයක් තියනවා නොවැ. ඒ බෙරේ එක ඇහැක් පළලා බෙරේට වතුර පුරවගෙන ඇවිත්, මේ අලි කුණට හලාපිය” කියලා නරියා උපදෙස් දුන්නලු. නිධානෙට ලෝභකමේ බෙරවායත් තමන්ගෙ බෙරේ එක පළුවක් අයින් කරලා ඒකට වතුර පුරවන් ඇවිත් වේලිච්ච අලි කුණට හැලුවලු.

අනේ ඉතිං මේ විදියට වතුර වැටෙද්දි වේලිච්ච අලි හම ආයෙත් මෙලෙක් වීගෙන ආවලු. නරියත් ඇතුලෙ ඉඳන්, උගෙ හොම්බෙන් ඇනලා ඇනලා හම මෙලෙක් කරගෙන ඌ ඇතුලට ආපු හිල පාදගෙන එලියට පැනලා දිව්වලු.

බෙරවායා අලියගෙ කුණ ඇතුලට එබිල බැලුවහම, දෙවියෙක් නෙවෙයිලු හිටියෙ, ඉහඳ පණුවොලු. ඒ මිනිහා පැලිච්ච බෙරෙත් අරන් තොවිලෙට ගිහින් වැඩක් නැති නිසා වෙච්ච පාඩුව ගැන තැවෙමින් ගෙදර ගියාලු.

(වයඹ රදා කුලයේ ජන කථාවක්.)
(ඉහත කියමනේ මූලාශ්‍රය ගැන වෙනත් කථාද තිබිය හැකියි.)

ගමරාලගෙ දූ පොඩිත්ත – 2

කථාවෙ මුල් කොටස කියෙව්වෙ නැත්නම් මෙතනින් ඒක කියවලා ඉන්නකෝ.

රජතුමා දුන්නු උපදෙස් හිතේ තියාගෙන ගමරාල ගෙදරට ආවලු. එතකොට ගමරාලගෙ දෝණියන්දැ ගෙදර හිටියෙ නෑලු. දූ පොඩිත්ත වී කොටන්න ගමට ගිහින්, එදා දවසෙ මහන්සියට හම්බු වුනු හාලුත් අරන් ගෙදර එනකොට ගමරාල අඬා වැලපෙමින් මිදුලෙ වලවල් ටිකක් කප කපා හිටියලු.

ගමරාලගෙ දූ ඇහුවලු “අපුච්චි, මොකෑ මේ අදත් වැලපෙන්නෙ?” කියලා. එතකොට ගමරාල කිව්වලු “අනේ දුවේ, රජතුමා හෙට වඩිනවා කිව්වා නොවැ උඹව පෙලවහට ගන්ට. උඹව පෙලවහට ගන්නවට දෑවැද්ද විදියට රජතුමා කිව්වෙ ‘ඇතුලෙත් මඩු, පිටත් මඩු ගහලා, මී හරකුන්ගෙන් කිරි දොවලා, ඒවා මුදෝලා, වැලි වලින් තෙල් අරන් තියන්ට’ නොවැ. ඉතිං කියහංකො මං කොහොමෙයි ඔය දේවල් කොරන්නෙ කියාල. අන්නෙ ඒකයි මං වැලපෙන්න කාරණාව” කියලා.

එතකොට ගමරාලගෙ දූ පොඩිත්ත කිව්වලු “අපුච්චි, ඒකට කාරි නෑ. අපුච්චා ගෙදරට වෙලා ඉඳින්නකො. දන්න විදියට මඩු ගැහුවට කාරි නෑ. මී ගොන්නුන්ගෙන් කිරි දොවන්නත්, ඒ කිරි මුදවන්නත් ඇහැකියැ? වැලි වලින් තෙල් ගන්න ඇහැකියැ?” කියලා. ගමරාලත් දූගෙ උපදේසෙ පිළි අරන් මඩු හැදුවලු.

රජතුමා වඩිනවා කිව්ව ඊලඟ දවසෙ, ගමරාලගෙ දෝණියන්දැ තවත් කෙල්ලෙක් එක්ක රෙදි පොට්ටනියක් අරං පාර දිගේ ගියාලු රජතුමාව මුලිච්චි වෙන්න. ඔය පාර අයිනෙ තියනවලු තල හේනක්. තල හේන ගාවදි මේ කෙල්ලො දෙන්න රජතුමා පෙරහැරින් වඩිනවා දැක්කලු.

රජතුමාත් පෙරහැරේ එනකොට දුරදිම දැක්කලු කෙල්ලො දෙන්නෙක් පොට්ටනියක් අරං ඉස්සරහට එනවා. ඈතදිම ඇමැත්තෙක් රජතුමාට කීවලු “අර ඉස්සරහින් එන්නෙ ගමරාලගෙ දු පොඩිත්ත මහරජතුමනි” කියලා. ගමරාලගෙ දූත් ඉස්සර වෙලා රජතුමා ඉස්සරහට ගියාලු.

එතකොට රජතුමා ඇහුවලු “කෙල්ල, නුඹ කොයිබ යන්නෙහිද?” කියලා. එතකොට ගමරාලගෙ දූ උත්තර දුන්නලු “අපේ අපුච්චා කොටහළු වෙලා. අපි රෙදි නැන්දලගෙ ගෙදරට යනවා පිරුවට අරන්” කියලා. එතකොට රජතුමා ඇහුවලු “බොල කෙල්ල, පිරිමි කොටහළු වෙන්නෙ කෙසේද?” කියලා.

එතකොට ගමරාලගෙ දූ කිව්වලු “ඉතිං රජතුමනි, නුඹ වහන්සේ අපේ අපුච්චාට ඇතුලෙත් මඩු, පිටත් මඩු හදන්න කියලා, මී ගොන්නුන්ගෙන් කිරි දොවන්නයි, ඒ කිරි මුදවන්නයි, වැලි වලින් තෙල් ගන්නයි කීවනෙ. ඒ දේවල් කරන්නෙ කොහොමෙයි? අන්න ඒ විදියටම තමා පිරිමි කොටහළු වෙන්නෙ” කියලා.

රජතුමාත් කෙල්ල කිව්ව දේ ගැන පැහැදුනාලු. ඊට පස්සෙ රජතුමා තල හේනෙන් තල මලක් මිටට අරගෙන “කෙල්ල, මේ තල මලේ තෙල් තියෙන්නෙ කොතනද කියා කියනු” කියලා අණ කළාලු. එතකොට දූ පොඩිත්ත ඇහුවලු “රජතුමනි, ඔබතුමාගෙ මෑණියන් ඔබතුමාව ගැබ් ගනිද්දි, ඔබතුමා කොහෙද හිටියෙ?” කියලා.

රජතුමා ගමරාලගෙ දූ පොඩිත්තගෙ බුද්ධිය ගැන පැහැදිලා, අශ්වයගෙ පිටින් බැහැලා ගමරාලගෙ දූව අස්සයා උඩින් තියාගත්තලු. ඊට පස්සෙ රජතුමත් අස්සයා පිට නැගලා රජ මාලිගාවට ගියාලු. අනිත් කෙල්ල තනියම ගෙදර ගියාලු.

ඊට පස්සෙන්දා, රජතුමා ඇමතිවරු යවලා ගමරාලව රජ මාලිගාවට ගෙන්නගත්තලු. රජතුමා ගම දූව පෙලවහට අරගෙන රජ මාලිගාවෙ ජීවත් වුනාලු. ගමරාලත් රජ මාලිගාවෙම නැවතුනාලු.

වයඹ පළාතේ ජන කථාවක්

දවසක් පැල නැති හේනේ

මේ දවස්වල ලංකාවට මදි නොකියන්න වහිනවනෙ. වැස්ස එපාවෙලා ඇති සමහරුන්ට. වැස්සත් එක්ක බැඳුනු සිංහල ගීත ගණනාවක්ම තියෙනවා.

ඒත් ගුණදාස කපුගේ මහත්මයා ගායනා කරන “දවසක් පැල නැති හේනේ” ගීතය කියන්නෙ වැස්ස ගැන නෙවෙයි. අම්මා ගැන ලියැවුණු සිංහල ගී අතරින් මුල් තැනක් හිමි කරගන්නා මේ ගීතය රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ නිර්මාණයක්.

දෑසට කඳුලු බිඳු නංවන්නට සමත් මේ ගීතයේ මුල් කොටසින් කියන්නේ මුවාවෙන්න ගසක්වත් නැති හේනකදි අකාලයේ වැටුන වැස්සෙන් තමන්ගෙ පුතා නොතෙමා තියාගන්න ඔහුව තුරුළු කරන් ඒ අම්මා තෙමුන හැටි.

අපේ අම්මලා එහෙමයි. තමන් ගැන නොසිතා, තමන් තෙමුනත් දරුවන්ව වැස්සට නොතෙමා ඉන්න තරම් අපේ අම්මලා අපිට ආදරෙයි. ඒ ගැන කවි, ගීත කොච්චර ලිව්වත් මදි. ඒ ආදරේ ගැන කියන්න, ලියන්න වචන මදි.

ලංකාවෙ අම්මලා එහෙම වුනාට, ඇමරිකාවෙ අම්මා කෙනෙක් වැස්ස වෙලාවකදි කළ වැඩක් කියන්නම්. මම දැනට ඉන්නෙ ඇමරිකාවෙ පොඩි නගරෙක කියලා කලින් කියලා ඇති. දවසක්දා මේ නගරය මැදින් බස් එකක යද්දි දුටු සිදුවීමක් මේ.

එදා පොඩි වැස්සක් තිබුනා. මොරසූරන වැස්සක් නෙවෙයි, ඒත් පොදයකුත් නෙවෙයි. මේ වැස්ස මැදින් පවුලක්, ඒ කියන්නෙ අම්මයි, තාත්තයි, අවුරුදු 4-5 ක විතර පුතෙකුයි පයින් යනවා. ඉස්සරහින් අම්මා යනවා හොඳට කුඩයක් ඉහලගෙන. පිටිපස්සෙන් පුතා එනවා වැස්සෙ තෙමි-තෙමි. කොල්ලා වැස්සෙ තෙමෙන්න ආසාවෙ තෙමුනා කියලා කියන්නත් බැරි, පාර අයිනෙ තියන කඩ වල පියැසි තියෙනවානම් ඒවා යටින් තමා එන්නෙ නොතෙමෙන්න.  ඔළුවට අතකුත් තියාගෙනයි යන්නෙ. තාත්තා අන්තිමට එනවා තෙමි-තෙමි පුතා වගේම.

‘දවසක් පැල නැති හේනේ’දි ඒ අම්මා පුතාව තුරුළු කරන් තමන් තෙමුනත්, මේ අම්මා පුතාට තෙමෙන්න කියලා තමන් නොතෙමි, කුඩයක් ඉහලගෙන යනවා.

ඒ පුතා ලොකුවුන දවසට (සිංහල දන්නවානම් සහ ගීත රචකයෙක් වුනොත්) ලියාවි ගීතයක්

“දවසක්දා මහ පාරේ
අකාල පොඩි වැහි වැස්සා
කුඩයක් ඉහලාගෙන නුඹ යන්න ගියා අම්මේ
වැස්සේ තෙමි-තෙමි පස්සෙන් ආවා මම අම්මේ” කියලා.

ප.ලි.

ලංකාවෙ ඉන්න හැම අම්මා කෙනෙක්ම පුතාව තුරුළු කරන් තෙමෙන අම්මලා නෙවෙයි. ඇමරිකාවෙ ඉන්න හැම අම්මා කෙනෙක්ම පුතාව තෙමෙන්න ඇරලා තමන් කුඩ ඉහලගෙන යන අම්මලාත් නෙවෙයි.

ඇමරිකාවෙ ඒ අම්මා කුඩයක් ඉහලන් නොතෙමි යන්න හේතුවක් තියෙන්න ඇති. පුතා තෙමි-තෙමි යන්නත් හේතුවක් තියෙන්න ඇති. (ඒ හේතු සාධාරණ හේතු වෙන්නත් ඉඩ තියනවා.)

පින්තූරෙ ගත්තෙ මෙතැනින්.

පළමු පරිභ්‍රමණය

නේක පාටින් දිදුලන
මල් සුපිපි වසන්ත දිනෙක
ආවා ඔබ මා තුරුලට
උණුසුමක් සොයාගෙන

දිවා රෑ දෙසිය අසූවක්
රැඳී සිටි නවාතැන හැරදා
ආවෙ ඔබ මා දෑතට
මහ හඬින් හඬමින්

දුටු සැණින් මා හද
පිදුවෙමි මම ඔබට
සත්තයි නුඹ එවිට
නාඬා සැනසුනු බවට

මව තුරුලේ සැනසි
මා වෙතට ආ සඳ
තුරුළු කර ගතිමි මා
හද පිරුණු සෙනේහෙන්

විටෙක සතුටද
විටෙක වෙහෙසද
විටෙක තරහද
මා වෙත ගෙනා නුඹ කෙරේ
ආදරය හැර වෙන යමක්
මා සිතේ ඉතිරිව නැත

දිවා රෑ ගතවිය
හිරු වටා ගමන විය
වසන්තය නිමා විය
ගිම්හානයද ගතවිය
හේමන්තයද පසුවිය
යළි වසන්තය උදාවිය

හිරු වටා එක්වරක්
ගමන් නිම කළ ඔබ
දිනෙන් දින වැඩෙමින්
උගත් දේ එමට විය

හිරු වටා තව බොහෝ
රවුම් යාමට තිබේ
උගත යුතු දේ තිබේ
ඒ ගමනට ඔබේ
ආසිරි පතනෙමි පුතේ

අවුරුද්දකට කලින් මෙහෙම හිටපු හාදයා තමා දැන් මේ ඉන්නෙ.

අලුත්ද? අළුත්ද?

අවුරුද්දට සුභපැතුම් ලියන සමහර අය “සුභ අලුත් අවුරුද්දක් වේවා” කියල ලියන අතරෙ සමහරු “සුභ අළුත් අවුරුද්දක් වේවා” කියල ලියනවා. මේ දෙකෙන් මොකක්ද හරි එක? අලුත්ද- අළුත්ද?

මම දන්න විදියට නම් නව කියන අදහස එන්නෙ අලුත් කියන වචනෙන්. අළුත් වචනෙ අළු කියන්නෙ ‘මිනී අළු‘ කියන තැන කියවෙන අළු ගැනයි. “සුභ අළුත් අවුරුද්දක් වේවා” කිව්වහම ඒකෙ තේරුමක් නැති වෙනවා,  හරි සිංහල භාෂාවෙන් හිතනවා නම්. ඒත් ඉතින් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධීයෙන් අහන නිසා සන්නිවේදනයෙදි ගැටළුවක් වෙන්නෙ නෑ.

ඒ නිසා මේ ලබපු අවුරුද්දෙවත් අපි හරි සිංහල පාවිච්චි කරන්න උත්සාහ ගනිමු.

ජී ෆො ජග් නිධාන කථාව

මමත් කාලයක් තිස්සෙ SkyLK වලට ලියන අනුරාධ, Universe Cafe ලියන තිලිණ වගේ “තාරකා විද්‍යා හා අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රය” හෙවත් Astronomy and Space Study Center (ASSC) හෙවත් හුඟක් අය දන්න විදියට සුබෝධි මංගැච්චුවා. ඒ තාරකා විද්‍යා උණ නිසයි. සුබෝධිය කියන්නෙ තාරකා විද්‍යාව විතරක් උගන්වන තැනක් නෙවෙයි. ඒකෙ තිබ්බ එක කොටහක් තමා තාරකා විද්‍යා සංගමය.

මේකට එන කට්ටිය උදේ දේශනය අහවර වෙලා දවල් ආහාරය අරන් කෑම දිරවන අතරෙ කෙස් පැලෙන තර්ක-විතර්ක කරනවා. ඒ අතරෙ ඔය ආගිය කථාත් නොඇදෙනවා නෙවෙයි. ඒත් එක්කම සංගමයේ වැඩ රාජකාරි ගැන නිල නොවන විදියට සාකච්ඡාත් ඔය වෙලාවෙ කෙරෙනවා.

එක දවසක් ඔය විදියට කථා කර-කර ඉන්න අතරෙ එක ඉස්කෝලෙකින් රාත්‍රී නිරීක්ෂණ කඳවුරක් පවත්වන්න ආරාධනාවක් ආපු බව එක සාමාජිකයෙක් සඳහන් කළා. අපේ සංගමෙන් කෙරෙන එක සේවයක් තමා ඒ විදියට පාසල් (හෝ වෙනත් සංවිධානවල) රාත්‍රී නිරීක්ෂණ කඳවුරු පැවැත්වීම. ඉතින් ඔය නිරීක්ෂණ කඳවුර පවත්වන්න අපිට ආරාධනාව එවලා තිබ්බෙ කැස්බෑව කිට්ටුව තියන හර්මන් මයිනර් කියන ඉස්කෝලෙන්.

පිලියන්දල, කැස්බෑව පැත්තෙ ඉන්න අයනම් දන්නවා ඇති මේ ඉස්කෝලෙ ගැන. කැස්බෑවෙ තියන  SOS ළමා ගම්මානයෙ තමා මේ ඉස්කෝලෙ තියෙන්නෙ. මේ ඉස්කෝලෙට ගිය අපේ පරණ සාමාජිකයෙක් ගැනත් මතක් කරන අතරෙ අපේ ජ්‍යේෂ්ඨ සාමාජික දොස්තර මහත්තයෙක් කිව්වා “ඔය හර්මන් මයිනර් කියන එකේ මයිනර් කියන එක ලියනකොට ජී(g) අකුරක් තිබ්බට ඒක කියවනකොට ශබ්දවෙන්නෙ නෑනෙ” කියලා. (හර්මන් මයිනර් ලියන්නෙ Hermann Gmeiner විදියටයි.) එතන හිටපු සමහරු ඕක දැනගෙන හිටිය නිසා “ඔව් ඔව්” කියලා ඒකට එකඟ වුනා. “ඒ වගේ සයිලන්ට් ලෙටර්ස් (නිෂ්ශබ්ද අකුරු) තියනව ඉංග්‍රීසියෙ. නිව්මෝනියා ලියනකොට පී (p) අකුරක් මුලින් තිබ්බට ඒක ශබ්ද වෙන්නෙ නෑනෙ කියනකොට” කියලා දොස්තර මහත්තයා එයා දන්න විෂයෙන්ම උදාහරණයක් අරන් කිව්වෙ අපේ කථා අහගෙන හිටපු පොඩ්ඩන්ටත් ඇහෙන්නයි, යමක් ඉගෙන ගන්නවනම් ඉගෙනගන්නත් එක්ක.  “ඔව්, නියුමැටික් ලියනකොටත් පී අකුරක් තියනව මුලට, ඒත් ඒකත් ශබ්දවෙන්නෙ නෑ කියවද්දි” කියලා වෙන්න ඉංජිනේරුවෙකුත් කිව්වා.

“ඒක කිව්වහමයි මතක් වුනෙ. ඔය වගේ කථාවක් තියනවා” කියලා අපේ දොස්තර මහත්තයා “ජී ෆො ජග්” කථාව කියන්න ගත්තා. (ඒක කියවපු නැති අය ඉන්නවනම් කියවලම ඉන්නකෝ. ඒක කියවලා හිටියොත් මෙතනින් එහාට කථාව තේරෙයි.)

ඉතින් ඔය “ජී ෆො ජග්” කථාව අහලා එතන හිටපු හැමෝම වගේ මහ හයියෙන් හිනා වෙන්න ගත්තා “එන් ෆො නියුමෝනියා..හඃ හඃ. නියුමෝනියා පටන් ගන්නෙ පී අකුරෙන්නෙ” කියලා කෑ ගගහා. ඔය විදියට ඒකට සෑහෙන වෙලාවක් හිනා වුනා. හිනාවුන අයත් එක්කම හිනා වෙච්ච දොස්තර මහත්තයා අනිත් අය හිනාව නැවැත්තුවටත් පස්සෙ තවත් මොකකටදෝ හිනා වෙනවා තනියම.

“මොකද අයියෙ තනියම හිනා වෙන්නෙ?” කියලා එකෙක් අපේ දොස්තර මහත්තගෙන් අහපි. “ඇයි මෝඩයිනේ, උඹලට තේරුනෙ නැද්ද ඒ කථාවෙ නියුමෝනියා ඇරෙන්න ඉතුරු වචන දෙකත් ඒ වගේමයි කියලා” කියපු දොස්තර මහත්තයා ආයෙත් හිනා වෙන්න ගත්තා.

කථාව ආයෙත් මතක් කරගත්ත කට්ටිය ඒ පාර විහිළුව හරියට තේරුම් අරන් ආයෙත් හිනා වුනා. (නියුමෝනියා ඊට ටිකකට කලින් මතක් කළ නිසා හැමෝටම ඒක විතරයි මීටර් වුනේ!). ටික වෙලාවකින් කට්ටිය තමන්ට වැරදුන එකට තව පාරක් හිනා වුනා. ඒකෙන් ටියුබ් ලයිට් අයගේ තුන් හිනාව සම්පූර්ණ වුනා. ඒත් කථාව තාම ඉවර නෑ.

එවෙලෙ එතන හිටියෙ නැති අය එකා දෙන්නා කෑම ඉවරවෙලා ආයෙත් එනකොටත් කට්ටිය හිනා වෙනවා. ඉතින් ඒ අයටත් ප්‍රශ්නෙ ඇයි මේ කට්ටිය හිනා වෙන්නෙ කියලා. ඉතින් සමහරු ඇහුවා “ඇයි හිනාවෙන්නෙ?” කියලා. එතකොට “ජී ෆො ජග්” කථාව කියන්න හේතු වුන හර්මන් මයිනර් කථාවෙ ඉඳලා “ජී ෆො ජග්” කථාවෙ අවසානය දක්වාම අඩුපාඩුවක් නැතුව සිද්ධි ටික ඒ අයටත් මුල් විදියටම කිව්වා. වැඩේ කියන්නෙ මේ “ජී ෆො ජග්” කථාව අහන හැමෝම වගේ හිනා වෙන්නෙ “නියුමෝනියා පටන් ගන්නෙ පී අකුරෙන්නෙ” කියලයි.

එතකොට කථාව කියපු අයයි, මුලින් කථාව අහගෙන හිටපු අනිත් අයයි හැමෝම හිනා වෙනවා. එතකොට හතර හිනා! ඔය විදියට “ජී ෆො ජග්” කථාව හතර හිනා මවන කතන්දරයක් වුනා අපිටනම්.

කතන්දරගෙ ජෝක්ස් වර්ගීකරණයට හතර හිනා කියල එකකුත් එකතු කරන්න වෙනවා.

සිල් ගත්ත පූසා

තවත් සිංහල ජනකථාවක් කියන්නයි සූදානම. සිංහලෙන් ස්වයංක්‍රීයකරණය ගැන ලියන ලිපි මාලාවත් අතපසු වුනා මේ ජනකථා ලියන එකෙන්. ඒකත් ආයෙත් පටන් ගන්නවා ලඟදිම.

එකමත් එක දවසක පූසෙක් බඩගින්නෙ ඇවිදිනකොට ගෙදරකින් කරෝල සුවඳක් එනවා දැනුනලු. හොරෙන්ම ඒ ගෙදරට රිංගගත්ත පූසා කරෝල තියෙන්නෙ කොහෙද කියලා හොයනකොට ඒක තියෙන්නෙ පෙට්ටගමක් උඩ තිබුන හාල් මුට්ටියක් ඇතුලෙ කියලා දැනුනලු. ඒක කන්න පෙට්ටගම උඩට පනිනකොට එතන එල්ලලා තිබ්බ නවගුණ වැලක් පූසගෙ බෙල්ලෙ පැටලුනාලු. පූසා නවගුණ වැල ගලවගන්න දන්න ඔක්කොම සෙල්ලම් දැම්මත් ඒක ගලවගන්න බැරි වුනාලු.

පෙරලුන පිට හොඳයි කිව්ව වගේ පූසා නවගුණවැලත් කරේ එල්ලගෙන කැලේට ගියාලු. ඔහොම යනකොට පූසට මුලිච්චි වුනාලු වලිකිකිළියෙක්. පූසව දැක්ක විතරයි මේකි පැනලා දිව්වලු. පූසා බොහොම උපාසක ස්වරයෙන් වලිකිකිළිට කිව්වලු “මම සිල් අරන් ඉන්නෙ. මට බය වෙන්න එපා. මම පන්සලක් හොයාගෙනයි යන්නෙ. තුම්මල් කිත්තියෙ මාත් එක්ක යං” කියලා. (මේ තුම්මල් කිත්ති කිව්වෙ ඔළුවෙ මල් තුනක් තියන කීර්තිමත් ඇත්තිය කියලා.)

වලිකිකිළිත් පූසව විශ්වාස කරලා ඌත් එක්ක යනවලු. මේ යන අතරමගදි ඇටිකුකුළෙක්ව මුලිච්චි වුනාලු මේ දෙන්නට. ඇටිකුකුළත් පැනල යන්න හදනකොට පූසා කිව්වලු “මම සිල් අරන් ඉන්නෙ. මාත් එක්ක යං” කියලා. ඒ පාර ඇටිකුකුළත් පූසට එකතු වුනාලු.

ඔහොම යනකොට මේ කාණ්ඩෙට මුලිච්චි වුනාලු  හාවෙක්ව. පූසා හාවටත් කිව්වලු “ටොක්කා නැට්ටුවේ, මාත් එක්ක යං. මම සිල් අරන් ඉන්නෙ” කියලා. (ටොක්කා කියන එක හැදිල තියෙන්නෙ දෙමලෙන් පැන පැන යනවා කියන අදහස දෙන ටොංකු කියන වචනෙනුයි.) ඉතින් හාවත් මේ කාණ්ඩෙට එකතු වුනාලු.

සිල් ගත්ත පූසා පෙරටු කරගත්ත මේ කට්ටිය කැලේ තිබ්බ ගල්ගුහාවක් ගාවට ආවලු. “ඉස්සරකාලෙ භාවනායෝගියො මේ වගේ තැන්වලතමා භාවනා කළෙ. මටත් මෙතන හොඳා පන්සලකට” කියලා පූසා ඒ ගල් ගුහාවෙ තිබ්බ උස තැනකට වෙලා ඉඳගෙන ඇස් පියාගෙන හිටියලු. වලිකිකිළියි, ඇටිකුකුළයි, හාවයි පැත්තකට වෙලා බලාගෙන හිටියලු.

කිකිළියන්ටත්  නිකං ඉන්න බෑනෙ, හැම වෙලේම බිම පහුරු ගගා කෑම හොයනවා. මේ වලිකිකිළිත් පුරුද්දට බිම පහුරු ගෑවලු. මේක ඇහුනු පූසා “ටොක්කා නැට්ටුවෙ, තුම්මල් කිත්ති බිම පහුරුගාලා පන්සල් භූමිය අපවිත්‍ර කලා. මම ඒකිව මරන්න ඕනෙ නේද?” කියලා ඇහුවලු. හාවත් “ඔව්, ඔව් ඒක හොඳා” කියලා කිව්වලු. ඒ පාර පූසා එක පාරටම පැනලා වලිකිකිළිව මැරුවලු.

ඊට පස්සෙ පූස ඇහුවලු “මැරිච්ච සතෙක්ව කෑවට සීලෙ කැඩෙන්නෙ නෑ නේද?” කියලා. “නෑ නෑ..මැරිච්ච සතෙක් කෑවට පව් සිද්ධ වෙන්නෙ නෑ. සීලෙ කැඩෙන්නෙත් නෑ” කියලා හාවා කිව්වලු. ඉතිං පූසා වලිකිකිළිව කෑවලු.

ඊටපස්සෙ භාවනා කරන්න වගේ ඇස් පියාගෙන හිටි පූසා ටික වෙලාවකින් ඇස් ඇරලා කිව්වලු “ටොක්කා නැට්ටුවේ, මේ ඇටිකුකුලා මං භාවනා කරන වෙලේ ඇස් දෙක හොඳටම රතු වෙනකම්ම අරක්කු බීල නොවැ. මූව මරන්න නොවෙද වටින්නෙ?” කියලා. හාව ඔව් කියන්නත් කලින් පූස පැනල ඇටිකුකුළව මැරුවලු. “මැරිච්ච සතෙක් කෑවට සිල් කැඩෙන්නෙ නෑ නේද?” කියලා පූස ඇහුවහම හාව “නෑ. නෑ. සිල් කැඩෙන්නෙ නෑ” කිව්වහම පූස ඇටිකුකුළවත් කෑවලු.

ආයෙත් භාවනා කරන්න ගිය පූසා ටික වෙලාවකින් ඇස් ඇරලා “ටොක්කා නැට්ටුවො, උඹ පන්සල වටේම බෙටි දාලා පන්සල් භූමිය අපවිත්‍ර කළා නේද? උඹව මැරුවත් මදි නේද?” කියලා ඇහුවලු. හාවත් “ඔව්, මාව මරන එක තමා යහපත්, නිවැරදි ක්‍රියාව. මම මහ ටොක්කමයි, පොඩි ටොක්කමයි  ටොක්කම් දෙකක් දැම්මට පස්සෙ මාව මැරුවට කිසිම වැරැද්දක් නෑ. සීලෙ කැඩෙන්නෙත් නෑ” කියලා කිව්වලු. (ටොක්කම කිව්වෙ පැන පැන යනවට හොඳේ.)

“එහෙනම් ටොක්කම් දාපං” කියලා පූසා කිව්වලු.

හාවා ගල් ගුහාව වටේ රවුමක් පැන පැන දුවලා කිව්වලු “මේක තමයි පොඩි ටොක්කම” කියලා. ඊට පස්සෙ හාවා පූසගෙ වටේට රවුමක් දුවලා පූසගෙ ඔළුව උඩින් පැනලා “ඒක තමයි මහ ටොක්කම” කියලා කැලේට දිව්වලු.

වයඹ පළාතේ ජනකථාවක්.

පින්තූර ගත්තෙ මෙතනින්.