නැවත ලියමි

මාස තුනකට කිට්ටු කාලයක් සිතුවිලි සටහන් කිරීමට විරාමයක් තිබ්බෙ සටහන් කරන්න තරම් සිතුවිලි නොතිබුනු නිසා නොවෙයි. විවිධ වැඩ රාජකාරි වලට මුල් තැන දීම නිසා බ්ලොග්කරණය යටපත් වීමක් තමා සිද්ධ වුනෙ. රබර් බෝලෙ වතුරෙ එබුවා වගේ, සිතුවිලි සටහන් කරන්න තියන කැමැත්තත් යටපත් කරලම තියන්න බෑ. ඒ නිසා නැවතත් සිතුවිලි සටහන් කරන්නයි මේ සූදානම.

මම අන්තිම බ්ලොග් සටහන තිබ්බෙ ලංකාවෙ ඉඳලයි. ඊට දින කීපයකට පසුව නැවතත් ආදරණීය මවුබිම දාලා ලෝක පොලීසියට පියාඹන්න වුනා. ඒ ගමන ගැන විස්තරයක් ඊළඟ සටහනින් කියන්නම්.

මම නිහඬව සිටි කාලයෙත් ‘නදීගේ සිතුවිලි’ කියවපු සහ මාගැන විමසීම් කළ හැම දෙනාටම බොහොම ස්තුතියි.

මැයි පලවෙනිදා

අද මැයි පලවෙනිදා…ප්‍රධාන පක්ෂවලින් මැයි දින පෙලපාලි යන්නෙ නැති බව පුවත්පත්වල දැක්කා.

කාන්තාවන්ගෙ ශෝක දිනයට දේශපාලන පක්ෂවලින් පෙලපාලි නොයන්නෙ ඇයි?

වෙහෙසකාරී මැතිවරණවලින් දේශපාලන පක්ෂ මැලවිලාද?

එසේම වේවා

ඉස්සර ඉස්කෝලෙදි අලුත් අවුරුදු නිවාඩුව ඉවර වෙලා ආවහම සමහරු “සුභ අලුත් අවුරුද්දක් වේවා” කියලා කටපුරා සුභ පතනවා. ඒ අතරෙ තවත් කට්ටියක් සුභපතන්නෙ “එසේම වේවා” කියලයි. ඒක පස්සෙ පස්සෙ හැමෝම වගේ කරන්න ගත්තා. ඒ පුරුද්දට මමත් ඒ කාලෙ ඉඳලම අලුත් අවුරුද්දට යාළුවන්ට සුභ පතන්නෙ “එසේම වේවා” කියලයි.

“එසේම වේවා” කියල මුලින්ම කියන එකෙත් සමහරවිට වාසියක් තියෙනවා. වචනයෙන් “සුභ අලුත් අවුරුද්දක් වේවා” කියල සුභ පැතුවට හිත යටින් වෙන වෙන දේවල් හිතන අයත් නැතිව නෙවෙයිනෙ. අන්න ඒ අයට එසේම වේවා කියල මුලින්ම කිව්වහම හරි. මමනම් එසේම වේවා කියන්නෙ ඒ විදියෙ අය ගැන හිතල නෙවෙයි,  නිකං ආතල් එකටයි.

ඉතිං, හැමදෙනාටම එසේම වේවා එහෙනම්!

ඉර වටේ තවත් රවුමක්

හැමදාමත් ඉර වටේ අපේ ලෝකෙ කරකැවුන වගේ අදත් ඒ ගමන යනවා. හෙටත් එහෙම යයි. ඒත් ඉතින් හෙට අවුරුදුනෙ. හෙටින් පටන් අරගෙන ඉර වටේ තවත් රවුමක් යන්න ලෑස්ති වෙන්න සූදානම් වෙන අය බොහොමයි.

ලෝකෙ ඉර වටේ ගිය අන්තිම රවුමෙදි මොනතරම් දේවල් සිද්ධ උනාද? අපේ රටටම මොන තරම් දේවල් උනාද? අර මිනීමරු කොටින්ව පරද්දපු එක (ඒත් තාම දෙමළ ජාතිවාදය එහෙමමයි); රටේ මහතැනට පත්වෙන්න වීරයො දෙපලක් හැප්පුන හැටි; දියවන්නාවෙ කයි-කථා ශාලාවට එන්න දාස් ගාණක් කට්ටිය සල්ලි මිටි පිටින් වියදම් කරපු එක; මේ ටිකක් විතරයි. අපිට පුද්ගලිකව මොනතරම් දේවල් උනාද? ඊලඟ රවුම යනකොටත් ඉතින් තවත් මොනතරම් දේවල් සිද්ධ වෙයිද?

ගිය පාර නම් පිටරට ඉන්න අපිටත් නැකැතට කන වැඩේ හරි කරන්න පුළුවන් උනා. ඒත් මේ පාර කන්න තියෙන්නෙ මෙහෙ වෙලාවෙන් රෑ දෙගොඩහරියටනෙ. ඉතින් නැකතට වැඩ කරන්න වෙන්නෙ නෑ. (කොහොමත් ලංකාවෙදිත් කෑම කන නැකත ඇරෙන්න අනිත් ඒවා මායිම් කරන්නෙ නෑ නොවැ.) ඒ මදිවට සිංහල අවුරුද්ද කියලා අපිට නිවාඩු ලැබෙන එකක්යැ.

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල සුභපතනවා! ප්‍රාර්ථනා කළාටම ඉතින් හැමදේම සුභ විදියට වෙන්නෙ නෑනෙ. ඒ ලෝක ස්වභාවය. හොඳක්ම වෙයි කියල බලාපොරොත්තු වෙලා, නරකම දේටත් මුහුණදෙන්න ලෑස්තිවෙලා ඉර වටේ යන ඊලඟ රවුම යන්න පටන් ගන්න එහෙනම්!

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

මටත් හිතුනා බ්ලොග් ලියන්න

ආයුබෝවන් !

ටික දවසක ඉඳලා මමත් සිංහල බ්ලොග් කියවනවා. මටත් හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න.

ඔබ සැමගේ ප්‍රතිචාර බොහොම අගය කරනවා.