Z ස්කෝර් ගැන කෙටියෙන්

මම සංඛ්‍යාන විශේෂඥයෙක් නම් නෙවෙයි. මට වැටහෙන විදියට z-ස්කෝර්  ගැන කෙටි හැඳින්වීමක් මේ. අඩුපාඩු තියනවානම් පෙන්වලා දෙන්න.

z-ස්කෝර් වලට කලින් මොකද වුනේ?

2000 වසරේදි උසස්පෙළ ලකුණු වලට z-ස්කෝර් හඳුන්වලා දෙන්න ඉස්සර තිබුනෙ ශිෂ්‍යයා මුහුණදුන් විෂයයන් හතරේම මුළු ලකුණු එකතු කර, එකතුව අනුව ජාතික සහ දිස්ත්‍රික් පදනමින් අනුතැන (rank) සකස් කිරීමයි. විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී බොහෝ පාඨමාලා සඳහා 40% ක් ජාතික පදනමිනුත්, 60% දිස්ත්‍රික් පදනමිනුත් බඳවා ගන්නවා. මේ අනුතැන පදනම් කරගෙන තමා ඒ ඒ පාඨමාලා සඳහා සිසුන් තෝරාගත්තේ.

ඇයි z-ස්කෝර් පාවිච්චි කරන්න ගත්තේ?

මූලික වශයෙන්ම 2000 වසරේදී පැරණි නිර්දේශය යටතේ විෂයයන් 4 කට පෙනී සිටි සහ නව නිර්දේශය යටතේ විෂයයන් 3 කට පෙනී සිටි සිසුන් විශ්ව විද්‍යාල වලට තෝරා ගැනීමේදී මේ දෙපිරිස සාමාන්‍යකරණයකට ලක් කිරීමටයි. එනම්, දෙපිරිසම එකම විභාගයකට මුහුණ දුන්නා සේ සලකා අනුතැන් ගණනය කිරීමටයි.

මෙය හුදෙක් මධ්‍යන්‍ය (average) ලකුණු වලින් පමණක් කළොත් යම් පිරිසකට අසාධාරණයක් වෙනවා. උදාහරණයක් ලෙස ගණිත අංශයෙන් උසස් පෙළට පැරණි නිර්දේශයෙන් පෙනීසිටි සිසුවෙක් විෂයයන් 4 ට ලකුණු 280 ක් ලබා ගත්තා යැයි සිතමු. නව නිර්දේශය යටතේ ගණිත අංශයෙන් පෙනී සිටි සිසුවෙක් විෂයයන් 3 ට මුළු ලකුණු 210 ක් ලබා ගත්තා යැයිද සිතමු. මධ්‍යන්‍ය අනුව මේ සිසුන් දෙදෙනාගේම අනුතැන සමාන විය යුතුයි. එහෙත් මේ දෙදෙනා පෙනී සිටි ප්‍රශ්න පත්‍ර එක සමාන නෑ. උදාහරණයක් ලෙස භෞතික විද්‍යාව නව නිර්දේශ ප්‍රශ්න පත්‍රය සාපේක්ෂව පහසුයැයි සිතමු. එවිට නව නිර්දේශ සිසුන් පොදුවේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට වැඩි ලකුණු ලබා තිබෙනවා. එවිට ඉහත පැරණි නිර්දේශ සිසුවා අපහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තද, ඔහුගේ අනුතැන පහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණදුන් සිසුවාගේ අනුතැනට සමානයි. පොදුවේ ගත්තොත්, පහසු ප්‍රශ්න පත්‍රයකට මුහුණ දුන් නව නිර්දේශ සිසුන් ඉහල අනුතැන් හිමිකර ගන්නවා ඇති. මධ්‍යන්‍යය ක්‍රමයෙන් යම් සිසුන් කොට්ඨාශයකට අසාධාරණයක් වෙන බව පැහැදිලි ඇති.

කොහොමද z-ස්කෝර් හොයන්නේ?

යම් සිසුවෙක්ගේ එක් විෂයක z-ස්කෝර් එක ගණනය කරන්නේ ඒ සිසුවා ලබාගත් ලකුණු ප්‍රමාණය සියළුම සිසුන් එම විෂයට ලබාගත් සාමාන්‍ය ලකුණු ප්‍රමාණයට සාපේක්ෂවයි. z-ස්කෝර් අගය සාමාන්‍යයෙන් -4 සිට +4 දක්වා අගයක්. z-ස්කෝර් අගය 0 නම්, එම සිසුවාගේ එම විෂයේ ලකුණු ප්‍රමාණය විෂයේ මධ්‍යන්‍ය ලකුණු ගණනට සමානයි. z-ස්කෝර් අගය +1 නම් ඔහුගේ ලකුණු ප්‍රමාණය 84% සිසුන්ගේ ලකුණු වලට වඩා වැඩියි. එම අගය +2 නම්, ඔහුට වඩා අඩුවෙන් ලකුණු ගත් සිසුන් ප්‍රමාණය 97% ක්. z-ස්කෝර් අගය -1 නම්, ඔහුට වඩා අඩුවෙන් ලකුණු ගත් සිසුන් ප්‍රමාණය 16% ක් පමණයි. වැඩි z-ස්කෝර් අගයක් යනු වැඩි අනුතැනක් බව පැහැදිලි ඇති. එක් එක් විෂයට ගණනය කරන z-ස්කෝර් අගයන් මඟින් මධ්‍යන්‍ය z-ස්කෝර් අගයක් ගණනය කරනවා. ප්‍රතිඵල සටහනේ පෙන්නන්නේ මේ z-ස්කෝර් අගයයි.

z-ස්කෝර් අගය අනුව තේරීම සාධාරණද?

මධ්‍යන්‍ය ක්‍රමයේදී දුෂ්කර ලෙස නම් කළ දිස්ත්‍රික්කවල සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී වැඩි වාසියක් සිදු වුනා. z-ස්කෝර් ක්‍රමයෙන් එම වෙනස අඩුවී තිබෙනවා. කෙසේ වෙතත් 2001 සහ 2002 වසර වලදී විශ්ව විද්‍යාල ප්‍රවේශයට z-ස්කෝර් ක්‍රමය යොදාගැනීම නිසා අසාධාරණයට ලක්වූ ඇතැම් පැරණි නිර්දේශ සිසුන් අධිකරණයේ පිහිට පතා, විශ්ව විද්‍යාල වලට ඇතුල් වුනා.

z-ස්කෝර් හොයන එක අමාරුද?

සංඛ්‍යාන මෘදුකාංගයක් මඟින් z-ස්කෝර් අගයන් හොයන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. එහෙත් ජාතික සහ දිස්ත්‍රික් අනුතැන සොයද්දී නම් එක් පාඨමාලාවකට අදාල විෂය සංයෝජන ගැන සැලකිලිමත් විය යුතුයි.

මොකක්ද වුන ප්‍රශ්නය?

විභාග දෙපාර්තමේන්තුවෙන් කොතැන අනාගත්තද කියලානම් මම දන්නෙ නෑ. ඒත් විෂය නිර්දේශ දෙකකට z -ස්කෝර් ගණනය අනාගන්න තරම් සංකීර්ණ වැඩක්වත්, මීට කලින් කරල නැති වැඩක්වත් නෙවෙයි.

අනාගතේදි මොනවද වෙන්න ඕනෙ?

කෙටිකාලීනව නම් නිවැරදි z-ස්කෝර් අගයන් නිකුත් කිරීමයි. (දැනටමත් ඒක කරලා, ඒත් නිවැරදිද කියන්න නම් දන්නෙ නෑ.)

මේ ක්‍රමයේ තියෙන ලොකුම අඩුපාඩුව තමා විනිවිද නොපෙනීම. z-ස්කෝර් ක්‍රමය පටන් ගත් දිනයේ පටන් ජාතික මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් එක් එක් විෂය සඳහා මධ්‍යන්‍ය සහ සම්මත අපගමන (standard deviation) අගයන් නිකුත් කර නෑ. z-ස්කෝර් අගයන් ගණනය වඩාත් විනිවිද පෙනිය යුතුයි. මධ්‍යන්‍ය අගයන් සහ z-ස්කෝර් සූත්‍ර ප්‍රසිද්ධ කිරීම විනිවිද බවට අත්‍යාවශ්‍යයි.

රටේ සියළුම පාසල් එකම මට්ටමකට ගෙන ඒමට ගෙන ඒමට නොහැකි නිසයි දිස්ත්‍රික් කෝටා ක්‍රමය හඳුන්වා දී ඇත්තේ. එහෙත් එකම දිස්ත්‍රික්කයේ පාසල් වල වෙනස්කම් මේ ක්‍රමයෙන් සැලකිල්ලට බඳුන් වෙන්නේ නෑ. ඒ වෙනුවට වඩාත් නිවැරදි ක්‍රමයක් වන්නේ එක් එක් පාසැලට ශ්‍රේණි ක්‍රමයක් හඳුන්වාදී, ඒ අනුව කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. එවිට එකම දිස්ත්‍රික්කයේ ඇති සුපිරි පාසල් සහ අඩු පහසුකම් ඇති පාසැල් වලට එකම විදියකට සැලකීම නැති වේවි. එමෙන්ම සුපිරි පාසැල් වලට ඇති අධික ඉල්ලුම අඩුවීමටද එය උදව් වේවි.

රජවරු පෙරලීම

ඔන්න එකමත් එක කාලෙක රජෙක් හිටියා. මේ රජා හරිම නපුරු පාලකයෙක්. තමන්ගෙ මාළිගාවට වෙලා ඉන්න මේ රජාට රට වැසියො හැමෝම හරිම බයයි. රජා කෝප වුනොත් මහා විනාශයක් වෙයි කියන බය තමා හැමෝටම තිබ්බෙ. තමන්ගෙ රාජධානියෙ වැසියන් හම්බු කරන හැම දේකින්ම කප්පම් අරගෙන තමා මේ රජා ජීවත් වුනෙ.

මේ රටේ වැසියොත් එක්ක වෙනත් රටක අය හරිම තරහයි. ඒ රටවල් දෙකේ වැසියො නිතරම යුද්ධ කර කර තමා හිටියෙ. එක දවසක් අනිත් රටේ වැසියෙක්, නපුරු රජාගෙ රටේ බොහොම ප්‍රබල කෙනෙක්ව අල්ලගත්තා. ඒ කපටි වැඩකින් අර ප්‍රබලයව දුර්වල කරලයි. ඉතින් මෙ ප්‍රබලයට මොකුත් කරගන්න බැරිව ඉන්නකොට ටිකෙන් ටික එයාව මුල් තත්වයට ගේන්න අර අල්ලගත්ත කෙනා උදව් කළා. ඒ නිසා ඒ ප්‍රබල කෙනා, අර අල්ලගත්ත කෙනත් එක්ක යාළු වුනා.

ඊට පස්සෙ අර ප්‍රබලයගෙ උදව්වෙන් නපුරු රජා ගැන විස්තර දැනගත්ත අනිත් රටේ අය, නපුරු රජාව මරා දාන්න සැලසුම් කළා. මුලින් හමුදාවක් යවල නපුරු රජාව මරන්න උත්සාහ ගත්තට වැඩක් වුනෙ නෑ. ඒකෙන් වුනෙ නපුරු රජා කෝප වුන එක විතරයි.

ඊලඟට ඒ අය නපුරු රජාගෙ රටේම වැසියො ටිකක් ඉත්තො විදියට යොදාගෙන, නපුරු රජාව මරන්න උත්සාහ ගත්තා. අර ප්‍රබලයව පාවිච්චි කරලා, නපුරු රජාව මරා දාන්න අනිත් රටේ අයට පුළුවන් වුනා.

අන්තිමට අනිත් රටේ අය, නපුරු රජාගෙ රට වැසියන්ව හුරතලුන් (?) විදියට තියාගෙන ඒ අයගෙන් වැඩ ගත්තලු.

මේ කිව්වෙ සුරංගනා කථා පොතක තියන කථාවක් නෙවේ. මෑතකදි ඊජිප්තුවෙ වුන දේවත්, ලිබියාවෙ වෙමින් පවතින දේවත් නෙවෙයි. ලංකාවෙ ඉස්සරහට වෙන්න නියමිත දේත් නෙවෙයි. How to train your dragon (ඔබේ මකරා පුහුණු කරන්නේ කොහොමද) කියන හොලිවුඩ් චිත්‍රපටියෙ කථාවයි.

“කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ” කියන්නෙ මේවටද මන්දා?

කාන්දුවෙන් රෙදි ගැලවීම

ජුලියන් අයියා “කාන්දුව” පත්තරේ පටන් ගත්තේ ලොකු-ලොකු මුදලාලිලාගේ සහ ගම්මුලාදෑනිවරු සහ උන්ගේ හෙංචයියන්ගේ හොර වැඩ ගම්මුන්ට එලිදරව් කිරීමටය. අවුරුදු ගානකට කලිනුත් කාන්දුව පත්තරෙන් එක එක ගම්වල ලොකු ඈයින්ගේ රහස් පයිණ්ඩ එලියට ආවේය. ඒත් ගම්මු කාටවත් ඒවා ගැන එච්චර වගක් තිබුනේ නැත.

එක්සත් ගමේ චණ්ඩි වෙන ගම්වලට ගෙහුන් අහිංසකයන්ට ගුටි-බැට දෙන හැටි කාන්දුව පත්තරෙන් එලි වෙනකොට, එක්සත් ගමේ ලොක්කන්ගේ රෙදි ගැලවුනේය. පහුගිය දොහේ කීප සැරයක්ම මේ විදියට ජුලියන් අයියා එක්සත් ගමේ ලොකු උදවියගේ රෙදි ගලවා දැම්මේය. එක්සත්  ගමේ ගම්මුලාදෑනියා හරි හෙංචයියෙක් හරි මොකක් හරි බේගලයක් ඇදබාලා ඒ වෙලාවට වහං වී ඉඳලා ඊට පස්සේ ආයිත් රෙද්ද ඇඳගෙන ලොකු මහත්තැන් ලීලාවෙන් ඉන්නට උන්ට ඇහැක් විය.

ජුලියන් අයියා වැඩේ අතෑරියේ නැත. එක්සත් ගමේ ඈයෝ වෙන ගම්වල ඉඳං ඔත්තු බලලා යවපු රහස් පයිණ්ඩ තොගයක්ම කාන්දුව පත්තරේ දැම්මේය. ඒ පාරනම් එක්සත් ගම්මුලාදෑනියාගේ  සහ ලොකු ලොකු හෙංචයියන්ගේ රෙද්ද ගැලවිලාම ගියේය. වෙනදා වගේ වහං වෙලා ආයිත් රෙද්ද ඇඳන් එන සෙල්ලම කරන්න බැරි බව තේරුනේ පිට ගම්වල ගම්මු පවා කාන්දුව පත්තරේ කියෝපු නිසාය. ජුලියන් අයියා කරපු වැඩේට පලිය ගන්න මොකක් හරි සූත්තරයක් අටවන්න එක්සත් ගමේ හෙංචයියෝ දත කෑවෝය.

එක්සත් ගමේ පත්තර වලින් රහස් පයිණ්ඩ ගැන වැඩි යමක් නොකියා හිටපු එක පලවෙනි සූත්තරය විය. කිව්වානම් කිව්වේ අහවල් ගමේ ගම්මුලාදෑනියා අහවල් දේ කළේය වගේ කාටවත් වැඩක් නැති  ඕපාදූපයකි. එක්සත් ගමේ චණ්ඩි අහිංසකයන්ට ගහද්දී ඒවා ගැන කටින් කෙල බිඳක් හලන්නේ නැතිව ඉඳගෙන, වෙන ගම්වල කෝලහාල වලදී කවුරු කාට ගැහුවාද වගේ දේවල් ගැන ඔත්තු බැලුවේ ඇයිද කියා එහෙම බැරිවෙලාවත් එක්සත් ගමේ ලොකු ලොක්කෝ කීවේවත්, පත්තර වල ගියේවත් නැත.

කාන්දුව පත්තරේට කාසි පනම් ලැබෙන එක නතර කරන්න පුළුවං හැම දෙයක්ම කරන්න එක්සත් ගමේ මුදලාලිලා පුළුවන් තරම් දත කෑවෝය. ඒ වැඩේ නිසා තරහ ගිය ගම්මු කට්ටියක් එකතු වෙලා ඒ මුදලාලිලාගේ ජාවාරම් කඩාකප්පල් කරන්නත් හැදුවෝය.

ඒ අව් අස්සේ, ජුලියන් අයියාගේ රෙද්ද ගලවන්න කියා මිනිහාව නඩුවක පටලන්න එක්සත් ගමට එහෙයි කියනා ගම් දෙකක් අරෑඳුවෝය. ස්වදේශී ගමේ ගැටිස්සියෝ දෙන්නෙක් ජුලියන් අයියා තමන්ට බලහත්කාරකම් කළාය කියා කිව්වෝය. ජුලියන් අයියා කිව්වේ ඒ ගැටිස්සියෝ කැමැත්තෙන් තමන් එක්ක හිටි බවය. කොහොමෙන් කොහොමෙන් හරි මොකක් හරි නඩුවක පටලන්න ඕනෙ නිසා මහගමේදී ජුලියන් අයියාව අල්ලා හිරකරගෙන ඉඳිති.

ගමරාල මුවහමට තඩිබාන්නා සේ, තවත් කොහොමහරි ජුලියන් අයියාට රිද්දන්න එක්සත් ගමේ ලොකු-ලොක්කෝ සූත්තර කල්පනා කළෝය. එක්සත් ගමේ කාලෙ පත්තරේ පිට ගම්මුත් කියවන එකකි. කාලෙ පත්තරෙන් දෙන හවුරුද්දේ ගැමියා සම්මානයට ජුලියන් අයියාගේ නමද යෝජනා වුනේය. පත්තරේ කියෝන ගැමියෝ කිව්වේ ඒ සම්මානය ජුලියන් අයියාටම ලැබිය යුතු බවය. ඒ උනාට ඒ සම්මානේ දුන්නේ එක්සත් ගමේම බර සල්ලිකාර කොලු ගැටයෙකුටය.

මේ විදියට ජුලියන් අයියාගේ රෙද්ද ගලවන්න හැදුවත්, කාන්දුව පත්තරේට කාසි පනම් නතර කෙරුවත් එක්සත් ගමේ අයට එක ලොකු දෙයක් අමතකය. ඒ උන් තාමත් ඉන්නේ හෙළුවෙන් බවය.

සතුටු වීම

ලංකාවෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නොමිලෙනෙ. නිකං දෙන දේවල වටිනාකමක් නෑ කියලා කියන නිසාද කොහෙද විශ්වවිද්‍යාල සිසුන්ගෙන් හැම අවුරුද්දෙම ලියාපදිංචි ගාස්තු විදියට බොහොම පොඩි ගාස්තුවක් අය කරගන්නවා.

අපි විශ්වවිද්‍යාලයේ ගිය මුල් අවුරුද්දෙ මේ ගාස්තුව රුපියල් 50 යි. ඒත් ඊලඟ අවුරුද්දෙ ලියාපදිංචි ගාස්තුව රුපියල් 200 කළා. 300% කින් ගාස්තු වැඩි කළාම ඉතින් ඇඟට දැනෙනවනේ. ඉතින් බොහෝ දෙනා මේ ගාස්තු වැඩි කිරීමට විරුද්ධව තැන තැන කථාබහ කළා.

“නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන, අධ්‍යාපනය විකුණන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත හෙළා දකිමු” කියලවත්, එහෙම නැත්නම් “ලියාපදිංචි ගාස්තු අහෝසි කරවු” කියලවත් පොස්ටර් එල්ලගෙන උද්ඝෝෂණ කරන්නෙ නැතුව අපි සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුනා.

අපේ පීඨ ශිෂ්‍ය සංගමයෙ ප්‍රමුඛත්වයෙන් මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල බලධාරීන් එක්ක සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් විදියට ලියාපදිංචි ගාස්තුව රුපියල් 100 දක්වා අඩු කළා. මේ තීරණය ශිෂ්‍ය සංගම් නිලධාරීන් හරහා සිසුන්ට දැනුම් දුන්නහම හැම දෙනාම බොහොම සතුටු වුනා “රුපියල් 100 ක් ම අඩු කරගත්තනෙ” කියලා. “කොහොමද අපේ වැඩ? අපි කට ඇරියොත් ඉතින් නෝ හෙල්ලුම්! පොල් මැල්ලුම්!” කියලා කියපු අයත් ඉන්න ඇති.

රුපියල් 100 කින් ගාස්තු අඩු කරගත්තා කියලා සතුටු වුන බොහොමයක් අයට තේරුනේ නෑ රුපියල් 50 කින් ගාස්තු වැඩි වුන බව! ඇත්තටම දුක් වෙන්න ඕනෙ සිද්ධියක්නෙ වුනෙ..

ඊයෙ ඕස්ට්‍රේලියාව පරාද කරලා ක්‍රිකට් තරඟය දිනුවහමත් ගොඩක් දෙනා “මරු මැච් එක! ඊලඟ මැච් එකත් මේ වගේම තිබ්බොත් මරු!” කියලා සතුටු වුනා. ඒත් ඒ සතුටු වීම ලියාපදිංචි ගාස්තු අඩු කිරීමෙන් සතුටුවීමට සමානයි කියලා මට හිතුනා.  ක්‍රිකට් ක්‍රීඩාවේ තියන වින්දනය උපරිම වුන තරඟයක්  ජයග්‍රහණයෙන් සතුටු විය යුතුයි.

නමුත් අපේ මුල්පෙළ පිතිකරුවෝ ටිකක් පරීක්ෂාකාරී වුනානම් ජයග්‍රහණය ඊටත් වඩා ඉහළින් සමරන්න තිබුනා. හරියට ගාස්තු වැඩි කරන්නෙම නැතිව තිබුනා නම් වගේ! ඒ වගේ ජයකදි, ඊයේ ජයග්‍රහණය වගේ විශේෂයෙන් සමරන්න දෙයක් නොතිබෙන්න පුළුවන්. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ පරිණතබව වගේම ලෝක කුසලාන තරඟ මාලාවට සූදානම පෙනෙන්නේ වගකීමෙන් තරඟ කළොත් විතරයි.

හොරකම සහ දඬුවම

නව පරපුරේ නිළියක් වන උදාරි වර්ණකුලසූරිය ඔඩෙල් ආයතනයෙන් ඇඳුම් හොරකම් කිරීමට ගොස් අසුවීමක් ගැන පසුගිය දවස්වල පුවත්පත්වලින් වගේම අන්තර්ජාලය හරහාත් නොඅඩුව කථාබහ කෙරුනා. ඒ පිළිබඳව උසාවියේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.

ඒ සිද්ධියට අදාල ඡායාරූපයක්ද මේ වනවිට සංසරණය වෙනවා. මේ ඡායාරූපය දැක්ක ගමන් “හොඳ වැඩේ..හොරකමේ ගිහින් අහුවුනාට ඔහොම කරල මදි!” කියලා ගොඩ දෙනෙක් හිතන්න ඇති. මේ ඡායාරූපයේ ඇත්ත නැත්ත හෝ ඇය සැබැවින්ම රෙදි හොරකම් කළාද නැද්ද යන්න පිළිබඳව මට කීමට නොහැකියි. නමුත්, මේ ඡායාරූපය සත්‍ය එකක් සහ ඇඳුම් හොරකම් කිරීමට උත්සාහ ගැනීම නිසා ඇයව දණගස්වා තිබුණායැයි සිතමු.

යමෙක් හොරකම් කර අසුවූ විට ඔවුනට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ කාටද?

හොරකමට ලක්වූ තැනැත්තාටම හොරාට දඬුවම් කිරීමේ අයිතියත් ලබා දී තිබේනම් නීතිය සහ අධිකරණය පද්ධතියක් තියෙන්නේ ඇයි?

හොරකමකදී හොරාව අල්ලා පොලීසියට භාරදීම සහ ඒ ගැන පැමිණිලි කිරීම හැර වෙනත් යමක් කිරීම මහජනයාගේ (හෝ සිවිල් ආයතනයක) වගකීම නෙවෙයි. දඬුවම් කිරීමක් වෙනවානම් එය සිදුවිය යුත්තේ උසාවිය හරහායි. පොලීසියට හෝ මහජනයාට යමෙකුට දඬුවම් කිරීමේ අයිතියක් නෑ.

මේ සියල්ලම හරියට වෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවානම් පමණයි. අපක්ෂපාත නීති සහ අධිකරණ පද්ධතියක් තිබේනම් ගැටළුවක් නෑ. නමුත් ලංකාවේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීම ගැන අමුතුවෙන් කිවයුතු නෑ. අපේ රටේ හාල්මැස්සො වගේ පොඩි හොරු අහුවෙද්දි තෝරු-මෝරු වගේ මහ හොරු නීතියෙ සිදුරු වලින් රිංගලා යන එක නොඅඩුව සිද්ධ වෙනවා.

රටේ නීති පද්ධතියේ දුර්වලතා තිබුනත් මහජනයා නීතිය අතට ගැනීම අනුමත කරන්න පුළුවන්ද? නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය-උසාවිය මෙන්ම මහජනයාත් නීතිගරුක ලෙස හැසිරිය යුතුයි. විශේෂයෙන්ම ආයතනයක් නීතිගරුකව හැසිරිය යුතුයි. පුද්ගලයෙක් නීතිය කඩකිරීමට වඩා ආයතනයක් නීතිය කඩකිරීම වෙනස්.

ඔඩෙල් වැනි ප්‍රසිද්ධ ආයතනයක් පුරවැසියෙකුට දඬුවම් කිරීම නීතිය ක්‍රියාත්මක කිරීමේ විශාල අඩුපාඩුවක් ලෙසයි මම දකින්නේ. පොලීසිය අදාල හොරකම පිළිබඳව චූදිත නිළියට නඩු පවරනා අතරම, නීතිගරුක ලෙස නොහැසිරුනු ඔඩෙල් ආයතනයට විරුද්ධවත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි මගේ මතය. එහෙම නොවුනොත්, තමන්ගේ ආයතනයෙන් හොරකමක් කළ පුද්ගලයෙක් අල්ලගෙන හොරාව ගස් බැඳලා දිමිගොටු දාන ආයතන නොඅඩුව බිහිවෙයි.

උදාරි හොරකමක් කළානම් එයට උසාවියෙන් දඬුවම් හිමිවිය යුතුයි. නමුත් ඇය ඔඩෙල් ආයතයේදී දඬුවමක් වින්දානම්, ඔඩෙල් ආයතනයට විරුද්ධව නඩුවක් පැවරීමෙන් ඇයට විශාල මුදලක් හොයාගත හැකිබවයි මට හිතෙන්නේ!

නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන පොලීසිය-උසාවියටම දොස් කියනවාට අමතරව අපිත් නීතිගරුක පුරවැසියන් වෙමු.