බබාට නමක් 2

අපේ බබාට නමක් දාපු හැටි මීට කලින් සිතුවිල්ලකින් කියල තියනවා. මගේ සිතුවිලි අතරින් පාඨකයෝ වැඩිපුරම කියවපු සිතුවිල්ල තමා “බබාට නමක්“. ලංකාවේ අලුතින් ඉපදෙන දරුවෙකුට නමක් දාන්න දෙමව්පියෝ කොයි තරම් හොයනවද කියලා ඒකෙන්ම වැටහෙනවා. දැන් අහුබුදු ශූරීනුත් නැති එකේ අන්තර්ජාලයෙන් නම් හොයන එකත් ජයට වෙනවා වගේ.

එක බබෙකුට විශේෂ තේරුමකුත් නැති, අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්න නමක් කොහොම හරි  දැම්ම කියමුකො. ඊලඟ බබාටත් නමක් හොයන්න වෙන එක ඊටත් වඩා අමාරු කාරණයක් බව තේරුණෙ කරන්න යනකොට තමා.

ඇයි අමාරු? තේරුමක් නොතියෙන්නත් ඕනෙ; අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්නත් ඕනෙ; ඒ මදිවට අයියගෙ නම වගේ වෙන්නත් ඕනෙ කියලා අපි තීරණය කළානෙ. අනිත් එක මේ පාර කෙල්ලෙක්! කෙල්ලෙක්ගෙ නමක් වෙන්නත් ඕනෙ. ලේසි නෑ! ඒ මදිවට එකෙක් එක්ක වැඩපල කරගන්නෙ බොහොම අමාරුවෙන්, තව නමුත් හොයන්නම තමා වෙලාව තියෙන්නෙ.  එහෙමයි කියලා දරුවට නමක් නොදා පුළුවන්යෑ.

ඔන්න ඉතින් මේ පාර ලංකාවෙන් නම් ටිකක් ආනයනය කරලා නමක් හදාගන්න බැලුවා. මොන, ඒ නම් කිව්වහම හක්ක පනිනවා. ලොකු එකාට දාල තියන නම මෙහෙ ඉන්න සුද්දො කියන්නෙත් වරද්දලා. කොහොමත් වාසගමනම් රුවිත කරලා තමා කියන්නෙ. ආනයනය කළ නම් දැම්මොත් සුද්දො කියන්නෙ මුල අකුර විතරයි ෂුවර් එකටම. ඒ නම් ටික එහෙම්මම පැත්තකට දැම්මා.

මගෙ ඔළුවට ඇවිත් තිබ්බෙ අයියගෙ නමේ අකුරු ටික එහෙට මෙහෙට දාලා නමක් හදලා බලන්න. පොඩ්ඩක් එහෙට මෙහෙට කරකවනකොට මෙන්න නමක් සෙට් වුනා. අයියගෙ මැද නම කෙල්ලෙකුට ගැලපෙන විදියට වෙනස් කළා. ඔන්න දැන් කෙලි පොඩ්ඩෙකුට හරියන්න නමක් තියනවා. ඒත් ඉතින් මේ නම බැකප් එකක් විදියට තියාගෙන ඊට වඩා හොඳ නමක් ලැබුනොත් දානවා කියලා හිතන් හිටියෙ. ඒත් හරියන නමක් ලැබුනෙ නෑ. ඒ මදිවට මේ කෙල්ලට ඉක්මනට ලෝකෙ බලන්න එන්න ඕනෙ වුනානෙ. ඉතින් මක්ක කොරන්නද? අර බැකප් නම අනුමත කරලා නාමාරූඪ කළා.

අයියා “නදිත දිල්මික”. නංගි “තිනුදි දිලුනිකා”.

මේ ඉන්න කෙලි පොඩ්ඩ ඉපදිලා දවසකින්.
අයියයි නංගියි දැන් ටිකක් ලොකුයි.

Z ස්කෝර් ගැන කෙටියෙන්

මම සංඛ්‍යාන විශේෂඥයෙක් නම් නෙවෙයි. මට වැටහෙන විදියට z-ස්කෝර්  ගැන කෙටි හැඳින්වීමක් මේ. අඩුපාඩු තියනවානම් පෙන්වලා දෙන්න.

z-ස්කෝර් වලට කලින් මොකද වුනේ?

2000 වසරේදි උසස්පෙළ ලකුණු වලට z-ස්කෝර් හඳුන්වලා දෙන්න ඉස්සර තිබුනෙ ශිෂ්‍යයා මුහුණදුන් විෂයයන් හතරේම මුළු ලකුණු එකතු කර, එකතුව අනුව ජාතික සහ දිස්ත්‍රික් පදනමින් අනුතැන (rank) සකස් කිරීමයි. විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී බොහෝ පාඨමාලා සඳහා 40% ක් ජාතික පදනමිනුත්, 60% දිස්ත්‍රික් පදනමිනුත් බඳවා ගන්නවා. මේ අනුතැන පදනම් කරගෙන තමා ඒ ඒ පාඨමාලා සඳහා සිසුන් තෝරාගත්තේ.

ඇයි z-ස්කෝර් පාවිච්චි කරන්න ගත්තේ?

මූලික වශයෙන්ම 2000 වසරේදී පැරණි නිර්දේශය යටතේ විෂයයන් 4 කට පෙනී සිටි සහ නව නිර්දේශය යටතේ විෂයයන් 3 කට පෙනී සිටි සිසුන් විශ්ව විද්‍යාල වලට තෝරා ගැනීමේදී මේ දෙපිරිස සාමාන්‍යකරණයකට ලක් කිරීමටයි. එනම්, දෙපිරිසම එකම විභාගයකට මුහුණ දුන්නා සේ සලකා අනුතැන් ගණනය කිරීමටයි.

මෙය හුදෙක් මධ්‍යන්‍ය (average) ලකුණු වලින් පමණක් කළොත් යම් පිරිසකට අසාධාරණයක් වෙනවා. උදාහරණයක් ලෙස ගණිත අංශයෙන් උසස් පෙළට පැරණි නිර්දේශයෙන් පෙනීසිටි සිසුවෙක් විෂයයන් 4 ට ලකුණු 280 ක් ලබා ගත්තා යැයි සිතමු. නව නිර්දේශය යටතේ ගණිත අංශයෙන් පෙනී සිටි සිසුවෙක් විෂයයන් 3 ට මුළු ලකුණු 210 ක් ලබා ගත්තා යැයිද සිතමු. මධ්‍යන්‍ය අනුව මේ සිසුන් දෙදෙනාගේම අනුතැන සමාන විය යුතුයි. එහෙත් මේ දෙදෙනා පෙනී සිටි ප්‍රශ්න පත්‍ර එක සමාන නෑ. උදාහරණයක් ලෙස භෞතික විද්‍යාව නව නිර්දේශ ප්‍රශ්න පත්‍රය සාපේක්ෂව පහසුයැයි සිතමු. එවිට නව නිර්දේශ සිසුන් පොදුවේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට වැඩි ලකුණු ලබා තිබෙනවා. එවිට ඉහත පැරණි නිර්දේශ සිසුවා අපහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තද, ඔහුගේ අනුතැන පහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණදුන් සිසුවාගේ අනුතැනට සමානයි. පොදුවේ ගත්තොත්, පහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණ දුන් නව නිර්දේශ සිසුන් ඉහල අනුතැන් හිමිකර ගන්නවා ඇති. මධ්‍යන්‍යය ක්‍රමයෙන් යම් සිසුන් කොට්ඨාශයකට අසාධාරණයක් වෙන බව පැහැදිලි ඇති.

කොහොමද z-ස්කෝර් හොයන්නේ?

යම් සිසුවෙක්ගේ එක් විෂයක z-ස්කෝර් එක ගණනය කරන්නේ ඒ සිසුවා ලබාගත් ලකුණු ප්‍රමාණය සියළුම සිසුන් එම විෂයට ලබාගත් සාමාන්‍ය ලකුණු ප්‍රමාණයට සාපේක්ෂවයි. z-ස්කෝර් අගය සාමාන්‍යයෙන් -4 සිට +4 දක්වා අගයක්. z-ස්කෝර් අගය 0 නම්, එම සිසුවාගේ එම විෂයේ ලකුණු ප්‍රමාණය විෂයේ මධ්‍යන්‍ය ලකුණු ගණනට සමානයි. z-ස්කෝර් අගය +1 නම් ඔහුගේ ලකුණු ප්‍රමාණය 84% සිසුන්ගේ ලකුණු වලට වඩා වැඩියි. එම අගය +2 නම්, ඔහුට වඩා අඩුවෙන් ලකුණු ගත් සිසුන් ප්‍රමාණය 97% ක්. z-ස්කෝර් අගය -1 නම්, ඔහුට වඩා අඩුවෙන් ලකුණු ගත් සිසුන් ප්‍රමාණය 16% ක් පමණයි. වැඩි z-ස්කෝර් අගයක් යනු වැඩි අනුතැනක් බව පැහැදිලි ඇති. එක් එක් විෂයට ගණනය කරන z-ස්කෝර් අගයන් මඟින් මධ්‍යන්‍ය z-ස්කෝර් අගයක් ගණනය කරනවා. ප්‍රතිඵල සටහනේ පෙන්නන්නේ මේ z-ස්කෝර් අගයයි.

z-ස්කෝර් අගය අනුව තේරීම සාධාරණද?

මධ්‍යන්‍ය ක්‍රමයේදී දුෂ්කර ලෙස නම් කළ දිස්ත්‍රික්කවල සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී වැඩි වාසියක් සිදු වුනා. z-ස්කෝර් ක්‍රමයෙන් එම වෙනස අඩුවී තිබෙනවා. කෙසේ වෙතත් 2001 සහ 2002 වසර වලදී විශ්ව විද්‍යාල ප්‍රවේශයට z-ස්කෝර් ක්‍රමය යොදාගැනීම නිසා අසාධාරණයට ලක්වූ ඇතැම් පැරණි නිර්දේශ සිසුන් අධිකරණයේ පිහිට පතා, විශ්ව විද්‍යාල වලට ඇතුල් වුනා.

z-ස්කෝර් හොයන එක අමාරුද?

සංඛ්‍යාන මෘදුකාංගයක් මඟින් z-ස්කෝර් අගයන් හොයන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. එහෙත් ජාතික සහ දිස්ත්‍රික් අනුතැන සොයද්දී නම් එක් පාඨමාලාවකට අදාල විෂය සංයෝජන ගැන සැලකිලිමත් විය යුතුයි.

මොකක්ද වුන ප්‍රශ්නය?

විභාග දෙපාර්තමේන්තුවෙන් කොතැන අනාගත්තද කියලානම් මම දන්නෙ නෑ. ඒත් විෂය නිර්දේශ දෙකකට z -ස්කෝර් ගණනය අනාගන්න තරම් සංකීර්ණ වැඩක්වත්, මීට කලින් කරල නැති වැඩක්වත් නෙවෙයි.

අනාගතේදි මොනවද වෙන්න ඕනෙ?

කෙටිකාලීනව නම් නිවැරදි z-ස්කෝර් අගයන් නිකුත් කිරීමයි. (දැනටමත් ඒක කරලා, ඒත් නිවැරදිද කියන්න නම් දන්නෙ නෑ.)

මේ ක්‍රමයේ තියෙන ලොකුම අඩුපාඩුව තමා විනිවිද නොපෙනීම. z-ස්කෝර් ක්‍රමය පටන් ගත් දිනයේ පටන් ජාතික මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් එක් එක් විෂය සඳහා මධ්‍යන්‍ය සහ සම්මත අපගමන (standard deviation) අගයන් නිකුත් කර නෑ. z-ස්කෝර් අගයන් ගණනය වඩාත් විනිවිද පෙනිය යුතුයි. මධ්‍යන්‍ය අගයන් සහ z-ස්කෝර් සූත්‍ර ප්‍රසිද්ධ කිරීම විනිවිද බවට අත්‍යාවශ්‍යයි.

රටේ සියළුම පාසල් එකම මට්ටමකට ගෙන ඒමට ගෙන ඒමට නොහැකි නිසයි දිස්ත්‍රික් කෝටා ක්‍රමය හඳුන්වා දී ඇත්තේ. එහෙත් එකම දිස්ත්‍රික්කයේ පාසල් වල වෙනස්කම් මේ ක්‍රමයෙන් සැලකිල්ලට බඳුන් වෙන්නේ නෑ. ඒ වෙනුවට වඩාත් නිවැරදි ක්‍රමයක් වන්නේ එක් එක් පාසැලට ශ්‍රේණි ක්‍රමයක් හඳුන්වාදී, ඒ අනුව කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. එවිට එකම දිස්ත්‍රික්කයේ ඇති සුපිරි පාසල් සහ අඩු පහසුකම් ඇති පාසැල් වලට එකම විදියකට සැලකීම නැති වේවි. එමෙන්ම සුපිරි පාසැල් වලට ඇති අධික ඉල්ලුම අඩුවීමටද එය උදව් වේවි.

ජපානයේ න්‍යෂ්ටික බලාගාරයට මොකද වුනේ

ජපානයේ සුනාමි විපතින් පස්සෙ ෆුකුෂිමාහි දායි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ සිදුවුන දේ ගැන මාධ්‍ය වලින් ගෙන එන වාර්තා බොහොම බිය දනවන සුළුයි. ඇත්තටම න්‍යෂ්ටික බලාගාරයේ වුන පිපිරීම මොකක්ද? ඒකෙන් වෙන බලපෑම් මොනවද? ලංකාවටත් විකිරණ වළාකුළු එයිද?

 

න්‍යෂ්ටික බලාගාරයක්න්‍යෂ්ටික බලාගාරයකින් මූලිකවම වෙන්නෙ වතුර උතුරවලා හුමාලය හදන එකයි. ඒ හුමාලය පාවිච්චි කරලා ටර්බයින(turbine) යන්ත්‍ර කරකැවීමෙන්, විදුලි උත්පාදකයක් (generator) මඟින් විදුලිය නිපදවා ගන්නවා. බලාගාරයේ “ද්විතීයක” (secondary) ගොඩනැඟිලි ඇතුලෙ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් වෙන්නෙ නෑ. විදුලිය නිපදවන ටර්බයින සහ ජෙනරේටර තියෙන්නෙත්, වතුර පොම්ප තියෙන්නෙත් ඒ ගොඩනැඟිලි වල. වතුර සිසිල් කරන්න ලොකු සිසිලන කුළුනකුත් (cooling tower) බලාගාරවල තියනවා.

උඩින් තියන රූපයේ “මූලික”(primary) කියලා නම් කළ කොටස ඇතුලෙ තමා න්‍යෂ්ටික විඛණ්ඩනය (nuclear fission) සිදු වෙන්නෙ. ප්‍රතික්‍රියාකාරක කුටීරය ඇතුලෙ තියන (reaction core) න්‍යෂ්ටික ඉන්ධන විඛණ්ඩනයෙදි විශාල තාපයක් පිටවෙනවා. මේ තාපය අධික පීඩනයක් යටතේ තියන වතුර (හෝ වෙනත් සිසිලකයක්) මඟින් හුමාල ජනකයක් වෙතට අරගෙන යනවා. තාපය හුවමාරු වෙලා හුමාල ජනකය ඇතුලෙදි හුමාලය හැදෙනවා. ඒ හුමාලය තමා විදුලිය නිපදවන්න පාවිච්චි කරන්නෙ.

භූමිකම්පාවෙන් මොකක්ද වුනේ?

න්‍යෂ්ටික බලාගාරයක තාපය නිපදවීම පාලනය කරන්න “පාලක යෂ්ඨි” (control rods) තියනවා. න්‍යෂ්ටික ඉන්ධන අහුරලා තියන “ඉන්ධන යෂ්ඨි”(fuel rods) අතරට මේ පාලක යෂ්ඨි පහත් කරනකොට තාපය නිපදවීම අඩු වෙනවා. පාලක යෂ්ඨි උස්සනකොට තාපය නිපදවීම වැඩි වෙනවා. ජපානයට ඇතිවුනු භූමිකම්පාවෙන් න්‍යෂ්ටික බලාගාරයට වුන මුල්ම දේ තමා ස්වයංක්‍රීයවම පාලක යෂ්ඨි ඉන්ධන යෂ්ඨි වෙතට පහත් වීමෙන් තාපය නිපදවීම  නැවතුන එක.

එහෙනම් මොකක්ද ප්‍රශ්නය?

න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව නැවතුනත්, ඒ කුටීරය බොහොම උණුසුම්. ඒ නිසා ප්‍රතික්‍රියාකාරකය සිසිල් කරන්න දිගටම වතුර පොම්ප කළ යුතුයි. නමුත් බලාගාරය නතරවුනාම පොම්ප ක්‍රියාත්මක කරන්න විදුලිය ඕනෙ. ඒකට බාහිර විදුලි උත්පාදකයක් අවශ්‍යයි. ඩීසල් ජෙනරේටරයක් පාවිච්චි කරලා පොම්ප ක්‍රියාත්මක කළත්, පසුව (සුනාමිය නිසා?) ඒ ඩීසල් ජෙනරේටරය ක්‍රියාවිරහිත වුනා. ඒ නිසා ප්‍රතික්‍රියාකාරකය ඇතුලෙ උෂ්ණත්වය අනතුරුදායක විදියට ඉහල ගියා. ඊට අමතරවට මේ ගොඩනැගිලි වල, පාවිච්චි කර ඉවත දැමිය යුතු න්‍යෂ්ටික ඉන්ධන යෂ්ඨි වතුරේ ගිල්වා ගබඩාකර තිබෙනවා. ඒවටත් සිසිලනයට  වතුර නැති වුවොත් උෂ්ණත්වයට ඉහල යනවා.

උෂ්ණත්වය වැඩිවුනාම මොකද වෙන්නෙ?

න්‍යෂ්ටික ඉන්ධන ගබඩාකරල තියන ලෝහමය ආවරණය අධික උණුසුමට දියවෙලා, න්‍යෂ්ටික ඉන්ධන ප්‍රතික්‍රියාකාරකයේ පතුලට එකතුවෙනවා. එතකොට ඉන්ධන යෂ්ඨි වලින් විකිරණ (radiation) පිටවෙනවා.

ඒ විකිරණ පරිසරයට පිටවෙනවද?

ප්‍රතික්‍රියාකාරකයේ පතුලට න්‍යෂ්ටික ඉන්ධන එකතුවුනාට පරිසරයට විකිරණ පිටවීම අනිවාර්ය නෑ. ප්‍රතික්‍රියාකාරකය වටා ඇති ගොඩනැගිල්ල (containment vessel) හදලා තියෙන්නෙ අඩි 4 ක පමණ ගණකමකින් යුත් කොන්ක්‍රීට් තට්ටුවකින්. ඒ ගොඩනැගිල්ල සැලසුම් කරන්නෙ අනතුරකදී විකිරණ පරිසරයට කාන්දු නොවී, ඒ ව්‍යූහය ඇතුලෙම රඳවාගන්න පුඵවන් වෙන විදියටයි.

එහෙනම් කොහොමද විකිරණ කාන්දු වුනෙ?

භුම්කම්පාවෙන් ගොඩනැගිල්ලේ ව්‍යුහයට හානි වෙන්න ඇති. ඊට අමතරව පිපිරීම් වලිනුත් හානි සිදුවෙලා තියනවා. ඒ හානි නිසා විකිරණ යම් තරමක් පරිසරයට කාන්දු වෙනවා.

මොකක්ද මේ සිදුවුන පිපිරීම?

න්‍යෂ්ටික පිපිරීමකින් නම් අනිවාර්යයෙන්ම විශාල හානියක් වෙනවා. නමුත් මෙතැනදී වෙලා තියෙන්නෙ හයිඩ්‍රිජන් පිපිරීමක්. සිසිලනයට ඇති තරම් වතුර තිබුනෙ නැති නිසා අධිකව රත්වූ ඉන්ධන යෂ්ඨි, පසුව පොම්ප කළ වතුරත් සමඟ ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රිජන් වායුව හැදිලා. ඒ වායුව කපාට සහ වෙනත් සිදුරු හරහා කාන්දු වී තිබෙනවා. හයිඩ්‍රිජන් වායුව, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමේදී පිපිරීමක් ඇති වෙනවා. මේ පිපිරීම් වලින් බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක 6 න් කීපයක මූලික ගොඩනැගිලි  (containment vessel) වලට හානි වී තිබෙනවා.

දැනට හානිය මොකක්ද?

ප්‍රතික්‍රියාකාරක 6 න් 3 කම ඉන්ධන යෂ්ඨි තරමක් දුරට හෝ දියවීමට ලක්ව ඇතැයි සැක කරනවා. සීසියම් (caesium) යනු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවේ අතුරුඵලයක්. එය න්‍යෂ්ටික ඉන්ධන ගබඩාකර ඇති සර්කෝනියම් මිශ්‍රලෝහයෙන් (zirconium alloy) පිටට එන්නේ එම මිශ්‍රලෝහය දියවුනොත් විතරයි. නමුත් සීසියම් පිටවී ඇතිබවට වාර්තා වුනා. ඒ නිසා ප්‍රතික්‍රියාකාරක කුටිය ඇතුලෙ ඉතා ඉහල (සෙල්සියස් අංශක 2,700-2,800 පමණ) උෂ්ණත්වයක් ඇතිවී  ඉන්ධන යෂ්ඨි සමහරක් හෝ දියවී ඇති බවට සැක කළ හැකියි. සක්‍රිය වගේම අක්‍රිය න්‍යෂ්ටික ඉන්ධන යෂ්ඨි (වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ මේවා) වලිනුත් ඉන්ධන කාන්දු වෙමින් පවතින බවට සැක කරනවා.

දැනට හානිය වලක්වන්න කරන්නෙ මොනවද?

ඉන්ධන යෂ්ඨි සිසිල්ව තියාගන්න පුඵවන්තරම් වතුර පොම්ප කරන එක තමා දැනට කරන්නෙ. ගිනිනිවන පොම්ප, හෙලිකොප්ටර්, කැරලි මැඩපැවැත්වීම් වලට යොදාගන්නා වතුර පොම්ප ආදී දේවල් යොදාගෙන දිගටම ප්‍රතික්‍රියාකාරක වලට වතුර යවන එක දිගම කරනවා. ඊට අමතරව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවේ වේගය බාල කරන්න  බෝරික් අම්ලයත් යොදාගන්නවා.

වෙන්න පුඵවන් මොනවගේ දෙයක්ද?

දැනට යන විදියට ඉන්ධන යෂ්ඨි දිගටම සිසිල් කරගන්න පුඵවන් වුනොත්, පරිසරයට සිදුවෙන හානිය අඩුයි. බලාගාරයේ සිට කිලෝමීටර් 25 ක් වගේ ප්‍රදේශයකට තමා හානියක් වෙන්නෙ. නමුත් මොකක් හරි හේතුවකට බලාගාරයේ උෂ්ණත්වයට පාලනයට කරන්න බැරි වුනොත්, විශාල විකිරණ කාන්දුවක් සිදුවේවි. එය 1986 චර්නොබිල් ඛේදවාචකයට දෙවැනි වන එකක් නෑ.

විකිරණ වළාවක් ලංකාවටත් එයිද?

ලොකු අනතුරක් වුනොත් එහෙම වෙන්න බැරිකමකුත් නෑ. ඒත් ඉඩකඩ බොහොම අඩුයි. සුළං මත ඒක තීරණය වේවි. (ඔයිට වඩා බරපතල හානියක් කරපු හිරෝෂිමා-නාගසාකි පරමාණු බෝම්බ වලින් ඇතිවුනු විකිරණ වළාව ලංකාවට ඇවිත් හානියක් කළායැ! )

මම න්‍යෂ්ටික බලය ගැන විශේෂඥයෙක් නෙවෙයි. මම දන්න විදියට කරුණු සටහන් කළා. වැරැද්දක් තියනවානම් පෙන්වලා දෙන්න.

න්‍යෂ්ටික බලාගාර ගැන ලිපි කීපයක් මීට පෙර අල්කෙමියාගේ සහ මැදපිලිවෙත බ්ලොග් වල ලියැවුනා.

පින්තූරෙ ගත්තෙ මෙතැනින්. http://www.nrc.gov/reading-rm/doc-collections/fact-sheets/3mile-isle.html

ලිනක්ස් වලට කොන්කි

ලිනක්ස් පාවිච්චි කරන අයට තමන්ගෙ පරිගණකයේ තත්ත්වය නිරීක්ෂණය කරන්න (system monitor) සහ desktop එකේ අලංකාරය සඳහා පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් තමා කොන්කි (Conky). කොන්කි භාවිතයෙන් ලබාගත් desktop මුලින්ම බලලා ඉමුකෝ.

කොන්කි කියන්නෙ සැහැල්ලු, අකුරු මත පදනම් වූ පද්ධති නිරීක්ෂණ මෘදුකාංගයක්. කොන්කි භාවිතයෙන් අපිට පරිගණකයේ මතකය, CPU, දෘඩ තැටිවල ඉඩ, උෂ්ණත්වය වගේ දේවල් පරිගණක තිරයේ පෙන්වන්න පුළුවන්. ඊට අමතරව අන්තර්ජාලයට සම්බන්ධ නම් කාලගුණය වගේ විස්තරත් පෙන්නන්න පුළුවන්. අපි බලමු කොහොමද කොන්කි එක්ක වැඩ කරන්න කියලා.

මුලින්ම කොන්කි පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕනෙ. ඒකට පහත විධානය ටර්මිනලයක ක්‍රියාත්මක කරන්න.

sudo apt-get install conky

ඊට පස්සෙ හෝම් ඩිරෙක්ටරි එකේ .conkyrc කියලා ෆයිල් එකක් හදාගනිමු.

gedit ~/.conkyrc

අපි මුලින්ම බොහොම සරල දෙයක් කොන්කි මඟින් අපේ desktop එකේ පෙන්වමු. පහත දේ අපි හදාගත්ත .conkyrc වල paste කරන්න. (.conkyrc කියන්නෙ සැඟවුනු ෆයිල් එකක්. හෝම් ඩිරෙක්ටරියේ ඇති සැඟවුනු ෆයිල් බලන්න ctrl+H මඟින් පුළුවන්.)

update_interval 2

own_window yes
own_window_type desktop

use_xft yes
xftfont DejaVu Sans:size=14

alignment top_right

TEXT
${time %H:%M}

.conkyrc file එක save කරලා වහලා දාන්න. ඊටපස්සෙ අපිට පුළුවන් ටර්මිනලයක හෝ Alt+F2 වල පහත විධානය මඟින් කොන්කි ක්‍රියාත්මක කරන්න.

conky

ඔබේ එකේ ඉහල දකුණු කෙළවරේ වෙලාව (පැය 24 ඔරලෝසුවෙන්) පෙන්වනු ඇති. ඔබට කොන්කි ක්‍රියාත්මක වීම නවත්වන්නට අවශ්‍ය නම් (වෙනම ටර්මිනලයක) පහත විධානය පාවිච්චි කරන්න.

killall conky

කොන්කි ක්‍රියාත්මක වෙද්දීම එහි වෙනස්කම් කරන්න පුළුවන්. .conkyrc ෆයිල් එකේ අවශ්‍ය වෙනස්කම් කර එය save කිරීම මඟින් අදාළ වෙනස්කම් සිදු වෙනවා.

අපි පාවිච්චි කළ කොන්කි විධාන ටික මොනවාදැයි බලමු.

update_interval 2: මෙයින් කියන්නේ තත්පර කීයකට වරක් තිරයේ දර්ශනය යාවත්කාල විය යුතුද යන්නයි. කාලය තත්පර 1.5 ආදිය යොදාගන්නත් පුළුවන්.

own_window yes : කොන්කි වෙනම රාමුවක පෙන්විය යුතු බව.

own_window_type desktop : එය ඩෙස්ක්ටොප් පින්තූරයක් මෙන් සෑම workspaceඑකකම පෙන්විය යුතු බව.

use_xft yes : පොදු ෆොන්ට් එකක් භාවිතා කළ යුතු බව.

xftfont DejaVu Sans:size=14 : පොදු ෆොන්ට් වර්ගය සහ විශාලත්වය.

alignment top_right : තිරයේ කොන්කි පෙන්විය යුතු තැන. මේ සඳහා top වෙනුවට middle, bottom ලෙසත්, right වෙනුවට left, middle ලෙසත් යොදාගන්න පුළුවන්.

TEXT කියන පේලියට පහලින් ලියවෙන (කොන්කි විධාන හැර) සෑම දෙයක්ම තිරයේ දිස්වෙනවා. කොන්කි විධාන ${විධානය} ලෙස ඇතුලත් කළ යුතුයි. උදාහරණ ලෙස අපි ඉහත .conkyrc ෆයිල් එකේ අගට Sri Lanka ඇතුල් කර save කළොත්, තිරයේ Sri Lanka දිස් වනු ඇති. අපි ${nodename} ${sysname} ${kernel} එකතු කළොත්, ඔබේ පරිගණකයේ නම, මෙහෙයුම් පද්ධතිය සහ ලිනක්ස් කර්නල් එක පෙන්වනු ඇති.

මේ විදියට අපිට තිරයේ දිස්වෙන්නට අවශ්‍ය දේවල් කැමති විදියට වෙනස්කර ගන්නට පුළුවන්. පහල තියෙන්නෙ අන්තර්ජාලය නැතිව පද්ධතියේ තත්ත්වය තිරයේ පෙන්වීමට පුඵවන් කොන්කි පිටපතක් (script).

#ඩෙස්ක්ටොප් පින්තූරයක් ලෙස තිබිය යුතු බව
background yes
#පොදු අකුරු වර්ගයක් පාවිච්චි කල යුතු බව
use_xft yes
#පොදු අකුරු වර්ගය සහ විශාලත්වය
xftfont Sans:size=8
#යාවත්කාල වන කාල අන්තරය (තත්පර වලින්)
xftalpha 1.0
update_interval 1.0
#කී වතාවක් කොන්කි ක්‍රියාත්මක විය යුතුද යන්න. (0 = නොනවත්වා)
total_run_times 0
#වෙනම රාමුවක්
own_window yes
#රාමුව පාරදෘශ්‍යද යන්න
own_window_transparent yes
#රාමුව ගැන විස්තර
own_window_type override
#ගැස්සීමකින් තොරවීමට
double_buffer yes
#අවම විශාලත්වය (දිග හෝ පලල)
minimum_size 200 200
#උපරිම පලල
maximum_width 200
#රාමුවට සෙවනල්ලක් අවශ්‍යද
draw_shades no
#අකුරු වටේට කොටවුක් අවශ්‍යද
draw_outline no
#රාමුව වටේට කොටවුක් අවශ්‍යද
draw_borders no
#ප්‍රස්තාර වටේට කොටුවක් අවශ්‍යද
draw_graph_borders yes
#මූලික පාට
default_color white
#මූලික සෙවනැලිවල පාට
default_shade_color black
#මූලික දාර වල පාට
default_outline_color white
#තිරයේ පෙන්විය යුතු තැන
alignment top_right
#තිරස් අතට තිරයේ කොණේ සිට තිබිය යුතු ඉඩ
gap_x 12
#සිරස් අතට තිරයේ කොණේ සිට තිබිය යුතු ඉඩ
gap_y 12
no_buffers yes
uppercase no
cpu_avg_samples 2
override_utf8_locale no

TEXT
#මෙතැනින් පහලට ඇති දේවල් තිරයේ දිස්වෙනු ඇති
COMPUTER ${hr 1}

 Name${alignr}$nodename
 O.S.${alignr}Ubuntu-$sysname
 Kernel${alignr}$kernel
 Architecture${alignr}$machine

SYSTEM USAGE${hr 1}

CPU USAGE:
 CPU1${alignr} ${cpu cpu1}%
 CPU2${alignr} ${cpu cpu2}%
 ${font sans:normal:size=8}${cpugraph cpu0}

PROCESSES:
 Loaded${alignr} $processes
 Running${alignr} $running_processes

RAM:
 Available${alignr}$memmax
 Using${alignr}$mem
 ${font sans:normal:size=8}${memgraph}

RAM USER:
 ${top name 1}$alignr${top mem_res 1}
 ${top name 2}$alignr${top mem_res 2}
 ${top name 3}$alignr${top mem_res 3}
 ${top name 4}$alignr${top mem_res 4}
 ${top name 5}$alignr${top mem_res 5}

FILESYSTEM ${hr 1}

ROOT:
 Available${alignr}${fs_size /}
 Free${alignr}${fs_free /}
 Percent Free${alignr}${fs_free_perc /}%
HOME:
 Available${alignr}${fs_size /home}
 Free${alignr}${fs_free /home}
 Percent Free${alignr}${fs_free_perc /home}%
SWAP:
 Available${alignr}$swapmax
 Free${alignr}$swapfree

DATE ${hr 1}
${alignc 40}${font Sans MS:size=30}${time %H:%M}${font}
${alignc -5}${time %a %d %b %Y}

ඒකෙන් අපිට ලැබෙන දර්ශනය මේ වගේ.

Simple Conky

ඔබට පරිගණකය පණගැන්වෙද්දිම කොන්කි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් System -> Preferences -> Startup Applications ->Add වලට Conky විධානය ලබා දෙන්න. ටර්මිලයක

sudo gedit /etc/fstab

ක්‍රියාත්මක කරන්න. /etc/fstab වලට conky එකතු කරන්න.

ඔබට කොන්කි පිටපත් ගැන වැඩි විස්තර ලබාගන්න පුඵවන් පහත සබැඳි වලින්.

http://conky.sourceforge.net/docs.html

http://ubuntuforums.org/showthread.php?t=281865

http://crunchbanglinux.org/forums/topic/59/my-conky-config/

රජවරු පෙරලීම

ඔන්න එකමත් එක කාලෙක රජෙක් හිටියා. මේ රජා හරිම නපුරු පාලකයෙක්. තමන්ගෙ මාළිගාවට වෙලා ඉන්න මේ රජාට රට වැසියො හැමෝම හරිම බයයි. රජා කෝප වුනොත් මහා විනාශයක් වෙයි කියන බය තමා හැමෝටම තිබ්බෙ. තමන්ගෙ රාජධානියෙ වැසියන් හම්බු කරන හැම දේකින්ම කප්පම් අරගෙන තමා මේ රජා ජීවත් වුනෙ.

මේ රටේ වැසියොත් එක්ක වෙනත් රටක අය හරිම තරහයි. ඒ රටවල් දෙකේ වැසියො නිතරම යුද්ධ කර කර තමා හිටියෙ. එක දවසක් අනිත් රටේ වැසියෙක්, නපුරු රජාගෙ රටේ බොහොම ප්‍රබල කෙනෙක්ව අල්ලගත්තා. ඒ කපටි වැඩකින් අර ප්‍රබලයව දුර්වල කරලයි. ඉතින් මෙ ප්‍රබලයට මොකුත් කරගන්න බැරිව ඉන්නකොට ටිකෙන් ටික එයාව මුල් තත්වයට ගේන්න අර අල්ලගත්ත කෙනා උදව් කළා. ඒ නිසා ඒ ප්‍රබල කෙනා, අර අල්ලගත්ත කෙනත් එක්ක යාළු වුනා.

ඊට පස්සෙ අර ප්‍රබලයගෙ උදව්වෙන් නපුරු රජා ගැන විස්තර දැනගත්ත අනිත් රටේ අය, නපුරු රජාව මරා දාන්න සැලසුම් කළා. මුලින් හමුදාවක් යවල නපුරු රජාව මරන්න උත්සාහ ගත්තට වැඩක් වුනෙ නෑ. ඒකෙන් වුනෙ නපුරු රජා කෝප වුන එක විතරයි.

ඊලඟට ඒ අය නපුරු රජාගෙ රටේම වැසියො ටිකක් ඉත්තො විදියට යොදාගෙන, නපුරු රජාව මරන්න උත්සාහ ගත්තා. අර ප්‍රබලයව පාවිච්චි කරලා, නපුරු රජාව මරා දාන්න අනිත් රටේ අයට පුළුවන් වුනා.

අන්තිමට අනිත් රටේ අය, නපුරු රජාගෙ රට වැසියන්ව හුරතලුන් (?) විදියට තියාගෙන ඒ අයගෙන් වැඩ ගත්තලු.

මේ කිව්වෙ සුරංගනා කථා පොතක තියන කථාවක් නෙවේ. මෑතකදි ඊජිප්තුවෙ වුන දේවත්, ලිබියාවෙ වෙමින් පවතින දේවත් නෙවෙයි. ලංකාවෙ ඉස්සරහට වෙන්න නියමිත දේත් නෙවෙයි. How to train your dragon (ඔබේ මකරා පුහුණු කරන්නේ කොහොමද) කියන හොලිවුඩ් චිත්‍රපටියෙ කථාවයි.

“කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ” කියන්නෙ මේවටද මන්දා?

කවුද යාළුවා

මට ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. එකෙක් සුද්දෙක්. අනිකා චීනෙක්. මුන් දෙන්නම මගෙත් එක්ක තියෙන්නෙ යාළු කමට කරන ආශ්‍රයකට වඩා  බිස්නස් ආශ්‍රයක්. මමත් අතේ දුරින් තමා මේ දෙන්නව ආශ්‍රය කරන්න බලන්නෙ. හැබැයි සුද්දයි චීනයි එච්චර හිත හොඳ නෑ ඕං.

ඉස්සර කාලෙ මුන්ගෙ මහ උන් අපිව යටත් කරගෙන හිටිය මදිවට අපේ රටේ සම්පත් හූරා කෑව කියල මතක් වෙනකොට සුද්දත් එක්ක තරහ වෙන්නත් හිතෙනවා. ඒත් පහුගිය කාලෙ අපේ ගෙදර වැඩ ටිකක් කරගන්න අත-මිට හිඟ වෙලා තියෙද්දි සුද්දා මට අතමාරුවට කාසි-පනම් දුන්න නිසා තරහ වෙලත් බෑ. මගෙ බිස්නස් එකේ බඩු වැඩිපුර ගන්නෙත් සුද්දා තමා.

චීනත් හැබැයි මෑතකදි මට අතමාරුවට කාසි-පනම් දීල තියනවා. පහුගිය දොහේ අපේ ගෙදර-දොරේ අලුත් වැඩ ටිකක් කරන්න කාසි මදි උනාම චීනා තමා නෑ-බෑ නොකියා දුන්නෙ. ඒත් ඉතින් මම පොලියත් එක්ක ගෙවන්න ඕනෙ ණය. මොකෝ සුද්දටත් ඉස්සර කාලෙ ගත්ත ණය තාම ගෙවනවනෙ.

සුද්දත් මට සල්ලි දෙන්නම් කිව්වා. ඒත් මිනිහගෙ මාර නීතිනෙ තිබ්බෙ. අපේ ගෙදර පොඩි උන් දෙන්න නිතරම රණ්ඩු. සුද්දා කියපි සල්ලි දෙන්නෙ ලොකු එකාට ගහලා, පැත්තකට කරල දාලා, පොඩි එකාට සීනි බෝල දුන්නොත් විතරයි කියලා. “අනේ ඔය පොඩි උන්ගෙ රණ්ඩු  උන් බේර ගත්ත දෙන්, මම උඹේ ගෙදර වැඩට සල්ලි දෙන්නම්” කියලා චීනා කියපු නිසා මම උගෙන් තමා සල්ලි ඉල්ලගත්තෙ. මම මොකටෙයි සුද්දගෙ නීති වලට යට වෙන්නෙ!

ඒ තරහටද මන්ද සුද්දා උගෙ යාළු-මාළුවොත් එක්ක එක්කහු වෙලා මට අංචියක් අදින්න ආවනෙ, මුන්ගෙ ගෙදර පොඩි උන් දෙන්නා ගහගන්නවා වැඩියි, අපි ඒ ගැන හොයන්න එන්න ඕනෙ, අරකද, මේකද කියලා. මම “අපේ ගෙදර රණ්ඩු මම බලාගන්නම්” කීවට උන් ගණන් ගත්තෙම නෑ. හොඳ වෙලාවට චීනත් කිව්වා සුද්දට “උන්ගෙ ගෙදර රණ්ඩු උන්ට විසඳගන්න දීපන්” කියලා. ඒකෙන් හොඳට ගියා. ඒ වගේ අංචි කීයක් නම් අදින්න සුද්දා දත කෑවද? චීනා කොහොම හරි මගෙ පැත්තෙ හිටිය නිසා හොඳට ගියා.

ඒ කිව්වහමයි මතක් උනෙ, ඉස්සර එක දවසක අපේ උන් දෙන්නා ගහගෙන, පොඩි එකා අඬාගෙන අල්ලපු ගෙදරට ගියා. අල්ලපු ගෙදර එකා ආවනෙ අපේ ගෙදරට පොඩි එකාව බේරගන්න. මම කීවා “උඹ අපේ ගෙදර රණ්ඩු වලට අත දාන්න එන්න ඕනෙ නෑ” කියලා. අල්ලපු ගෙදර එකා ඒ කාලෙ චණ්ඩියා උනාට, මම ඒ කාලෙ සුද්දා එක්ක හොඳට යාළු වෙලා හිටිය නිසා මම බය නැතුව හිටියේ සුද්දා අල්ලපු ගෙදර එකාට පාඩමක් උගන්නලා “උන්ගෙ රණ්ඩු උන්ට බේරගන්න දීපන්” කියලා කියයි කියලා. මොන, සුද්දා ඒ දවස් වල උන්නද මලාද නෑ. යාළු කම කොහේද නෑ..මට ලැජ්ජාවේ බෑ, අල්ලපු ගෙදර එකා අපේ ගෙදර රණ්ඩු බේරනකොට.

ලඟදි ඉඳන් මට කට්ටිය කියනවා “උඹ චීනා පස්සෙන් යනවා වැඩියි, උඹ චීනට ගොට්ට අල්ලනවා වගේනෙ” කියලා. මමත් චීනගෙ පොඩි පොඩි දේවල් වලට සහයෝගයක් දුන්න තමා. ඒවා සමහරක් සුද්දා අකමැති වැඩත් තමා. ඒත් ඉතින් මම කළෙ මට උදව් කළ කෙනාට අනිත් පැත්තට උදව්වක් කළ එකයි. ඒක වැරදිද මන්දා?

කට්ටිය තව අහනවා “එතකොට සුද්දා උඹේ යාළුවෙක් නෙවෙයිද, චීනද උඹේ යාළුවා?” කියලා.  අනේ මන්දා මට මේක තෝරගන්න බැරි ප්‍රශ්නයක්. ඇත්තම කිව්වොත් මුන් දෙන්නම යාළුවන්ට වඩා මාත් එක්ක බිස්නස් කරන්න බලන් ඉන්න උන්. ඔයාලටවත් කියන්න  පුළුවන්ද කවුද අඩුවෙන් නරක යාළුවා කියලා?

නින්ද

එක් එක් පුද්ගලයා නින්දට යන්න පුරුදුවී තිබෙන්නේ වෙන වෙනස් වෙලාවට. ඒ වගේම එක් එක් පුද්ගලයා නිදාගන්නා කාලයත් වෙනස්. සමහරු දවසකට පැය 8 ක් නිදාගනිද්දි, තවත් සමහරු පැය 4 ක් නිදා ගන්නවා. ඇත්තටම නිදාගන්න හොඳම වෙලාව මොකක්ද? අපි කොපමණ කාලයක් නිදාගන්න ඕනෙද? නිදාගත්තෙ නැත්නම් මොකක්ද වෙන්නෙ?

මිනිසාගේ රුධිර පීඩනය, අභ්‍යන්තර ශරීර උෂ්ණත්වය, මොළයේ ක්‍රියාකාරීත්වය, හෝමෝන නිෂ්පාදනය, සෛල ප්‍රතිජනනය ආදී ශාරීරික ක්‍රියා බොහොමයක් පැය 24 ක් පමණ වන රිද්මයක්  වටා ක්‍රියාත්මක වෙනවා. මිනිසාගේ ජීව ඔරලෝසුව ලෙසද හඳුන්වන මෙය, සර්කේඩියානු රිද්මය ලෙස හඳුන්වනවා. මේ සර්කේඩියානු රිද්මය දළ වශයෙන් පහත පරිදියි.

සර්කේඩියානු රිද්මය

මේ රූපයෙන් පැහැදිලි වන දෙයක් තමා ශරීරයේ ක්‍රියාකාරීත්වය උපරිම වන්නේ දවල් 1 පමණ සිට රාත්‍රී 7 දක්වා බව සහ ශරීරයේ ක්‍රියාකාරකම් අවම වන්නේ රාත්‍රී 10 සහ උදේ 8 අතර බව. ශරීරයේ ක්‍රියාකාරකම් අවම කාලය වන රාත්‍රී 10 සහ උදේ 8 අතරතුර නින්ද ලබාගැනීම “ගුණාත්මක” නින්දක් ලෙස හැඳින්විය හැකියි. නින්ද ලබාගන්නා කාලයට (පැය ගණනට) වඩා, නින්ද ලබාගන්නා වෙලාවයි වැදගත්. දිවා කාලයේදී පැය 8 ක් නිදාගැනීමට වඩා, රාත්‍රී 10 න් පසු පැය 8 ක් නිදාගැනීම ගුණාත්මකයි.

කොපමණ වෙලාවක නින්දක් අවශ්‍යද යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒත් දිනපතාම අඩුවෙන් නිදාගත්තහම වෙන දේ පහත ප්‍රස්තාරයෙන් බලන්න. මේ ප්‍රස්තාරයෙන් පෙන්නන්නේ දිනකට නිදාගන්නා කාලය සීමා කිරීමෙන් යම්කිසි දෙයකට ප්‍රතිචාර දැක්වීමට යන කාලය වෙනස් වන හැටියි. (පුරුද්දෙන් කරන වැඩකදී මේ දත්ත වෙනස් වෙයි. මෙතැනදී ක්‍රියාක්‍රාරීත්වය මැන ඇත්තේ වෙන වෙනස් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වැඩක් සම්බන්ධයෙනුයි.)

නින්ද සීමා කිරීම සහ ක්‍රියාකාරීත්වය

දිනකට නිදාගන්නා කාලය පැය 8 කට වඩා අඩු වෙත්ම, ක්‍රියාකාරීත්වය පහල යනවා. මේකෙන් පැහැදිලි වෙනවා හොඳ ක්‍රියාකාරීත්වයේ ඉන්න නම් දිනකට පැය 7-9 අතර ප්‍රමාණයක් නිදාගත යුතු බව.  විභාගෙකට කලින් හොඳට නිදාගන්න කියන්නෙ ඒකයි.

නින්ද අඩු වුනාම වගේම නින්ද වැඩි උනාමත් ප්‍රශ්න. දවසකට පැය 10 කට වඩා නිදාගත්තොත් නින්ද වැඩි වීමෙන් මත් ගතියක් ඇති වෙන්න පුළුවන්.

සමහරු එක දිගට නිදි වරනවා දවස් ගාණක්ම. එතකොට වෙන දේ පහල තියන ප්‍රස්තාරෙන් බලාගන්නකෝ.

නිදි වැරීම සහ ක්‍රියාකාරීත්වය

මේ ප්‍රස්තාරයෙන් බොහොම පැහැදිලි ඇති එක දිගටම දවස් 2-3 ක් නිදි වරනකොට ක්‍රියාකාරීත්වය අඩු වෙන හැටි. සතියකට වඩා නිදි වැරීම මාරක වෙන්න පුළුවන්.

ප්‍රධාන නින්දට අමතරව, කෙටි නින්දවලුත් බොහොම ප්‍රයෝජනයි. විනාඩි 10 ක තරම් කෙටි නින්දකට පවා ශරීරය වගේම මනස ප්‍රකෘතිමත් කරන්න පුළුවන්. විනාඩි 30 කට අඩු කෙටි නින්දක් බොහොම ඵලදායක වුනාට, පැය 1-2 ක “කෙටි” නිදි එච්චර හොඳ නෑ. හේතුව තමා, ඒ වගේ නින්දකින් පස්සෙ අවදි වෙද්දි  අපේ මොළය නිසි ක්‍රියාකාරීත්වයට එන්න විනාඩි 5-20 ක් අතර කාලයක් ගතවීම. (ඇඟට නැතත් හිතට නිදිමත ගතිය දැනිලා ඇති පැය 1-2 දවල් නිදි දාන අය!). පැය 1-2 නින්දකින් පස්සෙ ඇහෙරෙනකොට, ප්‍රබෝධමත් ගතියකට වඩා, තවත් වෙහෙසකර ගතියක් දැනීම ස්වභාවිකයි.

ඔක්කොම කියවන්න කම්මැලි හිතුනා නම් මෙන්න සාරාංශය.

  • දවසකට පැය 5 ක වත් නින්දක් රාත්‍රී 10 සහ උදේ 8 අතර ලබාගන්න. 100% ක ක්‍රියාකාරීත්වයක් සඳහා දිනකට පැය 8 ක නින්දක් සාමාන්‍යයෙන් අවශ්‍යයි.
  • එක දිගටම නිදි වැරීම භයානකයි.
  • කෙටි නින්දක් (විනාඩි 30 ට අඩු) ලබාගැනීම ඵලදායකයි.

“නින්ද නැති රැයේ” බ්ලොග් ලියන්නෙ/කියවන්නෙ නැතිව, නිදාගන්න යන්න.