මයි කාර්, මයි පැට්‍රෝල්, පබ්ලික් ගරාජ්

තමන්ගෙ කාර් එකේ, තමන්ගෙ සල්ලි වලින් පැට්‍රෝල් ගහගෙන කොහෙ ගියත් කාටවත් මොකද? ඒකනේ හිතුමනාපෙට වැඩ කරන අයට විරුද්ධ වෙනකොට “මයි කාර්, මයි පැට්‍රෝල්” කියන්නෙ. ඒත් ඔය කාර් එක ගෙවෙනකොට නඩත්තු කරන්නයි, කැඩුනාම හදන්නයි තමන්ගෙ සල්ලි වියදම් නොකර, කාර් එක අයිති නැති අයට පවරනව නම් කොහොමට තියේවිද? කවුරුත් කැමති නෑනෙ අනුන්ගෙ කාර් තමන්ගෙ සාක්කුවෙන් වියදම් කරලා නඩත්තු කරන්න.

ඔය අරක්කු ඇතුළු මත්පැන් පානය කරන අයත් කියන දෙයක්නෙ “මයි කාර්, මයි පැට්‍රෝල්” කියලා. ඒත් ඉතින් එහෙම කියන අය බහුතරයක් “මයි කාර්” එක නඩත්තු කරන්න පවරන්නෙ පබ්ලික් ගරාජ් එකටයි. ඒ අයට නඩත්තුවට යන වියදම් ගෙවන්නෙ කවුද කියලා ප්‍රශ්නයක් නෑ, “මයි කාර්” එක හදාගන්න පුළුවන්නම්.

රජයෙන් මහජනයා වෙත නොමිලේ සපයන සෞඛ්‍ය සේවය නඩත්තු වන්නේ මහජනයාම ගෙවන බදු මුදල් වලින්. ඒ අනුව මත්පැන් පානය හේතුවෙන් ඇතිවූ ලෙඩ රෝග වලට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා විටෙකදී මත්පැන් පානය කරන-නොකරන සෑම දෙනාම ගෙවනා බදු මුදල් යොදාගැනෙනවා.

‘මතට තිත’ තියන්න යන රජය මත්පැන් තහනම් නොකර අලුතින් බාර් දාන්නෙ ඇයි කියලා හුඟ දෙනෙක් අහනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස මත්පැන් භාවිතය තහනම් කරන්න බෑ. මත්පැන් වලට රජයෙන් බදු අය කළත්, මත්පැන් පානය කිරීම හේතුවෙන් රෝගී වන අයට ප්‍රතිකාර කරන්න යන වියදම, අර මත්පැන් බදු වලින් ගන්න ආදායමටත් වඩා වැඩි ඇති. ඒ වගේම මත්පැන් පානය කරන්නන්ගෙන් සිදුවන සමාජීය සහ ආර්ථික හානිය කොපමණදැයි ගණන් බලා නෑ. රජයේ ප්‍රතිපත්තියක් ලෙස මත්පැන් සීමා කිරීමට ක්‍රියාමාර්ග ගැනීම වැරැද්දක් නොවේ.

මත්පැන් පානය නිසා ඇතිවන ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීමේදී රෝගීන්ගෙන් මුදල් අය කිරීමට රජයේ අවධානය යොමුකර ඇති කළ බවක් පසුගිය දවසක ප්‍රවෘත්තියක තිබුනා.

රජයෙන් සෞඛ්‍ය සේවය නොමිලේ සපයන්නේ රටේ මහජනයා සෞඛ්‍යසම්පන්නව සිටීම රජයකට ආර්ථික වශයෙන් වාසිදායක නිසයි. එය රජය විසින් කරන ආයෝජනයක්. එම ආයෝජනයේ ප්‍රතිඵල නිසි ලෙස ලැබෙන්නේ මුදල් නිසි ලෙස යෙදෙව්වොත් පමණයි.

මත්පැන් පානයෙන් රෝගී වන්නන්හට ප්‍රතිකාර කිරීමට රටේ සෞඛ්‍ය සඳහා වැය කරන මුදලින් වැඩි ප්‍රතිශතයක් වෙන්වන්නේ නම්, එය රටේ අනාගත පරපුරේ සෞඛ්‍ය සඳහා කරන ආයෝජනයක් නොව, වැරදි ජීවන රටාවක් ගත කරන අය සඳහා කරන වියදමක් පමණක් වෙනවා.

මත්පැන් පානය නිසා ඇතිවන රෝගවලට ප්‍රතිකාර දීමට වැයවන මුදල අඩු කරගත හැකිනම්, ළමා සෞඛ්‍යය, හදිසි ප්‍රතිකාර වැනි වැඩි පිරිසකට යහපතක් වන ක්ෂේත්‍ර වල පහසුකම් වැඩි දියුණු කළ හැකියි.

මත්පැන් පානය කිරීම නිසා පමණක් ඇතිවන ලෙඩ රෝග මොනවද කියන ගැන මහජනයා දැනුවත් කළ යුතුයි. ඒ රෝග සඳහා පමණක් ගාස්තුවක් අය කිරීමත්, එම ගාස්තුව සාධාරණ එකක් වීමත් වැදගත්. මෙහිදී වෛද්‍යවරයා සහ රෝගියා අතර ඇති රහස් සුරැකීමේ අයිතිවාසිකම බිඳෙන්නේද යන්න පිළිබඳ ගැටළුවක් මතුවිය හැකියි. මත්පැන් බීමෙන් ඇතිවන රෝග සඳහා ඇති ඖෂධ නොමිලයේ නොසපයා ගාස්තුවක් අය කිරීමෙන් ඉහත ගැටළුවට විසඳුමක් වනු ඇති.

කොහොම වුනත් මත්පැන් ලෝලීන් නම් රජය ගත් තීරණයට කැමති වෙන එකක් නෑ. රජයට බදු ගෙවලා මත්පැන් බොනවා මදිවට ලෙඩ වුනොත් බෙහෙත් ගන්නවටත් සල්ලි ගෙවන්න වෙනවද කියලා ඒ අය අහයි.

ඉහත අදහස ක්‍රියාත්මක කළොත් මහජනයාගේ සෞඛ්‍යය සම්පන්නව තබාගැනීමේ  රජයේ අරමුණ ඉටු වේවිද කියන එක තවත් ප්‍රශ්නයක්. එම අදහස ක්‍රියාත්මක කළොත් මත්පැන් පානයෙන් රෝගීවන අඩු ආදායම් ලාභීන්ට ප්‍රතිකාර ගැනීමට නොහැකි වනු ඇති. එතකොට රටේ එක් පිරිසකට හොඳ සෞඛ්‍ය පහසුකම් හිමි වෙන්නෙ නෑ. හොඳ සෞඛ්‍යසම්පන්න පුරවැසියන් බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් නොමිලේ සෞඛ්‍ය සේවාව සපයන රටේ, ඒ බලාපොරොත්තුව ඉටු නොවීම උභතෝකෝටියකක්.

ඇතැම් අයගෙ ආර්ථික තත්ත්වය දුර්වල වෙලා තියෙන්නේ පවුලේ කෙනෙක් හෝ වැඩි දෙනෙක් මත්පැන් පානය කිරීම නිසා. එයින් කෙනෙක් හෝ රෝගී වුනොත් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය තවත් දුර්වල වෙනවා, මුදල් උපයන කෙනෙක් අඩු වීම නිසා. ඒ රෝගී කෙනාට ප්‍රතිකාර කරන්න මුදලුත් ගෙවන්න වුනොත් ඔවුන්ගෙ ආර්ථිකයට වෙන දේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය  නෑ. ඒක දුප්පත් කමේ විෂම චක්‍රයක්. (ඒ චක්‍රය කඩන්න පුළුවන් වෙන්නෙ මත්පැන් පානය කරන අයව ඉන් මුදවාගැනීම සහ නොකරන අය මත්පැන් පානයෙන් වලක්වාගැනීම මඟින්.)

දැනටමත් රෝගීව සිටින අය සහ අඩු ආදායම් ලාභීන් ගැනත් හිතලා රජයේ අදහස ක්‍රියාත්මක කළොත් හොඳයි. අඩු ආදායම් ලාභීන් එය වාසියකට හරවාගැනීම වලක්වන්න නම් ඔවුන්ට වාර ගණනක් හෝ යම් කාල සීමාවක් පමණක් නොමිලේ ප්‍රතිකාර සැපයීමට පුළුවන්. ඒ වගේම රෝගීන්ගේ ආදායම සලකා බලා, ඊට ගැලපෙන පරිදි ගාස්තුව තීරණය කිරීමට හැකිනම් වඩාත් හොඳයි.

ඉබේ ඇතිවන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීම කළ යුතු වුනත්, උවමනාවෙන්- හොඳින්ම දැන දැනත්- තමන්ගෙ කැමැත්තෙන් “හදාගන්නා” ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීම ගැන දෙවරක් සිතිය යුතුයි. “මයි කාර්, මයි පැට්‍රෝල්” කියන උදවියට “මයි ගරාජ්” එකෙන් හෝ “මයි පොකට්” එකෙන් වියදම් කර කාර් එකේ නඩත්තු කටයුතු කරන්න කිව්වට වැරැද්දක් තියනවද?

මගේ අදහස තමා ටික දෙනෙක් කාලයක් තිස්සේ දැන දැනත් “විහින් දාගන්න” ලෙඩ වලට ප්‍රතිකාර කරන්න මහජනයා පලි නෑ කියන එක. රජයේ අදහස නිසි ක්‍රමවේදයක් සහිතව ක්‍රියාත්මක කිරීම අනාගතයේදී (මතින් තොර) සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් බිහිකිරීමට උදවු වෙයි.

හාවයි ඉබ්බයි ගිලන් රථයි

හාවයි ඉබ්බයි තරඟෙට දුවපු කථාව අපි හැමෝම වගේ පොඩි කාලෙදි අහලා තියනවනෙ. තමන් ගැන අධි තක්සේරුවෙන් හිටිය හාවා තරඟෙ අතරමැදදි ගහක් යටට වෙලා නින්දක් එහෙම දාලා තරඟෙ දිනන්න හිතන් හිටිය නිසා තරඟෙ පැරදුනා.

ඒ වගේම, ඒත් බොහොම දුක්බර පුවතක් පසුගිය දවසක වාර්තා වෙලා තිබ්බා. ඒ පුවතෙදි පැරදුනෙ හාවා නෙවෙයි; මෙලොව එලිය බලන්න පෙරුම් පුරාගෙන ආ කිරිකැටි බිලිඳෙක් ජීවිතයෙන්ම පැරදුනා. තමන්ගෙ කම්මැලිකමේ සහ අධි තක්සේරුවේ විපාකය හාවටම ලැබුනත් මේ පුවතෙදි ගිලන් රථ රියැදුරුගේ (සහ සේවිකාවන්ගේ) වැරැද්දේ විපාකය ලැබුනේ කාටවත් වැරැද්දක් නොකරපු දරු පැටියෙකුට.

සෞඛ්‍ය සේවාවෙ අඩුපාඩු ගැන ඇමතිට නොසෑහෙන්න බනින උදවිය දන්නෙ නැතුව ඇති සෞඛ්‍ය සේවයෙ තියන අඩුපාඩු වලට  මේ වගේ තමන්ගෙ රාජකාරිය හරියට නොකරන නිලධාරීන් හේතු වෙනවා කියලා. මේ වගේ මහජන මුදලින් ගෙවන වැටුපටත් නිගාදෙන හොර සේවකයො මොන වැරැද්ද කළත් ගැලවිලා යන්නෙ සේවක අයිතිවාසිකම් දිනාගන්න කියලා හදාගෙන තියන වෘත්තීය සමිති වල පිහිටෙන්. පොඩ්ඩ බැරි වෙන්න බෑ අහිංසක රෝගීන්ගෙ ජීවිත ඇපයට තියාගෙන වැඩ වර්ජන කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති මම නම් දකින්නේ මාෆියාවක් හෝ ත්‍රස්තවාදයක් විදියට.

මේ ගැන නිසි පරීක්ෂණයක් කරලා වැරදිකරුවන්ව සේවයෙන් පහ කරන එක විතරක් නෙවෙයි, විපතට ලක් වුන අයට නිසි වන්දියක් ගෙවන්නත් නියෝග කළොත් අනාගතේ මේ වගේ වැඩ නොකරන්න ආදර්ශයක් වෙයි.

මොනවා වුනත් කතරගම ප්‍රදේශවාසීන් මේ සිද්ධියෙදි හැසිරුණු ආකාරය (මම දන්න විදියට) බොහොම ප්‍රසංශනීයයි. ඔවුන් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා මිස රෝහලේ සේවකයන්ට පහර දෙන්නවත්, රෝහල වටකරගෙන එහි සේවාවන්ට බාධා කරන්නවත් ගිහින් නෑ. සාමකාමීව ප්‍රශ්න විසඳාගන්න පෙළඹීම අගය කළ යුතුයි.

ඇමරිකාවෙ ක්ලිනික්

අපේ කැදල්ලට එකතුවුන අලුත් සාමාජිකයට නමක් තිබ්බ හැටි කලින් කිව්වනෙ.

ඒ හාදයා අම්මගෙ බඩ ඇතුලට ආව කියලා දැනගත්තහම අපිට සතුටක් වගේම බයකිත් දැනුනා. එතකොට ඇමරිකාවට ඇවිත් ටික දවසයි. ඒ රටේ පාරෙ යන-එන හැටි පවා වෙනස්. ඒවට පුරුදු වෙන්නත් ටිකදවසක් යනවා. ඉතින් දරුවෙක් ලැබෙන එක ගැන කවර කතාද?

අපි ආවෙ ඉගෙනගන්නනෙ. මුලින්ම ඒ විශ්වවිද්‍යාලෙ සෞඛ්‍ය මධ්‍යස්ථානයට යන්න ඕනෙ මොන ලෙඩේට වුනත්. එතැනට ගියාම ඒ අය මූලික පරීක්ෂණ කරලා අපිව යොමු කළා ප්‍රසව-නාරිවේද (Obstetrician/Gynecologist) වෛද්‍යවරයෙක් ගාවට, එතැන ඒ පහසුකම් නැති නිසා. වෛද්‍යවරු එන තැන් දෙකක් කිව්වා අපිට තෝරගන්න. එකක් අපි ඉන්න නගරයේම තියන ක්ලිනික් එකක් (සායනය කිව්වහම අපේ අයට තේරෙන්නෙ නෑනෙ), අනික සැතපුම් 10 ක් විතර ඈතින් තියන නගරයක ක්ලිනික් එකක්. දුර තියන ක්ලිනික් වලට යන්න වෙලාව යනව විතරක් නෙවෙයි, වාහනත් එපායැ. අපිට කොහෙන්ද වාහන. ඒ නිසා ලඟ තියන තැනට යන්න තීරණය කළා.

මෙහෙ හිතුන වෙලාවට වෛද්‍යවරු හමුවෙන්න යන්න බැහැ. ඒකට නියමිත වෙලාවක් වෙන්කරගන්න ඕනෙ. (ලංකාවෙත් චැනල් කරන්න යන්න වෙලාවල් ගන්න ඕනෙනෙ.) ඉතින් අපිත් වෙලාවක් දාගෙන, පාරත් අමාරුවෙන් හොයාගෙන නියමිත වෙලාවට අදාල තැනට ගියා. මුලින්ම කරන්න වුනෙ සෞඛ්‍ය රක්ෂණ විස්තර දෙන එක. ඇමරිකාවෙ සෞඛ්‍ය සේවය හොඳවුනාට මිල අධිකයි. සෞඛ්‍ය රක්ෂණයක් නැතිව ලෙඩවෙන එක හිතන්නවත් හොඳ නෑ. (බිල දැකලා වෙන ලෙඩක් හැදෙනවා.)

ඊට පස්සෙ බබාගෙ අම්මගෙ උස-බර එහෙම මැන්නා. ඒ වැඩ කරන්නෙ හෙද සහායිකාවො. ඊට පස්සෙ ගියෙ හෙදියක් ගාවට. ගැබ් කාලය ගණනය කරලා පරිලෝකන පරීක්ෂණයක් (Ultrasound scan) කළා ඇය විසින්ම.  ලංකාවෙනම් විකිරණවේදී (Radiologist) වෛද්‍යවරයෙක්නෙ ඒ වැඩේ කරන්නෙ. බබාගෙ හදගැස්ම අහන්නත් පුළුවන් වුනා.

ඒ හෙදිය අපෙන් ඇහුවා බබා පිරිමි දරුවෙක්ද, ගැහැනු දරුවෙක්ද කියලා කියන්නද කියලා. අපි අපහසුතාවයට පත් වුනා එතැනදි, මොකද ලංකාවෙනම් ඒක කියන්නෙ ගැබට මාස 7 ක් විතර ගියාමනෙ. ඒ කියන්නෙත් “පිරිමි/ගැහැණු බබෙක් වගේ” කියලා සැකයක් ඉතුරු කරලනෙ. අපි ඒ වෙලාවෙ නම් කිව්වා දැනට ඕනෙ නෑ දැනගන්න කියලා. (ඒත් ඊලඟ පරීක්ෂණයෙදි නම් දැනගත්තා.) ඇමරිකාවෙ පොඩි ක්ලිනික් එකක වුනත් හැම පහසුකමක්ම වගේ තියනවා. මිල අධික උපකරණ යොදාගන්නවා හැම දේටම. ඒ විතරක් නෙවෙයි පරීක්ෂණ මහා ගොඩක් කරනවා පොඩි ලෙඩකටත්. (උපකරණ නැත්තම් වෛද්‍යවරු නිකමුන් වෙනවා කියල හිතෙනවා.)

වෛද්‍යවරයා ගාවට යොමු කරන්නෙ හෙදිය විසින් ඔක්කොම විස්තර කොලේක පිරෙව්වට පස්සෙ. ඒක කියවලා එන වෛද්‍යවරයට හරිම ලේසියි රෝගියව පරීක්ෂා කරන්න. ලංකාවෙ බබාලව හම්බුවෙන්න ඉන්නකොට චැනල් කරලා හොඳම ඩොක්ටර් කෙනෙක්වනෙ අල්ලන්නෙ. අපි ගිය ක්ලිනික් එකේ වෛද්‍යවරු එක්කෙනෙක් නෙවෙයි පහක්ම ඉන්නවා. ඒ අය කණ්ඩායමක් විදියටයි වැඩ කරන්නෙ. කීපදෙනෙක් රෝහලේ වැඩකරන අතරෙ අනිත් අය ක්ලිනික් එකේ වැඩ. ක්ලිනික් එක රෑ වෙනකම් නෑ ලංකාවෙ චැනල් සෙන්ටර් වගේ. වෛද්‍යවරුත් විවේක ගන්න ඕනැනෙ.

වෛද්‍යවරයා/වරිය බොහොම සුහදශීලියි. ඊලඟ ලෙඩාව බලන්න යන්න හිතන් නෙවෙයි අපි ගාවට එන්නෙ. අපිට යම් කාලයක් වෙන් කරලනෙ තියෙන්නෙ. ඒ කාලයෙදි හොඳට ලෙඩාව පරීක්ෂා කරලා, ප්‍රශ්න වලට උත්තර දීලා, හිතත් හදලා තමයි යන්නෙ. අපිට ක්ලිනික් ගිය කාලය පුරා වෛද්‍යවරු පස් දෙනාම මුණගැහුනා. ප්‍රසූතිය වෙලාවෙ ඉන්න අපි කැමති වෛද්‍යවරයෙක් තෝරගන්න ඉඩ දෙනවා.

ක්ලිනික් එකට ගිය දෙවනි දවසෙදි හෙදියක් එක්ක ගොඩක් වෙලා කථා කරන්න අවස්ථාව දුන්නා. අපිට තියන ප්‍රශ්න අහලා විසඳගන්න ඒක හොඳ අවස්ථාවක් වුනා. බබාගෙ අම්මගෙයි, තාත්තගෙයි සෞඛ්‍ය ඉතිහාසය ගැනත් ගොඩක් විස්තර අහලා සටහන් කරගත්තා. ඒ වෙන්න පුළුවන් සංකීර්ණතා ගැන අවබෝධයක් ලබාගන්නයි. (ඒ විතරක් නෙවෙයි, ආච්චිලා සීයලාගෙ සෞඛ්‍ය විස්තරත් ඇහුවා.) සෞඛ්‍ය විස්තර බොහොම රහසිගතයි. ඒ කියන්නෙ රෝගියාගෙ විස්තර වෙනත් පාර්ශවයකට දෙන්න නෑ රෝගියාගෙ අනුදැනුමක් නැතිව. ඒ නිසා අපේ සෞඛ්‍ය විස්තර දෙන එකගැන බයවෙන්න දෙයක් නෑ.

අපි ඉන්න නගරෙම තිබුනත් ගොඩක් දුර පයින් යන්න ඕනෙ ක්ලිනික් එකට. ඒ නිසා අපිට ඔය ගමන යන්නම වාහන කට්ටක් ගන්නත් වුනා.  ඔන්න ඔහොමයි අපි ඇමරිකාවෙ ක්ලිනික් ගියෙ.

සීට් බෙල්ට් එපාද

ලංකාවෙ තමන්ටම කියලා වාහනයක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද? මෝටර් සයිකලයක්වත් නැති පවුල් කොච්චර ඉන්නවද? එහෙව් එකේ සීට් බෙල්ට් ගැන මොකට කථා කරනවද කියලා හිතෙයි.

රටේ වැඩි පිරිසක් පොදු ප්‍රවාහන පහසුකම් යොදාගත්තත් පුද්ගලික වාහන වලින් යන අයත් තරමක් ඉන්නවනෙ. පුද්ගලික වාහනවල ගමන් කරන අය වැඩි ප්‍රමාණයක් වාහනයේ ආරක්ෂක පටි, තේරෙන විදියට කියනවා නම් සීට් බෙල්ට් (Seat Belt) තිබ්බත් ඒවා පාවිච්චි කරන්නෙ නෑ.

වාහනවල (මේ කිව්වේ රෝද 4 හෝ ඊට වැඩි වාහන ගැනයි) යන අයට ආරක්ෂක පටි පළඳින නීතියක් ගේන එක ආණ්ඩුවෙන් ගැන ගිය අවුරුද්දෙ කථාවුනා. ඒක ක්‍රියාත්මක වුනෙ නෑ මම දන්න විදියටනම්. ඒත් ඉතින් වාහනවල යන අයට ආරක්ෂක පටි පැළඳගෙන යන්න තහනමක් නෑනෙ.

සමහරු සීට් බෙල්ට් දාන්නෙ නැත්තෙ තමන් සුරක්ෂිතව රිය පදවන නිසා අනතුරක් සිදුනොවන බව ඇති විශ්වාසයටයි. ඔබ සුරක්ෂිතව රිය පැදෙව්වත්, වෙනත් අයෙක් ඔබේ වාහනයේ තම රථය හැප්පුවොත් මොකද වෙන්නෙ?

තවත් සමහරු හිතන්නෙ සීට් බෙල්ට් දදා ඉන්න ගියාම පරක්කු වෙනවා කියලයි. සීට් බෙල්ට් එක දාන්න තත්පර 30ක් යයි උපරිම. (හුඟක් වෙලාවට තත්පර 10 යි.) ඒ තත්පර 30 ද වටින්නෙ, එහෙම නැත්නම් අනතුරක් වුනොත් වෙන්න පුළුවන් හානිය වලක්වාගැනීමද?

“සීට් බෙල්ට් ඕනවෙන්නෙ පැයට කි. මී. 100 ක විතර වේගෙන් යනකොට විතරයි”. මේ සමහරු හිතන් ඉන්න හැටි. පැයට කි.මී. 50 ක වේගයෙන් ගොස් ගසක හෝ ලයිට් කණුවක හැපෙන වාහනයක සිටින (ආරක්ෂිත පටි නොපැළඳි) අයෙක් තමන්ගෙ සිරුරේ බර මෙන් 30 ගුණයක බලයකින් ඉදිරියට විසිවන බව ඔබ දන්නවාද? ආරක්ෂිත පටියක් පැළඳීමෙන් මෙම බලය 5 ගුණයකින්වත් අඩුකරගත හැකියි.

රිය අනතුරකදී ඇතිවන බලයන් පිළිබඳව භෞතික විද්‍යාත්මක විස්තර පහත සබැඳියෙන් බලාගත හැකියි.

http://hyperphysics.phy-astr.gsu.edu/Hbase/carcr2.html#cc1

ඔය ෆිසික්ස් (Physics) ගණන් හිලව් තේරෙන්නෙ නැත්නම් මේ වීඩියෝ එක බලන්නකෝ.

වාහනයක් ගන්න ගියාම සමහරු මුලින්ම බලන්නෙ ඒකෙ තියන ආරක්ෂිත ක්‍රම-විධි (Safety features). Airbags, ABS, ESC, Dynamic Steering, TPMS මෙකී නොකී හැමදේම තියනවද කියලා බලනවා. Full Option වාහනම හොයන්නෙ ඒකනෙ. ඒත් ලාභම වාහනේකත් තියන, වැදගත්ම ආරක්ෂක උපකරණය වන සීට් බෙල්ට් එක පාවිච්චි කරන්න හිතන්නෙවත් නෑ. Airbag තියනවා නම් ඔක්කොම හරි කියලයි සමහරු හිතන්නෙ. ඒත් airbag වල ප්‍රයෝජනේ තියෙන්නෙ සීට් බෙල්ට් එක්ක ඒක පාවිච්චි කරනකොට කියන කාරණේ සමහරු දන්නෙ නෑ. (Airbags වලට කියන්නෙ SRS- Supplemental Restraint Systems කියලනෙ. මේ Supplemental කියන්නෙ පරිපූරක-අමතර උපකරණයක් බවත්, ප්‍රධාන උපකරණය සීට් බෙල්ට් බවත් නොදන්න අය බොහොමයි.)

ලංකාවෙ අවුරුද්දකට මාරාන්තික රිය අනතුරු 2000 කට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයන් 2300 කට ආසන්න ගණනක් මියයනවා. ඒ කියන්නෙ එක දවසකට 6 දෙනෙකුටත් වැඩියි. තුවාල ලබන ප්‍රමාණය 20,000 කටත් වැඩියි. [1] ඒ සියළුදෙනාම පුද්ගලික රථවල යන අය නොවුනත්, කීපදෙනෙක් හෝ පුද්ගලික රථවාහන අනතුරු වලින් ආපදාවලට ලක් වෙනවා. ආරක්ෂක පටි පැළඳීම මඟින් විපතට පත්වන ප්‍රමාණය තරමක් හෝ අඩු කරගත හැකියි.

රිය අනතුරුවලින් තුවාල ලබන්නන් ප්‍රතිකාර ලබන්නේ රජයේ රෝහල් වලින් නම්, ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට යන වියදම දරන්නේ බදු ගෙවන මහජනතාවයි. එයට පාපැදියක්වත් හිමි නැති, බස් සහ දුම්රියවල පමණක් ගමන් කරන දුප්පතාද දායක වෙනවා. හිතන්න, ඔබේ නොසැලකිලිමත්කම නිසා ආරක්ෂක පටි නොපැළඳීමෙන් අනතුරකට ලක් වී රෝහල්ගත වුවහොත් ඔබ රටේ ජනතාවට බරක් වෙනවා නේද? (මැති-ඇමතිවරු කරන නාස්තිය මීට වැඩියි කීම නිදහසට කාරණයක්ද?)

ලෝකෙ රටවල් ගණනාවක වාහනවල යද්දි ආරක්ෂක පටි පැළඳීම අනිවාර්යයි. හයිවේ (Highway) නැති අපේ රටේ මොන සීට් බෙල්ට්ද කියලා හිතන අය හිටියත් තමන්ගෙ ආරක්ෂාව ගැන හිතන අය ආරක්ෂක පටි දාගෙන යනවා නීති තිබ්බත් නැතත්.

[1]. http://www.iatss.or.jp/pdf/research/30/30-1-12.pdf

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

http://en.wikipedia.org/wiki/File:Seatbelt.svg