හාවයි ඉබ්බයි ගිලන් රථයි

හාවයි ඉබ්බයි තරඟෙට දුවපු කථාව අපි හැමෝම වගේ පොඩි කාලෙදි අහලා තියනවනෙ. තමන් ගැන අධි තක්සේරුවෙන් හිටිය හාවා තරඟෙ අතරමැදදි ගහක් යටට වෙලා නින්දක් එහෙම දාලා තරඟෙ දිනන්න හිතන් හිටිය නිසා තරඟෙ පැරදුනා.

ඒ වගේම, ඒත් බොහොම දුක්බර පුවතක් පසුගිය දවසක වාර්තා වෙලා තිබ්බා. ඒ පුවතෙදි පැරදුනෙ හාවා නෙවෙයි; මෙලොව එලිය බලන්න පෙරුම් පුරාගෙන ආ කිරිකැටි බිලිඳෙක් ජීවිතයෙන්ම පැරදුනා. තමන්ගෙ කම්මැලිකමේ සහ අධි තක්සේරුවේ විපාකය හාවටම ලැබුනත් මේ පුවතෙදි ගිලන් රථ රියැදුරුගේ (සහ සේවිකාවන්ගේ) වැරැද්දේ විපාකය ලැබුනේ කාටවත් වැරැද්දක් නොකරපු දරු පැටියෙකුට.

සෞඛ්‍ය සේවාවෙ අඩුපාඩු ගැන ඇමතිට නොසෑහෙන්න බනින උදවිය දන්නෙ නැතුව ඇති සෞඛ්‍ය සේවයෙ තියන අඩුපාඩු වලට  මේ වගේ තමන්ගෙ රාජකාරිය හරියට නොකරන නිලධාරීන් හේතු වෙනවා කියලා. මේ වගේ මහජන මුදලින් ගෙවන වැටුපටත් නිගාදෙන හොර සේවකයො මොන වැරැද්ද කළත් ගැලවිලා යන්නෙ සේවක අයිතිවාසිකම් දිනාගන්න කියලා හදාගෙන තියන වෘත්තීය සමිති වල පිහිටෙන්. පොඩ්ඩ බැරි වෙන්න බෑ අහිංසක රෝගීන්ගෙ ජීවිත ඇපයට තියාගෙන වැඩ වර්ජන කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති මම නම් දකින්නේ මාෆියාවක් හෝ ත්‍රස්තවාදයක් විදියට.

මේ ගැන නිසි පරීක්ෂණයක් කරලා වැරදිකරුවන්ව සේවයෙන් පහ කරන එක විතරක් නෙවෙයි, විපතට ලක් වුන අයට නිසි වන්දියක් ගෙවන්නත් නියෝග කළොත් අනාගතේ මේ වගේ වැඩ නොකරන්න ආදර්ශයක් වෙයි.

මොනවා වුනත් කතරගම ප්‍රදේශවාසීන් මේ සිද්ධියෙදි හැසිරුණු ආකාරය (මම දන්න විදියට) බොහොම ප්‍රසංශනීයයි. ඔවුන් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා මිස රෝහලේ සේවකයන්ට පහර දෙන්නවත්, රෝහල වටකරගෙන එහි සේවාවන්ට බාධා කරන්නවත් ගිහින් නෑ. සාමකාමීව ප්‍රශ්න විසඳාගන්න පෙළඹීම අගය කළ යුතුයි.

Advertisements

සිල් ගත්ත පූසා

තවත් සිංහල ජනකථාවක් කියන්නයි සූදානම. සිංහලෙන් ස්වයංක්‍රීයකරණය ගැන ලියන ලිපි මාලාවත් අතපසු වුනා මේ ජනකථා ලියන එකෙන්. ඒකත් ආයෙත් පටන් ගන්නවා ලඟදිම.

එකමත් එක දවසක පූසෙක් බඩගින්නෙ ඇවිදිනකොට ගෙදරකින් කරෝල සුවඳක් එනවා දැනුනලු. හොරෙන්ම ඒ ගෙදරට රිංගගත්ත පූසා කරෝල තියෙන්නෙ කොහෙද කියලා හොයනකොට ඒක තියෙන්නෙ පෙට්ටගමක් උඩ තිබුන හාල් මුට්ටියක් ඇතුලෙ කියලා දැනුනලු. ඒක කන්න පෙට්ටගම උඩට පනිනකොට එතන එල්ලලා තිබ්බ නවගුණ වැලක් පූසගෙ බෙල්ලෙ පැටලුනාලු. පූසා නවගුණ වැල ගලවගන්න දන්න ඔක්කොම සෙල්ලම් දැම්මත් ඒක ගලවගන්න බැරි වුනාලු.

පෙරලුන පිට හොඳයි කිව්ව වගේ පූසා නවගුණවැලත් කරේ එල්ලගෙන කැලේට ගියාලු. ඔහොම යනකොට පූසට මුලිච්චි වුනාලු වලිකිකිළියෙක්. පූසව දැක්ක විතරයි මේකි පැනලා දිව්වලු. පූසා බොහොම උපාසක ස්වරයෙන් වලිකිකිළිට කිව්වලු “මම සිල් අරන් ඉන්නෙ. මට බය වෙන්න එපා. මම පන්සලක් හොයාගෙනයි යන්නෙ. තුම්මල් කිත්තියෙ මාත් එක්ක යං” කියලා. (මේ තුම්මල් කිත්ති කිව්වෙ ඔළුවෙ මල් තුනක් තියන කීර්තිමත් ඇත්තිය කියලා.)

වලිකිකිළිත් පූසව විශ්වාස කරලා ඌත් එක්ක යනවලු. මේ යන අතරමගදි ඇටිකුකුළෙක්ව මුලිච්චි වුනාලු මේ දෙන්නට. ඇටිකුකුළත් පැනල යන්න හදනකොට පූසා කිව්වලු “මම සිල් අරන් ඉන්නෙ. මාත් එක්ක යං” කියලා. ඒ පාර ඇටිකුකුළත් පූසට එකතු වුනාලු.

ඔහොම යනකොට මේ කාණ්ඩෙට මුලිච්චි වුනාලු  හාවෙක්ව. පූසා හාවටත් කිව්වලු “ටොක්කා නැට්ටුවේ, මාත් එක්ක යං. මම සිල් අරන් ඉන්නෙ” කියලා. (ටොක්කා කියන එක හැදිල තියෙන්නෙ දෙමලෙන් පැන පැන යනවා කියන අදහස දෙන ටොංකු කියන වචනෙනුයි.) ඉතින් හාවත් මේ කාණ්ඩෙට එකතු වුනාලු.

සිල් ගත්ත පූසා පෙරටු කරගත්ත මේ කට්ටිය කැලේ තිබ්බ ගල්ගුහාවක් ගාවට ආවලු. “ඉස්සරකාලෙ භාවනායෝගියො මේ වගේ තැන්වලතමා භාවනා කළෙ. මටත් මෙතන හොඳා පන්සලකට” කියලා පූසා ඒ ගල් ගුහාවෙ තිබ්බ උස තැනකට වෙලා ඉඳගෙන ඇස් පියාගෙන හිටියලු. වලිකිකිළියි, ඇටිකුකුළයි, හාවයි පැත්තකට වෙලා බලාගෙන හිටියලු.

කිකිළියන්ටත්  නිකං ඉන්න බෑනෙ, හැම වෙලේම බිම පහුරු ගගා කෑම හොයනවා. මේ වලිකිකිළිත් පුරුද්දට බිම පහුරු ගෑවලු. මේක ඇහුනු පූසා “ටොක්කා නැට්ටුවෙ, තුම්මල් කිත්ති බිම පහුරුගාලා පන්සල් භූමිය අපවිත්‍ර කලා. මම ඒකිව මරන්න ඕනෙ නේද?” කියලා ඇහුවලු. හාවත් “ඔව්, ඔව් ඒක හොඳා” කියලා කිව්වලු. ඒ පාර පූසා එක පාරටම පැනලා වලිකිකිළිව මැරුවලු.

ඊට පස්සෙ පූස ඇහුවලු “මැරිච්ච සතෙක්ව කෑවට සීලෙ කැඩෙන්නෙ නෑ නේද?” කියලා. “නෑ නෑ..මැරිච්ච සතෙක් කෑවට පව් සිද්ධ වෙන්නෙ නෑ. සීලෙ කැඩෙන්නෙත් නෑ” කියලා හාවා කිව්වලු. ඉතිං පූසා වලිකිකිළිව කෑවලු.

ඊටපස්සෙ භාවනා කරන්න වගේ ඇස් පියාගෙන හිටි පූසා ටික වෙලාවකින් ඇස් ඇරලා කිව්වලු “ටොක්කා නැට්ටුවේ, මේ ඇටිකුකුලා මං භාවනා කරන වෙලේ ඇස් දෙක හොඳටම රතු වෙනකම්ම අරක්කු බීල නොවැ. මූව මරන්න නොවෙද වටින්නෙ?” කියලා. හාව ඔව් කියන්නත් කලින් පූස පැනල ඇටිකුකුළව මැරුවලු. “මැරිච්ච සතෙක් කෑවට සිල් කැඩෙන්නෙ නෑ නේද?” කියලා පූස ඇහුවහම හාව “නෑ. නෑ. සිල් කැඩෙන්නෙ නෑ” කිව්වහම පූස ඇටිකුකුළවත් කෑවලු.

ආයෙත් භාවනා කරන්න ගිය පූසා ටික වෙලාවකින් ඇස් ඇරලා “ටොක්කා නැට්ටුවො, උඹ පන්සල වටේම බෙටි දාලා පන්සල් භූමිය අපවිත්‍ර කළා නේද? උඹව මැරුවත් මදි නේද?” කියලා ඇහුවලු. හාවත් “ඔව්, මාව මරන එක තමා යහපත්, නිවැරදි ක්‍රියාව. මම මහ ටොක්කමයි, පොඩි ටොක්කමයි  ටොක්කම් දෙකක් දැම්මට පස්සෙ මාව මැරුවට කිසිම වැරැද්දක් නෑ. සීලෙ කැඩෙන්නෙත් නෑ” කියලා කිව්වලු. (ටොක්කම කිව්වෙ පැන පැන යනවට හොඳේ.)

“එහෙනම් ටොක්කම් දාපං” කියලා පූසා කිව්වලු.

හාවා ගල් ගුහාව වටේ රවුමක් පැන පැන දුවලා කිව්වලු “මේක තමයි පොඩි ටොක්කම” කියලා. ඊට පස්සෙ හාවා පූසගෙ වටේට රවුමක් දුවලා පූසගෙ ඔළුව උඩින් පැනලා “ඒක තමයි මහ ටොක්කම” කියලා කැලේට දිව්වලු.

වයඹ පළාතේ ජනකථාවක්.

පින්තූර ගත්තෙ මෙතනින්.

පාස්කු සහ මිත්‍යාදෘෂ්ටි

පාස්කුව හෙවත් ඊස්ටර් (Easter) පසුගිය ඉරිදායින් හමාර විය. ක්‍රිස්තියානියේ වඩාත්ම ශුද්ධ මංගල්‍යය පාස්කුවයි. ජේසුතුමන්ගේ මරණයෙන් නැගිටීම සමරන්නේ පාස්කුවේදීයි.

“පාස්කුව” යන වචනය හැදුනේ කොහොමද? බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ සඳහන් පරිදි යුදෙව්වන් ඊජීප්තුවේ වහල් බවින් නිදහස සොයා නික්මීම (Passover) සැමරීමට (යේසුස්වහන්සේට පෙරත් ) පැවති උත්සවය හීබෘ භාෂාවෙන් පේසක් (Pesach) ලෙසයි නම් කරන්නේ. මෙය (passover) ලතින් සහ ග්‍රීක් භාෂාවන්හි හැඳින්වුනේ පාස්කා (Pascha) හෝ පාස්ක් (Pasch) නමින්. මෙම ලතින් වචනය පෘතුගීසි භාෂාවෙන් පාස්කොආ (Páscoa) ලෙස භාවිතාවෙනවා. ලංකාවට ක්‍රිස්තියානිය රැගෙන ආ පෘතුගීසීන් භාවිතාකළ පාස්කොආ යන්න පාස්කුව බවට පෙරලෙන්න ඇති.

පාස්කුව නත්තල මෙන් අවුරුද්දේ එක් නිශ්චිත දිනයක පැවැත්වෙන උත්සවයක් නෙවෙයි. සෑම වසරකම වසන්ත විෂුවය (Vernal equinox) ලෙස සැලකෙන මාර්තු 21 දිනට පසු එලඹෙන පුන් පොහොයෙන් පසු සතියේ ඉරිදා දිනය පාස්කු ඉරිදා ලෙස සැලකෙනවා. ඒ අනුව පාස්කුව මාර්තු මස 22 සිට අප්‍රියෙල් මස 25 අතර ඕනෑම ඉරිදාවකට වැටිය හැකියි.

පාස්කුව හැඳින්වීමට ඉංග්‍රීසියෙන් භාවිතාවන්නේ ඊස්ටර් (easter) යන්නයි. ඊස්ටර් වචනයෙහි මූලාශ්‍රය නිශ්චිත වශයෙන්ම සොයාගෙන නෑ. එක මතයක් වන්නේ අතීතයේ මේ වකවානුවේ බෞතීස්ම කරනු ලැබූවන් සුදු වතින් සැරසී සිටීම නිසා ලතින් භාෂාවෙන් ධවල සතිය හැඳින්වීමට භාවිතා කළ hebdomada alba යන්න පරිවර්තනයේ වැරදීමකින් esostarum ලෙස ජර්මන් භාෂාවට එක්වී ඊස්ටර් ලෙස විකාශනය වූ බවයි.

වසන්තයට සහ සශ්‍රීකත්වයට අධිපති ජර්මන් දෙවඟන වූ Ēostre ට ගෞරව කරමින් Eostur-monath හෙවත් අප්‍රියෙල් මාසයේ පැවැත්වූ උත්සව වෙනුවට ක්‍රිස්තියානියේ පාස්කුව පැවැත්වූ බව ඉංග්‍රීසින්ගේ ඉතිහාසයේ පියා ලෙස සැලකෙන බේඩ් (Bede) සටහන් කොට තිබෙනවා. ඒ අනුව ඊස්ටර් යන්න Ēostre යන ජර්මන් දෙවඟනගේ නමින් බිඳී ආවක් සේ සැලකිය හැකියි.

පාස්කුවත් සමඟ බැඳි නොයෙක් සම්ප්‍රදායන් විවිධ රටවල දැකිය හැකියි. ඒ අතර ආගමික සම්ප්‍රදායන් මෙන්ම ආගමික නොවන සම්ප්‍රදායන්ද තිබෙනවා. ඉංග්‍රීසිය වහරන රටවල්වල ඇති සම්ප්‍රදායක් වන්නේ පාස්කු සෙනසුරාදා පාස්කු බිත්තර (easter eggs) ලෙස නම් කරන බිත්තර වර්ණගැන්වීම සහ ඒවා තැන්-තැන්වල සඟවා පාස්කු දින සොයාගැනීමයි. (පරිගණක මෘදුකාංගවලත් පරිශීලකයන්ට සොයාගැනීමට easter eggs සඟවා තබන බව ඔබ දන්නවා ඇති.)  කුඩා දරුවන්ට පවසන්නේ ඒ බිත්තර තැන් තැන්වල සඟවන්නේ පාස්කු හාවා (easter bunny) බවයි. යේසුසු වහන්සේ මරණයෙන් නැගිටි පාස්කුව සමඟ බයිබලයේ කොතැනවත් සඳහන් නැති බිත්තර සහ හාවෙක් සම්බන්ධවුනේ කොහොමද?

හාවා බොහෝ පැටවුන් ජනිත කරවන සතෙක් ලෙස සැලකෙනවා. ඒ නිසාම හාවා අතීතයේ (මිත්‍යාදෘෂ්ටික) දේව වන්දනාවේදී (ලිංගික) සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස යොදාගන්නවා. සශ්‍රීකත්වයේ දෙවඟනට ගෞරව කිරීමේ උත්සවවලදී හාවා සංකේතාත්මකව යොදාගෙන තිබෙනවා.  එලෙසම බිත්තරය අතීතයේදී නව ජීවය සංකේතාත්මකව පෙන්වීමට යොදාගෙන තිබෙනවා. සශ්‍රීකත්වයේ උත්සවවලට බිත්තරත් බැඳී තිබුනා. ක්‍රිස්තියානි උත්සවයක් වන පාස්කුව, ඒ වනවිට (මිත්‍යාදෘෂ්ටික) දේව වන්දනාවේ නියුතු වූවන් අතර ප්‍රචලිත කිරීමට යේසුස් වහන්සේට හෝ බයිබලයට අදාල නැති බිත්තර සහ හාවා යොදාගැනීමට ක්‍රිස්තියානි පල්ලිය මැලි වූයේ නෑ.

ක්‍රිස්තියානි නොවන කණ්ඩායම් අතීතයේ හැඳින්වූයේ මිත්‍යාදෘෂ්ටිකයන් (pagan) ලෙසයි. මිත්‍යාදෘෂ්ටිකයන්ගේ දෙව්දුවක් වන Ēostre නමින් ක්‍රිස්තියානියේ වැදගත්ම ආගමික උත්සවය නම් කිරීමත්, මිත්‍යාදෘෂ්ටික සම්ප්‍රදායන්වූ බිත්තර සහ හාවා පාස්කුව හා බැඳුනු නූතන සම්ප්‍රදායන්ටද යොදාගැනීමත් උත්ප්‍රාසය දනවන සුළුයි.

කෙසේ වෙතත් සිසිරයේ මියැදී තිබූ පරිසරය මරණින් නැගිටින වසන්තය උත්සව සමයක් ලෙස සැලකීම මිත්‍යාදෘෂ්ටිකදැයි සිතිය යුත්තක්!

ආශ්‍රිත ලිපි:

1. http://en.wikipedia.org/wiki/Easter

2. http://www.history.com/topics/history-of-easter

3. http://www.history.com/topics/easter-symbols