බබාට නමක් 2

අපේ බබාට නමක් දාපු හැටි මීට කලින් සිතුවිල්ලකින් කියල තියනවා. මගේ සිතුවිලි අතරින් පාඨකයෝ වැඩිපුරම කියවපු සිතුවිල්ල තමා “බබාට නමක්“. ලංකාවේ අලුතින් ඉපදෙන දරුවෙකුට නමක් දාන්න දෙමව්පියෝ කොයි තරම් හොයනවද කියලා ඒකෙන්ම වැටහෙනවා. දැන් අහුබුදු ශූරීනුත් නැති එකේ අන්තර්ජාලයෙන් නම් හොයන එකත් ජයට වෙනවා වගේ.

එක බබෙකුට විශේෂ තේරුමකුත් නැති, අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්න නමක් කොහොම හරි  දැම්ම කියමුකො. ඊලඟ බබාටත් නමක් හොයන්න වෙන එක ඊටත් වඩා අමාරු කාරණයක් බව තේරුණෙ කරන්න යනකොට තමා.

ඇයි අමාරු? තේරුමක් නොතියෙන්නත් ඕනෙ; අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්නත් ඕනෙ; ඒ මදිවට අයියගෙ නම වගේ වෙන්නත් ඕනෙ කියලා අපි තීරණය කළානෙ. අනිත් එක මේ පාර කෙල්ලෙක්! කෙල්ලෙක්ගෙ නමක් වෙන්නත් ඕනෙ. ලේසි නෑ! ඒ මදිවට එකෙක් එක්ක වැඩපල කරගන්නෙ බොහොම අමාරුවෙන්, තව නමුත් හොයන්නම තමා වෙලාව තියෙන්නෙ.  එහෙමයි කියලා දරුවට නමක් නොදා පුළුවන්යෑ.

ඔන්න ඉතින් මේ පාර ලංකාවෙන් නම් ටිකක් ආනයනය කරලා නමක් හදාගන්න බැලුවා. මොන, ඒ නම් කිව්වහම හක්ක පනිනවා. ලොකු එකාට දාල තියන නම මෙහෙ ඉන්න සුද්දො කියන්නෙත් වරද්දලා. කොහොමත් වාසගමනම් රුවිත කරලා තමා කියන්නෙ. ආනයනය කළ නම් දැම්මොත් සුද්දො කියන්නෙ මුල අකුර විතරයි ෂුවර් එකටම. ඒ නම් ටික එහෙම්මම පැත්තකට දැම්මා.

මගෙ ඔළුවට ඇවිත් තිබ්බෙ අයියගෙ නමේ අකුරු ටික එහෙට මෙහෙට දාලා නමක් හදලා බලන්න. පොඩ්ඩක් එහෙට මෙහෙට කරකවනකොට මෙන්න නමක් සෙට් වුනා. අයියගෙ මැද නම කෙල්ලෙකුට ගැලපෙන විදියට වෙනස් කළා. ඔන්න දැන් කෙලි පොඩ්ඩෙකුට හරියන්න නමක් තියනවා. ඒත් ඉතින් මේ නම බැකප් එකක් විදියට තියාගෙන ඊට වඩා හොඳ නමක් ලැබුනොත් දානවා කියලා හිතන් හිටියෙ. ඒත් හරියන නමක් ලැබුනෙ නෑ. ඒ මදිවට මේ කෙල්ලට ඉක්මනට ලෝකෙ බලන්න එන්න ඕනෙ වුනානෙ. ඉතින් මක්ක කොරන්නද? අර බැකප් නම අනුමත කරලා නාමාරූඪ කළා.

අයියා “නදිත දිල්මික”. නංගි “තිනුදි දිලුනිකා”.

මේ ඉන්න කෙලි පොඩ්ඩ ඉපදිලා දවසකින්.
අයියයි නංගියි දැන් ටිකක් ලොකුයි.

පළමු පරිභ්‍රමණය

නේක පාටින් දිදුලන
මල් සුපිපි වසන්ත දිනෙක
ආවා ඔබ මා තුරුලට
උණුසුමක් සොයාගෙන

දිවා රෑ දෙසිය අසූවක්
රැඳී සිටි නවාතැන හැරදා
ආවෙ ඔබ මා දෑතට
මහ හඬින් හඬමින්

දුටු සැණින් මා හද
පිදුවෙමි මම ඔබට
සත්තයි නුඹ එවිට
නාඬා සැනසුනු බවට

මව තුරුලේ සැනසි
මා වෙතට ආ සඳ
තුරුළු කර ගතිමි මා
හද පිරුණු සෙනේහෙන්

විටෙක සතුටද
විටෙක වෙහෙසද
විටෙක තරහද
මා වෙත ගෙනා නුඹ කෙරේ
ආදරය හැර වෙන යමක්
මා සිතේ ඉතිරිව නැත

දිවා රෑ ගතවිය
හිරු වටා ගමන විය
වසන්තය නිමා විය
ගිම්හානයද ගතවිය
හේමන්තයද පසුවිය
යළි වසන්තය උදාවිය

හිරු වටා එක්වරක්
ගමන් නිම කළ ඔබ
දිනෙන් දින වැඩෙමින්
උගත් දේ එමට විය

හිරු වටා තව බොහෝ
රවුම් යාමට තිබේ
උගත යුතු දේ තිබේ
ඒ ගමනට ඔබේ
ආසිරි පතනෙමි පුතේ

අවුරුද්දකට කලින් මෙහෙම හිටපු හාදයා තමා දැන් මේ ඉන්නෙ.

කාර් රිමෝට්

ඇමරිකාවට ඇවිත් ටික දවසකින් කාර් කට්ටක් ගන්න තැනට වැඩ කටයුතු සිද්ධ වුනා.  මුල් කාලෙ අවශ්‍ය බඩුමුට්ටු ගන්න එහෙම ගියේ මෙහෙ හිටපු ලංකාවෙ අයත් එක්ක. ඒ අයට හැමදාමත් කරදර කරන්නත් බෑනෙ.  තුන්වෙනියෙකුත් පවුලට එකතුවෙන්න ඉන්න නිසා ගමන්-බිමන් වැඩියි. ඉතින් අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන පාවිච්චි කළ කාර් කට්ටක් ගත්තා. (මෙහෙ පරණ හොඳ තත්වයේ වාහන ලාබෙට ගන්න පුලුවන්.) පරණ කිව්වට හද්ද පරණ නෙවෙයි, අලුත් සහස්‍රකයෙ හදපු භාණ්ඩයක්.

මේ කාර් එකේ තියන පහසුකමක් තමා RKE (Remote Keyless Entry) හෙවත් යතුර නැතිව දොර ඇරීම. ඒ වැඩේට ඉතින් දුරස්ථ පාලකයක්, සිංහලෙන් කියනවානම් රිමෝට් එකක් ඕනෙනේ. ඒත් කාර් එකේ පරණ අයිතිකාරයා මට රිමෝට් එකක් දුන්නෙ නෑ. (පොර අතින් ඒක නැතිවෙලා වෙන්න ඇති.) ලාභ භාණ්ඩෙ හිලක් කිව්වලුනේ. මම අහන්න ගියෙත් නෑ රෝද පහ (අර ඇතුලෙ තියන එකත් එක්ක හොඳේ) කැරකෙන නිසා අරන් ආවා.

රිමෝට් එකක් සෙට් කරගන්න ඩීලර් ගාවට ගියොත් $120-150 ක් විතර යනවා. යතුරු වැඩකරුවෙක් (locksmith) ගාවට ගියොත් $100 කින් බේරෙන්න පුළුවන්. කජු ඇටද-කොස් ඇටද? $100 ක් හොඳටම වැඩියි.  පොඩ්ඩක් අන්තර්ජාලෙ හොයලා බලනකොට මේ රිමෝට් ගන්න තියනවා eBay එකේ $25 විතර. අපිටම ප්‍රෝග්‍රෑම් කරගන්නත් පුළුවන්. මමත් ඕන මඟුලක් කියලා eBay එකෙන් ගෙන්නගත්තා රිමෝට් එකක් සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව.

ඔන්න ඉතින් සෙල්සියස් 10ක් විතර වුන හොඳ රස්නෙ දවසක රිමෝට් එක ප්‍රෝගෑම් කරන්න ලෑස්ති වුනා. බොහොම සරල උපදෙස් ටිකක් තමා තියෙන්නෙ පිළිපදින්න. මමත් උපදෙස් ටික අකුරට කරගෙන යනවා. එක උපදෙසක් තියෙනවා “Press the Hazard button six times within 10 seconds” කියලා. මමත් දෙපාරක් හිතන්නෙ නැතිව ඔය රිමෝට් එකේ තියන Panic බොත්තම එබුවා. ම්හු…කියලා තියෙන විදියට වැඩේ වෙන්නෙ නෑ. ආයෙත් පාරක් මුල ඉඳලා කරලා බැලුවා..හරියන්නෙ නෑ.  මම දැන් දහ අතේ කල්පනා කරනවා කරපු වැරැද්ද මොකක්ද කියලා. කල්පනා වෙන්නෙම නෑ. එදා දවසෙ කීප වතාවක් උත්සාහ ගත්තත් වැඩේ හරිගියෙ නෑ.

ආයෙත් දවසක බැලුවා වැඩේ ගොඩ දාන්න, හරි යන්නෙම නෑ. කොයිකටත් කියලා රිමෝට් එකේ බැටරියත් මාරු කරලා බැලුවා. ඒත් හරියන්නෙ නෑ. ඔය ඉලව් කරන්න ගිහින් Central Locking System එකේ ෆියුස් එකත් පිච්චුනා. ෆියුස් එක දාලා කාර් එක මුල් තත්වෙට අරගෙන මම වැඩේ අතඇරලා දැම්මා. මට හිතුනෙ එක්කො ගත්ත රිමෝට්  එක අවුල්, එහෙම නැත්නම් RKE සිස්ටම් එක අවුල් කියලයි.

මගෙ යාලුවෙකුටත් ඒ වර්ගයෙම කාර් එකක් තිබුනා. ඉතින් මිනිහටත් විස්තරේ කියලා ඒ කාර් එකටත් රිමෝට් එක ප්‍රෝග්‍රෑම් කරන්න උත්සාහ කරලා බැලුවා. (ඒකටත් රිමෝට් එකක් තිබුවෙ නෑ.) මොන, හරිගියෙ නෑ. කාර් දෙකකම RKE සිස්ටම් එක වැඩ නොකරන්න තියෙන ඉඩකඩ අඩුයිනෙ. දැන් මට ෂුවර් මේ රිමෝට් එක වැඩ කරන්නෙ නැති කසලගොඩක් කියලා. ඒත් ඉතින් ඔය වෙනකොට මම රිමෝට් එක අරන් මාස ගාණක් ගිහින්. රිට(ර්)න් කරන්න පුලුවන් කාලසීමාවත් පැනලා. මොනවා කරන්නද, මගෙ වැරැද්දනෙ කියලා රිමෝට් එක ගැන ආසාවත් අතෑරලා හිටියා.

මට ආයෙත් ඔය රිමෝට් එක ගැන මතක් වුනේ මාස ගාණකට පස්සෙ ගෙවල් අස්-පස් කරද්දි ඒක මුල්ලක් තියෙනව දැක්කහමයි. ආයෙත් පාරක් ප්‍රෝග්‍රෑම් කරන්න උත්සාහ අරන් බැරි වුනොත් බැද්දට විසිකරලා දානවා කියලා හිතලා වැඩේ පටන් ගත්තා. කොයිකටත් කියලා කාර් එකේ සේවා අත්පොතත් (Service Manual) කියවලා බැලුවා. ඒකෙ තියෙන්නෙත් මම කලින් කියවපු උපදෙස් ටිකම තමා. තවත් හොඳට කියලා කාර් සංසදයක (forum) මේ ගැන තියන විස්තර කියවද්දි තමා මම කරපු ගොංකම මාට්ටු වුනේ.

මොකක්ද Hazard button මේ කියන්නෙ. ඔය පහල රූපෙ තියන එකනෙ. එහෙම නැතිව රිමෝට් එකේ  තියන Panic button එක නෙවෙයි. මෝඩකමට බෙහෙත් නෑ කිව්වලු.

කරපු ගොංකමට මමම හිනාවෙවී රිමෝට් එක ප්‍රෝග්‍රෑම් කරන්න ගත්තා. වන් ෂොට් වැඩේ ගොඩ.

ඇයි එහෙම උනෙ කියලා පස්සෙ කල්පනා කරල බලනකොට මට තේරුනා Hazard button කියන්නෙ මොකක්ද කියලා මම දැනගෙන හිටිය බව. ඒත් මම රිමෝට් එකේ Panic button එක එබුවෙ වැඩිය හිතන්නෙ නැතුව. ඒ පියවර නිවැරදියි කියලා (යටි හිතෙන් ) මම පූර්ව නිගමනයකට ඇවිත් තිබුන නිසා තමා මට වැරැද්ද අහු නොවුනෙ. කාලෙකට පස්සෙ කරද්දි අලුත් විදියට හිතන නිසා මට වැරැද්ද තේරුම් ගන්න පුළුවන් වුනා. (රෑට නැති නුවණ උදේට පහල වෙනවා කියන්නෙ ඕකට තමා.)

ඉගෙනගත්ත පාඩම තමා හැම වෙලේම මට වැරදෙන්න තියන ඉඩකඩ වැඩියි කියලා හිතන්න අවශ්‍ය බව.

බබාට නමක්

ඇමරිකාවට ඇවිත් ටික දවසකින් අපේ පුංචි කැදැල්ලට අලුත් සාමාජිකයෙක් එක්වන බව දැනගත්තා. නෑදෑ හිත මිතුරන්ගෙන් සැතපුම් දහස් ගණනක් දුර රටක තනි වුන අපිට මේ ආරංචිය සතුටුදායක එකක් වගේම “තනියම මොනවා කරගන්නද මන්දා” කියලා හිතුන බියජනක එකකුත් වුනා.

බබාට නමක් හොයන එක තමා මේ කාලෙ අපිට තිබුන ලොකුම හිසරදය. ලංකාවෙදි උපන් වෙලාව බලලා ඒකට ගැලපෙන අකුරුවලට නමක් හොයන්න එක එක අය ගාවට දුවන එක තදින්ම ප්‍රතික්ෂේප කළ කෙනෙක් මම. ඒ නිසා අපි කැමති නමක් දාන එක ලේසි උනා. ඒත් ප්‍රශ්නෙ තිබ්බෙ නමක් හොයන එකයි.

දැන් කාලෙ ළමයින්ට දාන්නෙ කට උලුක් වෙන නම් නේ. කියනකොට හක්ක පනින නමක් අපේ දරුවන්ට දාන්න මම කැමති වුනේම නෑ. ඒ මදිවට දැන් කාලෙ මෝස්තරේනෙ තේරුමක් තියන නමක් දාන එක. ඒකට මට කියන්න තියෙන්නෙ සන්ෆ්ලවර්ස්ලා කියන “පිං මාලු වලේ” සින්දුව තමා. ලොකු වෙලා හොඳ පුද්ගලයෙක් වුනත් නැතත් ගැලපෙනවා විශේෂ තේරුමක් නැති (අකුරු සංයෝජනයකින් සැදුන ) නමක් දාන එක. නමකින් බලාපොරොත්තු වෙන්නෙ ඒ පුද්ගලයව වෙන් කරලා අඳුනගන්න එක මිසක් වෙන දෙයක් නෙවෙයිනේ.

අපිට අමුතුම අත්දැකීමක් වුනෙ බබා ඉපදෙන්නත් ඉස්සෙල්ලා මග තොටේදි මුණගැහෙන අය එයාගෙ නම අහන එකයි. ඒ වෙලාවෙට ලංකාවෙ නම් දාන හැටි එයාලට කියලා දෙන්න වුනා. ඇමරිකාවෙදි නම් පිරිමි ළමයෙකුට තාත්තගෙ නමම දාලා, අගට Jr. කියලා දාන එක අමුතු දෙයක් නෙවෙයි. අපේ පළවෙනි බබා නිසා අපි දෙන්නගෙ නම්වලට කිට්ටුවෙන් යන නමක් දාන්න අපි හිතාගත්තා. (මගෙ කැමැත්ත තිබ්බෙනම් Jr. කියලා දාන්න. ඒත් ඉතින් සිංහල ළමයෙකුට ඒක ගැලපෙන්නෙ නෑ කියලා හිතුනා.) ලැබෙන්න ඉන්නෙ කොලුපැටියෙක් කියලා කලින්ම දැනගත්ත නිසා නම් හෙවිල්ල ටිකක් ලේසි වුනා.

කොහොමහරි හොයලා හොයලා කට උලුක් වෙන වර්ගයේ අගට හල් කිරීම් නැති, දන්න විදියට තේරුමකුත් නැති, අපි දෙන්නගේ නම් වලට ලඟින් යන නමක් හොයාගන්න පුළුවන් වුනා. ඔය පින්තූරෙ ඉන්නෙ ඒ නම දාපු හාදය ඉපදිලා මිනිත්තු කීපයකින්, එයාගේ පියාණන්ගෙ අතේ.