කොපර්නිකස් හොරකම් කළාද?

නිකලස් කොපර්නිකස්ව අවුරුදු 500 කට පසුව වීරයෙක් විදියට ගෞරව සහිතව යළිත් වල දැමීමේ පුවතක් කලින් සඳහන් කළානෙ. නිකලස් කොපර්නිකස්ට ඉතිහාසයේ විශේෂ තැනක් හිමිවන්නේ ඔහු ග්‍රීක යුගයේ සිට සම්මතව තිබූ භූ කේන්ද්‍රවාදී අදහසට වෙනස් මතයක් ඉදිරිපත් කළ නිසාම නොවේ. ඔහුගේ “දිව්‍යමය ගෝල කැරකීම පිළිබඳව” (Concerning the Revolutions of the Heavenly Spheres) නිබන්ධනය පල්ලියේ ඉගැන්වීම් විද්‍යාවට වඩා ප්‍රබල වූ (යුරෝපීය ඉතිහාසයේ) මධ්‍යතන යුගයේ නිමාව සනිටුහන් කරමින්, ආගමෙන් විද්‍යාවට සංක්‍රමණයක් ආරම්භ කළ නිසයි.

කොපර්නිකස්ට පෙර යුරෝපීයයන්ගේ විද්‍යාවට අනුව මුළුමහත් විශ්වයම, අඩුම තරමේ සෞරග්‍රහ මණ්ඩලයවත්, පෘථිවිය වටා පරිභ්‍රමණය වෙන බවයි කියැවුනේ. කොපර්නිකස් ඒ වැරදි සෞරග්‍රහ මණ්ඩල ආකෘතිය වෙනස් කර, සෞරග්‍රහ මණ්ඩලයේ මැදට පෘථිවිය වෙනුවට සූර්යයා ආදේශ කළා.

සෞරග්‍රහ මණ්ඩලයේ මැද්දෙ සූර්යයා තියෙනබව මුලින්ම කිව්වෙ කොපර්නිකස්ද? නෑ. කොපර්නිකස්ට කලින් ග්‍රීක යුගයේදිත් ඇරිස්ටාකස් (Aristarchus of Samos) සූර්ය කේන්ද්‍රවාදී මතයක් ක්‍රි.පූ. තුන්වන සියවසේදි ඉදිරිපත් කරල තිබුනා. ඊටත් අවුරුදු 400 කට විතර ඉස්සර උතුරු ඉන්දියාවෙ දාර්ශනිකයෝ සෞරග්‍රහ මණ්ඩලය රැඳිල තියෙන්නෙ ගුරුත්වාකර්ෂණ බලය හින්ද බවත්, ස්කන්ධය වැඩිම වස්තුව වන සූර්යයා මැද්දෙ තියෙන්නෙ ඕනෙ බවත් තේරුම් අරන් හිටිය කියනවනේ. මායාවරු ක්‍රි.ව. 1000 දි විතර සූර්යකේන්ද්‍ර සෞරග්‍රහ මණ්ඩලයක් ඉදිරිපත් කරලා තිබුනා.

හැබැයි කොපර්නිකස්ට වැඩේ ලේසි වුනෙ නෑ. බටහිර විසින් අවුරුදු දෙදහසක් විතර පිළිගෙන තිබ්බ, වැරදි පිරිච්ච  ටොලමිගේ (භූ කේන්ද්‍ර ) ආකෘතියෙ ගණිතමය වැරදි හදන්නත් කොපර්නිකස්ට සිද්ධ වුනා. කොපර්නිකස්ට සෞරග්‍රහ මණ්ඩල ආකෘතිය ගණිතමය වශයෙන් ඔප්පුකරන්නට ඒ වෙනකොට තිබූ (ග්‍රීකයන් විසින් ගොඩනැඟූ) ගණිතයෙන් හැකිව තිබූ බවට උපකල්පනය කෙරුනා.

සෞරග්‍රහ මණ්ඩලයේ ආකෘතියෙ සූර්යයා මැද්දට දාන එක වැදගත් වුනාට, ඒ ආකෘතිය ගණිතමය වශයෙන් ඔප්පු කරද්දි ඒක ඉතා සුළු දෙයක්. අමාරු වැඩේ තමා ගණිතමය වශයෙන් ඒ ආකෘතිය ඔප්පු කිරීම.

1950 ගණන්වලදි ඔන්න තව විස්තර එලිවෙන්න ගත්තෙ කොපර්නිකස්ගෙ ගණිතය ගැන කට්ටියක් නැවතත් පරීක්ෂා කරපු වෙලාවයි. ඒ අයට අහුවුනා තාරකා විද්‍යාව උඩු-යටිකුරු කළ ආකෘතිය ඔප්පු කරන්න කොපර්නිකස්ට ඕන වුන ගණිතමය ප්‍රමේය දෙකක් ග්‍රීකයන් විසින් ගොඩනඟා නොතිබූ බව.

ඒ කියන්නෙ කොපර්නිකස් තමන්ගෙ ආකෘතිය ඔප්පු කරන්න ග්‍රීක නොවන ශිෂ්ඨාචාරයකින් දැනුම ඉල්ලගත්තා කියන එකද? එහෙම නැත්නම් ඔහු තනියම ඒ ප්‍රමේය ගොඩනැඟූ බවද? ඔය අතරෙ ලෙබනනයේ බෙරූට් නුවරදි ක්‍රි.ව. 1350 ටත් කලින් අරාබි භාෂාවෙන් ලියැවුනු තාරකා විද්‍යා ලේඛන වගයක් හමු වුනා. කොපර්නිකස්ගෙ ගණිතය ගැන හොයමින් සිටි අය ඒ ලියැවිලි දැක්ක ගමන් ඒවයේ වැදගත්කම තේරුම්ගත්තා.

කොපර්නිකස්ගෙ ආකෘතියෙ චන්ද්‍රයාගෙ චලිතයට සර්වසම විදියෙ ජ්‍යාමිතික රූප ඒ ලේඛනවල තිබුනා. ක්‍රි.ව. 1375 දී මියගිය දමස්කස් නුවර ඉබ්න් අල්-ශතීර් (Ibn al-Shatir) තමා ඒ ලේඛන ලියල තිබුනෙ.

ඒ ලේඛනවල කොපර්නිකස්ට අවුරුදු 300 කට විතර ඉස්සර හිටිය නසීර් අල්-දින් අල්-ටුසි (Nasir al-Din al-Tusi) නම් අරාබි තාරකා විද්‍යාඥයා බිහිකළ ටුසී-යුග්මය (Tusi couple) ලෙස දැන් හැඳින්වෙන ප්‍රමේයයත් පාවිච්චි කරලා තියනවා. කොපර්නිකස් ඒ ප්‍රමේයය තමන්ගෙ ආකෘතිය ඔප්පු කිරීමට යොදාගෙන තියනවා.

උර්දි උපසාධ්‍යය (Urdi lemma) ලෙස හැඳින්වෙන මුආයියද් අල්-දින් අල්-උර්දි (Mu’ayyad al-Din al-‘Urdi) ක්‍රි.ව. 1250 ට පෙර ඉදිරිපත් කළ ප්‍රමේයය කොපර්නිකස් පාවිච්චි කර තිබුනත්, ඒකට ඔප්පු කිරීමක් පෙන්වලා නෑ. ඒ ඔප්පු කිරීම කලින් පළ කර තිබූ නිසා වෙන්න ඇති කොපර්නිකස් ඒක ඔප්පු කර නැත්තෙ. කොපර්නිකස් අල්-උර්දිට ඒ ගෞරවය ලබා නොදෙන්න ඇත්තේ දහසයවන සියවසේදි යුරෝපීයයන් අතර මුස්ලිම් අයට පිළිගැනීමක් නොතිබ්බ නිසා වෙන්න ඕනෙ.

කොපර්නිකස් දැනුම හොරෙක්ද නැද්ද කියන එක වැදගත් නෑ. කොපර්නිකස් ඉහත සඳහන් කළ ගණිතමය ප්‍රමේය තනිවම සොයාගත්තා වෙන්නත් පුළුවන්. වැදගත් දේ තමා අරාබි තාරකා විද්‍යාඥ/ගණිතඥයේ දෙපලක් කොපර්නිකස්ට වඩා ඉස්සර වුනා කියන එක.

කොපර්නිකස්ගේ (බටහිර)  විප්ලවයට අදාල නව ගණිතය පටන් ගත්තෙ අරාබි මුස්ලිම් ඔළුවල කියලා පිලිගන්න බටහිරයෝ අකමැති බටහිර අභිමානයට කැළලක් වෙන නිසා වෙන්න ඇති. වැඩේ කියන්නෙ බටහිරයන්ට අනුව යන අපේ වගේ රටවලුත් හරි දේ හරි විදියට නොදකින එකනෙ.

ඕමාර් ඛයියාම් ඇතුළු අතීතයේ සිටි අරාබි විද්‍යාඥයන් ගැන සහ අමතක කළ  විද්‍යාවේ දියුණුවට  ඔවුන්ගේ දායකත්වය ගැන ලියන්නෙ විද්‍යාවේ නිසි අතීතය පෙන්වාදීමට මිස ඉස්ලාම් ආගමට කත් ඇදීමට කියා වරදවා වටහා ගන්න එපා.