බබාට නමක් 2

අපේ බබාට නමක් දාපු හැටි මීට කලින් සිතුවිල්ලකින් කියල තියනවා. මගේ සිතුවිලි අතරින් පාඨකයෝ වැඩිපුරම කියවපු සිතුවිල්ල තමා “බබාට නමක්“. ලංකාවේ අලුතින් ඉපදෙන දරුවෙකුට නමක් දාන්න දෙමව්පියෝ කොයි තරම් හොයනවද කියලා ඒකෙන්ම වැටහෙනවා. දැන් අහුබුදු ශූරීනුත් නැති එකේ අන්තර්ජාලයෙන් නම් හොයන එකත් ජයට වෙනවා වගේ.

එක බබෙකුට විශේෂ තේරුමකුත් නැති, අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්න නමක් කොහොම හරි  දැම්ම කියමුකො. ඊලඟ බබාටත් නමක් හොයන්න වෙන එක ඊටත් වඩා අමාරු කාරණයක් බව තේරුණෙ කරන්න යනකොට තමා.

ඇයි අමාරු? තේරුමක් නොතියෙන්නත් ඕනෙ; අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්නත් ඕනෙ; ඒ මදිවට අයියගෙ නම වගේ වෙන්නත් ඕනෙ කියලා අපි තීරණය කළානෙ. අනිත් එක මේ පාර කෙල්ලෙක්! කෙල්ලෙක්ගෙ නමක් වෙන්නත් ඕනෙ. ලේසි නෑ! ඒ මදිවට එකෙක් එක්ක වැඩපල කරගන්නෙ බොහොම අමාරුවෙන්, තව නමුත් හොයන්නම තමා වෙලාව තියෙන්නෙ.  එහෙමයි කියලා දරුවට නමක් නොදා පුළුවන්යෑ.

ඔන්න ඉතින් මේ පාර ලංකාවෙන් නම් ටිකක් ආනයනය කරලා නමක් හදාගන්න බැලුවා. මොන, ඒ නම් කිව්වහම හක්ක පනිනවා. ලොකු එකාට දාල තියන නම මෙහෙ ඉන්න සුද්දො කියන්නෙත් වරද්දලා. කොහොමත් වාසගමනම් රුවිත කරලා තමා කියන්නෙ. ආනයනය කළ නම් දැම්මොත් සුද්දො කියන්නෙ මුල අකුර විතරයි ෂුවර් එකටම. ඒ නම් ටික එහෙම්මම පැත්තකට දැම්මා.

මගෙ ඔළුවට ඇවිත් තිබ්බෙ අයියගෙ නමේ අකුරු ටික එහෙට මෙහෙට දාලා නමක් හදලා බලන්න. පොඩ්ඩක් එහෙට මෙහෙට කරකවනකොට මෙන්න නමක් සෙට් වුනා. අයියගෙ මැද නම කෙල්ලෙකුට ගැලපෙන විදියට වෙනස් කළා. ඔන්න දැන් කෙලි පොඩ්ඩෙකුට හරියන්න නමක් තියනවා. ඒත් ඉතින් මේ නම බැකප් එකක් විදියට තියාගෙන ඊට වඩා හොඳ නමක් ලැබුනොත් දානවා කියලා හිතන් හිටියෙ. ඒත් හරියන නමක් ලැබුනෙ නෑ. ඒ මදිවට මේ කෙල්ලට ඉක්මනට ලෝකෙ බලන්න එන්න ඕනෙ වුනානෙ. ඉතින් මක්ක කොරන්නද? අර බැකප් නම අනුමත කරලා නාමාරූඪ කළා.

අයියා “නදිත දිල්මික”. නංගි “තිනුදි දිලුනිකා”.

මේ ඉන්න කෙලි පොඩ්ඩ ඉපදිලා දවසකින්.
අයියයි නංගියි දැන් ටිකක් ලොකුයි.
Advertisements

දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ආයලා

නූතන තරඟකාරී ජීවන රටාව නිසා සහ රටේ ආර්ථික තත්ත්වය නිසා, පවුලකින් එක් අයෙක් පමණක් රැකියාවක නියුතුවී පවුලක් නඩත්තු කරන්න බොහොම අසීරුයි. ඒ නිසා බොහොමයක් පවුල්වල මව සහ පියා දෙදෙනාම රැකියාවල නියුතුවෙනවා.

අලුත විවාහවූ යුවලකට දරුවෙක් ඉපදීම බොහොම සතුටුදායක අවස්ථාවක්. රැකියාවක නියුතුවෙන අම්මලාට අවම වශයෙන් මාස 3 කවත් ප්‍රසූත නිවාඩු ලැබෙනවනෙ. (රජයේ රැකියාවක නියුතු වෙන අයටනම් මාස 10 ක් විතර නිවාඩු ලැබෙනවා.) ඒ වෙනකම් දරුවව බලාගන්න ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. නමුත් ඊට පස්සෙ මොකද වෙන්නෙ?

බොහොම අය කරන්නේ තම දෙමවුපියන්ගෙන් දරුවා රැක-බලාගන්නා ලෙස ඉල්ලීමයි. ආච්චිලා-සීයලාට දරුවෙක් රැක බලාගන්න පුළුවන්නම් ලොකු දෙයක්. ඒත් හැමෝටම ඒ වාසනාව නෑ. සමහර ආච්චිලා-සීයලා රැකියා කරනවා. තවත් සමහරු දරුවො බලන්න බැරි තරම් අසනීපයි. වෙනත් සහෝදර-සහෝදරියන්ගේ දරුවො බලන නිසා උදවු කරන්න එන්න බැරි ආච්චිලා-සීයලත් ඉන්නවා. දරුවො ගොඩාක් දුර පදිංචි වෙලා ඉන්නවානම්, මුණුබුරු-මිණිබිරියෝ බලන්න ගම දාල එන්න අකමැති අයත් නැතිව නෙවෙයි. මේ වගේ නා-නා ප්‍රකාර හේතු නිසා ආච්චිලා-සීයලාට දරුවන්ව දාල යන්න බැරි වෙන අවස්ථා එමටයි.

ඊලඟ විකල්පය තමා ආයා කෙනෙක් (nurse) හොයාගන්න එක. විශ්වාසවන්ත, පළපුරුදු ආයා කෙනෙක් හොයාගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරු වැඩක් මගෙ හිතේ! දරුවෙක්ව ආය එක්ක විතරක් ගෙදර දාල යන්න ගොඩක් දෙමවුපියො බයයි, විශේෂයෙන් කලින් ඇඳුනුම්කමක් නැති, නෑදෑයෙක් නොවන ආය කෙනෙක් නම්.

ආයා කෙනෙකුට ළදරුවෙක්ව දාල යන්න බයවෙන්න හේතුත් නැතිව නෙවෙයිනෙ. ඒ අයට නිසි පුහුණුවක් නෑ. ඒ වගේම දරුවෙකුට මොනවා හරි වුනොත් ඒ අය වගකීම භාරගන්නෙත් නෑ. (මොනවා හරි වුනොත් නොකියා ඉන්න තියෙන ඉඩකඩ වැඩියි.) ඒ නිසා නොදන්න ආයා කෙනෙකුට දරුවෙක්ව භාරදීලා යන එක තරමක් අවදානම් වැඩක්. ඒ විතරක් නෙවෙයි, ආයලා මාර්ගයෙන් හොරු ගෙට ආපු අවස්ථා ගැනත් අහලා ඇති.

දන්න කියන ආය කෙනෙක් හොයාගන්න අමාරු නම්, ආයලා හොයල දෙන නියෝජිත ආයතනත් දැන් තියනවා. මේ නියෝජිත ආයතනවලින් එවන ආයලා ගොඩක් අය එක ගෙදරක දිගටම රැඳී ඉන්නෙ නෑ. මාසයකට- දෙකකට පස්සෙ ඒ අය ගෙදර යන්න ඕනෙ කියලා යන්නෙ ආයෙත් එන්න නෙවේ. එහෙම ගියාම ආයෙත් අර නියෝජිත ආයතනයට සල්ලි දීලා තව ආය කෙනෙක් හොයාගන්න සිද්ධ වෙනවා.

ආයා කෙනෙකුට ගෙවන්න ඕනෙ වැටුපත් සමහර අයට දරාගන්න බෑ. කෑම-බීම, ඉඳුම්-හිටුම් වලට අමතරව මාසිකව රුපියල් 12,000 ක් විතර ආයා කෙනෙකුට දෙන්න ඕනෙ. මාසෙකින් දෙකකින් විතර ඒ අය ගෙදර ගියොත් අලුතෙන් ආයා කෙනෙක් හොයාගන්නත් තව අමතර මහන්සියක් වගේම වියදමකුත් යනවා. ආයලා කරන්නෙ දරුවා බලන වැඩේ විතරක් නිසා ගෙදර වැඩවලට පහසුවක් වෙන්නෙ නෑ.

මේකට විකල්පය තමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන (Day Care Centers). නමුත් බොහොමයක් දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට ඇතුල් කරන්න පුළුවන් වයස අවුරුදු 2.5 හෝ 3 සම්පූර්ණ කළ දරුවන් පමණයි. ඒ නිසා ඊට වඩා වයසින් අඩු දරුවන් බලාගැනීමට දෙමාපියන්ට විවිධ දුෂ්කරතා වලට මුහුණදෙන්න වෙනවා.

නිසි පුහුණුවකින් යුත් කාර්ය මණ්ඩලයක් සිටින, දරුවන්ගේ කායික මෙන්ම මානසික වර්ධනයට නිසි පහසුකම් සපයන, දරුවන් එහි රැඳීසිටින කාලය තුල ඔවුන්ගේ වගකීම භාරගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සුලභ කිරීමෙන් දරුවන් රැක-බලාගැනීමට තිබෙන දුෂ්කරතා අවම කරගත හැකියි.

වැදගත්ම කාරණය වන්නේ දැනට තිබෙන මෙන්ම අලුතෙන් ඇති කරන දිවා  සුරැකුම් මධ්‍යස්ථාන නිරීක්ෂණයට මෙන්ම පාලනයට නිසි අධිකාරියක් පිහිටුවීමට යුහුසුළුව රජය කටයුතු කළයුතු වීමයි.  ඒවායේ සේවය කරන අයගේ පුහුණුව, තිබිය යුතු අවම පහසුකම්, සිටිය හැකි උපරිම දරුවන් ප්‍රමාණය (දරු-ගුරු අනුපාතය ) ආදිය ගැන සම්මතයක් පිහිටුවිය යුතුයි.

පාසල් අධ්‍යාපනය මෙන්ම, පෙර පාසල් අධ්‍යාපනයද යහපත් පුරවැසියන් බිහිකිරීමට උපකාරී වෙනවා. දරුවන් බලාගැනීමට මෙන්ම දෙමාපියන්ව ආර්ථිකයේ වර්ධනයට දායක කරගැනීමටද දිවා සුරැකුම් මධ්‍යස්ථාන උපකාරී වනු ඇති.

දරුවන්ව පාසල් යවනතෙක්ම නිවසේ තබාගෙන ඇති-දැඩි කළහැකිනම් ඊටත් වඩා අගනේයි!

පංචායුධයෙන් වැඩක් තිබේද?

හෝව්..හෝව්. මම කියන්න යන්නෙ මව්බිමේ පංචායුධය ගැන නෙවෙයි ඔන්න. ළමයින්ගෙ බෙල්ල වටේ දාන පංචායුධය ගැනයි.

ඔයාල කී දෙනෙක්ගෙ බෙල්ල වටේ පංචායුධයක් දාල තිබ්බද පොඩිකාලෙ? ළමයින්ගෙ බෙල්ල වටේ පංචායුධයක් දාන්නෙ ආරක්ෂාවට කියලනෙ. පංචායුධ කතාව තියෙන්නෙ ජාතක කථා පොතේනෙ. ඒක දන්නෙ නැති අය ඉන්නවනම් මෙතනින් පඤ්චායුධ ජාතකය කියවලා ඉන්නකො. ඒකෙ තියන සිංහල තේරෙන්නෙ නැත්නම් මේක කියවලා බලන්නකෝ.

ඉතින් මේ පංචායුධ ජාතකයෙන් පැහැදිලි වෙනදේ තමයි දුනු-ඊතල, කඩු, හෙල්ල, තෝමර, අඩයටිය වගේ භයානක අවි-ආයුධවත්, අතේ-පයේ හයිය සහ සටන් කලාවක් දැනගෙන තිබුනටවත් වැඩක් නෑ, ඊට වඩා වැදගත් දේ තමයි නුවණ තැනට සුදුසු ලෙස පාවිච්චි කරන එක කියන දේ.ඉතින් ඕක නොදන්නවටද කොහෙද අපේ අම්මලා-තාත්තලා පුංචිම දරුවන්ගෙ බෙල්ලෙත් පංචායුධ එල්ලනවා. සල්ලි තියන අය රත්තරන් පංචායුධ එල්ලනවා, සල්ලි යහමට නැති අයත් තඹ පංචායුධයක් හරි එල්ලනවා.

ඔය එල්ලන පංචායුධයෙන් වැඩක් තියනවද? පංචායුධ කුමාරයට අවි-ආයුධ, සටන් කලාවේ දැනුම තිබිලා රාක්ෂයාගෙන් බේරෙන්නෙ බැරි වුන එකේ, බෙල්ලෙ ලෝහ පතුරක් එල්ලුවයි කියලා ළමයෙකුට කිසිම දේකින් ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද? ළමයින්ව ලෙඩ-රෝග සහ විපත්වලින් වලින් ආරක්ෂාකරගන්න නම් දෙමව්පියන් සහ රැක-බලාගන්නන් හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනෙ.

බෙල්ලෙ එල්ලන පංචායුධය හෝ වෙනත් ආභරණ දරුවන්ට විපත් ගෙන එන්න ඉඩ තිබෙන බව හුඟක් අය දන්නෙ නැතුව ඇති. මේ ආභරණ බැරිවෙලා හරි ගැලවිලා වැටුනොත් ඒක අහුලලා කටට දාගන්න පුංචි ඈයො පසුබට වෙන්නෙ නෑ. පොඩි ළමයි එක එක දේ කටට දාගන්න එක නවත්තන්න බෑනෙ. ඉතින් ඔය ආභරණයක් උගුරෙ හිරවුනොත් වෙන දේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. තවත් දෙයක් තමයි ඒ ආභරණ එල්ලන්න පාවිච්චි කරන නුල් හෝ මාල වලින් බෙල්ල තද වෙලා හුස්ම හිරවෙන්න ඉඩකඩකුත් තියනවා. විශේෂයෙන් රෑ නින්දෙදි එහෙම වෙන්න ඉඩකඩ තියනවා. ඒ නිසා ආභරණ දාල තියනවනම් රෑට ඒවා ගලවලා දමන්න අමතක කරන්න හොඳ නෑ. ඒ ආභරණ ලේසියෙන් නොගැලවෙන විදියට සවිකරන එක අත්‍යාවශ්‍යයි.

ඒ විතරක් නෙවෙයි, පුංචි ළදැරියන්ගෙ කන්වලට දාන කරාබුත් භයානකයි. අඩු අවදානමක් තිබුනත් පුංචිම දැරියන්ගෙ කන් විදිනකොට විෂබීජ ආසාදනයක් වෙන්න ඉඩක් තියනවා. ඒ නිසා මාස දෙකකට වඩා අඩු දැරියන්ගේ කන් විදින්න හොඳ නෑ. කරාබුත් ගැලවෙන්න ඉඩ තියන නිසා ඒවා හොඳට තදකරන එක වැදගත්.

ආභරණවල ඊයම් තිබෙනවානම් ඊයම් විෂවීමක් වීමේ ඉඩකඩකුත් තියනවා. ඊයම් රහිත ආභරණ තෝරාගැනීම ඒ නිසා බොහොම වැදගත්.

පංචායුධ ඇතුළු ළදරුවන්ට පළඳවන ආභරණ විශේෂ අවස්ථාවකදී පලඳන්න සුදුසු වුනාට දිනපතා පලඳලා තියන්න නම් සුදුසු දෙවල් නෙවෙයි.  ඒ නිසා දරුවන්ට ආභරණ පැළඳවීමගැන දෙමව්පියන් දෙවරක් සිතිය යුතුයි.

දරුවන්ට ආදරේ නැද්ද

පසුගිය දවස්වල ලංකාවෙ ජනමාධ්‍ය හැම එකකම පාහෙ වාර්තාවුන සිදුවීම් දෙකක් තමයි කළුතර මවක් කළු ගඟට දරුවෙක් විසිකිරීම සහ අම්බලන්ගොඩ මවක් අලුත උපන් බිළිඳෙක් ගඟකට විසිකිරීම.

මේ සිදුවීම් විග්‍රහ කරන සමහරු අපේ රටේ ආර්ථිකයට දොස් කියන අතරෙ, තවත් අය දේශපාලකයන්ට දොස් කියනවා අනවශ්‍ය දේට සල්ලි වියදම් කරන බව කියමින්. කවුරු කාට දොස් කිව්වත් පිළිගන්න අවශ්‍ය දෙයක් තමයි හෙටත් මේ වගේ සිදුවීමක් වලක්වන්න අපේ රටේ ශක්තිමත් යාන්ත්‍රණයක් නැතිබව.

කෙටිකලකින් දුප්පත්කම නැතිකරන්නවත්, සමාජ-දේශපාලන ක්‍රමය වෙනස්කරන්නවත් අමාරුයි. තනිකඩ (විවාහ නොවූ, සැමියා හැරගිය හෝ වැන්දඹු) තරුණ අම්මලට දරුවන්ව හදා-වඩාගන්න වත්කමක් නැත්නම් දීමනාවක් දෙන එක ආණ්ඩුව කරන්න ඕන දෙයක් වුනත් ඒකට ප්‍රතිපාදන වෙන් කරන එකත් අමාරුයි කියමුකො. (මොකෝ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න මැති-ඇමති ගොල්ලන්ට සහ එයාලගෙ කාර්ය මණ්ඩලයට පඩි, දීමනා, විශ්‍රාම වැටුප් දෙන්න ඕනැනෙ.)

ඒත් ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් තමා රටට ගැලපෙන ක්ෂේමස්ථාන නීතියක් ඉදිරිපත් කරන එක.

දරුවන්ව අදාල ආයතනයකට භාරදෙන්න ගියාම අසරණ මව/පියාට මුහුණපාන්නවෙන නොයෙකුත් ප්‍රශ්න සහ ඒ ක්‍රියාමාර්ග ගැන නොදැනුවත්කම නිසා අහිංසක දරුවන්ට වෙලා තියෙන්නෙ මරුට බිලිවෙන්න.

දරුවන් හදාගන්න කැමති දෙමව්පියෝ කොච්චර රටේ ඉන්නවද? නිසි සම්බන්ධීකරණයක් තියනවනම් දාලා යන දරුවන්ව ඔවුන්ව හදාගන්න අවශ්‍ය දෙමව්පියන්ට භාරදෙන එක කරන්න පුළුවන්, ආණ්ඩුවට වැඩි වියදමක් දරන්නෙ නැතිවම.  පෞද්ගලිකත්වය ආරක්ෂාකරගත හැකි ක්ෂේමස්ථාන නීතියක් ගෙනැවිත්, සමාජය නිසිලෙස දැනුවත් කළොත් තැන-තැන ළමුන්ව දමා යාම අඩු කරන්න පුළුවන්.

රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන් ඛේදනීය ලෙස අකාලයේ මියැදෙන්න හරිමින් උදාසීනව සිටීමට අවුරුදු දහස් ගණනක ප්‍රෞඩ අතීතයක් ඇති ජාතියකට හැකිද? ජාතියක් වශයෙන් අපි දරුවන්ට ආදරේ නැද්ද?

බබාලට කාර් සීට්

වාහනවල ගමන්කරනකොට ආරක්ෂක පටි හෙවත් සීට් බෙල්ට් පැළඳීමේ වැදගත්කම ගැන කලින් කථා කළානෙ. වැඩිහිටියන්ට ආරක්ෂක පටි පළඳින්න පුළුවන් උනාට පොඩි ළමයින්ට- විශේෂයෙන්ම ළදරුවන්ට- වාහනයේ තියන ආරක්ෂක පටි පළඳින්න බැහැනෙ. ඔවුන්ගෙ ආරක්ෂාවට විශේෂයෙන් සැලසුම්කළ ළදරු කාර් සීට් (Infant Car Seat) පාවිච්චි කරන්න ඕනෙ.

ලංකාවෙ ගොඩක් දෙනා ළදරුවන්ව වාහනවල යනකොට අතේ තමයි අරන් යන්නෙ. දරුවන්ව අතේ අරන් යන එක ආරක්ෂිතයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක බලලම තේරුම් ගන්නකෝ ඒක කොච්චර අනාරක්ෂිතද කියලා.

බස්-දුම්රිය වල යන යටත්, රෝද දෙකේ සහ තුනේ රථවල යන අයටත් වෙන විකල්පයක් නැති වුනාට කාර්, වෑන් වගේ පුද්ගලික වාහන වල යන අයට ළදරුවන්ව වඩාත් ආරක්ෂිතව අරන් යන්න පුළුවන් කාර් සීට් වල දාගෙන යනවා නම්. ඇමරිකාවෙ කළ අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා, කාර් සීට් භාවිතා කළහොත් කාර් වල ගමන් කරන ළදරුවන් (අත දරුවන්) අනතුරකදී මරණයට පත්වීමේ අවදානම 71% කිනුත්, අවුරුදු 1-4 දක්වා දරුවන් අනතුරකදී මරණයට පත්වීමේ අවදානම 54% කිනුත් අඩුවන බව.

මූලිකව කාර් සීට් වර්ග තුනක් විවිධ වයස්වල දරුවන් සඳහා පාවිච්චි කරනවා.

1. පසුපසට මුහුණලන ළදරු (Rear facing infant) කාර් සීට් . : මේවා යොදාගන්නේ වයස අවුරුදු 1 ට සහ බර කි.ග්‍රෑ. 10 ට අඩු ළදරුවන් සඳහායි. පසුපසට මුහුණලූ පරිවර්ත්‍ය (Rear facing convertible) කාර් සීට්.: මේ කාර් සීට් වර්ගය බිළිඳුන් සඳහා මෙන්ම වයස අවුරුදු 1 ට හා බර කි.ග්‍රෑ. 10ට වැඩි දරුවන් පසුපසට මුහුණලා ගමන් කරවීමට යොදාගත හැකියි.

2. ඉදිරියට මුහුණලූ පරිවර්ත්‍ය (Forward facing convertible) කාර් සීට් සහ ඉදිරියට මුහුණලන (Forward facing) කාර් සීට් : මේවා වයස අවුරුදු 1 ට වැඩි, පසුපසට මුහුණලන කාර් සීට් වල ගමන් කළ නොහැකි දරුවන් සඳහා යොදාගන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 6 දක්වා දරුවන්ට මේවායේ ගමන් කළ හැකියි.

3. උස වැඩිකරන වර්ගයේ (Booster) කාර් සීට් : ඉදිරියට මූණලන කාර් සීට් වල ගමන් කළ නොහැකි, නමුත් වැඩිහිටි සීට් බෙල්ට් පාවිච්චි කිරීමට නොහැකි දරුවන් සඳහායි මේවා පාවිච්චි කරන්නෙ. සාමාන්‍යයෙන් උස 4’9″ ට අඩු අවුරුදු 4-12 දක්වා දරුවන් මේ වර්ගයේ කාර් සීට් වල ගමන් කරනවා.

සමහර රටවල වාහනවල ළමුන් ගෙනයාම සඳහා කාර් සීට් පාවිච්චි කරන එක නීතිගත කරලා තියනවා. ඉපදුන ගමන් කිරිකැටි දරුවන්වත් ඉස්පිරිතාලෙ ඉඳලා ගෙදර ගේන ඕනෙ කාර් සීට් එකේ දාගෙනයි. (කාර් සීට් එකක් නැත්නම් ළමයව ගෙදර ගෙනියන්න දෙන්න නෑ කියනවනෙ!).

මේ කාර් සීට් සවිකරන්න හොඳම තැන ලෙස සලකන්නෙ කාර් එකක නම් පිටුපස ආසනයේ මැද.  එයාර් බෑග් තියන තැන්වල කාර් සීට් සවිකරන එක හොඳ නැහැ. ඒ අනතුරකදි එයාර් බෑග් වේගයෙන් පිම්බෙනකොට ළමයින්ට හානිවෙන්න පුළුවන් නිසයි. (පැති-තිර (Side curtain) එයාර් බෑග්වලට මේක අදාල නෑ.) මේ හේතුව නිසා වයස අවුරුදු 12ට අඩු ළමයින්ව කාර්වල පසුපස අසුනේ පමණක් රැගෙන යන ලෙසට උපදෙස් දෙනවා.

අනතුරකදී ළමුන්ගේ හිස, බෙල්ල සහ කොඳුඇට පෙළට වැඩි ආරක්ෂාවක් සැපයීමට ඉදිරිපසට මුහුණලූ කාර් සීට් වලට වඩා පසුපසට මුහුණලූ කාර් සීට් සමත්. ඒ නිසා හැකි තරම් කල් දරුවන්ව පසුපසට මුහුණලූ කාර් සීට්වල රැගෙන යෑම වැදගත්. මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙයි ඔය දෙකේ වෙනස.

දරුවෙක් අරන් වාහනේ යනකොට තියන තව ප්‍රශ්නයක්නෙ එලවන්නයි, ළමයව අරන් යන්නයි දෙන්නක් අවශ්‍ය වීම. කාර් සීට් පාවිච්චි කරන එකෙන් ඒ වැඩෙත් ලේසි වෙනවා. (ආරක්ෂාව තමා ඒ ඔක්කොටම වඩා වැදගත්.)

අපේ රටේ දෙමව්පියො තමන්ටත් වඩා දරුවන්ට ආදරෙයිනෙ. (පුද්ගලික) වාහනවල යනකොට තමන් ආරක්ෂක පටි පැළඳුවෙ නැතත් දරුවන්ට ආදරේ නම් කාර් සීට් එකක් පාවිච්චි කරන්න. ඉඳල-හිටල විතරක් පාවිච්චි කරන ප්‍රෑම් (Pram), ස්ට්‍රෝලර් (Stroller) ගන්න සල්ලි වියදම් කරන එක වෙනුවට දරුවෙක්ව වාහනේ අරන් යනකොට ආරක්ෂිතව අරන් යන්න පුළුවන් කාර් සීට් එකක් මිලට ගන්න එක හොඳයි නේද?.

කන්න-බොන්න නැතිව දරුවන්ව ගඟට විසි කරන රටේ, වාහනවල යන අයගෙ දරුවන්ව තවත් ආරක්ෂා කරන හැටි කියන ලිපි ලියන එකද කරන්නෙ ඕනෙ කියල හිතුනත්, කාට හෝ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසයි මේ ලිපිය ලිව්වෙ.

පින්තූර ගත්තෙ මෙතනින්.

http://www.healthychildren.org/English/safety-prevention/on-the-go/pages/Car-Safety-Seats-Information-for-Families-2010.aspx

ළදරු ක්ෂේමස්ථාන නීතියක අවශ්‍යතාවය

“දිනක් වයසැති ළදරුවා කුණු ගොඩක”. “උපන් ගමන් දැරිය වැසිකිලියේ දමා මව පැන ගිහින්”.

මේ වගේ ප්‍රවෘත්ති කීයක් එක සතියකට ඔබට අසන්න ලැබෙනවාද?

උපන් ගමන් ළදරුවන් තැන තැන දමා යාම අපේ රටේ පමණක් නොව ඇමරිකාවේද 1990 දශකයේ බරපතල ප්‍රශ්නයක්ව තිබුනා. මේ නිසා නීති සම්පාදකයින් එක්ව “ළදරු ක්ෂේමස්ථාන නීතිය” (Infant Safe-Haven law) නමින් නව නීතියක් සම්මත කර ගත්තා. 1999 දී ටෙක්සාස් ප්‍රාන්තයෙන් ඇරඹි මේ නීතිය, අද වනවිට ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම ක්‍රියාත්මක වනවා. එක් එක් ප්‍රාන්තයේ විවිධ වෙනස්කම් තිබුණද අළුත උපන් ළදරුවන් රෝහල්, හදිසි අනතුරු මධ්‍යස්ථාන, පොලිස් ස්ථාන, ගිනි නිවීමේ මධ්‍යස්ථාන, පල්ලි ආදී විවිධ ස්ථාන වලට භාරදීමේ පහසුකම් මේ නීතිය යටතේ පවතිනවා.

ඇතැම් ප්‍රාන්තවල වයස දින 3ක් දක්වා ළදරුවන් මෙලෙස භාරගන්නා අතර, තවත් ඒවායේ වයස අවුරුදු 1 දක්වා ළදරුවන් ක්ෂේමස්ථානවලට භාරදිය හැකියි. මේ ළදරුවන්ට අවශ්‍ය වෛද්‍ය සහ වෙනත් පහසුකම් සපයන අතර, ඉන්පසු සුදුසු පවුල්වලට භාරදෙනවා.

මෙහි විශේෂත්වය වනුයේ දරුවාගේ මවගේ හෝ වෙනත් පවුලේ විස්තර කිසිවක් නොවිමසීම හෝ යම් විස්තරයක් ලබාගත්තානම් ඒවා කිසිවෙකුට හෙලිදරව් නොකිරීමයි. මේ නිසා තමන්ගේ අනන්‍යතාවය රැකගෙන, තමාහට ඇති-දැඩි කිරීමට අපහසු දරුවන්ව සුදුසු පවුල් වලට භාර දීමට හැකි වෙනවා. අනවශ්‍ය ගබ්සා කිරීම් අඩු කිරීමටත්, ළදරු මරණ සංඛ්‍යාව අඩු කිරීමටත් මේ නීතිය උපකාරී වෙනවා.

උපදින සෑම දරුවාටම ජීවත්වීමේ අයිතිය හිමිවියයුතු බවයි මගේ හැඟීම. දෙමවුපියන්ට නොහැකිනම් සමාජය විසින් ඒ දරුවන්ගේ අනාගතය භාරගත යුතුයි. එයයි ශිෂ්ඨ සමාජයක වගකීම වියයුත්තේ. ළදරු ක්ෂේමස්ථාන නීතියක් ලංකාවටද ගෙන ඒමට මේ සුදුසු කාලයයි. ලංකාවේ තවත් ප්‍රශ්නයක්ව ඇති ළදරුවන් විකිණීම පාලනය කරගැනීමටද මෙමඟින් හැකිවනු ඇති. හදාගැනීම සඳහා දරුවන් සොයනා අයටද නීත්‍යානුකූලව ඒ සඳහා ඉඩ පහසුකම් සලසාදීම මෙවන් නීතියකින් කළ හැකියි.

ලඟ එන මැතිවරණයෙන් ජය ලබන පක්ෂය කුමක් හෝ වේවා, මෙවන් නීතියක් සම්මත කරගැනීමට ඔවුනට බලකිරීමට සිවිල් ක්‍රියාකාරීන්ගේ සිත් යොමු වේවා!

ආශ්‍රිත ලිපි

1.http://www.childwelfare.gov/systemwide/laws_policies/statutes/safehaven.cfm

2. http://www.nationalsafehavenalliance.org/