මං ආස නෑ

පිස්සාගෙ පලාමල්ලෙ තිබී හමුවුන නූතන උම්මග්ග ජාතකයේ සෙන්පෝක කථාවස්තුවේ බරණැස් නුවරුන් ලියූ පිටපත ගැන පිස්සා මෙසේ කියයි. එය කියවා මසිතට නැඟුනු සිතුවිලි මෙසේ සටහන් කරමි.

පළමුවම පිස්සන් දෙදෙනෙකුගෙන් පලාමල්ල ලියනා පිස්සා වෙනුවට පිස්සාගේ ලෝකය ලියන පිස්සාගේ පිටුවට සබැඳියක් යොදාගැනීම පිළිබඳව සමාව අයැදිමි. එයින් පිස්සාගේ ලෝකය ලියන පිස්සාට හෝ පලාමල්ල ලියන පිස්සාට යම් අපහසුතාවයක් වූයේ නම් මගේ කණගාටුව පළකර සිටිමි. එම වරද දැන් නිවැරදි කර ඇත. බ්ලොග්කරණයට මෑතකදී අත්පොත් තැබූ මම පිස්සන් දෙදෙනෙක් බ්ලොග්කරණයෙහි යෙදීම පිළිබඳව නොදැන සිටීම ගැන කණගාටු වෙමි. උපාධිධරයෝද සාමාන්‍ය මනුෂ්‍යයෝ මිස සෑම දෙයක්ම නිවැරදිව කරනා රොබෝ යන්ත්‍ර හෝ අති විශේෂ පුද්ගලයෝ නොවෙති. මම එය නිහතමානීව පිළිගනිමි.

පිස්සා පවසන පරිදි හොඳින් හෝ නරකින් ඔහුගේ කටයුත්තකට බාධා කිරීම මගේ අභිප්‍රාය  නොවේ. බ්ලොග්කරණයෙන් මා සතුටුවන අතර, වෙනත් අයෙකුගේ සතුටට බාධාවක් වීමට අපේක්ෂා නොකරමි. මගේ බ්ලොගයට යන-එන පිරිස වැඩිකරගැනීමටවත්, අදහස් දක්වන පිරිස වැඩිකරගැනීමවත්, තවෙකෙකුගේ බ්ලොගයකට බාධා කිරීමවත් මගේ අරමුණ නොවේ. මම දේශපාලනික බ්ලොග් ලියන්නෙක්ද නොවෙමි.

එකම තේමාවකට රාමුවී බ්ලොග් ලියන්නෙක්ද නොවන නිසා පිස්සාගේ සෙන්පෝක කථාවස්තුව කියැවීමෙන් මසිතට පැමිණි අදහස් කීපයක් ඉහත ලිපියේ සටහන් කර තැබීමි. පිස්සාගේ සෙන්පෝක කථාවස්තුවේ චරිත මගේ සිතුවිල්ලටද යොදාගත්තේ පාඨකයින්ගේ පහසුව සඳහාය. එය හොර කොපියක් ලෙස හැඳින්විය හැකිදැයි තීරණය කිරීම පාඨක ඔබටම භාර කරමි. හොර කොපි පලකිරීමට තරම් නිර්මාණ අහේනියකින් නොපෙලෙමි. හොර කොපියකත් නිර්මාණාත්මක සංස්කරණයකත් වෙනසක් හඳුනාගැන්මට බුද්ධිමත් පාඨකයිනට හැකිය.

පන්සිය පනස් ජාතක කථා පොතේ උම්මග්ග ජාතකය මෙන් දිගැති කථා ලිවීමට හෝ, සමහරක් බ්ලොග් කරුවන් මෙන් (බ්ලොගය කියවන්නන් රඳවාගැනීමටදෝ) කොටස් සහිතව කථා ලිවීමට අකමැති නිසා සරම කැහැපට ගසාගෙන නොව කලිසම දෙකකුල් වැසෙන සේ ඇඳගෙන මගේ කථාව අවසන් කළෙමි. මගේ කථාව අවසන්වූ හෙයින් පිස්සාගේ කථා අවසන් කළයුතුයැයි අදහස් නොවනබව බුද්ධිමත් පාඨකයාට වැටහෙනු ඇත. හොරාට කලින් කෙසෙල් කැන වැට පැන ඇත්තේ, ගොනා හැරෙන්නේ කෙසෙල් පැලය කන්නට බව හොඳින්ම දන්නා නිසාය.

අන්වර්ථ නාමයකින් පෙනීසිටින පිස්සා මෙන් නොව, මගේ අනන්‍යතාවය රහසක් නොවේ. (අවශ්‍ය අයට දැනගත හැකිය.) එබැවින් මා උපාධිධරයෙක් බව නොසඟවා පසවමි. එය ආභරණයක් කරගැනීමටවත්, අඩුපාඩුවක් ලෙස පෙන්වීමටවත් උත්සාහ නොගනිමි. මාහටද පිස්සායැයි ආමන්ත්‍රණය කිරීම ගැනද අබමල් රේණුවකින්වත් නොතැවෙමි. (අපි සියල්ලෝම උන්මත්තකයින් බව බුදුවදනට අනුව මම පිළිගනිමි.) එහෙත් මා හැඳින්වීමට “උපාධිධාරී” යන්න නැවත නැවතත් යොදාගන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම බුද්ධිමත් පාඨකයිනටම භාර කරමි.

මා සරසවියට පිවිසුනේ කටපාඩම් කිරීමෙන් නොවන බවත්, කිසිවෙකුට ගැති නොවන බවත්, කිසිවෙකුටවත් කඩේ නොයන බවත් පිස්සාගේ ලිපියට ප්‍රතිචාර සපයන ඉන්දික සොයුරාට කාරුණිකව දන්වා සිටිමි. (සරසවි යන වෙනත් අයට මෙය අදාලද යන්න නොදනිමි.) මගේ පැටිකිරිය මෙහි සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් මට නැත.

මා බ්ලොග් ලියන්නේ පිස්සාගේ පලාමල්ලට පිළිතුරු සැපයීමට නොවනබව මෙහි යන-එන සහෘද පාඨකයෝ දනිති. එබැවින් පිස්සාගේ පලාමල්ලේ ඇති කතන්දරවලට පිළිතුරු (පිස්සා කියනා පරිදි හොර කොපි ) සැපයීම මාගේ රාජකාරිය නොවේ. මා හටද වෙනත් රාජකාරි ඇත. අවශ්‍යනම් එය පරාජය පිළිගැනීමක් ලෙස හැඳින්වීමට පිස්සාට හැකිය. තව තවත් ඔහුගේ ඔරිජිනල් හෙවත් මුල් පිටපත් පොත් ලිවීමට පිස්සාටම භාර කරමින් මට කීමට ඇත්තේ පිස්සන්ගේ වැඩවලට අකුල් හෙලමින් හොඳින් හෝ නරකින් පිස්සු කථා අවසන් කිරීමටවත්, විකල්ප පිස්සු කථා තවත් ලිවීමටවත්  “මං ආස නෑ” බවය.

නූතන උම්මග්ගය: බරණැස් නුවරුන් ලිවූ පිටපත

අපේ හිතවත් බ්ලොග්කරුවෙක් වන පිස්සා තමන්ගෙ පලාමල්ල ලෙහද්දි හමුවුන නූතන උම්මග්ග ජාතකයෙ සෙන්පෝක කථාවස්තුව ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන්. ඒ කථාවස්තුවට අදාල මුල් පුස්කොලපොත ලියලා තියෙන්නෙ බරණස්නුවර වටේට තිබ්බ එක් සියයක් රාජධානිවල රචකයෝ. (ඒ අයට මොන මොන වරප්‍රසාද ලැබුනද කියලා මම දන්නෙ නෑ.) මට හම්බු වුනා ඔය ජාතක කථාවෙ බරණස් නුවරුන් ලියපු පිටපතක්. අන්න ඒක තමා මේ.

~එකල්හි බරණැස් නුවර සශ්‍රීක රාජධානියක් වන්නේය. චූලනී බ්‍රහ්මදත්ත නම් රජෙක් ධර්මිෂ්ඨව රාජ්‍යය කරන්නාහු එරට නේක සම්පතින් ආඪ්‍යව පැවැතීය. එම සම්පතට ලොල්වූ එක් සියයක් රජ දරුවෝ එරට තමන් සන්තක කරගැන්මට නොයෙක් උපා යොදන්නාහ. උන් කිරුබාහර නම් සොර දෙටුවෙකුට අත්ලස් දී මෙසේ කියන්නාහ. “තොප බරණැස් නුවරට එරෙහිව පසල් දනව්වෙහි සෝලි කරව. අපි තොපට සිව් රඟ සේනා සම්පාදනය කරම්හ. තොපට ඇවැසි දෙයක් කර එරට රජු මරාපියව”. මෙබස් අසා කිරුබාහරයාද පසල් දනව්වෙහි සෝලි කරන්නාහ.

චූලනී රජුගේ ඇවෑමෙන් භීමකුමාර රජුද, ඉනික්බිති දීඝිති බ්‍රහ්මදත්ත රජුද, චන්ද්‍රකාන්ති රැජිණද රාජ්‍යය කරන්නා නමදු කිරුබාහර සොර දෙටුවා මරාපිය නොහැක්කේය. එක් සියයක් රජදරුවන්ගේ අත්ලස් ගෙන රටවැස්සන්ට වඤ්චා බස් දොඩා චන්ද්‍රකාන්ති රැජිණට  වේදේහ නම් (පුරුෂයෙක්)  අගමැති වන්නේය. වේදේහයාද කිරුබාහරයාද එක්සියයක් රජදරුවන්ට හිතැත්තේ බරණැස් නුවර දෙකඩ කරනට කුමන්ත්‍රණය කරන්නාහ. එක්සියයක් රජදරුවන්ගේ සහ නොමං රජුගේ බස් අසා වේදේහයා බරණැස් නුවර අසුවල් පසල් දනව්ව තොපට හිමියැයි කිරුබාහරයාට සන්නස්පත්‍රයෙන් පුදන්නාහ.

වේදේහයා කිරුබාහරයාගේ ඉස කපා සුනුවිසුණු කරනු නියා උන් සමඟ කුමන්ත්‍රණ කරනු ඉවසාපිය නොහී සෞම්‍යවංශ, ඌරුවංශ, වර්ණදැව ප්‍රමුඛ රටවැස්සෝ වේදේහයා පන්නා මැදමුලනී බ්‍රහ්මදත්ත අගමැති තනතුරට පත්කරන්නාහ. කාලයාගේ ඇවෑමෙන් මැදමුලනී බ්‍රහ්මදත්ත රජකමට පත් වන්නේය.

මෙකල්හි යුද්ධෝපායයන්හි කෙල පැමිණි සෙන්පෝක නම් පුරුෂයෙක් බරණැස් නුවර යුද සේනාවෙහි අවශේෂ නිලයක් දරන්නේ විශ්‍රාම යායුතු වියටත් එලඹිනි. සෙන්පෝකයා රාජද්‍රෝහී වනු ඇතැයි චරපුරුෂයන් පූර්ව රජුනට පැවසීම හේතෙමේ හට අවශේෂ තනතුරු ලැබීමට හේතු වූ බව දතයුතුය.  මැදමුලනී රජුගේ මළණු “අන්න පොබය” අගසෙනෙවිරත් තනතුරු දරන්නේ සෙන්පෝකගේ යුද්ධෝපායයන් මැනැවින් දත්තේය. එබැවින් මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සෙන්පෝකයා යුද සෙන්පතිඳු ලෙස නිල කර “තෙල දුෂ්ඨ වූ කිරුබාහරයා මරාපියව” යැයි අණකරලූහ.

මෙබස් අසා සෙන්පෝකයා ප්‍රමුඛ බරණැස් නුවර අටළොස් අක්ෂෞහිණියක් සෙනඟ වේරම්භ වාතයක් මෙන් දිවි නොතකා කිරුබාහරයා ප්‍රමුඛ භ්‍රෂ්ඨ සේනාව හා  සටන් වැදුණාහුය. සෙන්පෝකයාහට ඇවැසි යුද්ධෝපකරණ සහ සේනා සම්පාදනය මැදමුලනී රජු නොපමාව සිදුකරන්නාහ. වස්සාන, රෝෂණ සෙනෙවිවරුද තම සේනා හසුරවමින් කිරුබාහරයාගේ සේනාව සුණුවිසුණු කරන්නාහුය.

තම අතවැසි කිරුබාහරයාගේ සේනාව හිස්ලූ ලූ අත පැන යනු දැක නොසතුටු වූ එක්සියයක් රජදරුවෝ “බරණැස් නුවර සේනාවෝ රටවැසියා පෙලන්නාහ. කිරුබාහරයා සමඟ යුදය වහා නවතුව” යැයි ගර්ජනා කරන්ට වන්හ. අළුයම ලූ කෙලපිඬක් මෙන්, කැණහිලුන්ගේ නාදයට නොසැලෙන සිංහයෙක් මෙන් එක්සියයක් රජදරුවන්ගේ ගර්ජනා පසෙකලූ මැදමුලනී රජු “සෙන්පෝකය නොබව. තොප භ්‍රෂ්ඨ කිරුබාහරයා මැඩපියාලුව. මම තොප රක්ෂා කරන්නෙම්හ” යි වදාළහ.

දිවි නොතකා සටන් වදිනා අටළොස් අක්ෂෞහිණියක් සෙනඟ මෙහෙයවන සෙන්පෝකයා තම ඇඹේනිය හා නෑදෑ මාල්ලන් සමඟ වෙනත් රාජ්‍යයක සංචාරය කරනා’තරතුර බරණැස් නුවර සේනාවෝ කිරුබාහරයා මරාපීහ. මානයෙන් ඔජවැඩුනු සෙන්පෝකයා “කිරුබාහරයා මරාපියා රට සමනය කළේ මම්මය. වස්සාන, රෝෂණ සෙනෙවිවරු කළ දෙයක්නම් නැත්තේය. එක්සියයක් රජදරුවන්ගේ කෙණෙහිලි ඉවසා සිටියේවීද මම්මය. සේනා සම්පාදනය කළෝද  මම්මය. බෑණනුවගේ මඩිය තර කරනුවස් රටවැස්සන්ගේ කහවණු වලින් යුද්ධෝපකරණ එක් රැස් කළෝද මම්මය.  ඉදින් සියල් ප්‍රසාද මටම හිමිවිය යුත්තේය. සෙන්පති වියයුත්තේද මම්මය. අතිපාලක වියයුත්තේත් මම්මය. රජ වියයුතුත් මම්මය” යැයි සිතූහ. රජ්ජුරුවෝද සෙන්පෝකයා තුටුකරනු නියා, අතිපාලක තනතුරද, නා නා තුටුපඬුරුද ඌ හට පිදූහ. සැපසම්පතට ලොල් හෙතෙම ඒ සියල්ල මුවින් නොබැණ පිළිගත්තාහ.  සෞම්‍යවංශයා මෙකල්හි සෙන්පෝකයාහට සමීප වනුයේ, කේලාම් කියා උන් රජ්ජුරුවන් හා බිඳවාලීය.

බරණැසට දැන් සතුරු බියක් නම් නැත්තේය. මම මහාසම්මතයෙන්ම යලිදු සිංහාසනාරූඪ වෙමියි සිතා මැදමුලනී රජ්ජුරුවෝ කල්යල් බලා සිංහාසනාවරණය මෙකල්හි පවත්වම්හයි අඬබෙර ගැස්වූය. මානයෙන් ඔදවැටුනු සෙන්පෝකයා සෞම්‍යවංශයාගේ මුසාබස් අසා රාජශ්‍රීය විඳිනට මෙය කදිම අවස්ථාවකැයි සිතා මැදමුලනී රජුහට ආකෝශ පරිභවකොට අතිපාලක ධූරය හැර ලාපියා මැදමුලනී රජ්ජුරුවෝ හා සිංහාසනාවරණ තරඟයට වන්නේය.

එක්සියයක් රජදරුවන්ගේ අතවැස්සා යැයි ජනසම්මත වේදේහයාද, සෞම්‍යවංශයාද, නීලමේඝ ගඟ අසබඩ සිටි පිංගුත්තරයාද මන්ත්‍රණය කරන්නේ “අපට මැදමුලනියා හා තරඟකොට පලක් නැත්තේය. උහු හට නුවරුන්ගේ ප්‍රසාදය හිමියේය. අපද නිලතල රැකගනු යුතුය. එහෙයින් සෙන්පෝකයා සිංහාසනාවතරණයට යොදවම්හ”යි ගිවිස ගත්හ.

සෙන්පෝක තෙම උන්ගේ යටිසිත් නොදන්නේ සිංහාසනාරූඪ වීමට සිහින දැක්කෝය. හෙතෙම බරණැස් නුවරු අමතන්නේ “මා කිරබාහරයා මරාපියා ලූ පරිද්දෙන් මැදමුලනී රජුද පරදවමි. උන් ගලග්‍රහයෙන් ගෙන, පිටිතල හොවා දණ්ඩෙන් පහරදී දඟගෙයි පමුණුවමි. උන්ගේ මලණුවන්හටද එලෙසම දඬුවම් පමුණුවමි. උන්ගේ අතවැස්සනටද ඒ විපත්ම කරමි”යි කටමැත දෙඩවන්නේය.

තවද හේ තෙමේ, “කිරුබාහරයාගේ සේනාවෝ හිස් ලුලූ අත දිවයන්නේ ගොක්කොලයක් ඔසවාගෙන කඩු, කිණිසි, දුනු ඈ නානාවිධ ආයුධ අමෝරා අපගේ සේනා වෙත පැමිණියහ. එකල්හි අපගේ යෝධයනට උන්ව මරාපියාලනුවැයි අගසෙනෙවිරත් “අන්න පොබය” අණකළබවට මා හිතවත් ගිරාපෝතකයෙක් මසවනට කොඳුරාලූයැ”යි තැනින් තැන පවසමින් යන්නාහ. මෙපවත් ඇසූ එක්සියයක් රජදරුවෝ “වන්නාට, මැදමුලනී රජුරුවන්ගේ සේනාවෝ ගොක් කොල ඔසවාගෙන ආ කිරුබාහරයාගේ අහිංසකයන් තලා පෙලා මරාපුව. මෙවන් සෝලි කරනා මැදමුලනීහට රජකම් කරනට නොදිය යුත්තේයැ”යි ගර්ජනා කරන්නට වන්හ.

තවද සෙන්පෝකයා තම පසමිතුරන් මෙන්ම හිතැතියන් පරුෂවචනයෙන්ම අමතන්නේය. මැදමුලනී රජු තම රටවැසියන්හට සංවේදීවම අමතන්නේය. බරණැස් නුවරුන් මැදමුලනී රජ්ජුරුවන් සමඟ බිඳවනුරිසි සෞම්‍යවංශයාද, වේදේහයාද, පිංගුත්තරයාද “මැදමුලනී රජ්ජුරුවෝ තොපගේ රීරි මාංශද සූරාකති. උන්ගේ මලණුවෝද ඊට නොදෙවනිය. උහුද අත්ලස් ගන්නාහ. සොරකම් කරන්නාහ. උන්හට නැවතත් රජකම නොදිය යුත්තේයැ”යි  තැන තැන ආරංචි පැතිරූහ.

“බරණැස් නුවරු අඳබාලයෝ වෙති. උහු අප කියන බසක් එලෙසින්ම පිළිගන්නෝය. උන් අපගේ බස් අසා මැදමුලනී රජ්ජුරුවන් පන්නාදමා සෙන්පෝකයා රජ කරවන්නාහ. එවිට අපද මැති ඇමැත්තෝ වම්හ. අපිද රාජශ්‍රීය විඳිමින් අපගේ යසස වැඩිකරගම්හ”යි වේදේහයා ප්‍රමුඛ පිංගුත්තර සේනාව කල්පනා කළහ.

එනමුදු බරණැස් නුවරු නුවණැත්තෝ වූහ. උන් සෙන්පෝකයාගේ බස් මෙන්ම උන්ගේ සහචර රැලගේ බස්ද විමසන්නාහු “කිරුබාහරයා මැඩලූයේ සෙන්පෝකයා පමණක් නොවන්නේය. අටලොස් අක්ශෞහිණියක් සේනාවෝ උන් මැඩලූහ. සෙන්පෝකයා මෙන්ම වස්සාන, රෝෂණ සෙනෙවිරත්වරුද කිරුබාහරයා මැඩීමට එකසේ දහඩිය මුගුරු හෙළූහ. මූ කියනා බස බොරුයැ. එමෙන්ම සෙන්පෝකයා දොඩන්නේ රජෙකුට නොහොබිනා ලෙසය. එවැන්නෙක් රජකමට නොසුදුසුයැ”යි කල්පනා කළැබව දත යුතුය.

තවද “මුන් මැදමුලනී රජ්ජුරුවෝ සොරෙකැයි කියත්. මූද සොරෙක් නොවන්නේදැයි අපි නොදනිමු. මැදමුලනී රජ්ජුරුවෝ සොරකම් කළත් රටට යහපතක්ම කරන්නෝය. උන් බරණැස දියුණුවට කළැ කී දේ බොහෝය. උන් සොරකම් කළත් කිරුබාහරයා මැඩපියා අපට ඉන්නට රටක් බේරාගත්තෝය. සෙන්පෝකයා රජ වුවහොත් උන්ගේ සහචර පරගැති වේදේහයා එක් සියයක් රජදරුවන්ට මෙරට පුදන්නාහ. අපට ඉන්නට රටක්ද නොමැති වන්නේයෑ”යි රටවැස්සෝ සිතූහ.

එබැවින් බරණැස් නුවරු සිංහාසනාවතරණයෙන් එක්සියයක් රජදරුවන්ගේ ආශිර්වාදලත් සෙන්පෝකයා පරදවා මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ව නැවතත් සිංහාසනාරූඪ කරවූහ. එතැන්පටන් මැදමුලනී රජු නැවතත් සංවේදීව රාජ්‍යය විචාරන්නට වන්නාහ.

සෙන්පෝකයා පරාජය දරාගත නොහී දණ්ඩෙන් පහරලත් සර්පයෙක්සේ කිපී “මැදමුලනී වංචාවෙන් සිංහාසනාරූඪ වූහ. සිංහාසනාරූඪ වියයුත්තේ මම්මය. නුවරු මාගේ බස් අසනට දහස් ගණනින් එක්-රොක් වූහ. එහෙයින් මා පරාජය වීම පිළිගත නොහැක්කක්මයැ”යි අඳෝනා කීහ. තවද හේ තෙමේ “එක්සියයක් රජදරුවනි, මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සිංහාසනයෙන් පහකළ යුත්තේය. වහ වහා සුදුසු පිළිවෙත් කරවු” යැයි පණිවුඩ යැව්වෝය.

සෞම්‍යවංශයාද පරාජය වසාගනු නියා “මැදමුලනී රජ්ජුරුවෝ සිංහාසනාවතරණය ජයග්‍රහණය කළේ භක්ෂිශීල කළ ජිල්මාට් නම් උපක්‍රමයෙකි. සෙන්පෝකයා කෙසේ පරාජයවුනුදැයි අපහට හරියට නොවැටහේ. අපි බරණැස්නුවර තැන් තැන්හි සෝලි තබම්හ”යි පැවසූහ. වේදේහයෝද මෙබසට එකඟවන්නාහ.

එක්සියයක් රජදරුවෝ තම උපායය වැරදීම සඟවනුවස් සිංහාසනාවතරණය ලේඛනගත කරන්නේ “මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ යළිත් සිංහාසනාරූඪ වනුයේ ජිල්මාට් නම් උපක්‍රමයකින් යැයි දතයුතුය” යැයි ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා සටහන් කර තබම්හ. ~

ප.ලි. පිස්සාණෙනි, ඔබගේ බුද්ධිමය දේපල සොරකම් කිරීමට කමාවන මැනවි. ඔබගේ කථාවස්තුවේ චරිත මේ කථාවස්තුවේද එනමින්ම සටහන්ව ඇත. ඔබ ඊට එරෙහිවනු ඇතැටි නොසිතමි.