ඔන්න පොරොන්දු වුන විදියටම ගමරාල හීනැටි හාලෙ බත් කෑ හැටි කතාව අද ඉවර කරනවා. කතාවෙ මුල් ටික කියෙව්වෙ නැත්නම් කියවලා ඉන්නකෝ.
ඉතින් ගමරාල ගමමහගෙට රුක් දෙවියො කියන්න වගේ කීවනෙ හීනැටි හාලෙ බතුයි, කළුකුං මසුයි උයලා දෙන්න කියලා. කිව්ව වගේම ඊලඟ දවසෙ ඉඳන් ගමමහගෙ ගමපුරාම ඇවිදලා හීනැටි හාලුයි, කළුකුං මසුයි හොය හොයා උයලා ගමරාලට කන්න දුන්නලු. මේ විදියට කටට රහට උයලා දෙන හීනැටි හාලෙ බත් එක්ක කළුකුං මස් බඩ පිරෙන්න ගිලදාන ගමරාල ටික දවසක් යනකොට ගමමහගෙට කිව්වලු “අනේ බං, මගෙ ඇස් පෙනීමත් දැන් ටිකක් දුර්වලයි නොවැ” කියලා. රුක් දේවතාව කිව්ව සාස්තරේ හරියටම හරි කියල හිතාගත්ත ගමමහගෙ වැඩි-වැඩියෙන් ගමරාලට කන්න හීනැටි හාලෙ බතුයි කළුකුං මසුයි උයලා දුන්නලු.
මේ විදියට ටික දවසක් යනකොට ඇස් දෙක හොඳටම පේන්නෙ නැති වේගෙන එනබව ගමරාල කිව්වලු. කිව්ව විතරක් නෙවෙයි අන්ධයෙක් වගේ අත ගගා එහෙ මෙහෙ යන්න පටන් ගත්තලු. ගමමහගෙත් ඒ නිසා බය නැතිව තමන්ගෙ හොර මිනිහව ගෙදරටම ගෙන්න ගත්තලු. අන්ධයෙක් වගේ ගෙදර ඉන්න ගමරාල දැක්කලු ගමමහගෙ හොර මිනිහෙක් ගෙන්නගෙන තියෙන විත්තිය. ගමරාලට ඒ පාර තේරුනාලු තමන්ගෙ ඇස් අන්ධ කරන්න ගමමහගෙට ඕන වුනේ ඇයි කියලා. ගමරාල ඒත් මොකුත් වෙනසක් නැතිව හිටියලු අන්ධයෙක් වගේ.
ඊලඟ දවසෙ ගමරාල මහගෙට කිව්වලු “උඹ ගෙදර නැති වෙලේ බල්ලො ගේ ඇතුලට වැදිලා වළං පෙරලනවා. මට අර කිතුල් පොල්ල ලං කරලා දියංකො බං” කියලා. මේ අන්ධය පොල්ලෙන් මොනවා කරන්නඩ කියලා හිතලා ගමමහගෙත් විසාල කිතුල් පොල්ලක් ගමරාලට දුන්නලු. එදා හවස් ජාමෙ ගමමහගෙ ගෙදර නැති වෙලේ හොර මිනිහා ගෙට ගොඩ උනාලු. ගමරාල හොර මිනිහගෙ අත් දෙක බැඳලා කිතුල් පොල්ලෙන් බැට දුන්නලු. ගමරාල පොල්ලෙන් ගහපු පාර හොර මිනිහ මළාලු.
ගමමහගෙ ගෙදර ආවහම ගමරාල කිව්වලු “ඒයි මේ බලපංකො බං, කොයි ලොකෙන් හරි පර බල්ලෙක් මේ ගෙට වැදිලා එහෙ මෙහෙ දුව පනිනවා. මම කිතුල් පොල්ල ඔහෙ විසිකළා. ඌට ඒක වැදුනද මන්දා ඊට පස්සෙ හාංකවිසියක් නෑනෙ, පොඩ්ඩක් බලපංකො” කියලා.
ඒක අහලා ගමමහගෙ වටපිට බලනකොට තමන්ගෙ හොර මිනිහා මැරිල වැටිල ඉන්නව දක්කලු. “දැන් රාජ පුරුෂයො මේ මිනිහා හොයාගෙන එයි, එතකොට මං කම්මුතුයි.” කියලා හිතලා ගමමහගෙ හොඳටම බය උනාලු. ඒ පාර ගමමහගෙ මිනිය කෙහෙල් කොරටුවකට ඇදගෙන ගිහින් කෙහෙල් පඳුරකට හේත්තු කරලා පැනලා ආවලු.
ඒ කෙහෙල් කොරටුව ගමමහගෙගෙ තාත්තගෙලු. එදා රෑ කෙහෙල් කොටුව මුර කරන්න ගමමහගෙගෙ තාත්ත යනකොට අඳුරෙම දැක්කලු මිනිහෙක් කෙහෙල් පඳුරකට හේත්තු වෙලා ඉන්නවා. ගමමහගෙගෙ තාත්ත “එකත් එකටම මූ හොරෙක් තමා” කියලා හිතලා සද්ද නැතුව ගිහින් තමන් අතේ තිබ්බ පොල්ලෙන් එකක් දෑත බදලා දුන්නලු. ගහපු පාර එච්චර සැර නැතත් සද්දයක්වත් නැතුව ඒ මිනිහා බිමට පාත් වුන නිසා ගමමහගෙගෙ තාත්ත පන්දමක් ගෙනත් බලනකොට හොරා මැරිල කියල තේරුනාලු. රාජ පුරුෂයන්ට අහුවුනොත් ඉඳලා හමාරයි කියල බයවුන පාර ගමමහගෙගෙ තාත්තා මිනියත් කර ගහගෙන ගමේ කඩ මණ්ඩිය පැත්තට ගියාලු.
කඩමණ්ඩියෙ තියන ලුණු කඩේ ලෑල්ලක් අස්සෙන් මිනියෙ ඔළුව රිංගවලා ගමමහගෙගෙ තාත්ත පැනල ආවලු. සද්දයක් ඇහුන නිසා පොල්ලකුත් අරන් ඒ පැත්තට ගිය මුදලාලි “මේ හොරා ලෑල්ල අස්සෙන් ඔළුවත් දාල. හිටපිය තොට” කියලා පොල්ලෙන් පාරක් දුන්නලු. පස්සෙ ලඟට ඇවිත් බලනකොට ඒ මිනිහා මැරිල කියල දැක්කලු.
එතකොට එලියත් වැටීගෙන ආ නිසා මුදලාලි රාජ පුරුෂයන්ට දැන්නුවලු හොරා ගැන. ඒත් එක්කම කිව්වලු තමන් ගහපු පාරෙන් නම් මැරෙන්න විදියක් නෑ, කවුරු හරි මිනිය තියල ගිහින් වෙන්න ඇති කියලා.
කොහොම හරි මැරුන මිනිහගෙ පවුලෙ කවුරුත් හිටියෙ නැහැලු විලාප දීලා අඬන්න. අඬන කවුරුත් නැතිව මළ ගෙදර පාළු නිසා සල්ලි දීලා අඬන්න ගෑණුන්ව ගෙන්න ගත්තලු. (මීගමුව පැත්තෙ එහෙම ඔය වගේ ගෑණු තවමත් ඉන්නවද කොහෙද.) ගෑණුත් ඉතින් මිනිය බදාගෙන, විලාප දිදී, මර ලතෝනි තිය-තියා අඬනවලු කිඹුල් කඳුලු පෙර-පෙරා.
ඔය අඬන ගෑණු අතරෙ හිටි එක ගෑණියෙක් “ඉස්සරවෙලා මගෙ කරුමෙ. ඊ ගාවට අප්පගෙ කරුමෙ. ඊටත් පස්සෙ ලුණු මුදලාලිගෙ කරුමෙ” කිය කියා අඬනවලු. “ඒ මොකද කියලා” රාජ පුරුෂයො අහන්න ගත්තලු. ඒ පාර ගෑණිට (ගමමහගෙට) ඇත්ත නොකියා බැරි උනාලු. (ඒ කාලෙ රාජ පුරුෂයොත් දැන් අය වගේ උත්තර වමාරවන්න දන්නව ඇතිනෙ.) ඇත්ත එලි වුනාට පස්සෙ ගමමහගෙ වැරදිකාරිය කියලා තීරණය කරලා මරා දමන්න නියෝග කලාලු.
බස්නාහිර පළාතේ ජනකථාවකි.